Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 16

යෙහෝවා දෙවියන් වගේ අනිත් අයව තේරුම්ගන්න

යෙහෝවා දෙවියන් වගේ අනිත් අයව තේරුම්ගන්න

“පිටතින් දේවල් දෙස බලා තවදුරටත් විනිශ්චය කරන්න එපා. ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න.”—යොහ. 7:24.

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

මේ ලිපියෙන් *

1. අපිට සහනයක් වෙන්නේ යෙහෝවා දෙවියන් ගැන බයිබලේ සඳහන් මොන තොරතුරද?

අනිත් අය ඔයාගේ හමේ පාට, උස මහත දිහා බලලා ඔයා ගැන නිගමනවලට එනවාට ඔයා කැමතිද? නැහැ නේ? යෙහෝවා දෙවියන් පිටින් පේන්න තියෙන දේ දිහා බලලා අපි ගැන නිගමනවලට එන්නේ නැහැ. ඒක මොන තරම් සහනයක්ද! උදාහරණෙකට දෙවියන් සාමුවෙල්ට කිව්වා යෙස්සේගේ පුතෙක් ඊශ්‍රායෙලයේ රජ වෙනවා කියලා. යෙස්සේගේ වැඩිමල් පුතා වන එලියාබ්ට කඩවසම් පෙනුමක් තිබුණ නිසා එයාව දැක්ක ගමන්ම සාමුවෙල් හිතුවා “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා මොහු විය යුතුයි” කියලා. ඒත් දෙවියන් සාමුවෙල්ට කිව්වේ “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න. මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි” කියලා. මොකක්ද පාඩම? දෙවියන් මෙහෙම කිව්වා. ‘මම දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් මම සිතේ තිබෙන දේ දකිමි.’—1 සාමු. 16:1, 6, 7.

2. යොහන් 7:24 අනුව පිටින් පේන්න තියෙන දේවල් දිහා බලලා අපි කෙනෙක්ව විනිශ්චය කරන්න හොඳ නැත්තේ ඇයි? උදාහරණයක් කියන්න.

2 අපි පාපය උරුම කරගත්ත අය නිසා පේන්න තියෙන දේවල් දිහා බලලා අපි ඉක්මනින්ම අනිත් අය ගැන නිගමනවලට එනවා. (යොහන් 7:24 කියවන්න.) ඒත් පේන්න තියෙන දේවලින් අපිට අනිත් අය ගැන දැනගන්න පුළුවන් හරිම ටිකයි. උදාහරණෙකට දක්ෂ, අද්දැකීම් තියෙන දොස්තර කෙනෙකුට වුණත් ලෙඩෙක් දිහා පිටින් බලලා ලෙඩේ ගැන හරියටම කියන්න බැහැ. එයා ලෙඩාට හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. කලින් තිබුණ අසනීප, ලෙඩාට හැඟෙන විදිහ, තියෙන රෝග ලක්ෂණ ගැන දොස්තරට දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. සමහරවිට ලෙඩාගේ ඇඟ ඇතුළේ තත්වය දැනගන්න එක්ස්-රේ එකක් ගන්න කියලත් එයා කියයි. ඒ දේවල් කළේ නැත්නම් ලෙඩාට හරියට ප්‍රතිකාර කරන්න එයාට බැරි වෙනවා. අපිටත් අපේ සහෝදර සහෝදරියන් දිහා පිටින් බලලා එයාලව හරියටම තේරුම්ගන්න බැහැ. එයාලගේ හිත් කියවන්නත් අපිට බැහැ. ඒ නිසා යෙහෝවා දෙවියන් එයාලව තේරුම්ගන්න විදිහටම එයාලව තේරුම්ගන්න අපිට බැහැ. ඒත් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගත්තොත් එයාලා ඇත්තටම මොන වගේ අයද කියලා තේරුම්ගන්න අපිට පුළුවන් වෙයි.

