Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 15

සේවයේදී හම්බ වෙන අයව ඔයා දකින්නේ කොහොමද?

සේවයේදී හම්බ වෙන අයව ඔයා දකින්නේ කොහොමද?

“ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.”—යොහ. 4:35.

ගීතිකාව 64 ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

මේ ලිපියෙන් *

1-2. යොහන් 4:35, 36 සඳහන් දේ කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද?

යේසුස් දැන් ඇවිත් ඉන්නේ කරල් පීදී තිබුණ බාර්ලි කෙත් මැදින් ඇවිදගෙනයි. (යොහ. 4:3-6) බාර්ලි අස්වැන්න නෙළන්න තව මාස හතරක් තිබුණා. ඒත් යේසුස් මේ වගේ දෙයක් කියනවා. “ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.” (යොහන් 4:35, 36 කියවන්න.) ඇයි යේසුස් එහෙම කිව්වේ?

2 පේන විදිහට යේසුස් කතා කළේ බාර්ලි අස්වැන්න ගැන නෙමෙයි ඔහු දේශනා කරපු ප්‍රදේශයේ හිටපු මිනිසුන් ගැනයි. ඊට ටිකකට කලින් වුණ දේ බලන්න. යුදෙව්වන්ට සමරිතානුවන් එක්ක කිසි ගනු දෙනුවක් තිබුණේ නැහැ. ඒත් යේසුස් සමරිතානු ස්ත්‍රියකට දේශනා කළා. එයා යේසුස්ට ඇහුම්කන් දුන්නා. ඊටපස්සේ තමයි යේසුස් ගෝලයන්ට කිව්වේ “කරල් පැසී තිබෙන හැටි බලන්න” කියලා. ඔය අතරේ යේසුස් ගැන ඒ ස්ත්‍රිය කියපු දේවල් අහලා සමරිතානුවන් පිරිසක් යේසුස්ව හම්බ වෙන්න මඟ එමින් හිටියා. (යොහ. 4:9, 39-42) බයිබල් විශාරදයෙක් මෙහෙම කියනවා. “යේසුස් ගැන දැනගන්න තිබුණ උනන්දුව නිසා එයාලා ඉක්මනින් ආපු එකෙන් පේනවා එයාලා හරියට කෙතක තිබුණ පැසුණු කරල් වගේ කියලා.”

අපි සේවය කරන ප්‍රදේශය කරල් පැසී තිබෙන කෙතක් කියලා හැඟෙනවා නම් අපි මොනවාද කරන්නේ? (3 ඡේදය බලන්න)

3. යේසුස් මිනිසුන්ව දැකපු විදිහට ඔයාත් දකිනවා නම් ඒක ඔයාට උදව් වෙන්නේ කොහොමද?

3 ඔයා දේශනා කරන ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ව ඔයා දකින්නෙත් කෙතක තියෙන පැසුණු කරල් වගේද? එහෙමනම් මේ දේවල් තුන ඔයා තුළ දකින්න පුළුවන් වෙයි. (1) අස්වැන්න නෙළන්න තියෙන්නේ පොඩි කාලයක් නිසා දේශනා කරන එක ඔයා කල් දාන්නේ නැහැ. (2) වෙහෙස නොබලා ඔයා කරන සේවය ගැන ඔයාට ලොකු සතුටක් දැනෙයි. බයිබලේ මෙහෙම කියනවා. ‘අස්වැන්න නෙළන කාලවලදී ප්‍රීති වන්නාක් මෙන් ඔවුහු ප්‍රීති වෙති.’ (යෙසා. 9:3) (3) සේවයේදී හම්බ වෙන හැම කෙනෙක් දිහාම ඔයා බලන්නේ එයාලා කවදා හරි යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් අය විදිහට. ඒ නිසා එයාලට ගැළපෙන විදිහට ඔයා පණිවිඩය ඉදිරිපත් කරනවා.

