පාඩම් ලිපිය 39
මෘදුකම ඔයාගේ ශක්තිය කරගන්න
“ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.”—2 තිමෝ. 2:24.
ගීතිකාව 120 යේසුස් මෙන් නිහතමානී වෙමු
මේ ලිපියෙන් a
1. ඉස්කෝලේදී නැත්නම් වැඩපොළේදී අනිත් අය අපෙන් අහන්න පුළුවන් මොනවා ගැනද?
සමහරවිට ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් නැත්නම් එකට වැඩ කරන කෙනෙක් ඔයාගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාට කොහොමද දැනෙන්නේ? හිතට පුංචි බයක්, චකිතයක් දැනෙනවාද? ඔයාට විතරක් නෙවෙයි හුඟදෙනෙක්ටත් දැනෙන්නේ එහෙමයි. හැබැයි එයාලා අහන ප්‍රශ්නවලින්ම එයාලා හිතන විදිහ ගැනත් එයාලාගේ විශ්වාසයන් ගැනත් අපිට දැනගන්න පුළුවන්. ඒ විදිහට එයාලව තේරුම්ගද්දී එයාලට සාක්ෂි දරන්නත් අපිට ලේසියි. හැබැයි සමහරු ප්‍රශ්න අහන්නේ දේවල් දැනගන්නම නෙවෙයි, අපිත් එක්ක පැටලෙන්න බලාගෙන. ඒ ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. සමහරවිට එයාලා එහෙම කරන්නේ අපි ගැන වැරදි තොරතුරු අහලා තියෙන නිසා වෙන්න ඇති. (ක්‍රියා 28:22) ඒ විතරක් නෙවෙයි අපි ජීවත් වෙන්නේ ‘කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, දරුණු අය ඉන්න අවසාන කාලේ’ කියලත් අපි අමතක කරන්න හොඳ නැහැ.—2 තිමෝ. 3:1, 3.
2. අපි මෘදු අය වෙන්න ඕනෙ ඇයි?
2 සමහරවිට ඔයාට හිතෙනවා ඇති ‘කෙනෙක් අපේ විශ්වාසයන් හෑල්ලු කරද්දී මං කොහොමද කේන්ති ගන්නේ නැතුව කාරුණිකව උත්තර දෙන්නේ’ කියලා. ඇත්තටම ඒකට උදව් වෙන්නේ මොකක්ද? එක වචනයකින් කියනවා නම් ඒ මෘදුකම. හිතපු නැති විදිහේ දේවල්වලට මුහුණ දෙද්දී, අනිත් අය කේන්ති ගස්සද්දී මෘදු කෙනෙක් ඉක්මනටම හිත නරක් කරගන්නේ නැහැ. (හිතෝ. 16:32) හැබැයි දැන් ඔයාට හිතෙයි ‘ඕක කියන්න නං ලේසියි, කරන්නනේ අමාරු’ කියලා. ඒත් ඇත්තටම මෘදුකම වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? අනිත් අය ඔයාගේ විශ්වාසයන් ගැන විවේචනය කරද්දී කේන්ති ගන්නේ නැතුව කාරුණිකව එයාලට උත්තර දෙන්න පුළුවන් කොහොමද? ඔයාට දරුවෝ ඉන්නවා නම් විශ්වාසයන් ගැන මෘදු විදිහට පැහැදිලි කරන්න එයාලව පුහුණු කරන්න පුළුවන් කොහොමද? අපි බලමු.
මෘදුකම වර්ධනය කරගන්නේ කොහොමද?
