Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

අවංක සැලකිල්ල නිසා ආශීර්වාද රැසක්

අවංක සැලකිල්ල නිසා ආශීර්වාද රැසක්

1948දී අම්මායි, නංගියි එක්ක

“එංගලන්ත සභාවේ නං කවදාවත් සත්‍යය උගන්නන්නේ නෑ. ඒ නිසා දිගටම සත්‍යය හොයන්න.” අපේ ආච්චි එංගලන්ත සභාවේ වුණාට නිතරම අපිට එහෙම කියනවා. ඉතිං ඔය විදිහට තමයි අපේ අම්මා සත්‍යය හොයන්න පටන්ගත්තේ. ඒ දවස්වල අපි හිටියේ කැනඩාවේ. හැබැයි එයා සාක්ෂිකරුවන්ට නං පොඩ්ඩක්වත් කැමති නෑ. එයාලා එද්දී හැංගෙන්න කියලා මට කිව්වා. ඒත් 1950දී සාක්ෂිකරුවන් අපේ පුංචිත් එක්ක පාඩම් කරන්න පටන්ගද්දී අපේ අම්මාත් පාඩමට හවුල් වුණා. ඊටපස්සේ ඒ දෙන්නාම බව්තීස්ම වුණා.

අපේ තාත්තා කැනඩාවේ ප්‍රධාන රෙපරමාදු ආගමක දේවගැතිවරයෙක්. ඉතිං එයා හැම ඉරිදාම මාවයි, නංගිවයි දහම් පාසැල් යවනවා. ඊටපස්සේ 11ට අපි පල්ලියේ පූජාවට එයාත් එක්ක ඉන්නවා. හවස අපි අම්මාත් එක්ක රැස්වීම් යනවා. ඉතිං සාක්ෂිකරුවන්ගෙයි, ඒ රෙපරමාදු ආගමෙයි වෙනස අපිට හොඳටම දැනුණා.

1958දී හචර්සන් පවුල එක්ක “දෙවිගේ කැමැත්ත” කියන ජාත්‍යන්තර සමුළුවේ

අම්මා එයාගේ හොඳ යාළුවෝ දෙන්නෙක් වුණ බොබ් සහ මරියන් හචර්සන් යුවළට සත්‍යය ගැන කිව්වා. ඊටපස්සේ එයාලත් බව්තීස්ම වුණා. පස්සේ 1958දී නිව් යෝර්ක් නගරයේ “දෙවිගේ කැමැත්ත” කියලා දවස් අටක ජාත්‍යන්තර සමුළුවක් තිබ්බා. ඉතිං එයාලාගේ පුතාලා තුන්දෙනාත් එක්ක ඒ සමුළුවට හචර්සන් යුවළ මාවත් එක්කං ගියා. දැන් තමයි මට තේරෙන්නේ එහෙම මාව ගෙනියන්න එයාලා මොන තරම් කැප කිරීමක්ද කළේ කියලා. ඒ සමුළුව මගේ මිහිරිම මතකයන්වලින් එකක්.

අනිත් අයගේ සැලකිල්ල තමයි මාව වෙනස් කළේ

මං ඉස්කෝලේ යන කාලේ අපි හිටියේ ගොවිපොළක. සත්තුන්ට මං ගොඩක් ආදරෙයි. ඒ නිසා මං හීන මවමව හිටියේ පශු වෛද්‍යවරයෙක් වෙන්න. දවසක් අම්මා ඒ ගැන වැඩිමහල්ලෙක්ට කිව්වා. ඉතිං එයා හරිම ආදරෙන් මං ගාවට ඇවිත් “පුතේ අපි ඉන්නේ අන්තිම කාලෙනේ. ඔය විදිහට අවුරුදු ගාණක් ඔයා කැම්පස් ගියොත් දෙවියන් එක්ක තියෙන බැඳීමට මොනවා වෙයිද” කියලා මගෙන් ඇහුවා. (2 තිමෝ. 3:1) ඉතිං මං තීරණය කළා කැම්පස් නොයා ඉන්න.

