පාඩම් ලිපිය 32
ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම
හැමෝම පසුතැවෙනවාටයි යෙහෝවා කැමති
‘යෙහෝවා කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.’—2 පේතෘ. 3:9.
ලිපියේ අරමුණ
පසුතැවෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි හැමෝම පසුතැවෙන්න ඕන ඇයි? අපි කරන වැරදි ගැන පසුතැවෙන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?
1. පසුතැවෙන කෙනෙක් කරන්නේ මොකක්ද?
අපි අතින් වරදක් වුණාම අපි අනිවාර්යයෙන්ම පසුතැවෙන්න ඕනේ. බයිබලේ කියනවා පසුතැවෙන කෙනෙක්ට එයා කරපු වැරැද්ද ගැන දැනෙන්නේ ලොකු පිළිකුලක් කියලා. එයා කරකර හිටපු වැරදි දේ එයා සම්පූර්ණයෙන්ම අත්හරිනවා. ආයේ කවදාවත් ඒක කරන්නේ නැතුව ඉන්න එයා ලොකු අධිෂ්ඨානයක් ගන්නවා.—පැහැදිලි කිරීමක් යටතේ තියෙන “පසුතැවිල්ල” බලන්න.
2. පසුතැවෙන එක ගැන අපි හැමෝම දැනගන්න ඕනෙ ඇයි? (නෙහෙමියා 8:9-11)
2 අපි හැමෝම පසුතැවිලි වෙන එකේ වැදගත්කම තේරුම්ගන්න ඕනේ. ඇයි ඒ? මොකද අපි හැමෝම හැමදාම වැරදි කරනවා. ආදම් සහ ඒවගෙන් පැවතෙන අය නිසා අපිට පාපය, මරණය උරුම වෙලා තියෙනවා. (රෝම 3:23; 5:12) අපෙන් කිසිම කෙනෙක් ඒකෙන් නිදහස් නැහැ. යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තිබුණ නියෝජිත පාවුල් වගේ අයත් පව්කාරකමට විරුද්ධව ලොකු සටනක් කළා. (රෝම 7:21-24) ඒ කියන්නේ අපි අතින් වෙන වැරදි ගැන හිතහිත අපි මනසින් වැටෙන්න ඕනෙද? නැහැ. යෙහෝවා හරිම දයාවන්ත කෙනෙක්. ඔහුට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්නයි. නෙහෙමියාගේ කාලේ හිටපු යුදෙව්වන් ගැන ටිකක් හිතන්න. (නෙහෙමියා 8:9-11 කියවන්න.) එයාලා අතින් වුණ වැරදි ගැන හිතහිත එයාලා ඕනෑවට වඩා දුක් වෙනවා දකින්න යෙහෝවාට ඕන වුණේ නැහැ. ඔහුට ඕන වුණේ එයාලා සතුටින් ඔහුට නමස්කාර කරනවා දකින්නයි. යෙහෝවා දන්නවා කෙනෙක් අවංකව පසුතැවෙද්දී ඒ කෙනාට හිතේ නිදහසෙන්, සතුටින් ඔහුට නමස්කාර කරන්න පුළුවන් කියලා. ඒකයි පසුතැවිලි වෙන එකේ වැදගත්කම ගැන ඔහු අපිට කියලා දෙන්නේ. අපි අපේ වැරදි ගැන පසුතැවෙනවා නම් අපේ දයාවන්ත තාත්තා අපිට සමාව දෙනවා කියන එක ගැන සැක කරන්න කිසිම හේතුවක් නැහැ.
3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
3 මේ ලිපියෙන් අපි බලන්නේ පසුතැවිලි වෙන එක ගැන. විශේෂයෙන්ම පැති තුනක් අපි බලනවා. මුලින්ම අපි බලනවා පසුතැවිලි වෙන එක ගැන යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට මොනවාද ඉගැන්නුවේ කියලා. ඊටපස්සේ අපි බලනවා පසුතැවිලි වෙන්න යෙහෝවා කොහොමද මිනිස්සුන්ට උදව් කරන්නේ කියලා. අන්තිමට අපි බලනවා පසුතැවිලි වෙන එක ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට මොනවාද ඉගැන්නුවේ කියලා.