3. මේ ලිපියේ කතා කරලා තියෙන බයිබලේ සඳහන් වාර්තා යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න අපිට උදව් කරන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන අයට සලකන්නේ කොහොමද? ඔහු එයාලට ඇහුම්කන් දෙනවා. එයාලගේ පසුබිම, එයාලා ජීවිතේ මුහුණ දීපු දේවල් සැලකිල්ලට ගන්නවා. එයාලට දයානුකම්පාවෙන් සලකනවා. යෙහෝවා දෙවියන් යෝනාට, එලියාට, හාගර්ට සහ ලොත්ට ඒ විදිහට සැලකුවේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. අපේ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී දෙවියන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

හොඳින් ඇහුම්කන් දෙන්න

4. යෝනා ගැන අපි වැරදි නිගමනයකට එන්න පුළුවන් ඇයි?

4 යෝනා ගැන හැම තොරතුරක්ම අපි දන්නේ නැති නිසා අපිට හිතෙයි යෝනා කියන්නේ විශ්වාසය තියන්න බැරි, අකීකරු කෙනෙක් කියලා. නිනිවයට ගිහින් විනිශ්චය පණිවිඩයක් කියන්න කියලා යෙහෝවා දෙවියන් එයාට කිව්වා. ඒත් යෝනා නැවකට නැඟලා “යෙහෝවා දෙවි වෙතින් පලා” ගියා. (යෝනා 1:1-3) ඔයා යෝනාට තවත් අවස්ථාවක් දෙයිද? හුඟක් දුරට නැහැ. ඒත් යෙහෝවා දෙවියන් හිතුවා යෝනාට තවත් අවස්ථාවක් දෙන්න ඕනෙ කියලා.—යෝනා 3:1, 2.

5. යෝනා 2:1, 2, 9 යෝනා කියපු දේවලින් අපිට එයා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 යෝනා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා එයා මත්ස්‍යයාගේ බඩේ ඉද්දී කරපු යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. (යෝනා 2:1, 2, 9 කියවන්න.) ඒක එයා යෙහෝවා දෙවියන්ට කරපු යාච්ඤාවලින් එකක් විතරයි. බැලූ බැල්මට යෝනා නිකම්ම එයාගේ පැවරුම දාලා ගිය කෙනෙක් වගේ පෙනුණත් එයා ඒ යාච්ඤාවේදී කියපු වචනවලින් එයා ගැන ඊට වඩා දෙයක් අපිට තේරුම්ගන්න පුළුවන්. එයා නිහතමානී, ස්තුතිවන්ත වෙන, යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න ලොකු අධිෂ්ඨානයක් තිබුණ කෙනෙක්. දෙවියන් එයා කරපු වරදටම අවධානය දෙන්නේ නැතුව එයාගේ යාච්ඤාවට පිළිතුරු දීලා එයාව දිගටම අනාගතවක්තෘවරයෙක් විදිහට පාවිච්චි කරපු එක පුදුමයක්ද!

අපි අනිත් අයට හොඳින් සවන් දුන්නොත් එයාලව තේරුම්ගන්න අපිට පුළුවන් (6 ඡේදය බලන්න) *

6. හොඳින් සවන් දෙන එක වැදගත් ඇයි?

6 අනිත් අයට හොඳින් සවන් දෙන්න නම් අපිට නිහතමානිකම සහ ඉවසීම තියෙන්න ඕනේ. හොඳින් සවන් දෙන එක වැදගත් කියන්න අඩු තරමේ හේතු තුනක්වත් තියෙනවා. (1) එහෙම කරද්දී අපි අනිත් අය ගැන වැරදි නිගමනවලට එන්න ඉක්මන් වෙන්නේ නැහැ. (2) අපිට අපේ සහෝදරයාගේ හැඟීම්, එයා දෙයක් කළේ ඇයි කියලා තේරුම් අරන් එයාට දයානුකම්පාවෙන් සලකන්න පුළුවන්. (3) අපි සහෝදරයාට කතා කරන්න ඉඩ දෙද්දී එයාට එයා ගැනම තේරුම්ගන්න ඒක උදව්වක්. සමහර වෙලාවට කෙනෙක්ට තමන්ගේ හැඟීම් තේරුම්ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එයාගේ හිතේ තියෙන දේ එයා තව කෙනෙක්ට කියද්දී එයාට හැඟෙන විදිහ එයාටම තේරුම්ගන්න පුළුවන්. (හිතෝ. 20:5) ආසියාවේ ඉන්න එක වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “දවසක් මං ඇහුම්කන් දෙන්නේ නැතුව කතා කරන්න ඉක්මන් වුණා. රැස්වීම්වලදී මීට වඩා හොඳ අදහස් දෙන්න ඕනෙ කියලා මං සහෝදරියකට කිව්වා. ඒත් පස්සේ මට දැනගන්න ලැබුණා එයාට අකුරු කියවන්න අමාරුයි කියලා. ඒ නිසා එයා රැස්වීමේදී අදහසක් දක්වන්නේ ලොකු වෑයමක් දරලයි.” හැම වැඩිමහල්ලෙක්ම කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් ‘කාරණාවලට හොඳින් සවන් දෙන එක’ කොයි තරම් වැදගත්ද!—හිතෝ. 18:13.