ඒත් ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ මොනවාද කරන්නේ කියලා මං හිතහිත හිටියේ. හැම සති අන්තෙකම මං සේවේ නං ගියා. ඒත් කිසිම සතුටක් නෑ. පුරෝගාමි කරන්න මට කිසිම ඉලක්කයක් තිබුණෙත් නෑ. ඔය අතරෙම සත්‍යයේ නැති මගේ තාත්තායි, බාප්පායි මට කොයි වෙලෙත් කියනවා ටොරොන්ටෝවල තියෙන ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක රස්සාවක් කරන්න කියලා. මොකද අපේ බාප්පා ඒකේ ලොක්කෙක්. ඉතිං අන්තිමේදී මං ඒකට ගියා.

ටොරොන්ටෝවලට ගියාට පස්සේ මං කොයි වෙලෙත් වැඩම තමයි. වැඩිපුර ආශ්‍රය කළෙත් ලෝකේ අයව. ඉතිං නමස්කාරයේ දේවල් මට හරියට මිස් වුණා. මුලින් මං හිටියේ සීයා එක්ක. හැබැයි සීයා මැරුණාට පස්සේ මට ඉන්න තැනක් හොයාගන්න වුණා.

1958දී මාව සමුළුවකට එක්කං ගිය හචර්සන් යුවළ මතකද? එයාලා මට එයාලාගේ ගෙදර නවතින්න එන්න කිව්වා. ඒ දෙන්නා මට අම්මායි, තාත්තායි වගේ. එහේ නැවතුණාට පස්සේ යෙහෝවාට ළං වෙන්න එයාලා මට ගොඩක් උදව් කළා. 1960දී එකම සමුළුවේදී එයාලාගේ පුතා ජෝනුයි, මායි බව්තීස්ම වුණා. ඊටපස්සේ ජෝන් පුරෝගාමි පටන්ගත්තා. ඒ නිසා මගේ හිතෙත් ආසාවක් ඇති වුණා සේවේ කරන්න. මං සත්‍යයේ ටික ටික දියුණු වෙන විදිහ සභාවේ ඉන්න සහෝදරයෝ දැක්කා. ඒ නිසා සේවා පාසැල මෙහෙයවන්න එයාලා මට බාර දුන්නා. a

නියම සහකාරියක් සහ නියම පැවරුමක්

1966දී අපි කසාද බැඳපු දවස

රැන්ඩි බර්ග් කියන්නේ යෙහෝවාට උද්‍යෝගයෙන් සේවේ කරපු සහෝදරියක්. එයාගේ හිතේ ලොකු ආසාවක් තිබුණා ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහිල්ලා සේවේ කරන්න. 1966දී මං එයාව කසාද බැන්දා. සේවේ වැඩි කරන්න අපි දෙන්නාට තිබ්බ ආසාව දැක්ක චාරිකා සේවක අපෙන් ඇහුවා ඔන්ටාරියෝවල ඔරිලියා සභාවට උදව් කරන්න කැමතිද කියලා. ඉතිං අපි බඩු ටිකත් පැක් කරගෙන එහෙට ගියා.

රැන්ඩිට සේවේ කරන්න තිබුණ උද්‍යෝගය ටිකෙන් ටික මටත් කාන්දු වෙලයි තිබුණේ. ඒ නිසා මාත් ඔරිලියාවලට ගියාට පස්සේ ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. බයිබලේ පාවිච්චි කරලා මිනිස්සුන්ට පණිවිඩේ කියද්දී, සත්‍යය කියන බීජය එයාලාගේ හදවතේ පැළ වෙනවා දකිද්දී තමයි සේවේ රස මට දැනුණේ. ඔරිලියාවල හිටපු යුවළකට සත්‍යය කියලා දීලා එයාලව යෙහෝවා දෙවියන්ට ළං කරන්න ලැබුණ එක ඇත්තටම මට ලැබුණ ආශීර්වාදයක්.

