Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 40

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’

‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’

“බිඳුණු සිත් ඇත්තන්ට ඔහු සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.”ගීතා. 147:3.

ලිපියේ අරමුණ

හිතේ වේදනාවෙන් ඉන්න අය ගැන යෙහෝවා ගොඩක් සැලකිලිමත්. අපි වේදනාවෙන් ඉද්දී යෙහෝවා අපිව සනසන්නේ කොහොමද කියලත් අනිත් අයව සනසන්න ඔහු අපිට උදව් කරන්නේ කොහොමද කියලත් බලමු.

1. යෙහෝවාට ඔහුගේ සේවකයන් ගැන දැනෙන්නේ කොහොමද?

 පොළොවේ ඉන්න ඔහුගේ සේවකයන් අද්දකින හැම දෙයක්ම යෙහෝවා දකිනවා. අපි සතුටින් ඉද්දී, දුකෙන් ඉද්දී යෙහෝවා ඒ ගැන දන්නවා. (ගීතා. 37:18) අපි ලොකු වේදනාවකින් හිටියත් ඔහුට සේවේ කරන්න අපිට පුළුවන් හැම දේම කරද්දී ඔහුට අපි ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. අපිට උදව් කරන්න, අපිව සනසන්න ඔහු බලාගෙන ඉන්නවා.

2. බිඳුණු සිත් ඇති අය වෙනුවෙන් යෙහෝවා කරන්නේ මොකක්ද? ඔහු පෙන්නන සැලකිල්ලෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?

2 ගීතාවලිය 147:3 කියනවා ‘බිඳුණු සිත් ඇති අයගේ තුවාල යෙහෝවා සුව කරනවා’ කියලා. හිතේ වේදනාවෙන් ඉන්න අයට යෙහෝවා ආදරෙන් උදව් කරන විදිහ ගැනයි එතන විස්තර කරන්නේ. යෙහෝවා අපිට සැලකිල්ල පෙන්නන විදිහ සම්පූර්ණයෙන්ම අද්දකින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? මේ ගැන හිතන්න. තුවාල වෙලා ඉන්න කෙනෙක්ව සුව කරන්න වෛද්‍යවරයෙක් සෑහෙන දෙයක් කරනවා. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ලබන්න නම් තුවාල වුණ කෙනා එයා දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. හිතේ වේදනාවෙන් ඉන්න අයට යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් කියන්නේ මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලමු. ඔහු ආදරෙන් දෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න පුළුවන් විදිහත් බලමු.

අපිව වටිනවා කියලා මතක් කරනවා

3. තමන් වටින්නේ නැහැ කියලා සමහරුන්ට දැනෙන්නේ ඇයි?

3 අපි ජීවත් වෙන්නේ ආදරේ හිඳුණු ලෝකෙක. මිනිස්සු අනිත් අයට සලකන්නේ හරිම නපුරු විදිහට. ඒ නිසා හුඟදෙනෙක්ට හැඟෙන්නේ එයාලාගේ වටිනාකමක් නැහැ කියලයි. සහෝදරි හෙලන් a කියන දේ බලන්න. “අම්මායි, තාත්තායි අපිට පොඩ්ඩක්වත් ආදරේ පෙන්නුවේ නෑ. තාත්තා හරි දරුණුයි. එයා හැම තිස්සේම අපිට කිව්වේ අපෙන් කිසිම වැඩක් නෑ කියලා.” හෙලන් වගේ ඔයාත් නපුරු දේවලට මූණ දීලා ඇති. අනිත් අය ඔයාව පහත් කරලා කතා කරනවාත් ඇති. ඔයාගෙන් වැඩක් නැහැ කියලා අඟවලා ඇති. එහෙමනම් ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න ඔයාට අමාරු ඇති.

4. ගීතාවලිය 34:18 කියන විදිහට යෙහෝවා අපිට දෙන පොරොන්දුව මොකක්ද?

