Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 32

යෙහෝවා දෙවියන් වගේ සාධාරණ වෙන්න

යෙහෝවා දෙවියන් වගේ සාධාරණ වෙන්න

“ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලි. 4:5.

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

මේ ලිපියෙන් a

ඔයා කැමති මොන වගේ ගහක් වෙන්නද? (1 ඡේදය බලන්න)

1. ක්‍රිස්තියානියෙක්ව ගහකට සමාන කරන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

 සමහර ගස් තියෙනවා තද හුළඟකටවත් ලේසියෙන් පෙරළන්න බැරි. හරියට උස පොල් ගස් වගේ. මොකද හුළං එද්දී ඒ වගේ ගහක් හුළඟත් එක්කම නැමෙනවා. අපිත් ඒ වගේ නම්‍යශීලී වෙන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට තත්වයන් වෙනස් වෙද්දී අපි ඒවාට අනුව හැඩගැහෙන්න ඕනේ. ඒ වගේම අපේම මතයේ ඉන්නේ නැතුව අනිත් අයගේ අදහස්වලට ගරු කරන්න ඕනේ. එතකොට දිගටම සතුටින් සේවේ කරන්න අපිටත් පුළුවන්.

2. තත්වයන් වෙනස් වෙද්දී ඒකට අනුව හැඩගැහෙන්න උදව් වෙන ගුණාංග මොනවාද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 අපිත් යෙහෝවා දෙවියන් වගේ සාධාරණ විදිහට වැඩ කරන්න, නිහතමානී වෙන්න සහ අනිත් අයට දයානුකම්පාවෙන් සලකන්න ආසයි. තත්වයන් වෙනස් වෙද්දී ඒවාට අනුව හැඩගැහෙන්න ඒ ගුණාංග සමහර ක්‍රිස්තියානීන්ට උදව් වුණේ කොහොමද කියලත් ඒවා අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. හැබැයි ඒ ඔක්කොටම කලින් අපි බලමු සාධාරණ වෙන එක ගැන යෙහෝවා දෙවියන්ගෙන් සහ යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. මොකද එයාලා තමයි ඒ පැත්තෙන් අපිට ඉන්න හොඳම ආදර්ශ.

යෙහෝවා දෙවියන් සහ යේසුස් සාධාරණයි

3. යෙහෝවා දෙවියන් සාධාරණයි කියලා කියන්න තියෙන හේතු මොනවාද?

3 ‘යෙහෝවා දෙවියන් පර්වතයක්’ වගේ ස්ථිරයි. (ද්වි. 32:4) හැබැයි අනිත් අතට ඔහු සාධාරණයි. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකේ තත්වය වෙනස් වෙද්දී ඔහු ඔහුගේ අරමුණ ඉටු කරන්න ඒ ඒ තත්වයන්වලට අනුව හැඩගැහෙනවා. ඔහු අපිවත් නිර්මාණය කරලා තියෙන්නේ වෙනස්කම් වෙද්දී ඒවාට හැඩගැහෙන්න පුළුවන් විදිහට. ඒ වගේම ඔහු අපිට ඥානවන්ත තීරණ ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්තිත් දීලා තියෙනවා. ඉතින් දෙවියන්ගේ ආදර්ශයෙන් සහ ඔහු දීලා තියෙන ප්‍රතිපත්තිවලින් පැහැදිලි වෙනවා ඔහු “පර්වතයක්” වගේ ස්ථිර වුණත් සාධාරණ දෙවි කෙනෙක් කියලා.

4. යෙහෝවා සාධාරණයි කියලා කියන්න උදාහරණයක් දෙන්න. (ලෙවී කතාව 5:7, 11)

4 යෙහෝවා කියන්නේ කිසි බුරුලක් දෙන්නේ නැති, තද නීති දාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහු කියන කරන කිසිම දෙයක අඩුවක් නැහැ. ඔහු සාධාරණ දෙවි කෙනෙක්. ඒක ඔහු ඊශ්‍රායෙල්වරු එක්ක වැඩ කරපු විදිහෙනුත් පැහැදිලියි. දුප්පත්, පොහොසත් හැමෝම එකම විදිහට පූජා ඔප්පු කරන්න ඕනෙ කියලා ඔහු එයාලාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට එක් එක් කෙනාගේ තත්වයට අනුව පූජා ඔප්පු කරන්න ඔහු නිදහස දුන්නා.—ලෙවී කතාව 5:7, 11 කියවන්න.

