Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 49

ගීතිකාව 147 සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොකක්ද?

සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොකක්ද?

“පුතාව පිළි අරන් ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම සදාකාල ජීවිතය ලැබෙනවා.”යොහ. 6:40.

ලිපියේ අරමුණ

යේසුස්ගේ ජීවිත පූජාව නිසා අභිෂේක ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

1. හැමදාටම ජීවත් වෙන්න බැහැ කියලා හුඟක් අය හිතන්නේ ඇයි?

 පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න තියෙන ආසාව නිසා හුඟදෙනෙක් පෝෂ්‍යදායි කෑම ගන්නවා. නිතිපතා ව්‍යායාම් කරනවා. ඒවා කළා කියලා හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලා එයාලා හිතන්නේ නැහැ. හැබැයි යේසුස් කිව්වා “සදාකල් ජීවත් වෙන්න” මිනිස්සුන්ට පුළුවන් කියලා. ඒ ගැන යොහන් 3:16; 5:24 තියෙනවා.

2. යොහන් 6වෙනි පරිච්ඡේදයේ සදාකාල ජීවිතය ගැන කියන්නේ මොකක්ද? (යොහන් 6:39, 40)

2 දවසක් යේසුස් ආශ්චර්යයක් කරලා දහස් ගාණකට රොටි සහ මාළු කන්න දුන්නා. a ඒක හරිම පුදුමයි. ඒත් ඊළඟ දවසේ යේසුස්ව හොයාගෙන ගලීල මුහුද ළඟ තිබුණ කපර්ණවුමට ආපු සෙනඟට ඔහු කියපු දේවලට ඊටත් වඩා පුදුම හිතෙනවා. මැරුණ අයව ඔහු නැවත නැඟිට්ටනවා කියලත් ඒ අයට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් ඔහු එයාලට කිව්වා. (යොහන් 6:39, 40 කියවන්න.) යේසුස් කියපු දේ ඔයාට අදාළ වෙන විදිහ ගැන හිතන්න. ඔයා ආදරේ කරපු ඔයාගේ පවුලේ කෙනෙක්, යාළුවෙක් මිය ගිහිල්ලා නම් යේසුස් කියනවා එයාව නැවත නැඟිට්ටනවා කියලා! නැවත නැඟිටින හුඟදෙනෙක් එක්ක ඔයාටයි, ඔයා ආදරේ කරන අයටයි සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි යේසුස් යොහන් 6වෙනි පරිච්ඡේදයේ කියපු සමහර දේවල් එදා හිටපු අයට තේරුණේ නැහැ. එහෙම වෙන්න තරම් මොනවාද යේසුස් එයාලට කිව්වේ?

3. යොහන් 6:51 යේසුස් තමන් ගැන කිව්වේ මොනවාද?

3 යේසුස් ආශ්චර්යයක් කරලා රොටි දුන්නාම සෙනඟ හිතුවා පාළුකරයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දුන්න මන්නාවලට ඒක සමානයි කියලා. සෙනඟ දැනන් හිටියා ශුද්ධ ලියවිලිවල මන්නා හඳුන්වලා තියෙන්නේ ‘ස්වර්ගයෙන් ලැබුණ කෑමක්’ විදිහට කියලා. (ගීතා. 105:40; යොහ. 6:31) ඉතින් ඒ සෙනඟ මන්නා ගැන දැනගෙන හිටපු සමහර තොරතුරු පාවිච්චි කරලා යේසුස් එයාලට වැදගත් දෙයක් උගන්නනවා. යේසුස් කිව්වා ඔහු “ස්වර්ගයෙන් එන සැබෑ ආහාරය,” “දෙවියන් ලබා දෙන ආහාරය” සහ “ජීවනය ලබා දෙන ආහාරය” කියලා. (යොහ. 6:32, 33, 35) ඔහු මන්නායි, ඔහුයි අතරේ තියෙන කැපීපේන වෙනසක් පැහැදිලි කළා. ඇත්ත, මන්නා කියන්නේ ආශ්චර්යවත් විදිහට යෙහෝවා දීපු දෙයක්. ඒත් ඒක කාපු අය හැමදාටම ජීවත් වුණේ නැහැ. (යොහ. 6:49) හැබැයි යේසුස් තමන් ගැන කිව්වේ මෙහෙමයි. “ස්වර්ගයේ ඉඳන් ආපු ජීවනය ලබා දෙන ආහාරය මමයි. කෙනෙක් ඒ ආහාරය කෑවොත් එයා සදහටම ජීවත් වෙනවා.” (යොහන් 6:51 කියවන්න.) ඒක ඇහුවාම යුදෙව්වන් අන්දුන් කුන්දුන් වුණා. යේසුස් ස්වර්ගයෙන් එන “ආහාරය” වෙන්නේ කොහොමද කියලත් ඒක දෙවියන් එයාලාගේ මුතුන්මිත්තන්ට දීපු මන්නාවලට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද කියලත් එයාලට තේරුම්ගන්න බැරුව ගියා. ඊළඟට යේසුස් කියපු මේ දෙයින් ඒකට පොඩි ඉඟියක් ලැබුණා. “මං දෙන ආහාරය තමයි මගේ ශරීරය.” ඔහු ඒකෙන් අදහස් කරපු දේ තේරුම්ගන්න එක හරිම වැදගත්. මොකද අපිටත් අපි ආදරේ කරන අයටත් සදාකාල ජීවනය ලබාගන්න පුළුවන් විදිහ යේසුස් කියපු ඒ වචනවල තියෙනවා. දැන් අපි ඒ ගැන බලමු.

