Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 29

මහත් පීඩාවට ඔයා ලෑස්තිද?

මහත් පීඩාවට ඔයා ලෑස්තිද?

“ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න.”—මතෙ. 24:44.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

මේ ලිපියෙන් a

1. විපතකට කලින්ම ලෑස්ති වෙන එක ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි?

 සූදානම ජීවිත ගලවයි! විපතක් එද්දී ඒකට කලින්ම ලෑස්ති වෙලා හිටියොත් ගොඩක් වෙලාවට ජීවිත බේරගන්න පුළුවන්. ඒ වගේම අනිත් අයටත් ජීවිත බේරගන්න උදව් කරන්න පුළුවන්. සහන සේවාවලට සම්බන්ධ එක ආයතනයක් මෙහෙම කිව්වා. “ජීවිතයද මරණයද කියන එක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ පෙර සූදානම මතයි.”

2. අපි මහත් පීඩාවට කලින්ම සූදානම් වෙන්න ඕනෙ ඇයි? (මතෙව් 24:44)

2 “මහත් පීඩාව” එන්නේ හදිස්සියේමයි. (මතෙ. 24:21) හැබැයි අනිත් විපත්ති වගේ නෙවෙයි මහත් පීඩාව එනවා කියලා අපි කලින්ම දැනුවත් වෙලයි ඉන්නේ. අවුරුදු 2,000කට කලින් යේසුස් අනතුරු ඇඟෙව්වා ඒකට කල්තියාම සූදානම් වෙලා ඉන්න කියලා. (මතෙව් 24:44 කියවන්න.) එහෙම කළොත් ඒ අමාරු කාලෙට මුහුණ දෙන්න අපිට ලේසි වෙනවා විතරක් නෙවෙයි අනිත් අයටත් උදව් කරන්න අපිට පුළුවන් වෙනවා.—ලූක් 21:36.

3. මහත් පීඩාවට ලෑස්ති වෙන්න අපිට විඳදරාගැනීම, දයානුකම්පාව සහ ආදරය උදව් වෙන්නේ කොහොමද?

3 මහත් පීඩාවට ලෑස්ති වෙන්න අපිට උදව් වෙන ගුණාංග තුනක් ගැන දැන් අපි බලමු. හිතන්න, දැඩි විරුද්ධවාදිකම් මැද අපිට ප්‍රබල විනිශ්චය පණිවිඩය කියන්න වෙනවා කියලා. (එළි. 16:21) එදාට දෙවියන්ට කීකරු වෙන්න නම් අපි විඳදරාගන්නම ඕනේ. එහෙම කරද්දී ඔහු අපිව ආරක්ෂා කරනවා කියලා අපිට විශ්වාසයි. ඒත් ඒ කාලේදී සහෝදරයන්ට තියෙන හැම දේම නැති වෙලා එයාලා අසරණ වුණොත්? (හබ. 3:17, 18) ඒ වගේ වෙලාවට එයාලට උදව් කරන්න අපිට දයානුකම්පාව තියෙන්නම ඕනේ. ඒ වගේම ජාතීන් එකතු වෙලා අපිට පහර දෙද්දී අපේ සහෝදරයන් එක්ක එක තැනකට කොටු වෙන්න වුණොත්? (එස. 38:10-12) එතකොට එකිනෙකාට ශක්තියක් වෙලා ඒ අමාරු කාලේ පහු කරන්න අපිට එයාලා ගැන ලොකු ආදරයක් තියෙන්නම ඕනේ.

4. විඳදරාගැනීම, දයානුකම්පාව සහ ආදරය දිගටම වර්ධනය කරගන්න ඕනෙ කියලා බයිබලේ කාවද්දලා තියෙන්නේ කොහොමද?

