Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 3

ඔයාව සාර්ථක කරන්නේ යෙහෝවා දෙවියන්

ඔයාව සාර්ථක කරන්නේ යෙහෝවා දෙවියන්

‘යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා ඔහු කළ සියල්ල යෙහෝවා දෙවි සාර්ථක වීමට සැලැස්වූවා.’​—උත්. 39:​2, 3.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

මේ ලිපියෙන් a

1-2. (අ) ප්‍රශ්න එන එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

 ප්‍රශ්න එද්දී අපි පුදුම වෙන්නේ නැහැ. මොකද බයිබලේ කියනවා “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි” කියලා. (ක්‍රියා 14:22) ඒත් සමහර ප්‍රශ්න දේවරාජ්‍යය එන කල්ම නැති වෙන්නේ නැහැ. මොකද එදාට තමයි ‘මරණය, වැලපීම, හැඬීම, වේදනාව’ නැත්තටම නැති වෙන්නේ.​—එළි. 21:4.

2 යෙහෝවා දෙවියන් අපි වටේ වැටක් බැඳලා පීඩා එන එක නවත්තන්නේ නැහැ. ඒත් ඒවා දරාගන්න ඔහු අපිට ශක්තිය දෙනවා. පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට ලියද්දී එයා ඇතුළු අනිත් හැමෝම මුහුණ දෙන පීඩා ලැයිස්තුවක් ගැන කිව්වා. හැබැයි ඊටපස්සේ එයා කිව්වා මොනවා වුණත් “අපට ප්‍රේම කළ තැනැත්තා මාර්ගයෙන් අපට සම්පූර්ණ ජයක් ලැබෙන බව නිසැකයි” කියලා. (රෝම 8:35-37) ඒකෙන් පැහැදිලියි අපි ප්‍රශ්නයක් මැද ඉද්දී වුණත් අපිව සාර්ථක කරවන්න යෙහෝවාට පුළුවන් කියලා. දැන් අපි දෙවියන් යෝසෙප්ට සාර්ථක වෙන්න උදව් කරපු විදිහ බලමු. ඒ වගේම ඔහු අපිට උදව් කරන විදිහත් බලමු.

ජීවිතේ එකපාරටම උඩු යටිකුරු වෙද්දී

3. යෝසෙප්ගේ ජීවිතේ එකපාරටම වෙනස් වුණේ කොහොමද?

3 යාකොබ් එයාගේ අනිත් හැම පුතෙක්ටම වඩා යෝසෙප්ට ආදරේ කළා. ඒ විතරක් නෙවෙයි එයා ඒක හැමෝම ඉස්සරහා පෙන්නුවා. (උත්. 37:3, 4) ඒ නිසා යෝසෙප්ගේ අයියලා යෝසෙප්ට ගොඩක් ඊර්ෂ්‍යා කළා. ඉතින් අවස්ථාවක් හම්බ වුණ ගමන්ම එයාලා යෝසෙප්ව මිදියන් ජාතික වෙළෙන්දන්ට වික්කා. ඒ වෙළෙන්දෝ එයාව කිලෝමීටර් සිය ගාණක් ඈතින් තිබුණ ඊජිප්තුවට ගෙනියලා එහෙදී එයාව වික්කා. මේ සැරේ එයාව ගත්තේ පාරාවෝගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වන පොතිෆර්. තාත්තාගේ තුරුලේ හිටපු යෝසෙප් දැන් කාත් කවුරුත් නැති නිකම්ම නිකම් වහලෙක්.​—උත්. 39:1.

4. අපි මුහුණ දෙන්නේ මොන අභියෝගවලටද?

4 “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” හැමෝටම සිද්ධ වෙනවා. (දේශ. 9:11) සමහර වෙලාවට අපි මුහුණ දෙන්නෙත් ‘අනිත් හැමෝම’ මුහුණ දෙන දේවලටමයි. (1 කොරි. 10:13) ඒ වගේම යේසුස්ගේ අනුගාමිකයන් නිසාත් අපි මිනිස්සුන්ගේ නින්දා, අපහාස, විරුද්ධවාදිකම් වගේ දේවලට මුහුණ දෙනවා. (2 තිමෝ. 3:12) හැබැයි ඒ මොනවා වුණත් ඔයාව සාර්ථක කරවන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. අපි මුලින්ම බලමු දෙවියන් යෝසෙප්ව සාර්ථක කරපු විදිහ.