7. යෙහෝවා දෙවියන් එලියාට සලකපු විදිහෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

7 හැදුණු වැඩුණු පරිසරය, ජීවිතේ අද්දැක්ක දේවල් නිසා සමහරුන්ට එයාලට හැඟෙන විදිහ ගැන අනිත් අය එක්ක නිදහසේ කතා කරන්න අමාරුයි. එයාලට හැඟෙන විදිහ ගැන කතා කරන්න පහසුවක් දැනෙන්නේ අපි කොහොම වැඩ කළොත්ද? යෙසබෙල්ට බයේ පලා යමින් හිටපු එලියා එක්ක යෙහෝවා දෙවියන් වැඩ කරපු විදිහ මතකද? දවස් ගාණක් යන කල් එලියා එයාට ඇත්තටම හැඟුණේ කොහොමද කියලා දෙවියන්ට කිව්වේ නැහැ. අන්තිමේදී එයා ඒ ගැන කිව්වාම යෙහෝවා දෙවියන් එයාට හොඳින් සවන් දුන්නා. ඊටපස්සේ එයාව දිරිගන්වලා එයාට කරන්න වැදගත් වැඩක් භාර දුන්නා. (1 රාජා. 19:1-18) අපේ සහෝදරයනුත් එයාලට හැඟෙන දේ අපිට එකපාරටම කියන එකක් නැහැ. අපි ගැන එයාලට විශ්වාසයක් ඇති වෙන්න යම් කාලයක් ගත වෙයි. ඒත් අපි යෙහෝවා දෙවියන් වගේ ඉවසීමෙන් වැඩ කරනවා නම් කාලයත් එක්ක එයාලට අපි ගැන විශ්වාසයක් ඇති වෙලා එයාලට හැඟෙන දේ අපිට කියයි. එතකොට අපි එයාලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ.

සහෝදර සහෝදරියන් ගැන හොඳින් දැනගන්න

8. උත්පත්ති 16:7-13 අනුව යෙහෝවා දෙවියන් හාගර්ට උදව් කළේ කොහොමද?

8 ආබ්‍රම් සාරයිගේ සේවිකාව වුණ හාගර්ව විවාහ කරගත්තාට පස්සේ හාගර් මෝඩ විදිහට වැඩ කළා. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම එයා සාරයිව පහත් කරලා සැලකුවා. මොකද ඒ වෙද්දී සාරයිට දරුවෝ හිටියේ නැහැ. ප්‍රශ්නේ කොච්චර දුර දිග ගියාද කියනවා නම් හාගර්ට ගෙදරින් පලා යන්න සිද්ධ වුණා. (උත්. 16:4-6) උඩඟු වුණ නිසා හාගර්ට එහෙම තමයි වෙන්න ඕනෙ කියලා අපිට හිතෙයි. ඒත් යෙහෝවා දෙවියන්ට හාගර් ගැන එහෙම හැඟුණේ නැහැ. ඔහු හාගර්ව හම්බ වෙන්න දේවදූතයෙක්ව යැව්වා. හාගර් හිතපු විදිහ වෙනස් කරගන්න ඒ දේවදූතයා එයාට උදව් කළා. ඊටපස්සේ ඔහු එයාට ආශීර්වාද කළා. ‘මා දෙස බලා සිටින ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්’ කියලා ඒ වෙලාවේ හාගර් යෙහෝවා දෙවියන්ට කිව්වේ දෙවියන් එයාව තේරුම්ගත්තා කියලා එයාට හැඟුණ නිසයි.—උත්පත්ති 16:7-13 කියවන්න.

