පාඩම් ලිපිය 53
යෞවනයෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න
“හිතට ධෛර්යය ගෙන එඩිතරව කටයුතු කරන්න.”—1 රාජා. 2:2.
ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’
මේ ලිපියෙන් a
1. සාර්ථක කෙනෙක් වෙන්න සහෝදරයෙක්ට පුළුවන් කොහොමද?
දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට කිව්වා “හිතට ධෛර්යය ගෙන එඩිතරව කටයුතු කරන” පුරුෂයෙක් වෙන්න කියලා. (1 රාජා. 2:1-3) ඒ උපදෙස සලමොන්ට විතරක් නෙවෙයි අද ඉන්න හැම සහෝදරයෙක්ටම අදාළයි. එයාලත් සාර්ථක වෙන්න නම් හැම කාරණයකදීම යෙහෝවා දීලා තියෙන නීති, ප්‍රතිපත්ති අදාළ කරගෙන අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න ඕනේ. (ලූක් 2:52) ඒත් ඇත්තටම අපේ යෞවනයන් අවබෝධයෙන් වැඩ කරන පුරුෂයන් වෙන එක ඇයි එච්චරටම වැදගත්?
2-3. යෞවනයෙක් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන එක වැදගත් ඇයි?
2 සහෝදරයන්ට පවුලේ සහ සභාවේ ඉටු කරන්න ගොඩක් වගකීම් තියෙනවා. යෞවන සහෝදරයෙනි, ඔයා දැනටමත් හිතලා ඇති අනාගතේදී ඔයාට මොන වගේ වගකීම් දරන්න වෙයිද කියලා. සමහරවිට පූර්ණකාලීන සේවය කරන්න, සහායක සේවකයෙක් වෙන්න වගේම පස්සේ කාලෙක වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් ඇති. සමහරවිට විවාහ වෙලා දරුවන් හදන්නත් ඔයා ආසාවෙන් ඉන්නවා ඇති. (එෆී. 6:4; 1 තිමෝ. 3:1) ඒ ඉලක්කවලට ගිහිල්ලා සාර්ථක වෙන්න නම් ඔයා අනිවාර්යයෙන් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්නම ඕනේ. b
3 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න, අනාගත වගකීම් කරට ගන්න ඔයා සමහර පැතිවලින් දැන් ඉඳන්ම දියුණු වෙන්න ඕනේ. ඒ වගේම දක්ෂතා, හැකියාවන් තව වර්ධනය කරගන්නත් ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ?
අවබෝධයෙන් වැඩ කරන්න නම් . . .
4. ඔයාට හොඳ ආදර්ශය හොයාගන්න පුළුවන් කොහෙන්ද? (පින්තූරයත් බලන්න.)
4 හොඳ ආදර්ශ හොයාගන්න. අපේ යෞවනයන්ට ආදර්ශයට ගන්න පුළුවන් හුඟක් වටිනා චරිත බයිබලේ පුරාම තියෙනවා. ඒ පුරුෂයන් දෙවියන්ට ගොඩක් ආදරේ කරපු, විශ්වාසවන්තව දෙවියන්ගේ සෙනඟව රැකබලා ගත්ත අය. ඒ වගේම ඔයාගේ පවුලේ සහ සභාවෙත් ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් අය ඉන්නවා. (හෙබ්‍රෙ. 13:7) ඔයාට ඉන්න පරිපූර්ණම ආදර්ශය තමයි යේසුස් ක්‍රිස්තුස්. (1 පේතෘ. 2:21) ඉතින් ඒ එක එක චරිතය දිහා කිට්ටු වෙලා බලද්දී එයාලට තියෙන්නේ මොන වගේ හොඳ ගතිගුණද කියලා හිතන්න. (හෙබ්‍රෙ. 12:1, 2) ඊටපස්සේ එයාලව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලා බලන්න.
