පාඩම් ලිපිය 50
විශ්වාසය සහ ක්‍රියාව ධර්මිෂ්ඨකමට මඟ පාදයි
‘ආබ්‍රහම් පෙන්වූ විශ්වාසය අනුකරණය කරන්න.’—රෝම 4:12.
ගීතිකාව 119 සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු
මේ ලිපියෙන් a
1. ආබ්‍රහම්ගේ විශ්වාසය ගැන හිතද්දී අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නයද?
අද ඉන්න හුඟක් අය ආබ්‍රහම් ගැන අහලා තිබුණාට එයා ගැන දන්නේ හරිම ටිකයි. හැබැයි ඔයා ආබ්‍රහම් ගැන ගොඩක් දේවල් දන්නවා. උදාහරණෙකට බයිබලේ ආබ්‍රහම්ව හඳුන්වන්නේ ‘විශ්වාසයක් ඇති සියලුදෙනාගේම පියා’ කියලා ඔයා දන්නවා. (රෝම 4:11) සමහරවිට ඔයා මෙහෙම කල්පනා කරනවා ඇති. ‘ආබ්‍රහම්ට තිබුණා වගේම විශ්වාසයක් ඇති කරගන්න මටත් පුළුවන්ද?’ ඔව්, පුළුවන්.
2. ආබ්‍රහම්ගේ ආදර්ශය ගැන අධ්‍යයනය කරන එක වැදගත් ඇයි? (යාකොබ් 2:22, 23)
2 ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න ආබ්‍රහම්ගේ ආදර්ශය ගැන අධ්‍යයනය කරන එක අපිට උදව් වෙනවා. මොකද ආබ්‍රහම් කියන්නේ දෙවියන් අණ කරපු විදිහටම වැඩ කරපු කෙනෙක්. එයා ගම රට අත්හැරලා දුර ඈත පළාතකට ගිහිල්ලා දශක ගාණක් පුරා කූඩාරම්වල ජීවත් වුණා. ඒ විතරක් නෙවෙයි එයා ගොඩක් ආදරේ කරපු එයාගේ පුතා වුණ ඊසාක්ව දෙවියන් වෙනුවෙන් පූජා කරන්නත් කැමති වුණා. ආබ්‍රහම් කරපු ඒ දේවල්වලින් පෙනුණා එයාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද කියලා. ඉතින් ආබ්‍රහම්ගේ විශ්වාසය නිසා, එයාගේ ක්‍රියා නිසා එයාට දෙවියන්ගේ අනුමැතිය ලැබුණා. ඒ වගේම ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්නත් එයාට පුළුවන් වුණා. (යාකොබ් 2:22, 23 කියවන්න.) යෙහෝවා දෙවියන්ට ඕනෙ ආබ්‍රහම් වගේ ඔයාත් ඔහුගේ අනුමැතිය දිනාගෙන ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙනවා දකින්න. ඒ නිසයි ආබ්‍රහම්ගේ ආදර්ශය ගැන බයිබලේට ඇතුළත් කරන්න දෙවියන් පාවුල්ටයි, යාකොබ්ටයි මඟ පෙන්නුවේ. දැන් අපි රෝම 4වෙනි පරිච්ඡේදය සහ යාකොබ් 2වෙනි පරිච්ඡේදය ටිකක් බලමු. ඒ පරිච්ඡේද දෙකේම ආබ්‍රහම් ගැන හරිම විශේෂ දෙයක් සඳහන් වෙනවා.
3. පාවුල් සහ යාකොබ් උපුටලා ගත්තේ මොන බයිබල් පදයද?