4 අනිත් අය ඔයාට නපුරු විදිහට සැලකුවත් යෙහෝවා ඔයාට ආදරෙයි, ඔහුට ඔයාව වටිනවා කියලා මතක තියාගන්න. ඔහු “බිඳුණු සිත් ඇති අයට සමීපව ඉන්නවා.” (ගීතාවලිය 34:18 කියවන්න.) යෙහෝවා ඔයාට තියෙන ලස්සන ගතිගුණ දැක්කා. ඒ නිසයි ඔහු ඔයාව ඔහු ළඟට ඇදලා ගත්තේ. (යොහ. 6:44) ඕනම වෙලාවක ඔයාට උදව් කරන්න ඔහු ලෑස්ති පිට ඉන්නවා. මොකද ඔහුට ඔයාව ගොඩක් වටිනවා.

5. තමන් වටින්නේ නැහැ කියලා හැඟුණ අයට යේසුස් සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

5 යේසුස් වැඩ කරපු විදිහෙන් යෙහෝවාට අනිත් අය ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න පුළුවන්. මිනිස්සු කිසිම වටිනාකමක් දුන්නේ නැති අයට යේසුස් අවධානය දුන්නා. ඔහු එයාලට ආදරෙන්, අනුකම්පාවෙන් සැලකුවා. (මතෙ. 9:9-12) සැරයක් බරපතළ අසනීපයක් තිබුණ කාන්තාවක් සුව වෙයි කියලා හිතලා යේසුස්ගේ සළුවෙන් ඇල්ලුවා. යේසුස් එයාට බණිනවා වෙනුවට එයාව සනසලා එයාගේ විශ්වාසේ අගය කළා. (මාක් 5:25-34) ඒ වෙලාවේ යේසුස් වැඩ කළේ යෙහෝවා වගේමයි. යෙහෝවාටත් මිනිස්සු ගැන දැනෙන්නේ ඒ විදිහටමයි. (යොහ. 14:9) ඉතින් යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලත් විශ්වාසේ, ආදරේ වගේ ඔයා ළඟ තියෙන ලස්සන ගුණාංග ඔහු දකිනවා කියලත් සැක කරන්න ඔයාට කිසිම හේතුවක් නැහැ.

6. ඔයාගෙන් කිසිම වැඩක් නැහැ කියලා ඔයාට දැනෙනවා නම් මොකක්ද ඔයාට කරන්න පුළුවන්?

6 ඔයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා ඔයාට නිතරම හිතෙනවා නම් යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලා සහතික වෙන බයිබල් පද කියවන්න. ඒවා ගැන හොඳට හිතන්න. b (ගීතා. 94:19) ඔයාට එහෙම හිතෙන්නේ ඉලක්කයක් තියලා ඒක ජය ගන්න බැරි වුණ නිසාද? අනිත් අය තරම් දේවල් කරන්න බැරි නිසාද? එහෙමනම් ඔයාව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්න එපා. ඔයාට කරන්න බැරි දේවල් ගැනම හිතන්නත් එපා. මොකද ඔයාට කරන්න බැරි දේවල් යෙහෝවා කවදාවත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතා. 103:13, 14) ඔයා වටින්නේ නැහැ කියලා ඔයාට හිතෙන්නේ කවුරු හරි කෙනෙක් අතින් ඔයා හිංසනයට ලක් වෙලා තියෙන නිසා නම් ඒක වුණේ ඔයාගේ වරදින් නෙවෙයි කියලා මතක තියාගන්න. අනිත් අයට නපුරු විදිහට සලකන අයට එයාලා කරපු දේවල් ගැන යෙහෝවාට ගණන් දෙන්න වෙනවාමයි. (1 පේතෘ. 3:12) සැන්ඩ්‍රා පුංචි කාලේ ඉඳන්ම හරිම කුරිරු දේවල්වලට මූණ දුන්නා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා මාව දකින විදිහට මට මාව දකින්න උදව් කරන්න කියලා මං නිතරම ඔහුගෙන් ඉල්ලනවා.”