5. සිතීමේ හැකියාව දියුණු කරගන්නේ කොහොමද? එහෙම කරන එක වැදගත් ඇයි? (ගීතාවලිය 119:9)
5 “සිතීමේ හැකියාව” දියුණු කරගෙන ඒක “රැකගන්න.” (හිතෝ. 3:21) හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක් හදිස්සි වෙලා දේවල් කරන්නේ නැහැ. එයා දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතනවා. ඒ නිසා සිතීමේ හැකියාව දියුණු කරගෙන ඒක දිගටම පවත්වගන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරන්න. ඒත් ඇයි එහෙම කරන එක වැදගත්? අද ලෝකේ ඉන්න හුඟක් යෞවනයන් වැඩ කරන්නේ එයාලට හරියි කියලා හිතෙන විදිහට. ඒ වගේම එයාලා වැඩ කරන්නේ එයාලාගේ හැඟීම්වලට වහල් වෙලා. (හිතෝ. 7:7; 29:11) අද ටීවී එකේ, චිත්‍රපටිවල සහ ඉන්ටර්නෙට් එකේ තියෙන දේවලුත් යෞවනයන්ට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒත් සිතීමේ හැකියාව වර්ධනය කරගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද? ඒකට බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගන්න. ඒ වගේම ඒවා අදාළ කරගද්දී ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. ඊටපස්සේ ඔයාගේ ජීවිතේට ඒවා අදාළ කරගෙන යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහේ තීරණ ගන්න. (ගීතාවලිය 119:9 කියවන්න.) අවබෝධයෙන් වැඩ කරන පුරුෂයෙක් වෙන්න ඔයා සිතීමේ හැකියාව වර්ධනය කරගන්නම ඕනේ. (හිතෝ. 2:11, 12; හෙබ්‍රෙ. 5:14) සිතීමේ හැකියාව ඔයාගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන පැති දෙකක් ගැන දැන් අපි බලමු. (1) සහෝදරියන් එක්ක වැඩ කරද්දී. (2) අඳින පලඳින දේවල් ගැන තීරණ ගද්දී.
6. යෙහෝවා හිතන විදිහට හිතන යෞවනයෙක් සහෝදරියන්ට සලකන්නේ කොහොමද?
6 කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න සිතීමේ හැකියාව ඔයාට උදව් වෙනවා. අපි දන්නවා යෞවන සහෝදරයෙක්ට යෞවනියක් ගැන හිත යන එක සාමාන්‍ය දෙයක්. ඒකේ කිසි වැරැද්දක් නැහැ. හැබැයි යෙහෝවා හිතන විදිහට හිතන යෞවනයෙක් විවාහ වෙන්න අදහසක් හිතේ අහළකවත් නැතුව සහෝදරියකට බොරු බලාපොරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් ඇඟවෙන විදිහට දේවල් කියන්නේ කරන්නෙවත් මෙසේජ් යවන්නෙවත් නැහැ. (1 තිමෝ. 5:1, 2) හැබැයි හිතන්න යෞවනයෙක් මේ වෙද්දීත් සහෝදරියක් එක්ක යාළුයි කියලා. එහෙමනම් එයා ඒ සහෝදරියගේ හොඳ නමට කැළලක් ඇති වෙන්නේ නැති විදිහට වැඩ කරන්න වගබලා ගන්නවා. ඒ නිසයි එයා කාත් කවුරුත් නැතුව තනිපංගලමේ ඒ සහෝදරියත් එක්ක කාලේ ගත කරන්නේ නැත්තේ.—1 කොරි. 6:18.
7. ඇඳුම් පැලඳුම් ගැන තීරණ ගද්දී සිතීමේ හැකියාව යෞවනයෙක්ට උදව් වෙන්නේ කොහොමද?
