Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 17

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

මේ පාරාදීසේ කවදාවත් දාලා යන්න එපා!

මේ පාරාදීසේ කවදාවත් දාලා යන්න එපා!

“දැන් මා කරන්න යන දේ ගැන සිතා හද පත්ලෙන්ම සතුටු වන්න. ඒ සතුට සදහටම ඔබේ සිතෙහි රඳවාගන්න.”යෙසා. 65:18.

ලිපියේ අරමුණ

අපි දැන් ඉන්න පාරාදීසේ නිසා අපි ලබන ආශීර්වාද ගැනත් ඒකට ඇතුල් වෙන්න අනිත් අයට උදව් කරන්න පුළුවන් විදිහ ගැනත් දැනගන්න.

1. දෙවියන් මේ කාලේදී දෙන පාරාදීසේ මොකක්ද? අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

 අද පොළොවේ ලස්සන පාරාදීසයක් තියෙනවා. මිලියන ගාණක් සෙනඟ ඒකේ සතුටින්, සාමයෙන් කල් ගෙවනවා. අනිත් අය වෙනුවෙන් ගොඩක් යහපත් දේවලුත් කරනවා. එයාලාගේ එකම අධිෂ්ඨානය කවදාවත් මේ පාරාදීසේ දාලා යන්නේ නැතුව ඉන්න එක. එයාලට ඕනෙ තව පුළුවන් තරම් දෙනෙක්ට මේ පාරාදීසෙට එන්න උදව් කරන්න. ඒත් මොකක්ද මේ පාරාදීසේ? ඒක සංකේතවත් එකක්. ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අය අද්දකින පාරාදීසයක් වගේ තත්වයක්. ඒක පාරාදීසයක් වගේ කියලා කියන්නේ එයාලට යෙහෝවා එක්කත් අනිත් අය එක්කත් කිට්ටු බැඳීමක් තියෙන නිසා.

2. මේ පාරාදීසේ තියෙන විශේෂත්වය මොකක්ද?

2 සාතන්ගේ ලෝකේ දුෂ්ටකම්වලින් පිරිලා. (1 යොහ. 5:19; එළි. 12:12) අපේ ආදරණීය දෙවි පියාණන් දන්නවා මේ වගේ තැනක ඔහුට සතුටින් නමස්කාර කරන එක ඔහුගේ සෙනඟට අමාරුයි කියලා. ඒ නිසා තමයි විස පිරුණු මේ ලෝකේ සාමයේ රස පිරුණු පාරාදීසයක් වගේ ලස්සන වටපිටාවක් ඔහු ඇති කරලා තියෙන්නේ. ඒක බයිබලේ හඳුන්වන්නේ ‘ආරක්ෂා වීමට ස්ථානයක්, වතුර ඇති උයනක්’ කියලා. (යෙසා. 4:6; 58:11) මේ පාරාදීසේ ඉන්න අයට යෙහෝවාගේ ආශීර්වාද තියෙන නිසා අවසාන කාලේ කොච්චර දරුණු දේවල් වුණත් එයාලා ලොකු සතුටක්, ආරක්ෂාවක් අද්දකිනවා.—යෙසා. 54:14; 2 තිමෝ. 3:1.

3. යෙසායා 65 කියන දේ අතීතයේදී ඉටු වුණේ කොහොමද?

3 මේ පාරාදීසේ කොයි වගේද කියලා යෙහෝවා දෙවියන් කලින්ම කිව්වා. ඒ ගැන යෙසායා 65​වෙනි පරිච්ඡේදේ තියෙනවා. ඒක මුලින්ම ඉටු වුණේ ක්‍රි.පූ. 537දී පසුතැවිලි වුණ යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආයෙත් යෙරුසලමට ආපු වෙලාවේ. පාළුවට ගිහින් තිබුණ ඒ නගරේ ආයෙත් ගොඩනඟන්න යෙහෝවා එයාලට උදව් කළා. ඒ වගේම ඔහුට නමස්කාර කරන්න ඒ කාලේ තිබුණ ප්‍රධානම තැන, ඒ කියන්නේ දේවමාලිගාව ආයෙත් ඉදි කරන්නත් ඔහු එයාලට උදව් කළා.—යෙසා. 51:11; සෙක. 8:3.

4. යෙසායා 65 කියන දේ අපේ කාලේ ඉටු වෙන්නේ කොහොමද?