7. අතීතයේදී මූණ දීපු දේවල් යෙහෝවාට තව හොඳින් සේවේ කරන්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

7 අනිත් අයට උදව් කරන්න ඔයා වගේ කෙනෙක්ව වුණත් පාවිච්චි කරන්න යෙහෝවාට පුළුවන්. ඔහු ඔයාට ඔහුත් එක්ක එකට එකතු වෙලා සේවේ කරන්න අවස්ථාව දීලා තියෙනවා. (1 කොරි. 3:9) ජීවිතේ අද්දැකපු කටුක දේවල් නිසා අනිත් අයගේ වේදනාව, එයාලට හැඟෙන විදිහ ඔයාට හොඳට තේරුම්ගන්න පුළුවන්. ඒ නිසා එයාලට උදව් කරන්න ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. හෙලන්ට යෙහෝවායි, සහෝදරයොයි ගොඩක් උදව් කළා. එයා මෙහෙම කියනවා. “වටිනාකමක් නෑ කියලා හැඟුණ මට යෙහෝවා කිව්වා ‘නෑ ඔයාව මට වටිනවා’ කියලා.” දැන් එයා සතුටින් ස්ථාවර පුරෝගාමි සේවේ කරනවා.

සමාව පිළිගන්න කියලා කියනවා

8. යෙසායා 1:18 යෙහෝවා අපිට දෙන සහතිකය මොකක්ද?

8 සමහරුන්ට බව්තීස්ම වෙන්න කලින් නැත්නම් බව්තීස්ම වුණාට පස්සේ කරපු වැරදි නිසා හිතට ලොකු බරක් දැනෙනවා. හැබැයි යෙහෝවා අපිට ගොඩක් ආදරේ නිසා අපේ වැරදිවලට සමාව දෙන්න යේසුස්ව අපි වෙනුවෙන් දුන්නා. දෙවියන් කියන්නේ ඒ තෑග්ග පිළිගන්න කියලයි. ඔහු අපිට පොරොන්දු වෙනවා අපේ අතින් වරදක් වුණාම ඒ ගැන ‘සාකච්ඡා කරලා ප්‍රශ්නේ නිරාකරණය කරගත්තාට’ c පස්සේ ඔහු ඒවාට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියලා. (යෙසායා 1:18 කියවන්න.) අපේ වැරදි යෙහෝවා අමතක කරලා දාන එක ගැන අපි ඔහුට කොච්චර ස්තුති කරන්න ඕනෙද! හැබැයි අපි කරන හොඳ දේවල් නම් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.—ගීතා. 103:9, 12; හෙබ්‍රෙ. 6:10.

9. කරපු වැරදි ගැනම හිතහිත ඉන්නවා වෙනුවට අපි කරන්න ඕනෙ මොකක්ද?

9 ඔයාත් අතීතයේ කරපු දේවල් ගැන හිතහිත වධ වෙනවාද? එහෙමනම් ඒ ගැනම හිතන එක නතර කරලා දැන් කරන දේවල්, අනාගතේදී කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. මතකද පාවුල්ව? එයා කලින් ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට පීඩා කළා. ඒ ගැන එයාට ලොකු දුකක් දැනෙන්න ඇති. හැබැයි එයා දැනන් හිටියා යෙහෝවා එයාට සමාව දුන්නා කියලා. (1 තිමෝ. 1:12-15) අපි දන්නවා එයා සත්‍යයට ආවාම යුදෙව් ආගමේදී ලබපු දියුණුව ගැන හිතහිත දුක් වුණේ නැහැ කියලා. ඒ විදිහටම එයා වෙච්ච වැරදි ගැන හිතහිත වධ වුණෙත් නැහැ. (ෆිලි. 3:4-8, 13-15) ඒ වෙනුවට එයා එයාට භාර දීපු සේවේ උද්‍යෝගයෙන් කළා. අනාගතේ ගැන ආසාවෙන් බලන් හිටියා. පාවුල්ට වගේ ඔයාටත් අතීතේ වෙනස් කරන්න බැහැ. හැබැයි යෙහෝවාට ප්‍රශංසා කරලා ඔහුගේ හිත සතුටු කරන විදිහට වැඩ කරන්න දැන් ඔයාට පුළුවන්. ඔහු ඔයාට පොරොන්දු වෙලා තියෙන ලස්සන අනාගතේ දිහා ආසාවෙන් බලන් ඉන්නත් ඔයාට පුළුවන්.

