Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 42

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ අගය කරන්න

‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ අගය කරන්න

‘ඔහු ඉහළට නැඟ ගිය විට පුරුෂයන්ව තෑගි විදිහට දුන්නේය.’එෆී. 4:8.

ලිපියේ අරමුණ

සහායක සේවකයන්, වැඩිමහල්ලන්, චාරිකා සේවකයන් අපිට උදව් කරන්නේ කොහොමද? එයාලා විශ්වාසවන්තව කරන සේවේ අපිට අගය කරන්න පුළුවන් කොහොමද?

1. යේසුස් අපිට දීලා තියෙන සමහර තෑගි මොනවාද?

 යේසුස් වගේ ත්‍යාගශීලී කෙනෙක් එදා මෙදා තුර මේ පොළොවේ ඉඳලා නැහැ. පොළොවේ ඉද්දී ඔහුට තිබුණ බලය ඔහු පාවිච්චි කළා මිනිස්සුන්ට උදව් කරන්න. (ලූක් 9:12-17) ඔහු ජීවිතේ පූජා කරලා අපි වෙනුවෙන් දෙන්න පුළුවන් වටිනාම තෑග්ග දුන්නා. (යොහ. 15:13) ඔහු නැවත නැඟිට්ටාට පස්සෙත් උදව් කරන එක නතර කළේ නැහැ. ඔහු පොරොන්දු වුණා වගේම අපිට උගන්නන්න, ඕනෙ කරන සහනය දෙන්න ඔහු උපකාරකයෙක්ව එව්වා. (යොහ. 14:16, 17; 16:13) දේශනා කරන්න, ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්න යේසුස් අද අපේ රැස්වීම් මාර්ගයෙන් අපිව පුහුණු කරනවා.—මතෙ. 28:18-20.

2. එෆීස 4:7, 8 කතා කරන ‘තෑගි විදිහට දුන්න පුරුෂයන්’ කවුද?

2 දැන් අපි යේසුස් දුන්න තව තෑග්ගක් බලමු. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ ඔහු “පුරුෂයන්ව තෑගි විදිහට දුන්නා.” (එෆීස 4:7, 8 කියවන්න.) යේසුස් එයාලව දුන්නේ සභාවට එක එක විදිවලින් උදව් කරන්නයි කියලා පාවුල් පැහැදිලි කළා. (එෆී. 1:22, 23; 4:11-13) ‘තෑගි විදිහට දුන්න ඒ පුරුෂයන්ට’ සහායක සේවකයන්, වැඩිමහල්ලන්, චාරිකා සේවකයන් ඇතුළත්. a ඇත්ත, එයාලත් පාපය උරුම කරගත්ත අය. ඒ නිසා එයාලා අතිනුත් අඩුපාඩු වෙනවා. (යාකො. 3:2) හැබැයි යේසුස් ඒ වටිනා පුරුෂයන්ව පාවිච්චි කරනවා අපිට ඕනෙ කරන උදව් දෙන්න.

3. ‘තෑගි විදිහට දීපු පුරුෂයන්ට’ අපේ සහයෝගය දෙන්න පුළුවන් කොහොමද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

3 යේසුස් ‘තෑගි විදිහට දීපු පුරුෂයන්ට’ සභාව ගොඩනඟන වැඩේ භාර දුන්නා. (එෆී. 4:12) හැබැයි අපි හැමෝටම පුළුවන් එයාලාගේ වැඩේට සහයෝගය දෙන්න. හිතන්න, නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරනවා කියලා. සමහර අය ඉදි කරන වැඩේට කෙළින්ම හවුල් වෙනවා. තවත් සමහරක් අය ඉදි කරන අයට අවශ්‍ය කෑම බීම, ප්‍රවාහන පහසුකම් දෙනවා. තවත් විදිවලිනුත් එයාලා උදව් කරනවා. අද අපි අතර ඉන්න සහායක සේවකයන්, වැඩිමහල්ලන්, චාරිකා සේවකයන් තමයි සභාව ගොඩනඟන අය. අපි කරන කියන දේවල්වලින් එයාලට සහය වෙන්න අපිට පුළුවන්. එයාලා මහන්සි වෙලා කරන වැඩෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? යේසුස්වයි, ඔහු ‘තෑගි විදිහට දීපු පුරුෂයන්වයි’ අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

සහායක සේවකයන් අනිත් අයට උදව් කරනවා

4. මුල් සියවසේදී සහායක සේවකයන් අනිත් අය වෙනුවෙන් මොන වගේ උදව්ද කළේ?

