Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 1

‘දෙවියන්ගේ වදන් සත්‍යයි’ කියලා ඔයාට විශ්වාසද?

‘දෙවියන්ගේ වදන් සත්‍යයි’ කියලා ඔයාට විශ්වාසද?

2023 වාර්ෂික පදය: “ඔබේ වදන් සත්‍යය.”—ගීතා. 119:160.

ගීතිකාව 96 දෙවිගේ ලියවිල්ල නිධානයකි

මේ ලිපියෙන් a

1. හුඟක් අය බයිබලේ විශ්වාස කරන්නේ නැත්තේ ඇයි?

 අද හුඟක් අය අනිත් අය දිහා බලන්නේ සැකෙන්. කාව විශ්වාස කරන්නද කියලා එයාලට හිතාගන්න බැහැ. සමාජයේ යම් පිළිගැනීමක් තියෙන දේශපාලඥයන්, විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් වගේ අයත් හැම දේම කරන්නේ එයාලගෙම වාසියටද කියලා මිනිස්සු සැක කරනවා. මිනිස්සුන්ට ක්‍රිස්තියානි ආගමික නායකයන් ගැන තියෙන විශ්වාසයත් බින්දුවටම බැහැලා. ඉතින් ඒ නායකයන්ගේ අතේ තියෙන බයිබලේ ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති එක අහන්නත් දෙයක්ද!

2. ගීතාවලිය 119:160 කියන විදිහට අපිට විශ්වාස මොනවා ගැනද?

2 යෙහෝවා කියන්නේ “සත්‍යතාවේ දෙවි” කියලා දෙවියන්ගේ සෙනඟට නම් කිසිම සැකයක් නැහැ. (ගීතා. 31:5) අපි දන්නවා ඔහුට ඕනෙ අපි වෙනුවෙන් හොඳම දේ දෙන්න කියලා. (යෙසා. 48:17) ඒ විතරක් නෙවෙයි බයිබලේ තියෙන ‘දෙවියන්ගේ වදන් සත්‍යය’ කියලත් අපිට ඉර හඳ වගේ විශ්වාසයි. (ගීතාවලිය 119:160 කියවන්න.) ඒ නිසයි බයිබල් විශාරදයෙක් කියපු මේ අදහසට අපිත් එකඟ වෙන්නේ. “දෙවියන් කියන දේවල්වල බොරුව ගෑවිලාවත් නැහැ. ඔහු කියපු දෙයක් නිෂ්ඵල වෙන්නෙත් නැහැ. දෙවියන්ගේ සෙනඟට ඔහු ගැන විශ්වාස නිසා ඔහු කියන දේවල් ගැනත් සීයට සීයක් විශ්වාසයි.”

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 බයිබලේ ගැන අපිට තියෙන විශ්වාසයම තව කෙනෙක්ගේ හිතේ ඇති කරන්නේ කොහොමද? ඇත්තටම අපිට බයිබලේ විශ්වාස කරන්න පුළුවන් ඇයි? හේතු තුනක් අපි බලමු. (1) බයිබලේ නිවැරදිභාවය. (2) අනාවැකිවල ඉටු වීම. (3) ජීවිත වෙනස් කරන්න බයිබලේට තියෙන හැකියාව.

පණිවිඩය නිවැරදියි

4. සමහරු බයිබලේ සැක කරන්නේ ඇයි?

4 යෙහෝවා දෙවියන් බයිබලේ ලියන්න මිනිස්සු 40දෙනෙක්ව විතර පාවිච්චි කළා. හැබැයි එයාලා ලියපු මුල් පිටපත් අද වෙද්දී විනාශ වෙලා. ඒ වෙනුවට අද අපිට කියවන්න තියෙන්නේ පිටපත්වලිනුත් පිටපත් කරපු ඒවා. ඒ නිසා හුඟක් අය සැක කරනවා දැන් තියෙන බයිබල්වලත් තියෙන්නේ මුල් අත්පිටපත්වල තිබුණ අදහස්මද කියලා. ඒ ගැන හරියටම දැනගන්න අපිට පුළුවන් කොහොමද?

