Skip to content

පටුනට යන්න

තමන් ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!

තමන් ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!

තමන්ටම ගෞරව කරන එක එච්චරම වැදගත්ද?

තමන් ගැන ගෞරවනීය හැඟීමක් තියෙන කෙනෙක්ගේ හිත හයියයි. කර මුලටම ප්‍රශ්න ආවත් ඒ වගේ කෙනෙක් බලාපොරොත්තු සුන් කරගන්නේ නැහැ.

  • ඒත් තමන්ව අඩු තක්සේරු කරගන්න කෙනෙක් හැම වෙලේම ඉන්නේ අසතුටෙන්, පීඩනයෙන්. ඒක එයා කන බොන විදිහටත් බලපානවා. ඒ වගේ කෙනෙක් මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.

  • තමන් ගැන හොඳ හැඟීමක් තියෙන කෙනෙක් අනිත් අය එක්ක තමන්ව සන්සන්දනය කරන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ කෙනෙක්ට හොඳ යාළුවෝ හොයාගන්න ලේසියි. ඒත් තමන් ගැන හොඳ හැඟීමක් නැති කෙනෙක් නිතරම අනිත් අයත් එක්ක ගැටෙනවා, එයාලාගේ වැරදි හොයනවා. ඒ වගේ අයගෙන් මිනිස්සු ඈත් වෙනවා.

  • හොඳ ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් ජීවිතේට මොන අභියෝග ආවත් හැම දේම අතහැරලා දාන්නේ නැහැ. බාධක බිඳගෙන දිනුම් කණුව වෙන කල්ම යනවා. ඒත් එහෙම නැති අය පොඩි ගලක් වැදුණත් මහ කන්දක් පාත් වුණා වගෙයි හැසිරෙන්නේ. එයා නිකම්ම තරඟය අතහැරලා දානවා.

ඔයාට කරන්න පුළුවන් දේ

හොඳ යාළුවෝ හොයාගන්න. ඔයාට ගරු කරන, ඔයා ගැන හිතන, ඔයාට හයියක් වෙන අයව ළං කරගන්න.

“අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.”—හිතෝපදේශ 17:17.

අනිත් අයට උදව් කරන්න. අනිත් අයට, විශේෂයෙන් ඔයාට ආපිට උදව් කරන්න බැරි අය වෙනුවෙන් දේවල් කරන්න. එතකොට ඔයාට ලොකු සතුටක් ලැබෙයි. ඔයාට ඔයා ගැනම හොඳ හැඟීමක් ඇති වෙයි. කාගෙන්වත් ඔයාට ප්‍රශංසාව ලැබුණේ නැති වුණත් ඒ හැඟීම හැම දේටම වඩා වටිනවා.

“ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

තමන් ගැන ගෞරවයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න. එයාලාගේ ප්‍රශ්න එයාලටම විසඳගන්න දෙන්න. උදව් අවශ්‍යම තැනේදී විතරක් මැදිහත් වෙන්න. ජීවිතේ ගැටගැහෙන තැන් ලිහාගන්න එතකොට එයාලා පුරුදු වෙනවා. ඒකෙන් දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි වෙයි. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඕනෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඒක එයාට උදව් වෙයි.

“දරුවෙක්ට හරි මඟේ යන්න අවශ්‍ය පුහුණුව දෙන්න. වයසට ගියාට පස්සෙත් එයා ඒ මඟෙන් ඉවතට යන්නේ නැහැ.”—හිතෝපදේශ 22:6.

ගෞරවයට දිරි දෙන සෙනඟක්!

අපේ රැස්වීම් සහ බයිබල් සාකච්ඡාවන් ජීවිතේට අර්ථයක් එකතු කරනවා. තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න ඒවා හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා.

අපේ රැස්වීම්

හැම සතියකම තියෙන අපේ රැස්වීම්වලදී බයිබලයේ තියෙන තොරතුරු උගන්නනවා. තමන් වටින්නේ නැහැ කියන හැඟීම තියෙන අයට ඒකෙන් ගොඩ එන්න ඒ තොරතුරු උදව් වෙලා තියෙනවා. ඕනෙම කෙනෙක්ව අපේ රැස්වීම්වලට අපි ආදරෙන් පිළිගන්නවා. කිසිම මුදලක් අය කරන්නෙත් නැහැ. අපේ රැස්වීම්වලට ආවොත් මේ දේවල් දැනගන්න පුළුවන්.

  • දෙවියන් ඔයා ගැන හිතන විදිහ

  • ජීවිතේට නියම සතුට එකතු කරගන්න විදිහ

  • විශ්වාසවන්ත යාළුවන්ව හොයාගන්න විදිහ

‘සැලකිල්ලක් පෙන්නන’ නියම යාළුවන්ව එහෙදී ඔයාට හම්බ වෙයි.—1 කොරින්ති 12:25, 26.

සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ගැන තව දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක බලන්න.

අපේ බයිබල් සාකච්ඡා

ඕනෙම කෙනෙක් එක්ක බයිබලය සාකච්ඡා කරන්න අපි කැමතියි. ඒකට පාවිච්චි කරන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත. ඒකේ වැදගත් බයිබල් පද, හිතටම කතා කරන වීඩියෝ සහ පින්තූර තියෙනවා. බයිබල් විෂයන් හරිම පැහැදිලිව තේරුම්ගන්න ඒක උදව් වෙයි. මේ සාකච්ඡා ඔයාගේ ජීවිතේට වටිනාකමක් එකතු කරයි.

බයිබල් සාකච්ඡා නිසා ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න jw.org වෙබ් අඩවියෙන් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕනෙ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.