3. මෘදු විදිහට වැඩ කරන කෙනෙක් ශක්තිමත් කියන්නේ ඇයි? (2 තිමෝති 2:24, 25)
3 මෘදු කෙනෙක් දුර්වලයෙක් නෙවෙයි. ඇත්තටම එයා ශක්තිමත්. මොකද අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී සන්සුන්ව ඉන්න නම් ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. මෘදුකම කියන්නේ “කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී” ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22, 23) “මෘදුකම” කියලා පරිවර්තනය කරලා තියෙන මුල් ග්‍රීක වචනය සමහර අවස්ථාවලදී මෙල්ල කරපු කැලෑ අශ්වයෙක් ගැන කතා කරද්දීත් පාවිච්චි කරලා තියෙනවා. ටිකකට ඒ වගේ අශ්වයෙක් ගැන හිතන්න. ඌ හීලෑ වුණාට උගේ ශක්තියේ නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේ අපිටත් පුළුවන් මෘදුකම වර්ධනය කරගන්න අතරේම ශක්තිමත් අය වෙන්න. හැබැයි ඒක අපේම හැකියාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ලස්සන ගුණාංගය වර්ධනය කරගන්න යෙහෝවා දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන එක හරිම වැදගත්. එහෙම කරපු හුඟදෙනෙක් අපි අතර ඉන්නවා. උදාහරණෙකට විරුද්ධවාදීන් ඉස්සරහා හුඟක් සාක්ෂිකරුවන් හරිම සන්සුන්ව, කාරුණිකව වැඩ කරලා තියෙනවා. එහෙම කරපු එකෙන් සාක්ෂිකරුවන් ගැන හුඟදෙනෙක්ගේ හිතේ පැහැදීමක් ඇති කරන්නත් එයාලට පුළුවන් වෙලා තියෙනවා. (2 තිමෝති 2:24, 25 කියවන්න.) ඒත් මෘදුකම ඔයාගේ ශක්තිය කරගන්නේ කොහොමද?
4. මෘදු විදිහට වැඩ කරන එක ගැන ඊසාක්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
4 මෘදුකමේ වටිනාකම පෙන්නන හුඟක් සිද්ධීන් බයිබලේ තියෙනවා. ඒ වගේ එක සිද්ධියක් අපි බලමු. පිලිස්තිවරුන්ගේ ප්‍රදේශයක් වුණ ගෙරාර්වල ආබ්‍රහම් සහ එයාගේ සේවකයන් හුඟක් ළිං හාරලා තිබුණා. ඊසාක් ගෙරාර්වල ජීවත් වුණ කාලේදී එයාට ඊර්ෂ්‍යා කරපු අසල්වැසියෝ ඒ ළිං වහලා දැම්මා. ඒ වෙලාවේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වෙනුවට ඊසාක් එතනින් ඈතට ගිහිල්ලා තව ළිං හෑරුවා. (උත්. 26:12-18) හැබැයි පිලිස්තිවරු එතන්ටත් ඇවිල්ලා ඒ ළිංවලටත් අයිතිවාසිකම් කිව්වා. මේ වතාවේදීත් ඊසාක් එයාලත් එක්ක සමාදානය රැකෙන විදිහට වැඩ කළා. (උත්. 26:19-25) හිතාමතාම ඊසාක්ට මෙච්චර දේවල් කරද්දීත් දිගටම සන්සුන්ව, මෘදු විදිහට වැඩ කරන්න එයාට උදව් වුණේ මොනවාද? කිසිම සැකයක් නැහැ සමාදානයට මුල් තැන දීපු එයාගේ තාත්තා වුණ ආබ්‍රහම්ගේ ආදර්ශය එයාට උදව් වෙන්න ඇති. (උත්. 21:22-34) ඒ වගේම “තැන්පත් මෘදු ස්වභාවයකින්” වැඩ කරපු එයාගේ අම්මා වුණ සාරාගේ ආදර්ශයත් එයාට උදව් වෙන්න ඇති.—1 පේතෘ. 3:4-6.
5. මෘදුකමේ වටිනාකම දරුවන්ට කියලා දෙන්න පුළුවන් විදිහ පෙන්නන අද්දැකීමක් කියන්න.