7 යෞවනයෙක් අඳින පලඳින දේවල් ගැන ගන්න තීරණවලිනුත් එයා හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්ද නැද්ද කියලා පේනවා. අපි දන්නවා හුඟක් වෙලාවට මේ ලෝකේ විලාසිතා නිර්මාණය කරන අයට යෙහෝවා ගැනවත් ඔහුගේ ප්‍රතිපත්ති ගැනවත් කිසිම ගාණක් නැහැ. ගොඩක් වෙලාවට එයාලා ගත කරන්නේ අනාචාර ජීවිත. එයාලාගේ හිත්වල පිරිලා තියෙන ඒ පහත් ආශාවන් එයාලාගේ නිර්මාණවලිනුත් එළියට එනවා. ඒකයි දැන් ඇඟට හුඟක් හිර ඇඳුම් නිර්මාණය වෙන්නේ. ඒ වගේම සමහර ඇඳුම් ඇන්දාම පිරිමි අයවත් පේන්නේ ගැහැනු අය වගේ. ඉතින් යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරන යෞවනයෙක් අඳින්නේ මොනවාද කියලා තීරණය කරද්දී ගොඩක් පරෙස්සම් වෙනවා. එයා හැම වෙලාවෙම ඇඳුම් පැලඳුම් ගැන තීරණ ගද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා. ඒ වගේම සභාවේ ඉන්න අවබෝධයෙන් වැඩ කරන අයව ආදර්ශයට ගන්නවා. යෞවනයෙක්ට පුළුවන් මේ ප්‍රශ්න ගැනත් හිතලා බලන්න. ‘මං හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන කෙනෙක් කියලා මං කරන තේරීම්වලින් පේනවාද? මං අඳින විදිහ නිසා මං සාක්ෂිකරුවෙක් කියලා අඳුරගන්න අනිත් අයට ලේසිද?’ (1 කොරි. 10:31-33; තීත. 2:6) ඒ විදිහට හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන යෞවනයෙක් සභාවේ සහෝදර සහෝදරියන්ගේ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන්ගෙත් ගෞරවය දිනාගන්නවා.
8. වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න යෞවනයෙක්ට පුළුවන් කොහොමද?
8 වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න. ඒ වගේ කෙනෙක් තමන්ට තියෙන වගකීම් කවදාවත් සැහැල්ලුවට ගන්නේ නැහැ. (ලූක් 16:10) ඒ ගැන අපිට ඉන්න හොඳම ආදර්ශය තමයි යේසුස්. ඔහු කවදාවත් ඔහුට භාර දීපු වැඩක් ඕනෑවට එපාවට කළේ නැහැ. ඒ වෙනුවට කොච්චර අමාරු වුණත් යෙහෝවාගෙන් ලැබුණ හැම පැවරුමක්ම ඔහු උපරිමයෙන් කළා. ඔහු මිනිස්සුන්ට ගොඩක් ආදරේ කළා. විශේෂයෙන්ම ඔහුගේ ගෝලයන්ට. ඒ නිසා එයාලා වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් යේසුස් දෙසැරයක් හිතුවේ නැහැ. (යොහ. 13:1) ඔයා යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් ඔයාට ලැබෙන පැවරුම මොකක් වුණත් ඒ වෙනුවෙන් දහඩිය මහන්සිය හෙළන්න ඔයා ලෑස්තියි. ඉතින් ඔයා පැවරුමක් කරද්දී දන්නේ නැති දෙයක් තියෙනවා නම් ලැජ්ජා වෙන්න එපා. නිහතමානී වෙලා අද්දැකීම් තියෙන සහෝදරයෙක්ගෙන් ඒ ගැන අහන්න. කවදාවත් ඇඟ බේරගන්න හිතාගෙන යාන්තමින් පැවරුම කරලා දාන්න එපා. (රෝම 12:11) ඒ වෙනුවට ඔයාට ලැබෙන්නේ මොකක්ද, ඒක “මිනිසුන්ට නෙවෙයි යෙහෝවා දෙවිට කරනවා වගේ” උපරිමයෙන් කරන්න. (කොලො. 3:23) ඇත්ත, ඔයා පරිපූර්ණ කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා ඔයාගේ අතිනුත් අඩුපාඩුකම් වෙයි. හැබැයි ඒ වගේ වෙලාවට නිහතමානී වෙලා වැරැද්ද පිළිගන්න. ඒක හදාගෙන ඉස්සරහට යන්න.—හිතෝ. 11:2.
හැකියාවන් වර්ධනය කරගන්න
9. යෞවනයෙක් හැකියාවන් වර්ධනය කරගන්න එක වැදගත් ඇයි?
