Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 40

පේතෘස් වගේ මේ සටන අත්හරින්න එපා!

පේතෘස් වගේ මේ සටන අත්හරින්න එපා!

“ස්වාමීනි, මම පව්කාරයෙක්. ඔබ ළඟ සිටින්න තරම්වත් මම වටින කෙනෙක් නෙවෙයි.”—ලූක් 5:8.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

මේ ලිපියෙන් a

1. යේසුස් ආශ්චර්යවත් විදිහට මාළු අල්ලන්න උදව් කරපු වෙලාවේ පේතෘස්ට හැඟුණේ කොහොමද?

 මුළු රැයක් පුරාම කොච්චර දැඟලුවත් එක මාළුවෙක්වත් අල්ලගන්න පේතෘස්ට බැරි වුණා. ඒ වගේ වෙලාවක යේසුස් “දැන් දියඹට ගොස් දැල් හෙළන්න” කියලා කියපුවාම එයා හුඟක් පුදුම වෙන්න ඇති. (ලූක් 5:4) පේතෘස්ගේ හිතේ සැකයකුත් තියෙන්න ඇති ‘ඔය කිව්වාට මාළු අහු වෙයිද’ කියලා. ‘ඒත් කමක් නෑ, යේසුස්නේ කියන්නේ’ කියලා හිතලා එයා ඒක කරනවා. ඒ වෙලාවේ කොච්චර මාළු අහු වුණාද කියනවා නම් දැල් ඉරෙන්නත් ගත්තා. එතකොට තමයි පේතෘස්ටයි, එයාත් එක්ක හිටපු අනිත් අයටයි තේරුණේ මේක ආශ්චර්යයක් කියලා. බයිබලේ කියනවා එයාලට ඒක “අදහාගන්න බැරි වුණා” කියලා. ඊටපස්සේ පේතෘස් යේසුස්ට මෙහෙම කියනවා. “ස්වාමීනි, මම පව්කාරයෙක්. ඔබ ළඟ සිටින්න තරම්වත් මම වටින කෙනෙක් නෙවෙයි.”—ලූක් 5:6-9.

2. පේතෘස්ගේ ආදර්ශය ගැන බලන එක වැදගත් ඇයි?

2 පේතෘස් කිව්වා හරි, එයා “පව්කාරයෙක්.” බයිබල් වාර්තා කියවද්දී අපිට පේනවා පේතෘස් කියපු කරපු දේවල් ගැන එයා කීපවතාවක්ම පසුතැවිලි වුණා කියලා. ඔයාත් මොකක් හරි දුර්වලකමක් එක්ක පොරබදින කෙනෙක්ද? එහෙම නැත්නම් කාලයක් තිස්සේ පව්කාර ආශාවක් එක්ක සටන් කරන කෙනෙක්ද? එහෙමනම් පේතෘස්ගේ ආදර්ශය ගැන අධ්‍යයනය කරන එක ඔයාට ගොඩක් උදව් වෙයි. හිතන්න, යෙහෝවාට ඕනෙ නම් තිබුණා පේතෘස්ගේ අඩුපාඩුකම් ගැන බයිබලේ සඳහන් නොකර ඉන්න. ඒත් ඒවා බයිබලේට ඇතුළත් කරන්න ඔහු මඟ පෙන්නුවේ අපේ ප්‍රයෝජනයටයි. (2 තිමෝ. 3:16, 17) අපි වගේම දුර්වලකම් තියෙන මේ පුද්ගලයා ගැන ඉගෙනගද්දී අපිට සහතිකයක් ලැබෙනවා යෙහෝවා කවදාවත් අපෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට ඔහුට ඕනෙ අපි දිගටම අපේ දුර්වලකම් එක්ක සටන් කරලා ජය ගන්නවා දකින්නයි.

3. අපි අපේ සටන අත්හරින්න හොඳ නැත්තේ ඇයි?