4 විඳදරාගැනීම, දයානුකම්පාව සහ ආදරය දිගටම වර්ධනය කරගන්න කියලා බයිබලේ අපිව දිරිගන්වනවා. උදාහරණෙකට ලූක් 21:19 කියනවා “ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි” කියලා. කොලොස්සි 3:12 කියනවා ‘ඉමහත් දයානුකම්පාවකින් කටයුතු කරන්න’ කියලා. ඒ වගේම 1 තෙසලෝනික 4:9, 10 මෙහෙම කියනවා. ‘එකිනෙකාට ප්‍රේම කරන්න කියා දෙවි ඔබට උගන්වා තිබේ. නමුත් සහෝදරයෙනි, අප ඔබට උනන්දු කරන්නේ වැඩි වැඩියෙන් එසේ කරන්න කියාය.’ ඒ මඟ පෙන්වීම් ලැබුණ මුල් ක්‍රිස්තියානීන් ඒ වෙද්දීත් ඒ ගුණාංග ඇති කරගෙන හිටපු අය. එහෙම වෙලත් එයාලා දිගටම ඒවා තව වර්ධනය කරගන්න ඕනෙ වුණා. එහෙමනම් අපිත් කරන්න ඕනෙ ඒකම නෙවෙයිද? අපි මුලින්ම බලමු මුල් ක්‍රිස්තියානීන් ඒ ගුණාංග පෙන්නුවේ කොහොමද කියලා. ඒ වගේම අපිට එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් බලමු. මහත් පීඩාවට ලෑස්ති වෙන්න ඒක අපිට උදව් වෙයි.

වැඩි වැඩියෙන් විඳදරාගන්න

5. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් පීඩා විඳදරාගත්තේ කොහොමද?

5 පොදුවේ හැමෝටම එන ප්‍රශ්නවලට අමතරව මුල් ක්‍රිස්තියානීන්ට තව ගොඩක් පීඩා විඳදරාගන්න වුණා. (හෙබ්‍රෙ. 10:36) හුඟක් අය යුදෙව් ආගමික නායකයන්ගෙන් සහ රෝම බලධාරීන්ගෙන් ආපු පීඩාවලට මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි එයාලාගෙම පවුලේ අයගෙනුත් ගොඩක් විරුද්ධවාදිකම් ආවා. (මතෙ. 10:21) ඒ මදිවට සභාව ඇතුළෙනුත් ප්‍රශ්න ආවා. මොකද සමහරු බොරු ඉගැන්වීම් පතුරලා, බෙදීම් ඇති කරලා සහෝදරයන්ව දෙවියන්ගෙන් ඈත් කරන්න හැදුවා. (ක්‍රියා 20:29, 30) ඒ මොන දේ වුණත් මුල් ක්‍රිස්තියානීන් දිගටම විශ්වාසවන්තව විඳදරාගත්තා. (එළි. 2:3) ඒත් ඒ කොහොමද? පීඩා සාර්ථකව විඳදරාගත්ත යෝබ් වගේ අය ගැන එයාලා හිතුවා. (යාකො. 5:10, 11) ශක්තිය ඉල්ලලා යාච්ඤා කළා. (ක්‍රියා 4:29-31) ඒ වගේම විඳදරාගද්දී ලැබෙන ආශීර්වාද ගැන හිතුවා.—ක්‍රියා 5:41.

6. මෙරීටාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

6 අතීතයේ විශ්වාසවන්තව විඳදරාගත්ත අය ගැන බයිබලෙන් සහ අපේ ප්‍රකාශනවලින් කියවන එක, ඒ ගැන හොඳට හිතන එක අපිටත් විඳදරාගන්න උදව් වෙනවා. ඇල්බේනියාවේ සහෝදරි මෙරීටාටත් උදව් වුණේ ඒකමයි. එයාට පවුලේ අයගෙන් ගොඩක් විරුද්ධවාදිකම් ආවා. බලන්න එයා කියන දේ. “මට හුඟක් උදව් වුණ චරිතයක් තමයි යෝබ්. එයා සෑහෙන්න දුක් වින්දා. අනික පීඩා විඳින්නේ කවුරු හින්දාද කියලා එයා දැනං හිටියේ නැතත් ‘අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි’ කියලා එයා විශ්වාසයෙන් කිව්වා. (යෝබ් 27:5) මට හිතුණා යෝබ්ගේ ප්‍රශ්න එක්ක බලද්දී මගේ ප්‍රශ්න මොනවාද කියලා. අනික යෝබ් දැනං හිටියේ නැති වුණාට මං හොඳටම දන්නවා මේ ප්‍රශ්න ගේන්නේ කවුද කියලා.”

7. මේ වෙද්දී දරුණු ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නැතත් අපි කරන්න ඕනෙ මොනවාද?

