Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 4

සිහි කිරීම වෙනුවෙන් ඔයා ගන්න වෑයමට දෙවියන් ආශීර්වාද කරයි!

සිහි කිරීම වෙනුවෙන් ඔයා ගන්න වෑයමට දෙවියන් ආශීර්වාද කරයි!

“මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.”—ලූක් 22:19.

ගීතිකාව 19 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

මේ ලිපියෙන් a

1-2. හැම අවුරුද්දකම අපි සිහි කිරීමට සහභාගි වෙන්නේ ඇයි?

 මීට අවුරුදු 2,000කට කලින් යේසුස් ඔහුගේ වටිනා ජීවිතේ දීලා අපිට සදාකාල ජීවනය ලබන්න මාර්ගය විවෘත කළා. ඔහු ආදරෙන් පෙලඹිලා කරපු ඒ දේ මතක තියාගන්න යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට චාම් සැමරීමක් හඳුන්වලා දුන්නා. රොටි සහ වයින් පාවිච්චි කරලා ඒ සැමරීම නොකඩවා කරන්න කියලා ඔහු එයාලට කිව්වා.—1 කොරි. 11:23-26.

2 යේසුස් කියපු දේ අපි ඒ විදිහටම පිළිපදිනවා. මොකද අපි ඔහුට ගොඩක් ආදරෙයි. (යොහ. 14:15) ඒත් යේසුස් කරපු දේ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි සිහි කිරීමේ කාලේදී යාච්ඤා කරලා ජීවිත පූජාව ගැන හොඳට හිතන එක. ඒ වගේම වැඩියෙන් සේවේ හවුල් වෙලා පුළුවන් තරම් දෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන එක. ඒ විතරක් නෙවෙයි මේ විශේෂම අවස්ථාවට හවුල් වෙන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය බිඳින්නත් කිසිම දේකට ඉඩ දෙන්න එපා.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 දෙවියන්ගේ සෙනඟ අතීතයේ ඉඳන්ම මේ සැමරීම පවත්වන්න නොකරපු දෙයක් නැහැ. අපි මේ ලිපියෙන් එයාලා කරපු විශේෂ දේවල් තුනක් ගැන බලමු. (1) යේසුස් හඳුන්වලා දීපු විදිහටම ඒ සැමරීම කළා. (2) පුළුවන් තරම් දෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කළා. (3) මොන අභියෝග තිබ්බත් නොකඩවා ඒකට හවුල් වුණා.

මුල් සැමරීම යළි පණගැන්වෙයි!

4. හැම සිහි කිරීමකදීම උත්තර ලැබෙන්නේ මොන ප්‍රශ්නවලටද? අපි ඒවා සැහැල්ලුවට ගන්න හොඳ නැත්තේ ඇයි? (ලූක් 22:19, 20)

4 හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කිරීමේදී බයිබල් දේශනයකට ඇහුම්කන් දෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ දේශනයෙන් බයිබලේ තියෙන මේ වගේ වටිනා සත්‍යයන් ගැන අපි දැනගන්නවා. “ජීවිත පූජාවක් ඕන වුණේ ඇයි? එක් කෙනෙක්ගේ මරණය නිසා හැමෝගෙම පව්වලට සමාව ලැබෙන්නේ කොහොමද? වයින්වලින්, රොටිවලින් අදහස් කරන්නේ මොකක්ද? ඒවා ගන්නේ කවුද?” (ලූක් 22:19, 20 කියවන්න.) ඒ වගේම අපි ඒ දේශනයෙන් මේ පොළොවේ ජීවත් වෙන අයට දෙන්න දෙවියන් දැනටමත් මොන තරම් ආශීර්වාද එකතු කරගෙන ඉන්නවාද කියලත් බලනවා. (යෙසා. 35:5, 6; 65:17, 21-23) බයිබලෙන් දැනගන්න ඒ වටිනා දේවල් අපි සැහැල්ලුවට ගන්න නරකයි. මොකද අද ඉන්න බිලියන ගාණක් ඒ ගැන දන්නේ නැහැ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන අගයක් එයාලාගේ හිත්වල ගෑවිලාවත් නැහැ. ඒ විතරක් නෙවෙයි එයාලා යේසුස් කියපු විදිහටම ඒ සැමරීම කරන්නෙත් නැහැ. ඇයි අපි එහෙම කියන්නේ?