3 පාවුල් සහ යාකොබ් කියන ලේඛකයන් දෙන්නාම උත්පත්ති 15:6 උපුටලා ගත්තා. එතන මෙහෙම කියනවා. “ආබ්‍රම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගත්තේය.” ධර්මිෂ්ඨ කෙනෙක් කියන්නේ දෙවියන්ගේ අනුමැතිය දිනාගත්ත, දෙවියන් ඉස්සරහා නිර්දෝෂව ඉන්න කෙනෙක්ට. ටිකකට හිතන්න පාපය උරුම කරගත්ත මිනිස්සුන්ට වුණත් ඒ වගේ කෙනෙක් වෙන්න ලැබෙන එක කොච්චර වටිනවාද! අනිවාර්යයෙන්ම ඔයාත් ආස ඇති දෙවියන් ඔයාවත් එහෙම සලකනවාට. ඒත් ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ඔව්. එහෙම කියන්නේ ඇයි කියලා තේරුම්ගන්න දෙවියන් ආබ්‍රහම්ව එහෙම සැලකුවේ ඇයි කියලා අපි බලමු.
ධර්මිෂ්ඨකමට මඟ පාදන විශ්වාසය
4. ධර්මිෂ්ඨ අය වෙන්න මිනිස්සුන්ට තියෙන බාධාව මොකක්ද?
4 පාවුල් රෝමවරුන්ට ලියපු ලිපියේ කියන්නේ මිනිස්සු හැමෝම පව්කාරයන් කියලා. (රෝම 3:23) එහෙමනම් ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න අපිට පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පාවුල් ආබ්‍රහම්ගේ ආදර්ශය පාවිච්චි කරනවා.
5. දෙවියන් ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවේ මොකක් පදනම් කරගෙනද? (රෝම 4:2-4)
5 යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කෙනෙක් කියලා හැඳින්නුවේ එයා කානාන් දේශයේ ජීවත් වුණ කාලේ. ඒ, මෝසෙස්ට දීපු නීතිය එයා අකුරටම පිළිපැද්ද නිසාද? ඒක වෙන්න බැහැ. (රෝම 4:13) මොකද දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟට නීතිය දුන්නේ ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයි කියලා හඳුන්වලා අවුරුදු 400කටත් පස්සේ. එහෙමනම් ඇයි දෙවියන් ආබ්‍රහම්ව ඒ විදිහට සැලකුවේ? යෙහෝවා කියන්නේ මහත් කරුණාවක් පෙන්නන දෙවි කෙනෙක් නිසා ඔහු ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයි කියලා සැලකුවේ එයාගේ විශ්වාසය පදනම් කරගෙනයි.—රෝම 4:2-4 කියවන්න.
6. පාපය උරුම කරගත්ත කෙනෙක්ව යෙහෝවා ධර්මිෂ්ඨයි කියලා සලකන්නේ මොන දේ නිසාද?
6 පාවුල් කිව්වා ‘කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා සලකන්නේ ඔහු තුළ තියෙන විශ්වාසය නිසයි’ කියලා. (රෝම 4:5) ඒ වගේම පාවුල් මෙහෙමත් කිව්වා. “යම් තැනැත්තෙකුගේ ක්‍රියා පදනමක් කර නොගෙන දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන ආකාරය ගැන දාවිත්ද කතා කළේය. එවැනි කෙනෙකුට මොන තරම් සන්තෝෂයක් දැනේද යන්න ගැන ඔහු සඳහන් කළේ මෙලෙසය. ‘වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාප මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය. යමෙකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.’” (රෝම 4:6-8; ගීතා. 32:1, 2) ඒ කියන්නේ කෙනෙක් දෙවියන් ගැන විශ්වාසය තියද්දී දෙවියන් ඒ කෙනා කරපු වැරදිවලට සමාව දීලා ඒවා සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. එයා පෙන්නන විශ්වාසය නිසා ඊටපස්සේ දෙවියන් එයාව සලකන්නේ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට.
7. අතීතයේ හිටපු දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් ධර්මිෂ්ඨයි කියලා කියන්න පුළුවන් ඇයි?
7 ආබ්‍රහම් සහ දාවිත් වගේ අයව දෙවියන් ධර්මිෂ්ඨයි කියලා සැලකුවත් එයාලා ඇත්තටම පාපය උරුම කරගත්ත අය. හැබැයි මේ ලෝකේ අයත් එක්ක බලද්දී එයාලා හරිම විශේෂයි. (එෆී. 2:12) මොකද එයාලට දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය නිසයි දෙවියන් එයාලව නිර්දෝෂ අය විදිහට සලකන්නේ. එහෙම බලද්දී දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න විශ්වාසය නැතුවම බැහැ. ඒක ආබ්රහම්ගෙයි, දාවිත්ගෙයි ජීවිතවලින් විතරක් නෙවෙයි අපේ ජීවිතවලිනුත් පැහැදිලි වෙනවා.
