Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 12

ගීතිකාව 77 අඳුරු ලොවට ආලෝකයක්

අඳුරෙන් ඈත් වෙලා ආලෝකයේ රැඳෙන්න

අඳුරෙන් ඈත් වෙලා ආලෝකයේ රැඳෙන්න

‘කලක් අන්ධකාරයේ සිටියත් දැන් ඔබ සිටින්නේ ආලෝකයෙහිය.’එෆී. 5:8.

ලිපියේ අරමුණ

එෆීස 5වෙනි පරිච්ඡේදයේ ආලෝකය සහ අඳුර ගැන සඳහන් වෙලා තියෙන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.

1-2. (අ) එෆීසවරුන්ට යවපු ලිපිය ලියද්දී පාවුල් හිටියේ කොහෙද? (ආ) අපි බලන්න යන්නේ මොන ප්‍රශ්න ගැනද?

 පාවුල් රෝමයේ නිවාස අඩස්සියේ ඉද්දී එයාට ඕනෙ වුණා සහෝදරයන්ව දිරිගන්නන්න. හැබැයි එයාලව හම්බ වෙලා ඒක කරන්න බැරි නිසා පාවුල් ඒක කළේ ලියුම්වලින්. ඒ විදිහට පාවුල් ලියපු එක ලිපියක් තමයි එෆීස පොත. එයා ඒක ලිව්වේ ක්‍රි.ව. 60ත් 61ත් අතර කාලේදී.—එෆී. 1:1; 4:1.

2 ඊට අවුරුදු දහයකට කලින් පාවුල් එෆීසයට ගිහිල්ලා එහේ සහෝදර සහෝදරියන් එක්ක සේවේ කරලා තිබුණා. (ක්‍රියා 19:1, 8-10; 20:20, 21) පාවුල් එයාලට ගොඩක් ආදරේ කළා. ඒ නිසා එයාට ඕනෙ වුණේ යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්න ඒ සහෝදරයන්ට උදව් කරන්න. ඒත් ඇයි පාවුල් එහේ හිටපු අභිෂේක ලත් අයට අඳුර ගැනයි, ආලෝකය ගැනයි ලිව්වේ? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අඳුරෙන් ආලෝකයට

3. පාවුල් එෆීසවරුන්ට ලියද්දී පාවිච්චි කරපු උදාහරණය මොකක්ද?

3 පාවුල් එයාලට කිව්වා ‘කලක් අන්ධකාරයේ සිටියත් ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය’ කියලා. (එෆී. 5:8) පාවුල් මෙතන අඳුර සහ ආලෝකය උදාහරණෙකට අරන් එෆීසවරුන්ගේ ජීවිතවල වෙලා තියෙන වෙනස ගැන පැහැදිලි කරනවා. ඒත් එෆීසවරු ‘අඳුරේ හිටියා’ කියලා පාවුල් කිව්වේ ඇයි?

4. එෆීසවරු බොරු ඉගැන්වීම් කියන අඳුරේ හිටියේ කොහොමද?

4 බොරු ඉගැන්වීම් කියන අඳුර. සත්‍යය දැනගන්න කලින් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් බොරු ආගම්වල ඉගැන්වීම්වලින් සහ මිථ්‍යා අදහස්වලින් යට වෙලා හිටියේ. එෆීස නගරයේ තමයි ප්‍රසිද්ධ ආටෙමිස් දේවතාවියගේ දේවස්ථානයත් තිබුණේ. ඒක ඒ කාලේ ලෝක පුදුම හතෙන් එකක් විදිහටත් සැලකුවා. එෆීසයේ හිටපු හැමෝම වගේ රූපවලට නමස්කාර කරපු අය. මේ දේවාලයේ හැඩයට රූප හදලා විකුණන එක එහේ ජයටම කෙරීගෙන ගිය ව්‍යාපාරයක්. (ක්‍රියා 19:23-27) ඒ වගේම එෆීසය මන්තර ගුරුකම්වලටත් ප්‍රසිද්ධ නගරයක්.—ක්‍රියා 19:19.