3 අත්හරින්නේ නැතුව මේ සටන දිගටම කරන එක වැදගත් ඇයි? ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. සාමාන්‍යයෙන් කෙනෙක්ට සංගීත භාණ්ඩයක් දක්ෂ විදිහට වාදනය කරන්න අවුරුදු ගාණක් යනවා. ඒ කාලේ පුරාවටම එයා අනන්ත වාරයක් ස්වර වරද්දගන්නවා. ඒත් එයා අත්හරින්නේ නැතුව දිගටම පුරුදු වුණොත් විතරයි එයාට කවදා හරි දක්ෂ සංගීතඥයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඊටපස්සෙත් සැරින් සැරේට එයාගේ අතින් ස්වර වරදින්න පුළුවන්. ඒත් එයා සැලෙන්නේ නැහැ. අඩුපාඩුකම් හදාගෙන දිගටම දියුණු වෙනවා. ඒ නිසා තමයි කියන්නේ ‘උත්සාහවන්තයා ජය ගනියි’ කියලා. අපේ දුර්වලකමුත් ඒ වගේ තමයි. අපි කොච්චර හිතුවත් ඒවා හදාගෙන තියෙනවා කියලා සැරින් සැරේට අපි අතින් ආයේ ඒවා වෙන්න පුළුවන්. ඇත්තටම අපි හැමෝම අතින් වැරදි අඩුපාඩුකම් වෙනවා. ඒත් අපි සටන අත්හරින්නේ නැතුව දිගටම පොරබැද්දොත් ඒවායින් ගොඩ එන්න යෙහෝවා අපිට උදව් කරනවා. (1 පේතෘ. 5:10) පේතෘස් කියන්නෙත් ඒ වගේ දිගටම දුර්වලකම් එක්ක සටන් කරපු කෙනෙක්. එයා අතින් මොන අඩුපාඩුකම වුණත් යේසුස් එයාට ගොඩක් ආදරේ කළා. යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව සේවේ කරන්න පේතෘස්ගේ ආදර්ශය අපිටත් ලොකු හයියක්!

අමාරු සටනක් සහ ආශීර්වාද රැසක්!

පේතෘස්ට වුණ දේ ඔයාට වුණා නම් ඔයා මොනවා කරයිද? (4 ඡේදය බලන්න)

4. ලූක් 5:5-10 කියන විදිහට පේතෘස් එයා ගැනම කිව්වේ මොකක්ද? එතකොට යේසුස් කිව්වේ මොකක්ද?

4 පේතෘස් කිව්වා “මං පව්කාරයෙක්” කියලා. හැබැයි එයා එහෙම කිව්වේ ඇයි කියලවත් කලින් එයා අතින් වුණ වැරදි මොනවාද කියලවත් බයිබලේ කියලා නැහැ. (ලූක් 5:5-10 කියවන්න.) හැබැයි සමහරවිට පේතෘස් අතින් ගොඩක් වැරදි සිද්ධ වුණ නිසා තමන් වටින්නේ නැහැ කියලා එයාට හිතෙන්නත් ඇති. ඒ කොහොමවුණත් පේතෘස් ඒ වෙලාවේ ගොඩක් බය වුණා. යේසුස්ටත් ඒක තේරුණා. ඒත් යේසුස් දැනන් හිටියා එයා දිගටම විශ්වාසවන්තව ඉඳියි කියලා. ඒ නිසයි “බය වෙන්න එපා” කියලා ඔහු පේතෘස්ට කිව්වේ. යේසුස්ට පේතෘස් ගැන තිබ්බ ඒ විශ්වාසය පේතෘස්ගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඒ නිසා තමයි පේතෘස් සහ එයාගේ සහෝදරයා වුණ අන්දෘ ධීවර රස්සාව අත්හැරලා පූර්ණකාලීනව යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න තීරණය කළේ. ඒ තීරණය ගත්තා කියලා එයාලට කවදාවත් පසුතැවෙන්න වුණේ නැහැ.—මාක් 1:16-18.

5. බයෙන් ගොඩ ඇවිත් යේසුස්ගේ ආරාධනය පිළිගත්ත නිසා පේතෘස්ට ලැබුණ ආශීර්වාද මොනවාද?

5 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වුණ නිසා අමතක නොවන අද්දැකීම් ගොඩක් පේතෘස්ගේ ජීවිතේට එකතු වුණා. උදාහරණෙකට යේසුස් ලෙඩ්ඩුන්ව සනීප කරන විදිහ, භූතයන්ව දුරු කරන විදිහ විතරක් නෙවෙයි මළවුන්ව නැඟිට්ටවන විදිහත් පේතෘස් දැක්කා. b (මතෙ. 8:14-17; මාක් 5:37, 41, 42) ඒ වගේම යේසුස් දේවරාජ්‍යයේ රජ විදිහට තේජසින් ඉන්න විදිහ දර්ශනයකින් දකින්නත් පේතෘස්ට අවස්ථාව ලැබුණා. (මාක් 9:1-8; 2 පේතෘ. 1:16-18) යේසුස්ගේ ආරාධනය පිළිගත්තේ නැත්නම් පේතෘස්ට කවදාවත් ඒ වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. හිතන්න, තමන් වටින්නේ නැහැ කියලා හිතලා හැම දේම අත්හැරියේ නැති එක ගැන පේතෘස් කොච්චර සතුටු වෙන්න ඇද්ද!

