Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 38

යෞවනයෙනි, ඔයාලාගේ ජීවිතේ කොයි වගේ එකක් වෙයිද?

යෞවනයෙනි, ඔයාලාගේ ජීවිතේ කොයි වගේ එකක් වෙයිද?

“වටහාගැනීමේ හැකියාව ඔබට ආරක්ෂාවක් වනු ඇත.” —හිතෝ. 2:11.

ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

මේ ලිපියෙන් a

1. යෙහෝයාෂ්ට, උසියාට සහ යොෂියාට මුහුණ දෙන්න වුණේ මොන අභියෝගයටද?

 ළමා ළපටි වයසේදීම නැත්නම් යෞවන කාලේදීම ඔයාට දෙවියන්ගේ සෙනඟව පාලනය කරන්න වුණා කියලා හිතන්න. එහෙම වුණොත් ඔයා ඔයාගේ බලය, අධිකාරිය කොයි විදිහට පාවිච්චි කරයිද? පුංචි කාලේදීම යූදා දේශයේ රජකමට පත් වුණ ඒ වගේ කීපදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. උදාහරණෙකට යෙහෝයාෂ් රජ වුණේ අවුරුදු 7දී. උසියා රජ වුණේ 16දී. යොෂියා රජ වුණේ 8දී. පොඩි වයසේදීම එච්චර ලොකු වගකීමක් භාරගද්දී එයාලට කොයි තරම් පීඩනයක් දැනෙන්න ඇද්ද! හැබැයි කොච්චර අමාරු වුණත් අභියෝග ජය අරන් පැවරුම සාර්ථකව කරන්න ඒ හැමෝටම යෙහෝවා දෙවියන්ගෙන් වගේම අනිත් අයගෙනුත් උදව් ලැබුණා.

2. යෙහෝයාෂ්, උසියා සහ යොෂියා ගැන අපි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

2 අපි කවුරුත් රජවරුන්වත්, රැජිණියන්වත් නෙවෙයි. ඒත් මේ බයිබල් චරිත තුනෙන් අපිට ගොඩක් වටින පාඩම් ඉගෙනගන්න පුළුවන්. එයාලා හොඳ තීරණ ගත්තා. ඒ වගේම තමයි සමහර වැරදි තීරණත් ගත්තා. හොඳ යාළුවන් තෝරගන්න එක, දිගටම නිහතමානීව ඉන්න එක සහ දිගටම දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන එක කොච්චර වැදගත්ද කියලා අපි එයාලාගේ ජීවිතවලින් ඉගෙනගමු.

හොඳ යාළුවන්ව තෝරගන්න

යෙහෝයාෂ් වගේ හොඳ යාළුවන්ට ඇහුම්කන් දෙන්න (3, 7 ඡේද බලන්න) c

3. උත්තම පූජක යෙහෝයාදා මඟ පෙන්වීම් දෙද්දී යෙහෝයාෂ් කළේ මොනවාද?

3 යෙහෝයාෂ් වගේ හරි තීරණ ගන්න. පුංචි කාලේ ඉඳන් යෙහෝයාෂ්ට ගුරුහරුකම් දෙන්න තාත්තා කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසයි උත්තම පූජක යෙහෝයාදා එයාට එයාගෙම පුතෙක්ට වගේ මඟ පෙන්වීම් දුන්නේ. ඉතින් පුංචි යෙහෝයාෂ් රජ යෙහෝයාදාට කීකරු වුණා. ඒක එයා ගත්ත හොඳ තීරණයක්. යෙහෝයාදාගේ මඟ පෙන්වීමෙන් ප්‍රයෝජන ලබපු යෙහෝයාෂ් දිගටම යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න තීරණය කළා. ඒ වගේම සැබෑ නමස්කාරය වෙනුවෙන් පෙරමුණ අරන් වැඩ කළා. ඒ විතරක් නෙවෙයි දේවමාලිගාව අලුත්වැඩියා කරන්නත් සැලසුම් යෙදුවා.—2 ලේක. 24:1, 2, 4, 13, 14.

4. යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් හදවතින්ම පිළි අරන් ඒවාට කීකරු වෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (හිතෝපදේශ 2:1, 10-12)

4 යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න, ඔහුට කීකරු වෙන්න ඔයාටත් පුංචි කාලේ ඉඳන්ම උදව් ලැබුණාද? එහෙමනම් ඔයාට ලැබිලා තියෙන්නේ මිල කරන්න බැරි තෑග්ගක්. (හිතෝපදේශ 2:1, 10-12 කියවන්න.) ඇත්තටම දෙමාපියන්ට පුළුවන් ගොඩක් විදිවලින් දරුවන්ව පුහුණු කරන්න. කාට්‍යාට හොඳ තීරණ ගන්න එයාගේ තාත්තා උදව් කළේ කොහොමද කියලා බලන්න. හැමදාම කාට්‍යාව ඉස්කෝලේ එක්කගෙන යන ගමන් තාත්තා එයාත් එක්ක දිනපදය සාකච්ඡා කරනවා. බලන්න ඒ ගැන කාට්‍යා කියන දේ. “ඒ ඒ දවසේ මට ආපු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න තාත්තා කියපු දේවල් මට ගොඩක් උදව් වුණා.” ඒත් දෙමාපියන් බයිබලෙන් දෙන උපදෙස් නිසා නිදහස සීමා වෙනවා කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් එයාලා කියන දේවල් පිළිගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? ඇනස්ටේෂියාගේ අද්දැකීම බලන්න. එයා යෞවන කාලේ එයාගේ දෙමාපියන් එයාට සමහර නීති දැම්මා. හැබැයි ඒවා දැම්මේ ඇයි කියලා එයාලා කාලේ අරන් ඇනස්ටේෂියාට ආදරෙන් පැහැදිලි කරලා දුන්නා. ඒක එයාට උදව් වුණ විදිහ ගැන ඇනස්ටේෂියා මෙහෙම කියනවා. “මට තේරුණා අම්මලා නීති දැම්මේ මාව කොටු කරන්න නෙවෙයි, මට ආදරේ නිසා කියලා. එයාලට ඕන වුණේ මාව පරෙස්සම් කරන්න.”

5. ඔයා කරන දේවල් දෙමාපියන්ටයි, යෙහෝවාටයි බලපාන්නේ කොහොමද? (හිතෝපදේශ 22:6; 23:15, 24, 25)

5 බයිබලේ පාවිච්චි කරලා අම්මායි, තාත්තායි ඔයාට මඟ පෙන්වීම් දෙද්දී ඒවා පිළිගන්න. මොකද එහෙම කරද්දී ඔයා එයාලාගේ හිත සතුටු කරනවා. ඒ හැම දේටම වඩා ඔයා යෙහෝවාගේ හිත සතුටු කරනවා. එතකොට ඔහුත් එක්ක නොබිඳෙන බැඳීමක් ඇති කරගන්නත් ඔයාට පුළුවන්. (හිතෝපදේශ 22:6; 23:15, 24, 25 කියවන්න.) එහෙම බලද්දී පුංචි යෙහෝයාෂ්ව ආදර්ශයට ගන්න එක කොච්චර වටිනවාද!

6. යෙහෝයාෂ් ඇහුම්කන් දෙන්න පටන්ගත්තේ කාටද? අන්තිමේදී වුණේ මොකක්ද? (2 ලේකම් 24:17, 18)