යෝසෙප්ව වහලෙක් විදිහට පොතිෆර්ට විකුණුවත් යෙහෝවා දෙවියන් එයාව සාර්ථක කළා (5 ඡේදය බලන්න)

5. පොතිෆර් යෝසෙප් ගැන තේරුම්ගත්තේ මොනවාද? (උත්පත්ති 39:2-6)

5 උත්පත්ති 39:2-6 කියවන්න. යෝසෙප් මහන්සි වෙලා වැඩ කරන දක්ෂ කෙනෙක් කියලා පොතිෆර් දැක්කා. මොකද යෝසෙප් කරන කරන වැඩේ සාර්ථක වුණා. බයිබලේ කියනවා “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය යෝසෙප්ට තිබූ බවත් ඔහු කළ සියල්ල යෙහෝවා දෙවි සාර්ථක වීමට සැලැස්වූ බවත් ඔහුගේ ස්වාමියාට පෙනී ගියේය” කියලා. b ඔව්, යෙහෝවාගේ ආශීර්වාදය යෝසෙප්ට තියෙනවා කියලා පොතිෆර් තේරුම්ගත්තා. ඒ නිසා කාලයක් යද්දී පොතිෆර් එයාගේ ළඟින්ම ඉන්න සේවකයා විදිහට යෝසෙප්ව පත් කළා. ඊටපස්සේ එයාට අයිති හැම දෙයක්ම බලා කියා ගන්නත් යෝසෙප්ට පැවරුවා. මොකක්ද ප්‍රතිඵලය? බලන් ඉද්දී පොතිෆර් දියුණු වුණා.

6. මුහුණ දුන්න දේවල් ගැන යෝසෙප්ට හැඟෙන්න ඇත්තේ කොහොමද?

6 අපි දැන් මේක දිහා යෝසෙප්ගේ පැත්තෙන් බලමු. ඇත්තටම එයාට ඕනෙ වුණේ මහන්සි වෙලා ස්වාමියාගේ හිත දිනාගන්නද? තෑගිබෝග, තනතුරු ලබාගන්නද? නැහැ නේද? ගොඩක් වෙලාවට යෝසෙප්ට ඕනෙ වුණේ එතනින් නිදහස් වෙලා පුළුවන් තරම් ඉක්මනට තාත්තා ගාවට යන්න. මොකද මොන ප්‍රශංසාව, මොන තනතුර ලැබුණත් එයා තාමත් වෙන දෙවිවරුන්ව අදහන ස්වාමියෙක්ගේ යටතේ ඉන්න නිකම්ම දාසයෙක් විතරයි. ඒත් යෝසෙප් හිතපු දේ වුණේ නැහැ. දෙවියන් පොතිෆර්ගේ හිත පෙලඹුවේ නැහැ එයාව නිදහස් කරන්න. නිදහස කෝක වෙතත් යෝසෙප්ට වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්.

තත්වය තවත් දරුණු අතට හැරෙද්දී

7. යෝසෙප් මුහුණ දුන්න දේවල් තවත් දරුණු අතට හැරුණේ කොහොමද? (උත්පත්ති 39:14, 15)