5. නියෝජිතයන්ගෙන් වැඩිදෙනෙක් මැරුණාම යේසුස් හඳුන්වලා දීපු සැමරීමට වුණේ මොකක්ද?

5 හුඟක් නියෝජිතයන් මැරුණාට පස්සේ ක්‍රිස්තියානි සභාවට බොරු ක්‍රිස්තියානීන් රිංගුවා. (මතෙ. 13:24-27, 37-39) ඊටපස්සේ වෙච්ච දේ ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:29, 30) මොනවාද එයාලා “විකෘති” කළේ? එක දෙයක් බලමු. බයිබලේ කියනවා “ක්‍රිස්තුස් බොහෝදෙනෙකුගේ පව් ඉසිලීම සඳහා තම ජීවිතය එක් වරක් පූජා කළේය. ඒ දේ නැවත කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ නැත” කියලා. (හෙබ්‍රෙ. 9:27, 28) හැබැයි මේ බොරු ක්‍රිස්තියානීන් ඒ ඉගැන්වීම විකෘති කළා. එයාලා කිව්වා පව්වලට සමාව ලැබෙන්න නම් ආයේ ආයේ ජීවිත පූජාවක් ඕනෙ කියලා. අදටත් යේසුස් ගැන ලොකු භක්තියක් තියෙන අහිංසක මිනිස්සු ඒ බොරුවට රැවටිලා තියෙනවා. එයාලා සතිපතා, දවස්පතා පල්ලියේ එකතු වෙලා පූප අරගෙන “දිව්‍ය සත්ප්‍රසාද පූජාව” b පවත්වනවා. වෙනත් ක්‍රිස්තියානි ආගම්වල අය එයාලා වගේම ඒක සමරන්නේ නැතුව ඇති. ඒත් ජීවිත පූජාව ගැන පැහැදිලි අවබෝධයක් එයාලටත් නැහැ. සමහරු අහනවා “යේසුස් ජීවිතේ දුන්නා කියලා මගේ පව්වලට සමාව ලැබෙන්නේ කොහොමද” කියලා. එයාලා එහෙම හිතන්නේ ජීවිත පූජාව ගැන සැක කරන අය එයාලාගේ මනස්වලටත් වැරදි අදහස් දාලා තියෙන නිසා වෙන්න ඇති. ඒත් ඒ හැමෝටම වඩා සැබෑ ක්‍රිස්තියානීන් වෙනස්. ඒ කොහොමද?

6. 1872 වෙද්දී බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ මොකක්ද?

6 1870දී විතර චාල්ස් ටේස් රසල් ඇතුළු බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක් බයිබලේ ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. එයාලට ඕන වුණේ යේසුස්ගේ ජීවිත පූජාව ගැන සහ ඒක සිහි කරන විදිහ ගැන ඇත්ත දැනගන්න. 1872 වෙද්දී, ජීවිත පූජාව කොච්චර වටිනවාද කියලත් යේසුස් ඒක දුන්නේ හැමෝම වෙනුවෙන් කියලත් එයාලා තේරුම්ගත්තා. ඒ දැනගත්ත දේ එයාලා පොත්, පුවත්පත් සහ සඟරා හරහා හැමෝටම දැනුම් දුන්නා. ඒ විතරක් නෙවෙයි මුල් සියවසේ ක්‍රිස්තියානීන් වගේ අවුරුද්දකට සැරයක් යේසුස්ගේ මරණය සිහි කරන්නත් එයාලා පටන්ගත්තා.

7. බයිබල් ශිෂ්‍යයන් හොයාගත්ත වටිනා සත්‍යයන් නිසා අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