6. පේතෘස්ට තමන්ගේ දුර්වලකම්වලින් ඉක්මනින්ම ගොඩ එන්න පුළුවන් වුණාද? පැහැදිලි කරන්න.

6 යේසුස් එක්ක ඉද්දී කොච්චර පුදුම කරවන දේවල් අද්දැක්කත් පේතෘස්ට එයාගේ දුර්වලකම් ජය ගන්න බැරි වුණා. උදාහරණ කීපයක් බලන්න. බයිබල් අනාවැකිවල කියලා තියෙන විදිහට යේසුස්ට හුඟක් දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙනවා කියලා කිව්වාම පේතෘස් ඔහුට තදින් කතා කළා. (මාක් 8:31-33) ඒ වගේම පේතෘස් සහ අනිත් ගෝලයන් කීපවතාවක්ම උතුම්ම කෙනා කවුද කියලා රණ්ඩු කළා. (මාක් 9:33, 34) ඒ විතරක් නෙවෙයි යේසුස් මැරෙන්න කලින් රෑ පේතෘස් කඩුවක් අරගෙන හිතන්නේ බලන්නේ නැතුව කෙනෙක්ගේ කන කැපුවා. (යොහ. 18:10) ඒ මදිවට මිනිස්සුන්ට තිබුණ බය නිසා එයා ගොඩක් ආදරේ කරපු එයාගේ යාළුවාව, ඒ කියන්නේ යේසුස්ව එදා රෑම තුන්පාරක් අඳුරන්නේ නැහැ කියලා කිව්වා. (මාක් 14:66-72) ඒ නිසා සමහර වෙලාවට එයාට එයාවම තිත්ත වෙන්න ඇති. මොකද බයිබලේ කියනවා ඒ වෙලාවේ එයා හොඳටම ඇඬුවා කියලා.—මතෙ. 26:75.

7. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ පේතෘස්ට අවස්ථාව ලැබුණේ මොනවා කරන්නද?

7 මේ වෙලාවේ පේතෘස් හිටියේ බින්දුවටම වැටිලා. ඒත් යේසුස් එයාව අත්හැරියේ නැහැ. ඒ නිසා නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් පේතෘස්ට තවත් අවස්ථාවක් දුන්නා ඔහු ගැන තිබ්බ ආදරේ පෙන්නන්න. ඒ වෙලාවේ යේසුස් පේතෘස්ගෙන් ඉල්ලුවා නිහතමානී එඬේරෙක් විදිහට ඔහුගේ බැටළුවන්ව බලාගන්න කියලා. (යොහ. 21:15-17) පේතෘස් දෙසැරයක් හිතන්නේ නැතුව යේසුස්ට කීකරු වුණා. ඒ නිසයි යෙරුසලමේදී මුල්ම වතාවට දෙවිගේ බලයෙන් ක්‍රිස්තියානීන්ව අභිෂේක කරද්දී පේතෘස් ඒ අය අතර හිටියේ.

8. අන්තියෝකියේ ඉද්දී පේතෘස් අතින් ලොකු වැරැද්දක් වුණා. ඒ මොකක්ද?

