Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 31

ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

අපිව බේරගන්න යෙහෝවා කළේ මොනවාද?

අපිව බේරගන්න යෙහෝවා කළේ මොනවාද?

“දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා.”යොහ. 3:16.

ලිපියේ අරමුණ

යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පව්කාර අපිට උදව් කරන්න ඔහු මුල් පියවර අරන් තියෙන්නේ කොහොමද? පව්කාරකමෙන් නිදහස් වෙලා, සදාකාල ජීවිතේ ලබාගන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙන්නේ කොහොමද?

1-2. (අ) පව්කාරකම කියන්නේ මොකක්ද? ඒකට විරුද්ධව සටන් කරන්න අපිට පුළුවන් කොහොමද? (“පැහැදිලි කිරීමක්” කියන කොටසත් බලන්න.) (ආ) මේ ලිපියෙන් සහ මේ සඟරාවේ එන අනිත් ලිපිවලින් අපි බලන්නේ මොනවාද? (මේ සඟරාවේ “පාඨකයන්ට සටහනක්!” කියන කොටසත් බලන්න.)

 යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා ඔයා දැනගන්න කැමතිද? ඒක දැනගන්න එක විදිහක් තියෙනවා. ඒකට ඔහු ඔයාව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න කරලා තියෙන දේවල් ගැන හොඳට අධ්‍යයනය කරන්න. ඇත්තටම පාපය a දරුණු හතුරෙක් වගේ. ඔයාගේ තනි හයියෙන් නම් කවදාවත් ඔයාට ඒක පරාද කරන්න බැහැ. අපි හැමෝම පව්කාරයෝ. හැමදාම අපි අතින් වැරදි වෙනවා. පව්කාරකම නිසා අපි මැරෙනවා. (රෝම 5:12) හැබැයි හොඳ ආරංචියකුත් තියෙනවා. මොකද යෙහෝවා පොරොන්දු වෙනවා මරණයෙන්, පව්කාරකමෙන් දවසක අපිව සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා කියලා.

2 අවුරුදු 6,000ක් වගේ කාලයක් තිස්සේ යෙහෝවා දෙවියන් පව්කාරකමත් එක්ක සටන් කරන්න මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. ඒ ඇයි? මිනිස්සුන්ව නිර්මාණය කරපු දවසේ ඉඳන්ම ඔහු එයාලට ගොඩක් ආදරේ කළා. ඒ නිසා ඒගොල්ලෝ පව් කළත් එයාලට උදව් කරන්න ඔහු ගොඩක් දේවල් කළා. දෙවියන් දන්නවා පව්කාරකම නිසා අපි මැරෙනවා කියලා. ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් මැරෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝම සදාකාලෙටම ජීවත් වෙනවා බලන්න. (රෝම 6:23) ඔයාත් සදහටම ජීවත් වෙනවා දකින්න ඔහු කැමතියි. ඒ නිසා අපි මේ ලිපියෙන් ප්‍රශ්න තුනකට උත්තර බලමු. (1) පව්කාර මිනිස්සු ඉස්සරහා යෙහෝවා තිබ්බේ මොන වගේ බලාපොරොත්තුවක්ද? (2) පව්කාරයන් වුණත් දෙවියන්ගේ හිත සතුටු කරන්න අතීතයේ හිටපු අයට පුළුවන් වුණේ කොහොමද? (3) මිනිස්සුන්ව පාපයෙන් ගලවගන්න යේසුස් කළේ මොනවාද?

පව්කාර මිනිස්සු ඉස්සරහා යෙහෝවා තිබ්බ බලාපොරොත්තුව

3. අපේ මුල් දෙමාපියෝ පාපයට වැටුණේ කොහොමද?