4. මේ ලිපියේ පෙන්නන විදිහට අපිට පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 යේසුස්ගේ සමහර ගෝලයන් හිතන්න ඇති සමරිතානුවන් කවදාවත් යේසුස්ගේ අනුගාමිකයන් වෙන එකක් නැහැ කියලා. ඒත් යේසුස් එයාලව දැක්කේ ඔහුගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් අය විදිහට. අපි දේශනා කරන ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ව අපි දකින්න ඕනෙත් ඒ විදිහටයි. පාවුල් අපිට හොඳ ආදර්ශයක් තිබ්බා. මේ පැති 3න් අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු. (1) දේශනා කරපු අයගේ විශ්වාසයන් ගැන එයා දැනගත්තේ කොහොමද? (2) මිනිසුන් උනන්දු වුණේ මොනවා ගැනද කියලා පාවුල් තේරුම්ගත්තේ කොහොමද? (3) අනාගතයේදී යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් අය විදිහට මිනිසුන්ව දකින්න පාවුල්ට පුළුවන් වුණේ කොහොමද?

එයාලා විශ්වාස කරන්නේ මොනවාද?

5. සිනගෝගයට ආපු අයව තේරුම්ගන්න පාවුල්ට පුළුවන් වුණේ ඇයි?

5 පාවුල් නිතරම වගේ යුදෙව් සිනගෝගවලට ගිහින් දේශනා කළා. උදාහරණෙකට තෙසලෝනිකයේ තිබුණ සිනගෝගයට ගිහින් එයා “සබත් දවස් තුනක් පුරා ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නා.” (ක්‍රියා 17:1, 2) එයා යුදෙව්වෙක් නිසා සිනගෝගයට ගිහින් දේශනා කරන එක එයාට අමාරු වුණේ නැහැ. (ක්‍රියා 26:4, 5) යුදෙව්වන්ව තේරුම්ගන්න පුළුවන් වුණ නිසා ඒ අයට දේශනා කරන්නත් එයාට පහසු වුණා.—ෆිලි. 3:4, 5.

6. පාවුල් සිනගෝගයේදී දේශනා කරපු අය අතරෙයි ඇතන්ස් නුවරේ වෙළඳපොළේදී එයා දේශනා කරපු අය අතරෙයි තිබුණ වෙනස මොකක්ද?

6 විරුද්ධවාදිකම් නිසා පාවුල්ට තෙසලෝනිකයෙනුත් පස්සේ බෙරීය නුවරිනුත් යන්න වුණා. ඊටපස්සේ එයා ගියේ ඇතන්ස් නුවරට. එහෙදීත් එයා කලින් වගේ ‘සිනගෝගයේදී යුදෙව්වරුන්ට සහ දෙවිට නමස්කාර කළ වෙනත් අයට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා දුන්නා.’ (ක්‍රියා 17:17) ඒත් එයා වෙළඳපොළට ගිහින් දේශනා කරද්දී සිනගෝගයේදී හම්බ වුණ අයට වඩා වෙනස් අයව එයාට හම්බ වුණා. ඒ අය අතරේ දාර්ශනිකයන් සහ වෙනත් ජාතීන්ට අයිති අය හිටියා. එයාලා හිතුවේ පාවුල් කියපු පණිවිඩය “අලුත් ඉගැන්වීමක්” කියලා. “ඇත්තෙන්ම ඔබ කියා දෙන සමහර දේවල් හරිම අමුතුයි” කියලා එයාලා පාවුල්ට කිව්වා.—ක්‍රියා 17:18-20.

7. ක්‍රියා 17:22, 23 පෙන්නලා තියෙන විදිහට පාවුල් දේශනා කරන විදිහ සකස් කරගත්තේ කොහොමද?