පසුතැවිලි වෙන එක ගැන යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ඉගැන්නුවා
4. පසුතැවෙන එක ගැන යෙහෝවා ඊශ්‍රායෙල් ජාතියට ඉගැන්නුවේ මොකක්ද?
4 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව ජාතියක් විදිහට සංවිධානය කළාට පස්සේ එයාලත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමට අනුව එයාලා ඔහුගේ නීතිවලට කීකරු වුණොත් ඔහු එයාලව ආරක්ෂා කරලා ආශීර්වාද කරනවා. ඔහුගේ නීති ගැන ඔහු මෙහෙම කිව්වා. “මං අද කියලා දෙන මේ ආඥා ඔයාලට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා නෙමෙයි. ඒවා දැනගන්න ගොඩක් දුර යන්න ඕනෙ නැහැ.” (ද්වි. 30:11, 16) හැබැයි එයාලා ඔහුට අකීකරු වෙලා වෙන දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තොත් ඔහු එයාලව ආරක්ෂා කරන එක නතර කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාලට ගොඩක් දුක් විඳින්න වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කළේ නැහැ යෙහෝවා එයාලව අත්හැරලාම දානවා කියලා. එයාලට අවස්ථාව තිබුණා ‘එයාලාගේ දෙවි වන යෙහෝවා ළඟට ආපහු හැරිලා ඇවිල්ලා මුළු හදවතින්ම ඔහුගේ හඬට සවන් දෙන්න.’ (ද්වි. 30:1-3, 17-20) වෙන විදිහකින් කියනවා නම් එයාලට අවස්ථාව තිබුණා පසුතැවිලි වෙන්න. එතකොට යෙහෝවා ආපහු එයාලට ළං වෙලා කලින් වගේම එයාලට ආශීර්වාද කරනවා.
5. ඊශ්‍රායෙල්වරු ගැන තිබුණ බලාපොරොත්තුව අත්හැරියේ නැහැ කියලා යෙහෝවා පෙන්නුවේ කොහොමද? (2 රාජාවලිය 17:13, 14)
5 යෙහෝවා තෝරගත්ත සෙනඟ ආයේ ආයේ ඔහුට අකීකරු වුණා. රූපවලට නමස්කාර කරනවාට අමතරව එයාලා හරිම පහත්, පිළිකුල් දේවල් කළා. ඒ නිසා එයාලා ගොඩක් දුක් වේදනා අද්දැක්කා. හැබැයි යෙහෝවාට ඕන වුණේ මේ මුරණ්ඩු සෙනඟට උදව් කරන්න. ඒ නිසා ඔහු අනාගතවක්තෘවරුන්ව දිගටම එයාලා ළඟට යවලා පසුතැවිලා ඔහු ළඟට එන්න කියලා මතක් කළා.—2 රාජාවලිය 17:13, 14 කියවන්න.
