Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 16

ගීතිකාව 64 ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

සේවේ සතුට වැඩි කරගන්නේ කොහොමද?

සේවේ සතුට වැඩි කරගන්නේ කොහොමද?

“සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.”ගීතා. 100:2.

ලිපියේ අරමුණ

සේවේ තවත් සතුටින් කරන්න උදව් වෙන දේවල් කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලනවා.

1. සේවේදී මිනිස්සුන්ට කතා කරන එක ගැන සමහරුන්ට හැඟෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

 අපි යෙහෝවා දෙවියන්ගේ සෙනඟ විදිහට හැමෝම ළඟට ශුභාරංචිය ගෙනියනවා. මොකද අපි යෙහෝවාට ගොඩක් ආදරෙයි. අපිට ඕනෙ ඔහුව දැනගන්න අනිත් අයට උදව් කරන්න. මේ සේවේ කරන එකෙන් හුඟක් ප්‍රචාරකයන් ලොකු සතුටක් ලබනවා. හැබැයි සමහරුන්ට නම් ඒකෙන් ඒ හැටි සතුටක් නැහැ. ඒ ඇයි? සමහරු හරි ලැජ්ජයි. නැත්නම් එයාලා හිතනවා කෙනෙක්ට උගන්නන්න තරම් එයාලා දක්ෂ නැහැ කියලා. තවත් අය හිතනවා නොකියා ගේකට යන එක එච්චර හොඳ මදි කියලා. සමහරු බයයි මිනිස්සු පණිවිඩේ අහලා කෑගහයි, කේන්ති ගනියි කියලා. සමහරු පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා ඉන්නේ ප්‍රශ්න දාගන්නේ නැතුව ඇඟ බේරගෙන ඉන්න. ඒ වගේ හැඟීම් නිසා සේවේ යන එක අභියෝගයක් වුණත් යෙහෝවාට තියෙන ආදරේ නිසා ඒ සහෝදර සහෝදරියන් දිගටම සේවේ කරනවා. මොකද එයාලා දන්නවා මේ සේවේ තියෙන වැදගත්කම. ඒක දකිද්දී යෙහෝවාගේ හිතට කොච්චර සතුටක් දැනෙනවා ඇද්ද!

සේවේ යද්දී ඔයාට සතුටක් දැනෙනවාද? (1 ඡේදය බලන්න)


2. සේවෙන් සතුටක් නැත්නම් ඔයා අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි?

2 ඒ වගේ හැඟීම් නිසා සේවේ යද්දී ඔයාට සතුටක් දැනෙන්නේ නැත්නම් අධෛර්යය වෙන්න එපා. මොකද එහෙම දැනෙන එකෙන්ම පේනවා ඔයා ඕනෑවට වඩා ඔයාට අවධානය ගන්න කැමති නැති, නිහතමානී කෙනෙක් කියලා. ඔයා අනිත් අය එක්ක වාදවලට පැටලෙන්න කැමති නැති කෙනෙක් කියලත් ඒකෙන් පේනවා. අනිත් එක තව කෙනෙක්ට හොඳක් කරන්න ගිහින් එයාව අප්සෙට් කරන්න අපි කවුරුත් කැමති නෑනේ. අමතක කරන්න එපා ඔයා මූණ දෙන මේ හැම අභියෝගයක්ම යෙහෝවා හොඳට දන්නවා කියලා. ඔහු ඔයාට උදව් කරන්න ඕනෙම වෙලාවක ලෑස්තියි. (යෙසා. 41:13) අපි මේ ලිපියෙන් බලමු ඒ වගේ හැඟීම්වලින් ගොඩ ඇවිත් සේවේ සතුට ඇති කරගන්න උදව් වෙන දේවල් පහක් ගැන.

ඔයාව ශක්තිමත් කරන්න බයිබලේට ඉඩ දෙන්න

3. දේශනා කරන්න යෙරෙමියාට උදව් වුණේ මොකක්ද?

