Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 50

ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

විශ්වාසේ ශක්තිමත් කරගන්න දරුවාට උදව් කරන්න

විශ්වාසේ ශක්තිමත් කරගන්න දරුවාට උදව් කරන්න

‘දෙවියන් බලාපොරොත්තු වෙන දේ කිසිම සැකයක් නැතුව තේරුම්ගන්න. ඔහු බලාපොරොත්තු වෙන දේ කරද්දී ඔහුව සතුටු කරන්න පුළුවන්. ඔහු බලාපොරොත්තු වෙන දේ යහපත්. ඒකේ කිසිම අඩුවක් නැහැ.’රෝම 12:2.

ලිපියේ අරමුණ

දරුවන් එක්ක දෙවියන් ගැන, බයිබලේ ගැන කතා කරන්න පුළුවන් කොහොමද? එයාලාගේ විශ්වාසේ ශක්තිමත් කරගන්න උදව් කරන්න පුළුවන් කොහොමද?

1-2. දරුවෙක් බයිබලේ ගැන, දෙවියන් ගැන ප්‍රශ්න කළොත් දෙමාපියන්ට ඒ ගැන දැනෙන්න ඕනෙ කොහොමද?

 දරුවන්ව ඇති දැඩි කරන එක එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඔයාත් දෙමාපියෙක් නම් පුංචි කාලේ ඉඳන් දරුවාගේ හිතේ යෙහෝවා ගැන විශ්වාසයක් ඇති කරන්න ඔයා මහන්සි වෙනවා ඇති. (ද්වි. 6:6, 7) දරුවා ටික ටික ලොකු වෙද්දී දෙවියන් ගැන, බයිබලේ ගැන, බයිබලේ එපා කියලා තියෙන දේවල් ගැන වුණත් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා.

2 හැබැයි දරුවා ප්‍රශ්න අහපු හැටියේ ඔයාට හිතෙයි එයාට යෙහෝවා ගැන, බයිබලේ ගැන එච්චර විශ්වාසයක් නැහැ කියලා. දරුවෙක් ටිකෙන් ටික ලොකු වෙද්දී එයාගේ විශ්වාසේ ශක්තිමත් කරගන්න ප්‍රශ්න අහන එක සාමාන්‍යයි. (1 කොරි. 13:11) ඒ නිසා බය වෙන්න එපා. එයාට තව හොඳට හිතන්න උදව් කරන්න ඒක අවස්ථාවක් කරගන්න. ඒ වගේම දෙවියන් ගැනයි, බයිබලේ ගැනයි එයාට තියෙන විශ්වාසේ තව වැඩි කරගන්න උදව් කරන්නත් ඒ ප්‍රශ්න පාවිච්චි කරන්න.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපි මේ ලිපියෙන් දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් පැති 3ක් ගැන බලනවා. (1) දරුවන්ගේ විශ්වාසේ ශක්තිමත් කරගන්න. (2) හරි වැරැද්ද ගැන බයිබලේ කියලා තියෙන දේවල් එයාට ප්‍රයෝජනවත් කියලා තේරුම්ගන්න. (3) බය නැතුව තමන්ගේ විශ්වාසයන් ගැන කතා කරන්න. ඒ වගේම දරුවන් ප්‍රශ්න අහන එක වැදගත් ඇයි කියලත් දරුවන්ට නිදහසේ එයාලාගේ හිතේ තියෙන දේවල් කියන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.

විශ්වාසේ වැඩි කරගන්න උදව් කරන්න

4. දරුවෙක් මොන වගේ ප්‍රශ්න අහයිද? ඒ ඇයි?