10. අපි අතීතේ කරපු දෙයක් නිසා තව කෙනෙක්ගේ හිත රිදිලා නම් මොනවාද අපිට කරන්න පුළුවන්?

10 අතීතේ ඔයා කරපු දෙයක් නිසා තව කෙනෙක්ගේ හිත රිදිලා නම් ඒ ගැන හිතද්දී ඔයාට වේදනාවක් දැනෙනවා ඇති. එහෙමනම් එයාට සහනයක් වෙන්න කරන්න පුළුවන් හැම දේම කරන්න. සමාවෙන්න කියන එක, කරපු දේ ගැන පසුතැවෙනවා කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන එක ඒකට ඇතුළත්. (2 කොරි. 7:11) ඔයා නිසා හිත රිදුණ අයට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. දෙගොල්ලන්ටම වේදනාව දරාගන්නත් හිතේ සාමය ඇති කරගන්නත් උදව් කරන්න ඔහුට පුළුවන්.

11. අනාගතවක්තෘ යෝනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

11 වෙච්ච වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන යෙහෝවාට කැමති විදිහට ඔයාව පාවිච්චි කරන්න ඉඩ දෙන්න. යෝනා ගැන හිතන්න. යෙහෝවා එයාට කිව්වේ නිනිවයට යන්න කියලා. ඒත් එයා ගියේ සම්පූර්ණයෙන්ම විරුද්ධ දිශාවට. ඉතින් යෙහෝවා එයාට හික්මවීමක් දුන්නා. වැරදුණ තැනින් යෝනා පාඩමක් ඉගෙනගත්තා. (යෝනා 1:1-4, 15-17; 2:7-10) යෝනාගෙන් වරදක් වුණා කියලා අනාගතවක්තෘවරයෙක් විදිහට එයාව පාවිච්චි කරන එක නතර කරන්නේ නැතුව යෙහෝවා එයාට තව අවස්ථාවක් දුන්නා. මේ පාර නම් යෝනා ඉක්මනින්ම කීකරු වුණා. ඒකෙන් පේනවා වුණ වරද ගැන එයාට දුකක් දැනුණත් දුකෙන් යට වෙලා ලැබුණ අලුත් පැවරුම එයා නොකර හිටියේ නැහැ කියලා.—යෝනා 3:1-3.

යෝනාව බේරගත්තාට පස්සේ යෙහෝවා එයාට ආයෙත් නිනිවයට ගිහින් ඔහුගේ පණිවිඩේ ගැන කියන්න කියලා කිව්වා (11 ඡේදය බලන්න)


බලය දීලා අපිව සනසනවා

12. හිත කැලඹෙන දේකට අපි මූණ දෙද්දී යෙහෝවා අපිට සමාදානය දෙන්නේ කොහොමද? (ෆිලිප්පි 4:6, 7)