5. එෆීසවරු සදාචාරමය අතින් අඳුරේ හිටියේ කොහොමද?

5 පහත් සදාචාරය කියන අඳුර. එෆීසයේ හිටපු අය කිසිම ලැජ්ජාවක් බයක් නැතුව පහත් දේවල් කළා, නින්දිත විදිහට හැසිරුණා. එහේ තිබුණ රංග ශාලාවල, ආගමික උත්සවවල ලිංගික දේවල් ප්‍රධාන තැනක් ගත්තා. ඒ වගේ දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන එකත් ඒ කාලේ හරිම සාමාන්‍ය දෙයක්. (එෆී. 5:3) පාවුල් කිව්වේ එහේ මිනිස්සු “කිසිම හැඟීමක් දැනීමක් නැති” තත්වෙට පත් වෙලා ඉන්නවා කියලා. මුල් භාෂාවට අනුව ඒකේ අදහස තමයි එයාලට “කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ” කියන එක. (එෆී. 4:17-19) සත්‍යය ඉගෙනගන්න කලින් එෆීසවරු කරපු දේවල් ගැන එයාලාගේ හෘද සාක්ෂිය වධ දුන්නේ නැහැ. යෙහෝවා දෙවියන්ට එයාලා කරන දේවල් ගැන ගණන් දෙන්න ඕනෙ කියලත් එයාලා තේරුම්ගත්තේ නැහැ. ඒ නිසයි පාවුල් කියන්නේ “ඔවුන්ගේ මනස් අන්ධකාරයෙන් වැසී තිබෙන අතර ඔවුහු දෙවි ලබා දෙන ජීවනයෙන් ඈත් වී සිටිති” කියලා.

6. එෆීසවරු දැන් ඉන්නේ ආලෝකයේ කියලා පාවුල්ට කියන්න පුළුවන් වුණේ ඇයි?

6 සමහර එෆීසවරු දිගටම අන්ධකාරයේ රැඳුණේ නැහැ. ඒකයි පාවුල් කිව්වේ “දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය” කියලා. (එෆී. 5:8) එයාලා බොරු ආගම්වලින්, ගත කරපු පහත් ජීවිතෙන් මිදිලා කැමැත්තෙන්ම සත්‍යය කියන ආලෝකයට ආවා. (ගීතා. 119:105) ඒ නිසා එයාලට ඕනෙ වුණේ ‘දෙවියන්ව අනුකරණය කරලා’ පුළුවන් උපරිමෙන් ඔහුට නමස්කාර කරන්න, ඔහුගේ හිත සතුටු කරන්න.—එෆී. 5:1.

7. අද අපි ඉන්න තත්වය එදා එෆීසයේ ක්‍රිස්තියානීන් හිටපු තත්වෙට සමාන වෙන්නේ කොහොමද?

7 අපිත් සත්‍යය දැනගන්න කලින් බොරු ආගම් සහ පහත් සදාචාරය කියන අඳුරේ ගිලිලා හිටියේ. අපෙන් සමහරු බොරු ආගමික උත්සව ජයටම සැමරුවා. තවත් අය ගත කළේ හරිම පහත් ජීවිත. හැබැයි හරි වැරැද්ද ගැන යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති දැනගත්තාම අපි ජීවිත වෙනස් කරගත්තා. යෙහෝවා කැමති විදිහට ජීවිතේ ගත කරන්න පටන්ගත්තා. ඒ නිසා අද අපි කොච්චර ප්‍රයෝජන ලබනවාද? (යෙසා. 48:17) හැබැයි අපි මිදිලා ආපු ඒ අඳුරෙන් ඈත් වෙලා ‘දිගටම ආලෝකයේ දරුවන් විදිහට ජීවත් වෙන්න’ අදටත් අපිට සටන් කරන්න වෙනවා.

Image digitally reproduced with the permission of the Papyrology Collection, Graduate Library, University of Michigan, P.Mich.inv. 6238. Licensed under CC by 3.0

පාවුල් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට ආදරෙන් දීපු උපදෙස් අද අපිටත් ප්‍රයෝජනවත් (7 ඡේදය බලන්න) b


අඳුරෙන් ඈත් වෙන්න

8. එෆීස 5:3-5 කියන විදිහට එෆීසවරු ඈත් වෙන්න ඕනෙ වුණේ මොකෙන්ද?