3 ආදම් සහ ඒවව නිර්මාණය කළාට පස්සේ එයාලාගේ මූණවල්වල හැමදාටම හිනාවක් තියෙනවා දකින්නයි යෙහෝවාට ඕන වුණේ. ඔහු එයාලට ලස්සන නිවහනක් දුන්නා. විවාහය කියන තෑග්ග දුන්නා. ඒ වගේම ආසාවෙන් කරන්න පුළුවන් පැවරුමක් දුන්නා. එයාලට තිබුණේ දරුවන්ව බිහි කරලා එයාලව මුළු පොළොව පුරාම පදිංචි කරවන්න. සම්පූර්ණ පොළොවම ඒදන් උයන වගේ ලස්සන තැනක් කරන්න. ඒත් එක්කම දෙවියන් එයාලට එකම එක ආඥාවක් දුන්නා. ඔහු එයාලට කිව්වා ඒ ආඥාව කැඩුවොත් එයාලා මැරෙනවා කියලා. අපි දන්නවා මොකද වුණේ කියලා. ඒ ලස්සන පින්තූරෙට දුෂ්ට දේවදූතයෙක් ඇතුල් වුණා. එයාට යෙහෝවා ගැනවත් ආදම් සහ ඒව ගැනවත් කිසිම ආදරයක් තිබ්බේ නැහැ. එයා ආදම් සහ ඒවව පෙලඹුවා දෙවියන්ට විරුද්ධව පව් කරන්න. ආදම් සහ ඒව මෙච්චර කල් එයාලට ආදරෙන් සලකපු තමන්ගේ තාත්තා ගැන විශ්වාසේ තියනවාට වඩා කොහේවත් හිටපු සාතන්ව විශ්වාස කළා. ඒ නිසා දෙවියන්ට අකීකරු වුණොත් වෙනවා කියලා දෙවියන් කියපු දේම සිද්ධ වුණා. එදා ඉඳන් එයාලා ටිකෙන් ටික වයසට ගියා. අන්තිමේදී එයාලා පොළොවටම පස් වුණා.—උත්. 1:28, 29; 2:8, 9, 16-18; 3:1-6, 17-19, 24; 5:5.

4. පව්කාරකම යෙහෝවා මෙච්චර පිළිකුල් කරන්නේ ඇයි? ඒකට විරුද්ධව සටන් කරන්න ඔහු අපිට උදව් කරන්නේ කොහොමද? (රෝම 8:20, 21)

4 යෙහෝවා මේ සිද්ධිය බයිබලේට ඇතුළත් කරපු එකෙන් අපිට තේරුම්ගන්න පුළුවන් ඔහු මේ තරමටම පව්කාරකම පිළිකුල් කරන්නේ ඇයි කියලා. පව්කාරකම අපිව අපේ තාත්තාගෙන් ඈත් කරනවා. අපිට මරණය උරුම කරලා දෙනවා. (යෙසා. 59:2) අන්න ඒ නිසා තමයි සාතන් ආදම් සහ ඒවව පව්කාරකමට ඇදලා දැම්මේ. අදටත් මිනිස්සුන්ව වරදට පොලඹවන එක සාතන් නවත්තලා නැහැ. සාතන් හිතන්න ඇති ඒදන් උයනේදී එයා කරපු දේවල් නිසා එයා දින්නා කියලා. හැබැයි එයා තේරුම්ගත්තේ නැහැ අපේ යෙහෝවා දෙවියන් කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා. ආදම් සහ ඒවගෙන් පැවතෙන අය ගැන දෙවියන්ට තිබුණ අරමුණ ඔහු කවදාවත් වෙනස් කළේ නැහැ. ඔහු මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා ඉක්මනටම ඔහු මිනිස්සු ඉස්සරහා බලාපොරොත්තුවක් තිබ්බා. (රෝම 8:20, 21 කියවන්න.) ඔහු දැනගෙන හිටියා ආදම් සහ ඒවගෙන් පැවතෙන අයගෙන් සමහරු ඔහුට ගොඩක් ආදරේ කරයි, පව්කාරකමට විරුද්ධව සටන් කරන්න ඔහුගෙන් උදව් ඉල්ලයි කියලා. ආදරණීය තාත්තා සහ නිර්මාතෘ විදිහට යෙහෝවා එයාලට මාර්ගයක් විවෘත කළා පව්කාරකමෙන් නිදහස් වෙලා ඔහුට ළං වෙන්න. ඒ කොහොමද?