6. පසුතැවිලි වෙන එකේ වැදගත්කම සෙනඟට පෙන්නලා දෙන්න යෙහෝවා අනාගතවක්තෘවරුන්ව පාවිච්චි කළේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
6 යෙහෝවා අනාගතවක්තෘවරුන්ව යවලා ඔහුගේ සෙනඟට මතක් කළා එයාලා වෙනස් වුණේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඔහු එයාලව නිවැරදි කළා. උදාහරණෙකට යෙරෙමියා මාර්ගයෙන් දෙවියන් මෙහෙම කිව්වා. ‘කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟෙනි, ආපහු හැරිලා එන්න. මම කේන්තියෙන් ඔබ දිහා බලන්නේ නැහැ. මොකද මම විශ්වාසවන්ත කෙනෙක්. මම හැමදාටම ඔබ එක්ක අමනාපයෙන් ඉන්නේ නැහැ. හැබැයි යෙහෝවාට විරුද්ධව ඔබ කැරලිගහපු එක වැරදියි කියලා පිළිගන්න.’ (යෙරෙ. ) යෝවෙල් මාර්ගයෙන් යෙහෝවා මෙහෙම කිව්වා. “මුළු හදවතින්ම පසුතැවිලි වෙලා මං ළඟට ආයෙත් හැරිලා එන්න.” ( 3:12, 13යෝවෙ. 2:12, 13) ඔහු යෙසායාට කිව්වා සෙනඟට මෙහෙම කියන්න කියලා. “මං ඉස්සරහා ඔබ කරන දුෂ්ට වැඩ නවත්තන්න. නරක දේවල් අත්හරින්න.” (යෙසා. 1:16-19) එසකියෙල් මාර්ගයෙන් යෙහෝවා සෙනඟගෙන් මෙහෙම ඇහුවා. ‘දුෂ්ට කෙනෙක් මැරෙනවා දැකලා මම සතුටු වෙනවා කියලා ඔබ හිතනවාද? ඔහු තමන්ගේ වැරදි අතහැරලා දිගටම ජීවත් වෙනවා දකින්න මම කැමති නැද්ද? කිසිම කෙනෙක් මැරෙනවා දකින්න මම කැමති නැහැ. ඒ නිසා වැරදි අතහැරලා ජීවත් වෙන්න.’ (එස. 18:23, 32) සෙනඟ පසුතැවෙනවා දකිද්දී යෙහෝවාට ලොකු සතුටක් දැනෙනවා. මොකද ඔහුට ඕනෙ එයාලා සදහටම ජීවත් වෙනවා දකින්න. වරදක් කරන කෙනෙක්ට උදව් කරන්න එයා පසුතැවෙන කල්ම යෙහෝවා බලන් ඉන්නේ නැහැ. ඒක තේරුම්ගන්න අපි තව උදාහරණ කීපයක් බලමු.
7. හොෂෙයාගෙයි, ඔහුගේ බිරිඳගෙයි සිද්ධිය පාවිච්චි කරලා යෙහෝවා සෙනඟට ඉගැන්නුවේ මොනවාද?
7 අනාගතවක්තෘ හොෂෙයාගෙයි, එයාගේ බිරිඳ ගොමෙර්ගෙයි අද්දැකීමෙන් යෙහෝවා සෙනඟට උගන්නන්න හදන පාඩම බලන්න. හොෂෙයාගේ බිරිඳ අනාචාරයේ යෙදුණාට පස්සේ හොෂෙයාව අත්හැරලා වෙනත් පුරුෂයන් එක්ක ගියා. ඒ කියන්නේ එයාට කවදාවත් වෙනස් වෙන්න බැහැ කියන එකද? හිතේ තියෙන දේ දකින යෙහෝවා හොෂෙයාට මෙහෙම කිව්වා. ‘ඔයා දැන් ගිහින් වෙන පුරුෂයෙක්ගේ ආදරේ ලබන ඒ ස්ත්‍රියට ආයෙත් ආදරේ කරන්න. ඊශ්‍රායෙල්වරුන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළත් යෙහෝවා වන මම එයාලට ආදරේ කරනවා. ඒ වගේ ඔයාත් අනාචාරයේ යෙදෙන ඒ ස්ත්‍රියට ආදරේ කරන්න.’ (හොෂෙ. 3:1; හිතෝ. 16:2) හොෂෙයාගේ බිරිඳ බරපතළ වරදක් කරකර ඉද්දී තමයි යෙහෝවා හොෂෙයාට කියන්නේ එයා ළඟට ගිහිල්ලා, එයාට සමාව දීලා, එයාව ආයෙත් භාරගන්න කියලා. a යෙහෝවා ඒකෙන් පෙන්නන්න හැදුවේ මේ මුරණ්ඩු සෙනඟ ගැන ඔහුට හැඟෙන විදිහයි. එයාලා බරපතළ වැරදි ගොඩක් කළත් යෙහෝවා තාමත් එයාලට ආදරෙයි. ඔහු අනාගතවක්තෘවරුන්ව යවලා එයාලට පසුතැවිලි වෙන්න, ජීවිත වෙනස් කරගන්න දිගටම උදව් කළේ ඒ නිසයි. ඒ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ හදවත් සෝදිසි කරන යෙහෝවා, කෙනෙක් බරපතළ වරදක් කරකර ඉද්දීම පසුතැවිලි වෙන්න එයාට උදව් කරනවා කියලාද? (හිතෝ. 17:3) අපි බලමු.
