Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 37

සැම්සන් වගේ යෙහෝවා දෙවියන් මතම රැඳිලා ඉන්න

සැම්සන් වගේ යෙහෝවා දෙවියන් මතම රැඳිලා ඉන්න

‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ මේ කන්නලව්වට සවන් දෙන්න. මට ඔබේ බලය දෙන්න.’—විනි. 16:28.

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

මේ ලිපියෙන් a

1-2. සැම්සන්ගේ ජීවිත කතාව අධ්‍යයනය කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 සැම්සන්. ඒ නම ඇහෙද්දී ඔයාට මතක් වෙන්නේ මොකක්ද? සමහරවිට ලොකු ශක්තියක් තියෙන අයෝමය පුරුෂයෙක්ව ඔයාගේ මනසට එනවා ඇති. ඔව්, ඒක ඇත්ත. හැබැයි සැම්සන් ගත්ත එක වැරදි තීරණයක් නිසා එයාට හුඟක් දුක් විඳින්න වුණා. ඒත් යෙහෝවා අවධානය දුන්නේ එයාගේ අතින් වුණ වැරැද්දට නෙවෙයි, එයා ජීවිත කාලේ පුරාම පෙන්නපු විශ්වාසයට. ඒ නිසයි එයාගේ කතාව අපේ ප්‍රයෝජනය වෙනුවෙන් දෙවියන් බයිබලේටත් ඇතුළත් කළේ.

2 දෙවියන්ගේ සෙනඟ වුණ ඊශ්‍රායෙල් ජාතිය බේරගන්න යෙහෝවා දෙවියන් සැම්සන්ට පුදුමාකාර දේවල් කරන්න හැකියාව දුන්නා. සැම්සන් මැරිලා සියවස් ගාණක් ගියත් යෙහෝවා එයාව අමතක කළේ නැහැ. ඒ නිසයි විශ්වාසවන්ත පුරුෂයන් ගැන සඳහන් කරද්දී ඒ අතරට සැම්සන්ගේ නමත් ඇතුළත් කරන්න යෙහෝවා පාවුල්ට මඟ පෙන්නුවේ. (හෙබ්‍රෙ. 11:32-34) ඇත්තටම සැම්සන්ගේ ආදර්ශයෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද එයා හැම තිස්සේම යෙහෝවා මතම රැඳිලා හිටියා. ඉතින් සැම්සන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් එයාගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවාව විශ්වාස කළා

3. සැම්සන්ට ලැබුණ පැවරුම මොකක්ද?

3 සැම්සන් ඉපදෙද්දී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළේ පිලිස්තිවරු. ඒ කෲර පාලනය නිසා ඊශ්‍රායෙල්වරු දහ දුක් වින්දා. (විනි. 13:1) ඒ නිසයි “පිලිස්තිවරු යටතේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න” යෙහෝවා දෙවියන් සැම්සන්ව තෝරගත්තේ. (විනි. 13:5) මොන තරම් අමාරු පැවරුමක්ද! මේ පැවරුම සාර්ථකව ඉටු කරන්න නම් සැම්සන්ට අනිවාර්යයෙන්ම යෙහෝවා මත රඳා ඉන්න වුණා.

සැම්සන් යෙහෝවා මත රඳා ඉඳලා තත්වයට අනුව හැඩගැහුණා. දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න එයා ළඟ තිබුණ දේ එයා පාවිච්චි කළා (4-5 ඡේද බලන්න)

4. පිලිස්තිවරුන්ගෙන් බේරෙන්න යෙහෝවා සැම්සන්ට උදව් කළේ කොහොමද? (විනිශ්චයකරුවෝ 15:14-16)