භාෂාවේ සහ හිතන විදිහේ වෙනසක්

සැරයක් ටොරොන්ටෝවලට ගිය වෙලාවේ මට සහෝදර ආනල්ඩ් මැක්නමාරාව හම්බ වුණා. එයා බෙතෙල් එකේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයෙක්. එයා අපෙන් ඇහුවා විශේෂ පුරෝගාමි කරන්න කැමතිද කියලා. මං ආයේ දෙසැරයක් හිතන්නේ නැතුව එයාට කිව්වා “ඔව්, අනිවාර්යයෙන්ම! හැබැයි ක්විබෙක් ඇරෙන්න වෙන ඕන තැනක.” මොකද එහේ කතා කළේ ප්‍රංශ භාෂාව. ඒ විතරක් නෙවෙයි එහේ කොයි වෙලෙත් කලබල. ඒ කාලේ එයාලා කැනඩාවෙන් වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් වෙන්න රජයට විරුද්ධව උද්ඝෝෂණත් කළා.

ආනල්ඩ් කිව්වා “මේ වෙලාවේ ශාඛා කාර්යාලයෙන් විශේෂ පුරෝගාමීන්ව යවන්නේ ක්විබෙක්වලට විතරයි” කියලා. ඉතිං මං කැමැති වුණා. අනික මං දැනන් හිටියා රැන්ඩි නං මේ ගමනට එක පයින් කැමතියි කියලා. හැබැයි ඒක මං මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණවලින් එකක් කියලා මට පස්සේ තමයි තේරුණේ.

රැන්ඩියි, මායි පන්තියකට ගිහිල්ලා සති පහක් විතර ප්‍රංශ ඉගෙනගත්තා. ඊටපස්සේ අපි තවත් යුවළක් එක්ක රිමූස්කිවල සේවේ කරන්න ගියා. රිමූස්කි තිබ්බේ මොන්ට්‍රියල්වලට ඊසානට වෙන්න කිලෝමීටර් 540ක් විතර ඈතින්. සති ගාණක් තිස්සේ ප්‍රංශ ඉගෙනගත්තාට මොකෝ ඉගෙනගත්ත ඒවා මදි කියලා තේරුණේ දවසක් සභාවේදී නිවේදනයක් දෙන්න වුණාම. මට කියන්න තිබුණේ ඔස්ට්‍රියාවෙන් ආපු අමුත්තන්ව සාදරෙන් පිළිගන්නවා කියලා. හැබැයි මං කිව්වේ “ඕට්‍රිෂ් අමුත්තන්ව සාදරෙන් පිළිගන්නවා” කියලා. “ඕට්‍රිෂ්” කියන්නේ පැස්බරුන්ට!

රිමූස්කිවල අපේ “වයිට් හවුස්” එක

රිමූස්කිවල අපි දෙන්නායි, අපිත් එක්ක ගිය යුවළටයි අමතරව හොඳට සේවේ කරන නියම සහෝදරියෝ හතරදෙනෙකුත් අපිට එකතු වුණා. ඒ වගේම හියූබර්ඩෝ යුවළයි, එයාලාගේ දුවලා දෙන්නායි හිටියා. හියූබර්ඩෝ යුවළ කාමර හතක් තියෙන ලොකු ගෙයක් කුලියට ගත්තා. ඒකේ ඉස්සරහා පැත්තයි, කුළුණුයි සුදු පාට නිසා අපි ඒකට කිව්වේ “වයිට් හවුස්” කියලා. අපි හැමෝම කුලිය ගෙවන්න එයාලට උදව් කළා. සාමාන්‍යයෙන් ඒ ගෙදර අපි ඔක්කොම 12ක්, 14ක් විතර හිටියා. රැන්ඩියි, මායි විශේෂ පුරෝගාමි කරපු නිසා ගොඩක් වෙලාවට උදේ, දවල්, හවස සේවේ යනවා. කොච්චර සීත කාලගුණයකදී වුණත් අපිත් එක්ක සේවේ යන්න කවුරු හරි හිටියා. ඒක නං ඇත්තටම වටිනවා.

ඔහොම කාලේ ගත වෙද්දී අපි ටිකෙන් ටික කිට්ටු වුණා. අපිට දැනුණේ අපි එක පවුලක් වගේ කියලා. සමහර දවස්වලට අපි ගිනිමැලයක් ගහගෙන ඒක වටේ ඉඳගෙන පෙරෝගි කනවා. පෙරෝගි කියන්නේ පැටිස් වගේ කෑමක්. අපි එක්ක හිටපු එක සහෝදරයෙක්ට හොඳට සංගීතය වාදනය කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට සෙනසුරාදා රෑට අපි එකතු වෙලා සින්දු කිව්වා, නැටුවා.