වැරදි කරන අයට පසුතැවිලි වෙන්න යෙහෝවාගෙන් උදව්
8. යෙහෝවා පසුතැවිලි වෙන්න කායින්ට උදව් කළේ කොහොමද? (උත්පත්ති 4:3-7) (පින්තූරයත් බලන්න.)
8 ආදම් සහ ඒවගේ ලොකු පුතා තමයි කායින්. එයාටත් එයාගේ දෙමාපියන්ගෙන් පව්කාරකම උරුම වුණා. ඒ වගේම බයිබලේ කියනවා “එයා දුෂ්ට විදිහට වැඩ කරපු” කෙනෙක් කියලා. (1 යොහ. 3:12) සමහරවිට ඒ නිසා වෙන්න ඇති යෙහෝවා “කායින්ව සහ එයාගේ පූජාව පිළිගත්තේ නැත්තේ.” එයා වැඩ කරපු මේ විදිහ වෙනස් කරගන්නවා වෙනුවට “කායින් ගොඩක් කේන්ති ගත්තා. එයාගේ මූණත් වෙනස් වුණා.” ඉතින් යෙහෝවා මොකද කළේ? ඔහු කායින් එක්ක ටිකක් කතා කළා. (උත්පත්ති 4:3-7 කියවන්න.) යෙහෝවා හරිම ආදරෙන් කායින්ට කතා කරලා කිව්වා එයා හොඳ දේවල් කළොත් ඔහු එයාට ආශීර්වාද කරනවා කියලා. ඒ වගේම ඔහු එයාට මතක් කළා එයා දිගටම කේන්තියෙන් හිටියොත් එයාගේ අතින් වරදක් වෙන්න පුළුවන් කියලා. හැබැයි කායින් නෙවෙයි ඒවා කනකටවත් ගත්තේ. පසුතැවිලි වෙන්න එයාට උදව් කරන්න එයා යෙහෝවාට ඉඩ දුන්නේ නැහැ. යෙහෝවා කියපු දේ කායින් ඇහුවේ නැති නිසා යෙහෝවා හිතුවාද ආයේ නම් කිසිම කෙනෙක්ට පසුතැවිලි වෙන්න උදව් කරන්නේ නැහැ කියලා? කොහොමටවත් නැහැ.
9. යෙහෝවා පසුතැවෙන්න දාවිත්ට උදව් කළේ කොහොමද?
9 යෙහෝවා දාවිත්ට ගොඩක් ආදරේ කළා. ඔහු එයා ගැන කිව්වේ “මගේ හිත සතුටු කරන කෙනෙක්” කියලා. (ක්‍රියා 13:22) හැබැයි දාවිත් බරපතළ වැරදි කීපයක්ම කළා. එයා අනාචාරයේ යෙදුණා. කෙනෙක්ව මැරුවා. මෝසෙස්ට දීපු නීතියට අනුව නම් දාවිත්ට මරණ දණ්ඩනය ලැබෙන්න ඕනේ. (ලෙවී. 20:10; ගණන්. 35:31) ඒත් යෙහෝවාට ඕන වුණා පසුතැවිලි වෙන්න දාවිත්ට උදව් කරන්න. b දාවිත් එයාගේ වැරදි පිළි අරන් තිබුණේ නැතත් ඒ ගැන පසුතැවිලි වෙන පාටක් පේන්න තිබුණේ නැතත් යෙහෝවා අනාගතවක්තෘ නාතන්ව යැව්වා එයාව හම්බ වෙන්න. නාතන් උදාහරණයක් කියලා දාවිත්ගේ හදවතට කතා කළා. යෙහෝවාගේ හිතට එයා ලොකු දුකක් ගෙනාවා කියලා තේරුම්ගත්තාම දාවිත් පසුතැවුණා. (2 සාමු. 12:1-14) එයා කොච්චර දුක් වුණාද කියලා එයා ලියපු ගීතිකාවෙනුත් තේරෙනවා. (ගීතා. 51, පෙර සටහන) වැරදි කරපු හුඟදෙනෙක් ඒ ගීතිකාව කියවලා ලොකු සහනයක් අද්දැකලා තියෙනවා වගේම පසුතැවිලි වෙන්න ඒක එයාලට උදව් වෙලත් තියෙනවා. යෙහෝවා දාවිත්ට ගොඩක් ආදරේ කරලා පසුතැවිලි වෙන්න එයාට උදව් කරපු එක ගැන අපිටත් ලොකු සතුටක් දැනෙන්නේ නැද්ද?
