පාඩම් ලිපිය 51
කවදාවත් සුන් නොවෙන බලාපොරොත්තුවක්!
“ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.”—රෝම 5:5.
ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න
මේ ලිපියෙන් a
1. දෙවියන් දුන්න පොරොන්දුව ඉටු වෙයි කියලා විශ්වාස කරන්න ආබ්‍රහම්ට හොඳ පදනමක් තිබුණා කියන්නේ ඇයි?
යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනෙක් මාර්ගයෙන් පොළොවේ ඉන්න හැමෝම ආශීර්වාද ලබනවා කියලා. (උත්. 15:5; 22:18) හැබැයි ආබ්‍රහම්ට අවුරුදු 100ක් වෙද්දීත් සාරාට අවුරුදු 90ක් වෙද්දීත් එයාලට දරුවෙක් හිටියේ නැහැ. (උත්. 21:1-7) බැලූ බැල්මට ඒ පොරොන්දුව ඉටු වෙන්නේ නැහැ වගෙයි පේන්න තිබුණේ. ඒත් බයිබලේ කියනවා ‘ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව දෙවි පවසද්දී ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබුණා’ කියලා. (රෝම 4:18) ඔව්, ඒ පොරොන්දුව දුන්නේ යෙහෝවා. ඒ නිසා ඒක ඉටු වෙනවා කියලා විශ්වාස කරන්න ආබ්‍රහම්ට හොඳ පදනමක් තිබුණා. අන්තිමේදී ආබ්‍රහම්ගේ බලාපොරොත්තුව ඉටු වුණා. එයාට ඊසාක්ව ලැබුණා. ඒත් ඒ පොරොන්දුව දෙවියන් ඉටු කරයි කියලා දිගටම ස්ථිරව ඉන්න ආබ්‍රහම්ට පුළුවන් වුණේ ඇයි?
2. යෙහෝවා දුන්න පොරොන්දුව ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා ආබ්‍රහම් විශ්වාස කළේ ඇයි?
2 ආබ්‍රහම්ට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබ්බා. ඒ නිසයි එයා “දෙවි පොරොන්දු වී තිබූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවට පූර්ණ විශ්වාසයකින් හිටියේ.” (රෝම 4:21) යෙහෝවා ඔහුගේ අනුමැතිය ආබ්‍රහම්ට දුන්නේ, එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවේ ආබ්‍රහම්ගේ ඒ විශ්වාසය නිසයි. (යාකො. 2:23) රෝම 4:18 කියන විදිහට ආබ්‍රහම්ගේ විශ්වාසයයි, එයාට තිබ්බ බලාපොරොත්තුවයි අතර කිට්ටු සම්බන්ධයක් තිබ්බා. ඒක තේරුම්ගන්න අපි රෝම 5වෙනි පරිච්ඡේදයේ බලාපොරොත්තුව ගැන පාවුල් කියපු දේ බලමු.
3. බලාපොරොත්තුව ගැන පාවුල් කිව්වේ මොනවාද?
3 “බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ” කියලා පාවුල් පැහැදිලි කරනවා. (රෝම 5:5) ඒ වගේම අපේ බලාපොරොත්තුව දවසින් දවස ශක්තිමත් වෙන්නේ කොහොමද කියලත් එයා කියනවා. ඉතින් අපි මේ ලිපියේ රෝම 5:1-5 තියෙන තොරතුරු සාකච්ඡා කරද්දී ඒ තොරතුරු ඔයාගේ ජීවිතේ ඇත්තක් වෙලා තියෙන විදිහ ගැන හිතලා බලන්න. එහෙම කරද්දී ඔයාගේ බලාපොරොත්තුව දවසින් දවස ඔපමට්ටම් වෙලා, ශක්තිමත් වෙලා තියෙන විදිහ ඔයාට තේරෙයි. ඒ වගේම ඒක තව තවත් ශක්තිමත් කරගන්න පුළුවන් විදිහත් අපි මේ ලිපියෙන් බලමු.
ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවක්!
4. රෝම 5:1, 2 කියන්නේ මොනවා ගැනද?
4 රෝම 5:1, 2 කියවන්න. පාවුල් ඒ පදවල තියෙන වචන ලියන්නේ රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට. එයාලා යෙහෝවා ගැනයි, යේසුස් ගැනයි ඉගෙනගෙන ඒ දෙන්නා ගැන විශ්වාසය තියලා ක්‍රිස්තියානීන් වුණා. ඒ නිසා ‘එයාලට තිබ්බ විශ්වාසය පදනම් කරගෙන දෙවියන් එයාලව ධර්මිෂ්ඨයන් විදිහට පිළිගත්තා.’ ඒ වගේම එයාලව ඔහුගේ බලයෙන් අභිෂේක කළා. ඒ විදිහට දෙවියන්ගෙන් එයාලට ස්ථිර වගේම හරිම වටින බලාපොරොත්තුවක් ලැබුණා.