5 දෙමාපියෙනි, මෘදු විදිහට වැඩ කරන්න දරුවන්ව පුහුණු කරන්න ඔයාලට පුළුවන්. ඒක තේරුම්ගන්න අවුරුදු 17ක් වයස මැක්සන්ස්ගේ අද්දැකීම බලන්න. එයාට ඉස්කෝලේදී, සේවේදී නිතර දෙවේලේ හම්බ වුණේ හුඟක් කේන්ති ගන්න අයව. ඉතින් එයාගේ අම්මායි, තාත්තායි මෘදුකම වර්ධනය කරගන්න මැක්සන්ස්ට ගොඩක් උදව් කළා. එයාලා මෙහෙම කියනවා. “කෙනෙක් කේන්ති ගස්සද්දී ගහන බනින එකට වඩා සන්සුන්ව ඉන්න තමයි වැඩියෙන්ම ශක්තිය ඕනේ. අන්තිමේදී අපේ පුතා ඒක තේරුම්ගත්තා.” කොහොමහරි දෙමාපියන්ගේ උදව්වෙන් මැක්සන්ස්ට පුළුවන් වුණා මෘදුකම එයාගේ ශක්තිය කරගන්න.
6. තව තවත් මෘදු කෙනෙක් වෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?
6 කෙනෙක් යෙහෝවා දෙවියන්ගේ නමට කැත විදිහට බනිනවා නම්, බයිබලේට අපහාස කරනවා නම් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට සන්සුන්ව, මෘදු විදිහට වැඩ කරන්න යෙහෝවා දෙවිගේ බලය සහ ප්‍රඥාව ඉල්ලන්න. ඒත් ඔයාට පස්සේ හිතුණොත් ‘මං ඒ වෙලාවේ වැඩ කරපු විදිහ එච්චර හරි නෑ’ කියලා? ඔයාට පුළුවන් ඒ ගැනත් යෙහෝවාට කියන්න. ඒ වගේම ආයෙත් එහෙම නොකර ඉන්න කරන්න පුළුවන් මොනවාද කියලත් හිතන්න. ඔයා එහෙම කරද්දී කේන්තිය පාලනය කරගෙන දිගටම මෘදු විදිහට වැඩ කරන්න යෙහෝවා ඔයාට බලය දෙයි.
7. සමහර බයිබල් පද මතක තියාගන්න එක අපිවම පාලනය කරගන්න උදව් වෙන්නේ කොහොමද? (හිතෝපදේශ 15:1, 18)
7 අමාරු අවස්ථාවලදීත් පරෙස්සමින් වචන පාවිච්චි කරන්න සමහර බයිබල් පද අපිට උදව් වෙනවා. දෙවිගේ බලයට පුළුවන් ඒ වගේ පද අපිට මතක් කරලා දෙන්න. (යොහ. 14:26) දිගටම මෘදු විදිහට වැඩ කරන්න උදව් වෙන හුඟක් ප්‍රතිපත්ති හිතෝපදේශ පොතේ තියෙනවා. (හිතෝපදේශ 15:1, 18 කියවන්න.) ඒ වගේම ඕනම අමාරු අවස්ථාවකදී අපි අපිවම පාලනය කරගන්න එකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල ගැනත් ඒකේ තියෙනවා.—හිතෝ. 10:19; 17:27; 21:23; 25:15.
මෘදු කෙනෙක් වෙන්න උදව් වෙන වටහාගැනීමේ හැකියාව
8. කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහන්නේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන එක වැදගත් ඇයි?
8 මෘදු කෙනෙක් වෙන්න වටහාගැනීමේ හැකියාවත් නැතුවම බැහැ. (හිතෝ. 19:11) මොකද වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක් කවුරු හරි විශ්වාසයන් ගැන ප්‍රශ්න කරද්දී තමන්වම පාලනය කරගන්නවා. සමහරු අපෙන් අහන ප්‍රශ්න හරියට මුහුදේ පාවෙන ලොකු අයිස් කුට්ටි වගේ. ඒ වගේ අයිස් කුට්ටියක අපිට පේන්න තියෙන්නේ පොඩි කොටසයි. හැබැයි දිය යට හැංගිලා තියෙන කොටස ඊට වඩා ගොඩක් ලොකුයි. ඒ වගේ, කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහද්දිත් ඒ පිටිපස්සේ හැංගිච්ච හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා උත්තරයක් දෙන්න කලින් ඒ ගැනත් හොඳට හිතන්න.—හිතෝ. 16:23.