5. පව්කාර මිනිස්සුන්ට යෙහෝවා බලාපොරොත්තුවක් දුන්නේ මොන අවස්ථාවේදීද? පැහැදිලි කරන්න. (උත්පත්ති 3:15)

5 උත්පත්ති 3:15 කියවන්න. සාතන්ව විනාශ කරනවා කියලා කියපු වෙලාවෙම යෙහෝවා මිනිස්සුන්ට බලාපොරොත්තුවකුත් දුන්නා. ඔහු කිව්වා “පැවතෙන කෙනෙක්” මාර්ගයෙන් ඔහු මිනිස්සුන්ව බේරගන්නවා කියලා. ඒ කෙනා සාතන්ගේ “හිස පොඩි කරලා” ඒදන් උයනේදී සාතන් ඇති කරපු හැම ප්‍රශ්නයක්ම හරිගස්සන්න යනවා. (1 යොහ. 3:8) හැබැයි ඒ පැවතෙන කෙනා ගොඩක් දුක් විඳින්න යනවා කියලත් යෙහෝවා කිව්වා. සාතන් එයාව තුවාල කරලා මරලා දානවා. ඒක යෙහෝවාට උහුලගන්න බැරි තරම් දුකක්. හැබැයි ඔහු එච්චර දුකක් උහුලගත්ත නිසා ගණන් කරන්න බැරි තරම් දෙනෙක්ට පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා.

අතීතයේ හිටපු අය යෙහෝවාගේ හිත සතුටු කළා

6. ආබෙල්, නෝවා වගේ විශ්වාසවන්ත අය යෙහෝවාව සතුටු කරන්න, ඔහුට ළං වෙන්න කළේ මොනවාද?

6 සියවස් ගණන් ගෙවිලා යද්දී යෙහෝවා ටිකෙන් ටික පෙන්නුවා පව්කාර මිනිස්සුන්ට වුණත් ඔහුට ළං වෙන්න පුළුවන් කියලා. ඒදන් උයනේදී ඇති වුණ කැරැල්ලෙන් පස්සේ යෙහෝවා ගැන මුලින්ම විශ්වාසේ තිබ්බ කෙනා තමයි ආදම් සහ ඒවගේ දෙවෙනි පුතා වුණ ආබෙල්. එයා යෙහෝවාට ගොඩක් ආදරේ කළා. එයාට ඕන වුණේ යෙහෝවාගේ හිත සතුටු කරලා ඔහුට ළං වෙන්න. ආබෙල් කියන්නේ එඬේරෙක්. ඒ නිසා යෙහෝවා සතුටු වෙයි කියලා හිතලා එයා එයාගේ රැළේ හිටපු බැටළු පැටියෙක්ව පූජාවක් විදිහට ඔප්පු කළා. ඒ පූජාව ගැන යෙහෝවාට දැනුණේ කොහොමද? බයිබලේ කියනවා “යෙහෝවා ආබෙල්ව සහ එයාගේ පූජාව සතුටින් පිළිගත්තා” කියලා. (උත්. 4:4) ආබෙල් විතරක් නෙවෙයි නෝවා වගේ යෙහෝවාට ආදරේ කරපු, යෙහෝවා ගැන විශ්වාසේ තියපු මිනිස්සු දුන්න පූජාත් යෙහෝවා සතුටින් පිළිගත්තා. (උත්. 8:20, 21) ඉතින් ඒ වගේ පූජා පිළිගත්ත එකෙන් යෙහෝවා පෙන්නුවා පව්කාර මිනිස්සුන්ට වුණත් යෙහෝවාගේ හිත සතුටු කරලා ඔහුට ළං වෙන්න පුළුවන් කියලා. b

7. ආබ්‍රහම් එයාගේ පුතාව පූජාවක් විදිහට ඔප්පු කරන්න කැමති වුණ එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

7 ආබ්‍රහම්ට යෙහෝවා ගැන තිබුණේ පුදුම විශ්වාසයක්. දවසක් යෙහෝවා එයාගෙන් හරිම අමාරු දෙයක් ඉල්ලුවා. ඒ, එයාගේ පුතා ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කරන්න කියලා. ඒ වගේ දෙයක් තාත්තා කෙනෙක්ට දරාගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. හැබැයි ආබ්‍රහම් යෙහෝවාට කීකරු වුණා. ඒත් එයා පුතාව මරන්න යද්දීම යෙහෝවා එයාව නැවැත්තුවා. මේ සිද්ධියෙන් යෙහෝවා ඉස්සරහට කරන්න යන වැදගත් දෙයක් පෙන්නුවා. ඒ, ඔහුගේ ආදරණීය පුතාව පූජාවක් විදිහට ඔප්පු කරන්න යන එක. යෙහෝවා ඒ තරමටම මිනිස්සුන්ට ආදරේ කළා.—උත්. 22:1-18.