9 අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන්න නම් ඔයාට සමහර හැකියාවන් වර්ධනය කරගන්නත් වෙනවා. මොකද සභාවේ වගකීම් කරට අරන් කරන්න, රස්සාවක් හොයාගන්න වගේම අනිත් අයත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න ඒවා ඔයාට උදව් වෙයි. ඔයාට වර්ධනය කරගන්න පුළුවන් ඒ වගේ හැකියාවන් කීපයක් ගැන දැන් අපි බලමු.
10-11. යෞවනයෙක් ලියන්න, කියවන්න ඉගෙනගන්න එක එයාට වගේම සභාවටත් ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? (ගීතාවලිය 1:1-3) (පින්තූරයත් බලන්න.)
10 හොඳට ලියන්න, කියවන්න ඉගෙනගන්න. බයිබලේ කියනවා දෙවියන්ගේ වචනය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන කෙනෙක්ට සතුටින් පිරුණු සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. (ගීතාවලිය 1:1-3 කියවන්න.) වරද්දන්නේ නැතුව හැමදාම බයිබලේ කියවන කෙනෙක්ට යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න පුළුවන්. ඒක එයාට උදව් වෙනවා බයිබල් ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලත් තේරුම්ගන්න. (හිතෝ. 1:3, 4) ඒ වගේ කෙනෙක් සභාවටත් වටිනා වස්තුවක්. එහෙම කියන්නේ ඇයි?
11 බයිබලේ තියෙන දේවල් හොඳට උගන්නන්න පුළුවන්, බයිබලේ මත පදනම් හොඳ මඟ පෙන්වීම් දෙන්න පුළුවන් පුරුෂයන් ඉන්න එක සභාවකට ඇත්තටම ආශීර්වාදයක්. (තීත. 1:9) ඔයා ලිවීමේ සහ කියවීමේ හැකියාව වර්ධනය කරගන්නවා නම් අනිත් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට දේශනයක් ලෑස්ති වෙන්න ඔයාට පුළුවන්. රැස්වීම්වලදී හොඳ උත්තර දෙන්නත් පුළුවන්. එහෙම කරද්දී අනිත් අයගේ විශ්වාසයත් ශක්තිමත් වෙයි. ඒ වගේම හොඳට ලියන්න, කියවන්න ඉගෙනගත්තොත් රැස්වීම්වලදී, සමුළුවලදී ඉගෙනගත්ත දේවල් ලියාගන්නත් ඔයාට පුළුවන්. ඒ සටහන් ඔයාට උදව් වෙයි ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න වගේම අනිත් අයවත් දිරිගන්වන්න.
12. අනිත් අයත් එක්ක හොඳට කතා කරන්න, එයාලට ඇහුම්කන් දෙන්න උදව් වෙන්නේ මොනවාද?
12 අනිත් අයත් එක්ක හොඳට කතා කරන්න, එයාලට ඇහුම්කන් දෙන්න. ඒකත් යෞවනයෙක් දියුණු කරගන්න ඕනෙ හැකියාවක්. අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන කෙනෙක් හැම වෙලේම එයාලට ඇහුම්කන් දීලා එයාලව තේරුම්ගන්න උත්සාහ කරනවා. (හිතෝ. 20:5) ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට කෙනෙක් කතා කරද්දී එයාගේ කටහඬේ ස්වරයට අවධානය දෙන්න. එයාගේ මුහුණේ ඉරියව් බලන්න. සමහරවිට කෙනෙක් ඔයාට වචනයක්වත් නොකිව්වත් එයා දිහා බලද්දී ඔයාට එයා ගැන ගොඩක් දේවල් තේරුම්ගන්න පුළුවන්. මේ මොන දේ කරන්නත් ඔයා අනිත් අයව ආශ්‍රය කරන්න කාලේ ගන්න ඕනේ. හැබැයි ඔයා ඩිවයිස්වලටම කොටු වෙලා ඊමේල්වලින්, මෙසේජ්වලින් විතරයි නම් අනිත් අයත් එක්ක කතාබහ කරන්නේ එයාලව තේරුම්ගන්න ඔයාට තියෙන හැකියාවත් මොට වෙයි. ඒ නිසා අනිත් අයත් එක්ක කාලේ ගත කරන්න, කතාබහ කරන්න අවස්ථා හොයාගන්න.—2 යොහ. 12.