6 යෙහෝයාෂ් ගත්ත වැරදි තීරණවලින් ඉගෙනගන්න. යෙහෝයාදා මැරුණාට පස්සේ යෙහෝයාෂ් නරක ආශ්‍රයට වැටුණා. (2 ලේකම් 24:17, 18 කියවන්න.) එයා යෙහෝවා දෙවියන්ට ආදරේ කරපු නැති යූදාහි අධිපතීන්ව යාළුවෝ කරගත්තා. ‘අපරාදේ යෙහෝයාෂ් ඒ වගේ අයව කිට්ටු කරගත්තේ’ කියලා ඔයාට හිතෙනවා ඇති. (හිතෝ. 1:10) හැබැයි යෙහෝයාෂ්ට නම් එහෙම හිතුණේ නැහැ. ඒ වෙනුවට එයා එයාගේ යාළුවන්ට ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. ඒ නිසා යෙහෝයාෂ් කොච්චර වෙනස් වුණාද කියනවා නම් එයාගේ නෑදෑයෙක් වුණ සෙකරියා එයාව නිවැරදි කරන්න හදද්දී එයා සෙකරියාව මරලා දැම්මා. (2 ලේක. 24:20, 21; මතෙ. 23:35) යෙහෝයාෂ් කොච්චර දුෂ්ටද! කොච්චර මෝඩද! මුලදී එයා ජීවිතේ ලස්සනට පටන්ගත්තා. ඒත් පස්සේ එයා යෙහෝවා දෙවියන්ව අත්හැරපු මිනීමරුවෙක් වුණා. අන්තිමේදී එයාගෙම සේවකයන් අතින් එයාට මැරුම් කන්න වුණා. (2 ලේක. 24:22-25) යෙහෝයාෂ් යෙහෝවා දෙවියන්ටයි, යෙහෝවාට ආදරේ කරපු අයටයි ඇහුම්කන් දුන්නා නම් එයාගේ ජීවිතේ මීට වඩා කොච්චර වෙනස් වෙන්න තිබුණාද! ඉතින් යෙහෝයාෂ්ගෙන් ඔයා ජීවිතේට එකතු කරගන්න කැමති පාඩම් මොනවාද?

7. ඔයා තෝරගන්න ඕනෙ මොන වගේ යාළුවන්වද? (පින්තූරයත් බලන්න.)

7 අපි යාළුවන් විදිහට තෝරගන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ඔහුව සතුටු කරන්න උත්සාහ කරන අයව විතරයි. එයාලා අපේම වයසේ අය වෙන්නම ඕනෙ නැහැ. මතකද යෙහෝයාෂ් යෙහෝයාදාට වඩා හුඟක් බාලයි. ඒත් ඒ දෙන්නා හොඳ යාළුවෝ වුණා. ඉතින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ යාළුවෝ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය වැඩි කරන්න මට උදව් කරනවාද? දෙවියන්ගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න එයාලා මට දිරිගන්වනවාද? යෙහෝවා ගැන, බයිබලේ තියෙන සත්‍යයන් ගැන එයාලා නිතරම කතා කරනවාද? එයාලා දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවාද? එයාලා කියන්නේ මං අහන්න කැමති දේ විතරද? නැත්තං මං වරදක් කළොත් එයාලා ඒක බය නැතුව මට පෙන්නලා දෙනවාද?’ (හිතෝ. 27:5, 6, 17) ඇත්තම කිව්වොත් ඔයාගේ යාළුවන් යෙහෝවාට ආදරේ කරන්නේ නැත්නම් එයාලා එක්ක වැඩි ඇයි හොඳයියක් ඕනෙ නැහැ. ඒත් යෙහෝවාට ඇත්තටම ආදරේ කරන යාළුවෝ ඔයාට ඉන්නවා නම් කවදාවත් එයාලව අත්හරින්න එපා. මොකද සත්‍යයේ ගමන යන්න එයාලා ඔයාට ලොකු හයියක්!—හිතෝ. 13:20.

8. සෝෂල් මීඩියා පාවිච්චි කරනවා නම් අපි හිතලා බලන්න ඕනෙ මොකක් ගැනද?