දක්ෂ පිටපත්කරුවන් හෙබ්‍රෙව් ලියවිලි පිටපත් කළේ හරිම පරෙස්සමෙන්. මොකද දෙවියන්ගේ පණිවිඩය දශමයකින්වත් වෙනස් වෙනවාට එයාලා කැමති වුණේ නැහැ (5 ඡේදය බලන්න)

5. හෙබ්‍රෙව් ලියවිලි පිටපත් වුණේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

5 දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩය පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරන්න ඕන නිසා දෙවියන් කිව්වා ඒවා පිටපත් කරන්න කියලා. උදාහරණෙකට තමන්ටම නීතියේ පිටපතක් හදාගන්න කියලා යෙහෝවා ඊශ්‍රායෙල් රජවරුන්ට අණ කළා. ඒ වගේම නීතියේ තියෙන දේවල් සෙනඟට උගන්වන්න ලෙවීවරුන්වත් පත් කළා. (ද්වි. 17:18; 31:24-26; නෙහෙ. 8:7) යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ ඒ කාලේ හිටපු දක්ෂ පිටපත්කරුවන් හෙබ්‍රෙව් ලියවිලිවල අත්පිටපත් ගොඩක් හැදුවා. (එස්රා 7:6) හැබැයි ඒක කළේ ගොඩක් පරෙස්සමෙන්. එයාලා දෙවියන්ගේ වචනය පිටපත් කළාට පස්සේ ඒක නිවැරදිව පිටපත් වෙලාද කියලා බලන්න වචන ගාණ විතරක් නෙවෙයි ඒකේ තියෙන අකුරු ගාණත් එකින් එක ගණන් කළා. හැබැයි කොච්චර කළත් ඕනම කෙනෙක් අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන් නිසා එයාලා අතිනුත් සුළු සුළු අඩුපාඩුකම් වෙලා තියෙනවා. ඒත් අත්පිටපත් ගොඩක් තිබුණ නිසා වැරදුණ තැන් මොනවාද කියලා අඳුරගන්න පස්සේ කාලෙකදී පුළුවන් වුණා. ඒ කොහොමද?

6. අත්පිටපත්වල තිබුණ වැරදි අඳුරගන්න පුළුවන් වුණේ කොහොමද?

6 අත්පිටපත්වල වැරදුණ තැන් අඳුරගන්න මෑත කාලේ විද්වතුන් හොඳ ක්‍රමයක් හොයාගත්තා. උදාහරණෙකට මෙහෙම හිතන්න. පිටපත්කරුවන් 100දෙනෙක්ට පොතක එක පිටුවක් එයාලගෙම අත් අකුරෙන් පිටපත් කරන්න දෙනවා. ඔහොම පිටපත් කරද්දී එක් කෙනෙක්ගේ අතින් වැරැද්දක් වෙනවා. ඒත් ඒක අනිත් පිටපත් 99ත් එක්ක සන්සන්දනය කළොත් ඒ වැරැද්ද මොකද්ද කියලා අඳුරගන්න පුළුවන්. ඒක කරන්න මුල්ම ලියවිල්ල තියෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම දෙයක් තමයි විශාරදයන් හෙබ්‍රෙව් ලියවිලිවලටත් කළේ. අනිත් අත්පිටපත් එක්ක සන්සන්දනය කරපු නිසා මඟහැරිලා තියෙන තැන්, වැරදිලා තියෙන තැන් හරිම ලේසියෙන් අඳුරගන්න පුළුවන් වුණා.

7. පිටපත්කරුවන් ලියවිලි නිවැරදිව පිටපත් කරන්න මොන වගේ උත්සාහයක් ගත්තාද?