7 ක්‍රියා 17:22, 23 කියවන්න. පාවුල් සිනගෝගයේදී යුදෙව්වන්ට දේශනා කරපු විදිහටම නෙමෙයි ඇතන්ස් නුවරේ හිටපු වෙනත් ජාතීන්ට අයිති අයට දේශනා කළේ. පණිවිඩය කියන්න කලින් ‘ඇතන්ස් නුවරේ අය විශ්වාස කරන්නේ මොනවාද’ කියලා පාවුල් හිතන්න ඇති. වටපිටාව හොඳින් නිරීක්ෂණය කරලා එයාලගේ ආගමික චාරිත්‍ර එයා තේරුම්ගත්තා. ඊටපස්සේ ශුද්ධ ලියවිල්ලේ සඳහන්, එයාලා එකඟ වෙයි කියලා හිතන්න පුළුවන් දෙයක් පාවිච්චි කරලයි එයා කතා කළේ. බයිබල් විශාරදයෙක් මෙහෙම කියනවා. “යුදෙව් ක්‍රිස්තියානියෙක් වුණ පාවුල් තේරුම්ගත්තා ග්‍රීකවරු යුදෙව් ක්‍රිස්තියානීන් නමස්කාර කරපු සෑබැ දෙවියන්ට නමස්කාර කරන්නේ නැහැ කියලා. ඒත් එයා උත්සාහ කළා එයා කතා කරන දෙවියන් ඇතන්ස්වල අයට අලුත් දෙවි කෙනෙක් නෙමෙයි කියලා පෙන්නලා දෙන්න.” එයා ඇතන්ස්වල අයට කිව්වා එයා කතා කරන්නේ දැනටමත් එයාලා “නාඳුනන දෙවි කෙනෙකුට” කියලා නමස්කාර කරන දෙවියන් ගැන කියලා. වෙනත් ජාතීන්ට අයිති අයට ශුද්ධ ලියවිලි ගැන දැනුමක් නැති වුණත් එයාලා කවදාවත් යේසුස්ගේ අනුගාමිකයන් වෙන එකක් නැහැ කියලා පාවුල් හිතුවේ නැහැ. ඒ වෙනුවට එයා එයාලව දැක්කේ පැසුණු ධාන්‍ය කරල් වගේ. ඒ නිසා ශුභාරංචිය ඉදිරිපත් කරන විදිහ එයාලට ගැළපෙන විදිහට පාවුල් සකස් කරගත්තා.

පාවුල් වගේ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න, පුද්ගලයාට අනුව පණිවිඩය ඉදිරිපත් කරන විදිහ වෙනස් කරගන්න, ප්‍රදේශයේ ඉන්න අය අනාගතයේදී යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් අය විදිහට දකින්න (8, 12 සහ 18 ඡේද බලන්න) *

8. (අ) ඔයා දේශනා කරන ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් ගැන දැනගන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) කෙනෙක් කිව්වොත් ‘අපිට ආගමක් තියෙනවානේ’ කියලා ඔයාට මොනවාද කියන්න පුළුවන්?

8 පාවුල් වගේ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න අයගේ විශ්වාසයන් ගැන දැනගන්න උදව් වෙන දෙයක් වටපිටාවේ තියෙනවාද කියලා බලන්න. එයා අදහන ආගම ගැන දැනගන්න උදව් වෙන දෙයක් නිවසේ හෝ වාහනේ තියෙනවාද? එයාගේ නමෙන්, ඇඳ පැළඳගෙන ඉන්න දේවලින්, කතා කරන විදිහෙන් එයාගේ ආගම දැනගන්න පුළුවන්ද? සමහරවිට එයා කියයි “අපිට ආගමක් තියෙනවානේ” කියලා. එහෙම කියන කෙනෙක්ව විශේෂ පුරෝගාමි සේවය කරන සහෝදරියකට හම්බ වුණාම එයා මෙහෙම කියනවා. “මම ආවේ මගේ විශ්වාසයන් පිළිගන්න කියලා ඔයාට බල කරන්න නෙමෙයි. මං ආවේ . . . ගැන කතා කරන්නයි.”

9. ආගමට ළැදි කෙනෙක් එක්ක එකඟ වෙන්න පුළුවන් දේවල් මොනවාද?

9 ආගමට ළැදි කෙනෙක්ව හම්බ වුණොත් මොනවා ගැනද ඔයාට කතා කරන්න පුළුවන්? ඔයාටයි, එයාටයි එකඟ වෙන්න පුළුවන් දෙයක් හොයාගන්න. සමහරවිට එයා අදහන්නේ එක දෙවි කෙනෙක්ව වෙන්න ඇති. නැත්නම් යේසුස් මිනිසුන්ගේ ගැලවුම්කරු කියලා එයා විශ්වාස කරනවා ඇති. එහෙම නැත්නම් මේ දුෂ්ට සමාජය ඉක්මනින්ම විනාශ වෙනවා කියලා එයා විශ්වාස කරනවා ඇති. එකඟ වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා පණිවිඩය එයාට කියද්දී ඒකට සවන් දෙන්න එයා පෙලඹෙයි.

10. අපි උත්සාහ කරන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි?