4 යෙසායා කියපු අනාවැකිය දෙවෙනි වතාවට ඉටු වෙන්න පටන්ගත්තේ ක්‍රි.ව. 1919දී. ඒ යෙහෝවාගේ සෙනඟ මහ බැබිලෝනියෙන් නිදහස් වෙනවාත් එක්කම. ඊටපස්සේ මේ සංකේතවත් පාරාදීසේ පොළොව පුරාම ව්‍යාප්ත වෙන්න පටන්ගත්තා. උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු අය හුඟක් සභාවන් පිහිටෙව්වා. ඒ වගේම කලින් දරුණු, පහත් ජීවිත ගත කරපු අය “අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන” දෙවියන් කැමති ලස්සන ගුණාංග වර්ධනය කරගන්න පටන්ගත්තා. (එෆී. 4:24) එහෙම බලද්දී යෙසායා කියපු අනාවැකිය අද ඉටු වෙනවා. හැබැයි ඒක වචනානුසාරයෙන්ම ඉටු වෙන්නේ අනාගතේදී. දැන් අපි බලමු අද අපි ඉන්න පාරාදීසේ මොන වගේද කියලා. කවදාවත් ඒක අත්හැරලා යන්න හොඳ නැත්තේ ඇයි කියලත් බලමු.

පාරාදීසේ ඉන්න අයට දැනෙන විදිහ

5. යෙසායා 65:13 කියන විදිහට මේ පාරාදීසේ ඉන්න අයගේ ජීවිතේ මොන වගේද?

5 කාලා බීලා ප්‍රාණවත්ව ඉන්නවා. මේ පාරාදීසේ ඉන්න අයයි, ඒකෙන් පිට ඉන්න අයයි අතරේ තියෙන වෙනස යෙසායා විස්තර කරනවා. (යෙසායා 65:13 කියවන්න.) යෙහෝවා දෙවියන් ඔහුට ළං වෙලා ඉන්න ඕන කරන හැම දෙයක්ම ඔහුගේ සෙනඟට මදි නොකියන්න දෙනවා. උදාහරණෙකට දෙවියන් අපිට ඔහුගේ බලය දෙනවා. ඔහුගේ වචනය දීලා තියෙනවා. සංවිධානය හරහා ඇති තරම් පෝෂණය දෙනවා. (එළි. 22:17) ඒ නිසා අපිට පුළුවන් ‘කාලා බීලා ප්‍රීතියෙන් ඉපිල යන්න.’ එතකොට මේ පාරාදීසෙන් පිට ඉන්න අය? එයාලා ඉන්නේ ‘කුසගින්නෙන්, පිපාසයෙන් සහ ලැජ්ජාවෙන්.’ යෙහෝවා කියන්නේ කවුද කියලවත් එයාලා දන්නේ නැහැ.—ආමො. 8:11.

6. යෙහෝවා අපිට දෙන පෝෂණය යෝවෙල් 2:21-24 විස්තර කරලා තියෙන්නේ කොහොමද? ඒවායින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?

6 යෝවෙල් එයාගේ අනාවැකියේ ධාන්‍ය, වයින්, ඔලීව තෙල් වගේ ඒ කාලේ අත්‍යවශ්‍යම වුණ දේවල් ගැන කතා කළා. ඒකෙන් එයා පෙන්නුවේ යෙහෝවා තමන්ගේ සෙනඟට කොච්චර ත්‍යාගශීලීව දේවල් සපයනවාද කියලයි. (යෝවෙ. 2:21-24) දෙවියන් අදත් බයිබලේ, බයිබලේ මත පදනම් ප්‍රකාශන, අපේ වෙබ් අඩවිය, රැස්වීම් සහ සමුළු පාවිච්චි කරලා අපිව හොඳට පෝෂණය කරනවා. අපි ඒවායින් හැම දවසකම ප්‍රයෝජන ගන්නවා නම් දිගටම අපේ විශ්වාසේ ශක්තිමත්ව තියාගෙන ප්‍රබෝධයෙන් ඔහුට නමස්කාර කරන්න අපිට පුළුවන්.

