Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 11

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

කලකිරුණත් අත්හරින්න එපා!

කලකිරුණත් අත්හරින්න එපා!

“ඔබ මාගේ නාමය වෙනුවෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා.”එළි. 2:3.

ලිපියේ අරමුණ

කලකිරෙන දේවල් වුණත් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.

1. දෙවියන්ගේ සංවිධානයේ ඉන්න නිසා ලැබෙන ආශීර්වාද මොනවාද?

 මේ අන්තිම කාලේ දෙවියන්ගේ සංවිධානයේ ඉන්න ලැබුණ එක ලොකු ආශීර්වාදයක්! මොකද ලෝකේ තත්වය දරුණු අතට හැරෙද්දී අපිට උදව් කරන්න සහෝදර පවුලක් ලෝකේ පුරාම ඉන්නවා. (ගීතා. 133:1) ඒ වගේම අපේම පවුලේ අය අතර තියෙන බැඳීම ශක්තිමත් කරගන්න දෙවියන් අපිට උදව් කරනවා. (එෆී. 5:33–6:1) කනස්සල්ල අඩු කරගෙන සතුටින් ඉන්න හැටිත් ඔහු අපිට කියලා දෙනවා.

2. අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

2 යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න අපි හුඟක් මහන්සි වෙන්න ඕනේ. මොකද අපි මුහුණ දෙන දේවල් නිසා කලකිරිලා හැම දේම අත්හරින්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තුනක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. (1) සභාවේ කෙනෙක් අපේ හිත රිද්දද්දී. (2) සැමියා හරි බිරිඳ හරි කරන දෙයක් නිසා කලකිරෙද්දී. (3) අපිට අපි ගැනම කලකිරීමක් ඇති වෙද්දී. ඒ අභියෝගවලටම මුහුණ දීපු බයිබල් චරිත ගැන සාකච්ඡා කරලා එයාලාගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් අපි බලමු.

සභාවේ කෙනෙක් නිසා

3. අපි මුහුණ දෙන්නේ මොන අභියෝගයටද?

3 අභියෝගය. සමහරු ළඟ අපිට එච්චර රුස්සන්නේ නැති ගති තියෙන්න පුළුවන්. තවත් අය කරන දේවල් නිසා අපි අධෛර්යය වෙනවා. සමහරු හිතාමතාම අපිව රිද්දන්නත් පුළුවන්. වගකීම් දරන සහෝදරයන් අතිනුත් ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙද්දී ‘මේක ඇත්තටම දෙවියන්ගේ සංවිධානයද’ කියලා කෙනෙක්ට සැක හිතෙන්න පුළුවන්. ඒ නිසා සහෝදරයන්ට සමාව දීලා එයාලා එක්ක ‘එක්සත්කමින් සේවය කරනවා’ වෙනුවට සමහරු එයාලාගේ හිත රිද්දපු අයව ආශ්‍රය කරන එක නවත්තනවා. තවත් අය රැස්වීම් එන්නෙත් නැහැ. (ශෙප. 3:9) හැබැයි ඒකද අපි කරන්න ඕනේ? ඒකට උත්තරේ දැනගන්න ඒ අභියෝගයටම මුහුණ දීපු බයිබල් චරිතයක් ගැන බලමු.

4. පාවුල් මුහුණ දුන්නේ මොන අභියෝගවලටද?

4 බයිබල් ආදර්ශය. සත්‍යයට ආපු මුල් කාලේ සහෝදරයන් පාවුල් දිහා බැලුවේ වපර ඇහෙන්. (ක්‍රියා 9:26) පස්සේ කාලෙක පාවුල් නැති තැන දොස් කියලා සමහරු එයාගේ නම කැත කරන්න හැදුවා. (2 කොරි. 10:10) වගකීම් දරන සහෝදරයෙක් වැරදි තීරණයක් ගන්නවත් පාවුල් දැක්කා. ඒකෙන් සභාවේ අය අධෛර්යය වෙලා සත්‍යයෙන් වැටිලා යන්නත් ඉඩ තිබුණා. (ගලා. 2:11, 12) ඒ වගේම පාවුල් ළඟින්ම ආශ්‍රය කරපු මාක් කරපු දෙයක් නිසා පාවුල් හොඳටම කලකිරුණා. (ක්‍රියා 15:37, 38) පාවුල්ට ඕනෙ නම් තිබුණා ඒ හැමෝවම ආශ්‍රය කරන එක නතර කරන්න. ඒත් එයා එහෙම කළේ නැහැ. එයා තේරුම් අරන් හිටියා සහෝදරයන් අතිනුත් අඩුපාඩුකම් වෙනවා කියලා. ඒ නිසා යෙහෝවාට උද්‍යෝගයෙන් සේවය කරන එක පාවුල් නැවැත්තුවේ නැහැ. ඒත් ඒක කරන්න එයාට උදව් වෙන්න ඇත්තේ මොනවාද?

