Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 31

‘ස්ථිරව, නොසැලී ඉන්න’

‘ස්ථිරව, නොසැලී ඉන්න’

“මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න. නොසැලී සිටින්න.”—1 කොරි. 15:58.

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

මේ ලිපියෙන් a

1-2. ක්‍රිස්තියානීන්ව උස ගොඩනැඟිල්ලකට සමාන කරන්න පුළුවන් ඇයි? (1 කොරින්ති 15:58)

 1970 ගණන්වල ජපානයේ ටෝකියෝවල තට්ටු 60ක ගොඩනැඟිල්ලක් හැදුවා. ටෝකියෝවල හැම තිස්සේම වගේ භූමිකම්පා ඇති වෙනවා. ඒ නිසා ඒක දිහා බලන අය හිතන්න ඇති ‘මේ ගොඩනැඟිල්ල වැඩි කල් තියෙයිද’ කියලා. හැබැයි ඉංජිනේරුවන් ඒක හැදුවේ ශක්තිමත්ව වගේම නම්‍යශීලී විදිහට. ඒ නිසා ඒක භූමිකම්පාවලට ඔරොත්තු දුන්නා. ක්‍රිස්තියානීනුත් හරියට ඒ ගොඩනැඟිල්ල වගේ. ඒ කොහොමද?

2 ක්‍රිස්තියානියෙක් ස්ථිර වෙන්න වගේම නම්‍යශීලී වෙන්නත් ඕනේ. දෙවියන්ගේ නීති, ප්‍රතිපත්ති පිළිපදිද්දී එයා ස්ථිරයි. (1 කොරින්ති 15:58 කියවන්න.) එයා කවදාවත් ඒවා සැහැල්ලු කරන්නේ නැහැ. හැම තිස්සේම “කීකරු වෙන්න සූදානම්.” අනිත් අතට එයා “සාධාරණව කටයුතු කරන” නම්‍යශීලී කෙනෙක්. (යාකො. 3:17) ඒ කියන්නේ ක්‍රිස්තියානියෙක් ඕනෑවට වඩා නීති දාන, දැඩි මත තියෙන කෙනෙක් වෙන්නෙවත් දෙවියන්ගේ නීති, ප්‍රතිපත්ති හෑල්ලු කරන කෙනෙක් වෙන්නෙවත් නැහැ. එයා හැම දෙයක් ගැනම සමබරව හිතනවා. හැබැයි ස්ථිරව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය බිඳලා දාන්න සාතන් සමහර උගුල් අටවනවා. ඒ වගේ උගුල් පහක් ගැනත් ඒවාට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

ස්ථිරව ඉන්නේ කොහොමද?

3. දෙවියන් දීලා තියෙන සමහර නීති මොනවාද? (ක්‍රියා 15:28, 29)

3 යෙහෝවා දෙවියන් තමයි අපේ ශ්‍රේෂ්ඨ නීතිදායකයා. ඒ නිසා ඔහු අතීතයේ ඉඳන්ම හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම්ගන්න ඔහුගේ සෙනඟට නීති දුන්නා. (යෙසා. 33:22) උදාහරණෙකට, ක්‍රිස්තියානීන් වැළකිලා ඉන්න ඕනෙ දේවල් තුනක් අඳුරගන්න ඔහු මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලයට මඟ පෙන්නුවා. මොනවාද ඒ දේවල්? (1) රූප වන්දනාවෙන් වැළකිලා දෙවියන්ට විතරක් නමස්කාර කරන එක. (2) රුධිරය පරිශුද්ධ දෙයක් විදිහට සලකන එක. (3) දෙවියන් දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක. (ක්‍රියා 15:28, 29 කියවන්න.) ඒ පැති තුනෙන් ස්ථිරව ඉන්නවා කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

4. දෙවියන්ට විතරක් අපේ සම්පූර්ණ නමස්කාරය දෙන්න පුළුවන් කොහොමද? (එළිදරව් 4:11)