4 සැම්සන් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කළේ කොහොමද? යෙහෝවා එයාට උදව් කළේ කොහොමද? ඒ ගැන තේරුම්ගන්න අපි එක සිද්ධියක් බලමු. සැරයක් පිලිස්තිය හමුදාව ලේහීවලට ආවා. ඒක යූදා දේශයට අයිති නගරයක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා එහේ හිටපු යුදෙව්වන් සෑහෙන්න බය වෙලා පිලිස්තිවරු ඉල්ලපු විදිහට සැම්සන්ව පිලිස්තිවරුන්ට භාර දෙන්න තීරණය කළා. ඉතින් එයාලා අලුත්ම කඹ දෙකකින් සැම්සන්ව ගැටගහලා පිලිස්තිවරුන්ට බාර දුන්නා. (විනි. 15:9-13) හැබැයි “යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වුණ” නිසා එයා හරිම ලේසියෙන් ඒ කඹ දෙක කැඩුවා. ඊටපස්සේ ළඟ තිබුණ “බූරුවෙක්ගේ හකු ඇටයකින්” පිලිස්තිවරු 1,000ක් මරලා දැම්මා.—විනිශ්චයකරුවෝ 15:14-16 කියවන්න.

5. බූරුවෙක්ගේ හකු ඇටයක් පාවිච්චි කරපු එකෙන් සැම්සන්ට යෙහෝවා ගැන තිබුණ විශ්වාසය පෙනුණේ කොහොමද?

5 ඒත් පිලිස්තිවරුන්ට පහර දෙන්න හකු ඇටයක් පාවිච්චි කරපු එක නම් හරිම අමුතු දෙයක්. ඇයි සැම්සන් ඒ වගේ දෙයක් කළේ? මොකද එයා විශ්වාසය තිබ්බේ එයා ළඟ තියෙන දේවල් මත නෙවෙයි, යෙහෝවා දෙවියන් මත. එයා දැනන් හිටියා මොන ආයුධය පාවිච්චි කළත් යෙහෝවා අනිවාර්යයෙන්ම එයාට ජය අත් කරලා දෙනවා කියලා. ඉතින් සැම්සන් ළඟ ඒ වෙලාවේ තිබුණේ මොකක්ද, එයා ඒක පාවිච්චි කරලා දෙවියන්ගේ අරමුණ ඉටු කළා. එයා යෙහෝවා මත රඳා හිටපු නිසා හිතුවාටත් වඩා සාර්ථක වුණා.

6. සැම්සන්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් එක පාඩමක් මොකක්ද?

6 කොච්චර අමාරුයි කියලා හිතුණත් ඕනම පැවරුමක් සාර්ථකව කරන්න අපිට ශක්තිය දෙන්නත් දෙවියන්ට පුළුවන්. සමහර වෙලාවට පැවරුම හොඳට කරන්න යෙහෝවාගේ උදව් ලැබෙන විදිහ දකිද්දී ඔයා පුදුම වෙයි. ඒ නිසා දිගටම යෙහෝවා මතම රඳා ඉන්න. එතකොට සැම්සන්ට ශක්තිය දීපු යෙහෝවා දෙවියන්ම ඔයාටත් ශක්තිය දෙයි.—හිතෝ. 16:3.

7. යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන එකේ වැදගත්කම පෙන්නන උදාහරණයක් කියන්න.