7. “සතුටු සිතින්” ඉන්න අපිට තියෙන හේතු මොනවාද? (යෙසායා 65:14)

7 සතුට සහ තෘප්තිය තියෙනවා. යෙහෝවා ගැන හිතේ තියෙන අගය නිසා ඔහුගේ සෙනඟ “සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟනවා.” (යෙසායා 65:14 කියවන්න.) එයාලා බයිබලේ තියෙන වටිනා සත්‍යයන්, දෙවියන් දීලා තියෙන පොරොන්දු දැනගෙන තියෙනවා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා එයාලාගේ ජීවිතවලට බලාපොරොත්තුවකුත් ලැබිලා තියෙනවා. ඒ දේවල් ගැන සහෝදරයන් එක්ක ආයේ ආයේ කතා කරද්දී අපේ හිත් සතුටින් පිරිලා ඉතිරිලා යනවා.—ගීතා. 34:8; 133:1-3.

8. සංකේතවත් පාරාදීසේ තියෙන කැපීපේන දේවල් දෙකක් කියන්න.

8 ආදරේ සහ එක්සත්කම. ඒවා මේ පාරාදීසේ තියෙන කැපීපේනම දේවල්. අද අපි අතරේ තියෙන ‘එක්සත් බැඳීම’ දිහා බැලුවාම අපිට හිතාගන්න පුළුවන් ඉස්සරහට එන පාරාදීසේදී අපි කොච්චර ආදරෙන්, එක්සත්ව ඉඳීද කියලා. (කොලො. 3:14) සාක්ෂිකරුවන්ව මුලින්ම හම්බ වුණ දවස ගැන සහෝදරියක් කියපු දේ බලන්න. “සතුට කියන්නේ මොකක්ද කියලවත් මං දැනන් හිටියේ නෑ. පවුලේ අය එක්ක ඉද්දීවත් මට කවදාවත් සතුටක් දැනිලා නෑ. මුල්ම වතාවට මං ඒක දැක්කේ සාක්ෂිකරුවන්ගෙන්.” ඒකෙන් පේනවා සතුට අද්දකින්න නම් කෙනෙක් මේ පාරාදීසෙට ඇවිල්ලාම බලන්න ඕනෙ කියලා. ඒත් සමහරවිට සාක්ෂිකරුවන් ගැන වැරදි දේවල් ඔයාගේ කනට වැටිලා ඇති. හැබැයි කවුරු මොනවා කිව්වත් සාක්ෂිකරුවෝ කවුද, එයාලට මොන වගේ නමක්ද තියෙන්නේ කියලා යෙහෝවා දන්නවා. දෙවියන්ගේ පවුලේ අය අතරේ කොච්චර ආදරයක්, එක්සත්කමක් තියෙනවාද කියලා ඒ පවුලේ අයත් දන්නවා.—යෙසා. 65:15.

9. දැන් අපිට දුකක්, වේදනාවක් ගේන දේවල් ගැන යෙසායා 65:16, 17 කියලා තියෙන්නේ මොකක්ද?

9 සහනයක්, සන්සුන්කමක් දැනෙනවා. යෙසායා 65:14 කියනවා මේ පාරාදීසෙට ඇතුල් වෙන්න අකමැති අය “හදවතේ වේදනාවෙන් හා සිත්තැවුලෙන් කෑ මොර ගහනවා” කියලා. ඒත් දෙවියන්ගේ සෙනඟත් අද දුක් විඳිනවානේ. ඒවාට වෙන දේ ගැන යෙහෝවා කියන දේ බලන්න. ඒ දේවල් “යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැහැ. යළි කෙදිනකවත් මා ඉදිරියේ එවැනි දේවල් සිදු වන්නේ නැහැ.” (යෙසායා 65:16, 17 කියවන්න.) යෙහෝවා පොරොන්දු වෙනවා අද අපි මූණ දෙන ප්‍රශ්න නැති කරනවා කියලා. ඉස්සරහට අපිට ඒවා මතක් වෙන එකක්වත් නැහැ.

10. සහෝදරයන් එක්ක ඉන්න ලැබුණ එක ආශීර්වාදයක් කියලා ඔයා හිතන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

10 අපි ප්‍රශ්නවලින් මිරිකිලා හිටියත් රැස්වීම් ගියාම පුදුම සහනයක්, සන්සුන්කමක් දැනෙනවා. ප්‍රශ්නත් අමතක වෙනවා. අපේ සහෝදර සහෝදරියන්ටත් ඒ හැඟීමම දෙන්නයි අපිට ඕනේ. ඒත් එහෙම වෙන්න නම් අපි ආදරේ, සතුට, සමාදානය, කරුණාවන්තකම, මෘදුකම වගේ දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග පෙන්නන්න ඕනේ. (ගලා. 5:22, 23) ඇත්තටම මේ සංවිධානයේ ඉන්න ලැබුණ එක කොච්චර ආශීර්වාදයක්ද! ඉතින් මේ පාරාදීසේ දිගටම රැඳිලා ඉන්න. එතකොට “අලුත් අහසක්, අලුත් පොළොවක්” ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව සම්පූර්ණෙන්ම ඉටු වෙන විදිහ ඔයාටත් දකින්න පුළුවන්.