12 හිත කලඹන දේකට මූණ දීලා ඉද්දී යෙහෝවා ඔහුගේ බලය මාර්ගයෙන් ඔයාව සනසනවා. රොන්ගෙයි, කැරල්ගෙයි පුතා සිය දිවි හානි කරගත්තා. එයාලා මෙහෙම කියනවා. “අමාරු දේවල් අපි අද්දැකලා තියෙනවා. හැබැයි මේක තමයි අපිට දරාගන්න අමාරුම වුණ දේ. ගොඩක් දවස්වල අපිට නින්ද ගියෙත් නෑ. ඒ වෙලාවට අපි යාච්ඤා කළා. ෆිලිප්පි 4:6, 7 කතා කරන සමාදානය අපි ඇත්තටම අද්දැක්කා.” (කියවන්න.) ඔයාත් ඉන්නේ හිත කලඹන දේකට මූණ දීලා නම් ඔයාට හැඟෙන, දැනෙන හැම දේම යෙහෝවාට කියන්න. ඔයාට ඕන තරම් වෙලාවක්, හැම තිස්සේම වුණත් ඔහුත් එක්ක කතා කරන්න පුළුවන්. (ගීතා. 86:3; 88:1) ආයේ ආයේ ඔහුගෙන් බලය ඉල්ලන්න. ඔහු කවදාවත් ඔයාගේ ඉල්ලීම අහක දාන්නේ නැහැ.—ලූක් 11:9-13.

13. දිගටම යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන්න ඔහුගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද? (එෆීස 3:16)

13 ඔයා මූණ දීපු හිත කලඹන දෙයක් නිසා තවත් නම් යාගන්න බැහැ කියලා හිතෙනවාද? එහෙමනම් යෙහෝවාගේ බලයට පුළුවන් විශ්වාසවන්තව සේවේ කරන්න ඔයාට ශක්තිය දෙන්න. (එෆීස 3:16 කියවන්න.) සහෝදරි ෆ්ලෝරායි, එයාගේ මහත්තයායි මිෂනාරි සේවේ කරකරයි හිටියේ. එයාගේ මහත්තයා එයාට ද්‍රෝහි වෙලා අන්තිමට එයාලාගේ විවාහය දික්කසාදෙන් කෙළවර වුණා. එයා මෙහෙම කියනවා. “මට දැනුණේ පුදුම දුකක්. මං හිතුවෙම ප්‍රශ්නේ ගැන. මේක දරාගන්න මට උදව් කරන්න කියලා මං යෙහෝවාට ආයේ ආයේ කිව්වා. යෙහෝවා මාව සැනසුවා. මං හිතුවේ මට කවදාවත් මේකෙන් ගොඩ එන්න බැරි වෙයි කියලා. හැබැයි යෙහෝවා මාව ශක්තිමත් කළා. ඔහු නිසයි මං මේක දරාගත්තේ.” කලින්ටත් වඩා වැඩියෙන් යෙහෝවා ගැන විශ්වාසේ තියන්න ඔහු එයාට උදව් කළා කියලයි එයාට දැනෙන්නේ. ඉස්සරහට මොන ප්‍රශ්නේ ආවත් ඔහු එයාත් එක්කම ඉන්නවා කියලා එයාට සැකයක් නැහැ. එයා මෙහෙම කියනවා. “යෙහෝවා මට උදව් කරපු විදිහ ගැන තමයි ගීතාවලිය 119:32 කියලා තියෙන්නේ. ඒකේ මෙහෙම කියනවා. ‘මම ඔබේ ආඥා ඉතා උනන්දුවෙන් පිළිපදින්නෙමි. මන්ද ඒවා තේරුම්ගැනීමට හැකි හදවතක් ඔබ මට ලබා දුන්නා.’”