7 උත්පත්ති 39වෙනි පරිච්ඡේදයේ කියනවා පොතිෆර්ගේ බිරිඳට යෝසෙප් ගැන ආසාවක් ඇති වුණා කියලා. එයා යෝසෙප් එක්ක අනාචාරයේ යෙදෙන්න කීපවතාවක්ම උත්සාහ කළා. හැබැයි ඒ හැම වතාවෙම යෝසෙප් එයාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එයාට හොඳටම කේන්ති ගිහින් යෝසෙප් එයාව දූෂණය කරන්න හැදුවා කියලා චෝදනා කළා. (උත්පත්ති 39:14, 15 කියවන්න.) ඒක අහපු පොතිෆර්ට හුඟක් කේන්ති ගිහින් යෝසෙප්ව හිරේ දැම්මා. ඉතින් අවුරුදු ගාණක්ම යෝසෙප් හිටියේ හිරේ. (උත්. 39:19, 20) ඒක මොන වගේ හිරගෙයක්ද? “හිරගෙය” කියන්න යෝසෙප් පාවිච්චි කරපු හෙබ්‍රෙව් වචනෙට “ළිඳ” නැත්නම් “ගැඹුරු වළ” කියන අදහසුත් ඇතුළත්. (උත්. 40:15) ඒ වගේ අඳුරු තැනක ඉන්න කෙනෙක්ට කිසිම බලාපොරොත්තුවක් නැති ලොකු අසරණකමක් දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බයිබලේ කියනවා එයාගේ පාදවලට විලංගු දාලා එයාව යදම්වලින් හිර කරලා තිබුණා කියලා. (ගීතා. 105:17, 18) පොතිෆර්ගේ ගෙදර හැමෝගෙම විශ්වාසය දිනාගෙන හිටපු යෝසෙප් දැන් කිසි දෙයක් කරගන්න බැරි අසරණ හිරකාරයෙක්. ඔව්, යෝසෙප් හිටියටත් වඩා පහතට ඇදන් වැටුණා.

8. ප්‍රශ්න තවත් දරුණු අතට හැරුණත් අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද?

8 කොච්චර යාච්ඤා කළත් ප්‍රශ්න විසඳෙනවා වෙනුවට ඒවා තවත් වැඩි වෙනවා කියලා ඔයාට දැනිලා තියෙනවාද? මොකද සාතන්ගේ ලෝකෙන් එන හැම පීඩාවකින්ම යෙහෝවා දෙවියන් අපිව බේරගන්නේ නැහැ. (1 යොහ. 5:19) ඒත් ඔයාට එක දෙයක් ගැන සහතික වෙන්න පුළුවන්. යෙහෝවා ඔයා ගැන ගොඩක් සැලකිලිමත්. ඔයාට වෙන හැම දේ ගැනම ඔහු හොඳ අවධානෙන් ඉන්නේ. (මතෙ. 10:29-31; 1 පේතෘ. 5:6, 7) ඔහු පොරොන්දු වෙනවා “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා. (හෙබ්‍රෙ. 13:5) පේන තෙක් මානෙක ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා හිතුණත් ඒක දරාගන්න ඔහු ඔයාට උදව් කරයි. ඒක කොච්චර ඇත්තද කියලා යෝසෙප්ගේ ජීවිතෙන් පැහැදිලි වෙනවා.

යෝසෙප් හිරේ හිටපු කාලේදීත් දෙවියන් එයා ළඟින්ම හිටියා. ඒ නිසා අනිත් හිරකරුවන්ව බලාගන්න වගකීම යෝසෙප්ට ලැබුණා (9 ඡේදය බලන්න)

9. හිරේ හිටපු කාලේ පුරාම යෙහෝවා දෙවියන් යෝසෙප් එක්ක හිටියා කියලා අපි දන්නේ කොහොමද? (උත්පත්ති 39:21-23)

