Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 41

පේතෘස්ගේ ලිපි දෙකෙන් පාඩම්

පේතෘස්ගේ ලිපි දෙකෙන් පාඩම්

“ඔබට මේ දේවල් ගැන නිතරම සිහිගැන්වීමට මම කැමැත්තෙන් සිටිමි.”—2 පේතෘ. 1:12.

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

මේ ලිපියෙන් a

1. පේතෘස් මැරෙන්න ටික කාලෙකට කලින් දෙවියන් එයාව පාවිච්චි කළේ මොනවා කරන්නද?

 පේතෘස් කියන්නේ දශක ගාණක් පුරා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවේ කරපු කෙනෙක්. එයා යේසුස් එක්ක සේවේ හවුල් වුණා. යුදෙව් නොවන අය ළඟට ශුභාරංචිය ගෙනිච්චා. ඒ වගේම පස්සේ කාලෙක පාලක මණ්ඩලයෙත් සේවේ කළා. හැබැයි පේතෘස් දැනන් හිටියා එයා තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදීත් යෙහෝවා එයාට තව පැවරුමක් දුන්නා. ඒ තමයි 1වෙනි සහ 2වෙනි පේතෘස් පොත් ලියන එක. ඒ ක්‍රි.ව. 62ත් 64ත් අතර කාලේදී. පේතෘස් දැනන් හිටියා එයා ලියන තොරතුරු එයාගේ මරණයෙන් පස්සෙත් ක්‍රිස්තියානීන් හුඟදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.—2 පේතෘ. 1:12-15.

2. පේතෘස් මේ ලිපි ලිව්වේ ක්‍රිස්තියානීන්ට අවශ්‍යම වෙලාවේදී කියලා කියන්නේ ඇයි?

2 පේතෘස් මේ ලිපි දෙක ලියන කාලේදී ක්‍රිස්තියානීන් “විවිධ පීඩා හා දුෂ්කරතාවලට” මුහුණ දීපු නිසා එයාලා හිටියේ ගොඩක් දුකෙන්. (1 පේතෘ. 1:6) ඒ කාලේ හිටපු දුෂ්ට මිනිස්සු බොරු ඉගැන්වීම් සහ අපවිත්‍ර දේවල් ක්‍රිස්තියානි සභාව ඇතුළට ගේන්න හැදුවා. (2 පේතෘ. 2:1, 2, 14) ඒ විතරක් නෙවෙයි යෙරුසලමේ ජීවත් වුණ ක්‍රිස්තියානීන් හිටියේ ‘සියලු දේවල අවසානයට ළං වෙලා.’ මොකද රෝම හමුදාව යෙරුසලමයි, යුදෙව් සමාජයයි විනාශ කරලා දාන්න වැඩි දවසක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. (1 පේතෘ. 4:7) ඉතින් එයාලට ඒ වෙද්දීත් තිබුණ ප්‍රශ්නවලට වගේම ඉස්සරහට එන ප්‍රශ්නවලටත් සාර්ථකව මුහුණ දෙන්න පේතෘස්ගේ ලිපි දෙක ගොඩක් උදව් වෙන්න ඇති. b

3. පේතෘස් ලියපු ලිපි දෙක අපි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

3 පේතෘස් මේ ලිපි ලිව්වේ මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට වුණත් යෙහෝවා දෙවියන් ඒවා බයිබලේට ඇතුළත් කළා. ඒ නිසා අපිටත් ඒවායින් ප්‍රයෝජන ගන්න පුළුවන්. (රෝම 15:4) මේ දුෂ්ට සමාජය නිතරම අපිව පොලඹවන්නේ අපවිත්‍ර දේවල් කරන්න. ඒ නිසා යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එකත් දැන් එන්න එන්නම අමාරු වෙනවා. ඒ විතරක් නෙවෙයි එදා යුදෙව් සමාජයට ආවටත් වඩා දරුණු පීඩාවක් ළඟ ළඟම එනවා. ඉතින් ඒ දේවල්වලට මුහුණ දෙන්න පේතෘස් ලියපු ලිපි දෙකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. විශේෂයෙන්ම දෙවියන්ගේ දවස එන කල් දිගටම බලාගෙන ඉන්න, මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න සහ එකිනෙකාට හද පත්ලෙන්ම ආදරේ කරන්න ඒ ලිපිවල තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. වැඩිමහල්ලන්ටත් එයාලට භාර දීලා තියෙන රැළ ආදරෙන් රැකබලා ගන්න විදිහ ගැන මේ ලිපි දෙකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

දිගටම බලාපොරොත්තුවෙන් ඉන්න

4. 2 පේතෘස් 3:3, 4 කියන විදිහට අපේ විශ්වාසය හෙල්ලෙන්න පුළුවන් මොකක් නිසාද?