10. යෙහෝවා පව්කාර අපි ගැන ඉවසලා අපිට සමාව දෙනවා කියලා දැනගද්දී ඔයාට දැනෙන්නේ කොහොමද?
10 යෙහෝවා පාපය පිළිකුල් කරනවා. ඔහු කිසිම විදිහකින් ඒක සැහැල්ලුවට ගන්නේ නැහැ. (ගීතා. 5:4, 5) හැබැයි ඔහු අපිට ගොඩක් ආදරෙයි. ඉතින් අපි අතින් වරදක් වුණාම ඔහුට ඕනෙ අපිට උදව් කරන්න. ඔහු හැම තිස්සේම උත්සාහ කරන්නේ කොයි තරම් බරපතළ වරදක් කරන කෙනෙක්ට වුණත් පසුතැවිලා ආයේ ඔහු ළඟට එන්න උදව් කරන්නයි. ඒක දැනන් ඉන්න එක අපිට කොච්චර සහනයක්ද! යෙහෝවාගේ ඉවසීම, සමාව දෙන්න තියෙන කැමැත්ත ගැන හිතද්දී අපි පෙලඹෙනවා දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න. අපි අතින් වරදක් වුණත් ඉක්මනින්ම පසුතැවෙන්නත් අපි පෙලඹෙනවා. දැන් අපි බලමු පසුතැවිලි වෙන එක ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට මොනවාද ඉගැන්නුවේ කියලා.
පසුතැවිලි වෙන එක ගැන යේසුස් ඉගැන්නුවා
11-12. යෙහෝවා සමාව දෙන විදිහ ගැන යේසුස් ඉගැන්නුවේ මොකක්ද? (පින්තූරය බලන්න.)
11 ගැලවුම්කරු එන කාලේ උදා වුණාම යෙහෝවා යොහන් බව්තීස්ත මාර්ගයෙන් සෙනඟගෙන් ඉල්ලුවා පසුතැවෙන්න කියලා. යේසුත් සේවේ පටන්ගත්තාම පසුතැවිලි වෙන එක කොච්චර වැදගත්ද කියලා මිනිස්සුන්ට ඉගැන්නුවා.—මතෙ. 3:1, 2; 4:17.