9. යෙහෝවා දෙවියන් හාගර් දිහා බලද්දී සැලකිල්ලට ගත්තේ මොන වගේ දේවල්ද?

9 හාගර් හැදුණු වැඩුණු පරිසරය, එයා ජීවිතේ මුහුණ දුන්න හැම දෙයක් ගැනම දෙවියන් දැනන් හිටියා. (හිතෝ. 15:3) හාගර් ඊජිප්තු ජාතිකයෙක්. ඒත් එයා ජීවත් වුණේ හෙබ්‍රෙව් ජාතිකයන් ඉන්න ගෙදරක. ඒ නිසා සමහර වෙලාවට තමන් පිට කෙනෙක් කියලා එයාට හැඟෙන්න ඇති. එයාගේ පවුලේ අය ළඟ නැති පාළුව දැනෙන්න ඇති. අනික, එයා ආබ්‍රම්ගේ එකම බිරිඳත් නෙමෙයි. යම් කාලෙකට දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ටත් එක බිරිඳකට වඩා හිටියා. ඒත් ඒක යෙහෝවා දෙවියන්ගේ මුල් අරමුණට ඇතුළත් දෙයක් නෙමෙයි. (මතෙ. 19:4-6) ඒ වගේ පවුල්වල තරඟකාරිත්වයක්, පවුලේ අය අතරේ වෛරයක් නිතරම වගේ දකින්න තිබුණා. හාගර් සාරායිව පහත් කරලා සලකපු එක කමක් නැහැ කියලා යෙහෝවා දෙවියන් හිතුවේ නැහැ. ඒත් ඔහු හාගර්ට හැඟුණු විදිහ, එයා මුහුණ දීපු අමාරුකම් තේරුම්ගත්ත නිසා එයාට දායානුකම්පාවෙන් සැලකුවා.

සහෝදර සහෝදරියන් ගැන හොඳින් දැනගන්න (10-12 ඡේද බලන්න) *

10. සහෝදර සහෝදරියන්ව තව හොඳින් දැනගන්න අපිට පුළුවන් කොහොමද?

10 අනිත් අයව හොඳින් තේරුම්ගන්න උත්සාහ කරනවා නම් අපිට පුළුවන් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න. සහෝදර සහෝදරියන්ව තේරුම්ගන්න නම් අපි එයාලා ගැන හොඳින් දැනගන්න ඕනේ. රැස්වීමට කලින්, රැස්වීමෙන් පස්සේ එයාලා එක්ක කතා කරන්න. එයාලා එක්ක සේවයේ යන්න. පුළුවන් නම් එයාලව කෑමකට ආරාධනා කරන්න. එහෙම කරද්දී ඒ තරම් මිත්‍රශීලී නැහැ කියලා පෙනුණ සහෝදරියක් ඇත්තටම ලැජ්ජාශීලී කෙනෙක් කියලා ඔයාට තේරෙයි. සහෝදරයෙක් පොහොසත් නිසා එයා සල්ලි පස්සේ යන කෙනෙක් කියලා ඔයා හිතුවත් එයා ඇත්තටම ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක් කියලා ඔයා දැනගනියි. එහෙම නැත්නම් නිතරම වගේ රැස්වීම්වලට පරක්කු වෙලා එන පවුලක් නමස්කාර වැඩ කරන්නේ විරුද්ධවාදිකම් මැද කියලා ඔයා දැනගනියි. (යෝබ් 6:29) අපි “අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගහන්නේ” නැහැ. (1 තිමෝ. 5:13) ඒත් සහෝදර සහෝදරියන්ව, එයාලා මුහුණ දෙන දේවල් ගැන දැනගද්දී එයාලව තව හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්.

11. වැඩිමහල්ලන් තමන් රැකබලා ගන්න අය ගැන හොඳින් දැනන් ඉන්න ඕනෙ ඇයි?