5. අභිෂේක ලත් අයගේ බලාපොරොත්තුව මොකක්ද?
5 පාවුල් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා අභිෂේක ලත් අයට තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද කියලා. පාවුල් කිව්වා එහේ ඉන්න “සියලුම ශුද්ධ තැනැත්තන්ට උරුමයක්” ලැබෙනවා කියලා. (එෆී. 1:18) ඒ වගේම කොලොස්සිවරුන්ට ලියද්දී පාවුල් සඳහන් කළා එයාලාගේ බලාපොරොත්තුව ඉටු වෙන්නේ කොහේද කියලා. එයා කිව්වා “ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය” කියලා. (කොලො. 1:4, 5) ඒ හැම දේකින්ම පේනවා අභිෂේක ලත් අයට තියෙන බලාපොරොත්තුව තමයි නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් එක්ක ස්වර්ගයේ ඉඳන් පාලනය කරන එක කියලා.—1 තෙස. 4:13-17; එළි. 20:6.
6. අභිෂේක ලත් සහෝදරයෙක් එයාගේ බලාපොරොත්තුව ගැන කිව්වේ මොකක්ද?
6 අභිෂේක ලත් අය එයාලාගේ බලාපොරොත්තුව ගැන හුඟක් සතුටු වෙනවා. සහෝදර ෆ්රෙඩ්රික් ෆ්රාන්ස් කියන්නේ අභිෂේක ලත් සහෝදරයෙක්. එයා එයාගේ බලාපොරොත්තුව ගැන කියන දේ බලන්න. “1,44,000දෙනාට අයිති අපි හැමෝගෙම, කොටින්ම කිව්වොත් පළවෙනි කෙනාගේ ඉඳන් අන්තිම කෙනා වෙන කල්ම අපිට තියෙන බලාපොරොත්තුව ස්ථිරයි. ඒ බලාපොරොත්තුව අපි හිතාගෙන ඉන්නවාටත් වඩා ශ්‍රේෂ්ඨ විදිහට ඉටු වෙන්න යනවා.” දශක ගාණක් විශ්වාසවන්තව සේවේ කළාට පස්සේ 1991දී සහෝදර ෆ්රාන්ස් මෙහෙම කිව්වා. ‘අපිට ඒ බලාපොරොත්තුවේ තියෙන වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒක ඉටු වෙන කල් බලාගෙන ඉන්න ඉන්න ඒ ගැන අපිට තියෙන අගයත් වැඩි වෙනවා. ඒ වෙනුවෙන් අවුරුදු මිලියන ගාණක් බලන් ඉන්න වුණත්, ඒ ගෙවෙන කාලය කවදාවත් අපතේ යන්නේ නැහැ. ඇත්තටම ඒ බලාපොරොත්තුව ගැන වෙන කවදාටත් වඩා මගේ හිතේ ලොකු අගයක් තියෙනවා.’
7-8. අපෙන් හුඟදෙනෙක්ට තියෙන්නේ මොන බලාපොරොත්තුවද? (රෝම 8:20, 21)
7 දෙවියන්ට සේවේ කරන හුඟදෙනෙක්ට තියෙන බලාපොරොත්තුව තමයි දේවරාජ්‍යය යටතේ මේ පොළොවේ සදහටම ජීවත් වෙන එක. ඒ බලාපොරොත්තුවමයි ආබ්‍රහම්ටත් තිබ්බේ. (හෙබ්‍රෙ. 11:8-10, 13) පාවුල් ඒ ගැනත් ලිව්වා. (රෝම 8:20, 21 කියවන්න.) ඉතින් මුල්ම වතාවට ඔයා ඒ බලාපොරොත්තුව ගැන දැනගද්දී ඔයා වැඩියෙන්ම ආස වුණේ මොනවා ඉටු වෙනවා දකින්නද? සමහරවිට අපි හැමෝම පරිපූර්ණත්වයට ළඟා වෙන විදිහ දකින්න ඔයා ආස වෙන්න ඇති. මොකද එදාට වැරදි කරන්න ඔයාට පෙලඹීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා ආස වෙන්න ඇත්තේ පාරාදීසේදී ඔයා ආදරේ කරන අය නැවත නැඟිටලා එන විදිහ දැකගන්න වෙන්න ඇති. ඒ කොහොමවුණත් ඒ දේවල් නිසා ඔයාගේ ජීවිතේට අලුත් ‘බලාපොරොත්තුවක් එකතු වුණා.’