10 කෙනෙක් ආගමක් ඇදහුවත් ඒ ආගමේ උගන්වන හැම දෙයක්ම එයා විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් මොන ආගමේද කියලා දැනගත්තාට පස්සේ එයා පෞද්ගලිකව විශ්වාස කරන දේවල් ගැනත් දැනගන්න බලන්න. ඕස්ට්‍රේලියාවේ ඉන්න විශේෂ පුරෝගාමියෙක් මෙහෙම කියනවා. “අද ඉන්න හුඟක් අය එයාලගේ ආගමික විශ්වාසයන්ට දර්ශනවාදී අදහසුත් එකතු කරගෙන තියෙනවා.” ඇල්බේනියාවේ ඉන්න සහෝදරියක් කියන්නේ මෙහෙමයි. “අපිට සේවේදී හම්බ වෙන සමහරු එයාලට ආගමක් තියෙනවා කියලා කිව්වත් ටිකක් කතා කරද්දී එයාලා කියනවා එයාලා දෙවි කෙනෙක්ව පිළිගන්නේ නැහැ කියලා.” ආර්ජන්ටිනාවේ මිෂනාරි සේවය කරන සහෝදරයෙක් කියනවා සමහරු ත්‍රිත්වය විශ්වාස කරනවා කියලා කිව්වත් පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය එකම දෙවි කෙනෙක් කියලා එයාලා විශ්වාස කරන්නේ නැහැ කියලා. “කෙනෙක් අදහන ආගමේ තියෙන හැම දේම විශ්වාස නොකරනවා ඇති කියලා මතක තියාගද්දී එකඟ වෙන්න පුළුවන් දෙයක් හොයාගන්න පහසුයි” කියලා එයා කියනවා. ඔයා කතා කරන අය ඇත්තටම විශ්වාස කරන්නේ මොනවාද කියලා දැනගත්තොත් ඔයාටත් පුළුවන් වෙයි “සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් ඒ ඒ අයට ගැළපෙන අයුරින්” කතා කරන්න.—1 කොරි. 9:19-23.

එයාලා උනන්දු වෙන්නේ මොනවා ගැනද?

11. ක්‍රියා 14:14-17 පෙන්නන විදිහට ලිස්ත්‍රාවේ හිටපු අය තුළ උනන්දුවක් ඇති වෙන විදිහට පාවුල් පණිවිඩය ඉදිරිපත් කළේ කොහොමද?

11 ක්‍රියා 14:14-17 කියවන්න. පාවුල් මිනිසුන් උනන්දු වෙන දේවල් තේරුම් අරන් ඒ අනුව පණිවිඩය ඉදිරිපත් කරන විදිහ වෙනස් කරගත්තා. උදාහරණෙකට ලිස්ත්‍රාවේ වැසියන්ට ශුද්ධ ලියවිලි ගැන දැනුමක් තිබුණේ නැති තරම්. ඒ නිසා පණිවිඩය ඉදිරිපත් කරද්දී පාවුල් හරිම සරල තර්ක, ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් වචන සහ උදාහරණ පාවිච්චි කළා. එයා සරු අස්වනු ගැන, ජීවිතේ සතුටින් ගත කරන එක ගැන කතා කළා.

12. කෙනෙක් උනන්දු වෙන දේ තේරුම් අරන් ඒ අනුව පණිවිඩය ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද?

12 ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය උනන්දු වෙන දේවල් අවබෝධ කරගෙන ඒ අනුව පණිවිඩය ඉදිරිපත් කරන විදිහ වෙනස් කරගන්න. ඒක කරන්නේ කොහොමද? හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. සමහරවිට ඔයා යන ගෙදර ඉන්න කෙනා වත්ත සුද්ද කරකර ඉන්නවා ඇති. පොතක් කියවනවා ඇති. නැත්නම් වාහනයක් හදහද ඉන්නවා ඇති. එයා කරකර ඉන්න ඒ වැඩේ ගැන කතා කරලා සාකච්ඡාවක් පටන්ගන්න ඔයාට පුළුවන්. (යොහ. 4:7) සමහරවිට කෙනෙක්ගේ ඇඳුම් පැළඳුම්වලිනුත් එයාගේ ජාතිය, රස්සාව, එයා ආසම ක්‍රීඩාව වගේ දේවල් තේරුම්ගන්න පුළුවන්. එක සහෝදරයෙක් මෙහෙම කියනවා. “දවසක් මට අවුරුදු 19ක තරුණයෙක්ව හම්බ වුණා. එයාගේ ටීෂර්ට් එකේ ප්‍රසිද්ධ ගායකයෙක්ගේ පින්තූරයක් තිබුණා. මං එයාගෙන් ඒ ගැන ඇහුවාම එයා ඒ ගායකයාට කැමති ඇයි කියලා කිව්වා. ඒ සාකච්ඡාව බයිබල් පාඩමක් පටන්ගන්න මඟ පෑදුවා. දැන් ඒ තරුණයා අපේ සහෝදරයෙක්.”