4 අද අපි වට වෙලා ඉන්නේ බයිබලේ තියෙන අනාවැකි ගැන කිසිම විශ්වාසයක් නැති මිනිස්සුන්ගෙන්. අපි විනාශය එන කල් අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන ඉන්න එක ගැන සමහරු අපහාස කරනවා. සමහරු කියන්නේ “ඔය කියන විනාශය කවදාවත් එන්නේ නෑ” කියලා. (2 පේතෘස් 3:3, 4 කියවන්න.) ඉතින් අපිට සේවේදී හම්බ වෙන අය, වැඩපොළේ අය, පවුලේ අය ඒ වගේ දේවල් කියද්දී අපේ විශ්වාසයත් ටිකක් හෙල්ලෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවට අපිට උදව් වෙන දෙයක් ගැන පේතෘස් කිව්වා.

5. අවසානය එන කල් ඉවසීමෙන් බලන් ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (2 පේතෘස් 3:8, 9)

5 බැලූ බැල්මට යෙහෝවා දෙවියන් මේ දුෂ්ට සමාජය විනාශ කරන්න ප්‍රමාදයි වගේ පේන්නේ. හැබැයි ඔහු ඒ දවස ගේන කල් ඉවසීමෙන් බලන් ඉන්න පේතෘස්ගේ වචන අපිට උදව් වෙනවා. මොකද එයා මතක් කළා දෙවියන් කාලය දිහා බලන විදිහ මිනිස්සු බලන විදිහට වඩා හාත්පසින්ම වෙනස් කියලා. (2 පේතෘස් 3:8, 9 කියවන්න.) මොකද මිනිස්සුන්ට අවුරුදු දාහක් යෙහෝවා දෙවියන්ට එක දවසක් වගේ. ඒ වගේම යෙහෝවා කියන්නේ ඉවසිලිවන්ත දෙවි කෙනෙක්. කිසිම කෙනෙක් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ. හැබැයි ඔහු නියම කරපු දවස ආවාම එක මොහොතක්වත් පරක්කු කරන්නේ නැතුව ඔහු මේ දුෂ්ට සමාජය විනාශ කරනවා. ඉතින් ඉතුරු වෙලා තියෙන මේ කාලය අතරතුරේදී සියලුම ජාතීන්ට සාක්ෂියක් දරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන එක කොච්චර වටිනවාද!

6. දෙවියන්ගේ දවස “මනසෙහි ප්‍රමුඛව තබාගන්න” අපිට පුළුවන් කොහොමද? (2 පේතෘස් 3:11, 12)

6 පේතෘස් හරිම වුවමනාවෙන් අපෙන් ඉල්ලනවා යෙහෝවා දෙවියන්ගේ දවස “මනසෙහි ප්‍රමුඛව තබාගන්න” කියලා. (2 පේතෘස් 3:11, 12 කියවන්න.) ඒකට උදව් වෙන එක දෙයක් තමයි පුළුවන් නම් හැම දවසකම පාරාදීසේ ගැන හිතන එක. ටිකකට ඔයා පාරාදීසේ ඉන්න විදිහ හිතින් මවාගන්න. එදාට ඔයා ගන්න හැම හුස්මකම තියෙන්නේ පිරිසිදු වාතය. ඔයාට කන්න ලැබෙන්නේ කිසිම වසක් විසක් නැති කෑම. ඒ වගේම නැවත නැඟිටලා එන ඔයාගේ ආදරණීයන්ව ආයෙත් හම්බ වෙන්නත් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සියවස් ගාණකට කලින් ජීවත් වුණ අයට බයිබල් අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ ගැන උගන්වන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට අනාගත ආශීර්වාද ගැන කල්පනා කරන එක ඒ දවස එන කල් බලාගෙන ඉන්න වගේම ඒ දවස මනසින් කල් දාන්නේ නැතුව ඉන්නත් ලොකු උදව්වක්. ඒ වගේම අනාගතේදී වෙන “ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබිලා තියෙන නිසා” මුළා කරවන දේවල් උගන්වන අයට ‘අහු නොවී ඉන්නත්’ අපිට පුළුවන්.—2 පේතෘ. 3:17.