4 මුල් සියවසේ සමහර සහෝදරයන්ව සහායක සේවකයන් විදිහට පත් කළා. (1 තිමෝ. 3:8) පේන විදිහට 1 කොරින්ති 12:28 එක එක විදිවලින් උදව් කළා කියලා පාවුල් කියන්නේ එයාලා ගැන වෙන්න ඇති. සහායක සේවකයන් සභාවේ හුඟක් වැඩ බලා කියා ගත්ත නිසා වැඩිමහල්ලන්ට පුළුවන් වුණා උගන්නන සහ අනිත් අයව දිරිගන්වන වැඩේට වැඩි අවධානයක් දෙන්න. උදාහරණෙකට ඒ කාලේ සහායක සේවකයන් ශුද්ධ ලියවිලි පිටපත් කරන්න හරි ඒක කරන්න ඕනෙ කරන අමුද්‍රව්‍ය හොයාගන්න හරි උදව් කරන්න ඇති.

5. අනිත් අයට උදව් කරන්න අද ඉන්න සහායක සේවකයන් කරන්නේ මොන වගේ දේවල්ද?

5 ඔයාගේ සභාවේ ඉන්න සහායක සේවකයන් සභාව වෙනුවෙන් කරන වැඩ ගැන හිතන්න. (1 පේතෘ. 4:10) සමහරවිට එයාලව සභාවේ ගිණුම් බලාගන්න, සේවේ කරන ප්‍රදේශය බලාගන්න, සභාවට ඕනෙ කරන පොත් පත් ඉල්ලුම් කරන්න, ඒවා සහෝදරයන්ට බෙදලා දෙන්න පත් කරලා ඇති. එයාලා සභාවේ ඕඩියෝ වීඩියෝ අංශයේ, පරිවාරක අංශයේ වැඩ කරනවා ඇති. එයාලා නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට හවුල් වෙනවාත් ඇති. සභාවේ වැඩ පිළිවෙළකට වෙන්න නම් එයාලා කරන ඒ හැම දෙයක්ම හරිම වැදගත්. (1 කොරි. 14:40) සමහර සහායක සේවකයන් සති මැද රැස්වීම්වල කොටස් කරනවා, බයිබල් දේශන දෙනවා. කණ්ඩායම් භාර වැඩිමහල්ලෙක්ගේ සහායක විදිහටත් සමහර සහායක සේවකයන්ව පත් කරන්න පුළුවන්. සුදුසුකම් තියෙන සහායක සේවකයන්ව වැඩිමහල්ලන් අනිත් අයව දිරිගන්වන්න යද්දී එක්කන් යනවා.

6. මහන්සි වෙලා වැඩ කරන අපේ සහායක සේවකයන්ව අගය කරන්න අපිට තියෙන හේතු මොනවාද?