14. අපිට උදව් කරන්න යෙහෝවාගේ බලයට ඉඩ දෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

14 යෙහෝවාගේ බලය ඉල්ලලා යාච්ඤා කළාට පස්සේ ඒ බලය වැඩියෙන් ලැබෙන දේවලට හවුල් වෙන්න. රැස්වීම්වලට සහභාගි වෙන එක, දේශනා සේවේ යන එක වගේ දේවල් කරන්න. හැම දවසකම බයිබලේ කියවන්න. එතකොට යෙහෝවා හිතන විදිහට හිතන්න ඔයාට පුළුවන් වෙයි. (ෆිලි. 4:8, 9) බයිබලේ කියවද්දී දුෂ්කර දේවලට මූණ දුන්න අයට විශේෂ අවධානයක් දෙන්න. ඒවා දරාගන්න යෙහෝවා එයාලට උදව් කරපු විදිහ ගැන වැඩියෙන් හිතන්න. සැන්ඩ්‍රා ගොඩක් ප්‍රශ්නවලට මූණ දුන්නා. එයා මෙහෙම කියනවා. “යෝසෙප්ගේ ආදර්ශය ගැන හිතපු එක මට ලොකු දිරිගැන්වීමක් වුණා. කොච්චර ප්‍රශ්න, අසාධාරණකම් අද්දැක්කත් එයා ඒවාට ඉඩ දුන්නේ නෑ යෙහෝවාත් එක්ක එයාට තියෙන බැඳීම බිඳලා දාන්න.”—උත්. 39:21-23.

සහෝදරයන් මාර්ගයෙන් සනසනවා

15. අපිට සහනය ලබන්න පුළුවන් කාගෙන්ද? එයාලා අපිට උදව් කරන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

15 අපි වේදනාවෙන් ඉද්දී සහෝදර සහෝදරියන් අපිට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්.” (කොලො. 4:11) එයාලාගෙන් යෙහෝවාගේ ආදරේ අපි දකිනවා. අපිත් එක්ක කාලේ ගත කරලා, හිතේ තියෙන දේවල් කියද්දී අහන් ඉඳලා එයාලා අපිව සනසනවා. බයිබල් පදයක් අපිත් එක්ක බෙදාගෙන, අපිත් එක්ක යාච්ඤා කරලා අපිව දිරිගන්වනවා. d (රෝම 15:4) කාරණයක් ගැන යෙහෝවා හිතන විදිහ එයාලා අපිට මතක් කරලා දෙයි. ඒක අපිට උදව් වෙයි දිගටම දරාගෙන මේ ගමන යන්න. අපි කරදරේකට මූණ දීලා ඉද්දී අපිට කෑම වේලක් හදලා දෙන එක වගේ විදිවලිනුත් එයාලා අපිට උදව් කරනවා.

යෙහෝවාට ආදරේ කරන, විශ්වාසවන්ත යාළුවන්ට පුළුවන් අපිට ඕන කරන සහනය දෙන්න (15 ඡේදය බලන්න)


16. අනිත් අයගෙන් උදව් ලබන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

16 උදව් ලබාගන්න නම් අපි උදව් ඉල්ලන්න ඕනේ. අපේ සහෝදර සහෝදරියන් අපිට ගොඩක් ආදරෙයි. එයාලා අපිට උදව් කරන්න ආසාවෙන් ඉන්නේ. (හිතෝ. 17:17) හැබැයි ඔයාට දැනෙන විදිහ, ඔයාට උදව් ඕනෙ විදිහ එයාලා දන්නේ නැහැ. (හිතෝ. 14:10) ඔයා ඉන්නේ ලොකු වේදනාවකින් නම් ඒ ගැන අවබෝධයෙන් වැඩ කරන, හොඳ යාළුවන් එක්ක කතා කරන්න. ඔයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා එයාලට කියන්න. සමහරවිට ඔයාට හිතෙයි ඔයාට කිට්ටු වැඩිමහල්ලෙක්, දෙන්නෙක් එක්ක ඒ ගැන කතා කරන එක හොඳයි කියලා. සමහර සහෝදරියන්ට හිතෙයි අවබෝධයෙන් වැඩ කරන සහෝදරියක් එක්ක කතා කරන එක හොඳයි කියලා.

17. දිරිගැන්වීම් ලබන එකට බාධා වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද? ඒවායින් ගොඩ එන්න අපිට පුළුවන් කොහොමද?