9 උත්පත්ති 39:21-23 කියවන්න. ඒ අඳුරු කාලේ පුරාම දෙවියන් නම් යෝසෙප්ව අත්හැරියේ නැහැ. ඔහු යෝසෙප් කරපු හැම දේම සාර්ථක වෙන්න සැලැස්සුවා. ඒ කොහොමද? කාලෙත් එක්කම යෝසෙප් පොතිෆර්ගේ හිත දිනාගත්තා වගේ හිරගෙදර ප්‍රධානියාගේ හිතත් දිනාගත්තා. ඒ නිසා වැඩි කල් යන්න කලින් එයා අනිත් හිරකරුවන්ව බලාගන්න යෝසෙප්ව පත් කළා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. ‘සිරගෙයි සෑම කටයුත්තක්ම මෙහෙයවනු ලැබුවේත් යෝසෙප් විසින්ය. ඒ නිසා සිරගෙයි ප්‍රධානියා තමා යටතේ තිබූ කිසිම දෙයක් ගැන සොයා බැලුවේ නැත.’ වෙච්ච දේවල් ගැන දුක් වෙවී ඉන්න දැන් යෝසෙප්ට කාලේ නැහැ. මොකද දැන් එයාට වැඩ කන්දරාවක් තියෙනවා. හැබැයි යෝසෙප්ට වෙච්ච දේවල් නම් හරිම අසාමාන්‍යයි. මොකද යෝසෙප් කියන්නේ ඉහළ පෙළේ නිලධාරියෙක්ගේ බිරිඳව දූෂණය කරන්න හැදුවා කියන චෝදනාව ලබපු කෙනෙක්. ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරලා මෙච්චර වගකීම් දෙන්නේ කොහොමද? ඒකට තියෙන්නේ එකම එක උත්තරයයි. ඒ උත්තරේ උත්පත්ති 39:23 තියෙනවා. ‘යෙහෝවා දෙවි යෝසෙප්ට ආශීර්වාද කළා. ඔහු යෝසෙප් කළ සියල්ල සාර්ථක වෙන්න සැලැස්සුවා.’

10. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී තමන් හැම වෙලේම සාර්ථකයි කියලා යෝසෙප්ට නම් දැනෙන්න නැතුව ඇති. එහෙම කියන්නේ ඇයි?

10 දැන් අපි ආයෙත් මේක දිහා යෝසෙප්ගේ පැත්තෙන් බලමු. එයා මේ හිරදඬුවම විඳින්නේ කිසිම වරදක් නොකර. එහෙම වෙද්දී ජීවිතේ හැම දේම සාර්ථකයි කියලා යෝසෙප්ට හිතෙයිද? නැහැ නේද? ඇත්තටම යෝසෙප්ට ඕනෙ වුණේ හිරගෙයි ප්‍රධානියාගේ හිත දිනාගන්නද? නැහැ. එයාට ඕනෙ වුණේ බොරු චෝදනාවෙන් නිදහස් වෙලා ඒ අඳුරු වළෙන් එළියට එන්න. ඒ නිසයි එයා තව හිරකාරයෙක්ගෙනුත් ඉල්ලුවේ පාරාවෝට කියලා එයාව නිදහස් කරන්න කියලා. (උත්. 40:14) හැබැයි ඒ කෙනාට යෝසෙප් කියපු දේ අමතක වුණා. ඒ නිසා තව අවුරුදු දෙකක්ම යෝසෙප්ට හිරේ ඉන්න වුණා. (උත්. 40:23; 41:1, 14) ඒ මොන දේ වුණත් දෙවියන් දිගටම යෝසෙප්ට සාර්ථක වෙන්න උදව් කළා.

11. යෙහෝවා දෙවියන් යෝසෙප්ට දුන්න විශේෂ හැකියාව මොකක්ද? දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඒක උදව් වුණේ කොහොමද?

11 යෝසෙප් හිරේ හිටපු කාලේ යෙහෝවා දෙවියන් පාරාවෝට අමුතු හීන දෙකක් පේන්න සැලැස්සුවා. එයාට ඕනෙ වුණේ පුළුවන් තරම් ඉක්මන්ට ඒ හීනවල තේරුම් දැනගන්න. යෝසෙප්ට හීන තෝරන්න පුළුවන් කියලා දැනගත්තාම රජ යෝසෙප්ව කැඳෙව්වා. ඒ වෙලාවේ දෙවියන්ගේ උදව්වෙන් යෝසෙප් ඒවා තෝරලා දුන්නා. ඒ වගේම දේශයේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැනත් යෝසෙප් කිව්වා. ඒක අහලා පාරාවෝට යෝසෙප් ගැන පැහැදීමක් ඇති වුණා. යෝසෙප් එක්ක යෙහෝවා දෙවියන් ඉන්නවා කියලා තේරුම්ගත්ත පාරාවෝ මුළු ඊජිප්තුවම බලාගන්න, දේශයේ තිබුණ ආහාර රැස් කරන්න යෝසෙප්ව පත් කළා. (උත්. 41:38, 41-44) ටික කාලෙකට පස්සේ දරුණු සාගතයක් ආවා. ඒක ඊජිප්තුවට විතරක් නෙවෙයි යෝසෙප්ගේ පවුලේ අය හිටපු කානාන් දේශයටත් බලපෑවා. අන්තිමේදී යෝසෙප්ට පුළුවන් වුණා එයාගේ පවුලේ අයගේ ජීවිතත් බේරගන්න. ඒ නිසා තමයි ගැලවුම්කරු එන පෙළපතත් ආරක්ෂා වුණේ.