විශ්වාසය සහ ක්‍රියාව
8-9. පාවුල් සහ යාකොබ් කියපු දේ සමහරු වැරදියට තේරුම් අරන් තියෙන්නේ කොහොමද? ඒ ඇයි?
8 සියවස් ගාණක් පුරා විශ්වාසය සහ ක්‍රියාව අතර තියෙන සම්බන්ධය ගැන ක්‍රිස්තියානි ආගමික නායකයන් අතරේ උණුසුම් වාදවිවාද ඇති වෙලා තියෙනවා. සමහර පූජකයන් කියනවා “යේසුස්ව විශ්වාස කරන එක තමයි ගැලවීම ලබන්න තියෙන එකම මඟ” කියලා. ඒ දේ ඇත්ත කියලා ඔප්පු කරන්න එයාලා පාවුල් කියපු මේ වචනත් උපුටලා ගන්නවා. “යම් තැනැත්තෙකුගේ ක්‍රියා පදනමක් කර නොගෙන දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකනවා.” (රෝම 4:6) ඔය අතරේ තවත් අය කියනවා “ගැලවීම ලබන්න” නම් වන්දනා ගමන් යන්න ඕනෙ, පල්ලියේ වැඩ බැහැලා කරන්න ඕනෙ කියලා. ඒක හරියි කියලා ඔප්පු කරන්න එයාලා යාකොබ් 2:24 තියෙන මේ වචන උපුටලා ගන්නවා. “මිනිසෙකුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ ඔහු තුළ තිබෙන විශ්වාසය නිසා පමණක් නොව ඔහුගේ ක්‍රියාවලින්.”
9 එකිනෙකට වෙනස් ඒ වගේ අදහස් නිසා සමහර බයිබල් විශාරදයන් කියනවා පාවුල්ටයි, යාකොබ්ටයි විශ්වාසය සහ ක්‍රියාව ගැන තිබුණේ පරස්පර විරෝධී අදහස් කියලා. සමහර ආගමික නායකයන් මෙහෙම කියන්න පුළුවන්. “පාවුල් විශ්වාස කළේ කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා සලකන්න විශ්වාසය තිබුණොත් ඇති, ක්‍රියා ඕනෙ නැහැ කියලා. හැබැයි යාකොබ් ඉගැන්නුවේ දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න නම් ක්‍රියා ඕනෙමයි කියලා.” ආගම් ගැන අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් ඒ ගැන මෙහෙම කියනවා. “කෙනෙක් ධර්මිෂ්ඨ වෙන්නේ එයාගේ ක්‍රියා නිසා නෙවෙයි, එයාගේ විශ්වාසය නිසා කියලා පාවුල් කාවැද්දුවා. හැබැයි පාවුල් එහෙම කිව්වේ ඇයි කියලා යාකොබ් තේරුම් අරන් හිටියේ නැහැ. ඒ නිසයි යාකොබ් පාවුල් එක්ක එකඟ වුණේ නැත්තේ.” හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ පාවුල්ටයි, යාකොබ්ටයි මේ දේවල් ලියන්න මඟ පෙන්නුවේ යෙහෝවා දෙවියන් කියලා. (2 තිමෝ. 3:16) ඒ නිසා කීයටවත් ඒ දෙන්නා කියපු දේවල් අතරේ ගැටීමක් තියෙන්න බැහැ. ඒත් කොහොමද අපි මේ පටලැවිල්ල හරියටම ලිහාගන්නේ? ඒකට අපි අවට පද ටිකක් සෝදිසි කරලා බලමුද?
10. පාවුල් කතා කළේ මොන ක්‍රියාවන් ගැනද? (රෝම 3:21, 28) (පින්තූරයත් බලන්න.)
