Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 30

ආදරේ දවසින් දවස වැඩි කරගන්න

ආදරේ දවසින් දවස වැඩි කරගන්න

“ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.”—එෆී. 4:15.

ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි

මේ ලිපියෙන් a

1. බයිබලේ ඉගෙනගන්න පටන්ගද්දී ඔයා දැනගත්තේ මොනවාද?

 ඔයා බයිබලේ ඉගෙනගන්න පටන්ගත්ත මුල් දවස් මතකද? දෙවියන්ට නමක් තියෙනවා කියලා දැනගත්තාම ඔයා පුදුම වෙන්න ඇති. දෙවියන් මිනිස්සුන්ව නිරයක දාලා දඬුවම් කරන්නේ නැහැ කියලා තේරුම්ගත්තාම ඔයාට ලොකු සහනයක් දැනෙන්න ඇති. ඒ වගේම ඔයා ආදරේ කරන අය නැවත නැඟිටලා එනවා කියලා දැනගත්තාම, එයාලත් එක්ක සදහටම පාරාදීසේ ජීවත් වෙන්න ලැබෙනවා කියලා දැනගත්තාම ඔයාගේ හිත සතුටින් පිරිලා යන්න ඇති.

2. ඔයාගේ ජීවිතේ වුණ තවත් වෙනස්කම් මොනවාද? (එෆීස 5:1, 2)

2 ඔයා බයිබලේ ගැන ඉගෙනගද්දී යෙහෝවා දෙවියන් ගැන තිබ්බ ආදරේ ටිකෙන් ටික වැඩි වුණා. ඒ ආදරේ ඔයාව පෙලඹුවා ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න. ඒ වගේම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා කලින්ට වඩා හොඳ තීරණ ගන්න ඔයාට පුළුවන් වුණා. ඔයා හිතන විදිහයි, වැඩ කරන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මොකද ඔයාට ඕන වුණේ ඒ හැම දේකින්ම යෙහෝවාව සතුටු කරන්න. පුංචි දරුවෙක් දෙමාපියන්ව අනුකරණය කරනවා වගේ ඔයාත් ඔයාගේ ස්වර්ගික පියාව අනුකරණය කරන්න පටන්ගත්තා.—එෆීස 5:1, 2 කියවන්න.

3. අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

3 ‘දැන් ඉස්සරට වඩා යෙහෝවා ගැන මගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙලාද? බව්තීස්ම වෙච්ච දවසේ ඉඳලා වැඩි වැඩියෙන් දෙවියන් වගේ හිතන්න, වැඩ කරන්න මං පුරුදු වෙලා තියෙනවාද? විශේෂයෙන්ම සහෝදරයන්ට ආදරේ පෙන්නන එක පැත්තෙන් මං එහෙම කරලා තියෙනවාද?’ ඒ ප්‍රශ්න අපෙන්ම අහගන්න එක වැදගත්. ඒත් ඔයාගේ හිතේ “මුලින් තිබුණ ආදරේ” දැන් නිවිලා ගිහිල්ලා කියලා ඔයාට හිතෙනවා නම් අධෛර්යය වෙන්න එපා. මොකද මුල් සියවසේ හිටපු සමහරුන්ටත් ඒකම වුණා. හැබැයි එහෙමයි කියලා යේසුස් එයාලව අහක දැම්මේ නැහැ. ඔහු ඔයාව අහක දාන්නෙත් නැහැ. (එළි. 2:4, 7) මොකද යේසුස් හොඳටම දන්නවා මුලින් තිබ්බ ආදරේ ආයෙත් අවුළවලා ගන්න අපිට පුළුවන් කියලා.

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

4 දෙවියන් ගැන, අනිත් අය ගැන තියෙන ආදරේ දිගටම වැඩි කරගන්නේ කොහොමද? එහෙම කරද්දී අපිටයි, අනිත් අයටයි ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ගැන මේ ලිපියෙන් බලමු.

යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න

5-6. (අ) පාවුල් මුහුණ දුන්නේ මොන අභියෝගවලටද? (ආ) දිගටම යෙහෝවාට සේවේ කරන්න එයාට උදව් වුණේ මොනවාද?