6 සහායක සේවකයන් නිසා සභාවට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද? බලන්න බොලිවියාවේ ඉන්න සහෝදරි බෙබලි b කියන දේ. “සහායක සේවකයන් කරන සේවේ නිසා මට රැස්වීමෙන් හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන්. ගීතිකා කියන්න, උත්තර දෙන්න, දේශනවලට ඇහුම්කන් දෙන්න, වීඩියෝවලින්, පින්තූරවලින් ඉගෙනගන්න මට පුළුවන්. එයාලා සභාවේ අයගේ ආරක්ෂාව ගැන හිතනවා. එන්න බැරි අයට වීඩියෝ කොන්ෆරන්ස්වලින් රැස්වීම අහන්න උදව් කරනවා. රැස්වීම් ඉවර වුණාම එයාලා පිරිසිදු කරන වැඩවලට හවුල් වෙනවා. ගිණුම් අංශයට උදව් කරනවා. අපිට ඕන පොත් පත් තියෙනවාද කියලා බලනවා. ඒ නිසා එයාලට මං ‘තැන්ක් යූ’ කියනවා.” කොලොම්බියාවේ ඉන්න ලෙස්ලිගේ මහත්තයා වැඩිමහල්ලෙක්. ලෙස්ලි මෙහෙම කියනවා. “සහායක සේවකයන් සභාවේ වැඩවලට එක එක විදිවලින් උදව් කරනවා. ඒක මගේ මහත්තයාට එයාගේ පැවරුම කරන්න ලොකු උදව්වක්. එයාලා හිටියේ නැත්තං මහත්තයාට හුස්ම ගන්නවත් වෙලාවක් නැති වෙයි. වැඩ කරන්න එයාලට තියෙන උද්‍යෝගය, අනිත් අයට උදව් කරන්න තියෙන කැමැත්ත මං ගොඩක් අගය කරනවා.” සැකයක් නැහැ ඔයාටත් එහෙම්මම හිතෙනවා ඇති.—1 තිමෝ. 3:13.

7. සහායක සේවකයන්ට අපේ අගය පෙන්නන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

7 සහායක සේවකයන් කරන සේවේ ගැන අපේ හිතෙත් ලොකු අගයක් ඇති. ඒත් බයිබලේ කියන්නේ අපේ ‘ස්තුතිවන්තකම දකින්න තියෙන්න ඕනෙ’ කියලා. (කොලො. 3:15) ෆින්ලන්තයේ වැඩිමහල්ලෙක් වන ක්‍රිස්ටොෆ් මෙහෙම කියනවා. “මං සහායක සේවකයන්ට බයිබල් පදයක් ලියලා කාඩ් එකක් හරි මෙසේජ් එකක් හරි යවනවා. ‘ඔයා කරපු මේ දේ නිසා මං දිරිගැන්වුණා’ එහෙම නැත්නම් ‘මං ඔයාව අගය කරන්න හිතුවේ මෙන්න මේ නිසයි’ කියලා පැහැදිලිව ලියලා යවනවා.” නව කැලිඩෝනියාවේ ඉන්න පැස්කල් සහ ජාඑල් යුවළ සහායක සේවකයන් ගැන යාච්ඤා කරනවා. පැස්කල් මෙහෙම කියනවා. “ළඟකදී ඉඳන් අපි සහායක සේවකයන් ගැන ගොඩක් යාච්ඤා කරනවා. එයාලව දුන්නාට අපි යෙහෝවාට ස්තුති කරනවා. එයාලත් එක්ක ඉන්න, එයාලට උදව් කරන්න කියලා අපි යෙහෝවාගෙන් ඉල්ලනවා.” යෙහෝවා ඒ වගේ යාච්ඤා අහන නිසා මුළු සභාවටම ප්‍රයෝජන ලැබෙනවා.—2 කොරි. 1:11.

‘වෙහෙසිලා වැඩ කරන’ වැඩිමහල්ලන්

8. වැඩිමහල්ලන් ‘වෙහෙසිලා වැඩ කළා’ කියලා පාවුල් කිව්වේ ඇයි? (1 තෙසලෝනික 5:12, 13)

8 මුල් සියවසේ හිටපු වැඩිමහල්ලන් සභාව වෙනුවෙන් වෙහෙසිලා වැඩ කළා. (1 තෙසලෝනික 5:12, 13 කියවන්න; 1 තිමෝ. 5:17) වැඩිමහල්ලන් මණ්ඩලයක් විදිහට තීරණ අරන්, රැස්වීම් මෙහෙයවලා සභාවේ “පෙරමුණ ගත්තා.” එයාලා සහෝදරයන්ට ඕන කරන “උපදෙස් හා අවවාද” ආදරෙන් හැබැයි කෙළින් දුන්නා. එහෙම කළේ සභාව ආරක්ෂා කරගන්න. (1 තෙස. 2:11, 12; 2 තිමෝ. 4:2) එයාලා පවුලේ අයව බලාගන්න, තමන්ට යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න මහන්සි වුණා.—1 තිමෝ. 3:2, 4; තීත. 1:6-9.