රිමූස්කිවල මිනිස්සු ගොඩක් උනන්දුවෙන් පණිවිඩේ ඇහුවා. ඉතිං අවුරුදු පහක් ඇතුළත හුඟක් ශිෂ්‍යයන් බව්තීස්මත් වුණා. සභාවේ හිටපු ප්‍රචාරකයන් ගාණත් 35ක් වෙන කල් වැඩි වුණා.

ක්විබෙක්වල සේවේ කරද්දී අපිට හොඳ පුහුණුවකුත් ලැබුණා. අපි දැක්කා යෙහෝවා අපේ සේවේට ආශීර්වාද කරන විදිහ, එදිනෙදා අවශ්‍ය දේවල් අපිට සපයන විදිහ. ඊට අමතරව ප්‍රංශ භාෂාව කතා කරපු මිනිස්සුන්ට, එයාලාගේ භාෂාවට, සංස්කෘතියට ආදරේ කරන්නත් අපි ඉගෙනගත්තා. පස්සේ කාලෙක ඒක අපිට උදව් වුණා අනිත් සංස්කෘතීන්වල ඉන්න අයටත් අපේ ආදරේ පෙන්නන්න.—2 කොරි. 6:13.

හිතුවේවත් නැති විදිහට අපිට ට්‍රැකඩිවල සේවේ කරන්න යන්න කියලා කිව්වා. ට්‍රැකඩි තිබ්බේ නිව් බ්‍රන්ස්වික්වල වෙරළබඩ තීරයට වෙන්න. ඒ පැවරුම බාරගන්න නං ලේසි වුණේ නෑ. මොකද ඒ වෙද්දී අපි අලුත් ගේකට යන්න ගිවිසුමක් අත්සන් කරලයි තිබුණේ. අර්ධකාලීනව ළමයින්ට උගන්නන්නත් මං බාර අරන් තිබුණා. අනික මගේ බයිබල් ශිෂ්‍යයන් කීපදෙනෙක් ප්‍රචාරකයන් වුණා විතරයි. ඒ විතරකුත් නෙවෙයි අපි අලුතින්ම නමස්කාර මධ්‍යස්ථානයකුත් හදන්න පටන් අරන් තිබුණා.

ඉතිං අපි ඒ සති අන්තය පුරාම මේ අලුත් පැවරුම ගැන යාච්ඤා කළා. ඇත්තටම ට්‍රැකඩි කියන්නේ රිමූස්කිවලට වඩා ගොඩක් වෙනස් නගරයක්. ඒත් ඉතිං යෙහෝවා යන්න කියනවානේ. ඒ නිසා කොහොමහරි යන්න ඕනෙ කියලා තීරණය කළා. අපිට තිබ්බ හැම ප්‍රශ්නයක්ම ඔහුට බාර දුන්නා. හැබැයි එහෙම කරපු එකෙන් වැරදුණේ නෑ. මොකද ඒ හැම අභියෝගයක්ම ජය ගන්න යෙහෝවා උදව් කළා. (මලා. 3:10) වෙනස්කම් වෙද්දී හොඳට හිතලා තීරණ ගන්න මට හැමදාම වගේ උදව් වුණේ රැන්ඩිට යෙහෝවා ගැන තිබුණ විශ්වාසය, කැප කිරීම් කරන්න එයාට තිබුණ උනන්දුව. ඒ වගේම ඕනම ප්‍රශ්නෙකදී පුංචි විහිළුවක් කරලා මගේ මූඩ් එක හදන්න එයාට තිබුණ අපූරු හැකියාව. ඇත්තටම රැන්ඩි කියන්නේ ලස්සන හිතක් තියෙන කෙනෙක්.