8 දෙවිගේ බලයෙන් අභිෂේක ලැබුවාට පස්සෙත් පේතෘස්ට එයාගේ දුර්වලකම් එක්ක දිගටම සටන් කරන්න වුණා. ක්‍රි.ව. 36දී වෙනත් ජාතියකට අයිති කොර්නේලියස් දෙවිගේ බලයෙන් අභිෂේක ලබද්දී පේතෘස් එතන හිටියා. ඒ වෙලාවේ “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා” කියලත් යුදෙව් නොවන අයටත් ක්‍රිස්තියානි සභාවට එකතු වෙන්න අවස්ථාව තියෙනවා කියලත් පේතෘස්ට පැහැදිලි වුණා. (ක්‍රියා 10:34, 44, 45) ඒ නිසයි කිසිම භේදයක් නැතුව පේතෘස් වෙනත් ජාතීන්වලට අයිති ක්‍රිස්තියානීන් එක්ක එකට ඉඳගෙන කෑම කෑවේ. කලින් නම් පේතෘස් ඒ වගේ දෙයක් කරනවා තියා ඒ ගැන හිතන්නවත් නැතුව ඇති. (ගලා. 2:12) ඒත් සමහර යුදෙව් ක්‍රිස්තියානීන්ට දැඩි මතයක් තිබුණා යුදෙව්වන් සහ වෙනත් ජාතීන් එකට ඉඳගෙන කෑම කන එක වැරදියි කියලා. ඒ යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් අන්තියෝකියටත් ආවා. ඒ වෙලාවේ පේතෘස් එයාලට බය වුණ නිසා වෙනත් ජාතීන්ට අයිති වුණ ක්‍රිස්තියානීන් එක්ක කෑම කන එක නතර කළා. මේ කුහකකම දැකපු පාවුල් ප්‍රසිද්ධියේම පේතෘස්ව නිවැරදි කළා. (ගලා. 2:13, 14) පේතෘස් අතින් මෙච්චර දෙයක් වුණත් එයා හරි දේ කරන එක අත්හැරියේ නැහැ. එහෙම කරන්න එයාට උදව් වුණේ මොකක්ද?

අත් නොහැර ඉන්න උදව් වුණ දේ

9. යොහන් 6:68, 69 කියන විදිහට පේතෘස් යේසුස්ට ළැදි කෙනෙක් කියලා පේන්නේ කොහොමද?

9 පේතෘස් යේසුස්ට හුඟක් ළැදි කෙනෙක්. මොන දේ වුණත් එයා නෙවෙයි යේසුස්ව සම්පූර්ණයෙන්ම අත්හැරලා ගියේ. සැරයක් යේසුස් කියපු දෙයක් ඔහුගේ ගෝලයන්ට හරියටම තේරුණේ නැහැ. (යොහන් 6:68, 69 කියවන්න.) ඒත් එතන හිටපු සමහරු යේසුස් ඒක පැහැදිලි කරන කල් හිටියේවත් ඒ ගැන ආයෙත් යේසුස්ගෙන් ඇහුවේවත් නැහැ. ඒ වෙනුවට එයාලා යේසුස්ව දාලා ගියා. ඒත් ඒ කවුරු ගියත් පේතෘස් යේසුස් එක්කම හිටියා. මොකද එයා දැනන් හිටියා “සදාකාල ජීවනයට මඟ පාදන වදන්” තියෙන්නේ යේසුස් ළඟ විතරයි කියලා.

යේසුස්ට පේතෘස් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒක ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි? (10 ඡේදය බලන්න)

10. පේතෘස් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

10 මොන දේ වුණත් යේසුත් පේතෘස්ව අත්හැරියේ නැහැ. යේසුස් දැනන් හිටියා ඔහු මැරෙන්න කලින් රෑ පේතෘස් සහ අනිත් ගෝලයෝ ඔහුව දාලා යනවා කියලා. ඒත් පේතෘස් ආපහු එයි කියලත් එයා දිගටම විශ්වාසවන්තව ඉඳියි කියලත් යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒක ඔහු පේතෘස්ටත් කිව්වා. (ලූක් 22:31, 32) යේසුස් දැනන් හිටියා හරි දේ කරන්න “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ” කියලා. (මාක් 14:38) ඒ නිසා තමයි පේතෘස් ඔහුව අඳුරන්නේ නැහැ කියලා තුන්පාරක්ම කිව්වත් යේසුස් පේතෘස්ව අත්හැරියේ නැත්තේ. නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් ගොඩක් වෙලාවට පේතෘස්ව තනියම හම්බ වෙලා කතා කරන්නත් ඇති. (මාක් 16:7; ලූක් 24:34; 1 කොරි. 15:5) හොඳටම කලකිරිලා හිටපු පේතෘස්ට ඒ වෙලාවේ කොච්චර සහනයක් දැනෙන්න ඇද්ද!

11. දෙවියන් අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා යේසුස් පේතෘස්ට සහතික කළේ කොහොමද?