7 අපි නිතරම අපේ හිතට වධ දෙන දේවල් ගැන යෙහෝවාට කියනවා නම් විඳදරාගන්න අපිට තියෙන හැකියාව තව වැඩි කරගන්න අපිට පුළුවන්. (ෆිලි. 4:6; 1 තෙස. 5:17) සමහරවිට මේ වෙද්දී ඔයාට එහෙමටයි කියලා බරපතළ ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි හිතට දුකක් දැනෙන, මනසට ලොකු බරක් දැනෙන වෙලාවක් ආවොත්, තීරණ දෙකක අතරමං වුණොත් ඔයා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලනවාද? ඒ විදිහට හැම දවසකම පුංචි පුංචි දේවල්වලදී පවා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා නම් ඉස්සරහට ලොකු ලොකු පීඩා එද්දීත් ඒ දේම කරන්න ඔයා දෙසැරයක් හිතන්නේ නැහැ. මොකද ඔයා දන්නවා යෙහෝවා හරි වෙලාවට, හරි විදිහට අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා.—ගීතා. 27:1, 3.

විඳදරාගැනීම

හැම පීඩාවක්ම ඊළඟ පීඩාවට අපිව සූදානම් කරනවා (8 ඡේදය බලන්න)

8. දැන් අපි මුහුණ දෙන පීඩා අනාගතයේදී අපිට උදව් වෙන්නේ කොහොමද? අද්දැකීමකින් පැහැදිලි කරන්න. (යාකොබ් 1:2-4) (පින්තූරයත් බලන්න.)

8 දැන් අපි මුහුණ දෙන හැම පීඩාවක්ම මහත් පීඩාවට මුහුණ දෙන්න ලොකු ශක්තියක්. (රෝම 5:3) ඇයි අපි එහෙම කියන්නේ? හුඟක් සහෝදරයෝ ඒක අද්දැකීමෙන්ම තේරුම් අරන් තියෙනවා. එයාලා මුහුණ දෙන හැම පීඩාවක් පීඩාවක් ගාණෙම එයාලාගේ විශ්වාසය තව ශක්තිමත් වෙනවා. මොකද ඕනම වෙලාවක යෙහෝවා උදව් කරන්න ලෑස්ති පිටයි ඉන්නේ කියලා එයාලා අද්දැකලා තියෙනවා. ඒ විශ්වාසය උදව් වෙනවා ඊළඟ අභියෝගයටත් සාර්ථකව මුහුණ දෙන්න. (යාකොබ් 1:2-4 කියවන්න.) ඇල්බේනියාවේ පුරෝගාමි සහෝදරියක් වන මීරාගේ අද්දැකීමත් ඒකමයි. සමහර වෙලාවට එයාට හිතෙනවා එයාට තරම් ලෝකේ වෙන කාටවත් ප්‍රශ්න නැහැ කියලා. ඒත් ඒ වගේ වෙලාවට පහුගිය අවුරුදු 20 පුරාම යෙහෝවා එයා වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද කියලා එයා මතක් කරගන්නවා. ඊටපස්සේ එයා එයාටම මෙහෙම කියාගන්නවා. ‘මීරා, සටන අත්හරින්න එපා. එහෙම වුණොත් මෙච්චර කල් ඔයා යෙහෝවාගේ උදව්වෙන් ලබපු හැම ජයග්‍රහණයක්ම වතුරේ යයි.’ ඔයාටත් පුළුවන් දෙවියන් ඔයාට මීට කලින් විඳදරාගන්න උදව් කරපු විදිහ ගැන හිතන්න. ඔයා මුහුණ දෙන හැම පීඩාවක්ම ඔහු දකිනවා කියලත් ඔහු ඔයාට ආශීර්වාද කරනවා කියලත් විශ්වාස කරන්න. (මතෙ. 5:10-12) ඔයා එහෙම කරනවා නම් මහත් පීඩාව එද්දී අදටත් වඩා වැඩියෙන් විඳදරාගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ වගේම දිගටම විශ්වාසවන්තව විඳදරාගන්න ඔයාගේ හිතේ තියෙන ආසාවත් තව වැඩි වෙයි.

වැඩි වැඩියෙන් දයානුකම්පාව පෙන්නන්න

9. අන්තියෝකියේ හිටපු සහෝදරයෝ දයානුකම්පාව පෙන්නුවේ කොහොමද?