4 රූප නමස්කාරයෙන් ඈත් වෙලා යෙහෝවාට විතරක් නමස්කාර කරන්න. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා ඔහුට විතරක් නමස්කාර කරන්න කියලා. (ද්වි. 5:6-10) යක්ෂයා යේසුස්ව වරදකට අහු කරගන්න හදපු වෙලාවේ යේසුත් කිව්වා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න කියලා. (මතෙ. 4:8-10) ඒ නිසා අපි කිසිම විදිහකින් පිළිමවලට නමස්කාර කරන්නේ නැහැ. හැබැයි අපි පරෙස්සම් වෙන්න ඕනෙ ආගමික නායකයන්ව, දේශපාලන නායකයන්ව සහ සිනමා, ක්‍රීඩා, සංගීත ලෝකේ තරු වගේ අයව හිස් මුදුණේ තියාගෙන දේවත්වයෙන් සලකන්නේ නැතුව ඉන්න. මොකද අපිට ඕනෙ හැමදාම යෙහෝවාගේ පැත්තේ ඉඳලා ඔහුට විතරක් නමස්කාර කරන්න. ඔහු තමයි මේ ‘හැම දෙයක්ම හදපු’ තැනැත්තා.—එළිදරව් 4:11 කියවන්න.

5. රුධිරය ගැන දෙවියන් දීපු නීතියට අපි කීකරු වෙන්නේ ඇයි?

5 රුධිරය සහ ජීවිතය පරිශුද්ධයි කියලා සලකන්න. ජීවිතය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. ඔහු කිව්වා ලේවලින් ජීවිතය නියෝජනය වෙනවා කියලා. (ලෙවී. 17:14) දෙවියන් සත්තුන්ගේ මස් කන්න අවසර දීපු මුල්ම අවස්ථාවේදීත් කිව්වා ලේ කන්න එපා කියලා. (උත්. 9:4) ඒ නීතිය ඒ විදිහටම පිළිපදින්න කියලා ඊශ්‍රායෙල්වරුන්ටත් කිව්වා. (ලෙවී. 17:10) ඒ විතරක් නෙවෙයි දෙවියන් මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලය මාර්ගයෙනුත් හැමෝටම දැනුම් දුන්නා ‘ලේවලින් වැළකිලා ඉන්න’ කියලා. (ක්‍රියා 15:28, 29) ඒ නීතිය අදටත් වෙනස් වෙලා නැහැ. ඒ නිසා ක්‍රිස්තියානීනුත් වෛද්‍ය ප්‍රතිකාර ගද්දී ඒ නීතියට ස්ථිරව ඇලිලා ඉන්නවා. b

6. දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිති රකින්න අපි කරන්නේ මොනවාද?

6 දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට ඇලිලා ඉන්න. (හෙබ්‍රෙ. 13:4) සැරයක් පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වා වැරදි ආශාවන් ශරීරයේ අවයවවලින් ‘සහමුලින්ම නැති කරලා දාන්න’ කියලා. (කොලො. 3:5) ඒකෙන් පාවුල් කාවද්දන්න හැදුවේ කොච්චර අමාරු වුණත් වැරදි ආශාවක් අයින් කරන්න අපි අපේ පැත්තෙන් දැඩි පියවර ගන්න ඕනෙ කියලයි. අපි කවදාවත් අනාචාරය කියන වළට අපිව ඇදලා දාන කිසිම දෙයක් බලන්නෙවත්, කරන්නෙවත් නැහැ. (යෝබ් 31:1) ඒ වගේම වැරදි පෙලඹීමක් අපේ හිතට ආවොත් අපි ඒක තවත් අවුළන විදිහේ දෙයක් කරන්නෙත් නැහැ. මොකද අපි දන්නවා ඒකෙන් පහර වදින්නේ යෙහෝවා එක්ක තියෙන අපේ බැඳීමට කියලා.

7. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

7 යෙහෝවා දෙවියන් කැමති අපි ‘හදවතින්ම ඔහුට කීකරු වෙනවා’ දකින්න. (රෝම 6:17) ඔහු අපිට නීති දීලා තියෙන්නේ අපේම ප්‍රයෝජනයට. ඒ වගේම ඔහු දීලා තියෙන හැම නීතියක්ම වැදගත්. ඒ නිසා අපි කැමති ඒවා විතරක් තෝරලා බේරලා පිළිපදින්න අපිට බැහැ. (යෙසා. 48:17, 18; 1 කොරි. 6:9, 10) දෙවියන්ව සතුටු කරන්න අපි පුළුවන් උපරිමය කරන්න ඕනේ. අපිටත් තියෙන්න ඕනෙ ගීතිකාකරුට තිබුණ මේ ආකල්පයමයි. “මාගේ ජීවිතයේ අවසානය දක්වාම ඔබේ නියෝගවලට කීකරු වීමට මම අදිටන් කරගත්තෙමි. එසේය, හැමදාටම මම ඔබේ නියෝගවලට කීකරු වෙමි.” (ගීතා. 119:112) ඒත් සාතනුත් නිකං ඉන්නේ නැහැ. ස්ථිරව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය බිඳලා දාන්න එයාත් එයාගේ පැත්තෙන් උපරිමය කරනවා.