5. යෙහෝවා දෙවියන් නිහතමානී, දයානුකම්පාවෙන් පිරුණු කෙනෙක් කියලා කියන්නේ ඇයි?

5 නිහතමානිකම, දයානුකම්පාව කියන ගුණාංග දෙවියන්ව පොලඹවනවා සාධාරණ විදිහට වැඩ කරන්න. උදාහරණෙකට යෙහෝවා තීරණය කළා දුෂ්ට මිනිස්සු හිටපු සොදොම් නගරය විනාශ කරන්න. ඒ නිසා දේවදූතයෙක් මාර්ගයෙන් ඔහු ලොත්ට දැනුම් දුන්නා කඳුවලට පලා යන්න කියලා. හැබැයි කඳුවලට යන්න ලොත් ගොඩක් බය වුණා. ඒ නිසා එයා යෙහෝවාගෙන් ඉල්ලුවා ළඟ තියෙන පුංචි නගරයක් වන ෂොවර්වලට යන්න ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවේ යෙහෝවා කිව්වාද “ඔයා වැඩ කරන්න ඕනෙ මං කියන විදිහට. මගෙන් ප්‍රශ්න අහන්න එන්න එපා” කියලා? නැහැ. ඒ වෙනුවට ඔහු නිහතමානී වෙලා ලොත්ගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා. ඒ විතරක් නෙවෙයි ලොත් නිසා ෂොවර් නගරය විනාශ නොකර ඉන්නත් තීරණය කළා. (උත්. 19:18-22) ඊට සියවස් ගාණකට පස්සේ නිනිවය විනාශ කරනවා කියලා දෙවියන් යෝනා මාර්ගයෙන් කිව්වා. හැබැයි නිනිවයේ හිටපු දුෂ්ට අය අවංකව පසුතැවිලි වුණාම දෙවියන් එයාලට අනුකම්පා කරලා ඔහු ගත්ත තීරණය වෙනස් කළා.—යෝනා 3:1, 10; 4:10, 11.

6. යේසුස් දෙවියන් වගේ සාධාරණ විදිහට වැඩ කළා කියලා අපි දන්නේ කොහොමද?

6 යේසුත් යෙහෝවා දෙවියන් වගේ සාධාරණ කෙනෙක්. යේසුස්ව මේ පොළොවට එව්වේ “ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන්ව” හොයන්න. ඒත් ඒ පැවරුම කරද්දී වුණත් ඔහු කොච්චර සාධාරණද කියලා පැහැදිලිව පෙනුණා. දවසක් වෙනත් ජාතික ස්ත්‍රියක් ඇවිල්ලා කිව්වා එයාගේ දුවට ‘භූතයෙක් ආවේශ වෙලා ඉන්න නිසා දුව ගොඩක් පීඩා විඳිනවා’ කියලා. ඒ වෙලාවේ ඒ ස්ත්‍රිය ගැන ඇති වුණ අනුකම්පාව නිසා එයාගේ ඉල්ලීම ඉටු කරන්න යේසුස් පෙලඹුණා. (මතෙ. 15:21-28) තව උදාහරණයක් බලමු. යේසුස් කියලා තිබුණා ‘කෙනෙක් මිනිස්සු ඉදිරියේ මාව ප්‍රතික්ෂේප කරනවා නම් මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා’ කියලා. (මතෙ. 10:33) හැබැයි මිනිස්සු ඔක්කොම ඉස්සරහා යේසුස්ව තුන් සැරයක්ම අඳුරන්නේ නැහැ කියපු පේතෘස්ව ඔහු ප්‍රතික්ෂේප කළාද? නැහැ. ඒ වෙනුවට පේතෘස්ගේ විශ්වාසය ඔහු දැක්කා. කරපු වරද ගැන එයා කොච්චර පසුතැවිලි වෙනවාද කියලා දැක්කා. ඒ නිසා නැවත නැඟිට්ටාට පස්සේ පේතෘස්ව හම්බ වුණාම එයාට සමාව දුන්නා කියලත් එයාට ඔහු තාමත් ගොඩක් ආදරෙයි කියලත් යේසුස් සහතික කරන්න ඇති.—ලූක් 24:33, 34.

7. ෆිලිප්පි 4:5 කියන විදිහට අපි කැමති අනිත් අය ඉස්සරහා මොන වගේ නමක් ඇති කරගන්නද?