7 බයිබලේ පිටපත් කරපු අය ලියවිලි නිවැරදිව පිටපත් කරන්න ගොඩක් දහඩිය මහන්සිය හෙළුවා. ඒක තේරුම්ගන්න අපි උදාහරණයක් බලමු. හෙබ්‍රෙව් ලියවිලිවල පැරණිම අත්පිටපත් විදිහට සැලකුවේ ලෙනින්ග්‍රෑඩ් ලියවිලි. ඒ ලියවිලි ක්‍රි.ව. 1008ට නැත්නම් 1009ට අයිති ඒවා. පස්සේ කාලෙක තවත් ගොඩක් බයිබල් අත්පිටපත් සහ ඒවාවල කොටස් හොයාගත්තා. ඒවා ලෙනින්ග්‍රෑඩ් ලියවිලිවලටත් වඩා අවුරුදු 1,000ක් විතර පරණයි. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒවා අවුරුදු 1,000ක් තිස්සේ පිටපත් වෙවී ආපු නිසා ලෙනින්ග්‍රෑඩ් ලියවිලි සහ ඒ ලියවිලි අතර ලොකු වෙනසක් තියෙන්න ඇති කියලා. ඒත් වුණේ ඒක නෙවෙයි. විශාරදයන් මෙහෙම කියනවා. “ලෙනින්ග්‍රෑඩ් ලියවිල්ලයි, ඊට අවුරුදු 1,000ක් විතර පැරණි අත්පිටපතුයි සන්සන්දනය කරද්දී සමහර දේවල් කියලා තියෙන විදිහේ සුළු සුළු වෙනස්කම් තිබුණා, හැබැයි බයිබලේ තියෙන පණිවිඩයට අංශු මාත්‍රයකවත් හානියක් වෙලා නැහැ.”

8. බයිබලේ ග්‍රීක ලියවිලිවල අත්පිටපත් සහ වෙනත් පැරණි පොත්වල අත්පිටපත් අතර තියෙන වෙනස මොකක්ද?

8 ග්‍රීක ලියවිලි පිටපත් කරපු අයත් හෙබ්‍රෙව් ලියවිලි පිටපත් කරපු අය වගේම නිවැරදිව ග්‍රීක ලියවිල්ලේ තියෙන පොත් 27ම පිටපත් කළා. ඒ පිටපත් තමයි එයාලා රැස්වීම්වලදී, සේවේදී පාවිච්චි කළේ. බයිබලේ ග්‍රීක ලියවිලිවල අත්පිටපත් සහ ඒ කාලේ තිබුණ වෙනත් පොත්වල අත්පිටපත් සන්සන්දනය කරපු එක විශාරදයෙක් මෙහෙම කියනවා. “ඒ කාලේ ලියැවුණ අනිත් හැම පොතකටම වඩා බයිබලේ ග්‍රීක ලියවිල්ලේ අත්පිටපත් ගොඩක් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අඩුවක් නැතුව ඒකේ සම්පූර්ණ කොටසම දකින්න පුළුවන්.” එක පොතකත් කියනවා “අද වැඩිදෙනෙක් පාවිච්චි කරන ග්‍රීක ලියවිල්ල මුල් ලේඛකයන් ලියපු ග්‍රීක ලියවිල්ලමයි කියන එක ගැන සහතික වෙන්න පුළුවන්” කියලා.—Anatomy of the New Testament.

9. යෙසායා 40:8 කියන විදිහට බයිබලේ තියෙන පණිවිඩය ගැන අපිට කියන්න පුළුවන් මොනවාද?

9 සියවස් ගාණක් පුරා පිටපත්කරුවන් හෙළපු හැම දහඩිය බිඳුවකම, හැම මහන්සියකම ප්‍රතිඵලයක් විදිහට අද අපේ අතේ නිවැරදිම බයිබලයක් තියෙනවා. b ඒ හැම දෙයක්ම සාර්ථක වුණේ යෙහෝවා දෙවියන් නිසයි. මොකද ඔහු තමන්ගේ වචනයට කිසිම විදිහකින් හානියක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. (යෙසායා 40:8 කියවන්න.) හැබැයි සමහරු ප්‍රශ්න කරන්න පුළුවන් බයිබලේ අද වෙන කල් ආරක්ෂා වුණ පළියට කොහොමද ඒක දෙවියන්ගේ වචනයමයි කියලා කියන්නේ කියලා. දැන් අපි එහෙම කියන්න සාක්ෂි කීපයක් බලමු.