සාතන්ගේ උගුල්

8. අපේ අධිෂ්ඨානය දුර්වල කරන්න සාතන් විරුද්ධවාදිකම් පාවිච්චි කරන්නේ කොහොමද?

8 විරුද්ධවාදිකම්. ස්ථිරව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය බිඳලා දාන්න, අපිව මානසිකව වට්ටන්න සාතන් පාවිච්චි කරන එක උගුලක් තමයි ඒ. එයාගේ එකම අරමුණ දෙවියන් එක්ක තියෙන අපේ බැඳීම කඩලා අපිව “ගිලලා දාන” එකයි. (1 පේතෘ. 5:8) මුල් සියවසේ ක්‍රිස්තියානීනුත් ස්ථිරව දෙවියන්ගේ කැමැත්ත කරපු නිසා එයාලට ගොඩක් අභියෝග ආවා. එයාලට තර්ජනය කළා, ගැහුවා, සමහරුන්ව මරලා දැම්මා. (ක්‍රියා 5:27, 28, 40; 7:54-60) අදත් අපිව වට්ටන්න සාතන් පාවිච්චි කරන්නේ ඒ ක්‍රමමයි. රුසියාවේ සහ තවත් රටවල්වල ඉන්න අපේ සහෝදරයන් මුහුණ දෙන දරුණු දේවල්වලින් ඒක පැහැදිලියි. ඒ වගේම ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ට එන විරුද්ධවාදිකම්වලිනුත් පේනවා සාතන් දෙවියන්ගේ සෙනඟව මොහොතකටවත් අත්හරින්නේ නැහැ කියලා.

9. සූක්ෂ්ම උපායන් ගැන අපි සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම උදාහරණෙකින් පැහැදිලි කරන්න.

9 සූක්ෂ්ම උපායන්. කෙළින්ම ඇවිත් පහර දෙනවාට අමතරව සාතන් සූක්ෂ්ම “උපායන්” පාවිච්චි කරලත් අපිව වට්ටන්න උත්සාහ කරනවා. (එෆී. 6:11) ඒක තේරුම්ගන්න අපි සහෝදර බොබ්ගේ අද්දැකීම බලමු. සැරයක් ලොකු ඔපරේෂන් එකක් කරන්න එයාව ඉස්පිරිතාලේ නැවැත්තුවා. එයා වෛද්‍යවරුන්ට කිව්වා එයා ලේ ගන්නේ නැහැ කියලා. ඉතින් වෛද්‍යවරුත් එයාගේ තීරණයට ගරු කළා. හැබැයි ඔපරේෂන් එක කරන දවසට කලින් දවසේ රෑ, බොබ්ගේ පවුලේ අයත් ගියාට පස්සේ නිර්වින්දක වෛද්‍යවරයා බොබ්ව හම්බ වෙන්න ආවා. එයා කිව්වා “අපි ඔයාට ලේ දෙන්නේ නෑ. හැබැයි කෝකටත් කියලා අපි පැත්තකින් ලේ ටිකක් තියාගෙන ඉන්නං” කියලා. සමහරවිට ඩොක්ටර් හිතන්න ඇති පවුලේ අය ගියාට පස්සේ බොබ් තීරණය වෙනස් කරයි කියලා. හැබැයි බොබ් දිගටම ස්ථිරව හිටියා. එයා ඒ ඩොක්ටර්ට කිව්වා “මොන දේ වුණත් ලේ දෙන්න එපා” කියලා.

