Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 51

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

ඔයාගේ කඳුළු යෙහෝවා දකිනවා

ඔයාගේ කඳුළු යෙහෝවා දකිනවා

“මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ එකතු කරලා තියාගන්න.”ගීතා. 56:8.

ලිපියේ අරමුණ

අපි වේදනාවෙන් ඉද්දී යෙහෝවා ඒක දකිනවා කියලත් ඔහු අපිට ඕන කරන සහනය දෙනවා කියලත් මේ ලිපියෙන් මතක් කරනවා.

1-2. මොන වගේ දේවල් නිසාද අපේ ඇස්වලින් කඳුළු වැටෙන්නේ?

 අපි ඕනම කෙනෙක්ගේ ජීවිතේ ඇස්වලට කඳුළු උනපු අවස්ථා ඕන තරම් ඇති. සමහර වෙලාවට අපේ ඇස්වලට කඳුළු එන්නේ අපිට දැනෙන සතුට නිසයි. අපි ජීවිතේ විශේෂ දෙයක් අද්දකිද්දී අපේ ඇස්වලට කඳුළු එනවා. ඔයාගේ දරුවාව අතට ගත්ත මුල්ම දවසේ ඔයාගේ ඇස් කඳුළුවලින් පිරෙන්න ඇති. සොඳුරු මතකයන් මතකයට එද්දී, අවුරුදු ගාණකින් හම්බ වෙලා නැති යාළුවෙක්ව ආයේ දකිද්දී ඔයාගේ ඇස්වලට කඳුළු එන්න ඇති.

2 හැබැයි හුඟක් වෙලාවට අපේ ඇස්වලට කඳුළු එන්නේ අපේ හිතේ හිර වෙලා තියෙන වේදනාව නිසයි. අපි ආදරේ කරන කෙනෙක් අපිව රිද්දද්දී දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා. අසනීප නිසා දවස ගාණේ ලොකු වේදනාවක් උහුලන් යන්න වෙද්දීත් ඇස්වලින් කඳුළු වැටෙනවා. අපි ආදරේ කරන කෙනෙක්ගේ මරණය නිසාත් ඇස්වලට කඳුළු එන්නේ අපිටත් නොදැනීමයි. ඒ වගේ වෙලාවලදී යෙරෙමියාට හැඟුණ විදිහටම අපිටත් හැඟෙයි. බැබිලෝනිවරු ඇවිත් යෙරුසලම විනාශ කළාම එයාට දැනුණ වේදනාව ගැන එයා මෙහෙම කිව්වා. “මගේ දෙනෙත්වලින් කඳුළු ගංගා ගලාගෙන යනවා. මගේ දෙනෙත්වලින් නොනැවතී කඳුළු ගලනවා. ඒවා නවතින්නේ නැහැ.”—විලා. 3:48, 49.

3. යෙහෝවාගේ සේවකයන් වේදනාවෙන් ඉන්නවා දකිද්දී යෙහෝවාට දැනෙන්නේ කොහොමද? (යෙසායා 63:9)

3 අපේ ඇස්වලින් කී සැරයක් නම් කඳුළු වැටිලා තියෙනවාද කියලා යෙහෝවා දන්නවා. බයිබලේ කියනවා අපිට වේදනාවක් දැනෙන හැම මොහොතක් ගැනම ඔහු දන්නවා, අපි ඔහුට කන්නලව් කරද්දී ඔහු අපට සවන් දෙනවා කියලා. (ගීතා. 34:15) අපේ වේදනාව නිකම්ම දකිනවාට, අහනවාට වඩා දෙයක් ඔහු අපි වෙනුවෙන් කරනවා. අපි අඬනවා දකිද්දී යෙහෝවා ආදරණීය තාත්තා කෙනෙක් වගේ අපි ළඟට දුවගෙන එනවා.—යෙසායා 63:9 කියවන්න.

4. සමහර බයිබල් චරිත අද්දැකපු දේවල්වලින් අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

4 යෙහෝවාගේ සෙනඟගේ ඇස්වලින් කඳුළු වැටෙද්දී ඒ ගැන ඔහුට දැනෙන විදිහත් ඔහු එයාලට උදව් කරන විදිහත් බයිබලෙන් අපිට දැනගන්න පුළුවන්. උදාහරණෙකට අපි බලමු හන්නා, දාවිත්, හෙසකියා රජ මූණ දුන්නේ මොන වගේ දේවලටද කියලා. එයාලාගේ ඇස්වලින් කඳුළු වැටුණේ ඇයි? යෙහෝවා කොහොමද එයාලාගේ උදව්වට ආවේ? දරාගන්න බැරි වේදනාවක් දැනෙද්දී, කෙනෙක් ද්‍රෝහි වෙද්දී, කරකියාගන්න දෙයක් නැති වෙද්දී යෙහෝවා කොහොමද අපිට සහනයක් වෙන්නේ? අපි බලමු.

වේදනාව නිසා වැටෙන කඳුළු

5. හන්නාට දැනුණේ කොහොමද?

5 ලොකු වේදනාවක් දැනෙන ප්‍රශ්නවලට හන්නා මූණ දුන්නා. එයාට තිබුණ එක ප්‍රශ්නයක් තමයි එයාගේ මහත්තයාට තව බිරිඳක් හිටපු එක. එයාගේ නම පෙනින්නා. එයාට හන්නාව පේන්න බැහැ. ඒ මදිවට හන්නාට දරුවෝ හිටියෙත් නැහැ. හැබැයි පෙනින්නාට දරුවෝ කීපදෙනෙක්ම හිටියා. (1 සාමු. 1:1, 2) ඒ ගැන කියලා පෙනින්නා නිතරම වගේ හන්නාට කැපෙන විදිහට කතා කළා. හන්නාගේ තැන ඔයා හිටියා නම් ඔයාට කොහොම දැනෙයිද? හන්නා කොච්චර “ලොකු දුකකින්” හිටියාද කියනවා නම් එයා ‘නොකා නොබී ඇඬුවා.’—1 සාමු. 1:6, 7, 10.

6. සහනයක් ලබාගන්න හන්නා කළේ මොකක්ද?

6 හන්නා සහනය හොයාගත්තේ කොහොමද? එයා යෙහෝවාට නමස්කාර කරන්න තිබුණ ශුද්ධ කූඩාරමට ගියා. සමහරවිට එයා යන්න ඇත්තේ කූඩාරමේ මළුවට කිට්ටුවෙන් තිබුණ තැනකට වෙන්න ඇති. එතනට ගිහින් එයා “ඉකි ගගහා අඬලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා.” හන්නා මෙහෙම කිව්වා. “ඔයාගේ දාසිය වන මං කොච්චර දුක් විඳිනවාද කියලා බලලා මාව සිහි කරන්න.” (1 සාමු. 1:10ආ, 11) දැනුණ හැම දේම හන්නා යෙහෝවාට කිව්වා. මේ ආදරණීය දුව ඉකි ගගහා යාච්ඤා කරනවා දකිද්දී යෙහෝවාටත් ලොකු දුකක් දැනෙන්න ඇති. ‘මෙයාව සනසන්න මොනවා හරි කරන්න ඕනෙ’ කියලා ඔහු හිතන්න ඇති.

7. හිතේ තිබුණ හැම දේම යෙහෝවාට කිව්වාම හන්නාට දැනුණේ කොහොමද?

7 හන්නා එයාට හැඟුණ හැම දේම යෙහෝවාට කිව්වාට පස්සේ උත්තම පූජක ඒලී එයාට කිව්වා යෙහෝවා එයාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙයි කියලා. ඒක ඇහුවාම හන්නාට දැනුණ විදිහ බලන්න. “එයා එතනින් ගිහින් කෑම කෑවා. ඒ වෙලාවේ ඉඳන් හන්නා එයාගේ ප්‍රශ්නේ ගැන හිතහිත දුක් වුණේ නැහැ. එයාගේ මූණ මලානික වෙලා තිබුණෙත් නැහැ.” (1 සාමු. 1:17, 18) තවමත් හන්නාගේ ප්‍රශ්නේ එහෙම්මමයි. හැබැයි එයාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. මොකද එයාගේ හිතට බරක් වුණ හැම දෙයක්ම එයා යෙහෝවාට භාර දුන්නා. යෙහෝවා එයාගේ දුක දැක්කා. එයා ඉකි ගහපු සද්දේ ඔහුට ඇහුණා. ඉතින් ඔහු පස්සේ කාලෙක දරුවෙක් දීලා එයාට ආශීර්වාද කළා.—1 සාමු. 1:19, 20; 2:21.

8-9. අපි රැස්වීම් යන එක වැදගත් ඇයි? (හෙබ්‍රෙව් 10:24, 25) (පින්තූරයත් බලන්න.)

8 අපිට පාඩම්. හිතට ලොකු වේදනාවක් දැනෙන ප්‍රශ්නෙකට ඔයාත් මේ වෙලාවේ මූණ දෙනවාද? සමහරවිට පවුලේ කෙනෙක්ගේ, යාළුවෙක්ගේ වියෝව ඔයා අද්දකිනවා ඇති. ඒ වගේ වෙලාවට හැමෝගෙන්ම වෙන් වෙලා තනි වෙන්නයි අපිට ඕනේ. හැබැයි මතකද හන්නාව? එයා ශුද්ධ කූඩාරමට ගියාම එයාට ඕන සහනය යෙහෝවා දුන්නා. ඔයා දුකෙන් හිටියත් රැස්වීම් යනවා නම් යෙහෝවා ඔයාවත් සනසනවා. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) රැස්වීම්වලදී දිරිගැන්වෙන බයිබල් පද අපේ කනට වැටෙනවා. ඒක හිතට දුකක් ගේන සිතුවිලි අයින් කරලා හොඳ සිතුවිලිවලින් යෙහෝවා අපේ මනස පුරවන විදිහක්. අපේ ප්‍රශ්න අයින් වුණේ නැතත් සතුට රැකගන්න ඒක අපිට උදව් වෙනවා.

9 රැස්වීම්වලදී අපේ සහෝදර සහෝදරියන් අපිව සනසනවා. එයාලාගේ ආදරේ අපිට දැනෙන්න සලස්වනවා. (1 තෙස. 5:11, 14) විශේෂ පුරෝගාමි සේවේ කරන සහෝදරයෙක්ගේ නෝනා නැති වුණා. එයා මෙහෙම කියනවා. “මට තාමත් ලොකු දුකක් දැනෙනවා. සමහර වෙලාවට මං ඔහේ පැත්තකට වෙලා අඬඅඬ ඉන්නවා. හැබැයි රැස්වීම් ගියාම ඕන කරන දිරිගැන්වීම් මට ලැබෙනවා. සහෝදරයන් කියන දේවල්, එයාලා දෙන අදහස්වලින් හිතට ලොකු සහනයක් දැනෙනවා. රැස්වීම් යන්න කලින් ලොකු දුකක් දැනුණත් රැස්වීම් ගියාම මට දැනෙන්නේ පුදුම සහනයක්.” අපි රැස්වීම් යනවා නම් යෙහෝවාට පුළුවන් සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරලා අපිට උදව් කරන්න.

අපේ සහෝදර සහෝදරියන්ට පුළුවන් අපිව සනසන්න (8-9 ඡේද බලන්න)


10. අපිට ලොකු දුකක් දැනෙද්දී හන්නාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

10 හන්නා එයාට හැඟුණ හැම දේම යෙහෝවාට කියපු එකෙනුත් සහනය ලැබුණා. යෙහෝවා ඔයාගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙනවා. ඔහු ඔයාට අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒක ගැන ඔයාට විශ්වාස නිසා ඔයාටත් පුළුවන් “හිතේ තියෙන හැම කරදරයක්ම ඉක්මනින්ම ඔහුට භාර දෙන්න.” (1 පේතෘ. 5:7) මංකොල්ලකරුවන් අපේ සහෝදරියකගේ මහත්තයාව මැරුවා. එයා මෙහෙම කියනවා. “මට දැනුණේ මගේ හදවත කීතු කීතුවලට කැඩිලා ගියා කියලා. ආයේ කවදාවත් මට සතුටින් ඉන්න බෑ කියලයි මං හිතුවේ. ඒත් මට ගොඩක් ආදරේ කරන මගේ තාත්තාට මං යාච්ඤා කරපු හැම වෙලාවකම මට ලොකු සහනයක් දැනුණා. සමහර වෙලාවට මගේ දුක කියන්න මට වචන ආවෙත් නෑ. හැබැයි යෙහෝවා මාව තේරුම්ගත්තා. මගේ හිතට ලොකු වේදනාවක් දැනෙද්දී මං යෙහෝවාට කිව්වා ‘අනේ, මාව සන්සුන් කරන්න’ කියලා. එතකොටම මගේ හදවතටයි, මනසටයි ලොකු සන්සුන්කමක් දැනෙනවා. ඊටපස්සේ එදා දවසේ වැඩ කරගන්න මට පුළුවන්.” ඔයාත් දැනෙන වේදනාව අකුරක් නෑර යෙහෝවාට කියද්දී ඔහුට ඔයාගේ දුක දැනෙනවා. ඔහු ඔයාව තේරුම්ගන්නවා. ඔයාගේ ප්‍රශ්නේ අයින් වුණේ නැතත් යෙහෝවාට පුළුවන් ඔයාව සනසන්න, ඔයාගේ හිත සන්සුන් කරන්න. (ගීතා. 94:19; ෆිලි. 4:6, 7) ඔහුට විශ්වාසවන්තව ඉන්න ඔයා ගන්න හැම මහන්සියකටම ඔහු ආශීර්වාද කරනවාමයි.—හෙබ්‍රෙ. 11:6.

ද්‍රෝහි වෙද්දී වැටෙන කඳුළු

11. අනිත් අය නපුරු විදිහට සලකද්දී දාවිත්ට හැඟුණේ කොහොමද?

11 ජීවිත කාලේ පුරා දාවිත්ගේ ඇස්වලින් කඳුළු වැටුණ අවස්ථා සෑහෙන්න තිබුණා. ගොඩක් අය එයාට නපුරුකම් කළා. එයාගේ කිට්ටු යාළුවෝ, පවුලේ අය එයාට ද්‍රෝහි වුණා. (1 සාමු. 19:10, 11; 2 සාමු. 15:10-14, 30) සැරයක් දාවිත් මෙහෙම කිව්වා. “අඬලා අඬලාම මම හෙම්බත් වෙලා. රෑ පුරා මගේ ඇස්වලින් ගලන කඳුළෙන් මගේ යහන පෙඟිලා. කඳුළුවලින් මගේ ඇඳ තෙත් වෙලා.” දාවිත්ට දුකක් දැනුණේ එයාට “හිරිහැර කරන අය නිසයි” කියලා එයා කිව්වා. (ගීතා. 6:6, 7) අනිත් අය නපුරු විදිහට සලකද්දී දාවිත්ට කොච්චර දුකක් දැනුණාද කියනවා නම් එයාගේ ඇස්වලින් වැටුණ කඳුළු එයාට නවත්තගන්න බැරි වුණා.

12. ගීතාවලිය 56:8 කියන විදිහට දාවිත්ට යෙහෝවා ගැන දැනුණේ කොහොමද?

12 කොච්චර ප්‍රශ්න අද්දැක්කත් යෙහෝවාගේ ආදරේ ගැන දාවිත්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒකයි එයා කිව්වේ “මං උදව් ඉල්ලලා අඬද්දී යෙහෝවා මට අනිවාර්යයෙන්ම සවන් දෙනවා” කියලා. (ගීතා. 6:8) තව අවස්ථාවක දාවිත් ගීතාවලිය 56:8 තියෙන ලස්සන වචන ලිව්වා. (කියවන්න.) දාවිත්ට දැනුණේ එයාගේ ඇහෙන් වැටෙන හැම කඳුළක්ම යෙහෝවා සම් භාජනයකට එකතු කරගන්නවා වගේ, ඒවා ගැන ලියවිල්ලක ලියාගන්නවා වගේ. එයාගේ වේදනාව යෙහෝවා දකිනවා, ඔහු ඒක අමතක කරන්නේ නැහැ කියලා දාවිත් දැනන් හිටියා. යෙහෝවා එයාගේ ප්‍රශ්න දැක්කා විතරක් නෙවෙයි ඒ ප්‍රශ්න නිසා එයාට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගත්තා කියලත් දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වචන කියවද්දී අපිටත් යෙහෝවාගේ ආදරේ දැනෙනවා.

13. අනිත් අය අපිට ද්‍රෝහි වෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

13 අපිට පාඩම්. ඔයා ගොඩක් විශ්වාස කරපු කෙනෙක් හිතපු නැති විදිහේ දෙයක් ඔයාට කළාද? ඔයාට ද්‍රෝහි වුණාද? එහෙමනම් ඔයා ඉන්නේ ලොකු වේදනාවකින් වෙන්න ඇති. සමහරවිට ඔයා බඳින්න හිටපු කෙනා හිතපු නැති විදිහට සම්බන්ධේ නතර කරන්න ඇති. ඔයා විවාහ වෙලා හිටපු කෙනා ඔයාව දාලා යන්න ඇති. නැත්නම් ඔයා ආදරේ කරන කෙනෙක් යෙහෝවාට සේවේ කරන එක නතර කරන්න ඇති. අපේ සහෝදරයෙකුත් ඒ වගේ දේකට මූණ දුන්නා. එයාගේ බිරිඳ අනාචාරයේ යෙදිලා එයාව දාලා ගියා. එයා මෙහෙම කියනවා. “වෙච්ච දේ මට තාම හිතාගන්න බෑ. මට දැනුණේ මගෙන් කිසි වැඩක් නෑ කියලා. මට ලොකු දුකක්, කේන්තියක් දැනුණා.” ඔයා ඉන්නෙත් ඒ වගේ දේකට මූණ දීලා නම් යෙහෝවා ඔයාව අත්හරින්නේ නැහැ කියලා දැනන් ඉන්න එක ඔයාට ලොකු සහනයක් වෙයි. ඒ සහෝදරයා මෙහෙම කියනවා. “මං තේරුම්ගත්ත දෙයක් තමයි මිනිස්සු අපේ විශ්වාසේ කඩන්න පුළුවන්. හැබැයි යෙහෝවා එහෙම නෑ. මොන දේ වුණත් යෙහෝවා අපි එක්කම ඉන්නවා. ඔහුට විශ්වාසවන්ත අයව ඔහු කවදාවත් අත්හරින්නේ නෑ.” (ගීතා. 37:28) කිසිම මනුස්සයෙක්ට දෙන්න බැරි විදිහේ ආදරයක් ඔයාට දෙන්න යෙහෝවාට පුළුවන්. ඇත්ත, ඔයා ආදරේ කරන කෙනෙක් ද්‍රෝහි වුණාම, එයා ඔයාගේ විශ්වාසේ කැඩුවාම ඔයාගේ හිතට ලොකු දුකක් දැනෙයි. ඒත් එහෙමයි කියලා යෙහෝවාට ඔයා ගැන හැඟෙන විදිහ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔහුට ඔයාව තාමත් ගොඩක් වටිනවා. (රෝම 8:38, 39) මතක තියාගන්න, කවුරු කොහොම ඔයාට සැලකුවත් ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා ඔයාට ආදරෙයි.

යෙහෝවා බිඳුණු හිත් තියෙන අය ළඟින්ම ඉන්නවා කියලා ගීතාවලිය පොතේ පොරොන්දු වෙනවා (13 ඡේදය බලන්න)


14. ගීතාවලිය 34:18 අපිට දෙන සහතිකය මොකක්ද?

14 කෙනෙක්ගේ ද්‍රෝහිකමක් දරාගන්න ගීතාවලිය 34:18 දාවිත් කියපු දේ ඔයාට උදව් වෙයි. (කියවන්න.) එක පොතක කියනවා එතන “තැළුණු හදවත් තියෙන අය” කියන්නේ “ආසාවෙන් බලාගෙන ඉන්න කිසිම දෙයක් නැහැ කියලා හැඟෙන අය ගැන” වෙන්න පුළුවන් කියලා. ඒ වගේ අයට යෙහෝවා උදව් කරන්නේ කොහොමද? දරුවෙක් දුකෙන් ඉද්දී තාත්තා එයාව තුරුල් කරන් එයාව සන්සුන් කරනවා වගේ යෙහෝවාත් එහෙම අය ළඟින්ම ඉන්නවා. කෙනෙක්ගේ ද්‍රෝහිකමක් නිසා ඔයාට දැනෙන වේදනාව යෙහෝවාටත් දැනෙනවා. ඔහු ඉක්මනින්ම ඔයාගේ උදව්වට එනවා. ඔහුට ඕනෙ ඔයාගේ බිඳුණු හදවත සනසන්න. අනාගතේ දිහා ආසාවෙන් බලන් ඉන්න උදව් වෙන ගොඩක් දේවල් ඔහු දීලා තියෙනවා. දැන් ඔයා අද්දකින වේදනාව දරාගන්න ඒක ඔයාට උදව් වෙයි.—යෙසා. 65:17.

කරකියාගන්න දෙයක් නැති වෙද්දී වැටෙන කඳුළු

15. හෙසකියා අඬන තරමට අසරණ වුණේ ඇයි?

15 වයස 39දී හෙසකියා රජ දැනගත්තා එයාට බරපතළ අසනීපයක් තියෙනවා කියලා. ඒ අසනීපෙන් එයා මැරෙනවා කියලා අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා කිව්වා. (2 රාජා. 20:1) ඒක දැනගත්තාම හෙසකියා හොඳටම ඇඬුවා. උදව් ඉල්ලලා එයා යෙහෝවාට කන්නලව් කළා.—2 රාජා. 20:2, 3.

16. හෙසකියා වෙනුවෙන් යෙහෝවා කළේ මොනවාද?

16 හෙසකියා අඬඅඬ යාච්ඤා කළාම යෙහෝවාට එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. ඔහු එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ යාච්ඤාව මට ඇහුණා. ඔයාගේ කඳුළු මම දැක්කා. දැන් මං ඔයාව සුව කරනවා.” දැන්ම එයාගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ කියලත් ඇසිරියානුවන්ගේ අතින් යෙරුසලම බේරගන්නවා කියලත් යෙහෝවා එයාට කිව්වා.—2 රාජා. 20:4-6.

17. අසනීපයකින් ඉද්දී යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද? (ගීතාවලිය 41:3) (පින්තූරයත් බලන්න.)

17 අපිට පාඩම්. සුව වෙන පාටක් පේන්නේ නැති අසනීපයකින්ද ඔයා ඉන්නේ? ඔයාට හැඟෙන විදිහ යෙහෝවාට කියන්න. ඔයා අඬඅඬ යාච්ඤා කළත් ඔහු ඔයාට කන් දෙනවා. ‘දයාවෙන් පිරුණු තාත්තා ඕනෙම අවස්ථාවකදී අපිව සනසනවා.’ (2 කොරි. 1:3, 4) ඇත්ත, අද අපි මූණ දෙන හැම ප්‍රශ්නයක්ම යෙහෝවා අයින් කරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න දරාගෙන යන්න ඔහු අපිට උදව් කරනවා, අපිව සනසනවා කියලා නම් කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 41:3 කියවන්න.) ඔහු ඔහුගේ බලය මාර්ගයෙන් අපිව ශක්තිමත් කරනවා. අපිට ඕන කරන ප්‍රඥාව, මනසේ සමාදානය දෙනවා. (හිතෝ. 18:14; ෆිලි. 4:13) අනාගතේදී කිසිම කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව ඔහු අපිට දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව අපිට සැනසීමක්.—යෙසා. 33:24.