අනාවැකි විශ්වාසනීයයි

වම: C. Sappa/​DeAgostini/​Getty Images; දකුණ: Image © Homo Cosmicos/​Shutterstock

බයිබල් අනාවැකි අතීතයේදී ඉටු වුණා වගේම දැනුත් ඉටු වෙනවා (10-11 ඡේද බලන්න) d

10. 2 පේතෘස් 1:21 තියෙන වචන ඇත්තයි කියලා ඔප්පු කරන අනාවැකියක් කියන්න. (පින්තූර බලන්න.)

10 බයිබලේ තියෙන හුඟක් අනාවැකි මේ වෙද්දීත් ඉටු වෙලා තියෙනවා. සමහර ඒවා ඉටු වුණේ ඒ ගැන කියලා අවුරුදු සිය ගාණකට පස්සේ. ඒ අනාවැකි හරියටම ඉටු වුණා කියලා ඉතිහාසයත් සාක්ෂි දෙනවා. ඒ ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද ඒ අනාවැකි කිව්වේ බයිබලේ කර්තෘ වන යෙහෝවා දෙවියන්. (2 පේතෘස් 1:21 කියවන්න.) දැන් අපි පුරාණ බැබිලෝනිය ගැන කිව්ව අනාවැකියක් බලමු. ක්‍රි.පූ. අටවෙනි සියවසේදී අනාගතවක්තෘ යෙසායා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කිව්වා වෙනත් ජාතියක් බලවත් බැබිලෝනිය අධිරාජ්‍යය යටත් කරගන්නවා කියලා. ඒ වගේම ඒක කරන්නේ සයිරස් රජ කියලත් එයා ඒක කරන්නේ කොහොමද කියලත් යෙසායා හරියටම කිව්වා. (යෙසා. 44:27–45:2) ඒ විතරක් නෙවෙයි බැබිලෝනිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලත් ඒක පාළු තැනක් වෙනවා කියලත් යෙසායා කිව්වා. (යෙසා. 13:19, 20) එයා කියපු විදිහටම හැම දෙයක්ම වුණා. ක්‍රි.පූ. 539දී මේදියවරු සහ පර්සියානුවන් බැබිලෝනිය යටත් කරගත්තා. දැන් බැබිලෝනිය කියන්නේ නටඹුන් ගොඩක් විතරයි.—‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 3වෙනි පාඩමේ 5වෙනි කරුණ යටතේ තියෙන “බැබිලෝනියේ වැටීම ගැන බයිබලයේ කලින්ම කියලා තිබුණා” කියන වීඩියෝ එක බලන්න.

11. දානියෙල් 2:41-43 තියෙන වචන අද ඉටු වෙන විදිහ පැහැදිලි කරන්න.

11 බයිබලේ තියෙන අනාවැකි අතීතයේදී විතරක් නෙවෙයි මේ කාලේදීත් ඉටු වෙනවා. ඒ ගැන තේරුම්ගන්න දානියෙල්ගේ අනාවැකියේ සඳහන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය ගැන තියෙන අනාවැකිය අපි බලමු. (දානියෙල් 2:41-43 කියවන්න.) ඒ අනාවැකියේ කියන විදිහට ඒ අධිරාජ්‍යයේ එක කොටසක් යකඩ වගේ “ශක්තිමත්.” හැබැයි තවත් කොටසක් මැටි වගේ “බිඳෙනසුලුයි.” ඒ කොහොමද? බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව කියන්නේ යකඩ වගේ ශක්තිමත් රටවල් දෙකක්. ලෝක යුද්ධ දෙකම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ එයාලා දුන්න සහයෝගය නිසයි. ඒ වගේම එයාලට ලොකු යුධ බලයකුත් තියෙනවා. ඒත් ඇයි එයාලා මැටි වගේ බිඳෙනසුලු? එහෙම වෙන්නේ ඒ රටවල්වල ඉන්න සාමාන්‍ය මිනිස්සු නිසයි. එයාලා මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. උද්ඝෝෂණය කරනවා. ඒ වගේම ඒ වෙනුවෙන් වෘත්තිය සමිති පිහිටුවාගෙනත් තියෙනවා. ඒ ගැන ලෝක දේශපාලනය පිළිබඳ ප්‍රවීණයෙක් කියන දේ බලන්න. “ඉදිරියෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතරින් ඇමරිකාව තරම් දේශපාලනිකව බෙදුණ, කෙළින් තීරණයක් ගන්න බැරි රටක් තවත් නැහැ.” එතකොට බ්‍රිතාන්‍යය ගැන මොකක්ද කියන්න පුළුවන්? මෑත කාලේදී යුරෝපා සංගමයේ ඉන්න රටවල් එක්ක ඇති කරගන්න ඕන ගිවිසුම් ගැන මිනිස්සු අතරේ ලොකු මතගැටුම් ඇති වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යය යකඩ වගේ පෙනුණත් එයාලා අතරෙත් බෙදීම් තියෙන නිසා ඒ අධිරාජ්‍යයට කොන්ද කෙළින් තියාගෙන හිතෙන හිතෙන දේවල් කරන්න බැහැ කියලා.

12. අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ ගැන හිතද්දී අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද?

12 දැනටමත් ඉටු වෙලා තියෙන අනාවැකි ගැන අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවියන් අනාගතයේදී පොරොන්දු වෙලා තියෙන දේවලුත් අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා අපිට සහතිකයි. ඒ ගැන හිතද්දී අපිටත් දැනෙන්නේ ගීතිකාකරු දෙවියන්ට කියපු මේ දේමයි. “ගැලවීම සලසා දෙන තෙක් ඔබ දෙස බලා සිටීමෙන් මම වෙහෙසට පත්ව සිටිමි. ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.” (ගීතා. 119:81) යෙහෝවා දෙවියන් බයිබලෙන් අපිට “ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්” දීලා තියෙනවා. (යෙරෙ. 29:11) ඒ බලාපොරොත්තුව රැඳිලා තියෙන්නේ මිනිස්සු මත නෙවෙයි, යෙහෝවා දෙවියන් මත. අපි දන්නවා ඔහු කවදාවත් අපේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ කියලා. ඒ නිසා දිගටම බයිබල් අනාවැකි අධ්‍යයනය කරලා බයිබලේ ගැන තියෙන අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගමු.

මඟ පෙන්වීම් ජීවිත වෙනස් කරයි

13. බයිබලේ විශ්වාස කරන්න තියෙන තව හේතුවක් මොකක්ද? (ගීතාවලිය 119:66, 138)

13 බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා හුඟක් අයගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. (ගීතාවලිය 119:66, 138 කියවන්න.) ඒක බයිබලේ විශ්වාස කරන්න පුළුවන් කියලා කියන්න තවත් හේතුවක්. උදාහරණෙකට විවාහය දෙකඩ වෙන්න ඔන්න මෙන්න තියෙද්දී බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා හුඟක් අය දැන් සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා. එයාලාගේ දරුවන් ආදරය, සෙනෙහස පිරුණ වටපිටාවක රැකවරණය ලබනවා.—එෆී. 5:22-29.

14. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා ජීවිතේ වෙනස් වුණ කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