ජීවනය දෙන ආහාරය සහ යේසුස්ගේ ශරීරය අතර සම්බන්ධය

4. යේසුස් කියපු දේ අහලා සමහරු පුදුම වුණේ ඇයි?

4 ‘ලෝකයට ජීවනය ලබා දෙන්න ඔහු පූජා කරන ඔහුගේ ශරීරය’ තමයි එයාලා කන්න ඕන ආහාරය කියලා ඔහු කිව්වාම සෙනඟ පුදුම වුණා. එයාලා හිතන්න ඇති යේසුස් ඇත්තටම එයාලට කන්න ඔහුගේ ශරීරය දෙනවා කියලා. (යොහ. 6:52) හැබැයි එයාලා ඊට වඩා ගැස්සිලා යන දෙයක් යේසුස් ඊළඟට කියනවා. ඔහු කිව්වා “ඔයාලා මනුෂ්‍ය පුත්‍රයාගේ ශරීරය කන්නෙවත් ඔහුගේ රුධිරය බොන්නෙවත් නැත්නම් ඔයාලට ජීවනය ලැබෙන්නේ නැහැ” කියලා.—යොහ. 6:53.

5. යේසුස් ඇත්තටම ඔහුගේ රුධිරය බොන්න කිව්වේ නැහැ කියලා අපිට ස්ථිර ඇයි?

5 නෝවාගේ කාලේදී දෙවියන් මිනිස්සුන්ට ලේ කන්න එපා කියලා කිව්වා. (උත්. 9:3, 4) පස්සේ කාලෙක දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියෙත් ලේ කන එක තහනම් කරලා තිබුණා. නීතියේ කිව්වා ‘කවුරු හරි කෙනෙක් ලේ කෑවොත් ඒ කෙනාව මරලා දාන්න ඕනෙ’ කියලා. (ලෙවී. 7:27) මෝසෙස්ට දුන්න නීතියට කීකරු වෙන්න කියලා යේසුස් පොළොවේ ඉද්දී යුදෙව්වන්ට ඉගැන්නුවා. (මතෙ. 5:17-19) එහෙමනම් කවදාවත් හිතන්න පුළුවන්ද යේසුස් ඔහුගේ ශරීරය ඇත්තටම කන්න, ඔහුගේ රුධිරය ඇත්තටම බොන්න කියලා යුදෙව්වන්ට කියයි කියලා? යේසුස් කියපු දේ බැලූ බැල්මට අමුතුයි වගේ පේන්න තිබුණත් ඔහු ඒකෙන් උගන්නන්න හැදුවේ “සදාකාල ජීවිතය” ලබාගන්න නම් මිනිස්සු කරන්න ඕනෙ මොනවාද කියලයි.—යොහ. 6:54.

6. යොහන් 6:53 යේසුස් කියපු දේ සංකේතවත් දෙයක් කියලා අපි දන්නේ කොහොමද?