10 රෝම 3වෙනි සහ 4වෙනි පරිච්ඡේදවල පාවුල් කතා කළේ මොන “ක්‍රියා” ගැනද? විශේෂයෙන්ම පාවුල් එතන කිව්වේ සීනයි කන්දේදී මෝසෙස්ට දුන්න “නීතියේ සඳහන් දේවල්” පිළිපදින එක ගැනයි. (රෝම 3:21, 28 කියවන්න.) මොකද මෝසෙස්ට දීපු නීතිය සහ ඒකට සම්බන්ධ ක්‍රියා දැන් අවලංගු වෙලා කියලා පාවුල්ගේ කාලේ හිටපු සමහර යුදෙව්වන්ට පිළිගන්න අමාරු වුණා. ඒ නිසයි ආබ්‍රහම්ව උදාහරණෙකට අරන් පාවුල් පැහැදිලි කළේ “නීතියේ තියෙන දේවල්” පිළිපදින එක නෙවෙයි, දෙවියන් ගැන විශ්වාසය තියන එකයි වැදගත් කියලා. ඒක අපිටත් ලොකු දිරිගැන්වීමක්. මොකද ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න එක අපිට කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා. අපි දෙවියන් ගැන, යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියනවා නම් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න අපිට පුළුවන්.
11. යාකොබ් කතා කරපු “ක්‍රියා” මොනවාද?
11 අනිත් අතට යාකොබ් 2වෙනි පරිච්ඡේදයේ “ක්‍රියා” කියලා කියන්නේ පාවුල් කතා කරපු “නීතියේ සඳහන් දේවල්” පිළිපදින එකට නෙවෙයි. යාකොබ් ඒකෙන් අදහස් කළේ ක්‍රිස්තියානීන් එදිනෙදා ජීවිතේදී කරන දේවල් ගැනයි. ඒ වගේ දේවල්වලින් පේනවා කෙනෙක්ට ඇත්තටම දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවාද නැද්ද කියලා. යාකොබ් කියපු දේ තවත් හොඳින් තේරුම්ගන්න අපි දැන් එයා පාවිච්චි කරපු උදාහරණ දෙකක් බලමු.
12. විශ්වාසය සහ ක්‍රියා අතර තියෙන සම්බන්ධය යාකොබ් පැහැදිලි කළේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
12 පළවෙනි උදාහරණෙන් යාකොබ් කාවැද්දුවේ හැමෝටම එක වගේ සලකන එකේ වැදගත්කම ගැන. එයා කතා කළා පොහොසත් අයට වැඩි සැලකිල්ලක් පෙන්නලා දුප්පත් අයව ගණන් ගන්නේ නැති කෙනෙක් ගැන. ඒ කෙනා එයාට විශ්වාසයක් තියෙනවා කියලා කොච්චර කිව්වත්, කෝ එයාගේ ක්‍රියා? (යාකො. 2:1-5, 9) දෙවෙනි උදාහරණෙන් යාකොබ් කියන්නේ සහෝදරයෙක් කන්න අඳින්න නැතුව ඉන්නවා දැකදැකත් කිසිම දෙයක් කරන්නේ නැති කෙනෙක් ගැන. ඒ කෙනාත් කියනවා එයාට විශ්වාසයක් තියෙනවා කියලා. හැබැයි ඒක එයාගේ ක්‍රියාවලින් දකින්න නැහැ. ඒ වගේ විශ්වාසයකින් ඇති වැඩක් තියෙනවාද? ඒකයි යාකොබ් කිව්වේ “විශ්වාසය සමඟ ක්‍රියා දක්නට නොලැබේ නම් ඒ විශ්වාසය මිය ගිය එකක්” කියලා.—යාකො. 2:14-17.