8 අපි ආසාවෙන් ඉන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් මේ පොළොවේ ජීවත් වෙන්න වුණත් ඒ බලාපොරොත්තුව අපේ ජීවිත සතුටින් පුරවලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඒ බලාපොරොත්තුව දවසින් දවස ශක්තිමත් වෙනවා කියලා. ඒක වෙන්නේ කොහොමද කියලා පාවුල් පැහැදිලි කළා. දැන් අපි ඒ ගැන බලමු. මොකද ඒක අපිට උදව් වෙනවා ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිටම ස්ථිර කරගන්න.
බලාපොරොත්තුව ශක්තිමත් වෙන විදිහ
9-10. පාවුල්ගේ ජීවිතයෙනුත් පේන විදිහට ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ දේවල්වලටද? (රෝම 5:3) (පින්තූරත් බලන්න.)
9 රෝම 5:3 කියවන්න. පාවුල් කිව්වා පීඩාවලට පුළුවන් අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරන්න කියලා. ඒක ටිකක් අමුතු දෙයක් නේද? ඒ කොහොමවුණත් ක්‍රිස්තියානීන් විදිහට අපි හැමෝටම පීඩාවලට මුහුණ දෙන්න වෙනවාමයි. පාවුල් ගැන හිතන්න. එයා තෙසලෝනිකවරුන්ට මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම අප සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන බව අපි ඔබ සමඟ සිටියදී කල්තියාම ඔබට පැවසුවෙමු. ඔබ දන්නා පරිදි ඒ පීඩා විඳීමට අපට සිදු වී ඇත.” (1 තෙස. 3:4) ඒ වගේම පාවුල් කොරින්තිවරුන්ටත් මෙහෙම කිව්වා. ‘අපට මුහුණ දෙන්න සිදු වූ පීඩා ගැන ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු. ඇත්තටම අපගේ ජීවිත පවා තිබුණේ ඉතා අවදානම් තත්වයකය.’—2 කොරි. 1:8; 11:23-27.
10 අදත් ක්‍රිස්තියානීන් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. (2 තිමෝ. 3:12) යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ නිසා ඔයාත් පීඩාවලට මුහුණ දෙනවාද? සමහරවිට ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ ඔයාට අපහාස කරනවා ඇති. ඔයාට පහත් විදිහට සලකනවාත් ඇති. ඔයා හැම වෙලේම අවංකව වැඩ කරන්න උත්සාහ කරන නිසා රස්සාව කරන තැනෙනුත් ගොඩක් ප්‍රශ්න එනවා ඇති. (හෙබ්‍රෙ. 13:18) එහෙම නැත්නම් ඔයාට තියෙන ලස්සන බලාපොරොත්තුව අනිත් අයත් එක්ක බෙදාගන්න නිසා බලධාරීන්ගෙනුත් පීඩා ඇවිල්ලා ඇති. ඔයා මේ මොන ප්‍රශ්නයට මුහුණ දුන්නත් පාවුල් කිව්වා ඔයාට සතුටු වෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද?
11. ඕනම පීඩාවක් විඳදරාගන්න අපි අධිෂ්ඨාන කරගෙන ඉන්න ඕනෙ ඇයි?
11 රෝම 5:3 පාවුල් කිව්වා “පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වෙයි” කියලා. ඇත්තටම ක්‍රිස්තියානීන් විදිහට අපි හැමෝටම පීඩාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසයි අපි හැමෝම විඳදරාගන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. මොකද එහෙම කළොත් විතරයි අපේ බලාපොරොත්තුව ඉටු වෙන විදිහ අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. අපි කවුරුත් කැමති නැහැ යේසුස් කිව්ව උපමාවේ තියෙන ගල් බිම් මත වැටුණ බීජ වගේ වෙන්න. මොකද ඒ වගේ අය මුලදී සත්‍යය සතුටින් පිළිගත්තත් ‘හිංසා, පීඩා ආවාට පස්සේ’ හැම දේම අත්හැරලා දානවා. (මතෙ. 13:5, 6, 20, 21) අපි දන්නවා පීඩා එන එක සතුටු වෙන්න හේතුවක් නම් නෙවෙයි කියලා. හැබැයි ඒ කොහොමවුණත් විඳදරාගන්න එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.
12. පීඩා විඳදරාගද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?