8. නීතියේ තිබුණ විදිහට සත්ව පූජා ඔප්පු කරපු එකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (ලෙවී කතාව 4:27-29; 17:11)

8 සියවස් ගාණකට පස්සේ යෙහෝවා ඊශ්‍රායෙල් ජාතියට නීතිය දුන්නා. ඒ නීතියේ කියලා තිබුණා පව්වලට සමාව ලබාගන්න නම් සත්ව පූජා ඔප්පු කරන්න ඕනෙ කියලා. (ලෙවී කතාව 4:27-29; 17:11 කියවන්න.) ඒ පූජාවලින් මිනිස්සුන්ගේ පව්වලට සම්පූර්ණයෙන්ම සමාව ලැබෙන විශේෂ පූජාවක් නියෝජනය වුණා. පැවතෙන තැනැත්තා දුක් විඳලා මැරෙනවා කියලත් ඔහුව බැටළුවෙක් වගේ ඔප්පු කරනවා කියලත් යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කිව්වා. (යෙසා. 53:1-12) ඒ තැනැත්තා වුණේ දෙවියන්ගේ පුත්‍රයන් අතරින් විශේෂ කෙනෙක්. චුට්ටක් හිතන්න, පාපයෙන් සහ මරණයෙන් මිනිස්සුන්ව බේරගන්න යෙහෝවා පූජාවක් විදිහට දෙනවා කිව්වේ කාවද? ඔහුගේ ආදරණීය පුතාව. යෙහෝවා ඒ දේ කළේ ඔයා වෙනුවෙන්!

මිනිස්සුන්ව බේරගන්න යේසුස් ආවා

9. යොහන් බව්තීස්ත යේසුස් ගැන කිව්වේ මොනවාද? (හෙබ්‍රෙව් 9:22; 10:1-4, 12)

9 ක්‍රි.ව. 29දී යොහන් බව්තීස්ත නාසරෙත්වල ඉඳන් ආපු යේසුස්ව දැක්ක වෙලාවේ මෙහෙම කිව්වා. “බලන්න, මේ ඉන්නේ දෙවියන්ගේ බැටළු පැටියා! ලෝකයෙන් පාපය නැති කරන්නේ ඔහුයි.” (යොහ. 1:29) ඒ වචනවලින් පැහැදිලි වෙනවා දෙවියන් පොරොන්දු වුණ පැවතෙන තැනැත්තා යේසුස් කියලා. ඔහු, ඔහුගේ ජීවිතේ පූජා කරන්න යනවා. යෙහෝවා පොරොන්දු වුණ විදිහට අන්තිමේදී මිනිස්සුන්ව පාපයෙන් සම්පූර්ණයෙන්ම බේරගන්න තැනැත්තා ආවා!—හෙබ්‍රෙව් 9:22; 10:1-4, 12 කියවන්න.

10. යේසුස් ආවේ ‘පව්කාරයන්ට උදව් කරන්න’ කියලා ඔහු පෙන්නුවේ කොහොමද?

10 එදා සමාජයෙන් පව්කාරයන් විදිහට කොන් කරපු මිනිස්සුන්ට යේසුස් විශේෂ අවධානයක් දුන්නා. ඔහු එයාලට ආරාධනා කළා ඔහුගේ ගෝලයන් වෙන්න කියලා. යේසුස් දැනගෙන හිටියා මිනිස්සු දුක් විඳින්න ප්‍රධානම හේතුව පව්කාරකම කියලා. තමන් කරපු වැරදි නිසා දුක් විඳපු අයට යේසුස් උදව් කළා. සැරයක් ඔහු උදාහරණයක් පාවිච්චි කරලා මෙහෙම කිව්වා. ‘දොස්තර කෙනෙක් ඕනෙ ලෙඩින් ඉන්න අයටයි. නිරෝගී අයට දොස්තර කෙනෙක්ගෙන් වැඩක් නැහැ. මම ආවේ වැරදි කරන අයට උදව් කරන්න මිසක් ධර්මිෂ්ඨයන්ට උදව් කරන්න නෙවෙයි.’ (මතෙ. 9:12, 13) යේසුස් ඒ වචන නිකම්ම කිව්වා විතරක් නෙවෙයි ඒ වචනවලට අනුව වැඩත් කළා. එක අවස්ථාවකදී පව්කාර ස්ත්‍රියක් ඇවිල්ලා එයාගේ කඳුළුවලින් යේසුස්ගේ කකුල් හේදුවා. ඒ වෙලාවේ යේසුස් එයාට ආදරෙන් කතා කරලා එයාගේ වැරදිවලට සමාව දුන්නා. (ලූක් 7:37-50) සමරිතානු ස්ත්‍රිය ගත කළේ දුරාචාර ජීවිතයක් කියලා දැනගෙන හිටියත් යේසුස් එයාට වටිනා සත්‍යයන් කියලා දුන්නා. (යොහ. 4:7, 17-19, 25, 26) අපි දන්නවා පාපය නිසා මිනිස්සු අද්දකින දරුණුම දේ තමයි මරණය. හැබැයි ඒක පරද්දන්න ඕන බලයත් යෙහෝවා යේසුස්ට දුන්නා. ඒ නිසා යේසුස්ට පුළුවන් වුණා මිය ගිහින් හිටපු වැඩිහිටියන්ව විතරක් නෙවෙයි දරුවන්වත් නැවත නැඟිට්ටවන්න.—මතෙ. 11:5.