මිනිස්සුන්ට බය වෙන්න එපා!

7. මිනිස්සුන්ට තියෙන බය අපිට බලපාන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවියන්ගේ දවස ඉක්මනින්ම එනවා කියලා දන්න නිසා අපිට ඕනෙ පුළුවන් තරම් දෙනෙක් එක්ක ශුභාරංචිය බෙදාගන්න. හැබැයි සමහර අවස්ථාවලදී ඒක කරන්න තරම් ධෛර්යයක් අපිට නැති වෙන්න පුළුවන්. ඒ ඇයි? ඒකට හේතුව මිනිස්සුන්ට තියෙන බය. පේතෘස්ටත් ඒ බය තිබුණා. යේසුස්ව අත්අඩංගුවට ගත්ත රෑ එයා යේසුස්ගේ අනුගාමිකයෙක් කියලා කියන්න කැමති වුණේ නැහැ. ඒ තියා අඩුම ගාණේ යේසුස්ව අඳුරනවා කියලා කියන්නත් එයා බය වුණා. (මතෙ. 26:69-75) හැබැයි යේසුස්ව දන්නේ නැහැ කියපු ඒ අනුගාමිකයාට පුළුවන් වුණා පස්සේ කාලෙක මේ වගේ දෙයක් කියන්න. “ඔබ අවට සිටින අය බිය වන දේවලට බිය නොවන්න. ඒ දේවල් නිසා කලබල නොවන්න.” (1 පේතෘ. 3:14) පේතෘස් කිව්ව ඒ වචනවලින් පැහැදිලි වෙනවා අපි ඕනම කෙනෙක්ට මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න පුළුවන් කියලා.

8. මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (1 පේතෘස් 3:15)

8 මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොකක්ද? පේතෘස් මෙහෙම කිව්වා. “ඔබේ හදවත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් ලෙස පිළිගෙන ශුද්ධ කෙනෙකු ලෙස ඔහුට ගෞරවය දෙන්න.” (1 පේතෘස් 3:15 කියවන්න.) ඉතින් බයක් දැනෙන හැම වෙලාවකම අපේ ස්වාමීන් සහ අපේ රජ විදිහට යේසුස්ට තියෙන අධිකාරිය, බලය ගැන හිතන්න. සේවේ ගිහින් ශුභාරංචිය කියද්දී ඔයාගේ පපුව ගැහෙන්න ගන්නවා නම් ඒ වෙලාවට අපේ රජව මතක් කරගන්න. ඔහු දේවදූතයන් පිරිවරාගෙන සිංහාසනයේ රජකම් කරන විදිහ හිතින් මවාගන්න. ඒ වගේම “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා” කියලත් “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලත් යේසුස් කිව්වා. (මතෙ. 28:18-20) ඒ වචනත් මතක් කරගන්න. මොකද පේතෘස් අපි හැමෝගෙන්ම ඉල්ලනවා අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන අයට උත්තර දෙන්න ‘නිතරම ලෑස්ති පිට ඉන්න’ කියලා. ඉතින් වැඩපොළේදී, ඉස්කෝලේදී නැත්නම් ඕනම තැනක අවිධිමත්ව ශුභාරංචිය කියන්න ඔයා ලෑස්තිද? ඒක කරන්න පුළුවන් අවස්ථා ගැන කලින්ම හිතන්න. ඒ වගේම කියන්නේ මොනවාද කියලත් කලින්ම ලෑස්ති වෙන්න. ධෛර්යය ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. ඔහු ගැන විශ්වාසය තියන්න. ඔයා එහෙම කරනවා නම් මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.—ක්‍රියා 4:29.