11 විශේෂයෙන්ම වැඩිමහල්ලන් එයාලගේ රැකවරණය යටතේ ඉන්න සහෝදර සහෝදරියන් ගැන හොඳින් දැනගන්න ඕනේ. චාරිකා සේවය කරපු සහෝදර ආතර් දවසක් තවත් වැඩිමහල්ලෙක් එක්ක සහෝදරියක්ව බලන්න ගියා. ඒ සහෝදරිය වැඩිය අනිත් අයව ආශ්‍රය කළේ නැති කෙනෙක්. ආතර් මෙහෙම කියනවා. “අපි එයාත් එක්ක කතා කරද්දී අපිට දැනගන්න ලැබුණා එයා බැඳලා අවුරුදු කීපයකට පස්සේ එයාගේ මහත්තයා නැති වුණා කියලා. අභියෝග මැද වුණත් ඒ සහෝදරිය එයාගේ දුවලා දෙන්නාටම යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න උගන්නලා තිබුණා. දැන් එයාගේ පෙනීමත් එන්න එන්නම දුර්වල වෙනවා. එයා මානසික අවපීඩනයෙන් පෙළෙනවා. ඒත් යෙහෝවා දෙවියන් ගැන එයාට තියෙන ආදරේ, විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. එයාගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා එදා අපි දෙන්නා තේරුම්ගත්තා.” (ෆිලි. 2:3) ඒ චාරිකා සේවක ආදර්ශයට ගත්තේ යෙහෝවා දෙවියන්වයි. දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව හොඳින් දන්නවා. එයාලගේ වේදනාව ඔහු තේරුම්ගන්නවා. (නික්. 3:7) වැඩිමහල්ලන් තමන් රැකබලා ගන්න අය ගැන දැනගන්න තරමට එයාලට උදව් කරන්න පහසුයි.

12. සභාවේ සහෝදරියක්ව හොඳින් දැනගත්ත එක තව සහෝදරියකට උදව් වුණේ කොහොමද?

12 ඔයාට එච්චර රුස්සන්නේ නැති සහෝදරයෙක්ව හෝ සහෝදරියකව ඔයා හොඳින් අඳුරගද්දී එයාව තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි. ආසියාවේ ජීවත් වෙන සහෝදරියක් මෙහෙම කියනවා. “අපේ සභාවේ හරිම සද්දෙන් කතා කරන සහෝදරියක් හිටියා. එයා මහ කරච්චලයක් කියලයි මට හිතුණේ. ඒත් දවසක් මං එයාත් එක්ක සේවේ ගියා. එදා මං දැනගත්තා එයා පොඩි කාලේ එයාගේ අම්මායි, තාත්තායි එක්ක මාකට් එකේ මාළු විකුණලා තියෙනවා කියලා. ඒ නිසයි එයා සද්දෙන් කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මං ඉගෙනගත්තා අපි අපේ සහෝදර සහෝදරියන්ව හොඳින් තේරුම්ගන්න නම් අපි එයාලව හොඳින් අඳුරගන්න ඕනෙ කියලා.” ඒකට වෑයමක් දරන්න වෙනවා. ඒත් අපේ හදවත්වල තියෙන ප්‍රේමය තව තවත් වැඩි කරගද්දී අපි කරන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට” ආදරේ කරන යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න එකයි.—1 තිමෝ. 2:3, 4; 2 කොරි. 6:11-13.

දයානුකම්පාවෙන් සලකන්න

13. උත්පත්ති 19:15, 16 අනුව ලොත් ප්‍රමාද වෙද්දී දේවදූතයන් කළේ මොනවාද? එහෙම කළේ ඇයි?

13 ජීවිතේ තීරණාත්මක වෙලාවකදී ලොත් යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න පරක්කු කළා. දේවදූතයන් දෙන්නෙක් ලොත්ට කිව්වා “අපි මේ මුළු නුවරම විනාශ කරන්නයි යන්නේ” කියලා. ඒ නිසා එයාගේ පවුලේ අයවත් අරගෙන සොදොම් නගරයෙන් පිට වෙන්න කියලා එයාලා කිව්වා. (උත්. 19:12, 13) ඒත් ඊළඟ දවසේ උදේ වෙද්දීත් ලොත් සහ පවුලේ අය නගරයෙන් පිට වෙලා තිබුණේ නැහැ. දේවදූතයන් ආයෙත් ලොත්ට පිට වෙලා යන්න කියලා කිව්වා. ඒත් ලොත් “එතැනින් පිට වී යන්න ප්‍රමාද වුණා.” අපිට හිතෙයි ලොත් යෙහෝවා දෙවියන් කියපු දේ ඒ තරම් ගණන් ගත්තේ නැති, අකීකරු කෙනෙක් කියලා. ඒත් දෙවියන් ලොත්ට උදව් කරන්න ගත්ත උත්සාහය අත්හැරියේ නැහැ. “යෙහෝවා දෙවි ඔහුට අනුකම්පා කළ නිසා” දේවදූතයන් එයාලගේ අතින් අල්ලගෙන එයාලව නුවරෙන් පිටතට අරන් ආවා.—උත්පත්ති 19:15, 16 කියවන්න.

