Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 18

ධාවන තරඟය නිම කරන්න

ධාවන තරඟය නිම කරන්න

“මගේ ධාවන තරඟය නිම කළෙමි.”—2 තිමෝ. 4:7.

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

මේ ලිපියෙන් *

1. අපි හැම කෙනෙක්ම කරන්න ඕනෙ මොකක්ද?

අමාරුයි කියලා දන්න ධාවන තරඟයක ඔයා දුවයිද? විශේෂයෙන්ම ඔයා ඉන්නේ අසනීපයෙන් නම් එහෙම නැත්නම් ඔයාට ලොකු වෙහෙසක් දැනෙනවා නම් ඔයා දුවයිද? නැහැ නේද? ඒත් පාවුල් කිව්වා සැබෑ ක්‍රිස්තියානීන් වන අපි හැමෝම ධාවන තරඟයක යෙදෙනවා කියලා. (හෙබ්‍රෙ. 12:1) යෙහෝවා දෙවියන් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන තෑග්ග ලබාගන්න නම් අපිට හොඳ සවිශක්තියක් තිබුණත් නැතත් අපි හැමෝම අවසානය දක්වාම විඳදරාගෙන දුවන්න ඕනේ.—මතෙ. 24:13.

2. 2 තිමෝති 4:7, 8 අනුව ධාවන තරඟය ගැන කතා කරන්න පාවුල්ට නිදහස තිබුණේ ඇයි?

2 ක්‍රිස්තියානීන් යෙදෙන ධාවන තරඟය ගැන කතා කරන්න පාවුල්ට පුළුවන්කම තිබුණා. මොකද එයාට පුළුවන් වුණා එයාගේ ‘ධාවන තරඟය සාර්ථකව නිම කරන්න.’ (2 තිමෝති 4:7, 8 කියවන්න.) ඒත් පාවුල් කතා කරපු ඒ ධාවන තරඟය මොකක්ද?

මොකක්ද මේ ධාවන තරඟය?

3. පාවුල් කතා කරපු ධාවන තරඟය මොකක්ද?

3 පාවුල් සමහර වෙලාවලදී අතීත ග්‍රීසියේ තිබුණ ක්‍රීඩා තරඟවල සිදු වුණ දේවල් උදාහරණ හැටියට පාවිච්චි කරලා වටිනා පාඩම් කියලා දුන්නා. (1 කොරි. 9:25-27; 2 තිමෝ. 2:5) කෙනෙක් ක්‍රිස්තියානියෙක් හැටියට ගත කරන ජීවිතය පාවුල් අවස්ථා කීපයකදීම ධාවන තරඟයකට සමාන කළා. (1 කොරි. 9:24; ගලා. 5:7; ෆිලි. 2:16) ඒ කෙනා තරඟය දුවන්න පටන්ගන්නේ එයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන අවස්ථාවේදියි. (1 පේතෘ. 3:21) යෙහෝවා දෙවියන් සදාකාල ජීවිතය කියන තෑග්ග එයාට දුන්නාම එයා තරඟය නිම කරනවා.—මතෙ. 25:31-34, 46; 2 තිමෝ. 4:8.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 මැරතන් තරඟයක් සහ ක්‍රිස්තියානියෙක් ගත කරන ජීවිතේ අතර තියෙන සමානකම් මොනවාද? සමානකම් කීපයක්ම තියෙනවා. අපි ඒවායින් 3ක් ගැන බලමු. (1) අපි දුවන්න ඕනෙ නියමිත, හරි මාර්ගයේ. (2) අපි දුවන්න ඕනෙ දිනුම් කණුව මනසේ තියාගෙන. (3) අතරමඟදී බාධා ආවත් අපි දිගටම දුවන්න ඕනේ.

හරි මාර්ගයේ දුවන්න

අපි හැමෝම දුවන්න ඕනෙ යේසුස් පෙන්නලා තියෙන මාර්ගයේ (5-7 ඡේද බලන්න) *

5. අපි දුවන්න ඕනෙ මොන මාර්ගයේද? ඒ ඇයි?