12. යෙහෝවා දෙවියන් යෝසෙප්ට සාර්ථක වෙන්න සැලැස්සුවේ මොන විදිවලින්ද?

12 යෝසෙප් පහු කරගෙන ආපු ජීවිතේ දිහා පොඩ්ඩක් නැවතිලා බලන්න. නිකම්ම නිකම් දාසයෙක් වෙලා හිටපු යෝසෙප්ට විශේෂ තනතුරක් දෙන්න පොතිෆර්ව පෙලඹෙව්වේ කවුද? හැමෝගෙම අවමානයට ලක් වුණ මේ හිරකරුවාව මුළු හිරගේම බලාගන්න කෙනා විදිහට පත් කරන්න හිරගෙදර ප්‍රධානියාව පෙලඹෙව්වේ කවුද? පාරාවෝට අමුතු හීන දකින්න සැලැස්සුවේ කවුද? ඒවා තෝරලා දෙන්න යෝසෙප්ට හැකියාව දුන්නේ කවුද? යෝසෙප්ව මුළු ඊජිප්තුවම බලාගන්න කෙනා විදිහට පත් කරන්න පාරාවෝව පෙලඹෙව්වේ කවුද? (උත්. 45:5) ඒ වෙන කවුරුත් නෙවෙයි යෙහෝවා දෙවියන්. ඔහු තමයි යෝසෙප් කරන කරන දේ සාර්ථක කළේ. අන්තිමේදී යෝසෙප්ගේ අයියලා හිතක් පපුවක් නැතුව කරපු දුෂ්ටකම යෙහෝවා දෙවියන් ආශීර්වාදයකට හැරෙව්වා. ඒකෙන් ඔහු තමන්ගේ අරමුණ ඉටු වෙන්න සැලැස්සුවා.

යෙහෝවා ඔයාවත් සාර්ථක කරයි!

13. අපේ ජීවිතේ හැම දේකටම යෙහෝවා මැදිහත් වෙනවාද? පැහැදිලි කරන්න.

13 යෝසෙප්ගේ ජීවිතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? යෙහෝවා දෙවියන් අපේ ජීවිතේ වෙන හැම දේකටම මැදිහත් වෙලා සිද්ධ වෙන දේවල් පාලනය කරනවාද? අපිට වෙන හැම නරක දෙයක්ම ආශීර්වාදයකට පෙරළනවාද? නැහැ. බයිබලේ ඒ වගේ දෙයක් නම් කියන්නේ නැහැ. (දේශ. 8:9; 9:11) හැබැයි අපි එක දෙයක් දන්නවා. අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක් ගැනම යෙහෝවා හොඳ අවධානෙන් ඉන්නේ. අපි උදව් ඉල්ලද්දී ඔහු කවදාවත් ඇස් කන් පියාගෙන ඉන්නේ නැහැ. (ගීතා. 34:15; 55:22; යෙසා. 59:1) ඒ හැම දේටම වඩා අපි මුහුණ දෙන ඕනෙම පීඩාවක් සාර්ථකව විඳදරාගන්න අපිට උදව් කරන්න ඔහුට පුළුවන්. ඒ කොහොමද?