4 දෙමාපියෙනි, ඔයාලට යෙහෝවා ගැන විශ්වාසයක් තිබ්බ පලියට ඒක ඉබේම දරුවාට එයි කියලා හිතන්න එපා. යෙහෝවා ගැන විශ්වාසයක් ඔයාට උපතින්ම ලැබුණේ නැහැ. ඔයාගේ දරුවාටත් ඒක එහෙම්මමයි. ඒ නිසා දරුවෙක් කාලෙන් කාලෙට මේ වගේ ප්‍රශ්න අහයි. ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා කොහොමද දන්නේ? බයිබලේ තියෙන හැම දේම ෂුවර්ද?’ බයිබලේ අපිට කියන්නේ ‘හිතලා දේවල් කරන්න තියෙන හැකියාව’ පාවිච්චි කරලා ‘හැම දෙයක්ම හොඳට හොයලා බලලා හරි දේ සහතික කරගන්න’ කියලා. (රෝම 12:1; 1 තෙස. 5:21) ඉතින් ඒක කරන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

5. බයිබලේ ගැන තියෙන විශ්වාසේ වැඩි කරගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? (රෝම 12:2)

5 බයිබලේ තියෙන දේවල් සත්‍යයයි කියලා තහවුරු කරගන්න දරුවාට උනන්දු කරන්න. (රෝම 12:2 කියවන්න.) දරුවා ප්‍රශ්නයක් අහද්දී ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත පාවිච්චි කරලා උත්තරේ හොයාගන්න විදිහ එයාට පෙන්නන්න. ඒකේ “බයිබලය” කියන මාතෘකාව යටතේ “ලියවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන්” කියලා කොටසක් තියෙනවා. ඒකේ තොරතුරු බැලුවොත් දරුවාට පුළුවන් බයිබලේ නිකම්ම මිනිස්සු ලියපු පොතක් නෙවෙයි, ඒක දෙවියන්ගෙන්ම ලැබුණ පොතක් කියන්න තියෙන සාක්ෂි හොයාගන්න. (1 තෙස. 2:13) උදාහරණෙකට එයාට පුළුවන් නිනිවය ගැන අධ්‍යයනය කරන්න. බයිබල් විචාරකයන් කිව්වේ නිනිවය කියලා නගරයක් තිබ්බේ නැහැ කියලා. හැබැයි 1850 ගණන්වල නිනිවයේ නටඹුන් හොයාගත්තාම බයිබල් වාර්තාව නිවැරදියි කියලා ඔප්පු වුණා. (ශෙප. 2:13-15) නිනිවයේ විනාශයෙන් බයිබල් අනාවැකි ඉටු වුණ විදිහ දැනගන්න එයා කැමති නම් එයාට පුළුවන් 2021 නොවැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ “ඔබ දැන සිටියාද?” කියන කොටස අධ්‍යයනය කරන්න. ඒ විදිහට අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරුයි, විශ්වකෝෂ සහ පිළිගත් අනිත් පොත්වල තියෙන තොරතුරුයි සසඳද්දී බයිබලේ තියෙන දේවල් ඇත්ත කියලා එයාට තව ස්ථිර වෙයි.

6. හිතීමේ හැකියාව වැඩි කරගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න. (පින්තූරයත් බලන්න.)

6 හිතීමේ හැකියාව වැඩි කරගන්න දරුවාට උදව් කරන්න. දෙමාපියෙනි, බයිබලේ ගැනත් දෙවියන් ගැනත් දරුවා එක්ක කතා කරන්න අවස්ථා හොයාගන්න. ඔයා දරුවා එක්ක කෞතුකාගාරයක් බලන්න යද්දී, උද්‍යානයක ඇවිදින්න යද්දී, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක තියෙන ප්‍රදර්ශන කුටියක් බලන්න යද්දී ඒක කරන්න පුළුවන්. හිතන්න, ඔයාලා කෞතුකාගාරයක් බලන්න යනවා කියලා. ඔයාට ඉන්ටර්නෙට් එක හරහා වුණත් ඒක කරන්න පුළුවන්. ඒකේ තියෙන සමහර කෞතුක වස්තු සහ සිද්ධි පාවිච්චි කරලා බයිබලේ තියෙන දේවල් ඇත්ත කියලා පෙන්නන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට අවුරුදු 3,000ක් පරණ මෝවබ් ගල් පුවරුවක දෙවියන්ගේ නම තියෙනවා කියලා ඔයාගේ දරුවා දන්නවාද? ඒ ගල් පුවරුව පැරිස්වල ලූව්ර් කෞතුකාගාරයේ තියෙනවා. ඒ ගල් පුවරුවේ අනුරුවක් වෝර්වික්වල සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ “බයිබලය සහ දෙවියන්ගේ නම” කියන ප්‍රදර්ශන කුටියෙත් තියෙනවා. ඒ පුවරුවේ තියෙනවා මේෂා කියන මෝවබ් රජ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගැහුවා කියලා. ඒක බයිබලේ තියෙන දේටත් එකඟයි. (2 රාජා. 3:4, 5) ඒ විදිහට බයිබලේ තියෙන දේවල් විශ්වාසවන්තයි, නිවැරදියි කියන්න සාක්ෂි දරුවා එයාගේ ඇස් දෙකෙන්ම දකිද්දී එයාගේ විශ්වාසේ තව වැඩි වෙයි.—2 ලේක. 9:6.