අලුත් සභාවේ එක වැඩිමහල්ලයි හිටියේ. ඒ සහෝදර රොබට් රොස්. එයා එයාගේ බිරිඳ ලින්ඩා එක්ක එහේ පුරෝගාමි කළා. හැබැයි පුතා හම්බ වුණාට පස්සේ එයාලා පුරෝගාමි නැවැත්තුවා. ඒත් එයාලා දිගටම ඒ සභාවෙම හිටියා. පුතාවත් බලාගන්න ගමන් අනිත් දේවල් කරන එක ලේසි නැති වුණත් එයාලා දිගටම උද්‍යෝගයෙන් සේවේ කළා. ඒක අපිටත් ලොකු දිරිගැන්වීමක් වුණා.

ආශීර්වාදවලින් අඩුවක් නෑ

සීත කාලේ අපේ පළවෙනි චාරිකා සතිය

ට්‍රැකඩිවල අවුරුදු දෙකක් සේවේ කළාට පස්සේ තවත් පුදුම හිතෙන දෙයක් වුණා. අපිට චාරිකා යන්න කිව්වා. ඒ විදිහට අපි අවුරුදු හතක් ඉංග්‍රීසි චාරිකාවේ සේවේ කළා. ඊටපස්සේ අපි ප්‍රංශ භාෂාව කතා කරන චාරිකාවකට මාරු වුණා. එහේ දිස්ත්‍රික් සේවක විදිහට සේවේ කළේ සහෝදර ලියොන්ස් ක්‍රෙපෝ. මුලින්ම එයා මං දෙන දේශන අගය කරලා ඊටපස්සේ මගෙන් ඇහුවා “සහෝදරයන්ට මීට වඩා මේක අදාළ කරගන්න පුළුවන් විදිහට දේශනය දෙන්නේ කොහොමද” කියලා. b දේශනයක් දෙන හැම වතාවකම එයා එහෙම ඇහුවා. ඒ විදිහට එයා මං ගැන පෞද්ගලිකවම සැලකිලිමත් වුණ නිසා අනිත් අයට ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට, සරලව දේශන දෙන්න මං ඉගෙනගත්තා.

1978දී මොන්ට්‍රියල්වල තිබුණ “දිව්‍ය ඇදහිල්ල” කියන ජාත්‍යන්තර සමුළුව මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මං ඒකේ ආහාර පිළියෙල කරන අංශයේ තමයි සේවේ කළේ. ඒ සමුළුවට 80,000ක් විතර එයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ එන අයට කෑම දෙන්න අලුත්ම සැලැස්මක් තමයි තිබුණේ. කෑම හදන්න තිබ්බ බඩු, දෙන කෑම, ඒවා ලෑස්ති කරන විදිහ මේ හැම දෙයක්ම අලුත්. අපිට විශාල ශීතකරණ 20ක් විතර තිබුණා. හැබැයි සමහර වෙලාවට ඒවා හරියට වැඩ කළෙත් නෑ. ඒ සමුළුව තිබ්බේ ක්‍රීඩාංගණයක. ඉතිං තරඟ තිබ්බ නිසා සමුළුවේ පළවෙනි දවස වෙන කල්ම අපිට ඒකට යන්න ලැබුණේ නෑ. සමුළුව පටන්ගන්න දවසේ මහ පාන්දර තමයි හැම දෙයක්ම ලෑස්ති කරන්න සිද්ධ වුණේ. එළිය වැටෙන්නත් කලින් පාන් ටික බේක් කළේ නැත්තං උදේ කෑම ලෑස්ති කරන්න හම්බ වෙන්නේ නෑ! අපි හොඳටම හෙම්බත් වෙලා හිටියේ. හැබැයි සහෝදරයෝ ඉවසීමෙන් මහන්සි වෙලා වැඩ කරන විදිහ, පුංචි විහිළුවක් කරලා සතුටින් ඉන්න විදිහ දකිද්දී මාත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. අපි හැමෝම එකා වගේ වැඩ කළේ. ඒ නිසා අපි අතර පුදුම බැඳීමක් ඇති වුණා. 1940, 1950 ගණන්වල ක්විබෙක්වල හිතාගන්න බැරි තරම් විරුද්ධවාදිකම් තිබුණා. එහෙම තිබ්බ රටක ජාත්‍යන්තර සමුළුවක් තියන්න ලැබුණ එක ඇත්තටම ඉතිහාසගත වෙන සිද්ධියක්.