6 යේසුස් ඒ වෙලාවේ කතා කළේ සංකේතවත් දෙයක් ගැන කියලා පැහැදිලියි. යේසුස් සමරිතානු ස්ත්‍රියට කතා කරද්දී ඒ වගේම දෙයක් කළා. ඔහු එයාට මෙහෙම කිව්වා. “මං දෙන වතුර බොන කාටවත් ආයේ කවදාවත් තිබහක් දැනෙන්නේ නැහැ. මං ඒ කෙනාට දෙන වතුර එයා තුළ දිය උල්පතක් වගේ වෙනවා. ඒකෙන් උනන වතුරෙන් සදාකාල ජීවිතය ලැබෙනවා.” (යොහ. 4:7, 14) b යේසුස් එතනදී අදහස් කළේ නැහැ සදාකාල ජීවිතේ ලබාගන්න නම් සමරිතානු ස්ත්‍රිය විශේෂ ළිඳකින් වතුර බොන්න ඕනෙ කියලා. ඒ වෙනුවට ඔහු එතන කතා කළේ සංකේතවත් දෙයක් ගැන. ඉතින් කපර්ණවුමේ හිටපු සෙනඟට කතා කරද්දීත් ඔහුගේ ශරීරය ඇත්තටම කන්න ඕනෙ, ඔහුගේ රුධිරය ඇත්තටම බොන්න ඕනෙ කියලා යේසුස් අදහස් කළේ නැහැ.

සිද්ධි දෙකේ වෙනස්කම්

7. යොහන් 6:53 යේසුස් කියපු දේ ගැන සමහරු හිතන්නේ මොකක්ද?

7 යොහන් 6:53 යේසුස් කියපු දේයි, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය වෙලාවේ යේසුස් කියපු දේයි අතරේ යම් දුරකට සමානකම් තියෙනවා. ඒ නිසා සමහරු කියනවා යොහන් 6:53 යේසුස් කතා කරන්නෙත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වෙන අය කරන්න ඕන දෙයක් ගැන කියලා. (මතෙ. 26:26-28) එයාලා කියනවා ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වෙන හැමෝම රොටි කන්න සහ වයින් බොන්න ඕනෙ කියලා. ඒක හරිද? අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්නම ඕනේ. මොකද හැම අවුරුද්දකම ලෝකේ පුරා ඉන්න මිලියන ගාණක් දෙනා මේ සැමරීමට සහභාගි වෙනවා. ඇත්තටම යේසුස් යොහන් 6:53 කියපු දේයි, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය වෙලාවේ ඔහු කියපු දේයි අතරේ වෙනස්කම් තියෙනවා. දැන් අපි බලමු ඒවා මොනවාද කියලා.

8. අපි කතා කරපු අවස්ථා දෙකේ තියෙන වෙනස්කම් මොනවාද? (පින්තූරත් බලන්න.)

8 දැන් අපි බලමු ඒ අවස්ථා දෙකේ තියෙන වෙනස්කම් දෙකක් ගැන. (1) යොහන් 6:53-56 තියෙන දේ යේසුස් කිව්වේ කවදාද? කොහෙදීද? ඔහු ඒක කිව්වේ ගලීලයේ හිටපු යුදෙව්වන්ට. ඒ ක්‍රි.ව. 32දී. ඒ කියන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙන්න අවුරුද්දකට විතර කලින්. (2) ඒ වෙලාවේ ඔහු කතා කළේ කාටද? ගලීලයේ හිටපු සෙනඟගෙන් හුඟදෙනෙක් වැඩි අවධානයක් දුන්නේ යෙහෝවා ගැන, දේවරාජ්‍යය ගැන ඉගෙනගන්න එකට නෙවෙයි එයාලාගේ එදිනෙදා අවශ්‍යතා හොයාගන්න එකට. (යොහ. 6:26) ඇත්තටම ඒ වෙලාවේ එයාලට තේරුම්ගන්න අමාරු දෙයක් යේසුස් කිව්වාම එයාලා යේසුස් ගැන විශ්වාසේ තියන එක අත්හැරලා දැම්මා. යේසුස්ගේ ගෝලයන්ගෙන් සමහරදෙනෙකුත් ඔහුව දාලා ගියා. (යොහ. 6:14, 36, 42, 60, 64, 66) හැබැයි ඊට අවුරුද්දකට විතර පස්සේ ක්‍රි.ව. 33 යෙරුසලමේදී යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙද්දී ඔහු ළඟ හිටියේ ඊට වඩා වෙනස් කට්ටියක්. ඒ වෙලාවේ ඔහුත් එක්ක හිටියේ ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනා. එයාලටත් යේසුස් උගන්නපු හැම දෙයක්ම තේරුණේ නැහැ. හැබැයි ගලීලයේ අය වගේ නෙවෙයි එයාලට ලොකු විශ්වාසයක් තිබුණා ස්වර්ගයේ ඉඳන් ආපු දෙවියන්ගේ පුතා යේසුස් කියලා. (මතෙ. 16:16) ඇත්තටම යේසුස් එයාලව අගය කරලා මෙහෙම කිව්වා. “මං දුෂ්කරතාවලට මුහුණ දෙද්දී මාව අත්හරින්නේ නැතුව මාත් එක්කම හිටියේ ඔයාලයි.” (ලූක් 22:28) ඒ වෙනස්කම් දෙකෙන් හොඳින්ම තේරෙනවා යොහන් 6:53 යේසුස් කතා කරන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී කරන්න ඕන දෙයක් ගැන නෙවෙයි කියලා. එහෙම කියන්න තවත් හේතු තියෙනවා.