7 සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට හවුල් වුණ හුඟක් සහෝදර සහෝදරියන් යෙහෝවා දෙවියන් මත විශ්වාසය තියලා වැඩ කරලා තියෙනවා. ඉස්සර ගොඩනැඟිල්ලක් හදන්න ඕනෙ වුණාම අත්තිවාරමේ ඉඳන් හැම දෙයක්ම අලුතෙන්ම හදනවා. හැබැයි සංවිධානයේ වර්ධනයත් එක්කම සහෝදරයෝ දැක්කා ඒ සැලැස්මේ වෙනසක් කරන්න ඕනෙ කියලා. ඒ නිසා පෙරමුණ ගන්න සහෝදරයෝ ඒ ගැන යෙහෝවාට යාච්ඤා කරලා මඟ පෙන්වීම් පැතුවා. එයාලා හඳුන්වලා දුන්න එක ක්‍රමයක් තමයි අලුතෙන්ම ගොඩනැඟිල්ලක් හදනවා වෙනුවට තියෙන එකක් අරගෙන ඒක අලුත්වැඩියා කරන එක. මෑත කාලේදී සිද්ධ වුණ ගොඩනැඟිලි ව්‍යාපෘති කීපයකම වැඩ කරපු සහෝදර රොබට් ඒ ගැන කියන දේ බලන්න. “මුලදී හුඟක් අය හිතුවේ මේ ක්‍රමය හරියන්නේ නෑ කියලා. මොකද අවුරුදු ගාණක්ම අපි කරගෙන ආවේ වෙනස්ම විදිහක්. හැබැයි කොහොම වුණත් එයාලා ඒ මඟ පෙන්වීමට කීකරු වෙලා ඒ වෙනසට ඉක්මනටම හැඩගැහුණා. ඒ නිසා ඒ වැඩවලට යෙහෝවා ආශීර්වාද කරපු විදිහ පැහැදිලිවම පෙනුණා.” තමන්ගේ අරමුණ ඉටු කරන්න යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්නනවා කියන එකට ඒක එක උදාහරණයක් විතරයි. මොකක්ද ඒකෙන් අපිට තියෙන පාඩම? අපිටත් පුළුවන් කාලෙන් කාලෙට අපෙන්ම මෙහෙම අහගන්න. ‘මං හැම වෙලේම යෙහෝවාගේ මඟ පෙන්වීම් පතලා ඔහු කියන විදිහට වෙනස්කම් කරගන්න සූදානම්ද?’

යෙහෝවා දෙවියන්ගේ සැපයුම්වලින් ප්‍රයෝජන ගත්තා

8. ලොකු තිබහක් ආවාම සැම්සන් කළේ මොකක්ද?

8 සැම්සන් කරපු තවත් පුදුමාකාර දේවල් ඔයා සමහරවිට කියවලා ඇති. සැරයක් එයා තනියම සිංහයෙක් එක්ක සටන් කරලා ඌව මරලා දැම්මා. තවත් දවසක අෂ්කෙලොන් කියන නගරයේදී පිලිස්තිවරු 30දෙනෙක්ව මරලා දැම්මා. (විනි. 14:5, 6, 19) හැබැයි මේ මොන හපන්කම කළත් එයා දැනන් හිටියා යෙහෝවාගේ උදව් නැත්නම් මේ කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැ කියලා. කොහොමද අපි ඒක දන්නේ? දවසක් පිලිස්තිවරු 1,000ක් එක්ක සටන් කරලා ජය ගත්තාට පස්සේ සැම්සන්ට ලොකු තිබහක් ආවා. සැම්සන් කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඕනෙ නම් එයාටම ගිහින් වතුර හොයාගෙන බොන්න තිබ්බා. හැබැයි එහෙම කරනවා වෙනුවට එයා වතුර ඉල්ලලා යෙහෝවාටයි යාච්ඤා කළේ.—විනි. 15:18.

9. සැම්සන් උදව් ඉල්ලද්දී යෙහෝවා කළේ මොනවාද? (විනිශ්චයකරුවෝ 15:19)

9 සැම්සන් කරපු කන්නලව්වට යෙහෝවා ආශ්චර්යවත් විදිහට උත්තර දුන්නා. ඔහු පර්වතයකින් වතුර ගලාගෙන එන්න සැලැස්සුවා. ඒ ‘වතුර බීලා සැම්සන් ආයෙත් ප්‍රාණවත් වුණා.’ (විනිශ්චයකරුවෝ 15:19 කියවන්න.) පේන විදිහට ඒ වතුර පාර ඊට අවුරුදු ගාණකට පස්සේ, ඒ කියන්නේ විනිශ්චයකරුවෝ පොත ලියපු සාමුවෙල්ගේ කාලේ වෙන කල් තිබුණා. ඉතින් ඒ වතුර දකින සැරයක් සැරයක් ගාණේ ඊශ්‍රායෙල්වරුන්ට මතක් වෙන්න ඇති උදව් ඕනෙ වෙලාවක ඕනම කෙනෙක්ට යෙහෝවා මත රඳා ඉන්න පුළුවන් කියලා.