9 සැරයක් යුදයේ හිටපු ක්‍රිස්තියානීන් දරුණු සාගතයකට මුහුණ දුන්නා. ඒක ආරංචි වුණ ගමන්ම සිරියාවේ අන්තියෝකියේ හිටපු සහෝදරයන්ට එයාලා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. හැබැයි එයාලා එතනින් නතර වුණේ නැහැ. ඒ සහෝදරයන්ට උදව් කරන්න එයාලා පියවරත් ගත්තා. ‘තමන්ට පුළුවන් විදිහට යුදයේ ඉන්න සහෝදරයන්ට සහනාධාර යවන්න එයාලා තීරණය කළා.’ (ක්‍රියා 11:27-30) අන්තියෝකිය තිබුණේ යුදයට හුඟක් ඈතින්. ඒ වුණාට එයාලා ඒක බාධාවක් කරගත්තේ නැහැ.—1 යොහ. 3:17, 18.

දයානුකම්පාව

ස්වාභාවික විපත් දයානුකම්පාව පෙන්නන්න අපිට හොඳ අවස්ථාවක් (10 ඡේදය බලන්න)

10. විපත්තිවලට මුහුණ දෙන සහෝදරයන්ට දයානුකම්පාව පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

10 විපත්තිවලට මුහුණ දෙන සහෝදරයන්ට දයානුකම්පාව පෙන්නන්න අපිටත් පුළුවන්. ඒ වගේ විපතක් වුණ ගමන්ම ඔයාට පුළුවන් වැඩිමහල්ලන්ට කියන්න එහෙට ගිහින් උදව් කරන්න ඔයා කැමතියි කියලා. b ඔයා මුදලින් උදව් කරන්න කැමති නම් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සම්මාදම් කරන්න. පීඩා විඳින සහෝදරයන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්නත් ඔයාට පුළුවන්. (හිතෝ. 17:17) උදාහරණෙකට 2020දී කෝවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම පීඩා විඳින සහෝදරයන්ට උදව් කරන්න සහන සේවා කමිටු 950කටත් වඩා පිහිටෙව්වා. රැයක් දවාලක් නොබලා මහන්සි වෙන සහන සේවා කමිටුවල ඉන්න සහෝදරයන් ඇත්තටම අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා. සහෝදරයන් ගැන එයාලට තිබුණ කැක්කුම නිසා එයාලා ඒ සහෝදරයන්ට අවශ්‍ය දේවල් ගිහින් දුන්නා. එයාලව සැනසුවා. එයාලාගේ විශ්වාසය ශක්තිමත් කළා. ඒ විතරක් නෙවෙයි සමහර අයගේ ගෙවල් දොරවල්, නමස්කාර මධ්‍යස්ථාන පවා හදලා දුන්නා.—2 කොරි. 8:1-4.

11. අනිත් අයට දයානුකම්පාව පෙන්නන එකෙන් යෙහෝවාට ගෞරවය ලැබෙන්නේ කොහොමද?

11 විපතකට මුහුණ දෙන අයට අපි උදව් කරද්දී, ඒ වෙනුවෙන් කැප කිරීම් කරද්දී ඒක අනිත් අයත් දකිනවා. උදාහරණෙකට 2019 ඩෝරියන් සුළි කුණාටුව නිසා බහමාස්වල නමස්කාර මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ නිසා සහෝදරයෝ එකතු වෙලා ඒක හදන්න පටන්ගත්තා. එයාලා ඒ වැඩවලට යන වියදමේ ඇස්තමේන්තුවක් දෙන්න කියලා කොන්ත්‍රාත්කරුවෙක්ට කිව්වා. එතකොට ඒ කොන්ත්‍රාත්කරුවා කියපු දේ බලන්න. “නෑ, නෑ කමක් නෑ! මං මේ වැඩේ මගේ වියදමින් කරලා දෙන්නම්. මං ගාව බඩුයි, මැෂිනුයි තියෙනවා. ඕන තරම් කට්ටියත් ඉන්නවා. ඒ නිසා ඔයාලා කිසි දේකට කරදර වෙන්න එපා. ඔයාලාගේ අය වෙනුවෙන් ඔයාලා කරන දේවල් දැක්කාම මටත් හිතුණා මාත් මොනවා හරි කරන්න ඕනෙ කියලා.” මේ ලෝකේ ඉන්න ගොඩක් අය යෙහෝවාව දන්නේ නැහැ. ඒත් එයාලා සාක්ෂිකරුවන්ව දන්නවා. සාක්ෂිකරුවන් කරන දේවල් දකිනවා. අපි පෙන්නන දයානුකම්පාව “දයාවෙන් පිරී දෙවිට” අනිත් අයව ළං කරනවා. ඒ ගැන හිතද්දී අපේ හිත් කොච්චර සතුටින් පිරිලා යනවාද!—එෆී. 2:4.

