Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 14

ගීතිකාව 56 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න

අවබෝධයෙන් වැඩ කරන්න ලොකු උත්සාහයක් ගන්න

අවබෝධයෙන් වැඩ කරන්න ලොකු උත්සාහයක් ගන්න

“අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරමු.”හෙබ්‍රෙ. 6:1.

ලිපියේ අරමුණ

අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් හැම වෙලාවෙම යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතනවා. ඔහුගේ කැමැත්තට එකඟව තීරණ ගන්නවා. ඒ කොහොමද කියලා දැනගන්න.

1. යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

 පවුලකට පුංචි කිරිකැටියෙක් ඉපදෙන එක වගේ සතුටක් යුවළකට තවත් නැහැ. හැබැයි එයා හැමදාම බබෙක් වෙලා ඉන්නවාට එයාලා කැමති නැහැ. බබා උස් මහත් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ගොඩක් වධ වෙනවා. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න මුල්ම පියවර තියද්දී අපිත් පුංචි කිරිකැටියෙක් වගේ. අර දෙමාපියෝ වගේ යෙහෝවාත් අපි දිහා බලලා සතුටු වෙනවා. හැබැයි අපි හැමදාම ඒ විදිහටම ඉන්නවා දකින්න ඔහු කැමති නැහැ. (1 කොරි. 3:1) ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා ‘වැඩිහිටියෙක් වගේ තේරුම්ගැනීමේ හැකියාව ඇතුව අපි වැඩ කරයි’ කියලා.—1 කොරි. 14:20.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

2 වැඩිහිටියෙක් වගේ දේවල් තේරුම් අරන් වැඩ කරන කෙනෙක් කොයි වගේද? ඒ වගේ කෙනෙක් වෙන්න අපි මොනවාද කරන්න ඕනේ? ඒකට බයිබලේ තියෙන ගැඹුරු දේවල් උදව් වෙන්නේ කොහොමද? අපි දැනටමත් අවබෝධයෙන් වැඩ කරන අය නම් අපි යෙහෝවාගෙන් ඈත් වෙන එකක් නැහැ කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි?

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කොයි වගේද?

3. වැඩිහිටියෙක් වගේ දේවල් තේරුම්ගන්න කෙනෙක් කොයි වගේද?

3 ‘වැඩිහිටියෙක් වගේ කාරණා තේරුම්ගන්න හැකියාව තියෙන කෙනෙක්’ කියන ග්‍රීක යෙදුම “අවබෝධයෙන් වැඩ කරන” සහ “සම්පූර්ණ” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. a (1 කොරි. 2:6) දරුවෙක් දවසින් දවස උස් මහත් වෙලා වැඩිහිටියෙක් වෙනවා වගේ අපිත් යෙහෝවා එක්ක තියෙන බැඳීම දවසින් දවස වැඩි කරගන්න ඕනේ. එතකොටයි අපි අවබෝධයෙන් වැඩ කරන අය කියලා කියන්න පුළුවන්. ඒත් අපි ඒ තැනට ආවාට පස්සෙත් දිගටම දියුණු වෙන්න ඕනේ. (1 තිමෝ. 4:15) යෞවනයෙක්ට වුණත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ කෙනෙක්ව අඳුරගන්නේ කොහොමද?

4. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ව විස්තර කරන්න.

4 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හැම දේකදීම යෙහෝවාට කීකරු වෙනවා. එයා එයාට ඕන දේවල් විතරක් තෝරලා බේරලා පිළිපදින්නේ නැහැ. ඇත්ත, හැමෝම පව්කාරයන් නිසා එයා අතිනුත් අඩුපාඩුකම් වෙයි. හැබැයි එයා හිතන පතන, කරන කියන හැම දේකින්ම පෙන්නනවා එයා වැඩ කරන්නේ දෙවියන් කැමති විදිහට කියලා. එයා අලුත් පෞද්ගලිකත්වය පැලඳගෙන ඉන්න නිසා තව ටිකක් හරි වැඩියෙන් යෙහෝවා වගේ හිතන්න එයා හැම දවසකම උත්සාහ කරනවා. (එෆී. 4:22-24) එයාට හැම දේටම පුංචි පුංචි නීති ඕනෙ නැහැ. ඒ වෙනුවට එයා යෙහෝවා දීලා තියෙන නීති සහ ප්‍රතිපත්තිවලට අනුව තීරණ ගන්න ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම එයා තීරණයක් ගත්තාම ඒ තීරණයට එකඟව වැඩ කරන්න උපරිමය කරනවා.—1 කොරි. 9:26, 27.

5. කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් එයාට වෙන්න පුළුවන් මොනවාද? (එෆීස 4:14, 15)

5 අවබෝධයෙන් වැඩ කරන්නේ නැති කෙනෙක් ලේසියෙන්ම “සූක්ෂ්ම ලෙස කපටිකමින් විවිධ දේවල් උගන්වන මිනිසුන්ට” අහු වෙන්න පුළුවන්. ජනමාධ්‍ය හරහා පැතිරෙන බොරු ප්‍රවෘත්ති, නොමඟ යවන තොරතුරුවලට සහ සත්‍යය අත්හැරලා ගිය අයට රැවටෙන්නත් පුළුවන්. b (එෆීස 4:14, 15 කියවන්න.) එයා අනිත් අයට ඊර්ෂ්‍යා කරන, බෙදීම් ඇති කරන, පොඩි දේටත් අප්සෙට් ගහන, වැරදි පෙලඹීම්වලට ලේසියෙන්ම අහු වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්.—1 කොරි. 3:3.

6. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන එක කොයි වගේද? (පින්තූරයත් බලන්න.)

6 අපි දන්නවා දරුවෙක්ට තනියම හිතලා බලලා තීරණ ගන්න තරම් අවබෝධයක් නැහැ කියලා. ඒ නිසා එයාට හැම තිස්සේම වැඩිහිටියෙක්ගේ උදව් ඕනේ. උදාහරණෙකට අම්මා කෙනෙක් පුංචි දුවත් එක්ක පාර පනිනවා කියලා හිතන්න. අම්මා දුවට කියනවා එයාගේ අත තදින් අල්ලගන්න කියලා. හැබැයි දුව ටිකෙන් ටික ලොකු වෙද්දී තනියම පාර පනින්න අම්මා එයාට ඉඩ දෙනවා. ඒත් නිතරම එයාට මතක් කරනවා පාර දෙපැත්ත බලලා පරෙස්සමට පනින්න කියලා. දුව වැඩිහිටියෙක් වුණාට පස්සේ නම් එයාට අම්මාගේ උදව් නැතුව පාර පනින්න පුළුවන්. පොඩි ළමයෙක්ට වැඩිහිටියෙක්ගේ උදව් ඕනෙ වගේ අවබෝධයෙන් වැඩ කරන්නේ නැති කෙනෙක්ටත් දෙවියන් එක්ක තියෙන බැඳීම රැකගන්න, හොඳ තීරණ ගන්න අවබෝධයෙන් වැඩ කරන අයගේ උදව් ඕනේ. හැබැයි අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට තීරණයක් ගන්න වෙද්දී එයා බයිබල් ප්‍රතිපත්ති හොඳට හොයලා බලලා යෙහෝවා හිතන විදිහ තේරුම් අරන් ඒකට අනුව වැඩ කරනවා.

අවබෝධයෙන් වැඩ කරන්නේ නැති ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන හොඳ තීරණ ගන්න ඉගෙනගන්න ඕනේ (6 ඡේදය බලන්න)


7. අවබෝධයෙන් වැඩ කරන අයටත් අනිත් අයගේ උදව් ඕනෙද?

7 ඒ කියන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට අනිත් අයගේ උදව් ඕනෙ නැද්ද? නැහැ, උදව් ඕනේ. හැබැයි ඒ වගේ කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැති කෙනෙක් වගේ කරන්න ඕනෙ මොනවාද කියලා අහඅහා යන්නවෙත් එයා ගන්න ඕනෙ තීරණ අනිත් අය පිට පටවන්නෙවත් නැහැ. අද්දැකීම් තියෙන, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ගෙන් මඟ පෙන්වීමක් ගත්තත් එයා දන්නවා අන්තිම තීරණය ගන්න ඕනෙ එයාමයි කියලා. මොකද ‘හැම කෙනෙක්ම තමාට පැවරිලා තියෙන වගකීම ඉටු කරයි’ කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා කියලා එයා දන්නවා.—ගලා. 6:5.