5 පාවුල් කියන්නේ දෙවියන් වෙනුවෙන් හොඳ සේවයක් කරපු කෙනෙක්. හැබැයි එහෙමයි කියලා එයාට ප්‍රශ්නවලිනුත් බේරිල්ලක් තිබුණේ නැහැ. එයා සේවේ කරන්න දුර ඈත පැතිවලට ගියා. ඒ කාලේ ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. සමහර දවස්වල ‘ගංගා හරහා යනකොට එයා උවදුරුවලට ලක් වුණා. මංකොල්ලකාරයන්ගෙනුත් පීඩා වින්දා.’ පාවුල් විරුද්ධවාදීන්ගෙන් ගුටි කාපු වාර ගාණත් අනන්තයි. (2 කොරි. 11:23-27) ඒ වගේම සමහර වෙලාවට එයා සහෝදරයන් වෙනුවෙන් හොඳ හිතින් දේවල් කළත් එයාලත් ඒවා අගය කළේ නැහැ.—2 කොරි. 10:10; ෆිලි. 4:15.

6 මේ හැම දේම මැද්දේ දිගටම සේවේ කරන්න පාවුල්ට උදව් වුණේ මොනවාද? එයා ශුද්ධ ලියවිල්ලෙන් වගේම එයාගෙම අද්දැකීම්වලින් තේරුම්ගත්තා යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා. ඒ නිසා දෙවියන් එයාට ගොඩක් ආදරෙයි කියලා පාවුල්ට තේරුණා. (රෝම 8:38, 39; එෆී. 2:4, 5) ඒ වගේම පාවුල්ගේ හිතෙත් දෙවියන් ගැන ලොකු ආදරයක් තිබ්බා. ඒ නිසයි ‘ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් දිගටම සේවය කරලා’ ඒ ආදරේ එයා ඔප්පු කරලා පෙන්නුවේ.—හෙබ්‍රෙ. 6:10.

7. යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

7 යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ තව වැඩි කරගන්න උදව් වෙන එක දෙයක් තමයි උනන්දුවෙන් බයිබලේ අධ්‍යයනය කරන එක. ඔයා බයිබලේ කියවද්දී ඒ හැම කොටසකින්ම යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. ‘මේ කියවපු කොටසෙන් යෙහෝවාගේ ආදරේ පේන්නේ කොහොමද? ඔහුට ආදරේ කරන්න මට හම්බ වුණ හේතු මොනවාද?’ කියලා කල්පනා කරන්න.

8. දෙවියන්ට තියෙන ආදරේ වැඩි කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

8 හැම දවසකම යෙහෝවාට යාච්ඤා කරලා ඔයාගේ හිතේ තියෙන ඔක්කොම ඔහුට කියන්න. මොකද ඔහු ගැන තියෙන ආදරේ වැඩි කරගන්න ඒකත් උදව් වෙනවා. (ගීතා. 25:4, 5) ඒ වගේ යාච්ඤාවලට යෙහෝවාත් උත්තර දෙනවා. (1 යොහ. 3:21, 22) බලන්න ඒ ගැන සහෝදරි කාන් කියන දේ. “යෙහෝවා ගැන දැනගත්ත මුල් කාලේ ඔහු ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. හැබැයි ඒ ආදරේ තව වැඩි වුණේ ඔහු මගේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ දකිද්දී. ඒක තමයි ඔහුගේ සතුට ගැන හිතලා වැඩ කරන්න මාව පෙලඹුවේ.” b

අනිත් අය ගැන තියෙන ආදරේ වැඩි කරගන්න

9. තිමෝති සහෝදරයන් ගැන ලොකු ආදරයක් ඇති කරගෙන තිබුණා කියලා අපි දන්නේ කොහොමද?