5 ධාවන තරඟයකදී තෑග්ග දිනාගන්න සුදුසුකම් ලබන්න නම් තරඟකරුවන් ඒ තරඟයේ සංවිධායකයන් නියම කරලා තියෙන මාර්ගයේ දුවන්න ඕනේ. ඒ වගේ සදාකාල ජීවිතය කියන තෑග්ග ලබාගන්න නම් අපිත් අනිවාර්යයෙන්ම යේසුස් පෙන්නලා තියෙන මාර්ගයේ ගමන් කරන්න ඕනේ. (ක්‍රියා 20:24; 1 පේතෘ. 2:21) ඒත් සාතන්ටත් එයාට සහය දෙන අයටත් ඕනෙ අපිත් එයාලා එක්ක ‘හවුල් වෙලා’ දිගටම එයාලා යන මාර්ගයේ යනවා දකින්නයි. (1 පේතෘ. 4:4) අපි ගත කරන ජීවිතය එයාලා සමච්චලයට ලක් කරනවා. එයාලා කියන්නේ එයාලා ජීවිතේ ගෙවන විදිහ තමයි හොඳම විදිහ කියලා. එයාලගේ පාරේ ගියොත් නිදහස අද්දකින්න පුළුවන් කියලත් එයාලා කියනවා. ඒත් ඒක ඇත්තක් නෙමෙයි.—2 පේතෘ. 2:19.

6. බ්‍රයන්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

6 සාතන්ගේ දුෂ්ට සමාජයේ බලපෑමට අහු වෙලා ඉන්න අය යන පාරේ යන්න තීරණය කරන කෙනෙක්ට නියම නිදහස අද්දකින්න බැහැ. ඒ වෙනුවට එයා සාතන්ගෙත් තමන්ගෙම ආශාවන්වලටත් වහලෙක් වෙනවා. (රෝම 6:16) බ්‍රයන්ගේ අද්දැකීම බලන්න. පොඩි කාලේ ඉඳන්ම බ්‍රයන්ගේ දෙමාපියන් උත්සාහ කළේ යේසුස්ගේ අඩිපාරේ යන්න එයාව පුහුණු කරන්නයි. ඒත් යෞවන වයසට ආවම බ්‍රයන්ට හිතුණා බයිබලේ කියලා තියෙන විදිහට ජීවත් වෙන එකෙන් එයාගේ නිදහස නැති වෙනවා කියලා. එයාට ඕන දේවල් කරන්න පුළුවන් නම් සතුටෙන් ඉන්න පුළුවන් කියලත් එයා හිතුවා. ඒ නිසා බ්‍රයන් තීරණය කළා මේ සමාජයේ මිනිසුන් යන පාරේ යන්න. “මං හොයාගෙන ගිය නිදහස අන්තිමට මාව වහලෙක් කළා. මං කුඩු ගහන්නත් වැටෙන කල් බොන්නත් පටන්ගත්තා. මං අනාචාරයේ යෙදුණා. ටිකෙන් ටික සැර කුඩු වර්ගවලට මං ඇබ්බැහි වුණා. ඒවාට සල්ලි හොයාගන්න නිසා මං කුඩු විකුණන්නත් පටන්ගත්තා.” යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න අන්තිමේදී බ්‍රයන් තීරණය කළා. බ්‍රයන් දුවමින් හිටපු පාරෙන් අයින් වෙලා 2001දී එයා බව්තීස්ම වුණා. දැන් එයා සැබෑ සතුට අද්දකිනවා. *

7. මතෙව් 7:13, 14 අනුව අපි ඉදිරියේ තියෙන්නේ මොන පාරවල් දෙකද?

7 හරි පාරේ යන්න තීරණය කරන එක කොයි තරම් වැදගත්ද! සාතන්ට ඕනෙ ‘ජීවනය කරා යන, අවහිරකම්’ තියෙන පටු පාරෙන් අපි අයින් වෙලා ලෝකේ වැඩිදෙනෙක් යන පළල් පාරේ යනවා දකින්නයි. හුඟදෙනෙක් ඒ පාරේ යන්න කැමතියි. ඒකේ යන්නත් ලේසියි. ඒත් ඒ පාර යන්නේ විනාශයට. (මතෙව් 7:13, 14 කියවන්න.) දෙවියන්ගේ ප්‍රමිති පිළිගන්නේ නැති අයට රැවටිලා හරි පාරෙන් අයින් වෙන්නේ නැතුව ඉන්න නම් අපි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා ඔහු කියන දේවලට ඇහුම්කන් දෙන්න ඕනේ.