8 එෆීස 5:3-5 කියවන්න. පහත් සදාචාරය කියන අඳුරෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න නම් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් දෙවියන් අකමැති හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ වුණා. ඒකට අනාචාරයට සම්බන්ධ දේවල් වගේම පහත් කතාබහත් ඇතුළත්. එයාලා එහෙම කළේ නැත්නම් ‘ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයේ එයාලට කිසි උරුමයක්’ ලැබෙන්නේ නැහැ කියලා පාවුල් එයාලට අනතුරු ඇඟෙව්වා.

9. අනාචාරයට සම්බන්ධ හැම දේකින්ම අපි වළකින්න ඕනෙ ඇයි?

9 “අන්ධකාරයට සම්බන්ධ නිෂ්ඵල ක්‍රියාවලින්” ඈත් වෙලා ඉන්න අපි දිගටම සටන් කරන්න ඕනේ. (එෆී. 5:11) සමහර අද්දැකීම්වලිනුත් පේනවා අනාචාරයට සම්බන්ධ අපවිත්‍ර දේවල් බලන එක, කියවන එක සහ ඒවා ගැන කතා කරන එක අනාචාරයට වැටෙන්න හුඟදෙනෙක්ට බලපාලා තියෙනවා කියලා. (උත්. 3:6; යාකො. 1:14, 15) එක රටක සහෝදරයන් හුඟදෙනෙක් සෝෂල් මීඩියා එකකින් ගෲප් එකක් හදාගෙන මෙසේජ් කරන්න ගත්තා. මුලින් නම් එයාලා කතා කළේ නමස්කාරයේ දේවල් ගැන. හැබැයි පස්සේ පස්සේ ඒ කතාබහ පහත් තත්වෙට වැටුණා. එයාලා වැඩිපුරම කතා කළේ ලිංගික කාරණා ගැන. පස්සේ කාලෙක එයාලා අතරේ හිටපු සහෝදරයෝ කීපදෙනෙක්ම කිව්වා අනාචාරය කියන උගුලට වැටෙන්න ඒක එයාලට ගොඩක් බලපෑවා කියලා.

10. සාතන් අපිව රවට්ටන්න උත්සාහ කරන්නේ කොහොමද? (එෆීස 5:6)

10 සාතන්ගේ ලෝකේ හදන්නේ අපිව රවට්ටලා අපවිත්‍ර දේවල් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ කියන අදහස අපේ ඔළුවට දාන්න. (2 පේතෘ. 2:19) ඒක පුදුම වෙන්න දේකුත් නෙවෙයි. මොකද සාතන් කවදත් කළේ හරි වැරැද්ද පැහැදිලිව අඳුරගන්න බැරි වෙන විදිහට ඒ දෙක පටලවන එක. (යෙසා. 5:20; 2 කොරි. 4:4) ඒ නිසයි අද හුඟක් චිත්‍රපටිවල, වැඩසටහන්වල සහ වෙබ් අඩවිවල යෙහෝවා අකමැති දේවල් පිරිලා තියෙන්නේ. ඒ දේවල් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ කියලා විතරක් සාතන් නවතින්නේ නැහැ. ඒ වෙනුවට එයා කියන්නේ ඒක තමයි නියම ජීවිතේ, ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ කියලයි.—එෆීස 5:6 කියවන්න.