දෙවියන්ගේ පවුලේ කෙනෙක් විදිහට මේ පාරාදීසේ ඉන්න ලැබෙන එක කොච්චර ආශීර්වාදයක්ද! (10 ඡේදය බලන්න) b


11. යෙහෝවා දීලා තියෙන පාරාදීසේ ගැන අපිට දැනෙන්න ඕනෙ කොහොමද? (යෙසායා 65:18, 19)

11 ලොකු අගයක්, ආසාවක් තියෙනවා. මේ පාරාදීසේ ඉන්න අපිට “හද පත්ලෙන්ම සතුටු වෙන්න” පුළුවන් හේතු ගැන යෙසායා කියලා තියෙනවා. මේ පාරාදීසේ හැදුවේ යෙහෝවා. (යෙසායා 65:18, 19 කියවන්න.) එහෙම බලද්දී බොරු උගන්නන සංවිධානවලින් අයින් වෙලා මේ පාරාදීසෙට එන්න මිනිස්සුන්ට උදව් කරන්න යෙහෝවා අපිව පාවිච්චි කරන එක පුදුමයක් නෙවෙයි. මේ පාරාදීසේදී ලැබෙන ආශීර්වාද ගැන හිතද්දීත් අපේ සතුට ඉහවහා යනවා. (යෙරෙ. 31:12) ඒ නිසා ඒක අනිත් අයට කියන්නත් අපිට තියෙන්නේ ලොකු ආසාවක්.

12. යෙසායා 65:20-24 කියන පොරොන්දු ගැන ඔයාට දැනෙන්නේ කොහොමද? ඒ ඇයි?

12 මේ පාරාදීසේ පදිංචිකරුවන් විදිහට යෙහෝවා දීලා තියෙන බලාපොරොත්තුව ගැන අපේ හිතේ ලොකු ආසාවක්, අගයක් තියෙනවා. අනාගතේදී ලැබෙන ජීවිතේ ගැන හිතන්න. එදාට “ස්වල්ප දවසක් ජීවත් වූ ළදරුවෙක්වත් ආයු කාලය සම්පූර්ණයෙන් භුක්ති නොවින්ද මහල්ලෙක්වත් මිය යන්නේ නැහැ.” ඒ කාලේදී අපි ‘ගෙවල් ගොඩනඟලා ජීවත් වෙනවා. මිදිවතු වවලා පලදාව භුක්ති විඳිනවා.’ අපිට දෙවියන්ගේ ආශීර්වාදේ ලැබෙන නිසා අපේ ‘මහන්සිය අපතේ යන්නේ නැහැ.’ එදාට අපි දෙයක් ඉල්ලලා ඔහුට “හඬගහන්න කලින්ම” ඔහු අපිට ඕනෙ මොනවාද කියලා දන්නවා. ඒ නිසා ඔහු “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා.”—යෙසා. 65:20-24; ගීතා. 145:16.

13. කෙනෙක් යෙහෝවාට සේවේ කරන්න පටන්ගද්දී එයාගේ ජීවිතේ වෙන වෙනස යෙසායා 65:25 පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද?

13 සාමයක් සහ සුරක්ෂිතභාවයක් දැනෙනවා. තිරිසන් ගති තිබුණ හුඟක් අය දෙවියන්ගේ බලයෙන් දැන් හීලෑ වෙලා. (යෙසායා 65:25 කියවන්න.) නරක ගතිගුණ වෙනස් කරගන්න එයාලා හුඟක් මහන්සි වෙලා තියෙනවා. (රෝම 12:2; එෆී. 4:22-24) හැබැයි මොන වෙනස්කම් කරගත්තත් දෙවියන්ගේ සෙනඟ තාමත් පව්කාරයි. එයාලා අතිනුත් අඩුපාඩු වෙනවා. හැබැයි යෙහෝවාට ආදරේ කරන, අනිත් අයට ආදරේ කරන “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ව” යෙහෝවා එකට එකතු කරලා තියෙනවා. ඒ නිසා එයාලා අතරේ ලොකු ආදරයක්, සමාදානයක් තියෙනවා. (තීත. 2:11) ඒ වගේ ආශ්චර්යයක් කරන්න පුළුවන් සියලු බලැති දෙවියන්ට විතරයි.