13. අපේ විශ්වාසය ක්‍රියාවලින් පෙන්නන එකේ වැදගත්කම යාකොබ් පැහැදිලි කළේ කොහොමද? (යාකොබ් 2:25, 26)
13 රාහබ් කියන්නේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නපු කෙනෙක් කියලා යාකොබ් කියනවා. (යාකොබ් 2:25, 26 කියවන්න.) යෙහෝවා ගැන, ඔහු ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරපු විදිහ ගැන රාහබ්ට ආරංචි වුණා. (යොෂු. 2:9-11) ඒ නිසා එයාට යෙහෝවා ගැන විශ්වාසයක් ඇති වුණා. ඒ විශ්වාසය රාහබ්ගේ ක්‍රියාවලින් පෙනුණේ කොහොමද? කරදරේ වැටිලා හිටපු ඊශ්‍රායෙල් ඔත්තුකාරයන් දෙන්නාට ජීවිත බේරගන්න එයා උදව් කළා. ඒ නිසා පාපය උරුම කරගත්ත, වෙනත් ජාතියකට අයිති වුණ මේ ස්ත්‍රියවත් දෙවියන් සැලකුවේ ආබ්‍රහම් වගේම ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට. රාහබ්ගේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා විශ්වාසයයි, ක්‍රියාවයි කියන්නේ එකට බැඳිලා තියෙන දේවල් දෙකක් කියලා.
14. පාවුල් සහ යාකොබ් ලියපු දේවල් අතර ගැටීමක් නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?
14 පාවුල් සහ යාකොබ් කතා කළේ එකම විෂයක් ගැන. හැබැයි ඒ, වෙනස්ම කෝණ දෙකකින්. පාවුල් කතා කළේ යුදෙව් ක්‍රිස්තියානීන්ට. එයා කිව්වේ නීතිය නිකම්ම පිළිපදින එකෙන් විතරක් යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න බැහැ කියන එක. හැබැයි යාකොබ් කතා කරකර හිටියේ පොදුවේ ක්‍රිස්තියානීන් හැමෝටම. එයා කාවද්දන්න හැදුවේ කෙනෙක්ගේ විශ්වාසය එයා අනිත් අය වෙනුවෙන් කරන යහපත් ක්‍රියාවලින් පේන්න ඕනෙ කියන එක.
15. අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් සමහර පැති මොනවාද? (පින්තූරත් බලන්න.)
15 යෙහෝවා දෙවියන් කියන්නේ නැහැ අපිවත් ධර්මිෂ්ඨ අය විදිහට සලකන්න නම් අපිත් ආබ්‍රහම් කරපු දේවල්ම කරන්න ඕනෙ කියලා. ඒ වෙනුවට අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න අපිට තව ඕන තරම් විදි තියෙනවා. උදාහරණෙකට සභාවට එන අලුත් අයව ආදරෙන් පිළිගන්න, උදව් ඕන කරන සහෝදර සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන්. ඒ වගේම අපි අපේ පවුලේ අයවත් අමතක කරන්න හොඳ නැහැ. අපි එයාලා වෙනුවෙනුත් දේවල් කරන්න ඕනේ. අපි ඒ දේවල් කරද්දී යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය වගේම ඔහුගේ ආශීර්වාදයත් අද්දකින්න අපිට පුළුවන්. (රෝම 15:7; 1 තිමෝ. 5:4, 8; 1 යොහ. 3:18) අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් තවත් හොඳම විදිහක් තමයි උද්යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන එක. (1 තිමෝ. 4:16) ඒ වගේම දෙවියන්ගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලත් ඔහු දෙන්නේ හොඳම මඟ පෙන්වීම් කියලත් අපි විශ්වාස කරනවා කියලා අපේ ක්‍රියාවලින් පෙන්නන්නත් ඕනේ. අපි එහෙම කරද්දී යෙහෝවා අපිවත් අනිවාර්යයෙන්ම ධර්මිෂ්ඨ අය විදිහට සලකලා ඔහුගේ යාළුවෙක් කරගනියි.
විශ්වාසයට මඟ පාදන බලාපොරොත්තුව
16. ආබ්‍රහම්ගේ බලාපොරොත්තුව එයාගේ විශ්වාසයට බලපෑවේ කොහොමද?