‘හද පත්ලෙන්ම ආදරේ කරන්න’

පාවුල් දීපු හික්මවීම පේතෘස් පිළිගත්තා. සහෝදරයන්ට ආදරේ කරන එකේ වැදගත්කම පේතෘස් ලියපු ලිපි දෙකේ කාවද්දනවා (9 ඡේදය බලන්න)

9. පේතෘස්ට එක අවස්ථාවකදී ආදරේ පෙන්නන්න බැරි වුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

9 එක අවස්ථාවක යේසුස් මෙහෙම කිව්වා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහ. 13:34) යේසුස් ඒ දේ කියද්දී පේතෘසුත් එතන හිටියා. හැබැයි ඒ කොහොමවුණත් අනිත් අයගෙන් ආපු පීඩනය නිසා වෙනත් ජාතීන්ට අයිති සහෝදරයන් එක්ක කෑම කන එක පේතෘස් නතර කළා. ඒක පාවුල් දැක්කේ “කුහකකමක්” විදිහට. ඒ නිසා එයා පේතෘස්ව නිවැරදි කළා. (ගලා. 2:11-14) පාවුල්ගෙන් ලැබුණ ඒ ඍජු උපදෙස පේතෘස් හිතට ගත්තා. අනිත් අයට හදවතින්ම ආදරේ පෙන්නන්න පේතෘස් ඉගෙනගත්තා. ඒ නිසයි පේතෘස් ලියපු ලිපි දෙකේම එයා කිව්වේ ආදරේ කියන්නේ නිකම්ම හැඟීමකට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි, ඒක අපි කරන කියන දේවල්වලින් පේන්න ඕනෙ දෙයක් කියලා.

10. “අව්‍යාජ සහෝදර ස්නේහයක්” ඇති කරගන්න උදව් වෙන්නේ මොනවාද? පැහැදිලි කරන්න. (1 පේතෘස් 1:22)

10 පේතෘස් කියනවා අපි අපේ සහෝදර සහෝදරියන්ට “අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක්” පෙන්නන්න ඕනෙ කියලා. (1 පේතෘස් 1:22 කියවන්න.) සහෝදරයන් ගැන ඒ වගේ සෙනෙහසක් ඇති කරගන්න “සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වෙන එක” අපිට උදව් වෙනවා. අපි ඉගෙනගන්න සත්‍යයට ඇතුළත් එක දෙයක් තමයි “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා” කියන එක. (ක්‍රියා 10:34, 35) හිතන්න, අපි තෝරලා බේරලා සභාවේ ඉන්න කීපදෙනෙක්ට විතරක් සෙනෙහස පෙන්නනවා කියලා. එතකොට අපි යේසුස් දීපු ආඥාවට කීකරු වෙනවා කියලා කියන්න පුළුවන්ද? බැහැ නේද? ඇත්ත, අපිට සමහර අය ගැන ටිකක් වැඩිපුර ලෙන්ගතුකමක් තියෙන්න පුළුවන්. යේසුස්ටත් එහෙම තිබුණා. (යොහ. 13:23; 20:2) හැබැයි පේතෘස් අපිට මතක් කරනවා අපි සභාවේ ඉන්න හැම කෙනෙක්ටම “සහෝදර ස්නේහය” පෙන්නන්න ඕනෙ කියලා. (1 පේතෘ. 2:17) හරියට අපේම පවුලේ අයට වගේ.

11. “හද පත්ලෙන්ම” එකිනෙකාට ආදරේ කරනවා කියලා කියන්නේ මොකක්ද?

11 පේතෘස් අපෙන් ඉල්ලනවා “හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්න” කියලා. “හද පත්ලෙන්” කියද්දී පේතෘස් ඒකෙන් අදහස් කළේ සාමාන්‍යයෙන් අපි ආදරේ පෙන්නන සීමාවටත් වඩා එහාට ගිහින් ආදරේ පෙන්නන්න කියලයි. ඒ කියන්නේ ආදරේ පෙන්නන්න අමාරුම අවස්ථාවලදීත් අපි හදවතින්ම ආදරේ කරන්න ඕනේ. උදාහරණෙකට හිතන්න සහෝදරයෙක් ඔයා අකමැති දෙයක් කරනවා නැත්නම් ඔයාව රිද්දනවා කියලා. එහෙම වුණාම අපිට එක පාරටම හිතෙන්නේ අනිත් පැත්තට එයාටත් මොනවා හරි කරන්න. හැබැයි එහෙම කරන එක ගැන යෙහෝවා සතුටු වෙන්නේ නැහැ කියලා පේතෘස් යේසුස්ගෙන් ඉගෙනගත්තා. (යොහ. 18:10, 11) ඒකයි එයා මෙහෙම ලිව්වේ. “නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.” (1 පේතෘ. 3:9) ඉතින් ඒ වගේ ආදරයක් අපේ හදවතේ තියෙනවා නම් ඒ ආදරේ අපිව පොලඹවයි සහෝදරයෙක් අපිව රිද්දුවත් දිගටම එයාට කාරුණිකව සලකන්න.

