Skip to content

පටුනට යන්න

ජීවිතේ ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!

ජීවිතේ ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!

මිනිස් ජීවිතයට ගරු කරන එක එච්චරම වැදගත්ද?

ඔයා ජීවිතේ වටිනාකම හෑල්ලු කරන දේවල් කරද්දී ඒකෙන් ඔයාගේ වගේම අනිත් අයගේ ජීවිතත් අනතුරේ වැටෙනවා.

  • දුම්පානය නිසා පිළිකා හැදෙන්න තියෙන අවදානම වැඩි වෙනවා විතරක් නෙමෙයි ඒකට විරුද්ධව සටන් කරන්න ඔයාගේ ශරීරයට තියෙන හැකියාවත් අඩු වෙනවා. පෙනහලු පිළිකාවලින් මැරෙන අයගෙන් සියයට 90ක්ම දුම්පානය කරපු අය නැත්නම් ඒ දුමට නිරාවරණය වුණ අය.

  • හැම අවුරුද්දකම වෙන සමූහ වෙඩි තැබීම් නිසා මිනිස් ජීවිත උඩු යටිකුරු වෙනවා. ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වාර්තාවක මෙහෙම සඳහන් වුණා. “පාසැල්වල සිදු වෙන වෙඩි තැබීම්වලින් බේරෙන අයගේ මනසේ ඇති වෙන තුවාල සදාකාලිකයි. ඒ අඳුරු මතකයන් එක්ක එයාලා හැම දවසකම මැරිමැරී ජීවත් වෙනවා.”

  • මත්පැන් සහ මත්ද්‍රව්‍ය අරන් අසිහියෙන් රිය පදවන අය නිසා මහ පාර විතරක් නෙමෙයි පදික වේදිකාවත් ලේ විලක් වෙලා. එහෙම කරන අය අමතක කරනවා එයාලා මේ සෙල්ලම් කරන්නේ අහිංසක ජීවිතත් එක්ක කියලා.

ඔයාට කරන්න පුළුවන් දේ

ඔයාගේ සෞඛ්‍යය රැකගන්න. සිඟරට්, වේපින්, සීමාව ඉක්මවලා බොන එක සහ මත්ද්‍රව්‍ය ගන්න එක වගේ හානිකර පුරුදු නතර කරන්න දැන් පරක්කු වැඩියි කියලා හිතන්න එපා. ඒ වගේ පුරුදු නතර කරන එකෙන් ඔයා ඔයාගේ වගේම අනිත් අයගේ ජීවිතවලටත් ගරු කරනවා කියලා පේනවා.

‘අපේ ශරීරය අපවිත්‍ර කරන හැම දෙයක්ම අයින් කරලා අපිව පවිත්‍ර කරගමු.’—2 කොරින්ති 7:1.

ආරක්ෂාවට මුල් තැන දෙන්න. ගේදොර හොඳට නඩත්තු කරනවා නම් අනතුරු ගොඩක් වළක්වගන්න පුළුවන්. රිය පදවද්දී මාර්ග නීතිවලට ගරු කරන්න. වාහනේ හොඳ තත්වයක තියෙනවාද කියලා සහතික කරගන්න. අනිත් අයගේ බලපෑමට අහු වෙලා ඔයාගේ ජීවිතේ අවදානමේ වැටෙන දේවල් කරන්න එපා.

“ඔයාලා අලුතෙන් ගෙයක් හැදුවොත් ඒකේ තියෙන පැතලි වහලේ වටේ පොඩි තාප්පයක් බඳින්න ඕනේ. එහෙම කළේ නැත්නම් කවුරු හරි කෙනෙක් එතනින් වැටිලා මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනාගේ ජීවිතේට වග කියන්න වෙන්නේ ඒ ගෙදර අයටයි.” —ද්විතීය කතාව 22:8. a

අනිත් අයට කාරුණිකව සලකන්න. ජාතිය, ආගම සහ පසුබිම වගේ දේවල් නිසා කෙනෙක්ගේ ජීවිතේ වටිනාකම අඩු වෙනවා කියලා හිතන්න එපා. එහෙම හිතන අය නිසයි ලෝකේ අද යුද පිටියක් වෙලා තියෙන්නේ. ඒ නිසා හැමෝටම කරුණාව පෙන්නලා ජීවිතයට හිමි ගෞරවය දෙන්න.