17 ඔයාගේ හිතට දැනෙන වේදනාව නිසා අනිත් අයගෙන් වෙන් වෙලා, පැත්ත ගහලා ඉන්න ඔයාට හිතෙයි. හැබැයි ඕනාවට වඩා ඔයාවම තනි කරගන්න එක නුවණට හුරු නැහැ. ඇත්ත, සමහර වෙලාවට සහෝදරයන්ට බැරි වෙයි ඔයාව 100%ක්ම තේරුම්ගන්න. එයාලා හිතන්නේ බලන්නේ නැතුව ඔහේ දේවල් කියයි. (යාකො. 3:2) එහෙමයි කියලා එයාලාගෙන් වෙන් වෙලා ඉන්න එපා. මොකද යෙහෝවාට පුළුවන් එයාලව පාවිච්චි කරලා ඔයාට ඕන දිරිගැන්වීම් දෙන්න. වැඩිමහල්ලෙක් වන ගැවින් විෂාදයෙන් පෙළෙන කෙනෙක්. එයා මෙහෙම කියනවා. “සහෝදරයන් එක්ක කතා කරන්න, එයාලව ආශ්‍රය කරන්න මට හිත දෙන්නෙම නෑ.” ඒත් ගැවින් ඒ හැඟීම් එක්ක සටන් කළා. සහෝදරයන්ව ආශ්‍රය කරපු නිසා එයාට ගොඩක් ප්‍රයෝජන ලැබුණා. සහෝදරි ඒමි මෙහෙම කියනවා. “මං අද්දැකපු දේවල් නිසා මට මිනිස්සුන්ව විස්වාස නෑ. හැබැයි යෙහෝවා සහෝදරයන් දිහා බලන විදිහට බලලා එයාලට ආදරේ කරන්න, එයාලව විශ්වාස කරන්න මං ඉගෙනගත්තා. මං එහෙම කරද්දී යෙහෝවා මං ගැන සතුටු වෙන නිසා ඒක මටත් සතුටක්.”

පොරොන්දු අපිව සනසනවා

18. අනාගතේදී වෙන්නේ මොකක්ද? දැන් අපිට කරන්න පුළුවන් මොකක්ද?

18 අපේ හිතට බරක් වෙන, අපිට වේදනාවක් ගේන හැම දෙයක්ම යෙහෝවා ළඟදීම නැත්තටම නැති කරලා දානවා. (එළි. 21:3, 4) අපි අද්දැකලා තියෙන වේදනාකාරී දේවල් ආයේ කවදාවත් ‘මතකයට එන්නේ නැහැ.’ (යෙසා. 65:17) අපි බලපු විදිහට ‘තුවාල වෙලා තියෙන අපේ හිත සුව කරන්න’ දැනුත් යෙහෝවා ගොඩක් දේවල් කරනවා. ඉතින් ඔහුගේ උදව් පිළිගන්න. “ඔහු ඔයා ගැන සැලකිලිමත්” කියන දේ එක තත්පරේකටවත් සැක කරන්න එපා.—1 පේතෘ. 5:7.

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

a නම් වෙනස් කරලා තියෙනවා.

b යෙහෝවාට ඔයාව වටිනවා” කියන කොටුව බලන්න.

c යෙහෝවාත් එක්ක ‘සාකච්ඡා කරලා ප්‍රශ්නේ නිරාකරණය කරගන්න’ නම් අපි ඇත්තටම පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න ඕනේ. ඒකට අපි යෙහෝවාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අපේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් කරගන්නත් ඕනේ. අපි අතින් බරපතළ වැරැද්දක් වෙලා තියෙනවා නම් සභාවේ වැඩිමහල්ලන්ගෙන් අපි උදව් ගන්න ඕනේ.—යාකො. 5:14, 15.

d ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ “හැඟීම්, ගුණාංග සහ හැසිරීම” කියන කොටස යටතේ තියෙන ලිපිවලින් බයිබල් පද හොයාගන්න පුළුවන්.