9. අද ඉන්න වැඩිමහල්ලන්ට තියෙන්නේ මොන වගේ වගකීම්ද?

9 අද ඉන්න වැඩිමහල්ලනුත් හරිම කාර්යබහුලයි. එයාලා ශුභාරංචිය දේශනා කරන අය. (2 තිමෝ. 4:5) උද්‍යෝගයෙන් සේවේ හවුල් වෙලා එයාලා හොඳ ආදර්ශයක් තියනවා. එයාලා දේශනා සේවේ වැඩ සංවිධානය කරනවා. දේශනා කරන්න, උගන්නන්න සභාවේ අයව පුහුණු කරනවා. ඒ වගේම එයාලා විනිශ්චයකරුවන්. පැති ගන්නේ නැති, දයාවන්ත අය. සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම යෙහෝවාත් එක්ක එයාට තියෙන බැඳීම ආයෙත් ඇති කරගන්න වැඩිමහල්ලන් උදව් කරනවා. ඒත් එක්කම සභාව පිරිසිදුව තියාගන්නත් එයාලා වගබලා ගන්නවා. (1 කොරි. 5:12, 13; ගලා. 6:1) ඒ ඔක්කොටම වඩා වැඩිමහල්ලන් කියන්නේ එඬේරුන්. (1 පේතෘ. 5:1-3) එයාලා හොඳට සූදානම් වෙලා බයිබලේ මත පදනම් දේශන දෙනවා. සභාවේ හැමෝවම අඳුරගන්න උත්සාහ කරනවා. ඒ වගේම සභාවේ අයව බලන්න ගිහින් එයාලව දිරිගන්වනවා. සමහර වැඩිමහල්ලන් නමස්කාර මධ්‍යස්ථානවල ඉදි කිරීම් සහ නඩත්තු වැඩවලට හවුල් වෙනවා. එයාලා සමුළු සංවිධානය කරනවා. රෝහල් සබඳතා කමිටුවල, රෝගීන් බලන්න යන කණ්ඩායම්වල සේවේ කරනවා. ඇත්තටම වැඩිමහල්ලන් අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවාද!

10. මහන්සි වෙලා වැඩ කරන වැඩිමහල්ලන්ව අගය කරන්න අපිට තියෙන සමහර හේතු මොනවාද?

10 යෙහෝවා කිව්වා එඬේරුන් අපිව බලාගන්න විදිහ නිසා අපි ‘බය වෙන්නවත් තැතිගන්නවත්’ ඕනෙ නැහැ කියලා. (යෙරෙ. 23:4) ඒක ඇත්තක් කියලා ෆින්ලන්තයේ ඉන්න සහෝදරි ජොඇනා එයාගේ අම්මාට දරුණු අසනීපයක් හැදුණ වෙලේ අද්දැක්කා. එයා මෙහෙම කියනවා. “මගේ ප්‍රශ්න ගැන අනිත් අයත් එක්ක කතා කරන එක සාමාන්‍යයෙන් මට හරි අමාරුයි. හැබැයි ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනෙ කියලා හිතුණ වෙලාවේ එක වැඩිමහල්ලෙක් හරිම ඉවසීමෙන් මං කියපු දේවල් අහන් හිටියා. මං එයාට එච්චර කිට්ටුත් නැහැ. එයා මාත් එක්ක යාච්ඤා කළා. යෙහෝවා මට කොච්චර ආදරේද කියලා මට පෙන්නුවා. එයා කියපු වචනයක් ගාණේ මට මතක නෑ. හැබැයි ඒ වෙලාවේ දැනුණ සහනය මට අද වගේ මතකයි. මං දන්නවා යෙහෝවා තමයි හරිම වෙලාවේදී මට උදව් කරන්න එයාව එව්වේ කියලා.” ඔයාගේ සභාවේ ඉන්න වැඩිමහල්ලොත් ඔයාට උදව් කරපු විදිහ මතක් වෙනවාද?