11. එෆීස 5:7 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න එකේ වැදගත්කම ඇන්ජලාගේ අද්දැකීමෙන් පේන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 පාවුල් එෆීසයේ ක්‍රිස්තියානීන්ට කිව්වා යෙහෝවා දෙවියන් අකමැති දේවල් කරන අය එක්ක “කිසි ලෙසකින්වත් හවුල් වෙන්න එපා” කියලා. (එෆී. 5:7) මොකද එහෙම වුණොත් දෙවියන්ගේ සෙනඟට ඔහුගේ ප්‍රමිති රකින්න තව අමාරු කරන්න සාතන්ට පුළුවන්. ඇත්තටම එදා එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ටත් වඩා අද අපි ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. මොකද දැන් අපිට ඒ වගේ අයව මූණට මූණ විතරක් නෙවෙයි ඉන්ටර්නෙට් එකේ සහ සෝෂල් මීඩියාවලදීත් හම්බ වෙනවා. සෝෂල් මීඩියාවලින් හම්බ වෙන යාළුවෝ කොච්චර භයානකද කියලා ඇන්ජලා a තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “ඇත්තටම ඒක උගුලක්. ඒකට පුළුවන් අපි හිතන විදිහ අපිටත් හොරා වෙනස් කරන්න. මටත් ඒක වුණා. අන්තිමේදී බයිබල් ප්‍රතිපත්ති තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැති අයව මං යාළුවෝ කරගත්තා. ඒකේ කිසි වැරැද්දක් නෑ කියලයි මට හිතුණේ. ඊටපස්සේ මං හිතන්න ගත්තා යෙහෝවා අකමැති දේවල් කරන එකෙත් වරදක් නෑ කියලා.” ඒත් ආදරණීය වැඩිමහල්ලන් ඇන්ජලාට එයා හිතන විදිහ වෙනස් කරගන්න උදව් කළා. එයා මෙහෙම කියනවා. “මං දැන් මගේ හිත පුරෝගන්නේ සෝෂල් මීඩියාවල තියෙන අනං මනංවලින් නෙවෙයි, දෙවියන්ගේ දේවල්වලින්.”

අපි ආශ්‍රය කරන අය එක්කෝ දෙවියන්ගේ ප්‍රමිති රකින්න අපිට උදව් කරයි. නැත්නම් ඒවා කඩන්න පොලඹවයි (11 ඡේදය බලන්න)


12. හරි වැරැද්ද ගැන යෙහෝවා දීලා තියෙන ප්‍රමිතිවලට ඇලිලා ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

12 පහත් දේවලින් මත් වෙලා ඉන්න මේ ලෝකේ අය හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්න අපි ලොකු සටනක් කරන්න ඕනේ. මේ වෙද්දීත් අපි ඒකේ අනතුර හොඳට තේරුම් අරන් ඉන්නේ. (එෆී. 4:19, 20) ඒත් අපි මේ වගේ ප්‍රශ්න ගැන හිතන එක හොඳයි. ‘මං දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති බාල කරන වැඩපොළේ අය, ඉස්කෝලේ යාළුවෝ සහ වෙනත් අයත් එක්ක ඕනෑවට වඩා ඇයි හොඳයිකම් පවත්වනවාද? “ඔයාලා හිතන්නේ හරිම පටු විදිහට” කියලා සමහරු කිව්වත් මං බය නැතුව දෙවියන්ගේ ප්‍රමිති රකිනවාද?’ 2 තිමෝති 2:20-22 කියන විදිහට සභාව ඇතුළෙන්ම යාළුවෝ තෝරගද්දීත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. මොකද එයාලාගෙන් සමහරු යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් කරන අය නොවෙන්න පුළුවන්.

දිගටම “ආලෝකයේ දරුවන්” වෙන්න

13. ‘දිගටම ආලෝකයේ දරුවන් විදිහට ජීවත් වෙනවා’ කියන්නේ මොකක්ද? (එෆීස 5:7-9)

13 පාවුල් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වේ අඳුරට අයිති දේවල් දිගටම ප්‍රතික්ෂේප කරන්න කියලා විතරක් නෙවෙයි. ඒ වෙනුවට ‘දිගටම ආලෝකයේ දරුවන් විදිහට ජීවිතය ගත කරන්න’ කියලත් පාවුල් කිව්වා. (එෆීස 5:7-9 කියවන්න.) මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? සරලව කිව්වොත් පාවුල් මේ කියන්නේ හැම වෙලාවෙම ඒ කියන්නේ පැය 24 පුරාම සැබෑ ක්‍රිස්තියානියෙක් විදිහට වැඩ කරන්න කියලා. ඒකට උදව් වෙන එක දෙයක් තමයි බයිබලය සහ සංවිධානයෙන් දීලා තියෙන ප්‍රකාශන උනන්දුවෙන් කියවලා ඒවා අධ්‍යයනය කරන එක. එහෙම කරද්දී අපි යේසුස්ගේ ආදර්ශයට සහ ඔහුගේ ඉගැන්වීම්වලට විශේෂ අවධානයක් දෙන්න ඕනේ. මොකද ඔහු තමයි “ලෝකයේ ආලෝකය.”—යොහ. 8:12; හිතෝ. 6:23.