12 විඳදරාගද්දී ලැබෙන ප්‍රයෝජන ගැන යාකොබ් කතා කළා. එයා මෙහෙම කිව්වා. “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති, නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.” (යාකො. 1:2-4) ඒකෙන් පැහැදිලියි විඳදරාගැනීමෙනුත් ලොකු වැඩ කොටසක් වෙනවා කියලා. ඒ මොකක්ද? ඒකට පුළුවන් ඉවසීම, විශ්වාසය වගේ ගුණාංග වර්ධනය කරන්න. ඒ වගේම වැඩි වැඩියෙන් යෙහෝවා මත රඳා ඉන්න උගන්නන්න. ඒ දේවල්වලට අමතරව විඳදරාගැනීමෙන් ඉටු වෙන තවත් වැදගත් දෙයක් තියෙනවා.
13-14. විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ඒක අපේ බලාපොරොත්තුවට සම්බන්ධ වෙන්නේ කොහොමද? (රෝම 5:4)
13 රෝම 5:4 කියවන්න. පාවුල් කියනවා “විඳදරාගන්නා විට එය අපට දෙවිගේ අනුමැතිය ලබාගැනීමට මඟ පාදයි” කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා පීඩා, ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා කියලා. ඒ වෙනුවට ඔහු සතුටු වෙන්නේ ඔයා ගැන. ඔයා විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න එක ගැන. හිතන්න, ඔයාගේ විශ්වාසවන්තකම දැකලා යෙහෝවා සතුටු වෙනවා කියලා දැනන් ඉන්න එක ඔයාටත් සතුටක් නෙවෙයිද?—ගීතා. 5:12.
14 මතකද ආබ්‍රහමුත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එයා ඒවා විශ්වාසවන්තව විඳදරාගත්ත නිසා තමයි දෙවියන්ගේ අනුමැතිය එයාට ලැබුණේ. ඒ නිසා යෙහෝවා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා. ඒ වගේම ඔහුගේ යාළුවෙකුත් කරගත්තා. (උත්. 15:6; රෝම 4:13, 22) අපිටත් එහෙමයි. යෙහෝවා අපිට ඔහුගේ අනුමැතිය දෙන්නේ සංවිධානයේ අපි කොච්චර සේවයක් කරනවාද, කොච්චර පැවරුම් කරනවාද කියන එක දිහා බලලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු බලන්නේ අපි කොච්චර විශ්වාසවන්තව විඳදරාගන්නවාද කියන එකයි. අපි මොන වයසක හිටියත් මොන දේවල්වලට මුහුණ දුන්නත් අපේ හැකියාවන් මොනවාවුණත් අපි හැමෝටම පුළුවන් විඳදරාගන්න. ඔයාත් මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් මැද දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න සටනක් කරන කෙනෙක්ද? එහෙමනම් අමතක කරන්න එපා යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලා. දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා දැනන් ඉන්න එක ඔයාගේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් කරගන්න ඔයාට උදව් වෙයි.
කලින්ටත් වඩා ශක්තිමත් බලාපොරොත්තුවක්!
15. බලාපොරොත්තුව ගැන පාවුල් තව මොනවාද කිව්වේ?
15 පාවුල් කිව්ව විදිහට අපි දිගටම විඳදරාගත්තොත් තමයි අපිට යෙහෝවාගේ අනුමැතිය ලැබෙන්නේ. රෝම 5:2 එයා රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා එයාලට “දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව” තියෙනවා කියලා. ඒ වගේම පාවුල් මෙහෙමත් කිව්වා. “දෙවිගේ අනුමැතිය ලබාගන්නා විට අප තුළ තිබෙන බලාපොරොත්තුව ශක්තිමත් වේ. ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.”—රෝම 5:4, 5.
16. කෙනෙක්ගේ බලාපොරොත්තුව ස්ථිර වෙන්න පටන්ගන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)
16 පාවුල් කියපු දෙයින් පැහැදිලියි බලාපොරොත්තුව හැමදාම එකම විදිහට තියෙන දෙයක් නෙවෙයි, ඒක එන්න එන්නම ශක්තිමත් වෙන දෙයක් කියලා. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා බලාපොරොත්තුව ගැන මුල්ම වතාවට බයිබලෙන් දැනගද්දී ඔයාට කොහොමද දැනුණේ? සමහරවිට ඔයාටත් හිතෙන්න ඇති ‘පාරාදීසෙක හැමදාම ජීවත් වෙන්න ලැබෙන එක නම් නියමයි, ඒත් ඇත්තටම ඕක වෙයිද’ කියලා. හැබැයි ඔයා යෙහෝවා ගැන, බයිබලේ තියෙන පොරොන්දු ගැන දිගටම ඉගෙනගද්දී දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව ඔයාට ස්ථිර වුණා.