16 බලාපොරොත්තුවක් තියෙන එකේ වැදගත්කම ගැනත් රෝම 4වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා පොරොන්දු වුණා ආබ්‍රහම් නිසා “පොළොවේ සියලු ජාතීන්” ආශීර්වාද ලබනවා කියලා. (උත්. 12:3; 15:5; 17:4; රෝම 4:17) ඒ පොරොන්දුව නිසා ආබ්‍රහම්ට ලැබුණේ කොච්චර වටින බලාපොරොත්තුවක්ද! හැබැයි ආබ්‍රහම්ට වයස 100ක් වෙද්දීත් සාරාට වයස 90ක් වෙද්දීත් ඒ පොරොන්දුව ඉටු වෙන පාටක් පේන්න තිබුණේ නැහැ. මිනිස්සු බලන විදිහට බැලුවොත් නම් ආබ්‍රහම්ටයි, සාරාටයි පුතෙක් ලැබෙන එක දවල් හීනයක් වගේ. ඔව්, ඒක ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසියට ලක් වුණ අවස්ථාවක්. හැබැයි බයිබලේ කියනවා ‘ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව දෙවි පවසද්දී ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබිණ’ කියලා. (රෝම 4:18, 19) ආබ්‍රහම්ට තිබ්බ බලාපොරොත්තුව නිසා එයාගේ විශ්වාසය ගොඩක් ශක්තිමත් වුණා. මොකද ඒ බලාපොරොත්තුව ලැබුණේ වෙන කාගෙන්වත් නෙවෙයි යෙහෝවා දෙවියන්ගෙන්. අන්තිමේදී එයා කාලයක් තිස්සේ බලාගෙන හිටපු දේ ඉටු වුණා. එයාට ඊසාක්ව ලැබුණා.—රෝම 4:20-22.
17. දෙවියන් ඉස්සරහා අපිටත් ධර්මිෂ්ඨ අය වෙන්න පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?
17 ආබ්‍රහම් වගේ අපිටත් පුළුවන් දෙවියන්ගේ අනුමැතිය දිනාගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න. රෝමවරුන්ට ලියද්දී පාවුල් ඒ ගැනත් කාවැද්දුවා. එයා ආබ්‍රහම් ගැන මෙහෙම කිව්වා. “‘ඔහුව එලෙස ගණන් ගනු ලැබූ’ බව ලියා තිබුණේ ඔහු උදෙසා පමණක් නොව, අප උදෙසාත්ය. මන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තා කෙරෙහි අපටත් විශ්වාසයක් තිබේ. එහෙයින් අපවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ.” (රෝම 4:23, 24) ඉතින් ආබ්‍රහම්ට වගේ අපිටත් විශ්වාසය සහ ක්‍රියාව වගේම බලාපොරොත්තුවකුත් තියෙන්න ඕනේ. අන්න ඒ බලාපොරොත්තුව ගැන පාවුල් රෝම 5වෙනි පරිච්ඡේදයේදී කතා කළා. ඒ ගැන අපි ලබන සතියේ බලමු.
ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම
a අපි හැමෝම ආසයි යෙහෝවා දෙවියන්ගේ ඇස් ඉස්සරහා ධර්මිෂ්ඨ අය වෙන්න. ඒ වගේම ඔහුගේ අනුමැතිය දිනාගන්න. ඒකට අපේ විශ්වාසය සහ ක්‍රියා කෙළින්ම බලපාන්නේ කොහොමද කියලා පාවුල් සහ යාකොබ් පැහැදිලි කළා. ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.
b පින්තූරවල අදහස: ඇඳුමේ වාටියට උඩින් නිල් පාට නූලක් අල්ලන්න, පාස්කුව සමරන්න සහ චාරිත්‍රානුකූලව පවිත්‍ර වෙන්න කියලා මෝසෙස්ට දීපු නීතියේ කියලා තිබුණා. හැබැයි පාවුල් යුදෙව් ක්‍රිස්තියානීන්ට මතක් කළා ඒ දේවල්වලට වඩා විශ්වාසය පෙන්නන එක වැදගත් කියලා.
c පින්තූරේ අදහස: යාකොබ් කිව්වා දුප්පත් අයට උදව් කරන එක වගේ යහපත් දේවල් කරලා විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න කියලා.