අපිට ශක්තිය, ප්‍රඥාව, මනසේ සාමය දීලා යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙනවා (17 ඡේදය බලන්න)


18. හරිම අමාරු දේකට මූණ දෙද්දී ඔයාට සහනයක් වෙලා තියෙන බයිබල් පදේ මොකක්ද? ( “කඳුළු මකලා දාන වචන” කියන කොටුව බලන්න.)

18 යෙහෝවාගේ වදන් නිසා හෙසකියාට ලොකු සහනයක් දැනුණා. මානසිකව වැටිලා ඉද්දී අපිවත් සනසන්න, සන්සුන් කරන්න බයිබලේ තියෙන යෙහෝවාගේ වදන්වලට පුළුවන්. (රෝම 15:4) බටහිර අප්‍රිකාවේ ඉන්න සහෝදරියක් එයාට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තාම ගොඩක් ඇඬුවා. එයා මෙහෙම කියනවා. “මට සහනයක් වුණ බයිබල් පදයක් තමයි යෙසායා 26:3. ඇත්ත, අපි අමාරු දේකට මූණ දෙද්දී අපිට ඕන ඕන විදිහට ඒක වෙනස් කරන්න බෑ. ඒත් එතන කියනවා ඒක දරාගන්න අපිට උදව් කරන්න, අපේ මනසට සමාදානය දෙන්න යෙහෝවාට පුළුවන් කියලා. ප්‍රශ්නෙට හොඳින් මූණ දෙන්න එතකොට අපිට පුළුවන්.” කිසිම විසඳුමක් නැහැ වගේ පේන ප්‍රශ්නයක් ඉස්සරහා ඔයා අසරණ වෙද්දී ඔයාට සහනයක් වෙයි කියලා හිතෙන බයිබල් පදයක් මතක් වෙනවාද?

19. අපි ආසාවෙන් බලන් ඉන්නේ මොන වගේ කාලයක් එන කල්ද?

19 දවසින් දවස අපි ළං වෙන්නේ මේ සමාජයේ අවසානයට. ඒ නිසා අපේ ඇස්වලින් වැටෙන කඳුළු වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ. හැබැයි හන්නාගේ, දාවිත්ගේ, හෙසකියාගේ ජීවිත කතාවලින් අපි බැලුවා එයාලාගේ ඇස්වලින් වැටුණ හැම කඳුළක්ම යෙහෝවා දැක්කා වගේම ඔහු එයාලාගේ උදව්වට ආවා කියලා. යෙහෝවා ඒ දේම අපි වෙනුවෙනුත් කරනවා. අපේ ඇස්වලින් වැටෙන එක කඳුළක්වත් යෙහෝවා අමතක කරන්නේ නැහැ. ඉතින් දරාගන්න බැරි වේදනාවකට මූණ දෙද්දී හැඟෙන හැම දේම යාච්ඤාවෙන් යෙහෝවාට කියමු. සහෝදරයන්ගෙන් වෙන් වෙලා අපිවම තනි කරගන්නේ නැතුව ඉමු. බයිබලේ වදන්වලින් අපිවම සනසවාගමු. අපි ඒ විදිහට දිගටම විශ්වාසවන්තව දරාගද්දී යෙහෝවා අපිට ආශීර්වාද කරනවා කරනවාමයි. අපේ ඇස්වලින් වැටෙන හැම කඳුළක්ම පිහලා දානවා කියන පොරොන්දුව ඒ ආශීර්වාදවලට ඇතුළත්. හිතට දුකක් දැනෙද්දී, කෙනෙක් ද්‍රෝහි වෙද්දී, කරකියාගන්න දෙයක් නැති වෙද්දී වැටෙන කඳුළු එදාට නැහැ. (එළි. 21:4) එදාට අපේ ඇස්වලින් වැටෙන්නේ සතුටු කඳුළු විතරයි!

ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”