5. සභාවේ අයගෙන් ඈත් නොවී ඉන්න පාවුල්ට උදව් වුණේ මොනවාද? (කොලොස්සි 3:13, 14) (පින්තූරයත් බලන්න.)

5 පාවුල් සහෝදරයන්ට ඇත්තටම ආදරේ කළා. ඒ නිසයි අඩුපාඩු දිහාම බලන්නේ නැතුව එයා එයාලාගේ හොඳ දැක්කේ. ඒ ආදරේම තමයි කොලොස්සි 3:13, 14 එයාම දීපු උපදෙස අදාළ කරගන්න එයාට උදව් වුණේ. (කියවන්න.) ඒක එයා මාක් එක්ක වැඩ කරපු විදිහෙන් පේනවා. පළවෙනි මිෂනාරි ගමනේදී මාක් පාවුල්ව දාලා ගියත් පාවුල් දිගටම මාක් එක්ක කේන්තියෙන් හිටියේ නැහැ. කොහොමද අපි ඒක දන්නේ? පස්සේ කාලෙක කොලොස්සිවරුන්ට ලියපු ලිපියේ මාක් එයාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වුණා කියලා පාවුල් මාක්ව හුඟක් අගය කළා. (කොලො. 4:10, 11) ඒ වගේම පාවුල් රෝමයේ හිරේ ඉද්දී මාක්වත් එක්කගෙන එන්න කියලා තිමෝතිට විශේෂයෙන්ම කිව්වා. (2 තිමෝ. 4:11) ඒකෙන් තේරෙනවා සහෝදරයන්ගේ අතින් අඩුපාඩුකම් වුණත් පාවුල්ගේ හිතේ කිසිම කහටක් තිබුණේ නැහැ කියලා.

පාවුල්, මාක් සහ බානබස් අතර ප්‍රශ්නයක් ඇති වුණා. ඒත් පාවුල් දිගටම අමනාපයෙන් හිටියේ නැහැ. පස්සේ කාලෙක එයා මාක් එක්ක සතුටින් සේවය කළා (5 ඡේදය බලන්න)


6-7. අඩුපාඩු වෙද්දීත් සහෝදරයන්ට දිගටම ආදරේ කරන්න උදව් වෙන්නේ මොනවාද? (1 යොහන් 4:7)

6 පාඩම. මොන දේ වුණත් අපි සහෝදරයන්ට දිගටම ආදරේ කරනවා දකින්න යෙහෝවා දෙවියන් කැමතියි. (1 යොහන් 4:7 කියවන්න.) ඒ නිසා කෙනෙක් අතින් අඩුපාඩුකමක් වෙද්දී එයා ඒක කළේ හිතාමතාමයි කියලා හිතන්න එපා. (හිතෝ. 12:18) අපිට වගේම එයාටත් ඕනෙ යෙහෝවාව සතුටු කරන්න කියලා විශ්වාස කරන්න. අනිත් අයට සමාව දෙයි කියලා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඒ ගැන අපිට හොඳම ආදර්ශය තියලා තියෙන්නෙත් ඔහුමයි. අපේ අතින් වරදක් වෙද්දී ඔහු අපි එක්ක තරහ වෙලා අපිව පැත්තකට දාන්නේ නැහැ. (ගීතා. 103:9) ඔහුට අපි ගැන තියෙන ආදරේ අඩු වෙන්නෙත් නැහැ. අපිත් අපේ ආදරණීය තාත්තාව ආදර්ශයට ගන්න එක කොච්චර වටිනවාද!—එෆී. 4:32–5:1.

7 විනාශය ළං වෙද්දී අපිට එන පීඩා තවත් දරුණු වෙනවා. සමහර වෙලාවට අපිව හිරේ දාන්නත් පුළුවන්. එහෙම වෙද්දී සහෝදරයන්ගේ උදව් නැතුවම බැහැ. (හිතෝ. 17:17) ඒ නිසා එයාලට කිට්ටුවෙන් ඉන්න එක හරිම වැදගත්. ස්පාඤ්ඤයේ වැඩිමහල්ලෙක් වන ජෝසප්ට a වුණ දේ බලන්න. හමුදාවට බැඳෙන්න අකමැති වුණ නිසා එයාවයි, තව සහෝදරයෝ කීපදෙනෙක්වයි හිරේ දැම්මා. ජෝසප් මෙහෙම කියනවා. “අපි හැමෝම හිටියේ පොඩි හිරකුටියක. ඒ නිසා කෙනෙක් කරන පොඩි දේටත් ඉක්මන්ටම කේන්ති යනවා. ඉතිං අපිට එයාලා ගැන ඉවසන්න වුණා. එයාලට සමාව දෙන්න වුණා. අනික ඒකේ හිටියේ සාක්ෂිකරුවෝ විතරක් නෙවෙයි. ඒ නිසා සමඟියෙන් ඉන්න එක අපිට ලොකු ආරක්ෂාවක් වුණා. මට මතකයි සැරයක් මගේ අත කැඩිලා මට කිසි වැඩක්පළක් කරගන්න බැරි වුණා. ඉතිං මගේ රෙදි හෝදන එකේ ඉඳලා හැම වැඩක්ම කරලා දුන්නේ සහෝදරයෙක්. එයා නොහිටින්න මං සෑහෙන්න අසරණ වෙනවා.” ඒ අද්දැකීමෙන් පේනවා සහෝදරයන් එක්ක ඇති වෙන ප්‍රශ්න ඉක්මනින්ම විසඳගන්න එක කොච්චර වැදගත්ද කියලා.

සැමියා හරි බිරිඳ හරි නිසා

8. විවාහ වුණ අයට එන අභියෝගය මොකක්ද?

8 අභියෝගය. විවාහ වුණ හැමෝටම විවිධ “දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා.” (1 කොරි. 7:28) මොකද විවාහ වෙද්දී එකතු වෙන්නේ පරිපූර්ණ දෙන්නෙක් නෙවෙයි. එයාලා හිතන පතන විදිහ, කැමති අකමැති දේවල් වෙනස්. ඒ වගේම දෙන්නා වෙනස්ම සංස්කෘතියකින්, වෙනස්ම පසුබිමකින් ආවා වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනිත් කෙනාට තියෙන සමහර ගතිගුණ ගැන එයාලා දැනගන්නේ බැන්දාට පස්සේ. ඉතින් ඒ ඕනෑම දෙයක් නිසා දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට එයාලා හිතනවා අනිත් කෙනා නිසයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඒ නිසා තමන්ගේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. සමහර ප්‍රශ්න කොච්චර දුර දිග යනවාද කියනවා නම් සමහරු හිතනවා වෙන් වෙන එක, දික්කසාද වෙන එක තමයි එකම විසඳුම කියලා. හැබැයි ඇත්තටම ඒකද විසඳුම? b ඒකට උත්තරේ දැනගන්න දැන් අපි කටුක විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක් ගැන බලමු.

9. අබිගායිල්ට තිබුණ අභියෝගය මොකක්ද?

9 බයිබල් ආදර්ශය. නාබල් කියන්නේ හරිම නපුරු, සැරපරුෂ කෙනෙක්. (1 සාමු. 25:3) ඒ වගේ මනුස්සයෙක් එක්ක එක වහලක් යට ජීවත් වෙද්දී සමහරවිට අබිගායිල්ට ජීවිතේම එපා වෙන්න ඇති. හැබැයි අබිගායිල් නාබල්ගෙන් වෙන් වෙන්න මොකක් හරි පොටක් පෑදෙන කල් හිටියාද? නැහැ. මොකද නාබල් සැරයක් දාවිත්ටයි, එයාත් එක්ක හිටපු අයටයි හරිම නරක විදිහට සැලකුවා. ඒ තරහට දාවිත් නාබල්ව මරන්න ආවා. (1 සාමු. 25:9-13) අබිගායිල්ට ඕනෙ නම් තිබුණා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නාබල්ව මරන්න ඉඩහැරලා එහෙන් පැනලා යන්න. හැබැයි එහෙම කරනවා වෙනුවට එයා දාවිත් ඉස්සරහා දණින් වැටිලා නාබල්ව මරන්න එපා කියලා දාවිත්ගෙන් ඉල්ලුවා. (1 සාමු. 25:23-27) ඒත් ඇයි එයා එහෙම කළේ?

10. විවාහය රැකගන්න අබිගායිල් ඒ තරම් මහන්සි වෙන්න ඇත්තේ ඇයි?

10 මුල්ම විවාහයේදී දෙවියන් ආදම් සහ ඒවට කිව්ව දේ අබිගායිල් දැනන් ඉන්න ඇති. (උත්. 2:24) ඉතින් අබිගායිල් තේරුම්ගත්තා දෙවියන් විවාහය සලකන්නේ පරිශුද්ධ දෙයක් විදිහට කියලා. ඒකයි නාබල් එක්ක ජීවත් වෙන එක කොච්චර අමාරු වුණත් විවාහය රැකගන්න අබිගායිල් ඒ තරම්ම මහන්සි වුණේ. අබිගායිල් යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කළා. හැම දේකදීම ඔහුව සතුටු කරන්නයි එයාට ඕන වුණේ. ඒ නිසයි නාබල්වයි, ගෙදර හිටපු හැමෝවමයි බේරගන්න එයා එයාට පුළුවන් හැම දේම කළේ. එයා ඉක්මනින්ම දාවිත් ළඟට ගිහින් නාබල්ව මරන්න එපා කියලා ඉල්ලුවා. තමන් නොකරපු වරදකට දාවිත්ගෙන් සමාවත් ඉල්ලුවා. තමන්ට වඩා අනිත් අය ගැන හිතපු මේ ධෛර්යවත් කාන්තාව වැඩ කරපු විදිහ දකිද්දී යෙහෝවාට එයා ගැන කොච්චර ආදරේ හිතෙන්න ඇද්ද!

11. (අ) විවාහ වුණ අයගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (එෆීස 5:33) (ආ) කාමන් කරපු දෙයින් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (පින්තූරයත් බලන්න.)

11 පාඩම. ඔයාගේ සහකරු එක්ක ජීවත් වෙන්න අමාරු වුණත් ඔයා විවාහය පරිශුද්ධ දෙයක් විදිහට සලකයි කියලා යෙහෝවා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ප්‍රශ්න විසඳගන්න මහන්සි වෙන්න. තමන් ගැන හිතනවාට වඩා අනිත් කෙනා ගැන හිතන්න. අනිත් කෙනාට ආදරය, ගෞරවය පෙන්නන්න. එතකොට යෙහෝවා ඔයා ගැන ගොඩක් සතුටු වෙයි. (එෆීස 5:33 කියවන්න.) සහෝදරි කාමන් අපිට හොඳ ආදර්ශයක්. විවාහ වෙලා අවුරුදු හයකට විතර පස්සේ එයා බයිබලේ පාඩම් කරලා කාලයත් එක්කම බව්තීස්ම වුණා. හැබැයි එයාගේ මහත්තයා ඒකට තදින්ම විරුද්ධ වුණා. මහත්තයාට හිතුණේ කාමන් එයාට වඩා දෙවියන්ව ලොකු කරගෙන කියලා. කාමන් මෙහෙම කියනවා. “මගේ මහත්තයාට යෙහෝවා ගැන තිබුණේ ලොකු ඊර්ෂ්‍යාවක්. එයා කොයි වෙලෙත් මට නොසෑහෙන්න දොස් කිව්වා. මාව දාලා යනවා කියලත් තර්ජනය කළා.” මහත්තයා කොච්චර නපුරුකම් කළත් කාමන් අවුරුදු 50ක් තිස්සේ මහත්තයාට ආදරෙන්, ගෞරවෙන් සලකන්න ගොඩක් මහන්සි වුණා. කාමන් මෙහෙම කියනවා. “කාලයත් එක්කම මහත්තයාව කේන්ති ගස්සන්නේ නැතුව වැඩ කරන්න මං ඉගෙනගත්තා. එයාගේ හිත නිවෙන විදිහට කතා කළා. යෙහෝවා විවාහය සලකන්නේ පරිශුද්ධ දෙයක් විදිහට නිසා මගේ විවාහය රැකගන්න මං පුළුවන් හැම දේම කළා. කවදාවත් මහත්තයාව දාලා යන්න හිතුවේ නෑ. මොකද මං යෙහෝවාට ගොඩක් ආදරෙයි.” c ඔයාත් ඔයාගේ විවාහය රැකගන්න මහන්සි වෙද්දී යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරයි.

නාබල්ගෙයි, ගෙදර අනිත් අයගෙයි ජීවිත බේරගන්න අබිගායිල් හැම දේම කළා. ඒකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (11 ඡේදය බලන්න)


ඔයාගෙම වැරදි නිසා

12. අපේ අතින් බරපතළ වැරැද්දක් වුණොත් අපිට ඒක කොහොම බලපායිද?

