Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 15

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

යෙහෝවාගේ සංවිධානය ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න

යෙහෝවාගේ සංවිධානය ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න

“ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දෙවිගේ වදන් ගැන කියා දෙන අයව අමතක නොකරන්න.”හෙබ්‍රෙ. 13:7.

ලිපියේ අරමුණ

යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන තියෙන විශ්වාසය, අගය හැමදාටම තියාගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

1. මුල් සියවසේදී දෙවියන්ගේ සෙනඟව සංවිධානය කරලා තිබුණේ කොහොමද?

 යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට පැවරුමක් භාර දුන්නොත් එයාලා හොඳට සංවිධානය වෙලා ඒක පිළිවෙළකට කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (1 කොරි. 14:33) උදාහරණෙකට දෙවියන්ගේ කැමැත්ත තමයි පොළොවේ ඉන්න හැමෝම ශුභාරංචිය දැනගන්නවා දකින එක. (මතෙ. 24:14) ඒක අධීක්ෂණය කරන්න ඔහු පත් කළේ යේසුස්ව. ඉතින් යේසුත් ඒක ඔහේ කරන්නන් වාලේ කරනවා වෙනුවට හොඳට සංවිධානය කරන්න පියවර ගත්තා. මුල් සියවසේදී යෙරුසලමේ පාලක මණ්ඩලයක් හිටියා. ඒ පාලක මණ්ඩලය හැදිලා තිබුණේ නියෝජිතයන්ගෙන් සහ වැඩිමහල්ලන්ගෙන්. එයාලා තමයි සභාවලට බලපාන තීරණ ගත්තේ. (ක්‍රියා 14:23) ඒ තීරණ සභාවල ඉන්න අයට දැනුම් දෙන්න හැම සභාවකම වැඩිමහල්ලන්ව පත් කරලා තිබුණා. (ක්‍රියා 15:2; 16:4) ඒ ලැබුණ මඟ පෙන්වීම් පිළිපදිද්දී ‘සභාවල හිටපු හැමෝගෙම විශ්වාසය ශක්තිමත් වුණා වගේම හිටපු අයගේ ගාණත් වැඩි වුණා.’—ක්‍රියා 16:5.

2. 1919 ඉඳන් යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්නලා තියෙන්නෙත් එයාලව පෝෂණය කරලා තියෙන්නෙත් කොහොමද?

2 යෙහෝවා දෙවියන් අදටත් ඔහුගේ සෙනඟව සංවිධානය කරන එක නවත්තලා නැහැ. 1919 ඉඳන් යේසුස් අභිෂේක ලත් අයගෙන් හැදුණ පොඩි කණ්ඩායමක් පාවිච්චි කරලා දේශනා සේවේ හොඳට සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම එයාලා මාර්ගයෙන් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණයත් දෙනවා. a (ලූක් 12:42) එයාලා කරන වැඩේට යෙහෝවා ආශීර්වාද කරනවා කියලා හොඳටම පැහැදිලියි.—යෙසා. 60:22; 65:13, 14.

3-4. (අ) සංවිධානය වෙන එකේ ප්‍රයෝජන ගැන උදාහරණෙකින් පැහැදිලි කරන්න. (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපි හොඳට සංවිධානය වෙලා නැත්නම් යේසුස් දීපු පැවරුම කරන්න අපිට බැරි වෙයි. (මතෙ. 28:19, 20) ටිකකට හිතන්න, ඔයාගේ සභාවේ සේවේ කරන්න ඕන ප්‍රදේශ කණ්ඩායම්වලට බෙදලා දීලා නැහැ කියලා. එහෙම වුණොත් ඕන කෙනෙක්ට ඕන පැත්තකට ගිහින් සේවේ කරන්න පුළුවන්. එතකොට හැමෝම එකම පැත්තේ සේවේ යයි. සමහර පැතිවලට ජීවිතේට යන එකක් නැහැ. සංවිධානය වෙලා නැත්නම් ඒ වගේ අවුල් වෙන්න පුළුවන් තවත් පැති ඔයාගේ ඔළුවට එනවාද?

4 යේසුස් පොළොවේ ඉද්දී ඔහුගේ අනුගාමිකයන්ව සංවිධානය කළා වගේ ඔහු අදත් අපිව සංවිධානය කරනවා. ඒත් යේසුස් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? ඒ ආදර්ශය අද අපේ සංවිධානය අනුගමනය කරන්නේ කොහොමද? සංවිධානය ගැන අපේ අගය අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ගැන මේ ලිපියෙන් බලමු.