9. එෆ්‍රායිම් ගෝත්‍රයේ අයත් එක්ක වැඩ කරද්දී ගිඩියොන් වටහාගැනීමේ හැකියාව සහ මෘදුකම පෙන්නුවේ කොහොමද?
9 ගිඩියොන් එෆ්‍රායිම් ගෝත්‍රයේ අයත් එක්ක වැඩ කරපු විදිහ බලන්න. එයාලා ගොඩක් කේන්ති අරන් ගිඩියොන්ගෙන් ඇහුවා ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධව සටනට යද්දී ඇයි එයාලට කතා කළේ නැත්තේ කියලා. එයාලා අහපු ඒ ප්‍රශ්නේ පිටිපස්සේ හැංගිලා තිබ්බ චේතනාව මොකක්ද? එයාලට මාන්නයක් තිබ්බ නිසාද? හේතුව මොකක් වුණත් ගිඩියොන් ඒ වෙලාවේ එයාලාගේ හැඟීම් තේරුම්ගත්තා. එයා ඥානවන්තව, මෘදු විදිහට උත්තර දුන්න නිසා රණ්ඩුවකට කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඒකෙන් “එයාලාගේ තරහ නිවිලා ගියා.”—විනි. 8:1-3.
10. කෙනෙක්ට උත්තර දෙන විදිහ තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (1 පේතෘස් 3:15)
10 සමහරවිට වැඩපොළේ කෙනෙක් නැත්නම් ඉස්කෝලේ යාළුවෙක් බයිබල් ප්‍රතිපත්ති ගැන අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට එයාගේ අදහසටත් ගරු කරන ගමන් අපේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න අපි අපේ පැත්තෙන් උපරිමය කරනවා. (1 පේතෘස් 3:15 කියවන්න.) කෙනෙක් ඔයාගෙන් ප්‍රශ්නයක් අහද්දී එයාට උත්තර දෙන විදිහ තේරුම්ගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? ඒකට එයා ඒක අහන්නේ අපිව විවේචනය කරන නිසාමයි කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. ඒ වෙනුවට එයා ඇත්තටම උනන්දු වෙන්නේ මොනවා ගැනද කියලා දැනගන්න ලැබෙන අවස්ථාවක් විදිහට ඒක දකින්න. කෙනෙක් මොන හේතුව නිසා අපෙන් ප්‍රශ්න කළත් අපි එයාට කාරුණිකව, සන්සුන්ව තමයි උත්තර දෙන්න ඕනේ. සමහරවිට අපි දෙන උත්තරේ නිසා එයා හිතන විදිහ ගැන ආයෙත් කල්පනා කරන්න වුණත් එයා පෙලඹෙන්න පුළුවන්. කෙනෙක් අපෙන් ප්‍රශ්න කරද්දී ටිකක් නපුරු විදිහට, අපිව පහත් කරන විදිහට කතා කරයි. එහෙම වුණත් අපේ එකම ඉලක්කය වෙන්න ඕනෙ එයාට කාරුණිකව උත්තර දෙන එකයි.—රෝම 12:17.
11-12. (අ) අමාරු ප්‍රශ්නෙකට උත්තර දෙන්න කලින් අපි හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද? (පින්තූරයත් බලන්න.) (ආ) කෙනෙක් අහන ප්‍රශ්නෙකින් හොඳ සංවාදයක් පටන්ගන්න අපිට පුළුවන්. ඒකට උදාහරණයක් දෙන්න.
11 සමහරවිට වැඩපොළේ කෙනෙක් අහන්න පුළුවන් “ඇයි ඔයාලා උපන්දින සමරන්නේ නැත්තේ” කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කලින් මේ ගැන හිතන්න. එයා මේ නොකියා කියන්න හදන්නේ අනිත් අයත් එක්ක ටිකක් සතුටු වෙන්න ඔයාලාගේ ආගමේ කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියන එකද? එහෙම නැත්නම් එයා මේ කියන්නේ අපි ඒ වගේ දේවල්වලට හවුල් වෙන්නේ නැති නිසා වැඩපොළේ අය අතර තියෙන එකමුතුකම නැති වෙනවා කියලද? එහෙමනම් මුලින්ම එයා අනිත් අය ගැන හිතන එක ගැන එයාව අගය කරන්න. ඒ වගේම වැඩපොළේ අයත් එක්ක සුහදව ඉන්න අපිත් ආසයි කියලා එයාට කියන්න. සමහරවිට ඔයා දෙන ඒ උත්තරේ නිසා උපන්දින ගැන බයිබලේ තියෙන අදහස දැනගන්න එයාගේ හිතෙත් ආසාවක් ඇති වෙයි.