8. අවබෝධයෙන් වැඩ කරන අය එකිනෙකාට වෙනස් වෙන්නේ මොන විදිවලින්ද?

8 වැඩිහිටියන් හැමෝම එක වගේ නැහැ. අවබෝධයෙන් වැඩ කරන අයත් ඒ වගේ. එයාලට තියෙන ගුණාංග වෙනස්. උදාහරණෙකට සමහරු හොඳට හිතලා බලලා වැඩ කරනවා. තවත් අය නිර්භීතයි. තවත් අය ත්‍යාගශීලියි. සමහරුන්ගේ හිත ඉක්මනින් උණු වෙනවා. අවබෝධයෙන් වැඩ කරන දෙන්නෙක් එකම කාරණයකදී වෙනස් තීරණ ගන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ දෙන්නාගෙම තීරණ බයිබලේට එකඟයි. විශේෂයෙන්ම ඒක වෙන්නේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න වෙද්දී. අපි ඒ දේ හොඳට තේරුම් අරන් ඉන්නවා නම් අනිත් කෙනා වෙනස් තීරණයක් ගත්තත් එයාව විනිශ්චය නොකර ඉන්න ඒක උදව් වෙනවා. ඒකෙන් සභාවේ එක්සත්කමත් වැඩි වෙනවා.—රෝම 14:10; 1 කොරි. 1:10.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්නේ කොහොමද?

9. අපි ඉබේම අවබෝධයෙන් වැඩ කරන අය වෙනවාද? පැහැදිලි කරන්න.

9 වැඩිහිටියන් වෙන එක කාලයත් එක්ක ඉබේටම වුණාට අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන එක ඉබේම වෙන්නේ නැහැ. කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන් ගැන හිතන්න. එයාලා ශුභාරංචිය පිළිගත්තා. බව්තීස්ම වුණා. එයාලට දෙවියන්ගේ බලය ලැබුණා. පාවුල් එයාලට දීපු මඟ පෙන්වීම්වලිනුත් එයාලා ඉගෙනගත්තා. (ක්‍රියා 18:8-11) ඒත් බව්තීස්ම වෙලා කාලයක් ගියත් එයාලා අවබෝධයෙන් වැඩ කළේ නැහැ.—1 කොරි. 3:2.

10. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද? (යූද් 20)

10 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න නම් මුලින්ම ඒකට ආසාවක් තියෙන්න ඕනේ. හැබැයි ‘අනුවණකමට ආස’ අයට වෙනස් වෙන්න කිසිම වුවමනාවක් නැහැ. (හිතෝ. 1:22) එයාලා බලන්නේ හැමදාම බබාලා වගේ ඉන්න. එයාලට කවදාවත් අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න බැහැ. සමහරු ඇඟපත උස් මහත් වෙලා වැඩිහිටියන් වුණාට කිසිම වගකීමක් ගන්නේ නැහැ. එයාලා බලන් ඉන්නේ දෙමාපියෝ එයාලා වෙනුවෙන් තීරණ ගන්න කල්. හැබැයි අපිට ඕනෙ වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙලා යෙහෝවා එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න. (යූද් 20 කියවන්න.) ඉතින් ඔයාත් එතනට එන්න මහන්සි වෙන කෙනෙක් නම් ඒකට “ආසාවක් වගේම පෙලඹීමක්” ඇති කරන්න කියලා දිගටම යෙහෝවාගෙන් ඉල්ලන්න.—ෆිලි. 2:13.

11. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද? (එෆීස 4:11-13)

11 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න යෙහෝවා අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඔහු අපිට එඬේරුන්ව සහ ගුරුවරුන්ව දීලා තියෙනවා. එයාලා “ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන, හොඳින් වැඩුණු අවබෝධයෙන් ක්‍රියා කරන” අය වෙන්න අපිට උදව් කරනවා. (එෆීස 4:11-13 කියවන්න.) ඒ වගේම දෙවියන් අපිට ඔහුගේ බලය දෙනවා. ඒ නිසා “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව ඉන්න අපිට පුළුවන්. (1 කොරි. 2:14-16) ඒ විතරක් නෙවෙයි යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු කියපු දේවල් දෙවියන් සුවිශේෂ පොත්වල ලියන්න මඟ පෙන්නුවා. ඒවා අධ්‍යයනය කරද්දී යේසුස් වගේ හිතලා ඔහු වගේ අවබෝධයෙන් වැඩ කරන්න අපිට පුළුවන්.