3 අතීතයේදීත් දෙවියන්ගේ සෙනඟට ඔහුගෙන් අමාරු පැවරුම් ලැබුණා. හැබැයි ඒවා හොඳින් කරන්න එයාලට ශක්තියක් වුණේ ඒ පණිවිඩේ කොච්චර වටිනවාද කියලා තේරුම්ගත්ත එකයි. යෙරෙමියා ගැන හිතන්න. දෙවියන් එයාට පැවරුම දුන්න වෙලාවේ එයා ඒක භාරගන්න අදිමදි කළා. ඒකයි එයා කිව්වේ “මම තවම තරුණයෙක්. අනික මම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි” කියලා. (යෙරෙ. 1:6) හැබැයි ඒ හැඟීමෙන් ගොඩ ඇවිත් ධෛර්යය වැඩි කරගන්න එයාට මොනවාද උදව් වුණේ? බලන්න එයා කියන දේ. “ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය. මට එය තවදුරටත් සිතේ තද කරගත නොහැකි විය.” (යෙරෙ. 20:8, 9) මිනිස්සු පණිවිඩේ ඇහුවේ නැතත් ඒක නිර්භීතව කියන්න යෙරෙමියාට ශක්තියක් වුණේ යෙහෝවාගෙන් ලැබුණ ඒ පණිවිඩේමයි.

4. බයිබලේ කියවලා ඒ ගැන කල්පනා කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (කොලොස්සි 1:9, 10)

4 අද අපිව ශක්තිමත් කරන්නත් දේවවචනයට පුළුවන්. පාවුල් කොලොස්සියේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා දෙවියන්ගේ කැමැත්ත ගැන ඉගෙනගන්න තරමටම ‘සෑම යහපත් ක්‍රියාවක්ම කරලා, හොඳ ප්‍රතිඵල ලබලා දෙවියන්ට ඔබින ආකාරයකින් ජීවිත ගත කරන්න පුළුවන්’ කියලා. (කොලොස්සි 1:9, 10 කියවන්න.) ඒ යහපත් ක්‍රියාවලට ශුභාරංචිය දේශනා කරන එකත් ඇතුළත්. ඉතින් අපි බයිබලේ කියවලා ඒ ගැන කල්පනා කරද්දී යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ ශක්තිමත් වෙනවා. ශුභාරංචිය කියන එක කොච්චර වැදගත්ද කියලත් අපිට තේරෙනවා.

5. ප්‍රයෝජන ලැබෙන විදිහට බයිබලේ කියවන්න, අධ්‍යයනය කරන්න පුළුවන් කොහොමද?

5 බයිබලෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒක කියවද්දී, අධ්‍යයනය කරද්දී, ඒ ගැන කල්පනා කරද්දී ඉක්මන්ට ඉක්මන්ට කරගෙන යන්න එපා. හොඳට කාලේ ගන්න. බයිබල් පදයක් තේරුණේ නැත්නම් ඒක ඔහේ අත්හැරලා දාන්න එපා. ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත හරි වෙනත් ප්‍රකාශන හරි පාවිච්චි කරලා ඒ පදේ තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒ විදිහට හොඳට කාලේ අරන් බයිබලේ අධ්‍යයනය කරනවා නම් බයිබලේ ගැන තියෙන විශ්වාසෙත් තව වැඩි වෙයි. (1 තෙස. 5:21) ඒ විශ්වාසේ වැඩි වෙන තරමට ඔයා තව තව සතුටින් ඒකේ තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න පෙලඹෙයි.

කලින්ම හොඳට සූදානම් වෙන්න

6. සේවෙට හොඳට සූදානම් වෙන්න ඕනෙ ඇයි?

6 සේවේ යන්න කලින් අපි හොඳට සූදානම් වුණොත් පණිවිඩේ කියන්න අපිට බයක් දැනෙන එකක් නැහැ. යේසුත් ගෝලයන්ට උදව් කළා සේවේ යන්න කලින් හොඳට සූදානම් වෙන්න. (ලූක් 10:1-11) ඔහු කියපු දේවල් අදාළ කරගත්ත නිසා එයාලට හොඳ දේවල් කරන්න පුළුවන් වුණා. ඒකෙන් එයාලට ලොකු සතුටකුත් දැනුණා.—ලූක් 10:17.