7 මීට අවුරුදු ගාණකට කලින් බයිබල් ශිෂ්‍යයන් හොයාගත්ත ඒ වටිනා සත්‍යයන් නිසා අපිත් ප්‍රයෝජන ලබනවා. ඒ කොහොමද? මොකද ඒ නිසා තමයි යේසුස්ගේ ජීවිත පූජාව ගැන, ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඇත්ත දැනගන්න අපිට පුළුවන් වුණේ. (1 යොහ. 2:1, 2) ඒ විදිහට බොරුව කියන අඳුරෙන් වැහිලා තිබුණ අපේ ඇස් සත්‍යය නිසා ඇරුණා. ඒ වගේම මිනිස්සු ඉස්සරහා බලාපොරොත්තු දෙකක් තියෙනවා කියලත් අපි බයිබලෙන් දැනගත්තා. ටිකදෙනෙක්ට ස්වර්ගයේ අමරණීය ජීවිතයකුත් මිලියන ගාණකට මේ පොළොවේ සදාකල් ජීවිතයකුත් ලැබෙනවා කියලා අපි ඉගෙනගත්තා. යෙහෝවා දෙවියන් අපිට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතද්දී, ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතද්දී අපි තව තවත් යෙහෝවාට කිට්ටු වෙනවා. (1 පේතෘ. 3:18; 1 යොහ. 4:9) ඒ නිසයි අතීතයේ හිටපු ඒ විශ්වාසවන්ත සහෝදරයන් වගේ යේසුස් සමරපු විදිහටම මේ සැමරීම කරන්න අපි පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරන්නේ.

හැමෝටම කරන ඇරයුමක්!

පුළුවන් තරම් දෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? (8-10 ඡේද බලන්න) e

8. සිහි කිරීමට හැමෝටම ආරාධනා කරන්න දෙවියන්ගේ සෙනඟ කරලා තියෙන්නේ මොනවාද? (පින්තූර බලන්න.)

8 සිහි කිරීමට ආරාධනා කරන එක ගැන දෙවියන්ගේ සෙනඟට ලොකු ඉතිහාසයක් තියෙනවා. 1881 මුල් කාලේදී එක්සත් ජනපදයේ හිටපු සහෝදර සහෝදරියන්ට ආරාධනයක් ලැබුණා සිහි කිරීම පවත්වන්න පෙන්සිල්වේනියාවේ ඇලගනිවල තියෙන සහෝදරයෙක්ගේ ගෙදරට එන්න කියලා. ඊටපස්සේ කාලේදී සභාවන් විදිහට එකතු වෙලා තමයි සිහි කිරීම පැවැත්තුවේ. 1940 මාර්තුවල සත්‍යය ගැන උනන්දුව දක්වන අයටත් සිහි කිරීමට ආරාධනා කරන්න කියලා ප්‍රචාරකයන්ට කිව්වා. 1960දී මුල්ම වතාවට සිහි කිරීමේ ආරාධනා පත්‍රිකා මුද්‍රණය කළා. එදා ඉඳන් ඒ ආරාධනා පත්‍රිකා බිලියන ගාණක් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. ඒත් මිනිස්සුන්ට මේ සැමරීමට ආරාධනා කරන්න අපි මෙච්චර මහන්සි වෙන්නේ ඇයි?

9-10. අපේ මහන්සිය නිසා ප්‍රයෝජන ලබන්නේ කවුද? (යොහන් 3:16)

9 අපි ආරාධනා කරන අය අතරේ මුල්ම වතාවට මේ සැමරීමට සහභාගි වෙන අයත් ඉන්නවා. අපිට ඕනෙ එයාලත් යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කොච්චර ලොකු කැප කිරීමක් කරලා තියෙනවාද කියලා දැනගන්නවාටයි. (යොහන් 3:16 කියවන්න.) යේසුස්ගේ මරණය සිහි කිරීමේදී අහන දකින දේවල් නිසා කවදා හරි දවසක යෙහෝවාට සේවේ කරන්න එයාලාගේ හිතේ ආසාවක් ඇති වෙයි කියලා අපි හිතනවා. මේ සැමරීමට සහභාගි වෙලා ප්‍රයෝජන ගන්න තවත් කට්ටියක් ඉන්නවා. ඒ කවුද?