යොහන් 6වෙනි පරිච්ඡේදයේ යේසුස් කතා කළේ ගලීලයේ හිටපු යුදෙව්වන් ලොකු පිරිසකට (වම). ඊට අවුරුද්දකට පස්සේ ඔහු කතා කළේ ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනාට (දකුණ) (8 ඡේදය බලන්න)


යේසුස් කියපු දේ ඔයාටත් අදාළයි

9. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය වෙලාවේ යේසුස් කියපු දේ අදාළ වෙන්නේ කාටද?

9 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය වෙලාවේ යේසුස් මුහුන් දාපු නැති රොටි නියෝජිතයන්ට දීලා කිව්වා ඒකෙන් ඔහුගේ ශරීරය නියෝජනය වෙනවා කියලා. ඊටපස්සේ ඔහු වයින් අතින් අත යවලා කිව්වා “ලේවලින් තමයි ගිවිසුම ස්ථිර වෙන්නේ” කියලා. (මාක් 14:22-25; ලූක් 22:20; 1 කොරි. 11:24) ගිවිසුම ගැන යේසුස් කියපු දේ හරිම වැදගත්. ඒ අලුත් ගිවිසුම ඇති වුණේ දෙවියනුයි, ‘දෙවියන්ගේ ඊශ්‍රායෙලුයි’ අතරේ. ඒ කියන්නේ යේසුස් එක්ක ‘දේවරාජ්‍යයේ’ පාලනයට හවුල් වෙන අය අතරේ විතරයි. එහෙම නැතුව හැම මනුෂ්‍යයෙක්ම ඒ ගිවිසුමට ඇතුළත් වුණේ නැහැ. (හෙබ්‍රෙ. 8:6, 10; 9:15) ඒ ගිවිසුම ගැන හැම දෙයක්ම නියෝජිතයන්ට ඒ වෙලාවේ තේරුණේ නැහැ. හැබැයි වැඩි දවසක් යන්න කලින් දෙවියන්ගේ බලයෙන් එයාලව අභිෂේක කරලා එයාලා අලුත් ගිවිසුමේ කොටසක් වෙන්න නියමිතව තිබුණා. ඒ නිසා එයාලට යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්න තැනකුත් ලැබෙනවා.—යොහ. 14:2, 3.

10. යේසුස් ගලීලයේදී කියපු දේයි, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙද්දී කියපු දේයි අතර තියෙන තව වෙනස්කමක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

10 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දුන්න වෙලාවේ යේසුස් කියපු දේවල් අදාළ වුණේ “කුඩා රැළට.” ඒ පොඩි පිරිසට අයිති වුණ මුල්ම කට්ටිය තමයි එදා යේසුස් එක්ක උඩුමහල් කාමරේ හිටපු ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන්. (ලූක් 12:32) අතින් අත යවපු රොටි කන්න, වයින් බොන්න කියලා යේසුස් කිව්වේ එයාලට. ඉතින් ඒ කුඩා රැළට අයිති වෙන අය තමයි අවුරුද්දකට සැරයක් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරද්දී අතින් අත යවන රොටි සහ වයින් ගන්නේ. යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්න තැනක් හම්බ වෙන්නෙත් එයාලටයි. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙද්දී යේසුස් කියපු දේ අදාළ වෙන්නේ පොඩි පිරිසකට වුණත් ගලීලයේදී යේසුස් කියපු දේ ලොකු පිරිසකට අදාළ වෙනවා. ඒක ඒ අවස්ථා දෙක අතරේ තියෙන තවත් වෙනසක්.