7. සේවෙට සූදානම් වෙන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

7 සේවෙට සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? පණිවිඩේ කෙනෙක්ගේ හදවතට දැනෙන විදිහට ඔයාගෙම වචනෙන් කියන්න පුළුවන් විදිහ හිතන්න. මිනිස්සු අපේ පණිවිඩේට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදි දෙක තුනක් ගැන හිතලා ඒ වෙලාවට කරන්න පුළුවන් දේ කලින්ම හිතන්න. එතකොට පණිවිඩේ කියන්න ලේසියි. ඔයාට දැනෙන බයත් අඩු වෙයි. අනික ඔයාගේ මූණේ හැම තිස්සේම හිනාවකුත් තියෙයි. ඔයාට මිත්‍රශීලීව පණිවිඩේ කියන්නත් පුළුවන්.

සේවෙට හොඳට සූදානම් වෙන්න (7 ඡේදය බලන්න)


8. ක්‍රිස්තියානීන් මැටි භාජන වගේ කියලා පාවුල් කිව්වේ ඇයි?

8 පාවුල් කිව්වා “අප සතු ඒ වස්තුව අප දරන්නේ මැටි භාජනවලය” කියලා. (2 කොරි. 4:7) මොකක්ද ඒ වස්තුව? ඒ තමයි මිනිස්සුන්ගේ ජීවිත ගලවන දේශනා සේවය. (2 කොරි. 4:1) එතකොට මැටි භාජන? ඒ තමයි ශුභාරංචිය මිනිස්සු ගාවට ගෙනියන දෙවියන්ගේ සේවකයන්. පාවුල්ගේ කාලේ හිටපු වෙළෙන්දෝ කෑම, වයින්, සල්ලි වගේ වටින දේවල් තැනින් තැනට ගෙනිච්චේ මැටි භාජනවල. ඒ වගේ දෙවියන්ගේ වටිනා පණිවිඩේ මිනිස්සු ගාවට ගෙනියන්න ඔහු පාවිච්චි කරන්නේ අපිව. යෙහෝවාගේ උදව් තියෙන නිසා දිගටම ඒ පණිවිඩේ කියන්න අපිට පුළුවන්.

ධෛර්යය ඉල්ලලා යාච්ඤා කරන්න

9. මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

9 සමහරවිට මිනිස්සුන්ට තියෙන බය නිසා ඔයාට සේවෙන් සතුටක් දැනෙන්නේ නැතුව ඇති. ඒකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද? මුල් සියවසේදීත් ආගමික නායකයන් යේසුස්ගේ නියෝජිතයන්ට අණ කළා සේවේ කරන එක නවත්තන්න කියලා. හැබැයි එයාලා බය වෙලා සේවේ නැවැත්තුවේ නැහැ. එයාලා යෙහෝවාට යාච්ඤා කරලා කිව්වා “කිසිම බියක් සැකක් නැතුව ඔබ පවසන දේවල් දිගටම කතා කරන්න හැකියාව ලබා දෙන්න” කියලා. ඔහු ඉක්මනටම එයාලාගේ යාච්ඤාවට උත්තර දුන්නා. (ක්‍රියා 4:18, 29, 31) ඔයාටත් සේවේ යන්න බයයි නම් යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. ඔහුට කියන්න මිනිස්සු ගැන තියෙන ආදරේ වැඩි කරගෙන බය අඩු කරගන්න උදව් කරන්න කියලා.