කෞතුකාගාරයක තියෙන දේවල් පෙන්නලා දෙවියන් ගැන, බයිබලේ ගැන තියෙන විශ්වාසේ වැඩි කරගන්න දරුවාට උදව් කරන්න (6 ඡේදය බලන්න)


7-8. (අ) විවිධ රටාවලින් අපි ඉගෙනගන්නේ මොනවාද? උදාහරණයක් දෙන්න. (පින්තූරයත් බලන්න.) (ආ) නිර්මාතෘ ගැන දරුවාට තියෙන විශ්වාසේ වැඩි කරන්න උදව් වෙන්නේ මොන වගේ ප්‍රශ්නද?

7 අවට පරිසරය ගැන හොඳට හිතන්න දරුවාව උනන්දු කරන්න. ඔයා දරුවා එක්ක ලස්සන උයනක, ගම්බද පළාතක ඇවිදන් යද්දී අවට පරිසරයේ තියෙන අපූරු රටාවන් දරුවාට පෙන්නන්න. ඒක එයාට උදව් වෙයි ඒ රටාවන් පිටිපස්සේ බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා තේරුම්ගන්න. අවුරුදු ගාණක් තිස්සේ විද්‍යාඥයන් දඟර රටාවන් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. විද්‍යාඥයෙක් වන නිකොලා ෆැමේලි කියනවා දඟර රටා ගණන් කරද්දී එකක තියෙන අංක රටාවම තමයි අනිත් එකෙත් තියෙන්නේ කියලා. ඒක හඳුන්වන්නේ ෆිබොනාච්චි අනුක්‍රමය කියලා. මේ දඟර රටා පරිසරයේ හුඟක් තැන්වල තියෙනවා. උදාහරණෙකට මන්දාකිණිවල, සමහර බෙල්ලන්ගේ කටුවල, ගස්වල කොළවල සහ සූරියකාන්ත මල්වල මේ රටාව තියෙනවා. a

8 දරුවා විද්‍යාව පාඩමේදී පරිසරයේ දකින්න තියෙන තව රටාවන් ගැන ඉගෙනගනියි. ඒ වගේ තව රටාවක් තමයි ෆ්‍රැක්ටල් රටාව. එකම හැඩය වෙනස් නොවී ක්‍රමානුකූලව කුඩා වෙන එකටයි ෆ්‍රැක්ටල් රටාව කියන්නේ. කඳ අතුවලටත් අතු රිකිලිවලටත් බෙදිලා තියෙන ගහක දකින්න තියෙන්නේ ඒ රටාව. හිම මල්වලත් ඒ රටාව දකින්න පුළුවන්. හැබැයි මේ විදිහේ ලස්සන රටා ඇති වෙන විදිහට නීති හැදුවේ කවුද? හරිම පිළිවෙළට, සියුම් විදිහට හදපු මේ රටා පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ වගේ ප්‍රශ්න ගැන හිතන්න හිතන්න, මේ හැම දෙයක්ම දෙවියන් නිර්මාණය කළා කියලා දරුවාට තියෙන විශ්වාසේ තව ශක්තිමත් වෙයි. (හෙබ්‍රෙ. 3:4) දරුවා ටිකෙන් ටික වැඩෙද්දී ඔයාට පුළුවන් එයාගෙන් මෙහෙම අහන්න. “දෙවියන් අපිව නිර්මාණය කළා නං ජීවිතේ සතුටින් ගත කරන්න ඕන කරන මඟ පෙන්වීමුත් ඔහු දෙයි කියලා හිතන්න බැරිද?” එහෙම අහලා බයිබලේ තියෙන ඒ වගේ මඟ පෙන්වීම් එයාට පෙන්නන්න.