12. අපි දැන් ඉඳන්ම දයානුකම්පාව පෙන්නන්න ඉගෙනගන්න ඕනෙ ඇයි? (එළිදරව් 13:16, 17)

12 මහත් පීඩාව කාලේදීත් අපි සහෝදරයන්ට දයානුකම්පාව පෙන්නන්නම ඕනේ. බයිබලේ කියනවා අපි දේශපාලනයේ කිසිම පැත්තක් ගන්නේ නැති නිසා දැනුත්, විශේෂයෙන්ම මහත් පීඩාව කාලේදීත් අපිට ගොඩක් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. (එළිදරව් 13:16, 17 කියවන්න.) ඒ කාලේදී අපේ සහෝදරයන්ට අත්‍යවශ්‍යම දේවල් වුණත් හොයාගන්න අපේ උදව් ඕන වෙයි. එදාටත් සහෝදරයන්ට උදව් කරන්න ඔයා ලෑස්තිද? එතකොට අපේ රජාණන් වන යේසුස් ක්‍රිස්තුස් අන්තිම විනිශ්චය කරන්න එද්දී අපි දයානුකම්පාව පෙන්නන අය කියලා ඔහු දකියි. ඔහු අපිටත් කියයි ‘එන්න, ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න’ කියලා.—මතෙ. 25:34-40.

වැඩි වැඩියෙන් ආදරේ කරන්න

13. මුල් ක්‍රිස්තියානීන් ආදරේ තව වැඩි කරගත්තේ කොහොමද? (රෝම 15:7)

13 මුල් ක්‍රිස්තියානීන්ව අඳුරගන්න තිබුණ ලකුණ තමයි ආදරය. හැබැයි ආදරේ පෙන්නන එක එයාලට හැම තිස්සේම ලේසි වුණාද? ටිකකට හිතන්න රෝම සභාව ගැන. පොඩි කාලේ ඉඳන්ම මෝසෙස්ගේ නීතිය අකුරටම පිළිපදින්න පුරුදු වුණ යුදෙව්වන් ඒකේ හිටියා. ඒ වගේම සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිම්වලින් ආපු වෙනත් ජාතීන්වලට අයිති අයත් හිටියා. සමහරු නිදහස් පුරවැසියෝ. සමහරු දාසයෝ. තවත් සමහරු ස්වාමිවරු. ඒ වෙනස්කම් බාධාවක් කරගන්නේ නැතුව අනිත් අය ගැන තියෙන ආදරේ වැඩි කරගන්න එයාලට පුළුවන් වුණේ කොහොමද? පාවුල් එයාලව දිරිගැන්නුවා “එකිනෙකාව පිළිගන්න” කියලා. (රෝම 15:7 කියවන්න.) “පිළිගන්න” කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ අනිත් අයට ආදරෙන් සලකලා එයාලව ගෙදරට ආරාධනා කරන්න කියන එක. එහෙම නැත්තම් යාළුවෝ ගොඩට එකතු කරගන්න කියන එක. උදාහරණෙකට පාවුල් ෆිලෙමොන්ට කිව්වා එයාගේ ගෙදරින් පැනලා ගිය දාසයෙක් වන ඔනෙසිමස්ව “සාදරයෙන් පිළිගන්න” කියලා. (ෆිලෙ. 17) ඒ වගේම ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන එච්චර අවබෝධයක් තිබුණේ නැති අපොලොස්ව ප්‍රිසිලායි, අකිලායි ‘ගෙදරට ආරාධනා කරලා’ එයාත් එක්ක කාලේ ගත කළා. (ක්‍රියා 18:26) ඔව්, එයාලා වෙනස්කම්වලට ඉඩ දුන්නේ නැහැ එයාලා අතර බෙදීම් ඇති කරන්න. ඒ වෙනුවට එයාලා හැමෝවම ආදරෙන් පිළි අරන් බැඳීම් ශක්තිමත් කරගත්තා.

ආදරය

සහෝදර සහෝදරියන් හැමෝගෙම ආදරේ අපිට ඕනේ (15 ඡේදය බලන්න)

14. ඇනා සහ එයාගේ මහත්තයා සභාවේ අයට ආදරේ පෙන්නුවේ කොහොමද?