11. බරපතළ වැරදි කරපු අය යේසුස් ළඟට ඇදිලා ගියේ ඇයි?

11 බරපතළ වැරදි කරපු මිනිස්සු වුණත් යේසුස් ළඟට ඇදිලා ගිය එක පුදුමයක් නෙවෙයි. මොකද යේසුස් එයාලව තේරුම්ගත්තා. එයාලට ආදරෙන් සැලකුවා. ඒ නිසා එයාලට යේසුස් ළඟට යන්න කිසිම බයක් දැනුණේ නැහැ. (ලූක් 15:1, 2) එයාලා යේසුස් ගැන පෙන්නපු විශ්වාසේ යේසුස් ගොඩක් අගය කළා. ඔහු එයාලට ආශීර්වාදත් කළා. (ලූක් 19:1-10) යේසුස් වැඩ කළේ දයාවෙන් පිරුණු ඔහුගේ තාත්තා වගේමයි. (යොහ. 14:9) ඔහු කියපු කරපු දේවලින් පැහැදිලිව පෙනුණා යෙහෝවා දෙවියන් කොච්චර දයාවන්ත, ආදරණීය කෙනෙක්ද කියලා. ඔහුට ඕනෙ පව්කාරකමත් එක්ක සටන් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න. යේසුස් වැඩ කරපු විදිහ නිසා ජීවිත වෙනස් කරගෙන දිගටම ඔහුගේ අඩිපාරේ යන්න පව්කාර මිනිස්සුන්ගේ හිතේ ආසාවක් ඇති වුණා.—ලූක් 5:27, 28.

12. තමන්ගේ මරණය ගැන යේසුස් ඉගැන්නුවේ මොකක්ද?

12 තමන්ට ඉස්සරහට මොකක්ද වෙන්න යන්නේ කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසයි ඔහු කීප සැරයක්ම ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ඔහුව පාවා දීලා වධකණුවක් මත ඔහුට මැරෙන්න වෙනවා කියලා. (මතෙ. 17:22; 20:18, 19) ඔහු දැනගෙන හිටියා යොහන් සහ අනාගතවක්තෘවරු කිව්ව විදිහටම ඔහුගේ මරණය නිසා මේ ලෝකෙන් පාපය නැති වෙනවා කියලා. ඒ වගේම යේසුස් කිව්වා ජීවිතේ පූජා කළාට පස්සේ ඔහු ‘හැම පසුබිමකට අයිති මිනිස්සුන්ව තමන් ළඟට ඇදගන්නවා’ කියලා. (යොහ. 12:32) යේසුස් ගැන විශ්වාසේ තියන, ඔහුගේ ආඥා පිළිපදින අයට පුළුවන් යෙහෝවාගේ හිත සතුටු කරන්න. ඒ වගේ අයට අන්තිමට ‘පව්කාරකමෙන් නිදහස් වෙන්න’ අවස්ථාව ලැබෙනවා. (රෝම 6:14, 18, 22; යොහ. 8:32) ඒ නිසා යේසුස් හරිම ධෛර්යවන්තව අමාරු මරණයකට කැමැත්තෙන්ම මූණ දුන්නා.—යොහ. 10:17, 18.