9 පාවුල් ක්‍රිස්තියානියෙක් වෙලා වැඩි කල් යන්න කලින් එයාට එක තරුණයෙක්ව මුණගැහුණා. ඒ තමයි තිමෝති. තිමෝති දෙවියන්ට විතරක් නෙවෙයි අනිත් අයටත් ගොඩක් ආදරේ කළා. සැරයක් ෆිලිප්පිවරුන්ට ලියද්දී පාවුල් තිමෝති ගැන මෙහෙම කිව්වා. “ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය.” (ෆිලි. 2:20) පාවුල් කිව්වේ තිමෝති ගොඩක් දක්ෂ කථිකයෙක් කියලවත් හැම දෙයක්ම හොඳට සංවිධානය කරන කෙනෙක් කියලවත් නෙවෙයි. ඒ වෙනුවට තිමෝති සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලයි කිව්වේ. මොකද එයාගේ ගුණාංග පාවුල්ගේ හිතට තදින්ම කාවැදිලා තිබුණා. තිමෝතිගේ ඒ ගුණාංග නිසා සහෝදරයොත් තිමෝති එයාලාගේ සභාවට එන කල් නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති.—1 කොරි. 4:17.

10. ඇනායි, එයාගේ මහත්තයායි සහෝදරයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද?

10 අපිටත් ඕනෙ හැම වෙලේම අපේ සහෝදරයන්ට ආදරේ පෙන්නන්න. (හෙබ්‍රෙ. 13:16) කලින් ලිපියේ කතා කරපු සහෝදරි ඇනායි, එයාගේ මහත්තයායි දවසක් එක සහෝදර පවුලක් බලන්න ගියා. මොකද ලොකු කුණාටුවක් ඇවිත් ඒ සහෝදරයන්ගේ ගෙදර වහලේ කඩන් වැටිලා තිබුණේ. එයාලාගේ ඇඳුම් හොඳටම තෙමිලා එයාලට අඳින්න දේකුත් තිබුණේ නැහැ. බලන්න ඇනා කියන දේ. “අපි එයාලාගේ ඇඳුම් අරන් ඇවිත් හේදුවා. ඒවා වේලලා, අයන් කරලා, නවලා තමයි ගිහිල්ලා දුන්නේ. අපිට නම් ඒක සුළු දෙයක්. හැබැයි ඒක එයාලාගේ හිතට තදින්ම වැදුණා. එදා ඉඳන් අපේ පවුල් දෙක හරිම කිට්ටුයි.” ඔව්, සහෝදරයෝ ගැන ඇනාගෙයි, එයාගේ මහත්තයාගෙයි හිතේ තිබුණ ආදරේ එයාලව පෙලඹුවා උදව් ඕනෙ පැති හොයලා බලලා ඒ උදව් දෙන්න.—1 යොහ. 3:17, 18.

11. (අ) අපි ආදරේ පෙන්නද්දී ඒක අනිත් අයට බලපාන්නේ කොහොමද? (ආ) අපි අනිත් අයට ආදරේ කරද්දී යෙහෝවා ඔහුගේ පැත්තෙන් කරන්නේ මොනවාද? (හිතෝපදේශ 19:17)

11 අපි අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකද්දී එයාලා දකිනවා අපි ආදර්ශයට ගන්න මහන්සි වෙන්නේ දෙවියන්ව කියලා. අපි දන්නේ නැති වුණාට සමහරවිට අපි කරන පුංචිම දෙයක් වුණත් කෙනෙක්ගේ හිතට තදින්ම කාවදින්න පුළුවන්. ඒක තේරුම්ගන්න මේ ලිපියේ කලින් කතා කරපු සහෝදරි කාන්ගේ අද්දැකීම බලන්න. එයාට උදව් කරපු අය ගැන මතක් කරලා එයා මෙහෙම කියනවා. “පුංචි කාලේ සමහර සහෝදරියන් ගෙදරටම ඇවිල්ලා මාව සේවේ එක්ක ගියා. ඒ විතරක් නෙවෙයි එයාලා මට කන්නත් අරන් දුන්නා. සේවේ ඉවර වෙලා ආයෙත් මාව පරෙස්සමට ගෙදරටම ගෙනත් ඇරලුවා. දැන් තමයි තේරෙන්නේ එයාලා ඒකට කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා. එයාලා එහෙම කළේ මට තියෙන ආදරේ නිසා. මං එයාලා හැමෝටම ණයගැතියි. සමහර වෙලාවට මට හිතෙනවා එයාලා කරපු දේවල් වෙනුවෙන් මටත් මොනවා හරි කරන්න තිබුණා නං කියලා. ඒත් දැන් එයාලා ඉන්නේ කොහෙද කියලවත් මං දන්නෑ. හැබැයි යෙහෝවා දන්නවා. ඒ නිසා මං ඔහුගෙන් ඉල්ලනවා ‘අනේ යෙහෝවා මං වෙනුවෙන් එයාලට ආශීර්වාද කරන්න’ කියලා.” සහෝදරි කාන් කියපු දේ කොච්චර ඇත්තද! හැබැයි සමහර වෙලාවට අපි කරන දේවල් හැමෝම අගය කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් දිහා යෙහෝවා බලන් ඉන්නවා. ඔහු ඒක සලකන්නේ ඔහුට දෙන ණයක් විදිහට. ඒ නිසා ළඟදීම ඔහු අපිට ආශීර්වාද කරලා පොලියත් එක්කම ඒ ණය ගෙවලා ඉවර කරයි.—හිතෝපදේශ 19:17 කියවන්න.