14. ප්‍රශ්න මැද ඉද්දී යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

14 ගොඩක් වෙලාවට අපිට ඕනම වෙලාවේ ඕනම කරන සහනය, දිරිගැන්වීම යෙහෝවා අපිට දෙනවා. (2 කොරි. 1:3, 4) තුර්ක්මෙනිස්ථානයේ ඉන්න සහෝදර ආසීස් ඒක අද්දැක්කා. විශ්වාසය නිසා එයා අවුරුදු දෙකකට හිරේ ගියා. එයා මෙහෙම කියනවා. “මගේ නඩුව තිබ්බ දවසේ උදෙන්ම සහෝදරයෙක් මට යෙසායා 30:15 පෙන්නුවා. එතන දෙවියන් කියනවා ‘කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය’ කියලා. එදා විතරක් නෙවෙයි හිරේ හිටපු අවුරුදු දෙක පුරාම මං ඒ බයිබල් පදේ ගැන හිතුවා. මොන දේ වුණත් සන්සුන්ව යෙහෝවා මත රඳා ඉන්න ඒක මට ලොකු හයියක් වුණා.” ගොඩක් අසරණ වෙලා හිටපු වෙලාවක දෙවියන් ඔයා ළඟටත් ඇවිත් ඔයාව සනසපු විදිහ, ඔයාට හයියක් වුණ විදිහ මතක් වෙනවාද?

15-16. ටෝරිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 ජීවිතේ දිහා හැරිලා බලද්දී යෙහෝවා අපිටත් උදව් කරපු අවස්ථා ඕන තරම් ඇති. සමහරවිට අපිට ඔහු උදව් කළා කියලා තේරෙන්නේ ප්‍රශ්නේ ඉවර වුණාට පස්සේ. සහෝදරි ටෝරිගේ අද්දැකීමත් ඒකමයි. එයාගේ පුතා මේසන් දරුණු පිළිකාවක් නිසා අවුරුදු හයක් තිස්සේ දුක් විඳලා මැරුණා. ඒක දරාගන්න ටෝරිට ගොඩක් අමාරු වුණා. බලන්න ඒ ගැන එයා කියන දේ. “තමන්ගේ ඇස් ඉස්සරහම දරුවෙක් පණ අදිනවා දකින එක තරම් වේදනාවක් අම්මා කෙනෙක්ට තවත් නැහැ. ඒ වගේ වෙලාවට ඕනෙම අම්මා කෙනෙක්ට හිතෙනවා ‘අනේ, දරුවාට මෙහෙම නොවී මට වුණා නම්’ කියලා.”

16 පුතා වේදනා විඳින විදිහ දැකලා ටෝරි මානසිකව ඇද වැටුණත් පස්සේ එයාට තේරුණා යෙහෝවා දෙවියන් ඒ කාලේ පුරාම එයාව කොච්චර ශක්තිමත් කළාද කියලා. එයා මෙහෙම කියනවා. “ඒ වේදනාව දරාගන්න යෙහෝවා උදව් කරපු විදිහ දැන් තමයි තේරෙන්නේ. පුතා ඉස්පිරිතාලේ ඉද්දී ගොඩක් සහෝදරයෝ එයාව බලන්න ආවා. පුතාව බලන්න ලැබුණේ නැතත් සමහරු පැය දෙකක් තිස්සේ වාහනේ එළවගෙන ඉස්පිරිතාලෙට ආවා. ඒ කාලේ කොයි වෙලෙත් අමුත්තන්ගේ කාමරේ කවුරු හරි සහෝදරයෙක් ඉන්නවා. එයාලා අපි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි. සහෝදරයෝ අපිව සැනසුවා විතරක් නෙවෙයි අපිට ඕනෙ කරන දේවලුත් ගෙනත් දුන්නා. අපි ජීවිතේ මොන අමාරුකම්වලට මුහුණ දුන්නත් යෙහෝවා මොන විදිහකින් හරි අපිව බලාගන්නවා.” මේසන්ට වගේම ටෝරිටත් ඒ ප්‍රශ්නේ විඳදරාගන්න දෙවියන් අවශ්‍ය ශක්තිය දීලා එයාලව ඉසිලුවා.​—“ අපිට ඕනම කරන දේ යෙහෝවා දුන්නා” කියන කොටුව බලන්න.