12 යේසුස් සේවේ කරපු කාලේ පුරාම එයාගේ තාත්තා සමාව දෙන්න කොච්චර කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද කියලා මිනිස්සුන්ට ඉගැන්නුවා. ඒක පැහැදිලි කරලා දෙන්න යේසුස් තාත්තා කෙනෙකුයි, පුතෙකුයි ගැන කතන්දරයක් කිව්වා. ඒ කතාවේ ඉන්න පුතා ගෙදරින් ගිහිල්ලා හරිම පහත් ජීවිතයක් ගත කරනවා. හැබැයි පස්සේ ‘එයාට තේරුණාම එයා වැඩ කරලා තියෙන්නේ කොච්චර මෝඩ විදිහටද කියලා’ එයා ආපහු ගෙදර එනවා. ඒ වෙලාවේ තාත්තා මොකද කරන්නේ? යේසුස් මෙහෙම කියනවා. “පුතා එනවා තාත්තා ඈත තියා දැක්කා. පුතාව දැක්කාම තාත්තාට දැනුණේ ලොකු අනුකම්පාවක්. ඉතින් එයා පුතා ගාවට දුවගෙන ගිහින් එයාව බදාගෙන ආදරෙන් ඉඹගත්තා.” පුතාට ඕන වුණේ ‘මං ඔයාගේ සේවකයෙක් විදිහට වැඩ කරන්නද’ කියලා තාත්තාගෙන් අහන්න. හැබැයි තාත්තා කියනවා ‘ඔයා මගේ පුතා. නැති වෙච්ච මගේ පුතාව මට ආයෙත් හම්බ වුණා’ කියලා. එහෙම කියලා එයා පුතාව පවුලට ආයෙත් ආදරෙන් පිළිගන්නවා. (ලූක් 15:11-32) යේසුස් ස්වර්ගයේ හිටපු කාලේ එයාගේ තාත්තා දයාවෙන් පෙලඹිලා පසුතැවිලි වෙන මිනිස්සුන්ට සමාව දෙන විදිහ ඕන තරම් දකින්න ඇති. ඇත්තටම අපේ දයාවන්ත තාත්තා ගැන යේසුස් අපේ හිතේ අඳින්නේ කොච්චර ලස්සන චිත්‍රයක්ද!
13-14. පසුතැවිලි වෙන එක ගැන පේතෘස් ඉගෙනගත්තේ මොකක්ද? එයා ඒ ගැන අනිත් අයට ඉගැන්නුවේ මොනවාද? (පින්තූරයත් බලන්න.)
13 පසුතැවිලි වෙන අයට යෙහෝවා සමාව දෙන විදිහ ගැන වැදගත් පාඩම් පේතෘස් යේසුස්ගෙන් ඉගෙනගත්තා. පේතෘස් අතින් ගොඩක් වැරදි වුණා. හැබැයි යේසුස් එයාට ආයේ ආයේ සමාව දුන්නා. ඒ වගේ එක සිද්ධියක් තමයි පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියපු අවස්ථාව. ඒ වෙලාවේ පේතෘස්ට දරාගන්න බැරි ලොකු වේදනාවක් දැනුණා. (මතෙ. 26:34, 35, 69-75) යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ පේතෘස්ව හම්බ වෙන්න ගියා. පේන විදිහට ඔහු එහෙම ගියේ පේතෘස් තනියම ඉන්න වෙලාවක. (ලූක් 24:33, 34; 1 කොරි. 15:3-5) තමන් අතින් වෙච්ච වැරැද්ද ගැන පේතෘස් පසුතැවෙනවා කියලා යේසුස් දැනන් හිටියා. ඔහු එයාට සමාව දුන්නා කියන එක පේතෘස්ව හම්බ වෙලාම කියන්න යේසුස්ට ඕන වෙන්න ඇති.
14 පසුතැවිලි වෙලා සමාව ලැබුණාම කොයි තරම් සහනයක් දැනෙනවාද කියලා පේතෘස් හොඳ හැටි දැනන් හිටියා. ඒ නිසා පසුතැවිලි වෙන එකේ වැදගත්කම එයා අනිත් අයටත් ඉගැන්නුවා. පෙන්තකොස්ත උත්සවයෙන් පස්සේ පේතෘස් යේසුස් ගැන විශ්වාසේ තිබ්බේ නැති යුදෙව්වන්ට දීපු දේශනයේදී කෙළින්ම කිව්වා එයාලා තමයි ගැලවුම්කරුව මැරුවේ කියලා. හැබැයි එයා හරිම ආදරෙන් එයාලාගෙන් මෙහෙම ඉල්ලුවා. “දැන් පසුතැවිලි වෙන්න. ඔයාලාගේ ජීවිත වෙනස් කරගන්න. එතකොට ඔයාලාගේ වැරදිවලට සමාව ලබාගන්නත් යෙහෝවාගෙන් ලොකු සහනයක් ලබාගන්නත් ඔයාලට පුළුවන් වෙයි.” (ක්‍රියා 3:14, 15, 17, 19) පේතෘස් එතනදී පෙන්නලා දුන්නා කෙනෙක් පසුතැවෙද්දී එයා කරපු වරද එයා අත්හරිනවා කියලා. ඒ කියන්නේ එයා හිතපු විදිහ, වැඩ කරපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන යෙහෝවා සතුටු වෙන විදිහට හිතන්න, වැඩ කරන්න පටන්ගන්නවා. ඒ වගේම පේතෘස් කිව්වා කෙනෙක් පසුතැවෙනවා නම් යෙහෝවා එයාට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියලා. ඒක හරියට කරපු වරද හොයාගන්න බැරි වෙන විදිහට ඒක මකලා දානවා වගේ. ඊට දශක ගාණකට පස්සේ පේතෘස් ක්‍රිස්තියානීන්ට මෙහෙමත් කිව්වා. ‘යෙහෝවා ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.’ (2 පේතෘ. 3:9) අපි අතින් කොච්චර බරපතළ වරදක් වුණත් යෙහෝවා අපිට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියලා දැනන් ඉන්න එක කොච්චර සහනයක්ද!