සත්‍යය තුළ දියුණු වෙන කෙනෙක් අනිත් අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හොයලා බලනවා (12 ඡේදය බලන්න)

12. සභාවේ අයට ආදරේ පෙන්නන්න සහෝදරයන්ට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

12 ඔයා සහෝදරයෙක් නම් ඔයාට පුළුවන් කොහොමද සභාවේ අයට ආදරේ කරන්න? දවසක් යෞවනයෙක් වුණ ජෝඩන් වැඩිමහල්ලෙක්ගෙන් ඇහුවා සභාවේ අයට උදව් කරන්න පුළුවන් තව මොන පැතිවලින්ද කියලා. ඉතින් ඒ වැඩිමහල්ලා ජෝඩන් මේ වෙන කල් කරපු හොඳ දේවල් අගය කරලා එයාට තව දියුණු වෙන්න පුළුවන් පැතිත් පෙන්නලා දුන්නා. එයා ජෝඩන්ට කිව්වා කලින්ම ඇවිත් රැස්වීමට එන අයව පිළිගන්න, රැස්වීම්වලදී තව වැඩියෙන් උත්තර දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ කණ්ඩායමත් එක්ක හැම සතියේම සේවේ යන්න, සභාවේ අයට උදව් ඕනෙ පැති ගැන හොයලා බලලා එයාලට උදව් කරන්න කියලත් ඒ වැඩිමහල්ලා කිව්වා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා දක්ෂතා, හැකියාවන් වර්ධනය කරගන්න ජෝඩන්ට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි එයාගේ හිතේ සහෝදරයන් ගැන තිබ්බ ආදරෙත් වැඩි වුණා. ජෝඩන් තේරුම්ගත්තා කෙනෙක් අනිත් අයට උදව් කරන්න ඕනෙ සහායක සේවකයෙක් වුණාට පස්සේ නෙවෙයි, ඒක මුල ඉඳන්ම කරන්න පුරුදු වෙලා ඉන්න ඕනෙ දෙයක් කියලා.—1 තිමෝ. 3:8-10, 13.

13. ආයෙත් වැඩිමහල්ලෙක් වෙන්න සහෝදරයෙක්ට ආදරේ පෙන්නන එක උදව් වුණේ කොහොමද?

13 ඔයා මීට කාලෙකට කලින් සහායක සේවකයෙක් විදිහට නැත්නම් වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරපු කෙනෙක්ද? එහෙමනම් අමතක කරන්න එපා යෙහෝවා ඔයා කරපු ඒ සේවේවත් ඒක කරන්න ඔයාව පොලඹවපු ඒ ආදරේවත් කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා. (1 කොරි. 15:58) ඔයා දිගටම අනිත් අය වෙනුවෙන් කරන දේවල් දිහා, එයාලට පෙන්නන ආදරේ දිහා ඔහු බලාගෙන ඉන්නවා. සහෝදර ක්‍රිස්ටියන්ගේ අද්දැකීම බලන්න. එයා කලින් වැඩිමහල්ලෙක්. හැබැයි පස්සේ ඒ පැවරුම නැති වුණාම එයාට ලොකු දුකක් දැනුණා. එයා මෙහෙම කියනවා. “මං හිතාගත්තා පැවරුම් තිබුණත් නැතත් මට යෙහෝවා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා කියලා.” කාලෙකට පස්සේ එයා ආයෙත් වැඩිමහල්ලෙක් වුණා. එයා මෙහෙම කියනවා. “මුලදී මට පොඩි බයක් දැනුණා. හැබැයි මං හිතුවා යෙහෝවා මට දයාව පෙන්නලා මේ පැවරුම ආයෙත් දුන්නානේ, ඒ නිසා මං ඒක උපරිමයෙන් කරනවා කියලා. මොකද මං යෙහෝවාටයි, මගේ සහෝදරයන්ටයි ගොඩක් ආදරෙයි.”