12. (අ) බලවත් ආදරයක් තියෙනවා නම් ඒක අපිව පොලඹවන්නේ තව මොනවා කරන්නද? (ආ) ‘එක්සත්කමේ තෑග්ග රැකගන්න’ කියන වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයා අධිෂ්ඨාන කරගත්තේ මොනවා කරන්නද?

12 පේතෘස් එයාගේ පළවෙනි ලිපිය ලියද්දී “බලවත් ප්‍රේමයක්” කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ ආදරේකට පුළුවන් කෙනෙක් අතින් වෙන වරදක් දෙකක් නෙවෙයි “පව් රාශියක්” වුණත් මකලා දාන්න. (1 පේතෘ. 4:8) සමහරවිට මේක ලියද්දී පේතෘස්ට ඊට අවුරුදු ගාණකට කලින් යේසුස් උගන්නපු දෙයක් මතක් වෙන්න ඇති. දවසක් යේසුස් සමාව දෙන එක ගැන කතා කරද්දී පේතෘස් කිව්වා තමන්ගේ සහෝදරයාට “හත් වතාවක්” සමාව දෙන්න ඕනෙ කියලා. සමහරවිට ඒ වෙලාවේ පේතෘස්ට හිතෙන්න ඇති එයා හිතන විදිහ ගොඩක් හොඳයි කියලා. හැබැයි යේසුස් කිව්වා හත් වතාවක් නෙවෙයි “හැත්තෑහත් වතාවක්” සමාව දෙන්න ඕනෙ කියලා. (මතෙ. 18:21, 22) ඒකෙන් ඔහු පේතෘස්ට වගේම අපිටත් කාවැද්දුවේ සමාව දෙන එකට සීමාවක් නැහැ කියන එකයි. ඒත් ඔයාට හිතෙනවා නම් ‘යේසුස් එහෙම කිව්වාට ඒක කරන්න හරි අමාරුයිනේ’ කියලා අධෛර්යය වෙන්න එපා. මොකද අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඔයා වගේම දෙවියන්ට සේවේ කරන හුඟක් අයත් අනිත් අයට සමාව දෙන්න ලොකු පොරබැදීමක් කරනවා. හැබැයි වැදගත්ම දේ ඒ වෙනුවෙන් පියවර අරන් සහෝදරයාත් එක්ක සමාදාන වෙන්න මහන්සි වෙන එකයි. c

එඬේරුනි, රැළ රැකබලා ගන්න

13. සහෝදර සහෝදරියන්ව බලාගන්න එක වැඩිමහල්ලන්ට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?

13 යේසුස් නැවත නැඟිටලා ආවාම ඔහු පේතෘස්ට කිව්වා “මගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න” කියලා. (යොහ. 21:16) ඒක පේතෘස්ට නම් කවදාවත් අමතක වෙන්න නැතුව ඇති. ඔයා වැඩිමහල්ලෙක් නම් ඔයා දන්නවා යේසුස් කියපු ඒ දේ ඔයාටත් අදාළයි කියලා. හැබැයි සමහර වෙලාවට ඒ පැවරුම කරන්න කාලේ හොයාගන්න එක ඔයාට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද ඒ හැම දේටම කලින් වැඩිමහල්ලන්ට සිද්ධ වෙනවා එයාලාගේ පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්න. ඒ වගේම එයාලව සතුටින් තියන්න සහ දෙවියන් එක්ක එයාලට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන්න. ඊට අමතරව වැඩිමහල්ලන් සේවේදී පෙරමුණ ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි රැස්වීම්වල සහ සමුළුවල පැවරුම් කරන්නත් ඕනේ. සමහර වැඩිමහල්ලන් රෝහල් සබඳතා කමිටුවේ, ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයෙත් සේවේ කරනවා. එහෙම බලද්දී වැඩිමහල්ලන්ට කරන්න කොච්චර නම් වැඩ තියෙනවාද!