10 දැන් යෙහෝවාට සේවේ කළේ නැතත් කලින් ඔහුට විශ්වාසවන්තව සේවේ කරපු අයවත් අමතක කරන්න බැහැ. අපි එයාලටත් ආරාධනා කරනවා. මොකද අපිට ඕනෙ දෙවියන්ගේ හිතේ එයාලා ගැන තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ කියලා එයාලට මතක් කරන්න. සමහරු අපේ ආරාධනාව පිළි අරන් සිහි කිරීමට එද්දී අපිට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්. එයාලා දෙවියන්ට සේවේ කරලා ලබපු සතුට ආයෙත් මතක් කරගන්න සිහි කිරීම එයාලට උදව් වෙයි. බලන්න සහෝදරි මොනිකාගේ අද්දැකීම. c කෝවිඩ් වසංගත කාලේදී එයා ආයෙත් ප්‍රචාරකයෙක් විදිහට සේවේ කරන්න පටන්ගත්තා. 2021 සිහි කිරීමට සහභාගි වුණාට පස්සේ එයා මෙහෙම කියනවා. “මේ සිහි කිරීම මට ගොඩක් විශේෂයි. මොකද අවුරුදු 20කට පස්සේ තමයි මං සේවේ ගියේ. මිනිස්සුන්ට සිහි කිරීමට ආරාධනා කළේ. ඉතින් මං ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය කළා. ඇත්තටම යෙහෝවා දෙවියන්, යේසුස් මං වෙනුවෙන් කරපු දේවල්වලට මං සදා ණයගැතියි.” (ගීතා. 103:1-4) අනිත් අය අපේ ආරාධනාව පිළිගත්තත් නැතත් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරනවා. මොකද අපි දන්නවා යෙහෝවා දෙවියන් අපේ මහන්සිය පොඩ්ඩක්වත් සුළුවට ගන්නේ නැහැ කියලා.

11. යෙහෝවා දෙවියන් අපේ මහන්සියට ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද? (හග්ගයි 2:7)

11 සිහි කිරීමට ආරාධනා කරන්න අපි දරන මහන්සියට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය අපිට ලැබිලා තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි 2021 පවත්වපු සිහි කිරීම. භයානක වසංගතයක් මැද වුණත් ඒකට 2,13,67,603දෙනෙක් සහභාගි වුණා. ඒක ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ගේ ගාණ වගේ දෙගුණයකටත් වඩා වැඩියි! ඒත් අපි දන්නවා යෙහෝවා සැලකිලිමත් වෙන්නේ ආපු ගාණ ගැන නෙවෙයි එක් එක් පුද්ගලයා ගැන කියලා. (ලූක් 15:7; 1 තිමෝ. 2:3, 4) ඒ නිසා අවංක හදවත් තියෙන අයව හොයාගන්න දෙවියන් අපේ පිටිපස්සෙන්ම ඉඳියි කියලා අපිට කිසිම සැකයක් නැහැ.—හග්ගයි 2:7 කියවන්න.

බාධා මැද අත් නොහැර

අපේ මහන්සියට යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා! (12 ඡේදය බලන්න) f

12. සිහි කිරීමට හවුල් වෙන එක සමහරවිට අභියෝගයක් වෙන්නේ ඇයි? (පින්තූරය බලන්න.)

12 යේසුස් කිව්වා අවසාන කාලේ ජීවත් වෙන අයට ගොඩක් ප්‍රශ්න දරාගන්න සිද්ධ වෙනවා කියලා. පවුලේ අයගෙන් එන ප්‍රශ්න, විරුද්ධවාදිකම්, යුද්ධ, වසංගත වගේ හුඟක් දේවල් එක්ක එයාලා පොරබදිනවා. (මතෙ. 10:36; මාක් 13:9; ලූක් 21:10, 11) ඒ දේවල් නිසා සමහරවිට සිහි කිරීමට හවුල් වෙන්නත් කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒ අභියෝග ඉස්සරහා පැරදෙන්නේ නැතුව ඒ අභියෝග පරද්දන්න අපේ සහෝදරයන්ට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒකට යෙහෝවා එයාලට හයියක් වෙලා තියෙන්නේ කොහොමද?

13. හිරේ හිටියත් කොහොමහරි සිහි කිරීම පවත්වන්න ආර්ටම් ගත්ත උත්සාහයට දෙවියන් ආශීර්වාද කළේ කොහොමද?