අනුගමනය කරන්නේ යේසුස්වයි

5. අපි යේසුස්ව අනුගමනය කරන විදිහක් කියන්න. (යොහන් 8:28)

5 කරන, කියන දේවල් යේසුස් ඉගෙනගත්තේ ඔහුගේ තාත්තාගෙන්. දෙවියන්ගේ සංවිධානය අද කරන්නෙත් ඒ දේමයි. හරි වැරැද්ද ගැන කියලා දෙන්නත් මඟ පෙන්වීම් දෙන්නත් සංවිධානය පාවිච්චි කරන්නේ බයිබලය. (යොහන් 8:28 කියවන්න; 2 තිමෝ. 3:16, 17) සංවිධානය නිතරම අපිට කියනවා බයිබලේ කියවලා ඒකේ තියෙන දේවල් අදාළ කරගන්න කියලා. ඒ මඟ පෙන්වීමට කීකරු වෙන එකෙන් ප්‍රයෝජන තියෙනවාද?

6. බයිබලේ අධ්‍යයනය කරන එකෙන් අපිට ලැබෙන එක ප්‍රයෝජනයක් මොකක්ද?

6 බයිබලේ අධ්‍යයනය කරද්දී අපි සංවිධානයේ ප්‍රකාශන පාවිච්චි කරනවා නම් ඒකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. එතකොට අපිට පුළුවන් සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් ඇත්තටම බයිබලේට එකඟද කියලා තේරුම්ගන්න. ඒ විදිහට අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ බයිබලෙන්මයි කියලා තේරෙද්දී සංවිධානය ගැන අපේ හිතේ තියෙන විශ්වාසේ තවත් වැඩි වෙනවා.—රෝම 12:2.

7. යේසුස් දේශනා කරපු පණිවිඩය මොකක්ද? සංවිධානය ඔහුව අනුගමනය කරන්නේ කොහොමද?

7 යේසුස් ‘දේවරාජ්‍යය ගැන ශුභාරංචිය’ දේශනා කළා. (ලූක් 4:43, 44) ඔහු අනුගාමිකයන්ටත් කිව්වා ඒ දේම කරන්න කියලා. (ලූක් 9:1, 2; 10:8, 9) ඒ නිසා අදත් දෙවියන්ගේ සංවිධානයට අයිති හැමෝම කොහේ හිටියත් එයාලට සංවිධානයේ මොන වගකීම තිබුණත් ඒ පණිවිඩේ හැමෝටම කියනවා.

8. යෙහෝවා අපිට ගෞරවය පෙන්නලා තියෙන්නේ කොහොමද?

8 ශුභාරංචිය කියන්න ලැබුණ අවස්ථාව ඇත්තටම අපිට ගෞරවයක්. මොකද ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. යේසුස් මේ පොළොවේ ඉද්දී භූතයෝ ඔහු ගැන සාක්ෂි දරන්න හැදුවා. හැබැයි ඔහු ඒකට ඉඩ දුන්නේ නැහැ. (ලූක් 4:41) අදත් දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වෙලා සේවේ යන්න නම් කෙනෙක්ට සුදුසුකම් තියෙන්න ඕනේ. ඕනම වෙලාවක ඕනම තැනක සාක්ෂි දරන එකෙන් අපි පෙන්නනවා මේ සේවේ භාර දීලා යෙහෝවා අපිට පෙන්නපු ගෞරවය අපි ගොඩක් අගය කරනවා කියලා. අපිට ඕනෙ යේසුස් වගේ පුළුවන් තරම් දෙනෙක්ගේ හදවත්වල සත්‍යය කියන බීජය පැළ කරලා ඒකට වතුර දාන්න.—මතෙ. 13:3, 23; 1 කොරි. 3:6.

9. සංවිධානය දෙවියන්ගේ නම දැනුම් දෙන්නේ කොහොමද?