දිනුම් කණුව මනසේ තියාගෙන දුවන්න

අපි නිතරම දිනුම් කණුව මනසේ තියාගන්න ඕනෙ වගේම අනිත් අයට බාධාවක් නොවී ඉන්නත් ඕනේ (8-12 ඡේද බලන්න) *

8. දුවද්දී පය පැටලිලා වැටුණොත් තරඟකරුවෙක් කරන්නේ මොකක්ද?

8 මැරතන් තරඟයක දුවන තරඟකරුවන් දුවන්නේ පය පැටලෙන්න පුළුවන් දෙයක් පාරේ තියෙනවාද කියලා බලබලයි. ඒත් වැරදීමකින් තව තරඟකරුවෙකුගේ ඇඟේ හැප්පිලා එහෙම නැත්නම් පාරේ තියෙන වළකට කකුල ගිහින් තරඟකරුවෙක් වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා කරන්නේ ඉක්මනින්ම නැඟිටලා ආයෙත් දුවන එකයි. මොකද එයා අවධානය දෙන්නේ වැටුණ හේතුවට නෙමෙයි. ඒ වෙනුවට එයාගේ මනසේ තියෙන්නේ දිනුම් කණුව පහු කරලා තෑග්ග දිනාගන්න එකයි.

9. අපි වැටුණොත් අපි මොකක්ද කරන්න ඕනේ?

9 අපි යෙදිලා ඉන්න ධාවන තරඟයේදීත් අපේ පය පැටලිලා වැටෙන්න පුළුවන්. සමහරවිට අපි හිතන්නේ බලන්නේ නැතුව කියන කරන දෙයක් නිසා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහෝදර සහෝදරියන් අතින් වෙන දෙයක් නිසා අපි වැටෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපි ඒ ගැන පුදුම වෙන්න හොඳ නැහැ. අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ වගේම අපි හැමෝම දුවන ජීවනයට යන පාර අවහිරකම් තියෙන පටු පාරක්. ඒ පාරේ දුවද්දී එකිනෙකාගේ ඇඟේ අපි හැප්පෙන්න පුළුවන්. අපි එකිනෙකා අතින් වෙන දේවල් නිසා “අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තියෙන්න” පුළුවන් කියලා පාවුලුත් කිව්වා. (කොලො. 3:13) ඒත් වැටුණේ මොකක් නිසාද කියලා හිතහිත ඉන්නවා වෙනුවට අපි මනස යොමු කරන්න ඕනෙ අපිට ලැබෙන්න තියෙන තෑග්ගටයි. අපි වැටුණොත් ඉක්මනින්ම නැඟිටලා ආයෙත් දුවන්න පටන්ගමු. ඒත් කේන්තිය, අමනාපය නිසා නැඟිටින්නේ නැතුව වැටිලාම හිටියොත් අපිට දිනුම් කණුව පහු කරලා තෑග්ග දිනාගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි පටු පාරේ දුවන අනිත් අයගේ ගමනටත් අපි බාධාවක් වෙනවා.

10. අනිත් අයට බාධාවක් නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

10 අනිත් අයගේ ගමනට බාධාවක් නොවී ඉන්න අපිට පුළුවන් තව විදිහක් තමයි පුළුවන් හැම අවස්ථාවකදීම අපි කැමති විදිහටම දේවල් කරන්න උත්සාහ කරන්නේ නැතුව අපේ සහෝදර සහෝදරියන්ගේ කැමැත්තටත් ඉඩ දෙන එක. (රෝම 14:13, 19-21; 1 කොරි. 8:9, 13) ඒ කාරණයේදී නම් ඇත්ත ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයන්ට වඩා අපි වෙනස්. මොකද ඇත්ත ධාවන තරඟයක යෙදෙන හැම ක්‍රීඩකයෙක්ටම ඕනෙ අනිත් අයව පරද්දලා තමන්ට තෑග්ග දිනාගන්න. ඒ නිසා අනිත් අය පැත්තකට තල්ලු වෙන විදිහට එයාලා අනිත් අයව පහු කරගෙන දුවන්න හදනවා. ඒත් අපි යෙදිලා ඉන්න ධාවන තරඟයේදී අපි එකිනෙකා එක්ක තරඟ කරන්නේ නැහැ. (ගලා. 5:26; 6:4) අපිට ඕනෙ අපිත් එක්කම දිනුම් කණුව පහු කරලා තෑග්ග දිනාගන්න පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරන්නයි. ඒ නිසා “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න” කියලා පාවුල් දීපු උපදෙස අදාළ කරගන්න අපි උත්සාහ කරනවා.—ෆිලි. 2:4.