13. බයිබල් පාඩමක් කරන්න කෙනෙක් තුළ ආසාවක් ඇති කරන්න ඔයාට පුළුවන් කොහොමද?

13 බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා කෙනෙක්ගෙන් අහද්දී ඒකෙන් එයාට ලැබෙන ප්‍රයෝජන ගැන පෙන්නලා දුන්නොත් පාඩමක් කරන්න එයාට ආස හිතෙයි. (යොහ. 4:13-15) දේශනා සේවයේදී එක කාන්තාවක් සහෝදරියකට ගෙට ඇවිත් වාඩි වෙන්න කියලා කිව්වා. එතකොට සහෝදරිය දැක්කා බිත්තියක සහතිකපතක් එල්ලලා තියෙනවා. ඒකේ තියෙන විදිහට ඒ කාන්තාව අධ්‍යාපන ක්‍රම ගැන හදාරලා තියෙන මහචාර්යවරියක්. ඉතින් සහෝදරිය කිව්වා බයිබල් පාඩම් සහ රැස්වීම් මාර්ගයෙන් අපි අධ්‍යාපනික සේවයක් කරනවා කියලා. බයිබල් පාඩමක් කරන්න කැමති වුණ ඒ කාන්තාව ඊළඟ දවසේම රැස්වීමටත් ඊට ටික දවසකට පස්සේ තිබුණ සමුළුවකටත් ගියා. අවුරුද්දකට පස්සේ එයා බව්තීස්ම වුණා. ඔයාත් මේ ගැන හිතන්න. ‘මං නැවත බලන්න යන අය උනන්දු වෙන්නේ මොනවා ගැනද? පාඩමක් කරන්න ආසාවක් ඇති වෙන විදිහට බයිබල් පාඩම් කරන විදිහ එයාලට පැහැදිලි කරන්න මට පුළුවන්ද?’

14. එක් එක් ශිෂ්‍යයාට ගැළපෙන විදිහට පාඩම සකස් කරගන්න පුළුවන් කොහොමද?

14 ඔයා කෙනෙක් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තාට පස්සේ පාඩමට කලින් ඒකට හොඳට සූදානම් වෙන්න. ඔයා සූදානම් වෙද්දී එයාගේ පවුල් පසුබිම, එයාගේ අධ්‍යාපන මට්ටම, එයා උනන්දු වෙන දේවල් ගැන මනසේ තියාගන්න. කියවන්නේ මොන බයිබල් පදද පෙන්නන්නේ මොන වීඩියෝද බයිබල් සත්‍යයන් පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ මොන උදාහරණද කියලා සූදානම් වෙද්දී තීරණය කරන්න. ‘මෙයාගේ හදවතට දැනෙන විදිහට උගන්වන්න මට පුළුවන් කොහොමද’ කියලත් හිතන්න. (හිතෝ. 16:23) ඇල්බේනියාවේ ඉන්න පුරෝගාමි සහෝදරියක් එක්ක පාඩම් කරපු කාන්තාවක් කිව්වා “මට නම් කොහොමටවත් නැවත නැඟිටීම ගැන විශ්වාස කරන්න බැහැ” කියලා. ඒ සහෝදරිය ඒ ඉගැන්වීම ගැන දිගින් දිගටම එයාත් එක්ක කතා කරන්න ගියේ නැහැ. එයා මෙහෙම කියනවා. “මං තේරුම්ගත්තා නැවත නැඟිටීම ගැන එයාගේ හිතේ විශ්වාසයක් ඇති වෙන්න නම් ඒ පොරොන්දුව දුන්න දෙවියන්ව එයා හඳුනගන්න ඕනෙ කියලා.” ඊටපස්සේ ඒ සහෝදරිය පාඩම කරපු හැම දවසකම යෙහෝවා දෙවියන්ගේ ආදරේ, ප්‍රඥාව, බලය ගැන එයාට කාවැද්දුවා. කාලයත් එක්කම ඒ කාන්තාවට නැවත නැඟිටීම ගැන විශ්වාසයක් ඇති වුණා. එයා දැන් උද්‍යෝගයෙන් සේවය කරන සහෝදරියක්.

යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් අය විදිහට දකින්න

15. ක්‍රියා 17:16-18 අනුව ග්‍රීසියේ තිබුණ මොන දේවල් ගැනද පාවුල්ට පිළිකුලක් ඇති වුණේ? ඒ වුණත් ඇතන්ස්වල හිටපු අයට දේශනා කරන එක එයා අත්හැරියේ නැත්තේ ඇයි?

15 ක්‍රියා 17:16-18 කියවන්න. ඇතන්ස් නුවරේ හිටපු වැඩිදෙනෙක් දේවතා රූපවලට නමස්කාර කරපු, අනාචාර ජීවිත ගත කරපු, දාර්ශනිකයන්ගේ බොරු මත විශ්වාස කරපු අය. එහෙමයි කියලා පාවුල් එයාලට දේශනා නොකර හිටියේ නැහැ. එයාලා පාවුල්ට අපහාස කළත් එයා දේශනා කරන එක නතර කළේ නැහැ. පාවුල් කියන්නෙත් කලින් ‘දෙවිට අපහාස කරපු, මිනිසුන්ට පීඩා කරපු, කිසි කෙනෙකුට ගරු නොකළ කෙනෙක්.’ (1 තිමෝ. 1:13) ඒත් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න පාවුල්ට පුළුවන් කියලා යේසුස් විශ්වාස කළා. ඒ වගේම විශ්වාසයක් ඇතන්ස් නුවරේ අය ගැන පාවුල්ටත් තිබුණා. එයා විශ්වාස කළා වගේම ඇතන්ස් නුවරේ හිටපු සමහරදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා.—ක්‍රියා 9:13-15; 17:34.

16-17. සෑම තරාතිරමකම අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

16 මුල් සියවසේදී හැම තරාතිරමකම හිටපු අය යේසුස්ගේ අනුගාමිකයන් වුණා. පාවුල් කොරින්ති සභාවට ලියද්දී එයා කිව්වා ඒ සභාවේ හිටපු සමහරු කලින් අපරාධකරුවන් කියලා. තවත් සමහරු හරිම පහත් අනාචාර ජීවිත ගත කරපු අය. ඒත් එක්කම එයා මෙහෙම කියනවා. “නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.” (1 කොරි. 6:9-11) එදා ඔයා හිටියා නම් ඒ අයව යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන් අය විදිහට ඔයා දකියිද?

17 අදත් හුඟදෙනෙක් කැමැත්තෙන්ම තමන්ගේ ජීවිත වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයන් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න විශේෂ පුරෝගාමි සහෝදරියක් අද්දැකීමෙන්ම දැනගත්තා ඕනෑම තරාතිරමක ඉන්න කෙනෙක් බයිබලේ තියෙන පණිවිඩය පිළිගන්න කැමති වෙන්න පුළුවන් කියලා. දවසක් එයා දැක්කා පච්ච කොටාගෙන, බාච්චු ඇඳුම් ඇඳගෙන හිටපු තරුණියක්ව. ඒ සහෝදරිය මෙහෙම කියනවා. “මුලින් එයාත් එක්ක කතා කරන්න මං ටිකක් අදිමදි කළා. පස්සේ මං එයාත් එක්ක කතා කරද්දී මට තේරුණා එයා බයිබලේ ගැන දැනගන්න හරිම ආසයි කියලා. එයා කොටාගෙන හිටපු සමහර පච්ච ගීතාවලිය පොතේ පද!” ඒ තරුණිය බයිබල් පාඩමක් පටන්ගත්තා වගේම රැස්වීමුත් එනවා. *

18. මිනිසුන් දිහා බලලා අපි නිගමනවලට එන්න හොඳ නැත්තේ ඇයි?