8 පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක කතාබහ කරන්න සෝෂල් මීඩියා හොඳ තෝතැන්නක් වෙන්න පුළුවන්. ඒත් හුඟක් අය ඒක පාවිච්චි කරන්නේ අනිත් අයගේ අවධානය ඇදගන්න. ඒ නිසා එයාලා කරන කියන දේවල් ගැන, ගන්න දේවල් ගැන ෆොටෝ, වීඩියෝ නිතරම දානවා. ඔයාත් සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක්ද? එහෙමනම් ඔයාගනේම මෙහෙම අහගන්න. ‘ඒකට මං දේවල් දාන්නේ අනිත් අය ඉස්සරහා කැපිලා පේන්නද? මට ඕනෙ අනිත් අයත් එක්ක හොඳ දේවල් බෙදාගන්නද නැත්තං මටම අවධානය ගන්නද? මං සෝෂල් මීඩියාවල එල්ලිලාම ඉන්න අයගේ බලපෑමට අහු වෙලා කියලා මං කරන දේවල්වලින්, හිතන විදිහෙන් පේනවාද?’ පාලක මණ්ඩලයේ සේවේ කරපු සහෝදර නේතන් නෝර් දවසක් මෙහෙම කිව්වා. “කවදාවත් මිනිස්සුන්ව සතුටු කරන්න හදන්න එපා. මොකද ඒකෙන් අන්තිමේදී කවුරුත් සතුටු වෙන්නේ නෑ. යෙහෝවාව සතුටු කරන්න. එතකොට යෙහෝවාට ආදරේ කරන හැමෝම සතුටු වෙයි.”

දිගටම නිහතමානී වෙන්න

9. යෙහෝවා උසියාට උදව් කළේ මොනවා කරන්නද? (2 ලේකම් 26:1-5)

9 උසියා වගේ හරි තීරණ ගන්න. යෞවන කාලේදී උසියා රජ “සැබෑ දෙවිට ගරුබිය දක්වපු” නිහතමානී කෙනෙක්. ඒ නිසා එයා ජීවත් වුණ අවුරුදු 68න් වැඩි හරියකටම යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණා. (2 ලේකම් 26:1-5 කියවන්න.) උසියාට පුළුවන් වුණා හුඟක් සතුරු ජාතීන්ව පරද්දලා යෙරුසලමේ ආරක්ෂාව තව වැඩි කරන්න. (2 ලේක. 26:6-15) යෙහෝවාගේ උදව්වෙන් ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් වුණ එක ගැන උසියා ගොඩක් සතුටු වෙන්න ඇති.—දේශ. 3:12, 13.

10. අන්තිමේදී උසියාට වුණේ මොකක්ද?

10 උසියා ගත්ත වැරදි තීරණවලින් ඉගෙනගන්න. උසියා යූදා දේශයේ රජ නිසා අනිත් අයට අණ දෙන එක එයාට හොඳට හුරුයි. ඒ නිසා එයා කැමති දේ කරන්න ඉඩ දීලා අනිත් අය ඔළුව පහත් කරගෙන ඉන්න ඕනෙ කියලා එයා හිතුවාවත්ද? මොකද දවසක් උසියා දේවමාලිගාවට ඇතුල් වෙලා සුවඳ දුම් ඔප්පු කරන්න හැදුවා. ඒක රජ කෙනෙක්ට කොහොමටවත් කරන්න අවසර තිබුණ දෙයක් නෙවෙයි. (2 ලේක. 26:16-18) ඒ වෙලාවේ උත්තම පූජක අෂරියා එයාව නිවැරදි කරන්න හැදුවා. හැබැයි ඒක පිළිගන්නවා වෙනුවට උසියා හොඳටම කේන්ති ගත්තා. අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසවන්තව ඉඳලා ගොඩනඟාගත්ත එයාගේ හොඳ නමට අන්තිමේදී කලු පැල්ලමක් වැදුණා. යෙහෝවා දඬුවම් කරපු නිසා එයාට ලාදුරු රෝගයත් හැදුණා. (2 ලේක. 26:19-21) උසියා දිගටම නිහතමානී වෙලා හිටියා නම් එයාගේ කතාව මීට වඩා කොච්චර වෙනස් වෙන්න තිබුණාද!