12 සමහර ප්‍රශ්නවලට උත්තර දෙද්දී අපි ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. උදාහරණෙකට ඉස්කෝලේ ළමයෙක් කියන්න පුළුවන් සාක්ෂිකරුවන් සමලිංගික අයට සලකන විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. එයා එහෙම කියන්නේ අපි ගැන වැරදි තොරතුරක් ආරංචි වෙලා තියෙන නිසාද? නැත්නම් එයාගේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි සමලිංගික ජීවිතයක් ගත කරන නිසාද? එහෙමත් නැත්නම් අපි සමලිංගික අයව කොන් කරනවා කියලා එයා හිතන නිසාද? එහෙමනම් හැම කෙනෙක්ටම තීරණ ගන්න නිදහසක් තියෙනවා කියලත් ඒ නිදහසට අපි ගරු කරනවා කියලත් එයාට පැහැදිලි කරන්න. b (1 පේතෘ. 2:17) එහෙම කළොත් බයිබල් ප්රතිපත්තිවල වටිනාකම පෙන්නලා දෙන්නත් අපිට අවස්ථාව ලැබෙයි.
13. දෙවියන්ව විශ්වාස කරන අයට අපහාස කරන කෙනෙක්ව දිනාගන්න ඔයාට පුළුවන් කොහොමද?
13 කෙනෙක් ඔයා කියන දේකට තදින්ම විරුද්ධ වෙද්දී ‘එයා හිතන විදිහ මං දන්නවා’ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. (තීත. 3:2) උදාහරණෙකට හිතන්න ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් දෙවියන්ව විශ්වාස කරන අයට අපහාස කරනවා කියලා. එයා එහෙම කරන්නේ පරිණාමය ගැන ගැඹුරට හදාරලා ඒක තදින්ම විශ්වාස කරන නිසා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. සමහරවිට එයා ඔය කියන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගත්ත දේවල් ටිකක් වෙන්න ඇති. ඒ නිසා විද්‍යාත්මක තොරතුරු ගැන ලොකු හෑල්ලක් කියන්න යනවා වෙනුවට එයාට හිතලා බලන්න උදව් වෙන දේවල් ටිකක් කියන්න. එහෙම නැත්නම් අපේ ප්රකාශනයක් එයාට දෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් jw.org වෙබ් අඩවියේ නිර්මාණය ගැන තියෙන තොරතුරක් එයාත් එක්ක බෙදාගන්න. එතකොට පස්සේ වෙලාවක ඒකේ තියෙන ලිපියක් ගැන, වීඩියෝ එකක් ගැන ඔයාත් එක්ක කතා කරන්න එයා කැමති වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඔයා එයාට ගෞරවය පෙන්නද්දී සමහරවිට ඔයා කියන දේවල්වල ඇත්තක් තියෙනවාද කියලා හොයලා බලන්න එයා පෙලඹෙයි.
14. පන්තියේ ළමයෙක්ට අපි ගැන තියෙන වැරදි මත නිවැරදි කරන්න නියාල් අපේ වෙබ් අඩවිය පාවිච්චි කළේ කොහොමද?
