Skip to content

පටුනට යන්න

Georgette Douwma/Stone via Getty Images

පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?

සාගරය

සාගරය

සාගර සම්පත අපිට නැතුවම බැරි දෙයක්. අපේ කෑම බීම සහ බෙහෙත් හදන්න අවශ්‍ය හුඟක් අමුද්‍රව්‍ය අපිට ලැබෙන්නේ සාගරවලින්. වාතයේ තියෙන හානිකර කාබන් වායුව උරාගන්නත් සාගරවලට පුළුවන්. පෘථිවියේ කාලගුණය පාලනය වෙන්නෙත් සාගරවලින්. ඒ විතරක් නෙවෙයි ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්වලින් භාගයක්ම නිෂ්පාදනය වෙන්නේ සාගරවල.

සාගරයට තර්ජනයක්!

දේශගුණික විපර්යාස නිසා කොරල්පර, බෙල්ලන් සහ තවත් සාගර ජීවීන්ට එල්ල වෙලා තියෙන්නේ ලොකු තර්ජනයක්. විද්‍යාඥයන් කියන විදිහට අවුරුදු 30ක් යද්දී මුහුදු ජීවීන්ගෙන් 1/4කට විතර සෙවණක් වෙලා තියෙන ගල්පර හැම එකක්ම අවසන් හුස්ම හෙළන ලකුණු තියෙනවා.

සාගර විශේෂඥයන් ගණන් බලලා තියෙන විදිහට හැම අවුරුද්දකම ප්ලාස්ටික් ශරීරගත වෙන නිසා මුහුදු කුරුල්ලන්ගෙන් 90%ක් ඇතුළුව මුහුදු ජීවීන් මිලියන ගාණක් මිය යනවා.

2022දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙහෙම කිව්වා. “අපි මහා සාගරය අමතක කරලා වැඩ කරපු නිසා අද වෙද්දී මහා සාගරය අපිව අමතක කරලා. මේක භයානක තත්වයක්!”

තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!

සාගරය නිර්මාණය කරලා තියෙන්නේ කාලයත් එක්ක ඉබේම පිරිසිදු වෙන විදිහටයි. ඒත් මිනිස්සු සාගරය දූෂණය කරන වේගය නිසා ඒ දේ හරි විදිහට සිද්ධ වෙන්නේ නැහැ. “මුහුදේ කොටසක් මිනිස්සුන්ගෙන් වෙන් කරලා තිබ්බොත් සාගරය තමන්වම පිරිසිදු කරගෙන ආයෙත් පණගහලා එන විදිහ අපිට දකින්න පුළුවන්” කියලා එක පොතක කියනවා.—Regeneration: Ending the Climate Crisis in One Generation.

  • ගෝලීය උණුසුම වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි කාබන්ඩයොක්සයිඩ් වායුව. ඒත් සාගර ජලයේ මතුපිට ඉන්න ෆයිටොප්ලැන්ක්ටන් කියන පුංචි ජීවීන්ට පුළුවන් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ගබඩා කරගන්න. පෘථිවියේ තියෙන ගස්, තෘණ සහ ගොඩබිමේ තියෙන හැම ශාකයක්ම ගබඩා කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වගේම ප්‍රමාණයක් මේ පුංචි ජීවීන්ට ගබඩා කරගන්න පුළුවන්.

  • තවත් ක්ෂුද්‍ර ජීවීන් (Microbes) සාගරය දූෂණය කරන මැරුණු මාළුන්ගේ කොටස් ආහාරයට ගන්නවා. ඊටපස්සේ උන් වෙනත් සාගර ජීවීන්ගේ ආහාරයක් වෙනවා. “සාගර ජලය පිරිසිදුව වගේම කණ්ණාඩියක් වගේ පැහැදිලිව තියාගන්න උදව් වෙන්නේ මේ ක්‍රියාවලියයි” කියලා එක ප්‍රසිද්ධ විද්‍යා වෙබ් අඩවියක සඳහන් වෙනවා.—Smithsonian Institution Ocean Portal.

  • ගොඩක් සාගර ජීවීන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය වැඩ කරන විදිහ හරිම අපූරුයි. ඒවාට පුළුවන් කොරල්පර, බෙල්ලන් සහ අනෙකුත් ජීවීන්ට හානි කරන ආම්ලික සාගර ජලය සාමාන්‍ය සාගර ජලයට හරවන්න.

තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!

ආයේ ආයේ පාවිච්චි කරන්න පුළුවන් බෑග් සහ වතුර බෝතල් නිසා සාගරවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩු වෙනවා.

අපද්‍රව්‍ය සාගරයට දැම්මේ නැත්නම් පිරිසිදු කරන්න දේකුත් නැහැ. ඒ ප්‍රතිපත්තියට අනුව වැඩ කරන්න මිනිස්සුන්ව උනන්දු කරන විශේෂඥයන් කියන්නේ ප්ලාස්ටික් එක පාරක් පාවිච්චි කරලා අයින් කරනවා වෙනුවට ඒවා නැවත නැවත පාවිච්චි කරන්න කියලයි.

ඒත් ප්‍රශ්නේ එතනින් ඉවර නැහැ. මෑතකදී පාරිසරික සංවිධානයක් අවුරුද්දක් ඇතුළත රටවල් 112ක වඩදිය, බාදිය නිසා වෙරළේ රැඳෙන කුණු ටොන් 9,200ක් එකතු කළා. ඒත් හැම අවුරුද්දකම සාගරයට එකතු වෙන මුළු කුණු කසළ ප්‍රමාණයෙන් ඒ දාහෙන් එකක් විතරයි.

‘නැෂනල් ජියෝග්‍රැෆික්’ සඟරාවේ කියන විදිහට “මේ වෙද්දී ආම්ලිකකරණය නිසා සාගරවලට වෙලා තියෙන හානිය ආපස්සට ගන්න බැහැ.” පොසිල ඉන්ධන වටේ ගොඩනැඟිලා තියෙන ආර්ථිකය නිසා සාගරය හිතාගන්න බැරි විදිහට දූෂණය වෙනවා. “මුහුදු ජීවීන් සාගරය පිරිසිදුව තියාගන්න ලොකු සටනක යෙදුණත් ඒ සටන දිනන පාටක් නම් නැහැ.”

තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!

‘ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ වෙසෙන ජීවීන්ගේ ගණන අතිවිශාලය. ලොකු කුඩා ජීවීහු එහි සැරිසරති.’—ගීතාවලිය 104:24, 25.

තමන්වම පිරිසිදු කරගන්න පුළුවන් විදිහට සාගරය නිර්මාණය කරලා තියෙන විදිහ හරිම පුදුමාකාරයි. මේ ගැන හිතන්න: අපේ නිර්මාතෘ මහා සාගරයේ ජීවත් වෙන ලොකු කුඩා හැම ජීවියෙක්වම හැදුවා නම් සාගරවලට වෙලා තියෙන හානියත් ආපස්සට හරවන්න ඔහුට බැරිද? 15වෙනි පිටුවේ තියෙන “පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!” කියන ලිපිය බලන්න.