ඔයා කරන දේවල් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැතුව හැම ප්‍රශංසාවක්ම යෙහෝවාට දෙන්න (11 ඡේදය බලන්න) d

11. අපි නිහතමානියි කියලා පේන්නේ මොන වගේ දේවල්වලින්ද? (පින්තූරයත් බලන්න.)

11 උසියා ගොඩක් බලවත් වුණාම එයා අත් කරගත්ත හැම දෙයක් පිටිපස්සේම හිටියේ යෙහෝවා කියලා එයාට අමතක වුණා. මොකක්ද පාඩම? අපිට තියෙන පැවරුම්, ලැබිලා තියෙන ආශීර්වාද අපිට දුන්නේ යෙහෝවා කියන එක අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි කරපු දේවල් ගැන මහ උජාරුවෙන් කියවන්නේ නැතුව අපි හැම ප්‍රශංසාවක්ම යෙහෝවාට දෙන්න ඕනේ. b (1 කොරි. 4:7) ඒ වගේම අපි නිහතමානීව පිළිගන්න ඕනෙ අපි අතිනුත් අඩුපාඩු වෙන නිසා අපිටත් කාලෙන් කාලෙට නිවැරදි කිරීම් ඕනෙ කියලා. වයස අවුරුදු 60 ගණන්වල ඉන්න සහෝදරයෙක් කියපු දේ බලන්න. “අනිත් අය මගේ වැරදි අඩුපාඩුකම් පෙන්නලා දෙද්දී කේන්ති ගන්නෙවත් අධෛර්යය වෙන්නෙවත් නැතුව ඉන්න මං ඉගෙනගෙන තියෙනවා. සමහර වෙලාවට මගේ අතිනුත් මෝඩ වැඩ වෙනවා තමයි. ඒත් කෙනෙක් මගේ වරද පෙන්නලා දෙද්දී ඒක හදාගෙන ඉස්සරහට යන්නයි මට ඕනේ.” අපි හැමෝම මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ අපි යෙහෝවා ගැන ගරුබියක් ඇති කරගෙන දිගටම නිහතමානී වුණොත් විතරයි කියන එක.—හිතෝ. 22:4.

දිගටම යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න

12. යෞවන කාලේදී යොෂියා යෙහෝවාගේ මඟ පෙන්වීම් පැතුවේ කොහොමද? (2 ලේකම් 34:1-3)

12 යොෂියා වගේ හරි තීරණ ගන්න. යොෂියා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්න පටන්ගත්තේ යෞවන වයසේදීමයි. යෙහෝවා ගැන ඉගෙනගෙන ඔහුගේ කැමැත්ත කරන්න එයාට ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි මේ තරුණ රජට ජීවිතේ ලේසි වුණේ නැහැ. මොකද ඒ කාලේ බොරු නමස්කාරය දේශය පුරා වසංගතයක් වගේ පැතිරිලයි තිබුණේ. ඒත් යොෂියා සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව පියවර ගත්තා. කොච්චරද කියනවා නම් එයාට අවුරුදු 20ක් වෙන්නත් කලින් එයා දේශයෙන් බොරු නමස්කාරය අතුගාලා දාන්න පටන්ගත්තා.—2 ලේකම් 34:1-3 කියවන්න.

13. කැප වීමෙන් පස්සේ ඔයාගේ ජීවිතේ වෙන්නේ මොන වගේ වෙනසක්ද?