කොච්චර වැඩ තිබුණත් ආදරණීය එඬේරුන් රැළ රැකබලා ගන්න හැම දෙයක්ම කරනවා (14-15 ඡේද බලන්න)

14. රැළ ආදරෙන් රැකබලා ගන්න වැඩිමහල්ලන්ව පොලඹවන්නේ මොකක්ද? (1 පේතෘස් 5:1-4)

14 පේතෘස් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලනවා “දෙවිගේ රැළ රැකබලා ගන්න” කියලා. (1 පේතෘස් 5:1-4 කියවන්න.) වැඩිමහල්ලෙනි, ඔයාලා සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි කියලත් ඔයාලට ඕනෙ එයාලව ආදරෙන් රැකබලා ගන්න කියලත් අපි දන්නවා. හැබැයි සමහර වෙලාවට තියෙන වැඩ කන්දරාවත් එක්ක ඔයාට ලොකු මහන්සියක් දැනෙන්න පුළුවන්. ඒ වගකීම හරියට කරගන්න බැහැ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙමනම් මොකද කරන්නේ? ඔයාට දැනෙන හැම දෙයක්ම අකුරක් නෑර යෙහෝවාට කියන්න. ඒකයි පේතෘස් කිව්වේ “සේවය කිරීමට අවස්ථාවක් යමෙකුට ලැබේ නම් දෙවි සපයා දෙන ශක්තිය මත රඳා සිටිමින් ඔහු සේවය කළ යුතුයි” කියලා. (1 පේතෘ. 4:11) සහෝදර සහෝදරියන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම මේ කාලේ විසඳෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න “ප්‍රධාන එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස්ට පුළුවන් ඔයාටත් වඩා හොඳින් එයාලට උදව් කරන්න. ඔහු දැන් විතරක් නෙවෙයි පාරාදීස පොළොවේදී ඊටත් වඩා වැඩියෙන් ඒක කරන්න යනවා. දෙවියන් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලන්නේ සහෝදරයන්ට ආදරේ කරන්න, එයාලව රැකබලා ගන්න සහ “රැළට ආදර්ශයක් වෙන්න” කියලා විතරයි.

15. එක වැඩිමහල්ලෙක් රැළ රැකබලා ගත්තේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

15 විලියම් කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන සහෝදරයෙක්. සහෝදරයන් ගැන හොයලා බලන එක, එයාලව දිරිගන්වන එක කොච්චර වැදගත්ද කියලා එයා දන්නවා. කොරෝනා වසංගතය පටන්ගත්ත කාලේ එයායි, එයාගේ සභාවේ ඉන්න අනිත් වැඩිමහල්ලනුයි තීරණය කළා එයාලාගේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම්වල ඉන්න අය එක්ක වරද්දන්නේ නැතුව හැම සතියකම කතා කරන්න. ඒකට හේතුව ගැන එයා මෙහෙම කියනවා. “සහෝදරයන් ඉන්නේ ගෙදරටම කොටු වෙලා. ඒ නිසා හරිම ලේසියෙන් එයාලා අධෛර්යය වෙන්න පුළුවන්.” සභාවේ කෙනෙක් මොකක් හරි ප්‍රශ්නෙක ඉද්දී සහෝදර විලියම් එයාලට හොඳට ඇහුම්කන් දෙනවා. මොකද එතකොට තමයි එයාලට ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න පුළුවන්. ඊටපස්සේ එයා අපේ වෙබ් අඩවියේ තියෙන වීඩියෝ සහ ලිපි පාවිච්චි කරලා එයාලට උදව් කරනවා. බලන්න එයා ඒ ගැන කියන දේ. “වෙන කවදාටත් වඩා මේ කාලේ අපි අපේ සහෝදරයන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අලුත් අයට යෙහෝවා ගැන කියලා දෙන්න අපි ගොඩක් මහන්සි වෙනවා. එහෙමනම් දැනටමත් සත්‍යයේ ඉන්න අයව බලාගන්න අපි ඊට වඩා කොච්චර මහන්සි වෙන්න ඕනෙද!”

පුහුණුව අවසන් කරන්න යෙහෝවාට ඉඩ දෙන්න

16. පේතෘස්ගේ ලිපිවල තියෙන තොරතුරු අපිට අදාළ කරගන්න පුළුවන් මොන පැතිවලින්ද?