17. බව්තීස්මයෙන් පස්සෙත් ඔයාගේ බලාපොරොත්තුව තව ශක්තිමත් වෙන්නේ කොහොමද?
17 බව්තීස්මයෙන් පස්සෙත් ඔයා දිගටම යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්නවා. ඔහුට වැඩි වැඩියෙන් ආදරේ කරන්නත් පෙලඹෙනවා. එහෙම කරද්දී ඔයාගේ බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් වෙනවා. (හෙබ්‍රෙ. 5:13–6:1) එතකොට ඔයා අද්දකියි රෝම 5:2-4 තියෙන වචන කොච්චර ඇත්තක්ද කියලා. සමහරවිට ඔයා ප්‍රශ්නවලට මුහුණ දෙද්දී, ඒවා විශ්වාසවන්තව විඳදරාගද්දී ඔයාට දැනෙන්න ඇති ඔයාට යෙහෝවාගේ අනුමැතිය තියෙනවා කියලා. ඒක දැනන් ඉන්න එක ඔහු දීලා තියෙන බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඔයාගේ හිතේ තියෙන විශ්වාසය තව වැඩි කළා. ඒ විදිහට දවසින් දවස ඔයාගේ බලාපොරොත්තුව තවත් ස්ථිර වුණා. වෙන කවදාටත් වඩා ඒක ඔයාගේ ජීවිතේ ඇත්තක් වුණා. ඒක ඔයා පවුලේ අයට සලකන විදිහට, ඔයා ගන්න තීරණවලට, ඔයා කාලය පාවිච්චි කරන විදිහට බලපෑවා. කොටින්ම කිව්වොත් ඒ බලාපොරොත්තුව නිසා ඔයාගේ ජීවිතේ හිතාගන්න බැරි වෙනසක් වුණා.
18. යෙහෝවා දෙවියන් දෙන සහතිකය මොකක්ද?
18 ඔයාට දෙවියන්ගේ අනුමැතිය ලැබුණාට පස්සේ ඔයාගේ බලාපොරොත්තුවට සිද්ධ වෙන විශේෂ දෙයක් ගැන පාවුල් කිව්වා. එයා කිව්වා ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා දෙවියන් ඔයාට සහතිකයක් දෙනවා කියලා. කොහොමද අපි ඒක ස්ථිරවම කියන්නේ? බලන්න දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් පාවුල් ක්‍රිස්තියානීන්ට ලියපු මේ දේ. “ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත. එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින් අපගේ හදවත් දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.” (රෝම 5:5) ඒකෙන් පැහැදිලියි දෙවියන්ගේ ආදරේ ඔහු ඔහුගේ බලය මාර්ගයෙන් අපේ හිත්වලට දැනෙන්න සලස්වනවා කියලා. ඒකෙන් ඔයාගේ බලාපොරොත්තුවත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා සහතිකයක් ලැබෙන්නේ නැද්ද?
19. ඔයාට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද?
19 අපි බලපු විදිහට ආබ්‍රහම්ට දෙවියන්ගේ අනුමැතිය ලැබුණා. දෙවියන් එයාව සැලකුවේ ඔහුගේ යාළුවෙක් විදිහට. බයිබලේ කියනවා “ආබ්‍රහම් ඉවසීමෙන් කටයුතු කළ පසු ඔහුට ඒ පොරොන්දුව ලැබුණා” කියලා. (හෙබ්‍රෙ. 6:15; 11:9, 18; රෝම 4:20-22) දිගටම ඉවසීමෙන් බලන් හිටපු නිසා ආබ්‍රහම්ගේ බලාපොරොත්තු සුන් වුණේ නැහැ. අපිත් දිගටම විශ්වාසවන්තව විඳදරාගන්නවා නම් අපේ බලාපොරොත්තුත් කවදාවත් සුන් වෙන්නේ නැහැ. මොකද ඒ බලාපොරොත්තුව සැබෑ එකක්. ඒකෙන් අපිට සතුටක් ලැබෙනවා මිසක් කවදාවත් අපි කලකිරෙන්නේ නැහැ. (රෝම 12:12) ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. “මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන්.”—රෝම 15:13.
ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න
a අපේ බලාපොරොත්තුවට ඇතුළත් වෙන්නේ මොනවාද? ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන් කොහොමද? රෝම 5වෙනි පරිච්ඡේදයේ කියන විදිහට සත්‍යය දැනගත්ත මුල් කාලේ අපිට තිබුණ බලාපොරොත්තුවයි, කාලයක් ගියාට පස්සේ තියෙන බලාපොරොත්තුවයි අතර තියෙන වෙනස මොකක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.