14. ජෝර්ජියාවේ ඉන්න සහෝදරියගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

14 සාක්ෂිකරුවන් දෙවියන්ට විතරක් නෙවෙයි අනිත් අයටත් ගොඩක් ආදරෙයි. (මතෙ. 22:37-39) ජෝර්ජියාවේ ඉන්න සහෝදරි එලේනා කියන දේ බලන්න. “මුලදී මං සේවේ යන්න පෙලඹුණේ යෙහෝවා ගැන මගේ හිතේ තියෙන ආදරේ නිසයි. හැබැයි ඒ ආදරේ වැඩි වෙද්දී මිනිස්සු ගැන තියෙන ආදරෙත් වැඩි වුණා. එයාලා මුහුණ දෙන්නේ කොයි වගේ දේවල්වලටද, එයාලාගේ හිතට දැනෙන්න නම් එයාලත් එක්ක කතා කරන්න ඕනෙ මොන වගේ විෂයක්ද කියලා මං නිතරම හිතුවා. ඒ නිසා එයාලට තව වැඩියෙන් උදව් කරන්න මං පෙලඹුණා.”—රෝම 10:13-15.

ආදරේ ප්‍රතිඵලය ආශීර්වාදයි!

ආදරෙන් පෙලඹිලා කරන එක ක්‍රියාවකට පුළුවන් හුඟදෙනෙක්ට ප්‍රයෝජන ගේන්න (15-16 ඡේද බලන්න)

15-16. රඟ දැක්වීම් ඇතුළත් පින්තූරවලින් පෙන්නන විදිහට අනිත් අයට ආදරේ කරන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

15 අපි අපේ සහෝදරයන්ට ආදරේ පෙන්නද්දී ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ එයාලා විතරක්ම නෙවෙයි. ඒක තේරුම්ගන්න අපි අද්දැකීමක් බලමු. කොරෝනා පටන්ගත්ත මුල සහෝදර පාවුලෝයි, එයාගේ නෝනායි වයසක සහෝදරියන්ට ෆෝන්, ටැබ් පාවිච්චි කරලා සාක්ෂි දරන්න ඉගැන්නුවා. එක සහෝදරියක් හරිම අමාරුවෙන් තමයි ඒකට හුරු වුණේ. හැබැයි ඒ උපකරණ පාවිච්චි කරන විදිහ ඉගෙනගත්ත නිසා ඒ සහෝදරියට පුළුවන් වුණා එයාගේ නෑදෑයෝ හුඟදෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. අන්තිමේදී 60දෙනෙක් වීඩියෝ කොන්ෆරන්ස් හරහා සිහි කිරීමට ආවා. ඒ වයසක සහෝදරියයි, එයාගේ නෑදෑයොයි ප්‍රයෝජන ලැබුවේ පාවුලෝ සහ එයාගේ නෝනා පෙන්නපු ආදරේ නිසයි. ඒ සහෝදරිය පාවුලෝට මෙහෙම ලියලා එව්වා. “වයසක අපි වගේ අයට ඉගැන්නුවාට ඔයාලට ගොඩක් ස්තුතියි! ඔයාලා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. අපි ඔයාලාගෙන් යෙහෝවාගේ ආදරේ දැක්කා. ඒ කරපු දේවල් නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.”

16 ඒ අද්දැකීම නිසා සහෝදර පාවුලෝත් වැදගත් දෙයක් ඉගෙනගත්තා. එයා තේරුම්ගත්තා ආදරය තියෙන්නේ දැනුම, දක්ෂතා, හැකියාවන්වලට වඩා ගොඩක් ඉහළින් කියලා. බලන්න එයා කියන දේ. “මං කලින් චාරිකා සේවකයෙක්. මට දැන් තේරෙනවා මං ඒ කාලේ දීපු දේශන සහෝදරයන්ට මතක නැති වුණාට එයාලා වෙනුවෙන් කරපු දේවල් එයාලා අමතක කරලා නෑ කියලා.”