13 ඔයා ළාබාල කෙනෙක් නම් ඔයාටත් පුළුවන් යොෂියා වගේ වෙන්න අධිෂ්ඨාන කරගන්න. ඒකට යෙහෝවා ගැන තව ඉගෙනගෙන ඔහුගේ ලස්සන ගුණාංග ගැන අගයක් ඇති කරගන්න. ඒක ඔයාව පොලඹවයි ඔයාගේ ජීවිතේ ඔහුට කැප කරන්න. කැප වීමෙන් පස්සේ ඔයාගේ ජීවිතේ මොන වගේ වෙනසක් වෙයිද? අවුරුදු 14දී බව්තීස්ම වුණ ලූක් මෙහෙම කියනවා. “කැප වෙච්ච දවසේ ඉඳලා යෙහෝවා තමයි මගේ ජීවිතේ අංක එක. මට ඕනෙ හැම දේකින්ම ඔහුව සතුටු කරන්න.” (මාක් 12:30) ඔයාටත් ඒ වගේ අධිෂ්ඨානයක් තියෙනවා නම් ඒකෙන් කොච්චර ආශීර්වාද ලැබෙයිද!

14. සමහර යෞවනයන් යොෂියාව ආදර්ශයට අරන් තියෙන්නේ කොහොමද?

14 යෙහෝවාට සේවේ කරන යෞවනයෙක් විදිහට ඔයාට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද? ජොහාන් අවුරුදු 12දී බව්තීස්ම වුණ යෞවනයෙක්. ඉලෙක්ට්‍රොනික සිගරට් බොන්න කියලා එයාගේ පන්තියේ ළමයි හැම තිස්සේම එයාට බල කළා. ඒකට යට නොවී ඉන්න ජොහාන්ට උදව් වුණේ මොකක්ද? ඒවා බොන එකෙන් සෞඛ්‍යයට, යෙහෝවා එක්ක තියෙන බැඳීමට වෙන හානිය ගැන එයා හිතුවා. අවුරුදු 14දී බව්තීස්ම වුණ රේචල්ටත් ඉස්කෝලෙන් ගොඩක් අභියෝග ආවා. ඒවාට මුහුණ දෙන්න එයා කරපු දේවල් ගැන එයා මෙහෙම කියනවා. “මං ඒ වගේ වෙලාවට යෙහෝවා ගැන, බයිබලෙන් ඉගෙනගත්ත දෙයක් ගැන මතක් කරගන්නවා. උදාහරණෙකට ඉතිහාස පාඩමක් කරද්දී බයිබල් වාර්තාවක් හරි අනාවැකියක් හරි ඒකට සම්බන්ධ වෙන විදිහ ගැන මං හිතනවා. නැත්නම් යාළුවෙක් එක්ක නිකං කතා කරකර ඉද්දී එයාට පෙන්නන්න හොඳ බයිබල් පදයක් ගැන මං හිතනවා.” ඇත්ත සමහරවිට ඔයාට එන්නේ යොෂියාට ආපු අභියෝගම නෙවෙයි. ඒත් යොෂියා වගේ යෙහෝවාට ළැදි වෙලා, ඥානවන්ත තීරණ ගන්න ඔයාටත් පුළුවන්. ඇත්තටම දැන් එන අභියෝග ඉස්සරහට එන ලොකු ලොකු අභියෝගවලට මුහුණ දෙන්න ඔයාට හොඳ පුහුණුවක්!

15. යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන්න යොෂියාට උදව් වුණේ මොනවාද? (2 ලේකම් 34:14, 18-21)