14 සහෝදරයන්ට ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි එයාලව සාදරෙන් පිළි අරන් අපේ කිට්ටු යාළුවන් කරගන්න එක. එතකොට හුඟක් වෙලාවට එයාලත් පෙලඹෙනවා අපිට ආදරේ පෙන්නන්න. (2 කොරි. 6:11-13) අපි දැන් සහෝදරි ඇනාගේ අද්දැකීම බලමු. එයාටයි, එයාගේ මහත්තයාටයි බටහිර අප්‍රිකාවේ මිෂනාරි පැවරුමක් ලැබුණා. ඒත් එයාලා එහෙට ගිහින් වැඩි දවසක් යන්න කලින් කොරෝනා වසංගතය ආවා. ඒ නිසා එයාලට සහෝදරයන් එක්ක මුණගැහිලා කතා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතිං එයාලා මොකද කළේ? එයාලා වීඩියෝ කෝල්වලින් සහෝදරයන් එක්ක කතා කළා. එයාලා සහෝදරයන්ව අඳුරගන්න කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියලා සභාවේ අයට කිව්වා. සහෝදරයන්ටත් එයාලාගේ ආදරේ දැනුණා. ඒ නිසා සහෝදරයොත් ඒ දෙන්නාට නිතරම කෝල් කළා, මෙසේජ් කළා. ඇනා මෙහෙම කියනවා. “දුකේදී සැපේදී මටයි, මගේ පවුලේ අයටයි සහෝදරයෝ ආදරේ පෙන්නපු විදිහ මට අදටත් මතකයි. ඒක තමයි මාව පෙලඹුවේ අනිත් අයටත් ආදරේ පෙන්නන්න.”

15. හැමෝටම ආදරේ පෙන්නන එක ගැන ඔයා වැනෙසාගෙන් ඉගෙනගත්තේ මොනවාද? (පින්තූරයත් බලන්න.)

15 හුඟක් සභාවල විවිධ පසුබිම්වලින් ආපු, එක එක පෞද්ගලිකත්වයන් තියෙන සහෝදර සහෝදරියන් ඉන්නවා. ඔයාගේ සභාවෙත් එහෙම අය ඇති. හැබැයි ඒක බාධාවක් කරගන්නේ නැතුව එයාලාගේ හොඳ ගුණාංගවලට අවධානය දෙන්න. එතකොට එයාලා ගැන තියෙන ආදරේ තව වැඩි කරගන්න පුළුවන්. වැනෙසා කියන්නේ නවසීලන්තයේ සේවේ කරන සහෝදරියක්. සභාවේ සමහර අයත් එක්ක පෑහිලා වැඩ කරන්න ඉස්සර එයාට හුඟක් අමාරු වුණා. ඒත් එයා පස්සේ හිතුවා එයාට නුරුස්සපු අයගෙන් ඈත් වෙනවා වෙනුවට එයාලට තව ටිකක් කිට්ටු වෙලා බලන්න ඕනෙ කියලා. එහෙම කරද්දී එයාට පුළුවන් වුණා යෙහෝවා එයාලාගේ දැක්ක හොඳ එයාගේ ඇස් දෙකෙන්ම දකින්න. එයා මෙහෙම කියනවා. “මගේ මහත්තයා චාරිකා සේවකයෙක් වුණාට පස්සේ අපිට එක එක විදිහේ සහෝදරයන්ව ආශ්‍රය කරන්න ලැබුණා. දැන් මං විවිධත්වයට ආසයි. ඒ නිසා එයාලත් එක්ක එකට පෑහිලා දේවල් කරන්න මට කලින්ට වඩා ගොඩක් ලේසියි. මේ එක් එක් කෙනාව යෙහෝවා ඔහු ළඟට ඇදලා ගත්ත එකෙන් තේරෙනවා යෙහෝවාත් විවිධත්වයට ගොඩක් කැමතියි කියලා.” ඔව්, යෙහෝවා දෙවියන් අනිත් අයගේ දකින හොඳ අපිත් දකින්න ඉගෙනගන්නවා නම් අපිටත් පුළුවන් අපේ සහෝදරයන්ට අපි ආදරෙයි කියලා ඔප්පු කරන්න.—2 කොරි. 8:24.