යෙහෝවා සපයලා දුන්න වතුර බිව්වාට පස්සේ සැම්සන් ශක්තිමත් වුණා. යෙහෝවා අදත් අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ලබා දෙන වතුරවලින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් (10 ඡේදය බලන්න)

10. යෙහෝවා දෙවියන්ගේ උදව් ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (පින්තූරයත් බලන්න.)

10 අපි කොච්චර දක්ෂ අය වුණත් අපිට ගොඩක් හැකියාවන් තිබුණත් අපි ගොඩක් පැවරුම් කරලා තිබුණත් අපි හැම වෙලේම යෙහෝවා දිහාම බලාගෙන ඉන්න ඕනේ. ඒක කරන්න නම් අපි නිහතමානීව පිළිගන්න ඕනෙ යෙහෝවා මත රඳා හිටියොත් විතරයි අපිට සාර්ථක වෙන්න පුළුවන් කියලා. එදා යෙහෝවා සැම්සන්ට වතුර සපයලා දුන්නා වගේ අද දාසයා මාර්ගයෙන් අපිවත් පෝෂණය කරනවා. ඒ හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්නවා නම් විතරයි අපිටත් ප්‍රාණවත් වෙන්න පුළුවන් වෙන්නේ.—මතෙ. 11:28.

11. යෙහෝවා දෙවියන් දෙන දේවල්වලින් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

11 රුසියාවේ ගොඩක් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්න සහෝදර අලෙක්සිගේ අද්දැකීම දැන් අපි බලමු. ගොඩක් අමාරුකම් මැද එයායි, එයාගේ නෝනායි ශක්තිමත්ව හිටියා. බලන්න ඒ ගැන සහෝදර අලෙක්සි කියන දේ. “පෞද්ගලික අධ්‍යයනය, බයිබල් කියවීම වරද්දන්නේ නැතුව කරන්න මං හැම වෙලේම උත්සාහ කරනවා. ඒ වගේම මායි, නෝනායි හැමදාම උදේට දිනපදය කියවලා එකට යාච්ඤාත් කරනවා.” ඒ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා අපි හැම වෙලේම විශ්වාසය තියන්න ඕනෙ අපි මත නෙවෙයි යෙහෝවා මත කියලා. ඒක කරන්න නම් අපි අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට තමයි කාලසටහනකට අනුව වරද්දන්නේ නැතුව බයිබලේ අධ්‍යයනය කරන එක සහ නමස්කාරයේ දේවල් කරන එක වැදගත් වෙන්නේ. අපි අපේ පැත්තෙන් ඒ දේවල් කරද්දී යෙහෝවාත් ඔහුගේ පැත්තෙන් අපිට ආශීර්වාද කරයි කියලා කිසිම සැකයක් නැහැ. ඔහු එදා සැම්සන්ව ශක්තිමත් කළා වගේ අපිවත් අනිවාර්යයෙන්ම ශක්තිමත් කරනවා.

මොන දේ වුණත් අත්හැරියේ නැහැ

12. සැම්සන් ගත්ත වැරදි තීරණය මොකක්ද? දෙලීලාගේ සිද්ධිය අනිත් ඒවාට වඩා වෙනස් ඇයි?