7 සාධාරණ විදිහට වැඩ කරන එක දෙවියන් අපෙනුත් බලාපොරොත්තු වෙනවා. (ෆිලිප්පි 4:5 කියවන්න.) එක පරිවර්තනයක ඒ පදේ තියෙන්නේ “සාධාරණ කෙනෙක් විදිහට හොඳ නමක් දිනාගන්න” කියලා. ඔයාත් ඒ වගේද? ඒක දැනගන්න ඔයාගෙන්ම මේ වගේ ප්‍රශ්න අහගන්න. ‘අනිත් අය මාව දකින්නේ ඉවසීමෙන් වැඩ කරන, සාධාරණ කෙනෙක් විදිහටද? එහෙම නැත්නම් නපුරු, හිතුමතේට වැඩ කරන තද හිතක් තියෙන කෙනෙක් විදිහටද? “මේ දේ කරන්න ඕනෙ මේ විදිහටයි” කියලා මංම හිතාගෙන ඒක කරන්න අනිත් අයටත් බල කරනවාද? එහෙම නැත්නම් මං හැම තිස්සේම අනිත් අයට ඇහුම්කන් දීලා සුදුසු අවස්ථාවලදී එයාලාගේ කැමැත්තට ඉඩ දෙන කෙනෙක්ද?’ සාධාරණ විදිහට වැඩ කරද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවාවයි, යේසුස්වයි. දැන් අපි බලමු අපිට සාධාරණ වෙන්න පුළුවන් පැති දෙකක් ගැන.

තත්වයන් වෙනස් වෙද්දී

8. තත්වයන් වෙනස් වෙද්දී අපි සාධාරණ විදිහට වැඩ කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (පාදසටහනත් බලන්න.)

8 තත්වයන් වෙනස් වෙද්දී ඒවාට හැඩගැහෙන්නත් සාධාරණව හිතන එක උදව් වෙනවා. සමහර වෙනස්කම් අපි හීනෙකින්වත් හිතපු නැති, අපිට උහුලගන්න අමාරුම ඒවා. උදාහරණෙකට සමහරවිට අපිට බරපතළ අසනීපයක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ආර්ථිකය හිටිහැටියේම කඩා වැටෙන්න පුළුවන්. දේශපාලනික වාතාවරණය වෙනස් වෙද්දීත් ඒක අපිට නරක විදිහට බලපානවා. (දේශ. 9:11; 1 කොරි. 7:31) හදිස්සියේම අපේ පැවරුමේ ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. ඔයාට එන අභියෝගය මොකක් වුණත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න මේ පියවර හතර උදව් වෙයි. (1) යථාර්ථය තේරුම්ගන්න. (2) අනාගතේ දිහා බලන්න. (3) හොඳ පැති දකින්න උත්සාහ කරන්න. (4) අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. b දැන් අපි බලමු ඒ පියවර හතර අපේ සහෝදරයන්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා.

9. හිතපු නැති දේවල් වෙද්දී මිෂනාරි යුවළක් ඒකට මුහුණ දුන්නේ කොහොමද?