11. ක්‍රීඩකයෙක් අවධානය යොමු කරන්නේ මොනවාටද? ඒ ඇයි?

11 ක්‍රීඩකයෙක් පය පැටලෙන්න පුළුවන් දෙයක් පාරේ තියෙනවාද කියලා අවධානයෙන් යනවා වගේම දිනුම් කණුව ගැනත් එයා මනසේ තියාගන්නවා. දිනුම් කණුව එයාට පේන්න තිබුණේ නැතත් ඒක පහු කරලා තෑග්ග දිනාගන්න හැටි හිතින් මවාගන්න එයාට පුළුවන්. අත් නෑර දුවන්න ඒක එයාට ලොකු හයියක්.

12. යෙහෝවා දෙවියන් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද?

12 ධාවන තරඟය සාර්ථකව අවසන් කරන අයට ස්වර්ගයේ හෝ පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ තෑග්ග ගැන බයිබලේ විස්තර කරලා තියෙනවා. ඒ තොරතුරු අපිට උදව් වෙනවා ඒ කාලේදී අපේ ජීවිතය කොයි තරම් ලස්සන එකක් වෙයිද කියලා හිතින් මවාගන්න. යෙහෝවා දෙවියන් අපිට පොරොන්දු වෙලා තියෙන ඒ ලස්සන අනාගතය ගැන හිතන තරමට මොන බාධා ආවත් විඳදරාගෙන දිගටම දුවන්න අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා.

අභියෝග තිබුණත් දිගටම දුවන්න

අභියෝග තිබුණත් අපිට ඕනෙ දිගටම ජීවනය කරා යන පාරේ දුවන්න (13-20 ඡේද බලන්න) *

13. ක්‍රීඩකයන්ට නැති මොන දේද අපිට තියෙන්නේ?

13 ග්‍රීසියේ තිබුණ තරඟවලට සහභාගි වුණ ක්‍රීඩකයන්ට මහන්සිය, ඇඟේපතේ අමාරු දැනුණා. එයාලා ඒ අභියෝගවලට මුහුණ දුන්නේ එයාලා ලබලා තිබුණ පුහුණුව, එයාලගෙම සවිශක්තිය මත රඳා ඉඳලයි. ඒ ක්‍රීඩකයන්ට වගේ අපිටත් අපි යන ධාවන තරඟය හොඳින් දුවන්න පුහුණුවක් ලැබෙනවා. ඒත් එයාලට නැති දෙයක් අපිට තියෙනවා. තරඟය දිගටම විඳදරාගෙන දුවන්න අපිට යෙහෝවා දෙවියන්ගෙන් ශක්තිය ලබාගන්න පුළුවන්. ඔහුගේ ශක්තිය කවදාවත් අඩු වෙන්නේ නැහැ. අපි දෙවියන් මත රඳා ඉන්නවා නම් අපිව හොඳින් පුහුණු කරනවා කියලත් අපිව ශක්තිමත් කරනවා කියලත් ඔහු පොරොන්දු වෙනවා.—1 පේතෘ. 5:10.

14. අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න 2 කොරින්ති 12:9, 10 අපිට උදව් වෙන්නේ කොහොමද?

14 පාවුල්ට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා. අනිත් අයගේ නින්දා අපහාසවලට, විරුද්ධවාදිකම්වලට වගේම “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවකට” මුහුණ දෙන්නත් එයාට වුණා. (2 කොරි. 12:7) සමහර වෙලාවලදී එයාට ලොකු වෙහෙසකුත් දැනුණා. ඒත් තරඟය අත්හැරලා දාන්න ඒ අභියෝග හේතුවක් කරගන්නවා වෙනුවට එයා ඒවා සැලකුවේ යෙහෝවා දෙවියන් මත රඳා ඉන්න එයාට ලැබුණ අවස්ථාවන් හැටියටයි. (2 කොරින්ති 12:9, 10 කියවන්න.) පාවුල් අභියෝග දිහා ඒ විදිහට බලපු නිසා ඒ හැම අභියෝගයක්ම දරාගෙන දිගටම තරඟය දුවන්න යෙහෝවා දෙවියන් එයාට උදව් කළා.

15. පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් අපිට අද්දකින්න පුළුවන් මොකක්ද?

15 දෙවියන්ට අපි ළැදිව ඉන්න නිසා අපිටත් නින්දා අපහාසවලට, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙයි. අපිට සෞඛ්‍ය ගැටලුවක් එක්ක පොරබදින්න වෙයි. සමහර වෙලාවලදී අපිට අධික වෙහෙසක් දැනෙයි. ඒත් අපි පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් ඒ හැම අභියෝගයකදීම යෙහෝවා දෙවියන්ගේ ආදරේ, උදව් අද්දකින්න අපිට පුළුවන්.

16. හොඳ ශරීර සෞඛ්‍යයක් තිබුණේ නැතත් අපිට කරන්න පුළුවන් මොකක්ද?

16 ඔයා ඇඳකට නැත්නම් රෝද පුටුවකට සීමා වුණ කෙනෙක්ද? කලින් තරම් දැන් ඔයාට වාරු නැද්ද? ඔයාගේ පෙනීම දුර්වල වෙලාද? ඒත් තරුණ, සවිශක්තිය තියෙන අය එක්ක දුවන්න තවමත් ඔයාට පුළුවන්. මහලු, අබලදුබලතා තියෙන හුඟදෙනෙක් ජීවනයට යන මාර්ගයේ දිගටම දුවමින් ඉන්නවා. එයාලා ඒක කරන්නේ එයාලගෙම ශක්තියෙන් නෙමෙයි. ඒ වෙනුවට දුරකථනයෙන් රැස්වීම්වලට සවන් දීලා හෝ ස්ට්‍රීමින් හරහා රැස්වීම් නරඹලා එයාලා යෙහෝවා දෙවියන්ගෙන් ශක්තිය ලබාගන්නවා. දොස්තරලට, නර්ස්ලට, නෑදෑයන්ට සාක්ෂි දරලා එයාලා යේසුස් දීපු කාර්යයට හවුල් වෙනවා.

17. අසනීපයෙන් ඉන්න, සවිශක්තිය අඩු අය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

17 දුර්වල සෞඛ්‍යය නිසා ඔයා හිතන තරම් යෙහෝවා දෙවියන් වෙනුවෙන් දේවල් කරන්න ඔයාට බැරි නම් තරඟය අවසානය දක්වාම දුවන්න බැරි වෙයි කියලා හිතලා අධෛර්යය වෙන්න එපා. යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන විශ්වාසය, මේ වෙන කල් ඔයා ඔහු වෙනුවෙන් කරලා තියෙන දේවල් ඔහු හුඟක් අගය කරනවා. වෙන කවදාකටත් වඩා දැන් ඔයාට ඔහුගේ උදව් ඕනේ. දෙවියන් කොහොමටවත් ඔයාව අත්හරින්නේ නැහැ. (ගීතා. 9:10) ඒ වෙනුවට ඔහු තව තවත් ඔයාට ළං වෙනවා. සෞඛ්‍ය ගැටලු තිබුණ එක සහෝදරියක් කියන මේ දේ බලන්න. “මගේ අසනීප තත්වයන් එන්න එන්නම වැඩි වෙද්දී සාක්ෂි දරන්න මට තිබුණ අවස්ථාවන් අඩු වුණා. ඒත් දෙවියන් වෙනුවෙන් මං කරන පුංචි දේකින් වුණත් යෙහෝවා දෙවියන් සතුටු වෙනවා කියලා මං දන්නවා. ඒක මට සතුටක්.” ඔයා අධෛර්යය වෙද්දී ඔයා තනි වෙලා නැහැ කියලා මතක තියාගන්න. පාවුල්ගේ ආදර්ශය ගැන හිතන්න. එයා කියපු මේ වචන මතක් කරගන්න. ‘මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. මන්ද මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.’—2 කොරි. 12:10.

18. සමහරු මුහුණ දෙන අමාරු අභියෝගය මොකක්ද?