යෙහෝවාගෙන් ධෛර්යය ඉල්ලන්න (9 ඡේදය බලන්න)


10. යෙහෝවා ගැන සාක්ෂි දරන්න ඔහු අපිට උදව් කරන්නේ කොහොමද? (යෙසායා 43:10-12)

10 අපිව සාක්ෂිකරුවන් විදිහට පත් කරලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. ඔහු පොරොන්දු වෙනවා සේවෙට ඕනෙ කරන ධෛර්යය අපිට දෙනවා කියලා. (යෙසායා 43:10-12 කියවන්න.) ඒත් ඒ කොහොමද? (1) අපි ශුභාරංචිය කියන ඕනෙම වෙලාවක යේසුස් අපේ උදව්වට ඉන්නවා. (මතෙ. 28:18-20) (2) යෙහෝවා අපේ උදව්වට දේවදූතයන්වත් එවනවා. (එළි. 14:6) (3) අපි ඉගෙනගත්ත දේවල් මතක් කරගන්න යෙහෝවා බලය දෙනවා. (යොහ. 14:25, 26) (4) එකතු වෙලා සේවේ කරන්න අපිට සහෝදරයන්ව දීලා තියෙනවා. ඉතින් යෙහෝවාගෙයි, සහෝදරයන්ගෙයි උදව්වෙන් ඕනෙම අභියෝගෙකට මූණ දීලා සේවේ සාර්ථකව කරන්න අපිටත් පුළුවන්.

තත්වෙට අනුව වෙනස් වෙන්න, හොඳ පැති දකින්න

11. සේවේදී වැඩිදෙනෙක්ව හම්බ වෙන්න මොනවාද කරන්න පුළුවන්? (පින්තූරයත් බලන්න.)

11 සමහර වෙලාවට සේවේ ගියාම ගෙවල්වල කවුරුත් නැහැ. ඒ වෙලාවට මෙහෙම හිතන්න. ‘මෙයාලා මේ වෙලේ කොහේ ඉන්නවා ඇද්ද?’ (ක්‍රියා 16:13) ‘වැඩට ගිහින්ද, නැත්නම් ටවුමට ගිහින්ද?’ එහෙමනම් ඔයාට පුළුවන්ද වැඩිදෙනෙක්ව හම්බ වෙන්න වීථි සේවේ කරන්න? බලන්න ජොෂුවා කියන දේ. “කඩසාප්පු, මාකට් වගේ මිනිස්සු ගැවසෙන තැන්වල ඇවිදන් යද්දී මට පුළුවන් වෙලා තියෙනවා හුඟදෙනෙක්ට සාක්ෂි දරන්න.” ජොෂුවායි, එයාගේ බිරිඳ බ්‍රිජටුයි හැන්දෑ වරුවේ, ඉරිදා දවල් වරුවේ සේවේ යද්දී එයාලට තේරුණා වැඩිදෙනෙක්ව හම්බ වෙන්න පුළුවන් කියලා.—එෆී. 5:15, 16.

තත්වෙට අනුව වෙනස් වෙන්න (11 ඡේදය බලන්න)


12. ඔයාගේ පැත්තේ ඉන්න අයගේ විශ්වාසයන්, එයාලාගේ ඔළුවේ වැඩිපුර දුවන දේවල් දැනගන්නේ කොහොමද?

12 ඔයාගේ පැත්තේ ඉන්න අය පණිවිඩේට එච්චර උනන්දුවක් පෙන්නන්නේ නැත්නම් එයාලා විශ්වාස කරන්නේ මොනවද, එයාලාගේ ඔළුවේ දුවන්නේ මොනවාද කියලා හිතන්න. ජොෂුවායි, බ්‍රිජටුයි නිකම්ම පණිවිඩේ කියනවා වෙනුවට පත්‍රිකාවල මුල් පිටුවේ තියෙන ප්‍රශ්නේ පාවිච්චි කරලා කතාබහක් පටන්ගන්න උත්සාහ කළා. උදාහරණෙකට එයාලා ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ කියන පත්‍රිකාව පාවිච්චි කරලා මිනිස්සුන්ගෙන් මෙහෙම ඇහුවා. “සමහරු හිතනවා බයිබලේ දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියලා. ඒත් සමහරු එහෙම හිතන්නේ නෑ. ඔයා මොකද හිතන්නේ?” ඒ විදිහට එයාලට හොඳ සාකච්ඡාවන් පටන්ගන්න පුළුවන් වුණා.