14 යෞවනයෙක් වන නියාල් සාක්ෂිකරුවන් ගැන තියෙන වැරදි මත නිවැරදි කරන්න අපේ වෙබ් අඩවිය හොඳින් පාවිච්චි කළා. බලන්න එයා කියන දේ. “පන්තියේ ළමයෙක් මට හැම වෙලේම කිව්වා මං මිනිස්සු ලියපු මිථ්‍යා පොතක් ඔළුව උඩ තියාගෙන ඉන්නවා, ඒකයි සාක්ෂි පෙනිපෙනීත් මං විද්‍යාව විශ්වාස කරන්නේ නැත්තේ කියලා.” හැබැයි නියාල්ගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න එයා නියාල්ට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ නිසා නියාල් එයාට කිව්වා jw.org වෙබ් අඩවියේ තියෙන “විද්‍යාව සහ බයිබලය” කියන කොටස බලන්න කියලා. පස්සේ නියාල්ට තේරුණා එයා ඒ කොටස බලලා තිබුණා කියලා. ඒ වගේම ජීවයේ ආරම්භය ගැන බයිබලේ තියෙන දේ දැනගන්න එයා කලින්ට වඩා දැන් උනන්දුයි කියලත් නියාල් දැක්කා. අපේ වෙබ් අඩවිය හොඳට පාවිච්චි කරනවා නම් ඔයාටත් ඒ වගේ හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
පවුලක් විදිහට ලෑස්ති වෙන්න
15. අනිත් ළමයි විශ්වාසයන් ගැන ප්‍රශ්න කරද්දී මෘදු විදිහට උත්තර දෙන්න දරුවන්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද?
15 විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන අයට මෘදු විදිහට උත්තර දෙන්න දරුවන්ව හොඳටම පුහුණු කරන්න පුළුවන් දෙමාපියන්ටයි. (යාකො. 3:13) සමහර දෙමාපියන් පවුලේ නමස්කාරය වෙනුවෙන් තියෙන වෙලාව ඒකට පාවිච්චි කරනවා. එයාලා හිතනවා ඉස්කෝලේදී ළමයි අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද කියලා. ඊටපස්සේ ඒ වගේ විෂයක් තෝරගෙන ඒ ගැන සාකච්ඡා කරනවා. අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහත් පෙරහුරු කරනවා. ඒ වගේම අනිත් අයගේ හිත් දිනාගන්න විදිහට කතා කරන හැටිත් කියලා දෙනවා.—“ පවුලේ අයත් එක්ක කලින්ම ලෑස්ති වෙන්න” කියන කොටුව බලන්න.
16-17. පෙරහුරු කරන එක දරුවන්ට උදව් වෙන්නේ කොහොමද?
16 ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ පෙරහුරු කරන එක සත්‍යය අනිත් අයට තර්කානුකූලව පැහැදිලි කරලා දෙන්න විතරක් නෙවෙයි තමන්ටම තහවුරු කරගන්නත් හුඟක් උදව් වෙනවා. jw.org වෙබ් අඩවියේ “යොවුන් සිතේ ගැටලු” කියන කොටසේ යෞවනයන් වෙනුවෙන් ලිපි වගේම වැඩ පිටුත් තියෙනවා. ඒවා හදලා තියෙන්නේ සත්‍යය එයාටම ස්ථිර කරගෙන එයාගෙම වචනවලින් ඒක අනිත් අයටත් පැහැදිලි කරන්න උදව්වක් විදිහට. ඉතින් ඒවාවල තියෙන තොරතුරු පවුලක් විදිහට සාකච්ඡා කරන්න. එතකොට කවුරු හරි අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරද්දී එයාගේ හිත දිනාගන්න විදිහට, මෘදු විදිහට උත්තර දෙන්න අපිට පුළුවන්.
17 යෞවනයෙක් වුණ මැතිව්ගේ අද්දැකීමත් ඒකමයි. එයාගේ අම්මායි, තාත්තායි එයාට උදව් කරපු විදිහ ගැන මැතිව් මෙහෙම කියනවා. “ඉස්කෝලේදී අනිත් අය අහන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා අපි කලින්ම හිතුවා. ඊටපස්සේ පවුලේ නමස්කාරයේදී අපි ඒවා ගැන හොඳට අධ්‍යයනය කරලා ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් විදිහ පෙරහුරු කළා. මං දෙයක් විශ්වාස කරන්නේ ඇයි කියලා මටම ෂුවර් නං හිතට බයක් දැනෙන්නෙත් නැහැ. කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව ඒක පැහැදිලි කරන්නත් පුළුවන්.”