18 ජීවනයට යන පාරේ දුවමින් ඉන්න අපෙන් සමහරදෙනෙක් අනිත් අයට තේරුම්ගන්න අමාරු අභියෝගයකට මුහුණ දෙනවා. එයාලගෙන් සමහරු මානසික අවපීඩනයෙන් පෙළෙනවා. යම් යම් හේතු නිසා තවත් සමහරුන්ට අධික කනස්සල්ලක් දැනෙනවා. යෙහෝවා දෙවියන්ගේ ඒ ආදරණීය සේවකයන් මුහුණ දෙන ඒ තත්වය හරිම අමාරු එකක් කියන්නේ ඇයි? සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අතක් කැඩුණොත් නැත්නම් කෙනෙක් රෝද පුටුවකට සීමා වුණොත් එයාගේ තත්වය හැමෝටම පේනවා. ඒ නිසා එයාට උදව් කරන්න අනිත් අය පෙලඹෙනවා. ඒත් මානසිකව වැටිලා ඉන්න හෝ මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්ගේ තත්වය ඊට වඩා වෙනස්. අතක් පයක් කැඩුණු කෙනෙක් වගේ එයා ඉන්නෙත් ලොකු වේදනාවකින්. ඒත් ඒක අනිත් අයට පේන්නේ නැති නිසා එයාලගේ ආදරේ, සැලකිල්ල එයාට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.

19. මෙෆිබොෂෙත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

19 ඔයාත් සෞඛ්‍ය ගැටලු හෝ අධික කනස්සල්ලක් අද්දකිනවා නම්, අනිත් අය ඔයාව වැරදියට තේරුම් අරන් කියලා ඔයාට හැඟෙනවා නම් මෙෆිබොෂෙත්ගේ ආදර්ශය ඔයාට දිරිගැන්වීමක් වෙයි. (2 සාමු. 4:4) එයාට ආබාධයක් තිබුණා. දාවිත් රජත් එක අවස්ථාවකදී එයාව වැරදියට තේරුම් අරන් එයාට අසාධාරණ තීන්දුවක් දුන්නා. මෙෆිබොෂෙත් ඒ දේවල් අද්දැක්කේ එයා කරපු වරදක් නිසා නෙමෙයි. ඒත් එයා ඒ දේවල් ගැනම හිතලා අධෛර්යය වුණේ නැහැ. ඒ වෙනුවට එයා අද්දැක්ක හොඳ දේවල් එයා අගය කළා. කලින් දාවිත් එයාට කරුණාවන්තව සලකපු එක එයා අගය කළා. (2 සාමු. 9:6-10) ඒ නිසා දාවිත් එයාට අසාධාරණ තීන්දුවක් දුන්නාම ඒ වගේ තීරණයක් ගන්න හේතු වෙන්න ඇත්තේ මොන වගේ දේවල්ද කියලා තේරුම්ගන්න මෙෆිබොෂෙත් උත්සාහ කළා. දාවිත් කරපු වරද නිසා එයා හිතේ අමනාපයක් ඇති කරගත්තේවත් ඒ ගැන යෙහෝවා දෙවියන්ට දොස් කිව්වේවත් නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් අභිෂේක කරපු රජුට සහය දෙන්න එයාට කරන්න පුළුවන් මොනවාද කියලා එයා හිතුවා. (2 සාමු. 16:1-4; 19:24-30) යෙහෝවා දෙවියන් මෙෆිබොෂෙත්ගේ ආදර්ශය බයිබලේට ඇතුළත් කළේ ඒක අපිට ප්‍රයෝජනවත් වෙන නිසයි.—රෝම 15:4.

20. අධික කනස්සල්ල සමහරුන්ට බලපාන්නේ කොහොමද? ඒත් එයාලට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