10. මිනිස්සුන්ගේ තර්ක විතර්ක භයානක ඇයි? (1 කොරින්ති 3:19, 20)

10 මිනිස්සුන්ගේ තර්ක විතර්ක. මේ ලෝකේ ඉන්න මිනිස්සු හිතන විදිහට හිතුවොත් නම් අපි දෙවියන්ගේ නීති, ප්‍රතිපත්ති ගණන් ගන්න එකකුත් නැහැ. අන්තිමේදී යෙහෝවාවත් දාලා යයි. (1 කොරින්ති 3:19, 20 කියවන්න.) මොකද ‘මේ ලෝකයේ ප්‍රඥාව’ අපිව දිරිගන්වන්නේ අපේම ආශාවන් පිනවගන්න. උදාහරණෙකට පර්ගමම් සහ තියතීරා කියන්නේ රූප නමස්කාරයෙන් සහ අනාචාරයෙන් පිරුණු නගර දෙකක්. ඒ නගරවල හිටපු අයගේ අදහස් අහලා සමහර ක්‍රිස්තියානීනුත් රූප නමස්කාරයට, අනාචාරයට වැටුණා. ඒ නිසයි යේසුස් එයාලට තදින් උපදෙස් දුන්නේ. (එළි. 2:14, 20) අදත් පවුලේ අය, යාළුවෝ එයාලා හිතන විදිහට හිතන්න අපිව හැම වෙලේම පොලඹවනවා. එයාලා මෙහෙම කියනවා. “ඔයාලාගේ නීති තද වැඩියි. අනික බයිබලේ ආදි කාලේ පොතක්නේ. ඒකේ කියන දේ කරන්න ඕනෙ නෑ, ඔයා ඔයාගේ හිත කියන දේ කරන්න.”

11. අපි වළකින්න ඕනෙ මොන දේවල්වලින්ද?

11 සමහරවිට අපිට හිතෙන්න පුළුවන් යෙහෝවා සමහර කාරණා ගැන දීලා තියෙන මඟ පෙන්වීම් පැහැදිලි මදි කියලා. ඒ වගේ වෙලාවට “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා ගිහින්” වැඩ කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. (1 කොරි. 4:6) යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයොත් වැඩ කළේ එහෙමයි. එයාලා අලුත් නීති හදලා මිනිස්සුන්ව තැළුවා. (මතෙ. 23:4) අපිට ඕනෙ නැහැ එයාලා වගේ වෙන්න. මොකද දෙවියන් ඔහුගේ වචනයෙන්, සංවිධානයෙන් අපිට පැහැදිලි මඟ පෙන්වීම් දෙනවා. ඒ නිසා ලියලා තියෙන දේවල් ඉක්මවා ගිහින් අනිත් අයගේ පෞද්ගලික දේවල් ගැන නීති දාන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.—හිතෝ. 3:5-7.

12. සාතන් ‘මුළා කරවන හිස් මතිමතාන්තර’ පාවිච්චි කරන්නේ කොහොමද?

12 මුළා කරවන දේවල්. සාතන්ගේ ඉත්තන් මිනිස්සුන්ව රවට්ටන්න, බෙදන්න “මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර,” “මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්” පාවිච්චි කරනවා. (කොලො. 2:8) මුල් සියවසේදීත් එයාලා ඒකට දර්ශනවාදී අදහස්, බයිබලේට පටහැනි යුදෙව් ඉගැන්වීම් පාවිච්චි කළා. ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තියානීන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට අනිවාර්යයෙන්ම යටත් වෙන්න ඕනෙ කියලත් එයාලා කිව්වා. කෙනෙක් ඒ වගේ දේවල්වලට ඇහුම්කන් දුන්නොත් නම් සැබෑ ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා දෙවියන්ගෙන් ටිකෙන් ටික ඈතට ගහගෙන යයි. සාතන් අදත් මාධ්‍යය, සමාජ ජාලා වෙබ් අඩවි සහ සමහර ඇප් පාවිච්චි කරලා බොරු කටකතා, බොරු ප්‍රවෘත්ති පතුරුවනවා. කොරෝනා වසංගත කාලේ අපි ඒක වැඩි වැඩියෙන් දැක්කා. c හැබැයි දෙවියන්ගේ සෙනඟ ඒ බොරුවලින් ඔළුව පුරෝගෙන, නැති ප්‍රශ්න දාගත්තේ නැහැ. ඒ වෙනුවට එයාලා හැම තිස්සේම කීකරු වුණේ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට.—මතෙ. 24:45.