11. අපිට වැඩිමහල්ලන් ගැන තියෙන අගය පෙන්නන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 වැඩිමහල්ලන් “කරන සේවය නිසා” අපි මුළු හදවතින්ම එයාලව අගය කරනවා දකින්නයි යෙහෝවාට ඕනේ. (1 තෙස. 5:12, 13) ෆින්ලන්තයේ ඉන්න සහෝදරි හෙන්රීටා මෙහෙම කියනවා. “වැඩිමහල්ලන් අනිත් අයට උදව් කරන්නේ කැමැත්තෙන්මයි. ඒ කියන්නේ එයාලට අනිත් අයට වඩා වෙලාව තියෙනවා, හයිය හක්තිය තියෙනවා කියලා නෙවෙයි. ප්‍රශ්න නෑ කියලත් නෙවෙයි. ඉතිං මං එයාලා ළඟට ගිහින් කියනවා ‘ඔයා හොඳ වැඩිමහල්ලෙක්. මට ඒක ඔයාට කියන්නම ඕන කියලා හිතුණා’” කියලා. තුර්කියේ ඉන්න සහෝදරි සේරා මෙහෙම කියනවා. “වැඩිමහල්ලන්ටත් එයාලාගේ වැඩ දිගටම කරන්න ‘ඉන්ධන’ ඕනේ. එයාලට පොඩි කාඩ් එකක් දීලා, කෑමකට එන්න කියලා, එයාලත් එක්ක සේවේ ගිහින් අපිට පුළුවන් ඒ ඉන්ධන දෙන්න.” ඔයා විශේෂයෙන්ම අගය කරන්න ඕනෙ කියලා හිතෙන වැඩිමහල්ලෙක්ව ඔයාට මතක් වෙනවාද? එහෙමනම් ඒ අගය පෙන්නන්න පුළුවන් විදි ගැන හිතන්න.—1 කොරි. 16:18.

වැඩිමහල්ලන්ට එයාලාගේ සේවේ දිගටම කරන්න ඕන කරන “ඉන්ධන” දෙන්න ඔයාට පුළුවන් (7, 11, 15 ඡේද බලන්න)


සභාව ගොඩනඟන චාරිකා සේවකයන්

12. මුල් සියවසේ සභාවන් ශක්තිමත් කරන්න යේසුස් පත් කරලා තිබුණේ තව කාවද? (1 තෙසලෝනික 2:7, 8)

12 සභාවට තවත් විදිහකින් උදව් කරන්න යේසුස් ‘තෑගි විදිහට පුරුෂයන්ව’ දුන්නා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන් පාවුල්ව, බානබස්ව සහ තවත් අයව සංචාරක සේවකයන් විදිහට යැව්වා. (ක්‍රියා 11:22) එයාලව පත් කළෙත් සභාවන් ගොඩනඟන්න. (ක්‍රියා 15:40, 41) ඒ වෙනුවෙන් එයාලා ගොඩක් කැප කිරීම් කළා. එයාලා එයාලාගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව අනිත් අයට උගන්නන්න, දිරිගන්වන්න කැප වුණා.—1 තෙසලෝනික 2:7, 8 කියවන්න.

13. චාරිකා සේවකයන්ට තියෙන වගකීම් මොනවාද?

13 චාරිකා සේවකයන්ට හුඟක් තැන්වලට යන්න වෙනවා. එක සභාවකින් තවත් සභාවකට යන්න එයාලට සමහර වෙලාවට කිලෝමීටර් සිය ගාණක් යන්න වෙනවා. හැම සතියකම චාරිකා සේවකයන් දේශන කීපයක්ම දෙනවා. සහෝදරයන්ව බලන්න යනවා. පුරෝගාමි රැස්වීම, වැඩිමහල්ලන්ගේ රැස්වීම පවත්වනවා. ඒ වගේම සේවේ සඳහා රැස්වීමුත් එයාලා පවත්වනවා. එයාලා චාරිකා සමුළු, තුන්දින සමුළු සංවිධානය කරනවා වගේම ඒවායේ දෙන දේශනවලටත් සූදානම් වෙනවා. එයාලා පුරෝගාමි පාසැල්වල උගන්නනවා. එයාලා චාරිකාවේ ඉන්න පුරෝගාමීන්ට විශේෂ රැස්වීමක් සූදානම් කරනවා. ශාඛා කාර්යාලයෙන් එයාලට පවරන වැදගත්, හදිසි කාරණා හසුරුවන්නත් එයාලට සිද්ධ වෙනවා.