13. යෞවනයෙක්ට ඉගෙනගන්න පුළුවන් තව දෙයක් මොකක්ද? (1 තිමෝති 5:8) (පින්තූරයත් බලන්න.)
13 ඔයාගේ අවශ්‍යතා බලාගන්න රස්සාවක් කරන්න. අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් තමන්ගේ වගේම පවුලේ අයගේ අවශ්‍යතා බලාගන්නත් හම්බ කරන්න ඕනේ. (1 තිමෝති 5:8 කියවන්න.) සමහර රටවල්වල ඉන්න යෞවනයන් රස්සාවක් කරන්න උදව් වෙන දෙයක් තාත්තාගෙන් එහෙම නැත්නම් නෑදෑ කෙනෙක්ගෙන් ඉගෙනගන්නවා. තවත් රටවල්වල යෞවනයන්ට වෘත්තිය පුහුණුවක් ඉස්කෝලෙන්ම ලැබෙනවා. ඒ කොහොමවුණත් රස්සාවක් කරන්න උදව් වෙන විදිහේ දෙයක් ඉගෙනගන්න එක ගොඩක් වටිනවා. (ක්‍රියා 18:2, 3; 20:34; එෆී. 4:28) ඒ වගේම හොඳට මහන්සි වෙලා වගකීමෙන් වැඩ කරන, දීපු වැඩක් හරියට ඉවර කරන කෙනෙක් විදිහට හොඳ නමක් දිනාගන්න. එහෙම කරද්දී රස්සාවක් හොයාගන්නත් ඒ රස්සාව දිගටම රැකගන්නත් ඔයාට පුළුවන්. මේ ඡේද කීපයෙන් අපි බලපු හැකියාවන් වර්ධනය කරගන්න එක ඔයාට ඉස්සරහට ලැබෙන වගකීමුත් හොඳට කරන්න උදව් වෙනවා. ඒත් මොනවාද ඒ වගකීම්?
වගකීම්වලට ලෑස්ති වෙන්න
14. පූර්ණකාලීන සේවයට දැන් තියාම ලෑස්ති වෙන්න යෞවනයෙක්ට පුළුවන් කොහොමද?
14 පූර්ණකාලීන සේවකයෙක්. අවබෝධයෙන් වැඩ කරන හුඟක් ක්‍රිස්තියානීන් යෞවන වයසේදීම පූර්ණකාලීන සේවය තෝරගෙන තියෙනවා. ඇත්තටම පුරෝගාමි සේවේ කරද්දී කෙනෙක් එක එක පෞද්ගලිකත්වයන් තියෙන අයත් එක්ක පෑහිලා වැඩ කරන විදිහ ඉගෙනගන්නවා. ඒ වගේම ලැබෙන ආදායමට අනුව ජීවත් වෙන විදිහත් එයා ඉගෙනගන්නවා. (ෆිලි. 4:11-13) පූර්ණකාලීන සේවයට අඩිය තියන්න පුළුවන් හොඳම විදිහක් තමයි සහායක පුරෝගාමි පටන්ගන්න එක. ටික කාලයක් සහායක පුරෝගාමි කරන එක ස්ථාවර පුරෝගාමි පටන්ගන්නත් හොඳ අඩිතාලමක්. ඇත්තටම පුරෝගාමි සේවය කියන්නේ පූර්ණකාලීන සේවයේ විවිධ අංගවල රස බලන්න ඇරෙන දොරක් වගේ. ඒ අංගවලට ඉදි කිරීමේ අංශයේ වගේම බෙතෙල් එකේ සේවය කරන එකත් ඇතුළත්.
15-16. සහෝදරයෙක්ට සභාවේ වගකීම් දරන්න සුදුසුකම් අත් කරගන්න පුළුවන් කොහොමද?