16 පේතෘස්ගේ ලිපිවල තියෙන තොරතුරු කීපයක් ගැන විතරයි අපි මේ පාඩමෙන් බැලුවේ. සමහරවිට ඒවා බලද්දී ඔයාට හිතෙන්න ඇති ඔයා තව දියුණු වෙන්න ඕන පැති තියෙනවා කියලා. උදාහරණෙකට පාරාදීසයේදී ලැබෙන ආශීර්වාද ගැන මීටත් වඩා වැඩියෙන් කල්පනා කරන්න ඕනෙ කියලා ඔයාට හිතුණාද? වැඩපොළේදී, ඉස්කෝලේදී නැත්නම් වෙන ඕනෑම තැනක අවිධිමත්ව සාක්ෂි දරන්න ඔයා ඉලක්කයක් තියාගත්තාද? සහෝදර සහෝදරියන්ට හදවතින්ම ආදරේ කරන්න පුළුවන් තව හුඟක් පැති ඔයාගේ මනසට ආවාද? වැඩිමහල්ලෙනි, ලොකු උනන්දුවකින් කැමැත්තෙන්ම දෙවියන්ගේ බැටළුවන්ව රැකබලා ගන්න ඔයාට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වුණාද? ඒ ප්‍රශ්න ගැන හිතලා බලද්දී තව දියුණු වෙන්න පුළුවන් පැති තියෙනවා කියලා ඔයාට තේරෙන්න ඇති. හැබැයි එහෙම වුණා කියලා අධෛර්යය වෙන්න එපා. මොකද අපේ “ස්වාමීන් කරුණාවන්තයි.” (1 පේතෘ. 2:3) ඔහු අනිවාර්යයෙන්ම ඒ පැති හදාගන්න ඔයාට උදව් කරයි. පේතෘස් පවා මේ වගේ සහතිකයක් දුන්නා. “ඔබ ලබාගන්නා ඒ පුහුණුව අවසන් කරන දෙවි, ඔබව ස්ථිර කර ශක්තිමත් කරනු ඇත.”—1 පේතෘ. 5:10.

17. උත්සාහය අත්හරින්නේ නැතුව ඉද්දී සහ යෙහෝවාට දිගටම අපිව පුහුණු කරන්න ඉඩ දෙද්දී අපිට ලැබෙන්නේ මොනවාද?

17 සැරයක් පේතෘස් කිව්වා එයා දෙවියන්ගේ පුත්‍රයා ඉස්සරහා ඉන්න තරම්වත් වටින්නේ නැහැ කියලා. (ලූක් 5:8) හැබැයි යෙහෝවාගේ සහ යේසුස්ගේ උදව්වෙන් පේතෘස්ට පුළුවන් වුණා යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට දිගටම විශ්වාසවන්තව සේවේ කරන්න. ඒ නිසා “අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ සදාකාලික රාජ්‍යයට තේජසකින් ඇතුල් වීමේ අවස්ථාව” එයාට ලැබුණා. (2 පේතෘ. 1:11) ඒක මොන තරම් වටිනා අවස්ථාවක්ද! ඔයාත් දිගටම අත්හරින්නේ නැතුව ඉන්නවා නම්, ඔයාව පුහුණු කරන්න යෙහෝවාට ඉඩ දෙනවා නම් ඔයාට හිමි වෙන්නෙත් සදාකාල ජීවිතයයි. ඒ නිසයි බයිබලේ කියන්නේ “ඔබේ විශ්වාසය නිසා ඔබේ ජීවිතවලට අනිවාර්යයෙන්ම ගැලවීම ලැබෙන බව ඔබට නිසැකයි” කියලා.—1 පේතෘ. 1:9.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

a අපිට තියෙන සමහර අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පේතෘස් ලියපු ලිපි දෙක උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. එඬේරුන් විදිහට වැඩිමහල්ලන්ට තියෙන වගකීම සාර්ථකව ඉටු කරන්නත් ඒ ලිපිවල තියෙන තොරතුරු උදව් වෙයි.

b පේන විදිහට පේතෘස් ලියපු මේ ලිපි දෙක ක්‍රි.ව. 66දී යෙරුසලම පළවෙනි වතාවට වටලන්න කලින් පලස්තීනයේ හිටපු ක්‍රිස්තියානීන්ට ලැබෙන්න ඇති.

c jw.org වෙබ් අඩවියේ තියෙන ‘එක්සත්කමේ තෑග්ග රැකගන්න’ කියන වීඩියෝ එක බලන්න.