ආශීර්වාද අමතක කරන්න එපා!

17-18. ප්‍රශ්න මැද්දේ ඉද්දී දෙවියන් උදව් කරන විදිහ තේරුම්ගන්න, ඒවා අගය කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (ගීතාවලිය 40:⁠5)

17 ගීතාවලිය 40:5 කියවන්න. කන්දක් නඟින කෙනෙක්ගේ අරමුණ තමයි කොහොමහරි කන්ද මුදුනට යන එක. හැබැයි කන්ද නඟින අතරේ එයාට අවස්ථාව ලැබෙනවා පොඩ්ඩක් නැවතිලා අවට පරිසරයේ සුන්දරත්වය රස විඳින්න. අපි හැමෝමත් ප්‍රශ්න කියන කන්ද තරණය කරන අය. අපේ ඉලක්කයත් කොහොමහරි කරලා ඒ ප්‍රශ්නවලින් ජය ගන්න එක. මේ කන්ද නඟින ගමන් අපිටත් පුළුවන් පොඩ්ඩක් නැවතිලා දෙවියන් මේ ප්‍රශ්නේ මැද වුණත් අපිව සාර්ථක කරලා තියෙන විදිහ ගැන හිතන්න. ‘අද දවසේ යෙහෝවාගේ ආශීර්වාදය මං දැක්කේ මොන පැතිවලින්ද? මේ ප්‍රශ්නේ තාමත් ඉවර වෙලා නැතත් මේක දරාගන්න ඔහු මට උදව් කරලා තියෙන්නේ කොහොමද?’ ඒ විදිහට අපි හැම දවසකම අපිව සාර්ථක කරන්න දෙවියන් අපි වෙනුවෙන් කරපු එක දෙයක් ගැනවත් හිතමු.

18 ඔයා මුහුණ දෙන ප්‍රශ්නේ ඉක්මනටම ඔයාගෙන් අයින් කරලා දෙන්න කියලා ඔයා යාච්ඤා කරනවා ඇති. එහෙම ඉල්ලන එකේ කිසිම වරදක් නැහැ. අපි අපේ ප්‍රශ්න ගැනත් යාච්ඤා කරන්න ඕනේ. (ෆිලි. 4:⁠6) හැබැයි ප්‍රශ්න තියෙද්දී වුණත් යෙහෝවා දෙවියන් අපිට ආශීර්වාද කරලා තියෙන විදිහ දිහා බලන්න අමතක කරන්න එපා. මොකද ඔහු පොරොන්දු වෙනවා මොන දේ සිද්ධ වුණත් ඒක දරාගන්න ඕනෙ කරන ශක්තිය අපිට දෙනවා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් මැද ඉද්දී වුණත් යෙහෝවා ඔයා වෙනුවෙන් කරන දේවල් කවදාවත් අඩු තක්සේරු කරන්න එපා. ඔයා ප්‍රශ්නෙක අතරමං වෙලා හිටියත් යෝසෙප්ව වගේම ඔයාවත් සාර්ථක කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්.​—උත්. 41:51, 52.

ගීතිකාව 32 යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

a ප්‍රශ්නයක් මැද්දේ අමාරුවෙන් අඩිය තියතිය යද්දී අපි කාටවත් හිතෙන්නේ නැහැ අපි සාර්ථකයි කියලා. මොකද සාර්ථක වෙන්න නම් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න ඕනෙ කියලයි අපිට හිතෙන්නේ. ඒත් යෝසෙප්ගේ ජීවිතේ දිහා බලද්දී අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අපි ප්‍රශ්න මැද ඉද්දී වුණත් යෙහෝවා දෙවියන්ට පුළුවන් අපිව සාර්ථක කරවන්න කියන එක. ඒ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

b වහලෙක් විදිහට යෝසෙප් මුහුණ දුන්න හැම වෙනස්කමක්ම පද දෙක තුනකින් බයිබලේ වාර්තා කරලා තිබුණත් ඒ දේවල් වෙන්න අවුරුදු ගාණක් යන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.