12 සැම්සන් කියන්නේ අපි වගේම පාපය උරුම කරගත්ත කෙනෙක්. ඒ නිසා එයාත් මෝඩ තීරණ ගත්ත අවස්ථා තිබුණා. සැරයක් එයා ගත්ත වැරදි තීරණයක් නිසා එයාට සෑහෙන්න දුක් විඳින්න වුණා. විනිශ්චයකරුවෙක් විදිහට සේවේ කරලා ටික කාලෙකට පස්සේ “සැම්සන් සෝරෙක් නම් නිම්නයේ ජීවත් වුණ දෙලීලා නම් ස්ත්‍රියක් එක්ක පෙමින් බැඳුණා.” (විනි. 16:4) අපි දන්නවා සැම්සන් ඊට කලිනුත් පිලිස්තිය ජාතික ස්ත්‍රියක්ව විවාහ කරගන්නයි හිටියේ. හැබැයි ඒක වුණේ “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව.” මොකද යෙහෝවාට ඕනෙ වුණේ සැම්සන් මාර්ගයෙන් “ඊශ්‍රායෙල් දේශය පාලනය කරපු පිලිස්තිවරුන්ට පහර දෙන්න.” ඒ සිද්ධියෙන් පස්සේ දවසක් සැම්සන් ගාසාවල හිටපු ගණිකාවකගේ නිවසක නැවතුණා. ඒ අවස්ථාවේදී ගාසා නුවරේ දොරවල් දෙක ගලවගෙන යන්න දෙවියන් සැම්සන්ට ශක්තිය දීපු නිසා ඒ නුවරේ ආරක්ෂාව නැති වුණා. (විනි. 14:1-4; 16:1-3) හැබැයි ඒ අවස්ථා දෙකටම වඩා දෙලීලාගේ සිද්ධිය වෙනස්. මොකද පේන විදිහට දෙලීලා කියන්නේ ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රියක්. ඒ නිසා සැම්සන් දෙලීලා එක්ක යාළු වුණේ පිලිස්තිවරුන්ට පහර දෙන්න හිතාගෙන නෙවෙයි. ඒක එයා තනි මතයට ගත්ත තීරණයක්.

13. දෙලීලා නිසා සැම්සන් අමාරුවේ වැටුණේ කොහොමද?

13 පිලිස්තිවරු දෙලීලාට ලොකු මුදලක් දුන්නා. ඒ මුදල වෙනුවෙන් දෙලීලා පොරොන්දු වුණා සැම්සන්ව පාවලා දෙන්න. දෙලීලා මේ කරන්න හදන දේ සැම්සන්ට තේරුණේ නැත්තේ එයා ආදරෙන් අන්ධ වෙලා හිටපු නිසාද? ඒක අපි හරියටම දන්නේ නැහැ. හැබැයි ඒ කොහොම වුණත් දෙලීලා සැරෙන් සැරේ සැම්සන්ගේ ශක්තියට රහස මොකක්ද කියලා අහලා එයාට කරදර කළා. ඒක සැම්සන්ට කොච්චර වධයක් වුණාද කියනවා නම් අන්තිමේදී එයා රහස දෙලීලාට හෙළි කළා. ප්‍රතිඵලයක් විදිහට සැම්සන්ගේ ඒ අසාමාන්‍ය ශක්තිය වගේම යෙහෝවාගේ අනුමැතියත් ටික කාලෙකට එයාට නැති වුණා.—විනි. 16:16-20.

14. දෙලීලාව විශ්වාස කරපු නිසා සැම්සන්ට වුණේ මොකක්ද?

14 යෙහෝවාට වඩා දෙලීලාව විශ්වාස කරපු නිසා සැම්සන්ට හුඟක් කටුක දේවල්වලට මුහුණ දෙන්න වුණා. පිලිස්තිවරු එයාව අල්ලගෙන එයාගේ ඇස් අන්ධ කළා. ඊටපස්සේ සැම්සන් කලින් ලැජ්ජා කරපු මිනිස්සු හිටිය ගාසා නුවරේම එයාව හිර කළා. හිරේදී එයාට විශාල ඇඹරුම් ගලකින් ධාන්‍ය අඹරන්න සිද්ධ වුණා. කාලෙකට පස්සේ පිලිස්තිවරු දාගොන් දෙවියා වෙනුවෙන් ලොකු උත්සවයක් පැවැත්තුවා. මොකද එයාලා හිතුවේ සැම්සන්ව අල්ලලා දෙන්න උදව් කළේ ඒ දෙවියා කියලා. උත්සවය අතරතුරේදී පිලිස්තිවරුන්ට “විනෝද වෙන්න” ඕනෙ නිසා එයාලා සැම්සන්ව හැමෝම ඉස්සරහට ගෙනාවා.—විනි. 16:21-25.