11 යේසුස් පේතෘස්ට සහතික කළා යෙහෝවා අනිවාර්යයෙන්ම එයාට උදව් කරනවා කියලා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ වුණ දෙයක් බලන්න. ඔහු පේතෘස්ට සහ එයාත් එක්ක හිටපු අනිත් අයට ආශ්චර්යවත් විදිහට මාළු අල්ලන්න උදව් කළා. (යොහ. 21:4-6) අවශ්‍ය ඕනම දෙයක් ලේසියෙන් සපයන්න යෙහෝවාට පුළුවන් කියලා ඒ ආශ්චර්යය නිසා පේතෘස්ට සහතිකයක් ලැබුණා. ‘දේවරාජ්‍යයට මුල් තැන දෙන’ අයව යෙහෝවා අනිවාර්යයෙන්ම බලාගන්නවා කියලා යේසුස් කලින් කියපු දේ ඒ වෙලාවේ පේතෘස්ට මතක් වෙන්න ඇති. (මතෙ. 6:33) ඒ නිසා තමයි එයාගේ ධීවර ව්‍යාපාරය අත්හැරලා සේවේට මුල් තැන දෙන්න එයා පෙලඹුණේ. ඒ වගේම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී එයා හරිම නිර්භීතව සාක්ෂි දරලා දහස් ගාණකට ක්‍රිස්තියානීන් වෙන්න උදව් කළා. (ක්‍රියා 2:14, 37-41) ඊටපස්සේ එයා සමරිතානුවන්ට සහ වෙනත් ජාතීන්ටත් යේසුස්ව පිළිගන්න උදව් කළා. (ක්‍රියා 8:14-17; 10:44-48) හැම තරාතිරමක ඉන්න අයව ක්‍රිස්තියානි සභාවට ගේන්න යෙහෝවා පේතෘස්ව පාවිච්චි කරපු විදිහ කොච්චර පුදුමාකාරද!

අපිටත් පාඩමක්

12. අපිත් දුර්වලකමක් එක්ක සටන් කරනවා නම් පේතෘස්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?

12 දුර්වලකම් එක්ක අපි කරන සටනේදී අපේ උදව්වට යෙහෝවා අපිත් එක්කම ඉන්නවා. ඒත් සමහරවිට සෑහෙන කාලයක් තිස්සේ එකම දුර්වලකම එක්ක සටන් කරන්න වෙද්දී ඒක ලේසි නැහැ. එහෙම වෙද්දී අපිට හිතෙන්න පුළුවන් පේතෘස්ට තිබුණ දුර්වලකම්වලට වඩා මගේ දුර්වලකම් ජය ගන්න ගොඩක් අමාරුයි කියලා. ඒත් සටන අත්හරින්නේ නැතුව ඉන්න යෙහෝවා අපිට ශක්තිය දෙනවා. (ගීතා. 94:17-19) එක සහෝදරයෙක්ගේ අද්දැකීම බලන්න. එයා සත්‍යයට එන්න කලින් අවුරුදු ගාණක්ම සමලිංගික ජීවිතයක් ගත කරපු කෙනෙක්. සත්‍යය දැනගත්තාට පස්සේ එයා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. ඒත් ඊටපස්සෙත් කාලෙන් කාලෙට එයාට වැරදි සිතුවිලි එක්ක සටන් කරන්න වුණා. ඒ සටන දිගටම කරන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “යෙහෝවා තමයි උදව් කරන්නේ. ඔහුගේ බලයේ උදව්වෙන් සත්‍ය මාර්ගයේ දිගටම ඉස්සරහට අඩිය තියන්න පුළුවන් කියලා මං අද්දැකීමෙන්ම තේරුම් අරන් ඉන්නවා. මං වටින්නේ නෑ කියලා මට හිතුණත් ඔහු මාව ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරනවා, මට දිගටම ශක්තිය දෙනවා.”