14. දෙවිගේ බලය අපිට උදව් වෙන්නේ කොහොමද?

14 දිගටම “ආලෝකයේ දරුවන්” විදිහට ජීවත් වෙන්න අපිට දෙවිගේ බලයේ උදව් ඕනෙමයි. මොකද සදාචාරය පිරිහිලා තියෙන මේ ලෝකේ පිරිසිදු ජීවිතයක් ගත කරන එක ඇත්තටම අභියෝගයක්. (1 තෙස. 4:3-5, 7, 8) මේ ලෝකේ ඉන්න හුඟදෙනෙක් හිතන විදිහ දෙවියන් හිතන විදිහට වඩා හාත්පසින්ම වෙනස්. සමහරුන්ට තියෙන්නේ දර්ශනවාදී අදහස්. හැබැයි දෙවිගේ බලයට පුළුවන් ඒ දේවල්වලින් අපේ හිත් ආරක්ෂා කරන්න. ඒ වගේම “සෑම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම” වගේ ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන්නත් ඒ බලයට පුළුවන්.—එෆී. 5:9.

15. දෙවිගේ බලය ලබාගන්න පුළුවන් විදි මොනවාද? (එෆීස 5:19, 20)

15 දෙවිගේ බලය ලබාගන්න පුළුවන් එක විදිහක් තමයි ඒක ඉල්ලලා යාච්ඤා කරන එක. ඒකයි යේසුස් කිව්වේ දෙවියන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් “ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන්” ඒ දේ දෙයිද කියලා. (ලූක් 11:13) ඒ වගේම අපි යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න එකට රැස් වෙද්දීත් අපිට ඔහුගේ බලය ලැබෙනවා. (එෆීස 5:19, 20 කියවන්න.) ඒ බලයේ උදව්වෙන් අපිට පුළුවන් යෙහෝවා දෙවියන්ට ප්‍රසන්න විදිහේ ජීවිතයක් ගත කරන්න.

16. හොඳ තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (එෆීස 5:10, 17)

16 අපේ ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙද්දී අපි “යෙහෝවා දෙවිගේ කැමැත්ත මොකක්ද” කියලා හොයලා බලලා ඒකට අනුව වැඩ කරන්න ඕනේ. (එෆීස 5:10, 17 කියවන්න.) අපි බයිබල් ප්‍රතිපත්ති හොයලා බලනවා නම් අපි කරන්නේ දෙවියන්ගේ කැමැත්ත. ඒ කියන්නේ දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන එක. අපි ඒ ප්‍රතිපත්ති අදාළ කරගද්දී අපිට අනිවාර්යයෙන්ම හොඳ තීරණ ගන්න පුළුවන්.

17. කාලය ඥානවන්තව පාවිච්චි කරන්නේ කොහොමද? (එෆීස 5:15, 16) (පින්තූරයත් බලන්න.)

17 පාවුල් එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා එයාලාගේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්න කියලා. (එෆීස 5:15, 16 කියවන්න.) හැබැයි සාතන් බලන්නේ අපේ කාලය සම්පූර්ණයෙන්ම මේ ලෝකේ දේවල්වලට දෙන්න අපිව පොලඹවන්න. (1 යොහ. 5:19) මොකද එයා දන්නවා එතකොට දෙවියන් වෙනුවෙන් දෙන්න අපිට කාලය ඉතුරු වෙන්නේ නැහැ කියලා. ක්‍රිස්තියානියෙක් වුණත් හරිම ලේසියෙන් යෙහෝවාට දෙන්න තියෙන කාලය සල්ලිවලට, ඉගෙනගන්න එකට සහ රස්සාවට දෙන්න පෙලඹෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඒකෙන් පේන්නේ එයා මේ ලෝකේ සිතුවිලි රටාවට අහු වෙලා කියන එකයි. ඇත්ත, අපි දන්නවා ඒ දේවල් වැරදි නැහැ කියලා. හැබැයි අපි කවදාවත් ඒවාට අපේ ජීවිතේ අංක එකට එන්න දෙන්න හොඳ නැහැ. “දිගටම ආලෝකයේ දරුවන්” විදිහට ගමන් කරන්න නම් අපි “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන” අරන් වැදගත්ම දේට මුල් තැන දෙන්න ඕනේ.

එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කරලා කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළා (17 ඡේදය බලන්න)


18. කාලය හොඳට පාවිච්චි කරන්න ඩොනල්ඩ් කළේ මොනවාද?

18 ඩොනල්ඩ් මෙහෙම කියනවා. “මං ටිකක් නැවතිලා මගේ ජීවිතේ ගැන කල්පනා කළා. මට ඕනෙ වුණේ තව වැඩියෙන් යෙහෝවා වෙනුවෙන් දෙයක් කරන්න. ඉතිං මං ඒ ගැන යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා. මං ඔහුගෙන් ඉල්ලුවේ සේවේට තව වැඩියෙන් කාලය දෙන්න පුළුවන් විදිහේ රස්සාවක් හොයාගන්න මට උදව් කරන්න කියලා. යෙහෝවා මට උදව් කළා. මං හොයපු විදිහේ රස්සාවක් මට හම්බ වුණා. ඊටපස්සේ මායි, නෝනායි දෙන්නාම පූර්ණකාලීන සේවය කියන පාරට එකටම අඩිය තිබ්බා.” අපිටත් පුළුවන් ඩොනල්ඩ් වගේ යෙහෝවාට තව වැඩියෙන් සේවය කරන්න මට තව මොනවාද කරන්න පුළුවන් කියලා හොඳට හිතලා බලන්න.

19. “ආලෝකයේ දරුවන්” විදිහට දිගටම ගමන් කරන්න අපිට පුළුවන් කොහොමද?

19 දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පාවුල් ලියපු ලිපිය එෆීසවරුන්ට ගොඩක් උදව් වුණා. පාවුල් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් දීපු ඒ දේවල් අද ඉන්න අපිටත් ප්‍රයෝජනවත්. විනෝදයට කරන දේවල් සහ ආශ්‍රය කරන අයව ඥානවන්තව තෝරගන්න ඒ උපදෙස් අපිට උදව් වෙනවා. බයිබලේ හොඳට අධ්‍යයනය කරලා දිගටම ආලෝකයේ රැඳිලා ඉන්නත් ඒ තොරතුරු අපිව පොලඹවනවා. ලස්සන ගුණාංග වර්ධනය කරගන්න දෙවිගේ බලය අපිට නැතුවම බැහැ කියලත් අපි ඉගෙනගත්තා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා හිතන විදිහට හිතලා ඥානවන්ත තීරණ ගන්නත් අපිට ඒ තොරතුරු උදව් වෙනවා. අපි ඒ උපදෙස් පිළිපදිනවා නම් අඳුරෙන් ඈත් වෙලා දිගටම ආලෝකයේ රැඳෙන්න අපිටත් පුළුවන්.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • එෆීස 5:8 කියන ‘අඳුර’ සහ ‘ආලෝකය’ මොකක්ද?

  • ‘අඳුරෙන්’ ඈත් වෙලා ඉන්න අපිට පුළුවන් කොහොමද?

  • ‘දිගටම ආලෝකයේ දරුවන් විදිහට ජීවිතේ ගත කරන්න’ අපිට පුළුවන් කොහොමද?

ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b පින්තූරේ අදහස: පාවුල් එෆීසවරුන්ට ලියපු ලිපියේ පැරණි පිටපතක පින්තූරයක්.