13. යේසුස් මැරුණේ කොහොමද? ඔහුගේ මරණයෙන් යෙහෝවා ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

13 යේසුස්ව පාවා දුන්නා. අත්අඩංගුවට ගත්තා. ඔහුට අපහාස කළා. බොරු චෝදනා කරලා වරදකරුවෙක් කියලා ඔප්පු කළා. හුඟක් වධ දුන්නා. ඊටපස්සේ සොල්දාදුවෝ ඔහුව අරගෙන ගිහින් වධකණුවක ඇණ ගැහුවා. මේ හැම දෙයක්ම යේසුස් විශ්වාසවන්තව දරාගද්දී ඒ වේදනාව ඔහුටත් වඩා දරාගත්ත කෙනෙක් හිටියා. ඒ තමයි යෙහෝවා දෙවියන්. පුතාව බේරගන්න ඕන තරම් බලය තිබුණත් ඇයි යෙහෝවා ඒ වෙලාවේ මුකුත් නොකර හිටියේ? මෙච්චර ආදරේ කරපු පුතාට ඇයි ඔහු මෙහෙම වෙන්න ඉඩහැරියේ? ඒකට උත්තරේ ආදරය. යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.”—යොහ. 3:16.

අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න තමන්ගේ එකම පුතාව මරන්න ඉඩහැරපු නිසා යෙහෝවා ලොකු වේදනාවක් උහුලගත්තා (13 ඡේදය බලන්න)


14. යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඔයා ඉගෙනගන්නේ මොකක්ද?

14 ආදම් සහ ඒවගෙන් පැවතෙන අය ගැන යෙහෝවාට කොච්චර ආදරයක් තියෙනවාද කියන්න හොඳම සාක්ෂිය තමයි යේසුස්ගේ ජීවිත පූජාව. ඒකෙන් පැහැදිලි වෙනවා යෙහෝවා ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඔහු ඔහුට තියෙන හොඳම දේ දුන්නේ, මෙච්චර දුකක් උහුලගත්තේ ඔයාව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න. (1 යොහ. 4:9, 10) යෙහෝවාට ඕනෙ අපි එක් එක් කෙනාට පව්කාරකම එක්ක සටන් කරන්න, ඒකෙන් ජය ගන්න උදව් කරන්න.

15. ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

15 තමන්ගේ එකම පුතාව පූජාවක් විදිහට දීලා යෙහෝවා අපිට වටිනා තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග නිසා අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන්. හැබැයි යෙහෝවාගේ සමාව ලබාගන්න නම් අපි අපේ පැත්තෙනුත් දෙයක් කරන්න ඕනේ. ඒ මොකක්ද? ඒ ගැන යොහන් බව්තීස්තයි, යේසුයි මෙහෙම කිව්වා. “පසුතැවිලි වෙන්න. මොකද ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්.” (මතෙ. 3:1, 2; 4:17) ඉතින් අපි පසුතැවිලි වෙනවා නම් විතරයි අපිට පුළුවන් වෙන්නේ අපේ පව්වලට සමාව ලබාගෙන අපේ ආදරණීය තාත්තාට ළං වෙන්න. ඒත් පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද? ඒක කොහොමද යෙහෝවාගේ හිත සතුටු කරන්න අපිට උදව් වෙන්නේ? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

a පැහැදිලි කිරීමක්: බයිබලේ “පාපය” කියද්දී සමහර වෙලාවට ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා කරන්න කියපු දෙයක් නොකර ඉන්න එක නැත්නම් යෙහෝවා කරන්න එපා කියපු දෙයක් කරන එක. ඒ වගේම ආදම්ගෙන් උරුම වුණ පව්කාර ස්වභාවයත් බයිබලේ පාපය කියලා හඳුන්වලා තියෙනවා. උරුම වුණ ඒ පව්කාර ස්වභාවය නිසා තමයි අපි හැමෝම මැරෙන්නේ.

b අතීතයේදී විශ්වාසවන්ත මිනිස්සු යෙහෝවා වෙනුවෙන් දීපු පූජා ඔහු පිළිගත්තා. මොකද ඔහු දැනගෙන හිටියා යේසුස් තමන්ගේ ජීවිතේ පූජා කරලා මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම පාපයෙන් සහ මරණයෙන් ගලවගන්නවා කියලා.—රෝම 3:25.