13. මිනිස්සු අපේ පණිවිඩේ ඇහුවේ නැතත් අපි අසාර්ථකයි කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි? (හිතෝපදේශ 27:11)

13 අපේ සේවේ සාර්ථකයිද නැද්ද කියලා තීරණේ වෙන්නේ ප්‍රතිඵලවලින් නෙවෙයි. මොකද අපි සේවේ ගියා කියන්නේ යෙහෝවායි, යේසුයි අපෙන් බලාපොරොත්තු වෙන දේ අපි කළා කියන එක. අපි ඒ වෙද්දීත් සාක්ෂියක් දැරුවා. (ක්‍රියා 10:42) ඒ නිසා සේවේදී කාටවත් කතා කරන්න හම්බ වුණේ නැතත් කතා කරපු අය පණිවිඩේ පිළිගත්තේ නැතත් අපිට පුළුවන් සතුටු වෙන්න. මොකද අපි දන්නවා අපි යෙහෝවාගේ හිත සතුටු කරනවා කියලා.—හිතෝපදේශ 27:11 කියවන්න.

14. උනන්දුව දක්වන කෙනෙක්ව සභාවේ වෙන කෙනෙක්ට හම්බ වුණාම අපිට සතුටු වෙන්න පුළුවන් ඇයි?

14 උනන්දුව දක්වන කෙනෙක්ව සභාවේ වෙන කෙනෙක්ට හම්බ වුණොත් අපිට ඒ ගැනත් සතුටු වෙන්න පුළුවන්. ‘මුරටැඹ’ සඟරාවක අපේ සේවේ, නැති වෙච්ච පුංචි ළමයෙක්ව හොයන එකට සමාන කළා. ළමයා නැති වුණාම හැමෝම එකතු වෙලා ඒ මුළු පැත්තම පීරලා ළමයාව හෙව්වා. ළමයාව හොයාගත්තාම එයාව හොයාගත්ත කෙනා විතරක් නෙවෙයි හැමෝම සතුටු වුණා. කෙනෙක්ට ගෝලයෙක් වෙන්න උදව් කරන එකත් සභාවේ හැමෝම එකතු වෙලා කරන වැඩක්. අපේ සභාවට අයිති ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර පීරලා උනන්දුව පෙන්නන කෙනෙක්ව හොයන්න සභාවේ හැමෝගෙම උදව් ඕනේ. එහෙම කෙනෙක්ව හම්බ වුණාම, එයා රැස්වීම් ආවාම අපි හැමෝටම සතුටක් දැනෙනවා.

යෙහෝවාටයි, අසල්වැසියාටයි තියෙන ආදරේ ගැන හිතන්න

15. සේවෙට තියෙන උද්‍යෝගය වැඩි කරගන්න මතෙව් 22:37-39 උදව් වෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

15 අපේ හිතේ යෙහෝවාටයි, අසල්වැසියාටයි තියෙන ආදරේ ගැන හිතන එක සේවේ උද්‍යෝගය වැඩි කරගන්න උදව් වෙනවා. (මතෙව් 22:37-39 කියවන්න.) හිතන්න අපි සේවේ කරද්දී යෙහෝවාට කොච්චර සතුටක් දැනෙයිද! කෙනෙක් බයිබලේ ඉගෙනගද්දී ඒ කෙනාට කොච්චර සතුටක් දැනෙයිද! අපේ පණිවිඩේ පිළි අරන් යෙහෝවාට සේවේ කරන්න තීරණය කරන කෙනෙක්ට ලැබෙන්නේ සදාකාල ජීවිතේ. ඒ ගැනත් හිතන්න.—යොහ. 6:40; 1 තිමෝ. 4:16.