17. අපි ආදරේ පෙන්නද්දී තව කවුද ප්‍රයෝජන ගන්නේ?

17 අපි අනිත් අයට ආදරේ කරද්දී ඒකෙන් අපිත් ප්‍රයෝජන ගන්නවා. නවසීලන්තයේ ඉන්න ජොනතන් ඒක අද්දැකීමෙන්ම ඉගෙනගත්තා. සෙනසුරාදා දවසක ගිනි කාෂ්ටක අව්වේ පුරෝගාමියෙක් තනියම සේවේ යනවා එයා දැක්කා. එයාට ගොඩක් දුක හිතුණා. ඒ නිසා එයා හිතුවා ‘අනේ පව් ඒ සහෝදරයා. මාත් එයාත් එක්ක සේවේ යන්න ඕනෙ’ කියලා. ආදරෙන් පෙලඹිලා කරපු ඒ පුංචි දේ නිසා එයාටම ප්‍රයෝජන ලැබෙයි කියලා ජොනතන් කවදාවත් හිතන්න නැතුව ඇති. බලන්න එයා කියන දේ. “මං ඉස්සර සේවේ යන්න එච්චර ආස නෑ. හැබැයි ඒ සහෝදරයා එක්ක සේවේ යද්දී මං එයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. පණිවිඩයට උනන්දු වෙන හුඟදෙනෙක්ව එයාට හම්බ වුණා. ඒ නිසා එයාගේ මූණේ තිබුණ හිනාව මං දැක්කා. ඉතිං කාලයත් එක්කම මගේ හිතෙත් සේවේ කරන්න ලොකු ආසාවක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා ළඟට මාව තල්ලු කරන හොඳ යාළුවෙකුත් මට හම්බ වුණා. දැන් මං සේවේ යන්නේ ගොඩක් සතුටින්. දෙවියන් එක්ක මට තියෙන බැඳීමත් දැන් වෙනදාට වඩා ශක්තිමත්.”

18. අපි මොනවා කරනවාටද යෙහෝවා දෙවියන් කැමති?

18 දෙවියන් කැමති ඔහු ගැන, අනිත් අය ගැන අපේ හිතේ තියෙන ආදරේ දවසින් දවස දලුලනවා දකින්න. යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න නම් අපි හැම දවසකම ඔහුගේ වචනය කියවලා ඒ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්න ඕනේ. සහෝදරයන් ගැන තියෙන ආදරේ වැඩි කරගන්න නම් අපි එයාලට උදව් ඕන මොන පැතිවලින්ද කියලා හොයලා බලලා ඒ උදව් දෙන්න ඕනේ. එහෙම කරද්දී ගත වෙන හැම තත්පරයකදීම අපේ හිතේ තියෙන ආදරේ වැඩි වෙලා අපි යෙහෝවා දෙවියන්ටත් අපේ සහෝදරයන්ටත් ගොඩක් කිට්ටු වෙයි. ඒ ඇති වෙන බැඳීම් සදහටම අපි ළඟම රැඳිලා තියෙයි.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

a අපි අලුත් අය වුණත් කාලයක් තිස්සේ සත්‍යයේ ඉන්න අය වුණත් අපි හැමෝටම තව දියුණු වෙන්න පුළුවන්. එහෙම දියුණු වෙන්න පුළුවන් එක පැත්තක් තමයි යෙහෝවා දෙවියන් ගැන සහ අනිත් අය ගැන තියෙන ආදරේ තව වැඩි කරගන්න එක. මේ ලිපියේ තොරතුරු සාකච්ඡා කරද්දී ඔයා දැනටමත් ඒ පැත්තෙන් කොච්චර දියුණුවක් ලබලා තියෙනවාද කියලත් තව දියුණු වෙන්න පුළුවන් කොහොමද කියලත් හොඳට හිතලා බලන්න.

b සමහර නම් වෙනස් කර ඇත.