18. කොලොස්සි 4:6 කාවද්දන්නේ මොනවාද?
18 දෙයක් තර්කානුකූලව පැහැදිලි කළා කියලාම කෙනෙක් ඒක පිළිගන්න එකක් නැහැ. හැබැයි අපි ඒකට අවබෝධය සහ මෘදුකම එකතු කළොත් සමහරවිට අපේ උත්සාහය සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. (කොලොස්සි 4:6 කියවන්න.) අපි විශ්වාස කරන දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගන්න එක හරියට අපේ අතේ තියෙන බෝලයක් තව කෙනෙක්ට දානවා වගේ. ඕනෙ නම් එයාට ඒක අල්ලගන්න ලේසි වෙන්න හෙමින් දාන්නත් පුළුවන්, නැත්නම් දමලා ගහන්නත් පුළුවන්. හැබැයි දමලා ගැහුවොත් නම් දිගටම සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ අපි අවබෝධයෙන්, මෘදු විදිහට අනිත් අයට උත්තර දෙනවා නම් එයාලා හුඟක් වෙලාවට අපිට ඇහුම්කන් දෙන්න කැමති වෙයි. එතකොට අපේ සාකච්ඡාවත් දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි කෙනෙක් අපිත් එක්ක වාද කරලා දිනන්න හදනවා නම්, අපේ විශ්වාසයන් පාච්චල් කරනවා නම් එයාත් එක්ක දිගින් දිගටම කතා කරන එකේ කිසිම තේරුමක් නැහැ. (හිතෝ. 26:4) හැබැයි ඒ වගේ අය අපිට හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. අපි අවබෝධයෙන්, මෘදු විදිහට කතා කරද්දී හුඟදෙනෙක් අපිට ඇහුම්කන් දෙන්න කැමති වෙයි.
19. මෘදු විදිහට අපේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න අපි පෙලඹෙන්න ඕනෙ ඇයි?
19 අනිත් අයත් එක්ක මෘදු විදිහට වැඩ කරන්න අපි හැමෝම ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මොකද සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා අනිත් අය අහන ප්‍රශ්නවලට හරිම කල්පනාවෙන් උත්තර දෙන්න. අනිත් අතට සමහරු කිසිම සාධාරණ හේතුවක් නැතුව අපිව විවේචනය කරන අවස්ථාත් තියෙනවා. ඒ හැම වෙලාවකම දිගටම මෘදු විදිහට වැඩ කරන්න අපි යෙහෝවා දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලන්න ඕනේ. එහෙම කරද්දී පොඩි පොඩි මතගැටුම් ලොකු වාදවිවාදවලට පෙරළෙන්නේ නැහැ. ඒ වගේම අපි මෘදු විදිහට, ගෞරවයෙන් අනිත් අයට උත්තර දෙද්දී එයාලා අපි ගැන, බයිබලේ ගැන හිතන විදිහ වෙනස් කරගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයාගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන හැමෝටම උත්තර දෙන්න නිතරම සූදානම් වෙලා ඉන්න. එහෙම කරද්දී “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දෙන්නත් වගබලා ගන්න.” (1 පේතෘ. 3:15) ඉතින් දිගටම මෘදුකම ඔයාගේ ශක්තිය කරගන්න.
ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න
a අනිත් අය අපේ විශ්වාසයන් පහත් කරද්දී, අපිව කේන්ති ගස්සද්දී මෘදුකමින් එයාලට උත්තර දෙන්න උදව් වෙන යෝජනා කීපයක් අපි මේ ලිපියෙන් බලනවා.
b ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න 2016 අංක 4 ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙන “සමලිංගික ඇසුර ගැන බයිබලයේ කියන්නේ මොනවද?” කියන ලිපිය බලන්න.
c jw.org වෙබ් අඩවියේ තියෙන “යොවුන් සිතේ ගැටලු” කියන කොටසේ සහ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන නිතර අසන ප්‍රශ්න” කියන කොටසේ තවත් හොඳ යෝජනා තියෙනවා.