14. යෙහෝවා දෙවියන් ලොත්ට දයානුකම්පාවෙන් සලකන්න ඇත්තේ ඇයි?

14 හේතු කීපයක්ම නිසා යෙහෝවා දෙවියන් ලොත්ට දයානුකම්පාවෙන් සලකන්න ඇති. ලොත් ගෙදරින් පිට වෙන්න ප්‍රමාද කරන්න ඇත්තේ නගරයෙන් පිටත හිටපු මිනිසුන් ගැන එයාට තිබුණ බය නිසා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සොදොම් නගරයට කිට්ටුවෙන් තිබුණ තැනිතලාවකදී රජවරුන් දෙන්නෙක් තාර වළවල්වල වැටුණ සිද්ධිය ගැන ලොත් දැනන් ඉන්න ඇති. (උත්. 14:8-12) ඒ නිසා එයා පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතන්න ඇති. ලොත්ට සොදොම් නගරයේ හොඳ ගේකුත් තියෙන්න ඇති. (උත්. 13:5, 6) ඇත්ත, යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එක ප්‍රමාද කරන්න ඒ එකක්වත් නිදහසට හේතු නෙමෙයි. ඒත් යෙහෝවා දෙවියන් ලොත්ගේ අඩුපාඩුවලටම අවධානය දුන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් එයාව දැක්කේ “ධර්මිෂ්ඨ මිනිසෙකු” විදිහට.—2 පේතෘ. 2:7, 8.

අපි අනිත් අයට ඇහුම්කන් දෙද්දී එයාලට දයානුකම්පාවෙන් සලකන්න අපිට පුළුවන් (15 සහ 16 ඡේද බලන්න) *

15. අනිත් අය ගැන වැරදි නිගමනවලට එනවා වෙනුවට අපි කරන්න ඕනෙ මොකක්ද?

15 කෙනෙක් කරන දෙයක් නිසා එයා ගැන වැරදි නිගමනවලට එනවා වෙනුවට ඒ කෙනාට හැඟෙන විදිහ තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. යුරෝපයේ ඉන්න වෙරෝනිකා මෙහෙම කියනවා. “එක සහෝදරියක් හැම වෙලාවේම හිටියේ මූණ එල්ලගෙන. එයා වැඩිය අනිත් අයව ආශ්‍රය කළෙත් නැහැ. සමහර වෙලාවට එයා ළඟට ගිහින් කතා කරන්න මං බය වුණා. ඒත් මං හිතුවා ‘මං එයාගේ තත්වයේ හිටියා නම් මටත් යාළුවෙක්ව ඕනෙ නේද’ කියලා. ඉතිං මං ගිහින් එයා හොඳින්ද කියලා ඇහුවා. ඊටපස්සේ ඒ සහෝදරිය එයාගේ හිතේ තිබුණ දේවල් මාත් එක්ක කියන්න පටන්ගත්තා. දැන් කලින්ට වඩා මට එයාව තේරුම්ගන්න පුළුවන්.”