15-16. (අ) සමාව දෙන එක ගැන පාවුල් ඉගෙනගත්තේ කොහොමද? (1 තිමෝති 1:12-15) (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
15 ටාසස්වලින් ආපු සාවුල් ගොඩක් වැරදි කරපු කෙනෙක්. එයා යේසුස්ගේ අනුගාමිකයන්ට හරිම දරුණු විදිහට පීඩා කළා. එයාලාගෙන් හුඟදෙනෙක් හිතුවේ පාවුල් නම් කවදාවත් වෙනස් වෙන එකක් නැහැ කියලා. හැබැයි නැවත නැඟිට්ට යේසුස් එයා දිහා බැලුවේ ඒ විදිහට නෙවෙයි. ඔහු දැනන් හිටියා පාවුල්ට පසුතැවිලා වෙනස් වෙන්න පුළුවන් කියලා. යේසුයි, යෙහෝවායි දැක්කේ පාවුල්ට තිබුණ ලස්සන ගති. ඒකයි යේසුස් මෙහෙම කිව්වේ. “මං එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.” (ක්‍රියා 9:15) පාවුල්ට පසුතැවෙන්න උදව් කරන්න යේසුස් එයා ඉස්සරහා ආශ්චර්යයකුත් කළා. (ක්‍රියා 7:58–8:3; 9:1-9, 17-20) ක්‍රිස්තියානියෙක් වුණාට පස්සේ පාවුල් යෙහෝවායි, යේසුයි එයාට පෙන්නපු දයාව, කරුණාව නිතර නිතර මතක් කළා. (1 තිමෝති 1:12-15 කියවන්න.) ඒ ගැන තිබුණ අගය නිසා එයා අනිත් අයට මෙහෙම කිව්වා. “දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි.”—රෝම 2:4.
16 සැරයක් පාවුල්ට ආරංචි වුණා කොරින්ති සභාවේ ඉන්න කෙනෙක් අනාචාරයේ යෙදෙමින් හිටියත් සභාවේ ඉන්න අය ඒ ගැන මුකුත් කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ පාවුල් මොනවාද එයාලට කිව්වේ? එයා එයාලට කියපු දේවලින් කෙනෙක්ව හික්මවද්දී යෙහෝවා පෙන්නන ආදරේ ගැනත් කෙනෙක් පසුතැවෙද්දී ඔහු පෙන්නන දයාව ගැනත් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම යෙහෝවාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපිට ඉගෙනගන්න පුළුවන්. ඉතින් කොරින්ති සභාවේ වෙච්ච ඒ සිද්ධිය ගැන විස්තර ඇතුව අපි ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
a මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙවෙයි. සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් නිර්දෝෂ කෙනා දිගටම එයාත් එක්ක ඉන්න ඕනෙ කියලා අද යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම යෙහෝවා යේසුස් මාර්ගයෙන් පැහැදිලි කරලා දුන්නා සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් එයාගෙන් දික්කසාද වෙන්න අනිත් කෙනාට පුළුවන් කියලා.—මතෙ. 5:32; 19:9.