13. අපේ අවධානය වෙනතකට හරවන දේවල්වලින් අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

13 අවධානය වෙනතකට හරවන දේවල්. අපි හැම වෙලේම “වඩා වැදගත් දේවල්වලට” අවධානය දෙන්න ඕනේ. (ෆිලි. 1:9, 10) හැබැයි අපේ කාලය, අවධානය ලේසියෙන්ම හොරාගන්න දේවල්වලින් අපි වට වෙලා. සමහරවිට කන බොන එක, විනෝද වෙන එක, රස්සාව කරන එක වගේ ජීවිතේ සාමාන්‍ය දේවල් වුණත් අපිට උගුලක් වෙන්න පුළුවන්. (ලූක් 21:34, 35) ඒ වගේම අපි දවස තිස්සේම ප්‍රවෘත්තිවලින් පෙන්නන වර්ජන, දේශපාලනික මතගැටුම්, විවාද ගැනම බලබල හිටියොත් ඒකෙන් අපේ හදවත බෙදිලා, අපි පැති ගන්න වුණත් පෙලඹෙයි. ඒ වගේ දෙයක් වෙන්න අපි කොහොමටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. ඒත් සාතන් මේ මොන උගුල ඇටෙව්වත් දිගටම ස්ථිරව ඉන්න අපිට පුළුවන් කොහොමද?

දිගටම ස්ථිරව ඉන්න

දිගටම ස්ථිරව ඉන්න නම්, කැප වෙලා බව්තීස්ම වුණේ ඇයි කියලා මතක් කරගන්න. බයිබලේ අධ්‍යයනය කරලා ගැඹුරින් හිතන්න. ස්ථිර හිතක් ඇතුව ඉන්න. දෙවියන් ගැන විශ්වාසය තියන්න (14-18 ඡේද බලන්න)

14. දෙවියන්ගේ පැත්තේ දිගටම ස්ථිරව ඉන්න උදව් වෙන එක දෙයක් මොකක්ද?

14 ඔයා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණේ ඇයි කියලා හිතන්න. ඔයා ඒ පියවර ගත්තේ ඔයාට යෙහෝවාගේ පැත්ත ගන්න ඕන නිසයි. ඒ නිසා ආයෙත් ආපස්සට ගිහිල්ලා හිතන්න ‘මේක තමයි සත්‍යය කියලා ස්ථිර කරගන්න මට උදව් වුණේ මොනවාද’ කියලා. මුලින්ම ඔයා දෙවියන් ගැන නිවැරදි දැනුම ලබාගත්තා. ඊටපස්සේ ඔයාගේ හිතේ ඔහු ගැන ලොකු ආදරයක්, ගෞරවයක් ඇති වුණා. ඔයා දෙවියන්ව ඔයාගේ තාත්තා විදිහට දකින්න පටන්ගත්තා. ඔහු ගැන තියෙන විශ්වාසය ඔයාව පෙලඹුවා කරපු වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙන්න. ඔයා ඒ වැරදිවලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දෙවියන්ගේ හිත සතුටු කරන්න පටන්ගත්තා. ඒ වගේම තමයි යෙහෝවා ඔයාගේ වැරදිවලට සමාව දෙනවා කියලා දැනගත්තාම ඔයාට දැනුණේ පුදුම සහනයක්. (ගීතා. 32:1, 2) ඔයා රැස්වීම් යන්නත් පටන්ගත්තා. ඉගෙනගන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තා. අන්තිමේදී ඔයා යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණා. දැන් ඔයා ඉන්නේ ජීවනයට යන පාරේ. (මතෙ. 7:13, 14) ඒ නිසා දිගටම ඒ පාරේ යන්න. කවදාවත් පාර වරද්දගන්න නම් එපා!

15. අපි අධ්‍යයනය කරන්න, ගැඹුරින් හිතන්න කාලේ ගන්න එක වැදගත් ඇයි?