හොස්ට් හෙන්ෂල් පූර්ණකාලීන සේවේ පටන්ගත්තේ 1950 ජනවාරි 1වෙනිදා. මුළු ජීවිතේම යෙහෝවා දෙවියන්ට කැප කරපු එක ගැන එයා පසුතැවෙන්න ඇති කියලා ඔයා හිතනවාද? (13, 15 ඡේද බලන්න) d

13. ක්‍රියා 4:13, 29, 31 කියන විදිහට පේතෘස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

13 අපි බලපු විදිහට අවස්ථා කීපයකම පේතෘස් මිනිස්සුන්ට බය වෙලා වැඩ කළා. හැබැයි ඒකෙන් ගොඩ එන්න නිර්භීතකම ඉල්ලලා යාච්ඤා කරපු එක එයාට උදව් වුණා. (ක්‍රියා 4:13, 29, 31 කියවන්න.) අපිටත් ඒකම කරන්න පුළුවන්. ජර්මනියේ නාට්සි පාලනය යටතේ හිටපු යෞවන සහෝදරයෙක් වුණ හොස්ට්ගේ අද්දැකීම බලන්න. “හිට්ලර්ට ජය වේවා!” කියලා කියන්න එයාට ඉස්කෝලෙන් ලොකු පීඩනයක් ආවා. ඒ නිසා අවස්ථා කීපයකදීම එයා ඒ බලපෑමට අහු වෙලා ඒ විදිහට හිට්ලර්ට ආචාර කළා. ඒක දැනගත්තාම එයාගේ දෙමාපියන් එයාට බනිනවා වෙනුවට එයාත් එක්ක එකට යාච්ඤා කරලා එයාට ධෛර්යය දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා. ඒ විදිහට දෙමාපියන්ගේ උදව්වෙන් සහ යෙහෝවා මත රඳා හිටපු එකෙන් කාලයක් ගියාම හොස්ට්ට පුළුවන් වුණා තමන්ගේ විශ්වාසයන් වෙනුවෙන් නිර්භීතව නැඟී ඉන්න. පස්සේ කාලෙක හොස්ට් කිව්වා “යෙහෝවා මාව කවදාවත් අත්හැරියේ නැහැ” කියලා. c

14. අධෛර්යය වෙලා ඉන්න අයව සනසන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

14 යෙහෝවා සහ යේසුස් අපිව කවදාවත් අත්හරින්නේ නැහැ. පේතෘස් ගැන ආයේ හිතන්න. යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කිව්වාට පස්සේ පේතෘස් හිටියේ අතරමං වෙලා වගේ. එයා ඉස්සරහා පාරවල් දෙකක් තිබුණා. එක්කෝ එයා දිගටම යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුව අත්හරින්න ඕනේ. එයාට ඒ දෙකෙන් එකක් තෝරගන්න වුණා. ඊට කාලෙකට කලින් යේසුස් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා පේතෘස්ගේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න උදව් කරන්න කියලා. ඒ යාච්ඤාව ගැන යේසුස් පේතෘස්ටත් කිව්වා. ඒ වගේම පේතෘස් ආයෙත් ශක්තිමත් වුණාට පස්සේ අනිත් අයවත් ශක්තිමත් කරයි කියලා යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණා. (ලූක් 22:31, 32) යේසුස් කියපු ඒ දේවල් මතක් වෙද්දී පේතෘස්ට මොන තරම් ශක්තියක් දැනෙන්න ඇද්ද! පේතෘස් වගේ අපිටත් අපේ ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙනවා. ඒ වගේ මංසන්ධියකට එද්දී යෙහෝවා එඬේරුන්ව පාවිච්චි කරලා අපිට දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරනවා. (එෆී. 4:8, 11) කාලයක් තිස්සේ වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරන පෝල් ඒ විදිහට අනිත් අයව ගොඩක් දිරිගන්වපු කෙනෙක්. හැම දේම අත්හරින තරමට අධෛර්යය වෙලා ඉන්න අයව හම්බ වුණාම පෝල් එයාලාගෙන් අහනවා සත්‍යයට එන්න යෙහෝවා එයාලට උදව් කළේ කොහොමද කියලා. ඊටපස්සේ පෝල් එයාලට මතක් කරලා දෙනවා යෙහෝවාගේ හිතේ කෙනෙක් ගැන තියෙන ආදරේ කවදාවත් අඩු වෙන්නෙවත් ඔහු එයාව අත්හරින්නෙවත් නැහැ කියලා. බලන්න එයා අන්තිමට කියන දේ. “හුඟක් අධෛර්යය වුණ අය යෙහෝවාගේ උදව්වෙන් අත් නෑර සටන් කරන විදිහ මං ඕන තරම් දැකලා තියෙනවා.”