පිලිස්තිවරුන්ට නියම කරපු විනිශ්චය ලබා දෙන්න යෙහෝවා සැම්සන්ට ශක්තිය දුන්නා (15 ඡේදය බලන්න)

15. සැම්සන් ආයෙත් යෙහෝවා මත රඳා හිටියා කියලා පෙන්නුවේ කොහොමද? (විනිශ්චයකරුවෝ 16:28-30) (කවරයේ පින්තූරය බලන්න.)

15 සැම්සන් අතින් ලොකු වරදක් වුණා තමයි. හැබැයි එයා හැම දේම අත්හැරලා දැම්මේ නැහැ. ඊටපස්සෙත් යෙහෝවා භාර දීපු පැවරුම ඉටු කරන්න එයා අවස්ථාවක් හොයහොයා හිටියේ. (විනිශ්චයකරුවෝ 16:28-30 කියවන්න.) සැම්සන් බැගෑපත් වෙලා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා “පිලිස්තිවරුන්ගෙන් වන්දියක් ගන්න මට උදව් කරන්න” කියලා. දෙවියන් මේ අයැදීමට කන් දීලා සැම්සන්ට කලින් තිබුණ වගේ අසාමාන්‍ය ශක්තියක් ආයෙත් දුන්නා. ප්‍රතිඵලයක් විදිහට මේ අවස්ථාවේදී එයාට පුළුවන් වුණා පිලිස්තිවරු සෑහෙන ගාණක් විනාශ කරන්න. එච්චර පිලිස්තිවරු ගාණක් එයා එයාගේ ජීවිත කාලේදීවත් විනාශ කරලා තිබුණේ නැහැ.

16. සැම්සන් කරපු වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 සැම්සන් කරපු එක මෝඩ දෙයක් නිසා එයා ගොඩක් වේදනා වින්දා. හැබැයි එයා කවදාවත් යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන එක අත්හැරියේ නැහැ. සමහරවිට අපි අතිනුත් ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට හික්මවීමක් ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කරකර හිටපු පැවරුමක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොනවා වුණත් අත්හරින්න එපා. මොකද වරදක් වුණා කියලා යෙහෝවා අපිව අත්හරින්නේ නැහැ. (ගීතා. 103:8-10) කලින් අපි අතින් වැරදි වෙලා තිබුණත් යෙහෝවාට පුළුවන් අපිව ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන්න. හරියට සැම්සන්ව පාවිච්චි කළා වගේ.

සැම්සන් ගත්ත මෝඩ තීරණය නිසා එයා ගොඩක් දුක් වෙන්න ඇති. හැබැයි එයා අත්හැරියේ නැහැ. අපි අත්හරින්න ඕනෙත් නැහැ (17-18 ඡේද බලන්න)

17-18. මයිකල්ගේ අද්දැකීම ඔයාට දිරිගැන්වීමක් වුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

17 අපි දැන් මයිකල්ගේ අද්දැකීම බලමු. එයා නමස්කාරයේ දේවල් හරිම උද්‍යෝගයෙන් කරපු යෞවනයෙක්. එයා සහායක සේවකයෙක් විදිහටත් ස්ථාවර පුරෝගාමියෙක් විදිහටත් සේවේ කළා. හැබැයි මයිකල්ගේ අතින් වුණ වැරැද්දක් නිසා එයාට ඒ හැම පැවරුමක්ම නැති වුණා. බලන්න එයා ඒ ගැන කියන දේ. “ඒ වෙන කල් මං නමස්කාරයේ දේවල් පුළුවන් උපරිමයෙන් කළා. හරියට වේගයෙන් යන වාහනයක් වගේ. හැබැයි එකපාරටම මං ලොකු තාප්පෙක හැප්පුණා. මට හැම දේම නැති වුණා. මං දැනන් හිටියා යෙහෝවා මාව අත්හරින්නේ නෑ කියලා. හැබැයි මට කලින් වගේම යෙහෝවාත් එක්ක බැඳීමක් තියාගන්න පුළුවන් වෙයිද, කලින් වගේ පැවරුම් කරන්න පුළුවන් වෙයිද කියලා මට ලොකු බයක් දැනුණා.”