NASA, ESA, and the Hubble Heritage (STScl/AURA)-ESA/Hubble Collaboration

අවට පරිසරයේ තියෙන ලස්සන දේවල් සහ රටා නිර්මාණය කළේ කවුද? (7-8 ඡේද බලන්න)


හරි වැරැද්ද ගැන බයිබලේ තියෙන දේවල් අගය කරන්න උදව් කරන්න

9. බයිබලේ කියලා තියෙන දේවල් ගැන දරුවා ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි?

9 බයිබලේ වැරදියි කියන දෙයක් ගැන දරුවා ප්‍රශ්න කරනවා නම් කලබල වෙන්නේ නැතුව ඒකට හේතුව තේරුම්ගන්න උත්සාහ කරන්න. ඇත්තටම එයාගේ ප්‍රශ්නේ බයිබලේ කියලා තියෙන ඒ දේ ගැන එයාට විශ්වාසයක් නැති එකද? නැත්නම් එයාට ඒ ගැන තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න අමාරු එකද? ඒ මොන දේ වුණත් ඔයාට පුළුවන් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ b පොත දරුවා එක්ක අධ්‍යයනය කරලා යෙහෝවාට කීකරු වෙන එකෙන් හැම තිස්සේම අපිට ප්‍රයෝජන තියෙනවා කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න.

10. යෙහෝවාත් එක්ක තියෙන යාළුකම ගැන හිතන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද?

10 යෙහෝවාත් එක්ක තියෙන යාළුකම වටින දෙයක් විදිහට සලකන්න දරුවාට උදව් කරන්න. ඔයා දරුවාත් එක්ක බයිබලේ අධ්‍යයනය කරද්දී ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ තියෙන ප්‍රශ්න සහ උදාහරණ පාවිච්චි කරලා එයා හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න. (හිතෝ. 20:5) ඒකේ 8වෙනි පාඩමේ යෙහෝවාව සමාන කරලා තියෙන්නේ අපි ගැන හිතන හොඳ යාළුවෙක්ට. එතන කියනවා ඒ යාළුවා අපේ ආරක්ෂාව, ප්‍රයෝජනය වෙනුවෙන් අපිට දේවල් කියනවා, මතක් කරනවා කියලා. ඊටපස්සේ 1 යොහන් 5:3 දරුවාත් එක්ක සාකච්ඡා කරලා එයාගෙන් මෙහෙම අහන්න. “පුතේ, යෙහෝවා ඇත්තටම හොඳ යාළුවෙක් නම් ඔහු අපිට දෙයක් කරන්න කිව්වොත් ඒ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?” ඒක සරල ප්‍රශ්නයක්. හැබැයි ඒක උදව් වෙයි යෙහෝවා අපිට දෙයක් කරන්න කියන්නේ ආදරේ නිසයි කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.—යෙසා. 48:17, 18.

11. බයිබලේ තියෙන දේවලට කීකරු වෙන එකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද? (හිතෝපදේශ 2:10, 11)

11 බයිබලේ තියෙන දේවලට කීකරු වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන විදිහ දරුවා එක්ක කතා කරන්න. පවුලක් විදිහට බයිබලේ කියවද්දී, දිනපදය බලද්දී බයිබලේ තියෙන දේවල් අදාළ කරගන්න එකෙන් ඔයාලාගේ පවුලට ප්‍රයෝජන ලැබිලා තියෙන විදිහ කතා කරන්න. උදාහරණෙකට මහන්සි වෙලා, අවංකව වැඩ කරන එකෙන් ප්‍රයෝජන ලැබෙන විදිහ ගැන කතා කරන්න. (හෙබ්‍රෙ. 13:18) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී සෞඛ්‍යසම්පන්නව, සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන විදිහ ගැනත් කතා කරන්න. (හිතෝ. 14:29, 30) බයිබලේ තියෙන දේවලට කීකරු වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙනවා කියලා දකිද්දී දරුවාටත් ආස හිතෙයි ඒවාට කීකරු වෙන්න.—හිතෝපදේශ 2:10, 11 කියවන්න.

12. බයිබලේ තියෙන උපදෙස්වලට කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙනවා කියලා තේරුම්ගන්න තාත්තා කෙනෙක් දරුවාට උදව් කළේ කොහොමද?

12 ප්‍රංශයේ ඉන්න ස්ටීව් සහ එයාගේ නෝනා යෞවන වයසේ ඉන්න එයාලාගේ පුතා ඊතන්ට යෙහෝවාගේ නීතිවලින් ඔහුගේ ආදරේ දකින්න උදව් කළා. ස්ටීව් මෙහෙම කියනවා. “අපි පුතාගෙන් මේ ප්‍රශ්න ඇහුවා. ‘පුතේ, ඇයි යෙහෝවා මේ ප්‍රතිපත්තියට කීකරු වෙන්න කියලා ඉල්ලන්නේ? ඒකෙන් ඔහු අපිට ගොඩක් ආදරෙයි කියලා පේන්නේ කොහොමද? ඔයා ඒකට කීකරු වුණේ නැත්තං මොනවා වෙයිද?’” එහෙම ප්‍රශ්න අහලා කතා කරපු එක ඊතන්ට උදව් වුණා යෙහෝවා දෙයක් කිව්වොත් ඒක හරියටම හරියි කියන විශ්වාසේ තව වැඩි කරගන්න. ස්ටීව් මෙහෙම කියනවා. “අපිට ඕන වුණේ බයිබලේ තියෙන ප්‍රඥාවට ළං වෙන්න මිනිස්සුන්ගේ ප්‍රඥාවට බෑ කියලා තේරුම්ගන්න පුතාට උදව් කරන්න.”

13. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න දරුවාව පුහුණු කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

13 බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න දරුවාව පුහුණු කරන්න. උදාහරණෙකට ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකකට එක පොතක් කියවගෙන එන්න කියලා දරුවාට කියන්න පුළුවන්. ඒ පොතේ ඉන්න චරිත කරන්නේ දෙවියන් අකමැති දේවල්. එයාලා දුරාචාරයේ යෙදෙනවා, සැහැසික ක්‍රියා කරනවා. ඒ පොත ලියලා තියෙන්නේ ඒවායේ කිසිම වැරැද්දක් නැහැ කියලා පෙන්නන විදිහට. දෙමාපියෙනි, ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් එහෙම හැසිරෙද්දී යෙහෝවාට කොහොම හැඟෙයිද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. (හිතෝ. 22:24, 25; 1 කොරි. 15:33; ෆිලි. 4:8) ටීචර් හරි ළමයි හරි ඒ පොත ගැන එයා හිතන දේ ඇහුවොත් එයාගේ විශ්වාසයන් පැහැදිලි කරන්න එතකොට දරුවාට පුළුවන්.

බය නැතුව කතා කරන්න පුහුණු කරන්න

14. යෞවනයෙක්ට අනිත් අය එක්ක කතා කරන්න අමාරු වෙන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද? ඒ ඇයි?

14 සමහර වෙලාවට යෞවනයෙක්ට එයා විශ්වාස කරන දේවල් අනිත් අය ඉස්සරහා කියන්න අමාරු වෙන්න පුළුවන්. හිතන්න, ඉස්කෝලේ පරිණාමය ගැන කතා කරනවා කියලා. ඒ වෙලාවට “මං පරිණාමය විශ්වාස කරන්නෑ” කියලා කියන්න එයාට බයක් දැනෙන්න පුළුවන්. මොකද ගුරුවරු පෙන්නන්නේ පරිණාමය දැනටමත් විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන දෙයක් විදිහට. දෙමාපියෙනි, දරුවා විශ්වාස කරන දේ හරියි කියලා ස්ථිර කරගන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

15. තමන් විශ්වාස කරන දේවල් හරියි කියලා ස්ථිර කරගන්න යෞවනයෙක්ට උදව් වෙන්නේ මොකක්ද?