16. අනිත් අයට දයානුකම්පාවෙන් සලකන්න අපිට උදව් කරන්න කියලා අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

16 අපිව 100%ක්ම තේරුම්ගන්න එකම කෙනා යෙහෝවා දෙවියන්. (හිතෝ. 15:11) ඒ නිසා ඔහු අනිත් අයව දකින විදිහට එයාලව දකින්නත් එයාලට දයානුකම්පාවෙන් සලකන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්නත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඇන්සෙලාට සභාවේ හිටපු සහෝදරියක් එක්ක පෑහිලා වැඩ කරන එක හරිම අමාරු වුණා. එයා මෙහෙම කියනවා. “ඒ සහෝදරියව විවේචනය කරලා එයාව මඟහරින එක තමයි කරන්න තිබුණ ලේසිම දේ. ඒත් එයාව තේරුම්ගන්න මට උදව් කරන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලුවා.” දෙවියන් එයාගේ යාච්ඤාවට උත්තර දුන්නාද? ඇන්සෙලා මෙහෙම කියනවා. “දවසක් අපි දෙන්නා එකට සේවේ ගියා. ඊටපස්සේ අපි පැය ගාණක් කතා කරකර හිටියා. මං එයාට හොඳට ඇහුම්කන් දුන්නා. දැන් මගේ හිතේ එයා ගැන කලින්ට වඩා ආදරයක් තියෙනවා. මට ඕනෙ එයාට උදව් කරන්න.”

17. අපේ අදිටන වෙන්න ඕනෙ මොකක්ද?

17 අපිට සහෝදර සහෝදරියන්ව තෝරලා බේරලා අරන් එයාලට දයානුකම්පාවෙන් සලකන්න බැහැ. එයාලා හැමෝම යෝනා, එලියා, හාගර් සහ ලොත් මුහුණ දුන්නා වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එයා ලගෙන් සමහරදෙනෙක් එයාලම කරපු දේවල් නිසා ප්‍රශ්න අද්දකිනවා. ඒත් අමතක කරන්න එපා ඒක අපි හැමෝගෙම අද්දැකීම කියලා. එහෙමනම් එකිනෙකාට අනුකම්පාව පෙන්නන්න කියලා යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන එක සාධාරණයි නේද? (1 පේතෘ. 3:8) අපි දෙවියන්ට කීකරු වෙද්දී අපි අතරේ තියෙන එක්සත්කම තව ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි අපේ සහෝදර සහෝදරියන්ට හොඳින් ඇහුම්කන් දෙමු. එයාලා ගැන හොඳින් දැනගන්නත් එයාලට දයානුකම්පාවෙන් සලකන්නත් අදිටන් කරගමු.

ගීතිකාව 87 එන්න! සහනය ලබන්න

^ 5 ඡේ. අපි පාපය උරුම කරගත්ත අය නිසා අනිත් අය ගැන ඉක්මන් නිගමනවලට එනවා. ඒත් යෙහෝවා දෙවියන් එහෙම නැහැ. ඔහු අපේ ‘සිතේ තියෙන දේ දකිනවා.’ (1 සාමු. 16:7) යෙහෝවා දෙවියන් යෝනාට, එලියාට, හාගර්ට සහ ලොත්ට ආදරෙන් උදව් කරපු විදිහ මේ ලිපියේ කතා කරනවා. අපේ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.

^ 52 ඡේ. පින්තූරවල අදහස: තරුණ සහෝදරයෙක් පරක්කු වෙලා රැස්වීමට එනවා දැක්කාම වයසින් වැඩි සහෝදරයෙක්ට කේන්ති යනවා. ඒත් පස්සේ එයා දැනගන්නවා ඒ සහෝදරයා පරක්කු වෙලා තියෙන්නේ එයාගේ වාහනේ හැප්පුණ නිසයි කියලා.

^ 54 ඡේ. පින්තූරවල අදහස: සහෝදරියක් කාත් එක්කවත් කතා කරන්නේ නැතුව පැත්තක් ගහලා ඉන්නවා කියලා ක්ෂේත්‍ර සේවා කණ්ඩායම භාර සහෝදරයා හිතනවා. ඒත් පස්සේ එයා දැනගන්නවා ඒ සහෝදරිය ලැජ්ජාශීලී කෙනෙක් නිසා එයා හොඳට අඳුරන්නේ නැති අය එක්ක කතාබහ කරන එක එයාට ටිකක් අමාරුයි කියලා.

^ 56 ඡේ. පින්තූරවල අදහස: සහෝදරියක් තවත් සහෝදරියක් එක්ක කාලේ ගත කරලා එයාව අඳුරගද්දී එයා තේරුම්ගන්නවා නමස්කාර මධ්‍යස්ථානයේදී එයා ඒ සහෝදරිය ගැන හිතපු විදිහ වැරදියි කියලා.