බයිබලේ තියෙන ගැඹුරු දේවල්

12. “මූලික ඉගැන්වීම්” කියන්නේ මොනවාද?

12 අවබෝධයෙන් වැඩ කරන්න නම් අපි “ක්‍රිස්තුස් පිළිබඳ මූලික ඉගැන්වීම් පහු කරලා” ඉස්සරහට යන්න ඕනේ. ඒවායින් කීපයක් තමයි පසුතැවිලි වෙන එක, දෙවියන් ගැන විශ්වාසය, බව්තීස්මය සහ නැවත නැඟිටීම. (හෙබ්‍රෙ. 6:1, 2) ඒවා අපේ විශ්වාසය ගොඩනඟලා තියෙන අත්තිවාරම වගේ. ඒකයි පෙන්තකොස්ත දවසේ රැස් වෙලා හිටපු අයට පේතෘස් ඒ දේවල් ඉගැන්නුවේ. (ක්‍රියා 2:32-35, 38) අපි යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න නම් ඒ ඉගැන්වීම් පිළිගන්නම ඕනේ. ඒ නිසයි පාවුල් කිව්වේ නැවත නැඟිටීම විශ්වාස කරන්නේ නැති කෙනෙක් ක්‍රිස්තියානියෙක් නෙවෙයි කියලා.—1 කොරි. 15:12-14.

13. ඝන ආහාරවලින් ප්‍රයෝජන ගන්න කරන්න ඕනෙ මොනවාද? (හෙබ්‍රෙව් 5:14) (පින්තූරයත් බලන්න.)

13 මූලික ඉගැන්වීම්වලට අමතරව අපි ඝන ආහාරත් ගන්න ඕනේ. ඒවාට දෙවියන් දීලා තියෙන නීති වගේම ප්‍රතිපත්තිත් ඇතුළත්. ඒවා උදව් වෙනවා දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න. ඒ ඝන ආහාරවලින් ප්‍රයෝජන ගන්න නම් අපි බයිබලේ ගැඹුරට අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. ඉගෙනගන්න දේවල් අපේ ජීවිතේට අදාළ කරගන්නත් ඕනේ. එතකොට යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපි ඉගෙනගන්නවා. cහෙබ්‍රෙව් 5:14 කියවන්න.

යෙහෝවා සතුටු වෙන විදිහට තීරණ ගන්න බයිබලේ තියෙන ගැඹුරු ඉගැන්වීම් අපිට උදව් වෙනවා (13 ඡේදය බලන්න) d


14. අවබෝධයෙන් වැඩ කරන්න පාවුල් කොරින්තියේ අයට උදව් කළේ කොහොමද?

14 බයිබලේ කෙළින්ම නීතියක් දීලා නැති කාරණාවලදී තීරණ ගන්න අවබෝධයෙන් වැඩ කරන්නේ නැති අයට අමාරුයි. එයාලා හිතනවා ඒ වෙලාවට තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. තවත් අය කරන්න ඕනෙ දේ අනිත් අයගෙන් අහනවා. කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ටත් වුණේ ඒකමයි. පේන විදිහට එයාලා පාවුල්ගෙන් ඇහුවා දේවතා රූපවලට පූජා කරපු කෑම කෑවාට කමක් නැද්ද කියලා. හැබැයි පාවුල් ඒකට කෙළින්ම උත්තරයක් දුන්නේ නැහැ. එයා කිව්වා එක් එක් කෙනාගේ හෘද සාක්ෂියට අනුව තීරණයක් ගන්න හැමෝටම “නිදහස තියෙනවා” කියලා. හෘද සාක්ෂිය නිදොස්ව තියාගන්න ගමන් අනිත් අයව අපහසුතාවට පත් කරන්නේ නැතුව තීරණ ගන්න උදව් වෙන ප්‍රතිපත්තිත් එයා පැහැදිලි කළා. (1 කොරි. 8:4, 7-9) පාවුල් එයාලට උදව් කළේ ශුද්ධ ලියවිල්ල සහ එයාලාගේ වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරලා තීරණ ගන්න. ඒ විදිහට අවබෝධයෙන් වැඩ කරන අය වෙද්දී තමන්ගේ තීරණ තව කෙනෙක් පිට පටවන්නවත් හැම දේටම නීතියක් හොයන්නවත් ඕන වෙන්නේ නැහැ.

15. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උදව් කළේ කොහොමද?

15 පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියෙනුත් අපිට ගන්න වටිනා පාඩමක් තියෙනවා. අවුරුදු ගාණක් ගියත් සමහර හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් දිගටම අවබෝධයෙන් වැඩ කරන්න උත්සාහ කළේ නැහැ. ඒකයි පාවුල් කිව්වේ ‘ඔයාලට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ඝන ආහාර නෙවෙයි, දැන් ඔයාලා ආයෙත් කිරි බොන තත්වයට ඇවිත්’ කියලා. (හෙබ්‍රෙ. 5:12) මොකද සමහරු යෙහෝවා එළිදරව් කරපු අලුත් ඉගැන්වීම් ගැන දැනුවත් වුණේවත් අලුත් සැලැස්මට යටත් වුණේවත් නැහැ. (හිතෝ. 4:18) උදාහරණෙකට හුඟක් යුදෙව් ක්‍රිස්තියානීන් හිතුවේ එයාලා තාමත් නීතියට යටත් වෙන්න ඕනෙ කියලා. හැබැයි ඒ වෙද්දී යේසුස් ජීවිතේ පූජා කරලයි තිබුණේ. නීතිය අහෝසි වෙලා අවුරුදු 30ක් විතර ගිහිනුත් තිබුණා. (රෝම 10:4; තීත. 1:10) නීතියට යටත් වෙන්න ඕනෙ නැහැ කියලා තේරුම්ගන්න ඒ කාලේ හොඳටම ඇති. පාවුල්ගේ ලිපිය බලද්දී තේරෙනවා ඒකේ තියෙන්නේ ගැඹුරු කාරණා කියලා. ඒ කාරණාම තමයි යේසුස් මාර්ගයෙන් යෙහෝවා ඇති කරපු මේ සැලැස්ම කලින් තිබුණ එකට වඩා ශ්‍රේෂ්ඨයි කියන විශ්වාසය ශක්තිමත් කරගන්න එයාලට ඕනෙ වුණේ. ඒ වගේම යුදෙව්වන්ගෙන් එන ඕනම විරුද්ධවාදිකමක් මැද ධෛර්යවන්තව සේවේ කරන්නත් ඒවා එයාලට උදව් වෙනවා.—හෙබ්‍රෙ. 10:19-23.

ඔයා ගැනම විශ්වාස කරන්න එපා

16. අපි දිගටම කරන්න ඕනෙ මොකක්ද?

16 අපි හැමෝගෙම ඉලක්කය අවබෝධයෙන් වැඩ කරන අය වෙන එක. ඒකට අපි මහන්සි වෙන්න ඕනෙ වගේම දිගටම ඒ තත්වේ ඉන්නත් මහන්සි වෙන්න ඕනේ. ‘මං දැනටමත් අවබෝධයෙන් වැඩ කරනවා. ඉතිං මට දියුණු වෙන්න දෙයක් නෑ’ කියලා හිතලා අපි අපි ගැනම ඕනෑවට වඩා විශ්වාසය තියන්න හොඳ නැහැ. (1 කොරි. 10:12) ඒ වෙනුවට අපි දිගටම දියුණු වෙනවාද කියලා හැම දවසකම හොඳට “සෝදිසි කරලා බලන්න” ඕනේ.—2 කොරි. 13:5.

17. පාවුල් කොලොස්සිවරුන්ට ලියපු ලිපියෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