14. මහන්සි වෙලා සේවේ කරන අපේ චාරිකා සේවකයන්ව අගය කරන්න තියෙන හේතු මොනවාද?

14 චාරිකා සේවකයන් කරන වටිනා සේවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද? තුර්කියේ සහෝදරයෙක් චාරිකා සතිය ගැන මෙහෙම කිව්වා. “අනිත් අය වෙනුවෙන් තව වැඩියෙන් දෙයක් කරන්න හැම චාරිකා සතියකින්ම මං දිරිගැන්වෙනවා. මට ගොඩක් චාරිකා සේවකයන්ව හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒ කවුරුත් ‘දැන් කතා කරන්න වෙලාවක් නෑ, මට වැඩ තියෙනවා’ කියන හැඟීම දීලා නෑ.” කලින් කතා කරපු ජොඇනා චාරිකා සේවකත් එක්ක සේවේ ගියා. හැබැයි ඒ පැත්තේ ගෙවල්වල කවුරුත් හිටියේ නැහැ. එයා මෙහෙම කියනවා. “ඒ වෙද්දී මගේ අක්කලා දෙන්නා වෙන පැත්තක පදිංචියට ගිහින් වැඩි දවසක් නෑ. එයාලා නැතුව මං හරි පාළුවෙන් හිටියේ. එදා චාරිකා සේවක මාව දිරිගැන්නුවා. අපිට අපේ පවුලේ අයත් එක්ක, යාළුවන් එක්ක ළඟින් ඉන්න දැන් බැරි වුණත් පාරාදීසේදී අපිට එයාලත් එක්ක ඉන්න ඕන තරම් කාලේ තියෙනවා කියලා එයා මට මතක් කළා.” චාරිකා සේවකත් එක්ක වැඩ කරලා ලබපු ඒ වගේ මතකයන් ඔයාලටත් ඇති.—ක්‍රියා 20:37–21:1.

15. (අ) 3 යොහන් 5-8 කියන විදිහට චාරිකා සේවකයන්ව අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.) (ආ) සභාව වෙනුවෙන් කැප වෙලා සේවේ කරන සහෝදරයන්ගේ භාර්යාවන්ව අපි අගය කරන්න ඕනෙ ඇයි? ඒ අගය පෙන්නන්නේ කොහොමද? (“ එයාලාගේ භාර්යාවන්ව අමතක කරන්න එපා” කියන කොටුව බලන්න.)

15 සභාව ශක්තිමත් කරන්න එන සහෝදරයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න කියලා යොහන් ගායස්ව දිරිගැන්නුවා. එයාලාගේ “ගමනට අවශ්‍ය උපකාර ලබා දෙන්න” කියලත් ඒක ‘දෙවියන් සතුටු වෙන ආකාරයකින් කරන්න’ කියලත් යොහන් කිව්වා. (3 යොහන් 5-8 කියවන්න.) ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි චාරිකා සේවකට කෑමකට එන්න කියන එක. ඒ සතියේ සේවේ කරන්න තියෙන සැලසුම්වලට උපරිම සහයෝගය දීලාත් ඒක කරන්න පුළුවන්. කලින් කතා කරපු ලෙස්ලි එයාගේ අගය තවත් විදිවලින් පෙන්නුවා. එයා මෙහෙම කියනවා. “එයාලාගේ ඕනෑ එපාකම් බලාගන්න කියලා මං යෙහෝවාගෙන් ඉල්ලුවා. එයාලව අපිට කොච්චර වටිනවාද, එයාලා අපිට කොච්චර දිරිගැන්වීමක් වුණාද කියලා මහත්තයායි, මායි එයාලට ලියලා යැව්වා.” මතක තියාගන්න චාරිකා සේවකයන් සුපිරි බලයන් තියෙන අය නෙවෙයි. එයාලත් අසනීප වෙනවා. පීඩනයට, අධෛර්යවීම්වලට එයාලත් යට වෙනවා. ඉතින් ඔයා දෙන පුංචි තෑග්ගක්, ඔයා ආදරෙන් කියන පුංචි වචනයක් ඔයාගේ චාරිකා සේවකගේ යාච්ඤාවකට උත්තරයක් වෙන්න පුළුවන්.—හිතෝ. 12:25.