14 භයානක අපරාධකරුවන්ව පවා වෙනස් කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන දැන් අපි බලමු. එයාගේ නම ජැක්. c එයා මරණ දඬුවම නියම වුණ අපරාධකරුවන් අතරින් දරුණුම කෙනෙක්. දවසක් අපේ සහෝදරයෙක් හිරේ හිටපු කෙනෙක්ට බයිබල් පාඩමක් කරද්දී ජැක්ටත් අවස්ථාව ලැබුණා ඒකට හවුල් වෙන්න. අපේ සහෝදරයන්ගේ කරුණාවන්තකම ජැක්ගේ හිතට වැදුණා. ඒ නිසා එයාත් පාඩමක් පටන්ගත්තා. ටිකෙන් ටික බයිබලේ තියෙන දේවල් ජීවිතේට අදාළ කරගෙන ජැක් හරිම සන්සුන්, කරුණාවන්ත කෙනෙක් වුණා. ඊටපස්සේ එයා බව්තීස්මත් වුණා. එයා දේවරාජ්‍යය ගැන උද්‍යෝගයෙන් දේශනාත් කළා. ජැක් අඩුම ගාණේ හිරකරුවන් හතරදෙනෙක්ටවත් බයිබලේ ගැන ඉගෙනගන්න උදව් කරලා තියෙනවා. මරණ දඩුවම දෙන දවස එද්දී ජැක් හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් වෙලා හිටියා. බලන්න එයාගේ නීතිඥයෙක් එයා ගැන කියපු දේ. “මීට අවුරුදු 20කට කලින් මට හම්බ වුණ ජැක් නෙවෙයි දැන් ඉන්නේ. සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් එයාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා.” ජීවිතේට සමු දෙන්න වුණත් ජැක් එක පණිවිඩයක් ඉතුරු කරලා ගියා. ඒ ඕනම කෙනෙක්ව වෙනස් කරන්න දෙවියන්ගේ වචනයට ලොකු බලයක් තියෙනවා කියන එකයි.—යෙසා. 11:6-9.

ඕනම පසුබිමක ඉන්න කෙනෙක්ගේ ජීවිතේ හොඳ අතට හරවන්න දෙවියන්ගේ වදන්වලට පුළුවන් (15  ඡේදය බලන්න) e

15. අද ඉන්න දෙවියන්ගේ සෙනඟ අනිත් අයට වඩා වෙනස් වෙන්නේ කොහොමද? (පින්තූරය බලන්න.)

15 බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසා යෙහෝවා දෙවියන්ගේ සෙනඟ එක්සත්. (යොහ. 13:35; 1 කොරි. 1:10) මේ ලෝකේ අය දේශපාලනය නිසා, ජාති කුලමල නිසා බෙදිලා හිටියත් අපි අතරේ බෙදීම්වලට කිසිම ඉඩක් නැහැ. ඒ නිසයි දෙවියන්ගේ සෙනඟව අනිත් අය අතරේ හොඳට කැපිලා පේන්නේ. ඒ එක්සත්කම තමයි යෞවනයෙක් වුණ සේන්ගේ මුළු ජීවිතේම වෙනස් කළේ. එයා හැදී වැඩුණේ අප්‍රිකානු රටක. සිවිල් යුද්ධ ඇති වුණ කාලේදී එයා රට වෙනුවෙන් හමුදාවට බැඳුණත් පස්සේ ළඟපාත තිබුණ රටකට පැනලා ගියා. එහෙදී තමයි එයාට සාක්ෂිකරුවන්ව හම්බ වුණේ. එයා මෙහෙම කියනවා. “මං ඉගෙනගත්තා සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනය නිසාවත් වෙන කිසිම හේතුවක් නිසාවත් බෙදෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට එයාලා හැමෝටම එක වගේ ආදරේ කරනවා. රටක් වෙනුවෙන් ජීවිතේ කැප කරලා හිටපු මං බයිබලේ ගැන ඉගෙනගත්තාට පස්සේ ඒ ජීවිතේ යෙහෝවාට කැප කළා.” බයිබලේ තොරතුරු අදාළ කරගත්ත නිසා සේන්ගේ මුළු ජීවිතේම වෙනස් වුණා. එයා වෙනත් ජාතිවල අයත් එක්ක යුද්ධ කරනවා වෙනුවට හම්බ වෙන හැම කෙනෙක් එක්කම බයිබලේ තියෙන වටිනා සත්‍යයන් බෙදාගත්තා. ඒ අද්දැකීම්වලින් පැහැදිලියි ඕනම පසුබිමක කෙනෙක්ට බයිබලේ තියෙන දේවල් අදාළ කරගෙන ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒකෙන් තහවුරු වෙන්නේ දෙවියන්ගේ වදන් සත්‍යයයි කියන එක නේද?