15 වැඩිහිටියෙක් වුණාම යොෂියා රජ දේවමාලිගාව අලුත්වැඩියා කරන්න පටන්ගත්තා. ඒ කාලේදී තමයි “මෝසෙස් විසින් ලියන ලද යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල” එයාලට හම්බ වුණේ. ඒ ලියවිල්ලේ තියෙන දේවල් ඇහුවාම ඒකේ කියලා තියෙන විදිහටම දේවල් කරන්න රජ ඉක්මනින්ම පියවර ගත්තා. (2 ලේකම් 34:14, 18-21 කියවන්න.) ඔයාත් ආසද හැමදාම බයිබලේ කියවන්න ඉලක්කයක් තියාගන්න? ඔයා දැනටමත් බයිබලේ කියවන්න පටන් අරන් නම් තියෙන්නේ, කොහොමද මේ දවස්වල ඔයාගේ බයිබල් කියවීමේ තත්වය? ඔයාට උදව් වෙන බයිබල් පද ඔයා කොහේ හරි ලියලා තියාගන්නවාද? කලින් සඳහන් කරපු ලූක් බයිබලේ කියවද්දී හොඳ තොරතුරක් හම්බ වුණාම ඒක වෙනම පොතක ලියලා තියාගන්නවා. එහෙම කළොත් හොඳයි කියලා ඔයාටත් හිතෙන්නේ නැද්ද? එතකොට බයිබල් පදයක්, ඒකෙන් ඉගෙනගත්ත පාඩමක් හරි ලේසියෙන්ම මතක් කරගන්න ඔයාට පුළුවන්. බයිබලේ ගැන තව දැනගද්දී, ඒ ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙද්දී යෙහෝවාට සේවේ කරන්න ඔයාගේ හිතේ තියෙන ආසාවත් තව වැඩි වෙයි. එතකොට යොෂියා වගේ දේවවචනයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන්න ඔයාත් පෙලඹෙයි.

16. යොෂියා අතින් බරපතළ වරදක් වුණේ ඇයි? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

16 යොෂියා ගත්ත වැරදි තීරණවලින් ඉගෙනගන්න. යොෂියාට අවුරුදු 39ක් විතර වෙද්දී එයා අතින් වුණ බරපතළ වරදක් නිසා එයාගේ ජීවිතේ නැති වුණා. එච්චර දෙයක් වෙන්න තරම් යොෂියා මොනවාද කළේ? එයා යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතනවා වෙනුවට එයාවම විශ්වාස කරලා වැඩ කළා. (2 ලේක. 35:20-25) මේකෙන් අපිටත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අපි වයසින් මුහුකුරා ගියත් කොච්චර කාලයක් බයිබලේ අධ්‍යයනය කරලා තිබුණත් අපි දිගටම යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්න ඕනේ. ඒකට අපි වරද්දන්නේ නැතුව දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ. බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. අවබෝධයෙන් වැඩ කරන අයගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න ඕනේ. එහෙම කළොත් වරදින අවස්ථා අඩු කරගෙන සතුටින් ඉන්න අවස්ථා වැඩි කරගන්න අපිට පුළුවන්.—යාකො. 1:25.

ජීවිතේ දිනන්න ඔයාටත් පුළුවන්

17. යූදාවල රජවරු තුන්දෙනාගෙන් අපි ඉගෙනගත්තේ මොනවාද?

17 යෞවන කාලේ කියන්නේ ජීවිතේ රස විඳලා සතුටින් ඉන්න ඕන කාලයක්. යෙහෝයාෂ්, උසියා සහ යොෂියාගේ වාර්තාවලින් අපි බලපු විදිහට යෞවනයන්ට පුළුවන් හොඳ තීරණ අරන් යෙහෝවා සතුටු වෙන විදිහට ජීවත් වෙන්න. ඇත්ත, පටන්ගැන්ම හොඳ වුණ පළියට අවසානය හොඳ වෙයි කියලා කියන්න බැහැ. හැබැයි අපිට පුළුවන් එයාලා කරපු හොඳ දේවල් ආදර්ශයට අරන් එයාලා කරපු වැරදි නොකර ඉන්න. එහෙම කළොත් නම් අවසන් ප්‍රතිඵලය හොඳ වෙයි.

යෞවන කාලේ ඉඳන්ම දාවිත් යෙහෝවාට ළං වෙලා ඔහුගේ අනුමැතිය දිනාගත්තා. ඒ නිසා එයාගේ ජීවිතේ සාර්ථක වුණා (18 ඡේදය බලන්න)

18. ඔයාට ඔයාගේ ජීවිතේ දිනන්න පුළුවන් කියලා පැහැදිලි වෙන බයිබල් ආදර්ශ මොනවාද? (පින්තූරයත් බලන්න.)