18 යේසුස් අස්වැන්න නෙළන්න කාලය ඇවිත් කියලා කිව්වේ හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් වෙයි කියලා ඔහු බලාපොරොත්තු වුණ නිසාද? නැහැ. බයිබලේ කලින්ම කියලා තිබුණා යේසුස් ගැන විශ්වාසය තියන්නේ ටිකදෙනයි කියලා. (යොහ. 12:37, 38) යේසුස්ට අනිත් අයගේ හිත් කියවන්නත් පුළුවන්කම තිබුණා. (මතෙ. 9:4) ඔහු ගැන විශ්වාසය තියන්නේ ටිකදෙනෙක් වුණත් යේසුස් හැමෝටම උද්‍යෝගයෙන් දේශනා කළා. අපිට මිනිසුන්ගේ හිත් කියවන්න බැහැ. ඒ නිසා අපි සේවය කරන ප්‍රදේශයේ ඉන්න මිනිසුන් ගැන අපි නිගමනවලට එන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි එයාලා දිහා බලන්න ඕනෙ අනාගතයේදී එයාලා යේසුස්ගේ අනුගාමිකයන් වෙයි කියන අදහසිනුයි. බර්කිනා ෆාසෝවල මිෂනාරි සේවය කරන සහෝදරයෙක් මෙහෙම කියනවා. “සත්‍යයේ දියුණු වෙයි කියලා මං හිතපු අය පස්සේ පාඩම් කරන එක නතර කළා. ඒත් දියුණු වෙන එකක් නැහැ කියලා හිතපු අය දියුණු වුණා. ඒකෙන් මං ඉගෙනගත්තා මඟ පෙන්නන්න යෙහෝවා දෙවියන්ගේ බලයට ඉඩ දෙන එක හොඳම දේ කියලා.”

19. අපි සේවය කරන ප්‍රදේශයේ ඉන්න අයව අපි දකින්න ඕනෙ කොහොමද?

19 අපි සේවය කරන ප්‍රදේශයේ ඉන්න වැඩිදෙනෙක් කෙතක තියෙන පැසුණු කරල් වගේ කියලා බැලූ බැල්මට අපිට පේන එකක් නැහැ. ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කියපු දේ අමතක කරන්න එපා. ඔහු කිව්වේ අස්වැන්න නෙළන කාලය ඇවිත් කියලයි. මිනිසුන්ට පුළුවන් එයාලගේ ජීවිත වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න. අනාගතයේදී යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න පුළුවන්කම තියෙන අපේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ව යෙහෝවා දෙවියන් දකින්නේ “වටිනා වස්තු” විදිහට. (හග්. 2:7) අපිත් යෙහෝවා දෙවියන් සහ යේසුස් වගේ මිනිසුන් දිහා බලනවා නම් ඒ අයගේ පසුබිම, ඒ අය උනන්දු වෙන දේවල් තේරුම්ගන්න අපි උත්සාහ කරනවා. අපි එයාලව දකින්නේ අමුත්තන් විදිහට නෙමෙයි අනාගතයේදී අපේ සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන් අය විදිහට.

ගීතිකාව 57 සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

^ 5 ඡේ. අපි සේවයේ යන ප්‍රදේශයේ ඉන්න මිනිසුන් ගැන අපිට තියෙන ආකල්පය අපි එයාලට දේශනා කරන සහ උගන්වන විදිහට බලපාන්නේ කොහොමද? තමන්ට සවන් දුන්න අය ගැන යේසුස්ට සහ පාවුල්ට තිබුණේ මොන වගේ ආකල්පයක්ද? යේසුස් සහ පාවුල් සේවයේදී එයාලට හම්බ වුණ අයගේ විශ්වාසයන් ගැන, මිනිසුන් උනන්දු වුණ දේවල් ගැන සැලකිලිමත් වුණා. ඒ අය අනාගතේදී යේසුස්ගේ අනුගාමිකයන් වෙයි කියන අදහසිනුයි එයාලා ඒ අය දිහා බැලුවේ. ඒ දෙන්නාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

^ 17 ඡේ. මිනිසුන්ට වෙනස් වෙන්න පුළුවන් කියලා පෙන්නන හුඟක් අද්දැකීම් “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාවේ පළ වුණා. ඒ ලිපි මාලාව 2017 වෙන කල් ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණා. දැන් ඒ ලිපි පළ වෙන්නේ jw.org® වෙබ් අඩවියේ. අපි ගැන > අද්දැකීම් යටතේ බලන්න.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: යුවළක් ගෙයින් ගෙට සේවයේ හවුල් වෙද්දී මේ දේවල් නිරීක්ෂණය කරනවා. (1) මල් වවලා පිළිවෙළකට තියෙන නිවසක්. (2) දරුවන් ඉන්න පවුලක් ජීවත් වෙන නිවසක්. (3) ඇතුළත් පිටත් අපිළිවෙළට තියෙන නිවසක්. (4) ආගමට ළැදි අය ජීවත් වෙන නිවසක්. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙයි කියලා ඔයා හිතන්නේ කොයි ගෙදර ඉන්න අයද?