17 අවබෝධයෙන් වැඩ කරන එකේ වැදගත්කම පාවුල් කොලොස්සිවරුන්ටත් කාවැද්දුවා. ඒ සභාවේ අය ඒ වෙද්දීත් අවබෝධයෙන් වැඩ කළා. ඒත් පාවුල් එයාලට කිව්වා පරෙස්සම් වුණේ නැත්නම් එයාලා ලෝකේ අයගේ අදහස්වලට අහු වෙයි කියලා. (කොලො. 2:6-10) එහේ සහෝදරයන්ව හොඳටම දැනන් හිටපු කෙනෙක් තමයි එපෆ්‍රස්. එයා යෙහෝවාගෙන් ඉල්ලුවා “අවසානය දක්වා අවබෝධයෙන් ක්‍රියා කරන අය වෙන්න” ඒ සහෝදරයන්ට උදව් කරන්න කියලා. (කොලො. 4:12) මොකද පාවුල් වගේම එපෆ්‍රසුත් තේරුම් අරන් හිටියා දිගටම අවබෝධයෙන් වැඩ කරන්න නම් දෙවියන්ගේ උදව්වත් ඕනෙ, ඒකට ඒ සහෝදරයොත් මහන්සි වෙන්න ඕනෙ කියලා. ඒ දෙන්නාටම ඕන වුණේ කොලොස්සියේ සහෝදරයන් දිගටම අවබෝධයෙන් වැඩ කරනවා දකින්නයි.

18. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට වුණත් වෙන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

18 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වුණත් පසුතැවිලා යෙහෝවාගෙන් සමාව නොගන්න තරමටම දරදඬු වෙන්න පුළුවන්. එතකොට එයාට යෙහෝවාගේ අනුමැතිය සදහටම නැති වෙනවා. ඒකයි පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ඒ ගැන අනතුරු ඇඟෙව්වේ. හොඳ වෙලාවට එයාලා ඒ තැනට වැටිලා හිටියේ නැහැ. (හෙබ්‍රෙ. 6:4-9) එතකොට අපි අතර ඉන්න අක්‍රියාශීලී අය? සභාවෙන් ඉවත් කරලා පස්සේ පසුතැවිලි වෙන අය? එයාලා අවංකව පසුතැවිලි වෙන එකෙන්ම පේනවා පාවුල් කතා කරපු අයගේ ගොඩට එයාලා වැටෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වගේ කෙනෙක් යෙහෝවා දෙවියන් ගාවට ආයෙත් ආවාට පස්සේ ඔහු දෙන උදව් පිළිගන්න ඕනේ. (එස. 34:15, 16) සමහරවිට ඒ වගේ කෙනෙක්ට යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන්න කියලා වැඩිමහල්ලෝ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට කියයි.

යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ශක්තිමත් කරගන්න වුවමනාවක් තියෙන අයට ඔහු උදව් කරනවා (18 ඡේදය බලන්න)


19. අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද?

19 ඔයාත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ආස නම් ඒකට දිගටම මහන්සි වෙන්න. මොකද ඔයාට පුළුවන් ඒ ඉලක්කෙට යන්න. බයිබලේ තියෙන ගැඹුරු ඉගැන්වීම්වලින් දිගටම පෝෂණය වෙන්න. හැම දවසකම තව ටිකක් හරි වැඩියෙන් යෙහෝවා වගේ හිතන්න මහන්සි වෙන්න. ඔයා දැනටමත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් නම් සදහටම ඒ තත්වෙම ඉන්න උපරිමය කරන්න.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කොයි වගේද?

  • අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

  • අපි අපි ගැනම ඕනෑවට වඩා විශ්වාස කරන්න හොඳ නැත්තේ ඇයි?

ගීතිකාව 65 දියුණු වන්න

a “අවබෝධයෙන් වැඩ කරන,” “අවබෝධයෙන් වැඩ කරන්නේ නැති” වගේ යෙදුම් හෙබ්‍රෙව් ලියවිල්ලේ නැහැ. හැබැයි ඒ අදහස ඒකේ තියෙනවා. උදාහරණෙකට අද්දැකීම් නැති තරුණයෙක් සහ හොඳට හිතලා බලලා වැඩ කරන තරුණයෙක් අතර තියෙන වෙනස හිතෝපදේශ පොතේ පැහැදිලි කරනවා.—හිතෝ. 1:4, 5.

b jw.org වෙබ් අඩවියේ සහ ‘JW ලයිබ්‍රරි’ එකේ “තවත් ලිපි” යටතේ තියෙන “බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!” කියන ලිපිය බලන්න.

c මේ සඟරාවේ තියෙන “අධ්‍යයනයට දෙයක්!” කියන කොටස බලන්න.

d පින්තූරේ අදහස: ෆිල්ම් එකක් තෝරගද්දී සහෝදරයෙක් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා.