ජීවිත කතාව
ඉගෙනගන්න එක නැවැත්තුවෙම නෑ
“උදාර උපදේශකයාණන්” විදිහට යෙහෝවා මගේ ජීවිතේ ඉන්න එක ගැන මං ඔහුට ණයගැතියි. (යෙසා. 30:20) ඔහු අපිට ඔහුගේ වචනෙන්, ඔහුගේ නිර්මාණවලින්, ඔහුගේ සංවිධානයෙන් උගන්නනවා. සහෝදර සහෝදරියන් මාර්ගයෙනුත් අපිට උදව් කරනවා. මගේ වයස දැන් සීයකට කිට්ටුයි. හැබැයි අදටත් යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලින් මං ප්‍රයෝජන ලබනවා. මං ඔයාලට කියන්නං ඒ කොහොමද කියලා.
මං ඉපදුණේ 1927 එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ කිට්ටුව තිබුණ නගරෙක. අපේ පවුලේ ඔක්කොම දරුවෝ පහයි. ඒ ජෙතා, ඩොන්, මම, කාල් සහ ජෝයි. අපි හැමෝටම යෙහෝවාට සේවේ කරන්න ලොකු කැමැත්තක් තිබුණා. මගේ අක්කා ජෙතා 1943 ගිලියද් පාසැලේ දෙවෙනි පන්තියට සහභාගි වුණා. ඒ වගේම ඩොන් 1944, කාල් 1947 සහ ජෝයි 1951 බෘක්ලින් බෙතෙල් එකේ සේවේ කරන්න ගියා. එයාලාගේ සහ අපේ අම්මලාගේ ආදර්ශය තමයි මාවත් සේවේට පෙලඹුවේ.
අපේ පවුල සත්‍යයට ආපු හැටි
අපේ අම්මායි, තාත්තායි බයිබලේ කියවපු, දෙවියන්ට ආදරේ කරපු අය. දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න එයාලා අපිටත් උදව් කළා. 1වෙනි ලෝක මහා යුද්ධ කාලේ තාත්තා හමුදාවේ සේවේ කරලා එද්දී නං එයා ආවේ පල්ලි ගැන හොඳටම කලකිරිලා. අම්මා නං තාත්තා පණපිටින් ගෙදර ආපු එක ගැන සතුටු වුණා. දවසක් අම්මා තාත්තාගෙන් ඇහුවා “අපි පල්ලියට ටිකක් ගිහින් එමුද” කියලා. තාත්තා කිව්වා “මං ඔයාව ඇරලවන්නං. හැබැයි මට ඇතුළට නං එන්න බෑ” කියලා. අම්මා “ඒ ඇයි” කියලා ඇහුවාම තාත්තා කිව්වා “යුද්ධ කාලේ එකම ආගමේ පූජකයෝ එයාලාගේ රටවල්වලට ආශීර්වාද කළා. දෙපැත්තෙම ඉන්න පූජකයෝ එහෙම කළාම දෙවියන් ගන්නේ කාගේ පැත්තද?”
අම්මා පල්ලි ගියපු වෙලාවක අපේ ගෙදරට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් ආවා. එයාලා අපේ තාත්තාට වෙළුම් දෙකක් තිබුණ “ලයිට්” කියන පොත දීලා තිබුණා. ඒකේ තිබුණේ එළිදරව් පොතේ තිබුණ දේවල්. ඒ පොත් අම්මාත් කියෙව්වා. දවසක් අම්මා පත්තරේ කියව කියව ඉද්දී දැකලා “ලයිට්” කියන පොත්වලින් බයිබලේ ඉගෙනගන්න කැමති අයට කරපු ආරාධනාවක්. පස්සේ අම්මා එතන හොයාගෙන ගිහින් දොරට තට්ටු කළාම දොර ඇරියේ වයසක කාන්තාවක්. අම්මා ඒ පොත පෙන්නලා ඇහුවා “මේක මෙහේ උගන්නනවාද” කියලා. ඒ කාන්තාව කිව්වා “ඔව් දුවේ, එන්න ඇතුළට” කියලා. ඉතිං ඊළඟ සුමානේ අම්මා අපිවත් එක්කගෙන එහේ ගියා. එදා ඉඳන් හැම සුමානෙකම අපි ගියා.
දවසක් රැස්වීම් මෙහෙයවපු කෙනා මට ගීතාවලිය 144:15 කියවන්න කිව්වා. එතන තිබුණේ යෙහෝවාට නමස්කාර කරන අය ඉන්නේ සතුටින් කියලා. ඒක මගේ හිතට වැදුණා. මං ආස තව බයිබල් පද දෙකක් තිබුණා. එකක් 1 තිමෝති 1:11. එතන කියනවා යෙහෝවා “ප්‍රීතිමත් දෙවියන්” කියලා. අනික එෆීස 5:1. එතන කියන්නේ “දෙවියන්ව අනුකරණය කරන්න” කියලා. මට තේරුණා මගේ නිර්මාතෘට සේවේ කරන්න මට ලැබුණ එක ගැන මං සතුටු වෙන්න ඕනෙ වගේම ඒ අවස්ථාව දුන්න එකට මං ස්තුති කරන්නත් ඕනෙ කියලා. මගේ ජීවිත කාලේ පුරාම ඒ දේවල් දෙක තමයි මං කරන්න හැදුවේ.
චිකාගෝවල ළඟම සභාවට යන්නත් අපිට කි.මී. 32ක් යන්න වුණා. ඒත් එහෙම ගියපු එකෙන් බයිබලේ ගැන මට තිබුණ දැනුම තව වැඩි වුණා. මට මතකයි දවසක් රැස්වීම මෙහෙයවපු සහෝදරයා ජෙතාට අදහසක් දෙන්න අවස්ථාව දුන්නා. ජෙතා අදහස දෙද්දී මට හිතුණා ‘ඒක මාත් දන්නවානේ. අපරාදේ මටත් අත උස්සන්න තිබුණා’ කියලා. එදා ඉඳන් මං රැස්වීම්වලට හොඳට ලෑස්ති වෙලා මගේම වචනවලින් අදහස් දුන්නා. වැදගත්ම දේ තමයි මගේ අක්කායි, අයියායි, මල්ලියි, නංගියි වගේ මාත් යෙහෝවාට ගොඩක් කිට්ටු වුණා. 1941දී මං බව්තීස්ම වුණා.
සමුළුවලදී යෙහෝවාගෙන් ඉගෙනගත්තා
මට හොඳටම මතක සමුළුවක් තමයි 1942 ඔහයෝ ක්ලීව්ලන්ඩ්වල තිබ්බ සමුළුව. ඒකට එක්සත් ජනපදයේ තැන් 50කට වඩා ටෙලිෆෝන් එකෙනුත් සම්බන්ධ වුණා. අපේ පවුලේ අය නැවතිලා හිටියේ සමුළුව කිට්ටුව තිබුණ අපේම සහෝදරයෝ හදපු ජංගම නිවාස පුරයක. ඒ කාලේ 2වෙනි ලෝක මහ යුද්දේ දරුණුවට තිබ්බා. සාක්ෂිකරුවන්ටත් පීඩා තිබ්බා. දවසක් හැන්දෑවක මං දැක්කා සහෝදරයෝ අපි හිටපු තැන වටේට කාර් නවත්තන් ඉන්නවා. ඒ හැම කාර් එකකම සහෝදරයෙක් හිටියා. එයාලා කාර් එකේ ඉඳන් රෑ පුරාම මුර කළා. අනතුරක ඉවක් වැටුණ ගමන් ඒ සහෝදරයෝ කාර් එකේ හෙඩ්ලයිට් ගහලා එන අයව අන්දමන්ද කරනවා. ඊටපස්සේ හයියෙන් හෝන් එක ගහනවා. එතකොට අනිත් සහෝදරයන්ට පුළුවන් ඉක්මනට උදව්වට එන්න. ඉතිං ඕක දැක්කාම මට හිතුණා ‘යෙහෝවාගේ සෙනඟ මාරයිනේ. එයාලා ඕන දේකට ලෑස්ති පිටනේ ඉන්නේ’ කියලා. ඉතිං ඒ විශ්වාසේ උඩ මං කිසිම බයක් නැතුව හොඳට නිදාගත්තා.
ඒ සමුළුව ගැන මතක් කරද්දී මගේ මනසට එන්නේ එදා අම්මා කිසිම බයක් සැකක් නැතුව හිටපු විදිහ. අම්මා සම්පූර්ණ විශ්වාසේ තිබ්බේ යෙහෝවා ගැනයි, සංවිධානය ගැනයි. ඒ ආදර්ශය මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
ඒ සමුළුවට ටික දවසකට කලින් තමයි අම්මා ස්ථාවර පටන්ගත්තේ. සමුළුවේ පූර්ණකාලීන සේවේ ගැන දීපු දේශනවලට අම්මා හොඳ අවධානයක් දුන්නා. සමුළුව ඉවර වෙලා ගෙදර එද්දී අම්මා අපිට කිව්වා එයා දිගටම පුරෝගාමි කරන්න ආසයි කියලා. හැබැයි ගෙදර වැඩත් එක්ක පුරෝගාමි කරන එක ලේසි නෑ කියලා අම්මා කිව්වා. අම්මා ඇහුවා ඒකට උදව් කරන්න අපිට පුළුවන්ද කියලා. අපි කැමති වුණා. ඉතිං අම්මා අපි හැම කෙනාටම අස් කරන්න කාමරයක්, දෙකක් දුන්නා. අපි ඉස්කෝලේ ගියාම අම්මා බලනවා අපි ඒවා හරියට අස් කරලාද කියලා. ඊටපස්සේ තමයි අම්මා සේවේ යන්නේ. අම්මාට කරන්න වැඩ කෝටියක් තිබුණත් අපිටත් අම්මා වෙලාව දුන්නා. අපි දවල් කෑමට එද්දී, ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී අම්මා අනිවාර්යයෙන්ම ගෙදර ඉන්නවා. සමහර දවස්වලට අපි ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවස අම්මාත් එක්ක සේවේ යනවා. පුරෝගාමි ජීවිතේ මොන වගේද කියලා බලන්න ඒකෙන් අපිට පුළුවන් වුණා.
පූර්ණකාලීන සේවේ පටන්ගත්තා
මං පුරෝගාමි පටන්ගත්තේ අවුරුදු 16න්. ඒ වෙද්දී තාත්තා සාක්ෂිකරුවෙක් වෙලා හිටියේ නැතත් මගේ සේවේ කොහොමද කියලා එයා විටින් විට අහනවා. දවසක් මං තාත්තාට කිව්වා “කොච්චර බැලුවත් බයිබල් පාඩමක් කරන්න කැමති කෙනෙක්ව හොයාගන්න බෑනේ” කියලා. මං තාත්තාගෙන් ඇහුවා “ඔයා මාත් එක්ක පාඩමක් කරන්න කැමති නැද්ද” කියලා. තාත්තා ටිකක් කල්පනා කරලා කිව්වා “බෑ කියන්නත් හේතුවක් නෑ ඉතිං” කියලා. තාත්තා තමයි මගේ
පළවෙනි බයිබල් පාඩම. ඒක මගේ ජීවිතේ විශේෂ දෙයක්.අපි පාඩම කළේ “සත්‍යය ඔබ නිදහස් කෙරේ” කියන පොතෙන්. පාඩම කරගෙන යද්දී මට තේරුණා තාත්තා නිසා මං හොඳ ශිෂ්‍යයෙක් වගේම හොඳ ගුරුවරයෙකුත් වෙනවා කියලා. දවසක් අපි ඡේදයක් කියෙව්වාට පස්සේ තාත්තා මගෙන් ඇහුවා “මේ පොතේ තියෙන දේවල් නං මට තේරෙනවා. හැබැයි ඔයා කොහොමද හරියටම දන්නේ මේ පොතේ තියෙන දේවල් හරියි කියලා?” තාත්තා අහපු දේට මට කට උත්තර නැතුව ගියා. මං තාත්තාට කිව්වා “ඒ ප්‍රශ්නෙට උත්තරේ දැන් මං ගාව නෑ. හැබැයි ඊළඟ පාර මං ඒකට උත්තරේ හොයන් එන්නං” කියලා. අපි කතා කරපු දේ ඔප්පු කරන්න තියෙන බයිබල් පද මං හොයාගත්තා. එදායින් පස්සේ මං බයිබල් පාඩමට හොඳට ලෑස්ති වුණා. බයිබලේ තියෙන දේවල් තව ගැඹුරින් හොයන්නත් පටන්ගත්තා. තාත්තාටයි, මටයි දෙන්නාටම හොඳ ශිෂ්‍යයන් වෙන්න ඒක උදව් වුණා. තාත්තා ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගෙන 1952දී බව්තීස්ම වුණා.
බෙතෙල් එකේදීත් මං දිගටම ඉගෙනගත්තා
අවුරුදු 17දී මං ගෙදරින් ගියා. ජෙතා a මිෂනාරි සේවේ පටන්ගත්තා. ඩොන් බෙතෙල් සේවේ පටන්ගත්තා. ඒ දෙන්නාම එයාලාගේ පැවරුම් කළේ ගොඩක් ආසාවෙන්. ඒක මටත් ලොකු දිරිගැන්වීමක් වුණා. ඉතිං මාත් බෙතෙල් එකටයි, ගිලියද් පාසැලටයි අයදුම් කළා. මං කොහෙද යන්න ඕන කියන තීරණේ ගන්න යෙහෝවාට භාර දුන්නා. කොහොමහරි 1946 මට බෙතෙල් එකේ සේවේ කරන්න එන්න කිව්වා.
බෙතෙල් එකේ සේවේ කරපු අවුරුදු ගාණ පුරා මට එක එක පැවරුම් ලැබුණා. ඒ හැම පැවරුමකින්ම මං අලුත් දේවල් ගොඩක් ඉගෙනගත්තා. බෙතෙල් එකේ සේවේ කරපු අවුරුදු 75 පුරා පොත් මුද්‍රණය කරන හැටි, ගිණුම්කරණයට සම්බන්ධ වැඩ, බෙතෙල් එකට අවශ්‍ය දේවල් ගන්න එක, අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනත් තැන්වලට යවන එක වගේ ගොඩක් දේවල් මං ඉගෙනගත්තා. ඒ ඔක්කොටම වඩා මං වැඩියෙන්ම ආස වුණේ බෙතෙල් එකේ උදෑසන නමස්කාරයෙන් සහ බෙතෙල් දේශනවලින් සංවිධානය අපිට දෙන පෝෂණේ රහ බලන්නයි.
මගේ මල්ලි කාල්ගෙනුත් මං දේවල් ඉගෙනගත්තා. එයා බෙතෙල් එකට ආවේ 1947. එයා හොඳ බයිබල් ශිෂ්‍යයෙක් වගේම හොඳ ගුරුවරයෙක්. දවසක් මට දෙන්න තිබුණ දේශනයකට උදව් කරන්න පුළුවන්ද කියලා මං එයාගෙන් ඇහුවා. මං එයාට කිව්වා “මං තොරතුරු නං ගොඩක් හොයාගත්තා. හැබැයි ඒවා පාවිච්චි කරන විදිහ මට තේරෙන්නේ නෑ” කියලා. මල්ලි මගෙන් ඇහුවා “ජොඑල්, ඔයාගේ කතාවේ තේමාව මොකක්ද” කියලා. ඒක අහපු හැටියේ එයා කියන්න හදපු දේ මට තේරුණා. මට කරන්න තිබුණේ තේමාවට ගැළපෙන තොරතුරු ටික විතරක් තියාගෙන අනිත් ඒවා පැත්තකට දාන එක. ඒ පාඩම නං මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
බෙතෙල් සේවේ සතුට තියාගන්න නං දේශනා සේවේ උපරිමෙන් හවුල් වෙන එක හරිම වැදගත්. ඒකෙන් දිරිගැන්වෙන අද්දැකීම් අපිට ලැබෙනවා. මට මතකයි දවසක් අපි හැන්දෑ වරුවක නිව් යෝර්ක් නගරේ සේවේ ගියා. මායි, තව සහෝදරයෙකුයි අපෙන් ‘මුරටැඹ,’ ‘පිබිදෙව්!’ සඟරා ගත්ත කාන්තාවක්ව බලන්න ගියා. අපි එයාට කිව්වා “බයිබලේ තියෙන මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන දේවල් අපි අද කතා කළා” කියලා. එයා කිව්වා “ආ! බයිබලේ ගැනද? එන්න ඇතුළට” කියලා. පස්සේ අපි දේවරාජ්‍යය ගැනයි, පාරාදීසේ ගැනයි තියෙන බයිබල් පද පෙන්නලා ඒවා සාකච්ඡා කළා. එයා ඒකට කොච්චර ආස වුණාද කියනවා නං ඊටපස්සේ සතියේ එයාගේ යාළුවන්ටත් පාඩමට අඬගහලා තිබුණා. පස්සේ කාලෙක එයායි, එයාගේ මහත්තයායි සාක්ෂිකරුවන් වුණා.
මගේ නෝනාගෙන් ඉගෙනගත්තා
මං තීරණේ කළා විවාහ වෙනවා කියලා. අවුරුදු 10කට විතර පස්සේ මට හොඳ කෙනෙක් හම්බ වුණා. එහෙම හොඳ කෙනෙක් හොයාගන්න මට උදව් වුණේ මොකක්ද දන්නවාද? මං යෙහෝවාට යාච්ඤා කරලා හිතුවා ‘මං බැන්දට පස්සේ වයිෆ් එක්ක ඉස්සරහට මොනවාද කරන්නේ’ කියලා.
1953 යැංකි ක්‍රීඩාංගණේ තිබුණ සමුළුවෙන් පස්සේ මට මේරි ඇනියෝල් කියන සහෝදරියව හම්බ වුණා. එයායි, ජෙතායි ගිලියද් පාසැලේ එකම පන්තියේ ඉගෙනගෙන තියෙන්නේ. අනිත් එක ජෙතාගේ මිෂනාරි පාට්නත් එයා. එයා අවුරුදු ගාණක් පුරා කැරිබියන් දූපත්වල කරපු සේවේ ගැන, එයාගේ බයිබල් පාඩම් ගැන කතා කළේ හරිම උද්‍යෝගයෙන්. අපි දෙන්නාට දෙන්නා දැන අඳුර ගද්දී අපිට තේරුම් ගියා අපි දෙන්නාගෙම ඉලක්ක පෑහෙනවා කියලා. අපි දෙන්නා අතර තිබුණ ආදරෙත් ටික ටික වැඩි වුණා. පස්සේ අපි 1955 අප්‍රියෙල්වල බැන්දා. මේරි ගොඩක් විදිවලින් ඔප්පු කරලා පෙන්නුවා එයා ඇත්තටම මට යෙහෝවාගෙන් ලැබුණ තෑග්ගක් වගේම එයා ආදර්ශවත් සහෝදරියක් කියලා. එයාට ලැබුණ ඕනම පැවරුමක් එයා කළේ හරිම ආසාවෙන්. එයා මහන්සි වෙලා වැඩ කළා. අනිත් අය ගැන හොයලා බැලුවා. හැම තිස්සේම දේවරාජ්‍යයට මුල් තැන දීලා වැඩ කළා. (මතෙ. 6:33) අපි අවුරුදු තුනක්ම චාරිකා සේවේ කළා. ඊටපස්සේ 1958දී අපිට යුවළක් විදිහට බෙතෙල් එකේ සේවේ කරන්න ආරාධනයක් ලැබුණා.
මං මේරිගෙනුත් සෑහෙන දේවල් ඉගෙනගත්තා. අපි බැඳපු මුල් කාලේ බයිබලේ එකට කියවන්න තීරණේ කළා. අපි දවසකට බයිබල් පද 15ක් විතර කියවනවා. දෙන්නාගෙන් එක් කෙනෙක් කොටසක් කියෙව්වාට පස්සේ කියවපු දේවල් ජීවිතේට අදාළ කරගන්න විදිහ ගැන අපි කතා කරනවා. ඒ වෙලාවට මේරි එයා ගිලියද් පාසැලේදී ඉගෙනගත්ත දේවල්, මිෂනාරි සේවේදී ඉගෙනගත්ත දේවල් මාත් එක්ක බෙදාගත්තා. මං දෙන දේශන තව හොඳට දෙන්න, සහෝදරියන්ව දිරිගන්වද්දී මොන වගේ දේවල්ද කියන්න ඕන කියලා මේරි කියපු දේවල්වලින් මං ඉගෙනගත්තා.—හිතෝ. 25:11.
මගේ මේරි 2013දී නැති වුණා. පාරාදීස පොළොවේදී එයාව ආයේ දකින්න මං ඉන්නේ ගොඩක් ආසාවෙන්. ඒ වෙන කල් මගේ එකම අධිෂ්ඨානය මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරලා දිගටම ඉගෙනගන්න එක. (හිතෝ. 3:5, 6) පාරාදීස පොළොවේදී දෙවියන්ගේ සෙනඟ කරන දේවල් ගැන හිතද්දී මගේ හිතට ලොකු සහනයක්, සතුටක් දැනෙනවා. එදාට උදාර උපදේශකයාණන්ගෙන් අලුත් අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔහු ගැනත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මේ වෙන කල් ඔහු මට උගන්නලා තියෙන දේවල් ගැන, මට පෙන්නලා තියෙන මහත් කරුණාව ගැන ඔහුට කොච්චර ස්තුති කළත් මදි.
a ජෙතා සුනාල්ගේ ජීවිත කතාව දැනගන්න 2003 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 23-29 පිටු බලන්න.