“කේන්තිය, උදහස, තරහෙන් කෑගහන එක, අනිත් අයට අපහාස කරන එක වගේම අනුන්ට හානියක් වෙන අනිත් හැම දෙයක්ම ඔයාලාගේ ජීවිතවලින් අයින් කරගන්න. ඒ වෙනුවට අනිත් අයට කරුණාවන්තව සලකන්න.”—එෆීස 4:31, 32.

ගෞරවයට දිරි දෙන සෙනඟක්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතේ අනර්ඝ දෙයක් විදිහට සලකන්න මිනිස්සුන්ට උදව් කරනවා. සාක්ෂිකරුවන් බයිබලේ තියෙන දේවල් කියලා දීලා ඇබ්බැහි වීම්, කේන්තිය සහ නරක පුරුදුවලින් මිදෙන්න මිනිස්සුන්ට උදව් කරනවා.

අපේ ඉදි කිරීම් ව්‍යාපෘතිවලදී අපි ආරක්ෂාවට වැදගත් තැනක් දෙනවා. අපේ නමස්කාරයට පාචිච්චි කරන ගොඩනැඟිලි ඉදි කරන්න එන ස්වේච්ඡා සේවකයන්ට ආරක්ෂාකාරීව වැඩ කරන විදිහ ගැන විශේෂ පුහුණුවක් ලැබෙනවා. ඒ වගේම කාලෙන් කාලෙට ඒ ගොඩනැඟිලි පරීක්ෂා කරලා ඒවා රටේ ප්‍රමිතිවලට එකඟද කියලත් බලනවා.

අපි සහන සේවා ලබා දෙන්න සැලසුම් කරනවා. පහුගිය මාස 12 ඇතුළත අපි දරුණු විපත් 200කට විතර මුහුණ දුන්න අයට උදව් කරලා තියෙනවා. සම්මාදම් විදිහට ලැබුණ මුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් විතර ඒ වෙනුවෙන් වැය කළා.

ඉබෝලා වසංගතය නිසා 2014දී බටහිර අප්‍රිකාව සහ 2018දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය බැට කෑවා. ඒ අවස්ථා දෙකේදීම වසංගතය පැතිරෙන එක වළක්වගන්න උදව් වෙන දේවල් ගැන අපි ප්‍රජාව දැනුවත් කළා. සාක්ෂිකරුවන්ගේ නියෝජිතයන් මිනිස්සුන්ව හම්බ වෙලා “කීකරුකම ජීවිත රැක දෙයි!” කියන මාතෘකාව යටතේ වටිනා මඟ පෙන්වීම් ලබා දුන්නා. ඒ වගේම අපේ රැස්වීම් ශාලාවලට ඇතුල් වෙන තැන්වල අත් හෝදන්න පහසුකම් සලසලා නිතර අත් හෝදන එක වගේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න හැමෝටම උනන්දු කළා.

සියරා ලියොන් කියන රටේ ගුවන් විදුලි වැඩසටහනකදී සාක්ෂිකරුවන් ඉබෝලා වසංගතය මර්දනය කරන්න දුන්න සහයෝගය ගැන කියලා එයාලව ගොඩක් අගය කළා.

2014 ඉබෝලා වසංගත කාලේ ලයිබීරියාවේ නමස්කාර මධ්‍යස්ථානයක තිබුණ අත් හෝදන තැනක්

a අතීතයේ මැද පෙරදිග රටවල අනුගමනය කරපු ඒ දේ නිසා පවුලේ අයට වගේම නිවසට එන හැමෝටම ආරක්ෂාවක් ලැබුණා.