14. යෙසායා 65:25 කියන දේ සහෝදරයෙක් අද්දැක්කේ කොහොමද?

14 ඇත්තටම මිනිස්සුන්ට පුළුවන්ද ඔය කියන විදිහට වෙනස් වෙන්න? මේ යෞවනයාගේ අද්දැකීම බලන්න. එයා ගත කළේ පහත්, දරුණු ජීවිතයක්. ඕනම වෙලාවක ගහගන්න බලන් හිටියේ. එයා වාහන ඉස්සුවා, ගෙවල් බින්දා, තව ගොඩක් අපරාධ කළා. ඒ නිසා අවුරුදු 20ක් වෙද්දී කීප සැරයක්ම එයා හිරේ ගියා. දවසක් එයාට බයිබලේ තියෙන පණිවිඩේ අහන්න ලැබුණා. ඊටපස්සේ එයා සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් ගියා. එතකොට තමයි එයාගේ ජීවිතේට අරමුණක් ලැබුණේ, එයා මේ පාරාදීසෙට අඩිය තිබ්බේ. ජීවිතේ වෙනස් කරගෙන බව්තීස්ම වුණාට පස්සේ ‘යෙසායා 65:25 කියන්නේ මං ගැනමනේ’ කියලා එයා නිතරම හිතනවා. ඔය විදිහට වෘක ගති තිබුණ කෙනෙක් බැටළු පැටියෙක් වුණා.

15. අනිත් අයටත් මේ පාරාදීසෙට එන්න කියන්න අපි ආස ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?

15 යෙසායා 65:13 පටන්ගන්නේ “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය” කියලා. 25වෙනි පදේ ඉවර වෙන්නෙත් “එසේ පවසන්නේ යෙහෝවා දෙවිය” කියලා. යෙහෝවා දෙයක් කිව්වොත් ඒක වෙනවාමයි. (යෙසා. 55:10, 11) ඔහු මේ පාරාදීසේ දැනටමත් හදලයි තියෙන්නේ. ඔහුට නමස්කාර කරන එක්සත් පවුලක් ලෝකේ පුරාම ඉන්නවා. සාතන්ගේ ලෝකේ කොච්චර දුෂ්ට වුණත් මේ පවුලේ අය ලොකු සමාදානයක්, ආරක්ෂාවක් අද්දකිනවා. (ගීතා. 72:7) අන්න ඒකයි අපිට ඕනෙ පුළුවන් තරම් දෙනෙක්ට අපේ පවුලට එකතු වෙන්න කියලා ආරාධනා කරන්න. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි මිනිස්සුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක.—මතෙ. 28:19, 20.

අනිත් අයවත් ආකර්ෂණය කරගන්න

16. කෙනෙක්ට සංකේතවත් පාරාදීසෙට ඇතුල් වෙන්න උදව් වෙන්නේ මොනවාද?

16 මේ පාරාදීසෙට අනිත් අයවත් ආකර්ෂණය කරගන්න අපි හැමෝටම කරන්න දෙයක් තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි යෙහෝවාව ආදර්ශෙට ගත්තොත් විතරයි. ඔහු කාවවත් බලෙන් සංවිධානයට ඇදලා ගන්නේ නැහැ. ඔහු කරන්නේ මේ පාරාදීසෙට එන්න අනිත් අයගේ හිතේ “ආශාවක්” ඇති කරන එක. (යොහ. 6:44; යෙරෙ. 31:3) අපිත් කාටවත් මේකට එන්න කියලා බල කරන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා ගැන, ඔහුගේ ගුණාංග ගැන අපි අනිත් අයට උගන්නද්දී එයාලමයි මේ පාරාදීසෙට ඇදිලා එන්නේ. ඒත් අපි වැඩ කරන විදිහෙන්, අපේ හොඳ ගුණාංගවලින් පාරාදීසෙට එන්න අනිත් අයගේ හිතේ ආසාවක් ඇති කරන්නේ කොහොමද?

17. අනිත් අයව මේ පාරාදීසෙට ආකර්ෂණය කරගන්න අපිට පුළුවන් කොහොමද?