18 මොන දේ වුණත් මයිකල් අත්හැරියේ නැහැ. එයා මෙහෙම කියනවා. “යෙහෝවාත් එක්ක කලින් තිබුණ බැඳීම ඇති කරගන්න මං ගොඩක් මහන්සි වුණා. මං මගේ හිතේ තියෙන හැම දේම කියලා හැම දවසකම යෙහෝවාට යාච්ඤා කළා. බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතුවා.” කාලෙත් එක්කම මයිකල්ට පුළුවන් වුණා ආයෙත් සභාවේ වගකීම් දරන්න. දැන් එයා වැඩිමහල්ලෙක් සහ ස්ථාවර පුරෝගාමියෙක්. මයිකල් මෙහෙම කියනවා. “ගොඩක් අය මට උදව් කළා. මාව දිරිගැන්නුවා. විශේෂයෙන්ම වැඩිමහල්ලන් මට උදව් කළා යෙහෝවාට මං ගැන තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ කියලා තේරුම්ගන්න. දැන් මට ආයෙත් හොඳ හෘද සාක්ෂියක් එක්ක සභාවේ වැඩ කරන්න පුළුවන්. මං මගේ ජීවිතෙන් වැදගත් දෙයක් ඉගෙනගත්තා. කෙනෙක් තමන් කරපු දේවල් ගැන ඇත්තටම පසුතැවිලි වෙලා ඒවා හදාගන්නවා නම් යෙහෝවා එයාට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා.” ඉතින් අපිටත් පුළුවන් අපේ අතින් වැරදි වුණත් ඒවා හදාගෙන දිගටම යෙහෝවා මත රඳා ඉන්න. එහෙම කරද්දී යෙහෝවා අපිව ආයෙත් පාවිච්චි කරයි. ඒ වගේම අපිට ආශීර්වාද කරයි.—ගීතා. 86:5; හිතෝ. 28:13.

19. සැම්සන්ගේ ආදර්ශය ඔයාට ශක්තියක් වුණේ කොහොමද?

19 අපි මේ ලිපියෙන් බැලුවේ සැම්සන් කරපු පුදුමාකාර දේවල්වලින් කීපයක් විතරයි. හැබැයි අපි බලපු විදිහට සැම්සන්ගේ අතිනුත් වැරදි වුණා. විශේෂයෙන්ම දෙලීලාගේ කාරණයේදී. ඒ වුණත් එයා දෙවියන්ට සේවේ කරන එක නැවැත්තුවේ නැහැ. ඒ නිසා යෙහෝවාත් සැම්සන්ව අත්හැරියේ නැහැ. ඒ නිසයි ඔහු සැම්සන්ගේ අතින් වරදක් වුණත් එයාව පුදුමාකාර විදිහට පාවිච්චි කළේ. යෙහෝවා දෙවියන් සැම්සන්ව සලකන්නේ විශ්වාසය අතින් හොඳ ආදර්ශයක් තිබ්බ කෙනෙක් විදිහට. ඒ නිසයි හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ විශ්වාසවන්ත අය අතරේ සැම්සනුත් ඉන්නේ. ඒ ගැන කල්පනා කරද්දී තේරෙනවා අපි දුර්වල වෙලා වැටෙනවා දකින්න යෙහෝවා පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඔහුට ඕනෙ අපිට ශක්තිය දීලා අපිව කොහොමහරි නැඟිට්ටවන්න. ඒ නිසා අපිත් සැම්සන් වගේ යෙහෝවාගෙන් දිගටම මෙහෙම ඉල්ලමු. ‘මගේ මේ කන්නලව්වට සවන් දෙන්න. මට ඔබේ බලය දෙන්න.’—විනි. 16:28.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

a සැම්සන් කියන්නේ කවුරුත් හොඳට දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. වේදිකා නාට්‍යවල, සින්දුවල, චිත්‍රපටිවල සැම්සන් ගැන කියවිලා තියෙනවා. හැබැයි ඒ කතාව නිකම්ම නිකම් සුරංගනා කතාවක් නෙවෙයි. අවුරුදු දහස් ගාණකට කලින් හිටපු මේ විශ්වාසවන්ත පුරුෂයාගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.