18 යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඔහුගේ අනුමැතිය දිනාගෙන ජීවිතේ දිනපු යෞවනයන් හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. දාවිත් කියන්නේ ඒ වගේ කෙනෙක්. පුංචි කාලේදීම එයා දෙවියන්ට ළැදි වෙලා පස්සේ විශ්වාසවන්ත රජ කෙනෙක් වුණා. විටින් විට එයාගේ අතිනුත් වැරදි නොවුණාම නෙවෙයි. ඒත් එයාගේ ජීවිතේ දිහා බැලුවාම යෙහෝවා එයා ගැන ගොඩක් සතුටු වුණා කියලා පැහැදිලියි. (1 රාජා. 3:6; 9:4, 5; 14:8) ඉතින් දාවිත් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කළොත් නරකද? මොකද යෙහෝවාට දිගටම විශ්වාසවන්තව සේවේ කරන්න ඒක ඔයාට උදව් වෙයි. ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් මාක් ගැන හරි තිමෝති ගැන හරි අධ්‍යයනය කරන්න. එයාලත් පුංචි කාලේ ඉඳන්ම විශ්වාසවන්තව සේවේ කරලා දෙවියන් ඉස්සරහා හොඳ නමක් දිනාගෙන ජීවිතේ ජය ගත්ත අය.

19. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ මොන වගේ එකක් කරගන්නද?

19 යෞවනයෙනි, ඔයාගේ ජීවිතේ කොයි වගේ එකක් වෙයිද? ඒක තීරණය වෙන්නේ ඔයා දැන් කරන දේවල්වලින්. ඒ නිසා ඔයා අඩිය තියන්නේ කොයි පාරේද කියලා ඔයාම තීරණය කරන්නේ නැතුව යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා ඔයාට මඟ පෙන්නන්න ඔහුට ඉඩ දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔහු ඔයාව හරි පාරේ ගෙනියයි. (හිතෝ. 20:24) ඒ වගේම ඔයාගේ ජීවිතේ ආශීර්වාදවලින් පිරුණු එකක් වෙයි. අමතක කරන්න එපා ඔයා යෙහෝවා වෙනුවෙන් කරන පුංචි දෙයක් වුණත් ඔහුට ගොඩක් වටිනවා. ඇත්තටම යෙහෝවාට සේවේ කරනවා ඇරෙන්න ඔයාට ඔයාගේ ජීවිතෙන් කරන්න ඊට වඩා හොඳ දෙයක් තව තියෙනවාද!

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

a යෙහෝවා දෙවියන් දන්නවා ඔහුත් එක්ක තියෙන යාළුකමට තර්ජනයක් වෙන දේවල්වලට යෞවනයන් මුහුණ දෙනවා කියලා. ඉතින් හොඳ තීරණ අරන් දෙවියන්ව සතුටු කරන්න යෞවනයන්ට පුළුවන් කොහොමද? ඒකට උත්තරේ දැනගන්න යූදාවල රජකම් කරපු පිරිමි ළමයි තුන්දෙනෙක් ගැන අපි බලමු. එයාලා ගත්ත තීරණවලින් යෞවනයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් බලමු.

b jw.org වෙබ් අඩවියේ තියෙන “ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?” කියන ලිපියේ “බොරු නිහතමානිකමක් පෙන්නලා පම්පෝරි ගහන්න එපා!” කියන කොටුව බලන්න.

c පින්තූරයේ අදහස: අවබෝධයෙන් වැඩ කරන සහෝදරියක් තරුණ සහෝදරියකට මඟ පෙන්වීමක් දෙනවා.

d පින්තූරවල අදහස: යෙහෝවා මත රඳා ඉඳලා සහෝදරියක් සමුළුවක පැවරුමක් කරනවා. එයා ඒකට ප්‍රශංසාව දෙන්නේ යෙහෝවා දෙවියන්ට.