15 සහායක සේවකයෙක්/වැඩිමහල්ලෙක්. වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න හැම යෞවනයෙක්ම ඉලක්ක තියාගන්න ඕනේ. මොකද ඒක එයාලට උදව් වෙනවා සහෝදර සහෝදරියන් වෙනුවෙන් සේවය කරන්න. බයිබලේ කියනවා ඒ වගේ වගකීමක් දරන්න උත්සාහ කරන කෙනෙක් “කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය” කියලා. (1 තිමෝ. 3:1) වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න කලින් සහෝදරයෙක් සහායක සේවකයෙක් වෙන්න සුදුසුකම් අත් කරගන්න ඕනේ. සහායක සේවකයෙක් සභාවේදී වැඩිමහල්ලන්ට විවිධ වගකීම් ඉටු කරන්න උදව් වෙනවා. ඉතින් වැඩිමහල්ලන් වගේම සහායක සේවකයන් කියන්නෙත් නිහතමානීව සහෝදර සහෝදරියන් වෙනුවෙන් සේවය කරන අය. ඒ වගේම එයාලා දේශනා සේවේ උද්යෝගයෙන් හවුල් වෙන අය. අපි අතර ඉන්න සමහර යෞවනයන් අවුරුදු 17ක්, 18ක් වෙද්දීම සහායක සේවකයන් විදිහට සුදුසුකම් අත් කරගෙන තියෙනවා. වෙහෙස මහන්සි නොබලා සේවේ කරන සමහර සහායක සේවකයන් වයස 20ක් වෙද්දීම වැඩිමහල්ලන් වෙලා තියෙනවා.
16 ඒ වගේ වගකීම් දරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට අවශ්‍ය සුදුසුකම් සහ ගුණාංගවල ලැයිස්තුවක් බයිබලේ තියෙනවා. ඒ සුදුසුකම් අත් කරගන්න ඔයා පෙලඹෙන්න ඕනෙ ඔයාගේ හිතේ යෙහෝවාට, පවුලේ අයට සහ සභාවේ අයට තියෙන ආදරේ නිසයි. (1 තිමෝ. 3:1-13; තීත. 1:6-9; 1 පේතෘ. 5:2, 3) ඉතින් යෞවනයෙනි, ඒ හැම සුදුසුකමක් ගැනම හොඳට හිතන්න. ඒවා අත් කරගන්න උදව් ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. c
17. හොඳ සැමියෙක් වගේම හොඳ පවුලේ මූලිකයෙක් වෙන්න යෞවනයෙක්ට දැන් තියාම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
17 හොඳ සැමියෙක් සහ පවුලේ මූලිකයෙක්. අවබෝධයෙන් වැඩ කරන සමහර සහෝදරයන් තීරණය කරනවා යේසුස් කියපු විදිහට දිගටම තනිකඩව ඉන්න. (මතෙ. 19:12) හැබැයි ඔයාගේ තීරණය විවාහ වෙන එක නම් ඒත් එක්කම ස්වාමිපුරුෂයෙක්ගේ සහ පවුලේ මූලිකයෙක්ගේ වගකීම් ඔයාට කරට ගන්න වෙනවා. (1 කොරි. 11:3) මොකද සැමියෙක් බිරිඳට අවශ්‍ය දේවල් දෙයි කියලත් එයාව සතුටින් තියයි කියලත් යෙහෝවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔහුට ළං වෙන්න බිරිඳට උදව් කරන එකත් යෙහෝවා සැමියෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. (එෆී. 5:28, 29) අපි මේ ලිපියෙන් යෞවනයන් වර්ධනය කරගන්න ඕනෙ සමහර ගුණාංග ගැන බැලුවා. ඒකට සිතීමේ හැකියාව දියුණු කරගන්න එක, කාන්තාවන්ට ගෞරව කරන එක, වගකීමෙන් වැඩ කරන එක ඇතුළත් වෙනවා. හොඳ සැමියෙක් වගේම පවුලේ මූලිකයෙක් වෙන්නත් ඒ ගුණාංගම ඔයාට උදව් වෙයි.