9 යථාර්ථය තේරුම්ගන්න. එමැනුවෙල්ට සහ ෆ්‍රැන්චෙස්කාට වෙන රටක මිෂනාරි පැවරුමක් ලැබුණා. ඉතින් එයාලා ඒ රටට ගිහිල්ලා අලුත් භාෂාවකට, අලුත් සභාවකට හුරු වෙන්න පටන්ගන්නවත් එක්කම කොරෝනා වසංගතයත් ආවා. ඒ නිසා එයාලා ගෙදරටම කොටු වුණා. ඔය අතරේ තමයි ෆ්‍රැන්චෙස්කාගේ අම්මා හදිස්සියේ නැති වුණේ. එයාට ඕනෙ වුණා ඒ වෙලාවේ එයාගේ පවුලේ අයත් එක්ක ඉන්න. ඒත් මේ වසංගතේ නිසා එයාට යන්න බැරි වුණා. කොහොමද ඒ අමාරු තත්වයට එයාලා මුහුණ දුන්නේ? (1) එමැනුවෙලුයි, ෆ්‍රැන්චෙස්කායි ඒ ඒ දවසේ බර දරාගන්න යෙහෝවාගෙන් ප්‍රඥාව, ශක්තිය ඉල්ලුවා. යෙහෝවාත් එයාලාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා එක එක විදිවලින් උත්තර දුන්නා. උදාහරණෙකට එයාලා බලපු වීඩියෝ එකක සම්මුඛ සාකච්ඡාවකදී සහෝදරයෙක් කියපු දෙයක් එයාලාගේ හිතට තදින්ම වැදුණා. ඒ සහෝදරයා මෙහෙම කිව්වා. “හොඳම දේ තමයි අපිට මුහුණ දෙන්න වෙලා තියෙන අලුත් තත්වයට ඉක්මනින්ම හැඩගැහෙන එක. එතකොට දෙවියන්ට සේවේ කරන්නත් අනිත් අයට උදව් කරන්නත් කොච්චර අවස්ථා තියෙනවාද කියලා අපි දකියි. නැති වුණ සතුටත් ආයේ ලැබෙයි.” c (2) ඒ රටේ භාෂාවෙන් දුරකතනයෙන් සාක්ෂි දරන්නත් එයාලා ඉගෙනගත්තා. ඒ නිසා එයාලට බයිබල් පාඩමකුත් පටන්ගන්න පුළුවන් වුණා. (3) එයාලා සහෝදරයන්ගේ දිරිගැන්වීම්, උදව් පිළිගත්තා. එක සහෝදරියක් අවුරුද්දක් තිස්සේ හැම දවසකම දිරිගැන්වෙන බයිබල් පදයක් එයාලට යැව්වා. ඒ අද්දැකීමෙන් පැහැදිලියි අපි වෙනස්කම් බාර අරන් ඒවාට හැඩගැහෙන තරමටම අපේ හිතෙන් වියැකිලා ගිය ඒ සතුට ආයෙත් ලබාගන්න පුළුවන් කියලා.

10. හිතපු නැති වෙනස්කමක් වෙද්දී සහෝදරියක් ඒකට මුහුණ දුන්නේ කොහොමද?

10 අනාගතය දිහා බලන්න. හැම දේකම හොඳ පැත්ත දකින්න. ක්‍රිස්ටිනා කියන්නේ ජපානයේ ජීවත් වෙන රුමේනියානු සහෝදරියක්. කාලයක් යද්දී එයාට දැනගන්න ලැබුණා එයා ගිය ඉංග්‍රීසි සභාව විසුරුවනවා කියලා. ඒත් එයා ඒ ගැනම හිතහිත දුක් වුණේ නැහැ. ඒ වෙනුවට ජපන් භාෂාව කතා කරන සභාවකට ගිහින් උපරිමයෙන් සේවේ කරනවා කියලා එයා හිතුවා. ඒ නිසා එයා එයාත් එක්ක කලින් වැඩ කරපු කාන්තාවක්ගෙන් ඇහුවා එයාට ජපන් උගන්වන්න පුළුවන්ද කියලා. ඒ කාන්තාව කැමති වුණා බයිබලෙයි, ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන සඟරාවයි පාවිච්චි කරලා ක්‍රිස්ටිනාට ජපන් උගන්වන්න. කාලයත් එක්කම ක්‍රිස්ටිනා ඒ භාෂාවට හුරු වුණා. ඒ විතරක්ම නෙවෙයි ඒ කාන්තාවත් සත්‍යය ඉගෙනගන්න ගොඩක් උනන්දු වුණා. මොකක්ද ඒකෙන් තේරෙන්නේ? නොහිතපු විදිහේ වෙනස්කම්වලට පුළුවන් නොහිතපු විදිහේ ආශීර්වාද ගේන්න.

11. ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න යුවළකට උදව් වුණේ මොනවාද?

11 අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. අපේ වැඩ තහනම් කරපු රටක ඉන්න යුවළකට හදිස්සියේ ගොඩක් ආර්ථික ප්‍රශ්න ආවා. කොහොමද එයාලා ඒකට මුහුණ දුන්නේ? මුලින්ම එයාලා ජීවිතේ සරල කරගත්තා. ප්‍රශ්න ගැන හිතනවා වෙනුවට සේවේ වැඩි කරලා අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඕනෙ කියලා හිතුවා. (ක්‍රියා 20:35) බලන්න ඒ ගැන ඒ සහෝදරයා කියන දේ. “සේවේ වැඩියෙන් හවුල් වෙද්දී දුර්වල කරවන සිතුවිලිවලට බෑ අපිව වට්ටන්න. මොකද අපේ අවධානය තියෙන්නේ දෙවියන්ගේ කැමැත්ත කරන එකට.” ඔයා මොන තත්වෙට මුහුණ දුන්නත් ඒක දරාගන්න ඔයාට උදව් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අනිත් අයට උදව් කරන එක. ඒක කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි බයිබලේ ගැන උගන්වන එක.