මහත් පීඩාව අතරතුරේදී අපි සහෝදරයන් එක්ක එකමුතුව ඉන්නවා නම් යෙහෝවාගේ ආරක්ෂාව අපිට ලැබෙනවා (16 ඡේදය බලන්න)

16. මහත් පීඩාවේදී ආදරේ නැතුවම බැරි ඇයි? (පින්තූරයත් බලන්න.)

16 මහත් පීඩාව පටන්ගත්තාම යෙහෝවා දෙවියන් අපිව ආරක්ෂා කරන්නේ කොහොමද? අතීතයේදී බැබිලෝනිය සතුරු ප්‍රහාරයකට ලක් වෙද්දී දෙවියන් ඔහුගේ සෙනඟට කියපු දේ බලන්න. “මගේ සෙනඟෙනි, ඔබේ නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න. උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න.” (යෙසා. 26:20) පේන විදිහට ඒ වචන මහත් පීඩාව අද්දර ඉන්න අපිටත් අදාළයි. ඒක එහෙමනම් “නිවස ඇතුළේ තියෙන ආරක්ෂිත කාමර” අපේ සභාවලට සමාන කරන්න පුළුවන්. ඒ කාලේදී අපි සහෝදරයන් එක්ක එකමුතුව ඉද්දී යෙහෝවා අපිව ආරක්ෂා කරන විදිහ අද්දකින්න අපිට පුළුවන්. ඒත් එදාට සහෝදරයන්ට කිට්ටුවෙන් ඉන්න නම් අපි දැන් ඉඳන්ම එයාලාගේ අඩුපාඩුකම් දරාගන්න ඕනේ. හැබැයි ඒ විතරක් මදි, අපි එයාලට හදවතින්ම ආදරේ කරන්නත් ඕනේ. මොකද ඒ මත තමයි අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ.

දැන්ම ලෑස්ති වෙන්න

17. දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා නම් මහත් පීඩාව අතරතුරේදී අපිට කරන්න පුළුවන් මොකක්ද?

17 “යෙහෝවා දෙවිගේ මහත් දවස” මිහිපිට ජීවත් වෙන හැමෝටම අඳුර පිරුණ, භයානක දවසක් වෙයි. (ශෙප. 1:14, 15) ඒත් අපි දැන් තියාම මහත් පීඩාවට ලෑස්ති වෙනවා නම් අපිට පුළුවන් එදාට සන්සුන්ව ඉඳලා අනිත් අයටත් උදව් කරන්න. දෙවියන්ගේ සෙනඟ විදිහට එදාට අපිත් පීඩාවලට මුහුණ දෙද්දී දිගටම විඳදරාගනියි. අපේ සහෝදරයෝ පීඩා විඳිද්දී අපි දයානුකම්පාවෙන් පෙලඹිලා එයාලට උදව් කරයි. ඒ වගේම දැන් ඉඳන්ම අපේ සහෝදරයන්ට ආදරේ කරන්න අපි ඉගෙනගෙන තියෙනවා නම් එදාට අපි එයාලත් එක්කම ඉඳියි. අපි දන්නවා වැඩි කල් යන්න කලින් දෙවියන් අපේ හැම පීඩාවකටම නිමාවක් ගෙනල්ලා අපිට සදාකල් ජීවිතය දෙනවා කියලා. පීඩා කියන්නේ මොනවාද කියලවත් එදාට අපිට මතක් වෙන එකක් නැහැ.—යෙසා. 65:17.

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

a මහත් පීඩාව ඉක්මනටම එනවා. ඒ භයානක කාලෙට මුහුණ දෙන්න විඳදරාගැනීම, දයානුකම්පාව සහ ආදරය කියන ගුණාංග නැතුවම බැහැ. මුල් ක්‍රිස්තියානීන් ඒ ගුණාංග වර්ධනය කරගත්තේ කොහොමද? අපිට ඒවා වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? මහත් පීඩාවට ලෑස්ති වෙන්න ඒ ගුණාංග අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

b සහන සේවාවලට හවුල් වෙන්න ඔයාත් කැමති නම් ‘ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් සඳහා ස්වේච්ඡා සේවක අයදුම්පත’ (DC-50) හරි ‘ස්වේච්ඡා සේවය සඳහා ඉල්ලුම් පත්‍රය’ (A-19) හරි පුරවන්න. අවශ්‍යතාවක් තිබුණොත් එයාලා ඔයාට කතා කරයි.