18. හොඳ තාත්තා කෙනෙක් වෙන්න දැන් තියාම ලෑස්ති වෙන්න යෞවනයෙක්ට පුළුවන් කොහොමද?
18 හොඳ තාත්තා කෙනෙක්. විවාහ වුණාට පස්සේ සමහරවිට ඔයා තාත්තා කෙනෙක් වෙයි. හොඳ තාත්තා කෙනෙක් වෙන්න යෙහෝවාගෙන් ඉගෙනගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. (එෆී. 6:4) යෙහෝවා දෙවියන් යේසුස්ට තිබ්බ ආදරේ හංගගෙන හිටියේ නැහැ, ඒක ඔහුට කිව්වා. (මතෙ. 3:17) ඉතින් ඔයාත් කවදා හරි තාත්තා කෙනෙක් වුණොත් ඉඳලා හිටලා නෙවෙයි, නිතරම දරුවන්ට කියන්න ඔයා එයාලට ආදරෙයි කියලා. ඒ වගේම එයාලා කරන හොඳ දේවල් හදවතින්ම අගය කරන්න. දෙවියන්ව ආදර්ශයට ගන්න තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් වෙන්නත් උදව් කරනවා. ඉතින් ඒ දේවල්වලින් පේනවා හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඔයාගේ පැත්තෙන් හුඟක් දේවල් කරන්න තියෙනවා කියලා. ඒත් ඒ වෙනුවෙන් දැන් තියාම ලෑස්ති වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට දැන් ඉඳන්ම ඔයාගේ පවුලේ අයව, සභාවේ අයව ආදරෙන් බලාගන්න. ඔයා එයාලට ආදරෙයි කියලත් එයාලව හදවතින්ම අගය කරනවා කියලත් එයාලට කියන්න. (යොහ. 15:9) එහෙම කරද්දී ඔයා යෙහෝවාට, පවුලේ අයට වගේම සභාවේ අයටත් හුඟක් වටින කෙනෙක් වෙයි.
දැන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
19-20. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න යෞවනයන්ට පුළුවන් කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)
19 යෞවනයෙනි, ඔයාලා ඉබේම අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔයාලත් දෙයක් කරන්න ඕනේ. ඒකට ඔයාලා ආදර්ශවත් අයව ආදර්ශයට ගන්න ඕනේ. සිතීමේ හැකියාව වර්ධනය කරගන්න ඕනේ. වගකීමෙන් වැඩ කරන්න ඕනේ. වෘත්තිය පුහුණුවක් ලබන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට එන වගකීම් ඉටු කරන්න දැන් තියාම ලෑස්ති වෙන්නත් ඕනේ.
20 කරන්න තියෙන වැඩ කන්දරාව දිහා බලද්දී සමහරවිට ඔයාගේ හිතට ලොකු බරක් දැනෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා, ඔයාට පුළුවන් සාර්ථක වෙන්න. මොකද ඔයාගේ උදව්වට යෙහෝවා ඔයා ගාව ඉන්නවා. (යෙසා. 41:10, 13) ඒ වගේම සහෝදර සහෝදරියනුත් ඔයාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ හැමෝගෙම උදව් එක්ක ඔයා අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙද්දී ඔයාගේ ජීවිතේ සතුටින් පිරුණු, සාර්ථක එකක් වෙනවා කියලා කිසිම සැකයක් නැහැ. යෞවන සහෝදරයෙනි, අපි ඔයාලට ගොඩක් ආදරෙයි. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාලා ගන්න හැම මහන්සියකටම යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා!—හිතෝ. 22:4.
ගීතිකාව 65 දියුණු වන්න
a සභාවල සේවය කරන්න අවබෝධයෙන් වැඩ කරන පුරුෂයන්ගේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේ පුරුෂයන් වෙන්න අපේ යෞවනයන්ට පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා.
b කලින් ලිපියේ තියෙන “පැහැදිලි කිරීමක්” කියන කොටස බලන්න.
c ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ පොතේ 5-6 පරිච්ඡේද බලන්න.