12. සාර්ථකව සේවේ කරන්න පාවුල්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද?

12 සේවේ කරද්දීත් තත්වයන්වලට හැඩගැහෙන්න අපි ඉගෙනගන්න ඕනේ. ඒක කරන්න පාවුල් හොඳ ආදර්ශයක්. යේසුස් පාවුල්ව “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවපු නියෝජිතයෙක්” විදිහට පත් කළා. (රෝම 11:13) ඒ නිසා පාවුල් යුදෙව්වන්ට, ග්‍රීකයන්ට, බුද්ධිමතුන්ට, දුගී දුප්පත් මිනිස්සුන්ට, ඉහළ පෙළේ නිලධාරීන්ට විතරක් නෙවෙයි රජවරුන්ටත් සාක්ෂි දැරුවා. පාවුල් සාර්ථක වුණේ එයා ඒ ඒ අයට “ගැළපෙන විදිහට” පණිවිඩේ කිව්ව නිසයි. (1 කොරි. 9:19-23) කෙනෙක්ට පණිවිඩේ කියන්න කලින් ඒ කෙනාගේ සංස්කෘතිය, පසුබිම, විශ්වාසයන් වගේ දේවල් ගැන පාවුල් හොඳට හිතුවා. ඒ නිසයි හදවතට දැනෙන විදිහට කතා කරන්න එයාට පුළුවන් වුණේ. අපිත් පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් ඕනම කෙනෙක්ගේ හදවතට කතා කරන්න අපිටත් පුළුවන්.

අනිත් අයගේ අදහස්වලට ගරු කරන්න

අපි සාධාරණ අය නම් අනිත් අයගේ අදහස්වලට ගරු කරනවා (13 ඡේද බලන්න)

13. 1 කොරින්ති 8:9 කියන විදිහට අපි වළකින්න ඕනෙ මොන දෙයින්ද?

13 අපි සාධාරණ විදිහට වැඩ කරන අය නම් අනිත් අයගේ අදහස්වලටත් ගරු කරනවා. උදාහරණෙකට අපේ සමහර සහෝදරියන් ආසයි මේකප් දාන්න. හැබැයි තවත් අය ආස නැහැ. සමහර සහෝදරයෝ ඉඳලා හිටලා මත්පැන් ටිකක් බීලා සතුටු වෙනවා. ඒත් තවත් අය ඉන්නවා මත්පැන් පොදක් කටේ තියන්න කැමති නැහැ. අනිත් අතට අපි ඕනම කෙනෙක් ආසයි නිරෝගීව ඉන්න. ඒත් ඒ වෙනුවෙන් අපි තෝරගන්න ප්‍රතිකාර ක්‍රම එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ‘මං කරන දේ තමයි හරි’ කියලා හිතලා අපි ඒක කරන්න අනිත් අයටත් බල කරනවා නම් ඒකෙන් කෙනෙක් වැටිලා යන්න වුණත් ඉඩ තියෙනවා. (1 කොරින්ති 8:9 කියවන්න; 1 කොරි. 10:23, 24) ඒත් හැම දෙයක් දිහාම සාධාරණ විදිහට බලලා එක්සත්කම රැකගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද? ඒක තේරුම්ගන්න අපි උදාහරණ දෙකක් බලමු.

අපි සාධාරණ අය නම් අනිත් අයගේ අදහස්වලට ගරු කරනවා (14 ඡේද බලන්න)

14. ඇඳුම් පැලඳුම් සහ කොණ්ඩ මෝස්තර තෝරගද්දී මනසේ තියාගන්න ඕනෙ ප්‍රතිපත්ති මොනවාද?