20 අධික කනස්සල්ල නිසා සමහර සහෝදර සහෝදරියන්ට අනිත් අය ගැවසෙන තැන්වලට ගිහින් සාමාන්‍ය වැඩක් වුණත් කරන්න අපහසුවක් දැනෙන්න පුළුවන්. ලොකු පිරිසක් අතරට යන එක එයාලට අමාරු වුණත් එයාලා දිගටම රැස්වීම්වලට, සමුළුවලට යනවා. අඳුරන්නේ නැති අයට කතා කරන එක එයාලට අභියෝගයක් වුණත් සේවයේ ගිහින් එයාලා අනිත් අයට දේශනා කරනවා. ඔයාත් ඒ අභියෝගයට මුහුණ දෙනවා නම් ඔයා තනි වෙලා නැහැ කියලා මතක තියාගන්න. ඔයාට හැඟෙන විදිහටම හැඟෙන තව හුඟදෙනෙක් ඉන්නවා. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔයා දරන හැම උත්සාහයක්ම දෙවියන් අගය කරනවා. ඔයා විඳදරාගෙන තවමත් දුවන එකෙන්ම පැහැදිලියි දෙවියන් ඔහුගේ බලය දීලා ඔයාව ශක්තිමත් කරනවා කියලා. * (ෆිලි. 4:6, 7; 1 පේතෘ. 5:7) සෞඛ්‍ය ගැටලු හෝ මානසික ගැටලු තිබුණත් ඔයා දෙවියන්ට දිගටම සේවය කරනවා නම් ඔහු ඔයා ගැන සතුටු වෙනවා කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්.

21. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් අපි හැමෝටම කරන්න පුළුවන් මොකක්ද?

21 මැරතන් තරඟයක් අතරෙයි පාවුල් කතා කරපු ධාවන තරඟය අතරෙයි වෙනස්කම් තියෙන එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. පාවුල්ගේ කාලේ තිබුණ ධාවන තරඟවලදී තෑග්ග දිනාගන්න පුළුවන් වුණේ එක් කෙනෙක්ටයි. ඒ වුණත් අපි යෙදිලා ඉන්න ධාවන තරඟයේදී අවසානය දක්වාම විශ්වාසවන්තව දුවලා තරඟය නිම කරන හැමෝටම සදාකාල ජීවනය කියන තෑග්ග ලැබෙනවා. (යොහ. 3:16) මැරතන් තරඟයක දුවන අයට සවිශක්තිය තියෙන්නම ඕනේ. එහෙම නැති වුණොත් එයාලට දිනන්න අමාරුයි. ඒත් අපෙන් වැඩිදෙනෙකුට හොඳ ශරීර සෞඛ්‍යයක් තිබුණේ නැතත් අපි විඳදරාගෙන දුවනවා. (2 කොරි. 4:16) යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් තරඟයේ අවසානය දක්වාම දුවන්න අපි හැමෝටම පුළුවන්!

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

^ 5 ඡේ. යෙහෝවා දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් මහලු වයස නිසා, අසනීප තත්වයන් නිසා දුෂ්කරතා අද්දකිනවා. අපි හැමෝටම සමහර වෙලාවලදී ලොකු වෙහෙසක්, මනසට බරක් දැනෙනවා. ඒ නිසා ධාවන තරඟයක දුවන එක අපිට කරන්න බැරි දෙයක් කියලා හැඟෙයි. පාවුල් කතා කරපු ධාවන තරඟයේ අවසානය දක්වාම විඳදරාගෙන දුවලා තෑග්ග දිනාගන්න අපි හැමෝටම පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.

^ 6 ඡේ. 2013 ජනවාරි 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපිය බලන්න.

^ 20 ඡේ. අධික කනස්සල්ලක් දැනෙද්දී කරන්න පුළුවන් දේවල් ගැනත් ඒකට සාර්ථකව මුහුණ දෙන සමහරුන්ගේ අද්දැකීම් ගැනත් දැනගන්න jw.org® වෙබ් අඩවියේ 2019 මැයි වැඩසටහන බලන්න. ලයිබ්‍රරි > JW බ්‍රෝඩ්කාස්ටිං යටතේ බලන්න.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: දිගටම හරි මාර්ගයේ දුවන්න උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන එක මේ මහලු සහෝදරයාට උදව් වෙනවා.

^ 65 ඡේ. පින්තූරයේ අදහස: කෙනෙක්ට තව වැඩියෙන් බොන්න කියලා බල කරන එකෙනුත් අපි සීමාව ඉක්මවා මත්පැන් බොන එකෙනුත් තව කෙනෙක් බාධාවට පත් වෙන්න පුළුවන්.

^ 67 ඡේ. පින්තූරයේ අදහස: ඉස්පිරිතාලේ හිටියත් සහෝදරයෙක් එයාව බලාගන්න කෙනෙකුට ශුභාරංචිය ගැන කියලා ධාවන තරඟයේ දිගටම යෙදෙනවා.