Skip to content

පටුනට යන්න

ඔයා දැනගෙන හිටියාද?

ඔයා දැනගෙන හිටියාද?

බයිබලේ එකම දේ ආයේ ආයේ ලියලා තියෙන්නේ ඇයි?

බයිබල් ලේඛකයන් සමහර වෙලාවට එකම වාක්‍ය කණ්ඩය ආයේ ආයේ ලියලා තියෙනවා. ඒකට හේතු තුනක් අපි බලමු.

ලියපු කාලය. ඊශ්‍රායෙල්වරුන්ගෙන් හුඟදෙනෙක්ට තමන්ටම කියලා නීතියේ පිටපතක් තිබුණේ නැහැ. එයාලා හුඟක් වෙලාවට නීතියට ඇහුම්කන් දුන්නේ ශුද්ධ කූඩාරමේ ඒක ප්‍රසිද්ධියේ කියවන වෙලාවේ. (ද්වි. 31:10-12) ඒ වගේ වෙලාවට ලොකු පිරිසක් පැය ගාණක් හිටගෙන ඉද්දී එයාලාගේ අවධානය වෙනතකට යන හුඟක් බාධා තියෙන්න ඇති. (නෙහෙ. 8:2, 3, 7) ඒ නිසා ප්‍රධාන අදහස් ආයේ ආයේ කියන එකෙන් එයාලට ඒවා මතක තියාගන්න, අදාළ කරගන්න ලේසි වුණා. ඒ වගේම නීතියේ සමහර දේවල් සියුම් විදිහට එකින් එක විස්තර කරලා තිබුණා. ඉතින් ආයේ ආයේ ඇහෙද්දී ඒවා මනසේ කොටාගන්න එයාලට ලේසි වුණා.—ලෙවී. 18:4-22; ද්වි. 5:1.

ලියලා තිබුණ ශෛලිය. බයිබලෙන් 10%ක් විතර තියෙන්නේ ගීතිකා. ඒකට ගීතාවලිය, සලමොන්ගේ ගීතිකාව සහ විලාප ගී පොත් ඇතුළත්. සමහර ගීතිකාවල ඒකේ තේමාව ආයේ ආයේ සඳහන් කරන පද පේළි තිබුණා. ඒක ඒ වචන මතක තියාගන්න උදව්වක් වුණා. උදාහරණෙකට ගීතාවලිය 115:9-11 මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල්, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය. ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය. යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.” ඔයාලා දැක්කද ඒකේ එකම පද පේළි ආයේ ආයේ තියෙනවා? ඒක උදව් වුණා ඒ වටිනා සත්‍යයන් එයාලාගේ හදවතේ, මනසේ රඳවාගන්න.

වැදගත් කරුණු කාවද්දන්න. උදාහරණෙකට ලේ කෑමට ගන්න එපා කියලා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මෝසෙස් කීප සැරයක්ම සඳහන් කළා. මොකද දෙවියන්ට ඕන වුණේ ලේවලින් ජීවය නියෝජනය වෙනවා කියන එක සෙනඟට කාවද්දන්න. (ලෙවී. 17:11, 14) පස්සේ කාලෙක ක්‍රිස්තියානීන් වළකින්න ඕන දේවල් ගැන කතා කරද්දීත් නියෝජිතයන් සහ වැඩිමහල්ලන් මේ කාරණය ආයෙත් වාර්තා කළා.—ක්‍රියා 15:20, 29.

හැබැයි දෙවියන් ඒකෙන් අදහස් කළේ නැහැ බයිබලේ තියෙන සමහර යෙදුම් අපි චාරිත්‍රයක් විදිහට ආයේ ආයේ කියන්න ඕනෙ කියලා. ඒ වෙනුවට යේසුස් කිව්වේ ‘ඔබ යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් නොකියන්න’ කියලා. (මතෙ. 6:7) ඊටපස්සේ දෙවියන්ගේ කැමැත්තට එකඟව අපේ යාච්ඤාවලට එකතු කරන්න පුළුවන් විවිධ කාරණා ගැන යේසුස් කිව්වා. (මතෙ. 6:9-13) ඒ නිසා යාච්ඤා කරද්දී එකම වචන ටික ආයේ ආයේ කියන්න ඕනෙ නැහැ. හැබැයි එකම කාරණය ගැන අපිට ආයේ ආයේ යාච්ඤා කරන්න නිදහස තියෙනවා.—මතෙ. 7:7-11.

එහෙම බලද්දී බයිබලේ එකම වචන සහ එකම වාක්‍ය කණ්ඩය ආයේ ආයේ වාර්තා කරලා තියෙන්නේ හොඳ හේතුවක් ඇතුව. ඒක අපේ උදාර උපදේශකයන් අපේ ප්‍රයෝජනය වෙනුවෙන් අපිට උගන්නන එක විදිහක්.—යෙසා. 48:17, 18.