14 ඇඳුම් පැලඳුම් සහ කොණ්ඩ මෝස්තර. ඇඳුම් පැලඳුම්, විලාසිතා ගැන යෙහෝවා තද නීති මාලාවක් දීලා නැහැ. ඒ වෙනුවට ඔහු හරි දේ තෝරගන්න උදව් වෙන ප්‍රතිපත්ති දීලා තියෙනවා. ඒ නිසා අපි මොන දේ තෝරගත්තත් ඒකෙන් දෙවියන්ට ගෞරවයක් ලැබෙන්න ඕනේ. ඒ වගේම අපි සාධාරණ, නිහතමානී වගේම “හොඳ සිහිකල්පනාවකින් වැඩ කරන” අය කියලා පේන්නත් ඕනේ. (1 තිමෝ. 2:9, 10; 1 පේතෘ. 3:3) අපි ඕනෑවට වඩා අනිත් අයගේ අවධානය ඇදගන්න විදිහට විලාසිතා කරන්නේ නැහැ. කෙනෙක් තෝරගන්න ඇඳුම් පැලඳුම් සහ කොණ්ඩ මෝස්තර ගැන අනවශ්‍ය විදිහට නීති දාන්නේ නැතුව ඉන්න වැඩිමහල්ලන්ටත් බයිබල් ප්‍රතිපත්ති උදව් වෙනවා. ඒක තේරුම්ගන්න උදාහරණයක් බලමු. එක සභාවක වැඩිමහල්ලන්ට ඕන වුණා යෞවනයන් කොණ්ඩේ කපලා තියෙන විදිහ ගැන මඟ පෙන්වීමක් දෙන්න. මොකද සහෝදරයෝ කීපදෙනෙක්ම ඒ කාලේ ටිකක් ජනප්‍රිය විලාසිතාවකට එයාලාගේ කොණ්ඩේ කපලා තිබුණා. ඒ යෞවනයන් කොණ්ඩේ කොටට කපලා තිබුණාට හරිම අපිළිවෙළයි. ඒත් නීතියක් දාන්නේ නැතුව මේ කාරණය පැහැදිලි කරලා දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? චාරිකා සේවක වැඩිමහල්ලන්ට කිව්වා ඒ යෞවන සහෝදරයන්ට මෙහෙම කියන්න කියලා. “ඔයාලා පැවරුමක් කරන්න වේදිකාවට නැග්ගොත් සබයේ ඉන්න අයගේ අවධානය වැඩිපුර යන්නේ ඔයාලා කියන දේටද, නැත්නම් ඔයාලාගේ කොණ්ඩෙටද? උත්තරේ කොණ්ඩෙට නම් එතන ප්‍රශ්නයක් තියෙනවා.” ඒ විදිහට වැඩිමහල්ලන්ට පුළුවන් වුණා නීතියක් දාන්නේ නැතුවම ප්‍රශ්නේ විසඳන්න. d

අපි සාධාරණ අය නම් අනිත් අයගේ අදහස්වලට ගරු කරනවා (15 ඡේද බලන්න)

15. ප්‍රතිකාර ක්‍රමයක් ගැන තීරණයක් ගන්න වෙද්දී උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති සහ නීති මොනවාද? (රෝම 14:5)

15 ප්‍රතිකාර ක්‍රම. තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන එක අපි එක් එක් කෙනාගේ වගකීමක්. (ගලා. 6:5) ප්‍රතිකාර ක්‍රම ගැන තීරණයක් ගන්න උදව් වෙන නීති කීපයක් විතරයි බයිබලේ තියෙන්නේ. උදාහරණෙකට බයිබලේ කියනවා ලේවලින්, භූතවාදයෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න කියලා. (ක්‍රියා 15:20; ගලා. 5:19, 20) ඒවාට අමතරව අපි ගන්න හැම තීරණයක්ම පෞද්ගලික ඒවා. සමහරු ප්‍රතිකාරයක් කරන්න කලින් ඒ ගැන වෛද්‍යවරුන්ගෙන් අහනවා. තවත් අය වෙනස්ම විදිහේ ප්‍රතිකාර ක්‍රම ගන්න තීරණය කරන්නත් පුළුවන්. හැබැයි අපි මොන ක්‍රමය තෝරගත්තත් ඒකම කරන්න කියලා අපි කවදාවත් අනිත් අයට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට තමන් කැමති ප්‍රතිකාරයක් ගන්න ඕනම කෙනෙක්ට අයිතිය තියෙනවා කියලා අපි පිළිගන්නවා. ඒ වගේම මේ වැදගත් කරුණුත් අපි මතක තියාගන්න ඕනේ. (1) මිනිස්සුන්ගේ අසනීප නිට්ටාවටම සුව කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි. (යෙසා. 33:24) (2) ක්‍රිස්තියානියෙක් මොන ප්‍රතිකාර ක්‍රමය තෝරගත්තත් “සිතේ සැකයක් තබා නොගෙන” ඒක කරන්න ඕනේ. (රෝම 14:5 කියවන්න.) (3) කවදාවත් අනිත් අයගේ තීරණ විනිශ්චය කරලා එයාලව වට්ටන්න හොඳ නැහැ. (රෝම 14:13) (4) ක්‍රිස්තියානීන් හැම වෙලේම අනිත් අයට ආදරේ කරනවා. ඒ නිසා තමන්ගේ මතය මොකක් වුණත් ඒකට වඩා සභාවේ එක්සත්කම වටිනවා කියලා එයාලා තේරුම්ගන්නවා. (රෝම 14:15, 19, 20) අපි ඒ කරුණු හැම වෙලේම හිතේ තියාගන්නවා නම් අපිට පුළුවන් සහෝදරයන් එක්ක තියෙන අපේ බැඳීම වගේම සභාවේ එක්සත්කමත් දිගටම රැකගන්න.