17 මේ පාරාදීසෙට අනිත් අයව ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහක් තමයි අපේ සහෝදරයන්ට ආදරෙන් සලකන එක. ඇයි එහෙම කියන්නේ? එදා කොරින්ති සභාවට මුලින්ම ආපු අයට හැඟුණේ “ඇත්තෙන්ම දෙවි ඔබ අතර ඉන්නවා” කියලා. (1 කොරි. 14:24, 25; සෙක. 8:23) අපිටත් ඕනෙ අපේ සභාවට මුලින්ම එන කෙනෙක්ට ඒ විදිහටම හැඟෙනවා දකින්න. එහෙමනම් “එකිනෙකා සමඟ සමාදානයෙන් ඉන්න” කියන උපදෙස රකින එක කොච්චර වටිනවාද!—1 තෙස. 5:13.

18. අනිත් අය මේ සංවිධානෙට ඇදිලා එන්නේ ඇයි?

18 අපි සහෝදරයන් දිහා බලන්න ඕනෙ යෙහෝවා බලන විදිහට. අපි එයාලාගේ අඩුපාඩු දිහා නෙවෙයි එයාලාගේ හොඳ පැති දිහා බලන්න ඕනේ. මොකද මේ අඩුපාඩු තියෙන්නේ තව ටික දවසයි. ඉතින් අපි හැම වෙලේම “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වනවා” නම්, එයාලට “කැමැත්තෙන්ම සමාව දෙනවා” නම් ප්‍රශ්න ඇති වුණත් ඒවා ඉක්මනටම විසඳගන්න පුළුවන්. (එෆී. 4:32) අපි ඒ විදිහට අනිත් අයට ආදරේ පෙන්නනවා දකිද්දී ඒකට කැමති අය ඉබේම සංවිධානෙට ඇදිලා එනවා. a

කවදාවත් මේ පාරාදීසේ දාලා යන්න එපා!

19. (අ) “ එයාලා ගියත් ආයෙත් ආවා” කියන කොටුවේ පෙන්නන විදිහට මේ පාරාදීසෙට ආයෙත් ආපු අය කියන්නේ මොනවාද? (ආ) අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

19 මේ පාරාදීසේ ඉන්න ලැබුණ එක කොච්චර ආශීර්වාදයක්ද! මේක දවසින් දවස ලස්සන වෙනවා. මොකද යෙහෝවාට නමස්කාර කරන අයගේ ගාණ දවසින් දවස වැඩි වෙනවා. අපිට ඕනෙ මේ පාරාදීසේ ගැන තියෙන අගය තවත් වැඩි කරගන්න. ප්‍රාණවත් වෙන්න, තෘප්තිමත් වෙන්න, සාමකාමීව ඉන්න, ආරක්ෂාව ලබන්න ඔයා ආසද? එහෙමනම් මේ පාරාදීසෙට එන්න. ඒක කවදාවත් දාලා යන්න එපා. හැබැයි පරෙස්සම් වෙන්න! සාතන් හදන්නේ ඔයාව මේ පාරාදීසෙන් එළියට ඇදලා ගන්න. (1 පේතෘ. 5:8; එළි. 12:9) ඒකට නම් ඉඩ දෙන්න එපා. ඉතින් සුන්දර, සාමකාමී මේ පාරාදීසේ ආරක්ෂා කරගන්න අපි අපේ උපරිමය කරමු.

මේ පාරාදීසේ දාලා යන්නේ නැති අයට අනාගතේදී ලැබෙන පාරාදීසෙත් සතුටින් ඉන්න පුළුවන් (19 ඡේදය බලන්න)


ඔයාගේ උත්තරේ මොකක්ද?

  • දෙවියන් දැන් අපිට දීලා තියෙන පාරාදීසේ මොකක්ද?

  • මේ පාරාදීසේ ඉන්න අය අද්දකින ආශීර්වාද මොනවාද?

  • මේ පාරාදීසෙට අනිත් අයව ආකර්ෂණය කරගන්න අපිට පුළුවන් කොහොමද?

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

a jw.org වෙබ් අඩවියේ තියෙන “ආයෙත් මුණගැහෙමුද? අලීනා සිට්නිකෝවා: මගේ හීනය හැබෑ වුණා” කියන වීඩියෝ එක බලන්න.

b පින්තූරේ අදහස: නමස්කාර මධ්‍යස්ථානේදී හැමෝම සතුටින් කතා කරකර ඉද්දී එක සහෝදරයෙක් විතරක් පැත්ත ගහලා ඉන්නවා.