13 යකඩ කූරු මැද. විශ්වාසය නිසා සමහර සහෝදරයෝ ඉන්නේ හිරේ. ඒත් යේසුස්ගේ මරණය සිහි කරන්න එයාලා එයාලට පුළුවන් උපරිමය කරනවා. ආර්ටම් කියන්නෙත් ඒ වගේ සහෝදරයෙක්. 2020 සිහි කිරීම පවත්වන කාලේදී එයා හිටියේ හිරේ. එයාව දැම්මේ වර්ග අඩි 183ක පොඩි හිර මැදිරියකට. එක සැරේකට ඒකට හතර පස්දෙනෙක්ව දැම්මා. ආර්ටම් සිහි කිරීම පවත්වන්න අවශ්‍ය දේවල් පුළු පුළුවන් විදිහට ලෑස්ති කරගත්තා. එයා හිතුවා එයාගෙම ප්‍රයෝජනයට එයාම සිහි කිරීමේ දේශනයත් දෙනවා කියලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. එයාත් එක්ක හිටපු අනිත් හිරකරුවන් කොයි වෙලාවෙත් හිටියේ සිගරට් එක කටේ ගහගත්ත ගමන්මයි. ඒ වගේම එයාලා ගොඩක් නරක වචනත් කිව්වා. ඉතින් ආර්ටම් එයාලාගෙන් ඉල්ලුවා පැයකට විතරක් ඒ දේවල් කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. පුදුමේ කියන්නේ එයාලා ඒකට කැමති වුණා. ආර්ටම් කියනවා “මං එයාලට සිහි කිරීම ගැන කියන්න හැදුවා” කියලා. ඒත් එයාලා ආර්ටම් කියන දේ අහන්න කැමැති වුණේ නැහැ. හැබැයි ආර්ටම් සිහි කිරීම පැවැත්තුවාට පස්සේ එයාලා එයාගෙන් එක දිගට ප්‍රශ්න වැලක් අහන්න පටන්ගත්තා.

14. කෝවිඩ් වසංගතය මැද වුණත් සිහි කිරීම පවත්වන්න සහෝදරයෝ දැරුවේ මොන වගේ වෑයමක්ද?

14 වසංගතයක් මැද. කොරෝනා වසංගතය පැතිරුණ කාලේ දෙවියන්ගේ සෙනඟට වෙනදා වගේම නමස්කාර මධ්‍යස්ථානයේ එකතු වෙලා යේසුස්ගේ මරණය සිහි කරන්න බැරි වුණා. හැබැයි එහෙමයි කියලා එයාලා ඒක පවත්වන්නේ නැතුව හිටියේ නැහැ. d ඉන්ටර්නෙට් පහසුකම් තියෙන සභාවන් ඒ සැමරීම කළේ වීඩියෝ කොන්ෆරන්ස් හරහා. හැබැයි ලෝකේ පුරා මිලියන ගාණකට ඉන්ටර්නෙට් පහසුකම් නැහැ. එයාලා කොහොමද ඒක සැමරුවේ? සමහර රටවල්වල සිහි කිරීමේ දේශනය ටීවී, රේඩියෝ හරහා විකාශනය කරන්න සැලසුම් කළා. ඊට අමතරව හුදෙකලා පැතිවල ඉන්න සහෝදරයන් වෙනුවෙන් සිහි කිරීමේ දේශනය භාෂා 500ටත් වඩා වැඩි ගාණකින් පරිවර්තනය කළා. අපේ විශ්වාසවන්ත සහෝදරයන් ගව් ගාණක් දුර ගිහිල්ලා පටිගත කරපු ඒ වැඩසටහන් අවශ්‍ය සහෝදරයන්ට බෙදලා දුන්නා.

15. සූගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 පවුලෙන් එන විරුද්ධවාදිකම් මැද. සිහි කිරීමට සහභාගි වෙන්න සමහර අයට තියෙන ලොකුම බාධාව තමයි පවුලේ අයගෙන් එන විරුද්ධවාදිකම්. සූගේ අද්දැකීම බලන්න. එයා බයිබලේ ඉගෙනගන්න කෙනෙක්. 2021 සිහි කිරීමට කලින් දවසේ එයාගේ බයිබල් පාඩම කරපු සහෝදරියට එයා කිව්වා පවුලේ අය අකමැති නිසා සිහි කිරීමට හවුල් වෙන්න බැහැ කියලා. ඊටපස්සේ ඒ සහෝදරිය එයාට ලූක් 22:44 පෙන්නලා “ප්‍රශ්න එද්දී යේසුස් වගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කියන්න, ඔහු ගැන විශ්වාසය තියන්න” කියලා කිව්වා. කොහොමහරි ඊටපස්සේ දවසේ සූ සිහි කිරීමට ඕන කරන රොටි, වයින් ලෑස්ති කරගත්තා. එයා එදාට තියෙන විශේෂ උදෑසන නමස්කාර වැඩසටහනත් jw.org වෙබ් අඩවියෙන් බැලුවා. හවස් වුණාම එයා එයාගේ කාමරේ තනියම ඉඳගෙන ෆෝන් එකෙන් සිහි කිරීමට සම්බන්ධ වුණා. සූ එයාට පාඩම කරපු සහෝදරියට මෙහෙම කිව්වා. “ඊයේ ඔයා මාව ගොඩක් දිරිගැන්නුවා. ඒ නිසා මේකට එන්න මං මගේ උපරිමය කළා. ඉතුරු ටික බලාගත්තේ යෙහෝවා දෙවියන්ම තමයි. මට දැනෙන සතුට කියාගන්න වචන නෑ. ඒ ගැන මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.” ඔයාත් ඒ වගේම අභියෝගයකට මුහුණ දෙන කෙනෙක්ද? එහෙමනම් ඒකෙන් ජය ගන්න යෙහෝවා ඔයාට උදව් නොකර ඉඳියි කියලා ඔයා හිතනවාද?

16. සිහි කිරීමට හවුල් වෙන්න අපි ගන්න උත්සාහයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරයි කියලා අපිට සැකයක් නැත්තේ ඇයි? (රෝම 8:31, 32)

16 යේසුස්ගේ මරණය සිහි කිරීමට හවුල් වෙන්න අපි ගන්න උත්සාහය යෙහෝවා ගොඩක් අගය කරනවා. ඒ වගේම ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අපි අගය පෙන්නද්දී ඒකට ඔහු ගොඩක් ආශීර්වාද කරනවා. (රෝම 8:31, 32 කියවන්න.) ඒ නිසා මේ විශේෂ සැමරීමට මුළු හදවතින්ම සූදානම් වෙමු. සිහි කිරීමේ කාලේදී වෙනදාටත් වඩා වැඩියෙන් සේවේ හවුල් වෙමු. ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්දේ පවත්වන සිහි කිරීම කිසිම හේතුවක් නිසා අතපසු කරගන්නේ නැතුව ඉන්නත් අධිෂ්ඨාන කරගමු.

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

a 2023 අප්‍රියෙල් 4වෙනි අඟහරුවාදා යේසුස්ගේ මරණය සිහි කරන්න මිලියන ගාණක් සහභාගි වෙයි. එදාට ඒකට පළවෙනි වතාවට එන හුඟදෙනකුත් ඉඳියි. දැන් යෙහෝවාට සේවේ කළේ නැතත් අවුරුදු ගාණකට කලින් විශ්වාසවන්තව සේවේ කරපු අයත් එදාට එයි. ඒ වගේම ගොඩක් පීඩා, ප්‍රශ්න මැද්දේ එන අයත් ඉඳියි. ඔයාත් ඒකට සහභාගි වෙන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරද්දී ඒකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරයි කියලා කිසිම සැකයක් නැහැ.

b එයාලා විශ්වාස කරන්නේ රොටි සහ වයින් ඇත්තටම යේසුස්ගේ ශරීරය සහ රුධිරය බවට පත් වෙනවා කියලා. ඒ විදිහට බලද්දී ඒ දේවල් ගන්න හැම වතාවකම යේසුස් තමන්ගේ ජීවිතේ ආයේ ආයේ පූජා කරනවා කියලයි එයාලා හිතන්නේ.

c සමහර නම් වෙනස් කර ඇත.

d jw.org වෙබ් අඩවියේ “2021 යේසුස්ගේ මරණය සිහි කිරීම” කියන ලිපි බලන්න.

e පින්තූරයේ අදහස: 1960 ඉඳන් මුද්‍රණය කරපු සිහි කිරීමේ ආරාධනා පත්‍රිකා. දැන් ඒවා මුද්‍රිත සහ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් තියෙනවා.

f පින්තූරයේ අදහස: නොසන්සුන් කාලයක් මැද වුණත් සහෝදරයෝ සිහි කිරීම පවත්වන විදිහ පෙන්නන රඟ දැක්වීමක්.