අපි සාධාරණ අය නම් අනිත් අයගේ අදහස්වලට ගරු කරනවා (16 ඡේද බලන්න)

16. අනිත් වැඩිමහල්ලන් එක්ක වැඩ කරද්දී සාධාරණ වෙන්න වැඩිමහල්ලෙක්ට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

16 සාධාරණ වෙන එක ගැන වැඩිමහල්ලනුත් අපිට හොඳ ආදර්ශයක්. (1 තිමෝ. 3:2, 3) උදාහරණෙකට වැඩිමහල්ලෙක් කවදාවත් හිතන්නේ නැහැ ‘මට ගොඩක් අද්දැකීම් තියෙන නිසා අනිත් වැඩිමහල්ලෝ හැම තිස්සේම මං කියන දේට එකඟ වෙන්න ඕනෙ’ කියලා. ඒ වෙනුවට එයා තේරුම්ගන්නවා ඥානවන්ත තීරණයක් ගන්න උදව් වෙන යෝජනාවක් දෙන්න දෙවියන්ට ඕනම වැඩිමහල්ලෙක්ව පාවිච්චි කරන්න පුළුවන් කියලා. සමහරවිට වැඩිමහල් මණ්ඩලයේ වැඩිදෙනෙක් කැමති තීරණයට එයා කැමති නොවෙන්න පුළුවන්. හැබැයි බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැත්නම් එයා ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා.

සාධාරණ වෙද්දී ලැබෙන ආශීර්වාද

17. සාධාරණ විදිහට වැඩ කරන අයට ලැබෙන්නේ මොනවාද?

17 සාධාරණ වෙද්දී හුඟක් ආශීර්වාද නෙළාගන්න පුළුවන්. ඒකෙන් අපි අතර තියෙන බැඳීමත් ශක්තිමත් වෙනවා. සභාවේ එක්සත්කමත් වැඩි වෙනවා. ඒ වගේම දෙවියන්ගේ පවුලේ අය අතර තියෙන විවිධත්වයේ අපූර්වත්වය රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. ඒ හැම දේකටම වඩා අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්වයි කියලා දැනන් ඉන්න එකෙන් අපේ හිතට ලැබෙන්නේ ලොකු තෘප්තියක්! මොකද ඔහු තමයි සාධාරණව වැඩ කරන එක ගැන අපිට ඉන්න හොඳම ආදර්ශය.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

a යෙහෝවා දෙවියන් සහ යේසුස් හැම වෙලේම වැඩ කරන්නේ සාධාරණ විදිහට. එයාලා ආසයි අපිත් සාධාරණ අය වෙනවාට. මොකද එහෙම කරද්දී ඕනම අභියෝගයකදී උදාහරණෙකට සෞඛ්‍ය ප්‍රශ්නයකදී, ආර්ථික ප්‍රශ්නයකදී ඒකට හොඳට මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි සාධාරණ විදිහට වැඩ කරද්දී ඒකෙන් සභාවේ එක්සත්කමත් රැකෙනවා.

b 2016 අංක 4 ‘පිබිදෙව්!’ සඟරාවේ “වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.

c 2021 මාර්තු-අප්‍රියෙල් ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය - වැඩපොතේ’ “විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!” කියන ලිපියේ ‘සහෝදර ඩිමිට්‍රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’කියන වීඩියෝ එක බලන්න.

d ඇඳුම් පැලඳුම් සහ කොණ්ඩ මෝස්තර ගැන තවත් විස්තර දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 52වෙනි පාඩම බලන්න.