9 යේසුස් දෙවියන්ගේ නම දැනුම් දුන්නා. යේසුස් යෙහෝවාට කිව්වා “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා” කියලා. (යොහ. 17:26) සංවිධානයත් යේසුස් වගේම දෙවියන්ගේ නම දැනුම් දෙන්න හැම දේම කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය.’ මුල් ලියවිලිවල දෙවියන්ගේ නම තිබුණ හැම තැනකම ඒ පරිවර්තනයෙත් නම තියෙනවා. ඒ පරිවර්තනය සම්පූර්ණෙන්ම හරි කොටස් විදිහට හරි භාෂා 270කට වඩා වැඩි ගාණකින් දැන් කියවන්න පුළුවන්. ඒ පරිවර්තනයට දෙවියන්ගේ නම ඇතුළත් කළේ ඇයි කියලා ‘දේවවචනය අධ්‍යයනයට’ කියන සඟරාවේ 1වෙනි සහ 2වෙනි කොටස්වලින් දැනගන්න පුළුවන්. ග්‍රීක ලියවිල්ලට දෙවියන්ගේ නම 237ත් වතාවක් ඇතුළත් කරපු හේතුත් ඒකේ තියෙනවා.

10. මියන්මාරයේ ඉන්න කාන්තාව කියපු දෙයින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

10 යේසුස් වගේ අපිටත් ඕනෙ හැමෝටම දෙවියන්ගේ නම ගැන කියන්න. මියන්මාරයේ ඉන්න අවුරුදු 67ක කාන්තාවකගේ අද්දැකීම බලන්න. දෙවියන්ගේ නම දැනගත්තාම එයාගේ ඇස්වලට කඳුළු ආවා. එයා මෙහෙම කියනවා. “පළවෙනි වතාවට දෙවියන්ගේ නම යෙහෝවා කියලා මං දැනගත්තා. ඔයාලා තමයි මට මගේ ජීවිතේ වටිනම දේ ඉගැන්නුවේ.” දෙවියන්ගේ නම දැනගන්න එක අවංක හදවත් තියෙන අයගේ ජීවිතවලට කොච්චර බලපානවද!

සංවිධානය ගැන තියෙන විශ්වාසේ දිගටම වැඩි කරගන්න

11. සංවිධානය ගැන තියෙන විශ්වාසේ පෙන්නන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 සංවිධානය ගැන විශ්වාසයක් තියෙනවා කියලා වැඩිමහල්ලන්ට පෙන්නන්න පුළුවන් එක විදිහක් මොකක්ද? මඟ පෙන්වීම් ලැබෙද්දී ඔහේ උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව ඒවාට හොඳ අවධානයක් දීලා එයාලා ඒවා අදාළ කරගන්න ඕනේ. එයාලට රැස්වීමේදී කොටස් කරන විදිහ සහ සභාවක් ඉස්සරහා යාච්ඤා කරන විදිහ ගැන මඟ පෙන්වීම් ලැබෙනවා. හැබැයි යේසුස්ගේ බැටළුවන්ව බලාගන්න විදිහ ගැනත් එයාලට මඟ පෙන්වීම් ලැබෙනවා. ලැබෙන ඒ මඟ පෙන්වීම් එයාලා අදාළ කරගද්දී බැටළුවන්ට ලොකු ආරක්ෂාවක් වගේම යෙහෝවාගේ ආදරෙත් දැනෙනවා.

සංවිධානෙන් ලැබෙන මඟ පෙන්වීම් විශ්වාස කරන්න වැඩිමහල්ලන් අපිට උදව් කරනවා (11 ඡේදය බලන්න) b


12. (අ) පෙරමුණ ගන්න අයට අපි සහයෝගය දෙන්න ඕනෙ ඇයි? (හෙබ්‍රෙව් 13:7, 17) (ආ) අපි වැඩිමහල්ලන්ගේ හොඳ පැති දකින්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

12 වැඩිමහල්ලන්ගෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී අපි ඒවාට කැමැත්තෙන්ම කීකරු වෙන්න ඕනේ. එතකොට එයාලාගේ වැඩේ කරන්න එයාලට ලේසියි. බයිබලෙත් කියන්නේ වැඩිමහල්ලන්ට යටත් වෙන්න, එයාලට කීකරු වෙන්න කියලා. (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) ඒත් ඒක හිතන තරම්ම ලේසි නැහැ. මොකද එයාලත් පව්කාරයෝ. හැබැයි අපි එයාලාගේ හොඳ පැති බලන්නේ නැතුව අඩුපාඩුම හොයන්න ගියොත් ඒකෙන් වෙන්නේ අපි අපේ හතුරන්ට උල්පන්දම් දෙන එක. මොකද අපි වැඩිමහල්ලන්ගේ අඩුපාඩුම බැලුවොත් එයාලා ගැන විතරක් නෙවෙයි සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසෙත් අඩු වෙන්න පුළුවන්. ඒකම තමයි අපේ හතුරන්ටත් ඕනේ. අපේ හතුරෝ සංවිධානය ගැන පතුරුවන බොරු අඳුරගෙන ඒවාට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් විදි දැන් බලමු.