15 බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන ගැඹුරින් හිතන්න. ගහක මුල් ගැඹුරට යද්දී, ඒවා ඈතට ඈතට විහිදෙද්දී ඒ ගහ ලේසියෙන් පෙරළෙන්නේ නැහැ. බයිබලේ මත පදනම් අපේ විශ්වාසයත් ඒ මුල් වගේ නම් අපිත් ස්ථිරයි. අපි බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන ගැඹුරින් හිතද්දී අපේ විශ්වාසය වැඩි වෙනවා. දෙවියන් අපිට දෙන්නේ හොඳම මඟ පෙන්වීම් කියලා තව තවත් ස්ථිර වෙනවා. (කොලො. 2:6, 7) දෙවියන් අතීතයේදී තමන්ගේ සේවකයන්ට මඟ පෙන්නපු විදිහ, උපදෙස් දීපු විදිහ සහ එයාලව ආරක්ෂා කරපු විදිහ ගැන හිතන එකෙනුත් විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. උදාහරණෙකට එසකියෙල් දර්ශනයකින් දැක්කා දේවදූතයෙක් දේවමාලිගාව මනිනවා. එයා ඒ දර්ශනයට හොඳ අවධානයක් දීපු නිසා එසකියෙල්ගේ විශ්වාසය වැඩි වුණා. ඒ සිද්ධියෙන් දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න පුළුවන් කොහොමද කියලා අපිටත් වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. d (එස. 40:1-4; 43:10-12) ඉතින් ඒ විදිහට කාලේ අරන් දෙවියන්ගේ වචනය අධ්‍යයනය කරලා ඒ ගැන හිතනවා නම් අපිටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.

16. ස්ථිරව හිටපු එක බොබ්ට උදව් වුණේ කොහොමද? (ගීතාවලිය 112:7)

16 ස්ථිර හිතක් ඇතුව ඉන්න. සැරයක් දාවිත් දෙවියන්ට මෙහෙම කිව්වා. “දෙවියනි, මාගේ සිත වෙනස් වී නැත. එසේය, මාගේ සිත ස්ථිරව තිබේ.” (ගීතා. 57:7) අපිටත් පුළුවන් යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසය තියලා ස්ථිර හිතක් ඇතුව ඉන්න. (ගීතාවලිය 112:7 කියවන්න.) කලින් සඳහන් කරපු බොබ් ඒක කළේ කොහොමද කියලා බලන්න. ‘ඔපරේෂන් එක කරන වෙලාවේ කෝකටත් කියලා ලේ ටිකක් පැත්තකින් තියාගමු’ කියලා ඩොක්ටර් කිව්වාම බොබ් හිතහිත හිටියේ නැහැ. එයා කෙළින්ම කිව්වා “ඔයාලා ලේ දුන්නොත් මං ඒ වෙලාවෙම ඉස්පිරිතාලෙන් යනවා” කියලා. ඒ ගැන පස්සේ වෙලාවක බොබ් කියපු දේ බලන්න. “මං කියපු දේ ගැන මට කිසිම සැකයක් තිබුණේ නෑ, අනික මට මොනවා හරි වෙයිද කියලා මං බය වුණෙත් නෑ.”

විශ්වාසය කියන අත්තිවාරම ශක්තිමත් නම් මොන දේ වුණත් ස්ථිරව ඉන්න ඔයාට පුළුවන් (17 ඡේදය බලන්න)

17. ඔයා බොබ්ගෙන් ඉගෙනගත්තේ මොනවාද? (පින්තූරයත් බලන්න.)

17 කරන්න ඕනෙ දේ ගැන බොබ් ඉස්පිරිතාලෙට එන්න කලින් ඉඳන්ම තීරණයක් අරන් තිබුණා. ඒකයි එයාට දිගටම ස්ථිරව ඉන්න පුළුවන් වුණේ. (1) දෙවියන්ගේ හිත සතුටු කරන්න එයාගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා. (2) එයා බයිබලේ සහ අපේ ප්‍රකාශන අධ්‍යයනය කරලා ජීවිතයයි, රුධිරයයි දෙවියන් ඉස්සරහා පරිශුද්ධයි කියලා තේරුම්ගත්තා. (3) දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් හැම වෙලේම ප්‍රයෝජන ලැබෙනවා කියලා එයා එයාටම තහවුරු කරගත්තා. අපිටත් පුළුවන් මොන අභියෝගය මැද වුණත් ඒ විදිහට දිගටම ස්ථිරව ඉන්න.