1985දී රැන්ඩි එක්ක මොන්ට්‍රියල්වල තිබුණ සමුළුවේ වැඩ ලෑස්ති කරනවා

මොන්ට්‍රියල්වල පවත්වපු ලොකු සමුළුවල අංශ භාර සහෝදරයන් එක්ක වැඩ කරද්දීත් මං හුඟක් දේවල් ඉගෙනගත්තා. මට මතකයි එක අවුරුද්දක සමුළු කාර්යාලය අධීක්ෂණය කරන්න තිබුණේ දැන් පාලක මණ්ඩලයේ සේවේ කරන සහෝදර ඩේවිඩ් ස්ප්ලේන්ට. ඊටපස්සේ තිබ්බ සමුළුවලදී ඒ පැවරුම ලැබුණේ මට. ඒ වෙලාවේ ඒක හොඳට කරන්න ඩේවිඩ් මට සෑහෙන්න උදව් කළා.

ඔය විදිහට රැන්ඩියි, මායි අවුරුදු 36ක්ම චාරිකා සේවේ කළා. ඊටපස්සේ 2011දී මට ආරාධනාවක් ලැබුණා වැඩිමහල්ලන් සඳහා පාසැලේ උපදේශකයෙක් විදිහට වැඩ කරන්න. ඒ නිසා අපි අවුරුදු දෙකක් ඇතුළත තැන් 75කට විතර ගියා. හැබැයි ඒ කැප වීම කවදාවත් අපතේ ගියේ නෑ. මොකද වැඩිමහල්ලන්ට තිබුණ හැම පාසැලක්ම ඉවර වෙද්දී අපි දැක්කා එයාලාගේ මූණවල්වල තියෙන සතුට. ඒකට හේතුව එයාලට දෙවියන් එක්ක තියෙන බැඳීම ගැන පාලක මණ්ඩලය කොච්චර හිතනවාද කියලා ඒ පාසැලෙන් එයාලට දැනුණා.

පස්සේ මට අවස්ථාව ලැබුණා ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලේ උපදේශකයෙක් විදිහට සේවේ කරන්න. ඒ ශිෂ්‍යයන්ට නං එයාලාගේ කාලසටහනත් එක්ක ලේසි වුණේ නෑ. මොකද හැම දවසකම පැය හතක් පාසැලෙන් ඉගෙනගන්න සිද්ධ වුණා. ඊටපස්සේ පැය තුනක් ඒකේ දෙන ගෙදර වැඩ කරන්න වුණා. ඊට අමතරව හැම සතියකම පැවරුම් හතරක්, පහක්වත් එයාලට ලැබෙනවා. ඉතිං මායි, අනිත් උපදේශකවරුනුයි එයාලට හැම තිස්සේම කියපු දෙයක් තමයි “යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න, ඔහුගේ උදව්වෙන් කරන්න බැරි දෙයක් නෑ” කියලා. ඒක කොච්චර ඇත්තද කියලා යෙහෝවා මත රඳා ඉද්දී එයාලා අද්දැක්කා. එයාලා ඒ ගැන ගොඩක් පුදුම වුණා.

අවංක සැලකිල්ල ආශීර්වාද ගෙන දෙයි

මගේ අම්මා අනිත් අයට පෙන්නපු අවංක සැලකිල්ල හුඟදෙනෙක්ව සත්‍යයට ඇදගත්තා විතරක් නෙවෙයි අන්තිමේදී තාත්තාගේ දැඩි හිත මෙළෙක් වෙන්නත් හේතුවක් වුණා. අම්මා මැරිලා දවස් තුනකට පස්සේ වුණේ හිතාගන්න බැරි දෙයක්. තාත්තා බයිබල් දේශනය අහන්න රැස්වීම් ආවා! එදා ඉඳන් අවුරුදු 26ක් යන කල් එයා එක රැස්වීමක්වත් අතපසු කළේ නෑ. තාත්තා කවදාවත් බව්තීස්ම වුණේ නං නෑ. හැබැයි වැඩිමහල්ලෝ කියනවා හැම සතියකම රැස්වීමට මුලින්ම එන්නේ තාත්තා කියලා.