විශ්වාසේ හොල්ලන්න දෙන්න එපා!

13. දෙවියන්ගේ හතුරෝ සංවිධානේ නම කැත කරන්න උත්සාහ කරලා තියෙන්නේ කොහොමද?

13 දෙවියන්ගේ හතුරෝ හදන්නේ සංවිධානෙන් කරන හොඳ දේවල් නරක දේවල් විදිහට පෙන්නලා සංවිධානේ නම කැත කරන්න. උදාහරණෙකට අපි බයිබලෙන් දැනගත්තා හැම අතින්ම පවිත්‍රව ඉන්න එක යෙහෝවා ඔහුගේ සෙනඟගෙන් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් කෙනෙක් කිසිම පසුතැවිල්ලක් පෙන්නන්නේ නැතුව දිගින් දිගටම අපවිත්‍ර ජීවිතයක් ගත කරනවා නම් එයාව සභාවෙන් ඉවත් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (1 කොරි. 5:11-13; 6:9, 10) බයිබලේ තියෙන ඒ ආඥාවට අපි කීකරු වෙනවා. හැබැයි අපේ හතුරෝ ඒ දේම පාවිච්චි කරලා මෙහෙම කියනවා. “සාක්ෂිකාරයෝ මිනිස්සුන්ට ආදරේ නෑ. එයාලට වඩා වෙනස් අයව එයාලට අල්ලන්නේ නෑ. එයාලා මිනිස්සුන්ව කොන් කරනවා.”

14. සංවිධානේ ගැන පතුරුවන බොරු පිටිපස්සේ ඉන්නේ කවුද?

14 පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අඳුරගන්න. සංවිධානේ ගැන පතුරුවන හැම බොරුවක් පිටිපස්සේම ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි සාතන්. සාතන් තමයි “බොරුවේ පියා.” (යොහ. 8:44; උත්. 3:1-5) ඒ නිසා සාතන් එයාගේ ගෝල බාලයන්ව දාලා බොරු දේවල් ප්‍රචාරය කරන්න පුළුවන් තරම් දේවල් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒක මුල් සියවසේදීත් වුණා.

15. ආගමික නායකයන් යේසුස්ටයි, ඔහුගේ අනුගාමිකයන්ටයි කළේ මොනවාද?

15 යේසුස් පරිපූර්ණ වුණත් ගොඩක් ආශ්චර්යයන් කළත් සාතන්ගේ ඉත්තෝ ඔහුට විරුද්ධව එක පිට එක බොරු ගෙතුවා. උදාහරණෙකට යේසුස් භූතයන්ව පන්නද්දී ආගමික නායකයන් කිව්වා ඔහු ඒ දේවල් කරන්නේ “භූතයන්ගේ පාලකයාගේ” උදව්වෙන් කියලා. (මාක් 3:22) ඒ වගේම ඔහු දෙවියන්ට අපහාස කරන කෙනෙක් කියලත් එයාලා චෝදනා කළා. ඊටපස්සේ එයාලා සෙනඟව උසිගැන්නුවා යේසුස්ව මරන්න කියන්න කියලා. (මතෙ. 27:20) යේසුස්ගේ අනුගාමිකයන් දේශනා කරද්දීත් එයාලාගේ හතුරෝ ‘වෙනත් ජාතීන්වල අයව උසිගන්නලා ඒගොල්ලන්ගේ මනසට යේසුස්ගේ ගෝලයන් ගැන වැරදි අදහස් දැම්මා.’ (ක්‍රියා 14:2, 19) එහෙම කළේ එයාලට පීඩා කරන්න. ක්‍රියා 14:2 ගැන 1998 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියනවා. ‘ආගමික නායකයන් යේසුස්ගේ ගෝලයන් කියපු පණිවිඩේ ප්‍රතික්ෂේප කරලා විතරක් නැවතුණේ නැහැ. එයාලා යේසුස්ගේ අනුගාමිකයන් ගැන වැරදි අදහස් මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නත් නොසෑහෙන්න දේවල් කළා.’