බාරාක් සහ එයාගේ සෙනඟ ධෛර්යවන්තව සිසෙරාගේ හමුදාවට පහර දෙන්න යනවා (18 ඡේදය බලන්න)

18. අපිට බාරාක්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

18 යෙහෝවා ගැන විශ්වාසය තියන්න. යෙහෝවා දීපු මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා බාරාක් සාර්ථක වුණා. බාරාක්ට සහ එයාත් එක්ක හිටපු අයට පලිහක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැහැ. (විනි. 5:8) හැබැයි දෙවියන් එයාලට කිව්වා කානානි හමුදාවේ හමුදාපති වුණ සිසෙරාට විරුද්ධව සටනට යන්න කියලා. කානානි හමුදාව ආයුධ සන්නද්ධ හරිම බලවත් හමුදාවක්. ඒ මදිවට අනාගතවක්තෘවරියක් වුණ දෙබොරා කිව්වා යුධ රථ 900ක් එක්ක එන සිසෙරාට විරුද්ධව සටන් කරන්න තැනිතලා බිමකට යන්න කියලා. ඒ වගේ තැනිතලා බිමක යුධ රථ එක්ක එන හමුදාවකට දිනන්න හරිම ලේසියි. ඒ ගැන දැනගෙන හිටියත් බාරාක් ඒ මඟ පෙන්වීමට කීකරු වුණා. ඒත් බාරාක්ගේ හමුදාවේ අය තාබෝර් කන්දේ ඉඳලා තැනිතලාවට බැහැගෙන එද්දී වුණේ හිතුවේවත් නැති දෙයක්. යෙහෝවා ලොකු වැස්සක් වහින්න සලස්වපු නිසා සිසෙරාගේ යුධ රථ මඩේ එරුණා. අන්තිමේදී දෙවියන් බාරාක්ට ජයග්‍රහණය අත් කරලා දුන්නා. (විනි. 4:1-7, 10, 13-16) බාරාක් වගේ අපිත් දෙවියන්ව විශ්වාස කරනවා නම් පත් කරපු අය මාර්ගයෙන් ඔහු දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් ඔහු අපිවත් සාර්ථක කරයි.—ද්වි. 31:6.

ස්ථිරව ඉන්න අධිෂ්ඨාන කරගන්න

19. අපි දිගටම ස්ථිරව ඉන්න ඕනෙ ඇයි?

19 සාතන්ගේ පාලනය තියෙන කල් ස්ථිරව ඉන්න අපිට දිගටම සටන් කරන්න වෙයි. (1 තිමෝ. 6:11, 12; 2 පේතෘ. 3:17) හැබැයි කවදාවත් විරුද්ධවාදිකම්වලටවත් සූක්ෂ්ම උපායන්වලටවත් මිනිස්සුන්ගේ තර්ක විතර්කවලටවත් මුළා කරවන දේවල්වලටවත් අවධානය වෙනතකට හරවන දේවල්වලටවත් විශ්වාසය හොල්ලන්න ඉඩ දෙන්න එපා. (එෆී. 4:14) ඒ වෙනුවට අපි දිගටම ස්ථිරව දෙවියන්ගේ පැත්තේ ඉමු. ඔහු දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙමු. ඒ වගේම හැම දෙයක් ගැනම සාධාරණව හිතමු. ඒත් එහෙම කරන්න යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන ඊළඟ සතියේ බලමු.

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

a ‘හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා කවුරුත් කියන්න ඕනෙ නෑ. ඔයාටම පුළුවන් ඒක තීරණය කරන්න.’ ආදම් සහ ඒවගේ කාලේ ඉඳන් සාතන්ට ඕනෙ මිනිස්සුන්ගේ මනසට ඒ සිතුවිල්ල දාන්න. අදත් දෙවියන්ගේ නීතිවලට, සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු නොවී අපිට ඕනෙ දේ අපි කරනවා නම් සාතන්ට ඊට වඩා සතුටක් නැහැ. සාතන්ගේ ලෝකේ පැතිරිලා තියෙන ඒ වගේ අදහස්වලින් ආරක්ෂා වෙලා දෙවියන්ගේ පැත්තේ ස්ථිරව ඉන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

b ක්‍රිස්තියානීන් රුධිරය සලකන විදිහ ගැන තවත් තොරතුරු දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 39වෙනි පාඩම බලන්න.

c jw.org වෙබ් අඩවියේ තියෙන “බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!” කියන ලිපිය බලන්න.

d වැඩි විස්තර දැනගන්න ‘යෙහෝවා දෙවියන්ට කරන පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවයි’ (සිංහලෙන් නැහැ.) පොතේ 13වෙනි සහ 14වෙනි පරිච්ඡේද බලන්න.