අම්මා අපිටත් ලොකු ආදර්ශයක් තිබ්බා. මගේ නංගිලා තුන්දෙනාම එයාලාගේ මහත්තුරුත් එක්ක දැන් පූර්ණකාලීනව සේවේ කරනවා. නංගිලා දෙන්නෙක් බෙතෙල් එකේ. එක් කෙනෙක් පෘතුගාල්වල, අනිත් කෙනා හයිටිවල.

දැන් රැන්ඩියි, මායි ඔන්ටාරියෝ හැමිල්ටන්වල විශේෂ පුරෝගාමි කරනවා. මෙච්චර කල් චාරිකා යද්දී අපි අනිත් සහෝදරයන්ගේ නැවත බැලීම්, පාඩම් දියුණු වෙන විදිහ දැක්කා. දැන් අපිට අවස්ථාව තියෙනවා අපේම ශිෂ්‍යයන්ව යෙහෝවා දෙවියන්ට ළං කරන්න. මෙහේ සභාව අපිට ගොඩක් අලුත්. හැබැයි මෙහේ හැමෝම හරිම එකමුතුයි. අපි එයාලව නිතරම දිරිගන්වනවා දුක සැප දෙකේදීම යෙහෝවා එයාලත් එක්ක ඉන්න විදිහ දකින්න කියලා.

ජීවිතේ දිහා ආපස්ස හැරිලා බලද්දී අපි ගැන අවංක සැලකිල්ලක් පෙන්නලා අපිට ආදරේ කරපු හුඟදෙනෙක් හිටියා. අපි එයාලව හදවතින්ම අගය කරනවා. ඒ වගේම අපි අනිත් අයටත් දිරිගන්වන්නේ එකිනෙකාට “අවංක උනන්දුවක්” පෙන්නන්න, යෙහෝවා වෙනුවෙන් උපරිමය කරන්න කියලා. (2 කොරි. 7:6, 7) මං එක සිද්ධියක් කියන්නම්. අපේ සභාවේ එක පවුලක් හිටියා. ඒ පවුලේ නෝනායි, දුවයි, පුතායි තුන්දෙනාම පූර්ණකාලීන සේවේ කරනවා. ඉතිං මං ඒ මහත්තයාගෙන් ඇහුවා “ඔයා පුරෝගාමි කරන එක ගැන කවදාවත් හිතලා නැද්ද” කියලා. ඒ වෙලාවේ එයා කිව්වා “මං ඉතිං පුරෝගාමි කරන්න අනිත් තුන්දෙනාට උදව් කරනවානේ” කියලා. ඊටපස්සේ මං එයාගෙන් ඇහුවා “ඔයා හිතනවාද යෙහෝවාටත් වඩා හොඳට එයාලට උදව් කරන්න ඔයාට පුළුවන් කියලා?” ඊටපස්සේ මං එයාට දිරිගැන්නුවා එයාගේ පවුලේ අනිත් අය වගේ සේවෙන් ලැබෙන සතුට අත්විඳලා බලන්න කියලා. ඊට මාස හයකට පස්සේ එයාත් පුරෝගාමි පටන්ගත්තා.

රැන්ඩියි, මායි “මතු පරම්පරාවටත්” යෙහෝවාගේ “පුදුමාකාර දේවල් ගැන” දිගටම කියනවා. අපේ එකම ප්‍රාර්ථනාව යෙහෝවාට සේවේ කරලා අපි දැන් ලබන ඒ සතුට එයාලටත් අද්දකින්න ලැබේවා කියලයි.—ගීතා. 71:17, 18.

a දැන් ඒක මෙහෙයවන කෙනාට කියන්නේ “ජීවිතය සහ දේවසේවය රැස්වීම භාර සහෝදරයා” කියලා.

b සහෝදර ලියොන්ස් ක්‍රෙපෝගේ අද්දැකීම කියවන්න 2020 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ 26-30 පි. බලන්න.