දෙවියන්ගේ සත්‍ය වදන් දිගටම විශ්වාස කරන්න

16. දෙවියන්ගේ වචනය ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න එක වැදගත් ඇයි?

16 දවසින් දවස මේ ලෝකේ තත්වය අන්තිම අඩියටම වැටෙනවා. ඒ නිසා දෙවියන්ගේ වදන් ගැන අපිට තියෙන විශ්වාසයත් සෝදිසියට ලක් වෙන්න පුළුවන්. මොකද මිනිස්සු හදන්නේ බයිබලේ තියෙන දේවල් ගැන, ඒවා උගන්වන්න දෙවියන් පත් කරලා තියෙන දාසයා ගැන අපේ හිතේ සැකයන් ඇති කරන්න. හැබැයි දෙවියන්ගේ වදන් සත්‍යයයි කියලා අපිට කිසිම සැකයක් නැත්නම් කවුරු මොන ප්‍රහාර එල්ල කළත් ඒ කිසිම දේකට බැහැ අපේ විශ්වාසය බිඳලා දාන්න. ඒ නිසා ජීවිතේ තියෙන කල්ම ‘දෙවියන්ගේ නියෝගවලට කීකරු වෙන්න අපි අදිටන් කරගමු.’ (ගීතා. 119:112) එහෙම කරනවා නම් සත්‍යය ගැන අනිත් අයට කියන්න, ඒකට අනුව ජීවත් වෙන්න කියලා අනිත් අයව දිරිගන්වන්න අපි කවදාවත් ‘ලැජ්ජා වෙන්නේ නැහැ.’ (ගීතා. 119:46) අනිත් අතට එහෙම කරද්දී මොන අභියෝග, පීඩා ආවත් “ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන්න” අපිට පුළුවන්.—කොලො. 1:11; ගීතා. 119:143, 157.

17. 2023 වාර්ෂික පදයෙන් අපිට මතක් කරලා දෙන්නේ මොනවාද?

17 සත්‍යය කියලා දීලා අපේ ජීවිත එළිය කරපු එකට අපි යෙහෝවාට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! සත්‍යය නිසා තමයි අපේ විශ්වාසය ස්ථිරව තියෙන්නේ. ජීවිතේට නියම අරමුණක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. දේවරාජ්‍යය යටතේ ලැබෙන ලස්සන ජීවිතය ගැන බලාපොරොත්තුවකුත් සත්‍යය නිසා අපිට ලැබිලා තියෙනවා. දෙවියන්ගේ වචනයේ තියෙන හැම අකුරක්ම සත්‍යයයි. (ගීතා. 119:160) ඒ ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න 2023 වාර්ෂික පදය ඔයාටත් උදව් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා!

ගීතිකාව 94 ස්තුති වෙමු දේවවචනයට

a 2023 වාර්ෂික පදය විදිහට තෝරගෙන තියෙන මේ බයිබල් පදය අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරයි. “ඔබේ වදන් සත්‍යය.” (ගීතා. 119:160) කිසිම සැකයක් නැහැ ඔයාත් පිළිගනියි දෙවියන්ගේ වදන් සත්‍යයයි කියලා. හැබැයි හුඟක් අයට ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි මේ ලිපියෙන් බලමු බයිබලය, බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන් හේතු තුනක් ගැන.

b බයිබලේ ආරක්ෂා වුණ විදිහ ගැන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ “සොයන්න” කියන තැන “ඉතිහාසය සහ බයිබලය” කියලා ටයිප් කරන්න.

c සමහර නම් වෙනස් කර ඇත.

d පින්තූරයේ අදහස: දෙවියන් කියපු විදිහටම බලවත් බැබිලෝනිය අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා.

e පින්තූරයේ අදහස: මිනිස්සු එක්ක සටන් කරන්නේ නැතුව සාමයෙන් ඉන්න සහ එහෙම කරන්න අනිත් අයටත් උගන්වන්න යෞවනයෙක් බයිබලෙන් ඉගෙනගත්ත විදිහ පෙන්නන රඟ දැක්වීමක්.