අපිට එයාලා නැතුවම බැහැ

16. හිතෝපදේශ 3:27 කියන විදිහට සහෝදරයන් අහගන්න ඕන ප්‍රශ්න මොනවාද?

16 සභාවන් වෙනුවෙන් සේවේ කරන්න ලෝකේ පුරාම සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා. ඔයා බව්තීස්ම වුණ සහෝදරයෙක් නම් ‘යහපත් සේවයක් කරන්න ඔයාට හැකියාවක්’ තියෙනවාද? (හිතෝපදේශ 3:27 කියවන්න.) සහායක සේවකයෙක් වෙන්න ඉලක්කයක් තියන් වැඩ කරන්න ඔයා කැමතිද? ඔයා දැනටමත් සහායක සේවකයෙක් නම් වැඩිමහල්ලෙක් වෙන්න ඉලක්කයක් තියාගන්න පුළුවන්ද? c ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න පුළුවන් වෙන විදිහට ජීවිතේ වෙනස්කම් කරගන්න ඔයාට පුළුවන්ද? ඒ පාසැලෙන් ලැබෙන පුහුණුව නිසා යේසුස්ට පුළුවන් ඔයාව ගොඩක් විදිවලින් පාවිච්චි කරන්න. ඔයාට හිතෙනවා නම් ඒ වගේ දෙයක් කරන්න ඔයාට පුළුවන්කමක් නැහැ කියලා ඒ ගැන යෙහෝවාට කියන්න. ඔයාට දෙන ඕනම පැවරුමක් හොඳට කරන්න ඔහුගෙන් බලය ඉල්ලන්න.—ලූක් 11:13; ක්‍රියා 20:28.

17. ‘තෑගි විදිහට දීපු පුරුෂයන්’ නිසා අපේ රජ ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?

17 යේසුස් ‘තෑගි විදිහට දීපු පුරුෂයන්’ කරන සේවේ දිහා බලද්දී මේ අන්තිම කාලෙත් යේසුස් අපිට මඟ පෙන්නනවා කියලා අපිට තේරෙනවා. (මතෙ. 28:20) ඒ වගේ ත්‍යාගශීලී, ආදරණීය රජ කෙනෙක් ඉන්න එක ගැන ඔයාට අගයක් දැනෙන්නේ නැද්ද? ඔහු අපිට ඕන දේ තේරුම් අරන් අපිට ඕන උදව් දෙන්න සහෝදරයන්ව දීලා තියෙන එක ගැන ඔයාට අගයක් දැනෙන්නේ නැද්ද? ඒ සහෝදරයන්ගේ මහන්සියට අපේ අගය පෙන්නන්න පුළුවන් විදි ගැන හිතමු. මතක ඇතුව ඒ ගැන යෙහෝවාටත් “තැන්ක් යූ” කියමු. මොකද “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” ලැබෙන්නේ ඔහුගෙන්.—යාකො. 1:17.

ගීතිකාව 99 දස දහස් ගණන් සොහොයුරන්

a පාලක මණ්ඩලයේ ඉන්න, පාලක මණ්ඩලයට උදව් කරන, ශාඛා කමිටුවේ ඉන්න සහ තවත් පැවරුම් කරන වැඩිමහල්ලන් ‘තෑගි විදිහට දීපු පුරුෂයන්ට’ ඇතුළත්.

b සමහර නම් වෙනස් කරලා තියෙනවා.

c සහායක සේවකයෙක් හරි වැඩිමහල්ලෙක් හරි වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්නේ කොහොමද කියලා තොරතුරු දැනගන්න 2024 නොවැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ “සහෝදරයෙනි, සහායක සේවකයෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?” සහ “සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?” කියන ලිපි බලන්න.