සේවෙන් සතුටක් ලබන්න යෙහෝවාටයි, අනිත් අයටයි තියෙන ආදරේ ගැන හිතන එක උදව් වෙනවා (15 ඡේදය බලන්න)


16. ගෙදරටම කොටු වුණත් සතුටින් සේවේ කරන්න පුළුවන් කොහොමද? උදාහරණ කියන්න.

16 ඔයා ඉන්නේ ගෙදරටම කොටු වෙලාද? එහෙමනම් ඔයා දැන් ඉන්න තත්වේ මැද වුණත් යෙහෝවාටයි, අනිත් අයටයි ආදරේ පෙන්නන්න පුළුවන් විදි හිතන්න. කොරෝනා කාලේ සැමුවෙලුයි, ඩානියායි ගෙදරටම කොටු වුණා. ඒත් එයාලා සේවේ නැවැත්තුවේ නැහැ. එයාලා ටෙලිෆෝන් එකෙන් සාක්ෂි දරුවා, ලියුම් ලිව්වා, සූම් එකෙන් බයිබල් පාඩම් කළා. සැමුවෙල්ට තිබුණ පිළිකාව නිසා එයා බෙහෙත් ගන්න ක්ලිනික් එකට යද්දී ඒ හම්බ වෙන අයටත් සාක්ෂි දැරුවා. බලන්න එයා කියන දේ. “අමාරු කාලවල් පහු කරද්දී ලොකු පීඩනයක්, වෙහෙසක් දැනෙනවා. විශ්වාසෙත් සෝදිසියට ලක් වෙනවා. අන්න ඒ වගේ වෙලාවට යෙහෝවාට සේවේ කරලා අපි සතුට හොයාගන්න ඕනේ.” ඔය කාලෙම වගේ ඩානියාත් වැටුණා. එයා මාස තුනක්ම ඇඳට වුණා. මාස හයක් රෝද පුටුවෙන් ගියේ. එයා මෙහෙම කියනවා. “මට පුළුවන් උපරිමේ යෙහෝවා වෙනුවෙන් කරන්න මං උත්සාහ කළා. මට බෙහෙත් කරන්න ආපු නර්ස්ට, ගෙදරට බඩු ගෙනාපු අයට මං සාක්ෂි දරුවා. මගේ ලෙඩේට ඕනෙ කරන දේවල් ඕඩර් කරන්න කෝල් කරද්දී ඒ කෝල් එක ගන්න කෙනාටත් කීප වතාවක්ම බයිබලේ ගැන කතා කරන්න මට පුළුවන් වුණා.” සැමුවෙල්ටයි, ඩානියාටයි කරන්න පුළුවන් ප්‍රමාණය කලින්ට වඩා අඩු වුණත් එයාලා එයාලාගේ උපරිමේ කළා. ඒ නිසා ප්‍රශ්න මැද්දෙත් එයාලා සතුට හොයාගත්තා.

17. මේ ලිපියේ පෙන්නපු පැතිවලින් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් කොහොමද?

17 මේ ලිපියේ පෙන්නපු පැති පහම එකට අදාළ කරගත්තොත් සේවෙන් උපරිම ප්‍රයෝජන ලබන්න ඔයාට පුළුවන්. ඒ පැති හරියට රස කෑමක් හදන්න ඕන කරන දේවල් වගේ. ඒවා ඔක්කොම එකට මිශ්‍ර කළොත් තමයි ඒකේ නියම රහ එන්නේ. ඉතින් ඒ පැති අදාළ කරගත්තොත් සේවේ සතුට හොරාගන්න හැඟීම් යටපත් කරලා සේවේ නියම රහ විඳින්න ඔයාටත් පුළුවන්.

සේවේ සතුට වැඩි කරගන්න මේ දේවල් උදව් වෙන්නේ කොහොමද?

  • හොඳට සූදානම් වෙන එක

  • ධෛර්යය ඉල්ලලා යාච්ඤා කරන එක

  • යෙහෝවා ගැනයි, අසල්වැසියා ගැනයි තියෙන ආදරේ ගැන හිතන එක

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”