15. මතෙව් 6:33 කියන දේ කොච්චර ඇත්තක්ද කියලා පේතෘස්ගේ සහ සහෝදර හොස්ට්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

15 යෙහෝවා පේතෘස්ට සහ අනිත් නියෝජිතයන්ට අවශ්‍ය හැම දෙයක්ම දීලා එයාලව බලාගත්තා. අපිත් සේවේට මුල් තැන දෙද්දී ඔහු කිසි අඩුවක් වෙන්න නොදී අපිවත් ආදරෙන් බලාගන්නවා. (මතෙ. 6:33) කලින් සඳහන් කරපු සහෝදර හොස්ට් දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ පුරෝගාමි කරන්න හිතුවා. හැබැයි එයා ගොඩක් දුප්පත්. ‘හරි හමං රස්සාවක් නැතුව මං කොහොමද දිගටම පුරෝගාමි කරන්නේ’ කියලා එයාගේ හිතේ සැකයක් ඇති වුණා. ඉතින් හොස්ට් මොකද කළේ? යෙහෝවා ඇත්තටම එයාව බලාගනියිද කියලා පරීක්ෂා කරලා බලන්න එයා චාරිකා සතියේ හැම දවසකම සේවේ ගියා. චාරිකා සතිය ඉවර වෙද්දී චාරිකා සේවක ළඟට ඇවිල්ලා එයාට ලියුම් කවරයක් දුන්නා. ඒකේ තිබුණ දේ දැකලා එයා ගොඩක් පුදුම වුණා. මොකද ඒකේ තිබුණේ මාස ගාණකට සේවේ කරන්න ඇති තරම් සල්ලි. හැබැයි ඒක චාරිකා සේවකට දුන්නේ කවුද කියලා එයා දැනන් හිටියේ නැහැ. ඒ වෙලාවේ හොස්ට්ට දැනුණේ “මං ඔයාව කවදාවත් අත්හරින්නේ නෑ” කියලා යෙහෝවා එයාට කියනවා වගේ. ඒ නිසා එදායින් පස්සේ එයා එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සේවේට කැප කළා.—මලා. 3:10.

16. අපි පේතෘස්ගේ ආදර්ශය සහ එයා ලියපු ලිපි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

16 යේසුස් ළඟ ඉන්න තරම්වත් වටින්නේ නැහැ කියලා පේතෘස් හිතුවාට යේසුස් නම් එයාව අත්හැරියේ නැහැ. ඒ ගැන පේතෘස් කොච්චර සතුටු වෙන්න ඇද්ද! විශ්වාසවන්ත නියෝජිතයෙක් විදිහට අපි හැමෝටම හොඳ ආදර්ශයක් තියන්න යේසුස් දිගටම එයාව පුහුණු කළා. පේතෘස් ඉගෙනගත්ත සමහර වටිනා පාඩම් ඇතුළු තවත් හුඟක් දේවල් මුල් ක්‍රිස්තියානීන්ට ලියපු ලිපි දෙකේ එයා සඳහන් කළා. ඒ ලිපිවල තියෙන සමහර දේවල් ගැනත් ඒවා අපිට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැනත් අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 126 අවදිව, ස්ථිරව සිටිමු

a ඔයාත් කාලයක් තිස්සේ මොකක් හරි දුර්වලකමක් එක්ක සටන් කරනවාද? එහෙනම් මේ ලිපිය ඔයාටයි. මොකද මේක ඔයාට උදව් වෙයි දිගටම සටන් කරලා කොහොමහරි යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න.

b මේ ලිපියේ ගොඩක් බයිබල් පද අරන් තියෙන්නේ මාක් පොතෙන්. මේ දේවල් මාක් වාර්තා කරන්න ඇත්තේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන පේතෘස්ගෙන් අහලා වෙන්න ඇති.

c හොස්ට් හෙන්ෂල්ගේ ජීවිත කතාව ගැන දැනගන්න 1998 මාර්තු 8 ‘පිබිදෙව්!’ සඟරාවේ “මගේ පවුලේ අය දෙවිට දැක්වූ පක්ෂපාතකම මගින් පෙලඹවීම” කියන ලිපිය බලන්න.

d පින්තූරයේ අදහස: රඟ දැක්වීමෙන් පෙන්නන විදිහට හොස්ට් හෙන්ෂල්ගේ දෙමාපියන් එයාත් එක්ක යාච්ඤා කළා. ස්ථිරව ඉන්න එයාට උදව් කළා.