සිහි කිරීමේදී රොටි කන්නේ, වයින් බොන්නේ ටිකදෙනායි. ඒත් ඕනම කෙනෙක්ට පුළුවන් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසේ තියලා සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලබාගන්න (10 ඡේදය බලන්න)


11. ගලීලයේදී යේසුස් කියපු දේ අදාළ වෙන්නේ ටිකදෙනෙක්ට විතරක් නෙවෙයි කියලා ඔහු කියපු දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද?

11 ක්‍රි.ව. 32 ගලීලයේදී යේසුස් කතා කරපු සෙනඟගෙන් වැඩිදෙනෙක්ට ඕන වුණේ යේසුස් දෙන කෑම කන්න. හැබැයි යේසුස්ට ඕන වුණේ කෑමවලට වඩා වැදගත් දෙයක් තියෙනවා කියලා තේරුම්ගන්න එයාලට උදව් කරන්න. ඒකට පුළුවන් එයාලට සදාකාල ජීවනය ලබා දෙන්න. ඒ වගේම යේසුස් කිව්වා මැරුණ අයව නැවත නැඟිට්ටවන්න යනවා, ඒ අයටත් හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි දන්නවා සන්ධ්‍යා භෝජනය වෙලාවේ යේසුස් කියපු දේවල් අදාළ වෙන්නේ තෝරගත්ත පොඩි පිරිසකට කියලා. ඒත් මෙතන කියන ආශීර්වාද ඕන කෙනෙක්ට ලබාගන්න පුළුවන්. ඒකයි යේසුස් මෙහෙම කිව්වේ. “කෙනෙක් ඒ ආහාරය කෑවොත් එයා සදහටම ජීවත් වෙනවා. මං දෙන ආහාරය තමයි මගේ ශරීරය. ලෝකයට ජීවනය ලබා දෙන්න මං මගේ ශරීරය පූජා කරනවා.”—යොහ. 6:51.

12. සදාකාල ජීවනය ලබාගන්න නම් කරන්න ඕනෙ මොකක්ද?

12 යේසුස් ඒකෙන් අදහස් කළාද එතෙක් මෙතෙක් ජීවත් වුණ හැම කෙනෙක්ටම, ඉපදෙන හැම කෙනෙක්ටම සදාකාල ජීවිතේ ලැබෙනවා කියලා? නැහැ. ඔහු කිව්වේ ‘ඒ ආහාරය කන අයට’ ඒ කියන්නේ ඔහු ගැන විශ්වාසේ තියන අයට විතරයි ඒ ආශීර්වාද ලැබෙන්නේ කියලා. ක්‍රිස්තියානි කියාගන්න හුඟදෙනෙක් හිතන්නේ යේසුස්ව ඒගොල්ලෝ ‘අදහන’ නිසාත් ඔහු එයාලාගේ ගැලවුම්කරු කියලා කියන නිසාත් එයාලට ගැලවීම ලැබෙයි කියලා. (යොහ. 6:29, ‘නව අනුවාදය’) හැබැයි මතකද, ගලීලයේ හිටපු සෙනඟගෙන් වැඩිදෙනෙක්ටත් මුලින් යේසුස් ගැන විශ්වාසයක් තිබුණාට එයාලා යේසුස්ව අත්හැරලා ගියා? ඇයි එයාලා එහෙම කළේ?

13. යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වෙන්න නම් කරන්න ඕනෙ මොකක්ද?

13 සෙනඟගෙන් වැඩිදෙනෙක් එයාලට ඕන කරන දේවල් යේසුස් දෙන තාක් කල් ඔහු පස්සේ ගියා. එයාලට ඕන වුණේ යේසුස් ආශ්චර්යයන් කරලා අසනීප සුව කරනවා, කෑම දෙනවා, එයාලා අහන්න ආස දේවල් උගන්නනවා දකින්න විතරයි. හැබැයි යේසුස් එයාලට පැහැදිලිවම පෙන්නුවා ඔහු මේ පොළොවට ආවේ නිකම්ම මිනිස්සුන්ට ඕන කරන දේවල් දෙන්න නෙවෙයි කියලා. ඒ වෙනුවට ඔහු ආවේ ඔහුගේ සැබෑ අනුගාමිකයන් වෙන්න නම් එයාලා මොනවාද කරන්න ඕනෙ කියලා උගන්නන්න. ඒකට ඔහු “ළඟට එන්න” කියලා යේසුස් කරන ආරාධනය එයාලා පිළිගන්න ඕනේ. ඒ ආරාධනය පිළිගන්න නම් ඔහුට සවන් දීලා ඔහු උගන්නන හැම දේකටම කීකරු වෙන්න ඕනේ.—යොහ. 5:40; 6:44.