16. බොරු කතා ඇහෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

16 සාතන් අදත් බොරු පතුරලා “මුළු පොළොවම නොමඟ යවනවා.” (එළි. 12:9) ඉතින් සංවිධානය ගැන, පෙරමුණ ගන්න සහෝදරයෝ ගැන අඩුපාඩු කෙනෙක් ඔයාට කිව්වොත් දෙවියන්ගේ හතුරෝ යේසුස්ටයි, මුල් ගෝලයන්ටයි කරපු දේවල් මතක් කරගන්න. බයිබලේ කියලා තියෙන විදිහටම අදත් දෙවියන්ගේ හතුරෝ දෙවියන්ගේ සෙනඟට විරුද්ධව නරක, දුෂ්ට දේවල් පතුරුවනවා. එයාලට පීඩා කරනවා. (මතෙ. 5:11, 12) සාතන් පතුරුවන බොරු කතා කනට වැටුණොත් ඒ හැම දේම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මතක් කරගන්න. ඉක්මනින්ම ඒවායින් ඈත් වෙන්න. එතකොට ඒ බොරු කතාවලට අපි අහු වෙන්නේ නැහැ.

17. බොරු කතාවලින් අපිට හානියක් නොවෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (2 තිමෝති 1:13) (“ බොරු තොරතුරක් කනට වැටුණොත් . . . ” කියන කොටුවත් බලන්න.)

17 බොරු කතා ප්‍රතික්ෂේප කරන්න. බොරු තොරතුරක් කනට වැටෙද්දී කරන්න ඕනෙ දේ ගැන පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. ‘අසත්‍ය ඉගැන්වීම් පතුරුවන සමහරුන්ට එසේ නොකරන ලෙසට අවවාද කරන්න. ශුද්ධ දේවලට පටහැනි කතා ප්‍රතික්ෂේප කරන්න.’ (1 තිමෝ. 1:3, 4; 4:7) අපි දන්නවා පුංචි ළමයෙක් ඕන ජහ ජරාවක් අරන් කටේ දාගන්නවා. හැබැයි වැඩිහිටියෝ එහෙම නැහැ. එයාලා ඒකේ හානිය දන්නවා. බොරු තොරතුරුත් ඒ ජරාව වගේ. ඒවා එන්නේ කොහෙන්ද කියලා අපි දන්න නිසා අපි ඒවා විශ්වාස කරන්නේ නැහැ. අපි කන් දෙන්නේ “නිවැරදි වගේම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට” විතරයි.—2 තිමෝති 1:13 කියවන්න.

18. අපිට සංවිධානේ ගැන විශ්වාසයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

18 අපි අද බැලුවේ සංවිධානේ යේසුස්ව අනුගමනය කරන පැති තුනක් විතරයි. බයිබලේ අධ්‍යයනය කරලා ඒ වගේ තවත් පැති අඳුරගන්න. සංවිධානේ ගැන තියෙන විශ්වාසේ වැඩි කරගන්න සභාවේ අයටත් උදව් කරන්න. යෙහෝවාට දිගටම විශ්වාසවන්තව සේවේ කරන්න. ඔහු ඔහුගේ අරමුණ ඉටු කරන්න පාවිච්චි කරන සංවිධානෙත් එක්කම ඉන්න. එහෙම කරලා ඔයාට සංවිධානේ ගැන විශ්වාසයි කියලා පෙන්නන්න. (ගීතා. 37:28) යෙහෝවාට ආදරේ කරන, ඔහුට ළැදි සෙනඟත් එක්ක එකතු වෙලා සේවේ කරන්න ලැබුණ එක මිල කරන්න බැරි අවස්ථාවක්. ඒක කවදාවත් නැති කරගන්න එපා!

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • දෙවියන්ගේ සෙනඟ යේසුස්ව අනුගමනය කරන්නේ මොන විදිවලින්ද?

  • සංවිධානය ගැන තියෙන විශ්වාසය අපිට දිගටම පෙන්නන්න පුළුවන් කොහොමද?

  • බොරු කතා කනට වැටුණොත් අපි කරන්න ඕනෙ මොනවාද?

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

b පින්තූරේ අදහස: මුලින්ම වැඩිමහල්ලෝ පොදු සේවේ ගැන සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් සාකච්ඡා කරනවා. ඊටපස්සේ කණ්ඩායම භාර වැඩිමහල්ලා ප්‍රචාරකයන්ට මඟ පෙන්නනවා බිත්තියක් ඉස්සරහා කාට් එක තියන්න කියලා.