15 විශ්වාස කරන දේවල් සැක නැතුව ස්ථිර කරගන්න දරුවාට උදව් කරන්න. නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන එක ගැන දරුවා ලැජ්ජා වෙන්න ඕනෙ නැහැ. (2 තිමෝ. 1:8) මොකද අද ගොඩක් විද්‍යාඥයෝ පවා තේරුම් අරන් තියෙනවා ජීවය එකපාරට, ඉබේම ඇති වෙන්න බැහැ කියලා. ජීවය ගොඩක් සංකීර්ණයි. ඒකම එයාලට සාක්ෂියක් ඒ හැම දේම පිටිපස්සේ බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න. ඉස්කෝලවල පරිණාමය ඇත්තක් වගේ ඉගැන්නුවාට හුඟක් විද්‍යාඥයෝ ඒක පිළිගන්නේ නැහැ. දරුවා විශ්වාස කරන දේ ගැන ස්ථිර කරගන්න, බය නැතුව ඒ ගැන කතා කරන්න එයාට උදව් වෙන තව දෙයක් තමයි අපේ සහෝදර සහෝදරියන් නිර්මාතෘ කෙනෙක්ව පිළිගන්න හේතු දැනගන්න එක. c

16. නිර්මාතෘ කෙනෙක්ව පිළිගන්න හේතු පැහැදිලි කරන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? (1 පේතෘස් 3:15) (පින්තූරයත් බලන්න.)

16 නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න තියෙන හේතු පැහැදිලි කරන්න දරුවාව පුහුණු කරන්න. (1 පේතෘස් 3:15 කියවන්න.) දෙමාපියෙනි, ඔයාලට පුළුවන් දරුවාත් එක්ක jw.org එකේ තියෙන “යොවුන් සිතේ ගැටලු - නිර්මාණය කළාද? පරිණාමය වුණාද?” කියන ලිපි මාලාව බලන්න. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා ඒ ලිපිවල තර්කානුකූලව පැහැදිලි කරලා තියෙනවා. දරුවාට කියන්න ඒවායින් එයා කැමති එකක් තෝරගන්න කියලා. ඊටපස්සේ ඒක තව කෙනෙක්ට පැහැදිලි කරන විදිහ එයාත් එක්ක පුරුදු වෙන්න. හැබැයි එයාට කියන්න ළමයි එක්ක වාදෙට යන්න එපා කියලා. කෙනෙක් එයා කියන දේවල් අහන්න කැමති නම් සරලව, තර්කානුකූලව එයාගේ විශ්වාසයන් පැහැදිලි කරන්න කියලා කියන්න. උදාහරණෙකට එයාගේ යාළුවෙක් මෙහෙම කියයි. “මං විශ්වාස කරන්නේ මට පේන දේ විතරයි. මට දෙවියන්ව පේන්නේ නෑනේ. ඉතිං කොහොමද විශ්වාස කරන්නේ?” එතකොට අපේ යෞවනයාට පුළුවන් මෙහෙම කියන්න. “හිතන්න, ගමක් පේන තෙක් මානෙක නැති කැලෑවක ඔයා ඇවිදන් යනවා කියලා. ඔයා දකිනවා හොඳට හදපු ළිඳක්. හදපු කෙනාව දැක්කේ නැති වුණත් ඒක ඉබේම එතනට ආවා කියලා ඔයා පිළිගන්නේ නෑනේ? එහෙනං මේ විශ්වයත් හදන්න කෙනෙක් ඉන්න ඕනෙ නැද්ද?”

ඉස්කෝලේ ළමයි එක්ක කතා කරද්දී සරලව, තර්කානුකූලව කතා කරන්න (16-17 ඡේද බලන්න) d


17. බයිබලේ තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්න අවස්ථා හොයාගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