14. යේසුස්ගේ ශරීරයෙන් සහ රුධිරයෙන් ප්‍රයෝජන ලබන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

14 යේසුස් සෙනඟට ඉගැන්නුවා ඔහුගේ ශරීරය සහ රුධිරය ඔහු පූජා කරන නිසා එයාලට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඒ ගැන එයාලා විශ්වාසේ තියන්න ඕනේ. ඇත්තටම අද අපිත් ඒ දේ විශ්වාස කරන්න ඕනේ. (යොහ. 6:40) ඉතින් යොහන් 6:53 යේසුස් කියපු දෙයින් අදහස් කරන්නේ සදාකාල ජීවනය ලබාගන්න නම් අපි යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසේ තියන්න ඕනෙ කියලයි. ගණන් කරන්න බැරි තරම් දෙනෙක්ට ඒ ආශීර්වාදය ලබාගන්න අවස්ථාව තියෙනවා.—එෆී. 1:7.

15-16. යොහන් 6වෙනි පරිච්ඡේදයෙන් අපි ඉගෙනගත්ත වැදගත් දේවල් මොනවාද?

15 අපිටත් අපි ආදරේ කරන අයටත් ගොඩක් වැදගත් වගේම සතුටක් ගේන හුඟක් දේවල් අපි යොහන් 6වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්තා. යේසුස්ට මිනිස්සු ගැන තියෙන්නේ පුදුමාකාර ආදරයක්. ගලීලයේදී ඔහු අසනීප අයව සුව කළා. දේවරාජ්‍යය ගැන ඉගැන්නුවා. මිනිස්සු බඩගින්නෙන් ඉන්නවා දැක්කාම එයාලට කන්න දුන්නා. (ලූක් 9:11; යොහ. 6:2, 11, 12) හැබැයි “ජීවනය ලබා දෙන ආහාරය” ඔහුයි කියන දේ එයාලට උගන්නපු එක තමයි ඒ හැම දේටම වඩා වටින්නේ.—යොහ. 6:35, 48.

16 “වෙනත් බැටළුවන්” කියලා යේසුස් හඳුන්වපු අය අවුරුද්දකට සැරයක් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වද්දී එතන තියෙන රොටි කන්නෙවත් වයින් බොන්නෙවත් නැහැ. එයාලට ඒක කරන්න අයිතියක් නැහැ. (යොහ. 10:16) හැබැයි සංකේතවත් විදිහට එයාලා යේසුස්ගේ ශරීරයෙන් කනවා, රුධිරයෙන් බොනවා. එයාලා ඒක කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒ පූජාව නිසා ලැබෙන්න යන දේවල් ගැනත් සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියලා පෙන්නලා. (යොහ. 6:53) හැබැයි ඊට වඩා වෙනස්ව ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී රොටි සහ වයින් ගන්න අය පෙන්නනවා එයාලා අලුත් ගිවිසුමට අයිති අය කියලා. ඒ වගේම එයාලට තියෙන්නේ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වෙන බලාපොරොත්තුව කියලා. ඉතින් අපි අභිෂේක ලත් කෙනෙක් වුණත් වෙනත් බැටළුවන්ට අයිති කෙනෙක් වුණත් යොහන් 6වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු අපි හැම කෙනෙක්ටම හරිම වැදගත්. ඒ පරිච්ඡේදයෙන් කාවද්දනවා සදාකාල ජීවිතේ ලබාගන්න නම් අපි හැම කෙනෙක්ම යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසේ තියන්න ඕනෙමයි කියලා.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

a යොහන් 6:5-35 තියෙන දේවල් අපි කලින් ලිපියෙන් බැලුවා.

b යේසුස් කතා කරපු වතුරවලින් අදහස් කළේ මිනිස්සුන්ට සදාකාල ජීවනය ලබාගන්න පුළුවන් වෙන්න යෙහෝවා කරපු සහ දැන් කරමින් ඉන්න හැම දෙයක්ම.