17 බයිබලේ තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්න අවස්ථා හොයාගන්න දරුවාට උදව් කරන්න. (රෝම 10:10) දරුවා එයාගේ විශ්වාසයන් ගැන කතා කරන එක හරියට සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්නවා වගේ. මුලින්ම එයා වාදනය කරන්න පටන්ගන්නේ ලේසි සින්දුවකින්. කල් යද්දී එයා ඒ සංගීත භාණ්ඩේ හොඳට වාදනය කරයි. කෙනෙක්ට අපේ විශ්වාසයන් පැහැදිලි කරද්දීත් එහෙමයි. මුලින්ම සරල දේකින් පටන්ගන්න. උදාහරණෙකට දරුවාට පුළුවන් යාළුවෙක්ගෙන් මෙහෙම අහන්න. “ඔයා දන්නවාද ඉන්ජිනේරුවන් පරිසරයේ දේවල් දිහා බලලා තමයි එක එක ඒවා නිර්මාණය කරන්නේ කියලා? ඉන්නකෝ මං ඔයාට වීඩියෝ එකක් පෙන්නන්න.” ‘නිර්මාණයක්ද?’ කියන වීඩියෝ මාලාවේ වීඩියෝ එකක් පෙන්නලා එයාට පුළුවන් මෙහෙම අහන්න. “පරිසරයේ දේවල් දිහා බලලා හදන ඒවාට ඉන්ජිනේරුවන්ට ගෞරවේ ලැබෙනවා නම් අවට තියෙන දේවල් හදපු එකට ගෞරවේ ලැබෙන්න ඕන කාටද?” ඒ වගේ සරල දේකින් පටන්ගද්දී අහන් ඉන්න කෙනාට ඒ ගැන තව දැනගන්න ආස හිතෙයි. යෙහෝවා ගැන දැනගන්නත් කැමති වෙයි.

දිගටම උදව් කරන්න

18. දෙවියන් ගැන විශ්වාසේ තව වැඩි කරගන්න දිගටම දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද?

18 අපි වට වෙලා ඉන්නේ යෙහෝවාව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැති මිනිස්සුන්ගෙන්. (2 පේතෘ. 3:3) ඒ නිසා දෙමාපියෙනි, බයිබල් පාඩමේදී දරුවාට උදව් කරන්න බයිබලේ ගැනත් දෙවියන්ගේ ප්‍රමිති ගැනත් අගය වැඩි වෙන විදිහේ දේවල් අධ්‍යයනය කරන්න. දෙවියන්ගේ නිර්මාණ ගැන තව හොඳට හිතන්න, ඒකෙන් විශ්වාසේ වැඩි කරගන්න දරුවාට උදව් කරන්න. දැනටමත් ඉටු වෙලා තියෙන බයිබල් අනාවැකි තේරුම්ගන්නත් එයාට උදව් කරන්න. ඒ හැම දේටම වඩා වටින දෙයක් තියෙනවා. ඒ තමයි දරුවා එක්ක වගේම දරුවා ගැන යෙහෝවාට යාච්ඤා කරන එක. ඔයා එහෙම කරනවා නම් දරුවාගේ විශ්වාසේ ශක්තිමත් කරන්න ඔයා ගන්න හැම මහන්සියකටම යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරයි.—2 ලේක. 15:7.

ගීතිකාව 133 යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

a තවත් විස්තර දැනගන්න jw.org එකේ තියෙන ‘දෙවිව ගෞරවයට පත් කරන විශ්මිත නිර්මාණ- රටාවන්’ කියන වීඩියෝ එක බලන්න.

b ඔයාගේ දරුවා දැනටමත් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත පාඩම් කරලා ඉවර නම් ඔයාට පුළුවන් ඒකේ 3වෙනි සහ 4වෙනි කොටසේ තියෙන සමහර පාඩම් තෝරගෙන එයාත් එක්ක කතා කරන්න. ඒ පාඩම්වල හරි වැරැද්ද ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිති තියෙනවා.

c 2006 සැප්තැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ “නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු” කියන ලිපිය සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව බලන්න. තවත් උදාහරණ දැනගන්න jw.org එකේ තියෙන ‘නොදුටු පැත්ත හෙළි වෙයි’ කියන වීඩියෝ මාලාව බලන්න.

d පින්තූරේ අදහස : ඩ්‍රෝන්වලට ආස ඉස්කෝලේ යාළුවෙක්ට අපේ යෞවනයෙක් “නිර්මාණයක්ද?” කියන වීඩියෝ මාලාවේ වීඩියෝ එකක් පෙන්නනවා.