12 අභියෝගය. බයිබලේ කියනවා අපේ අතින් වෙන වැරදි නිසා අපේ හදවත ‘තැළිලා බිඳිලා යන්න’ පුළුවන් කියලා. (ගීතා. 51:17) රොබට්ගේ අද්දැකීම බලන්න. එයා සහායක සේවකයෙක් විදිහට සුදුසුකම් ලබාගන්න අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වුණා. හැබැයි ඊටපස්සේ එයාගේ අතින් බරපතළ වරදක් වුණා. එයා මෙහෙම කියනවා. “මං කරපු වරද කොච්චර බරපතළද කියලා තේරුම්ගද්දී මට මාවම එපා වුණා. මගේ හිත හරියට වධ දුන්නා. මට මතකයි මං අඬඅඬ යෙහෝවාට යාච්ඤා කරනවා. ඒත් මට හිතුණෙම යෙහෝවා මගේ යාච්ඤා අහන එකක් නෑ කියලා. මොකද මංනේ යෙහෝවාට ද්‍රෝහි වුණේ.” බරපතළ වැරැද්දක් වෙද්දී අපේ තැළුණු බිඳුණු හිතත් සමහර වෙලාවට අපිට කියයි “වැඩක් නෑ දැන්, යෙහෝවාත් ඔයාව අත්හැරලයි තියෙන්නේ” කියලා. (ගීතා. 38:4) ඔයාටත් එහෙම දැනිලා තියෙනවාද? එහෙමනම් දැන් අපි බලන බයිබල් ආදර්ශය ඔයාට ලොකු ශක්තියක් වෙයි.

13. පේතෘස් කරපු බරපතළ වරද මොකක්ද? ඊට කලින් එයා අතින් වුණ වැරදි මොනවාද?

13 බයිබල් ආදර්ශය. යේසුස් මැරෙන්න කලින් රෑ පේතෘස් අතින් වැරදි කීපයක්ම වුණා. අන්තිමට එයා නතර වුණේ කරන්න පුළුවන් බරපතළම වරදක් කරලා. මුලින්ම පේතෘස් තමන් ගැන ඕනාවට වඩා විශ්වාසය තිබ්බා. ඒ නිසා කවුරු යේසුස්ව දාලා ගියත් එයා නම් කවදාවත් දාලා යන්නේ නැහැ කියලා මහ උජාරුවෙන් කිව්වා. (මාක් 14:27-29) ගෙත්සෙමන උයනේදී ඇහැරිලා ඉන්න කියලා යේසුස් කීප සැරයක්ම කිව්වත් පේතෘස් ඒක කළෙත් නැහැ. (මාක් 14:32, 37-41) කඩු මුගුරු අරන් මැරයෝ යේසුස්ව අල්ලගන්න එද්දීත් එයා යේසුස්ව දාලා පැනලා ගියා. (මාක් 14:50) අන්තිමේදී යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා එයා තුන් පාරක්ම දිවුරුවා. (මාක් 14:66-71) ඒ වරදේ බරපතළකම තේරුණාම එයා හොඳටම ඇඬුවා. (මාක් 14:72) මෙච්චර කල් ළඟින්ම හිටපු යේසුස්ට එහෙම කරපු එක ගැන පේතෘස්ගේ හිත කොච්චර වධ දෙන්න ඇද්ද! අන්තිමේදී යේසුස්ව මැරුවාම ඒ වේදනාව තව දෙගුණ තෙගුණ වෙන්න ඇති.

14. දිගටම විශ්වාසවන්තව සේවය කරන්න පේතෘස්ට උදව් වුණේ මොනවාද? (පින්තූරය බලන්න.)

14 දිගටම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්න පේතෘස්ට උදව් වුණේ මොනවාද? එයා තනි වෙන්නේ නැතුව අනිත් නියෝජිතයන් එක්කම හිටියා. එයාලා පේතෘස්ව ගොඩක් සනසන්න ඇති. (ලූක් 24:33) ඒ වගේම නැවත නැඟිට්ටාට පස්සේ යේසුත් පේතෘස්ව හම්බ වෙන්න ගියා. ගොඩක් වෙලාවට ඒ එයාව දිරිගන්නන්න වෙන්න ඇති. (ලූක් 24:34; 1 කොරි. 15:5) කරපු වැරදිවලට දොස් කියනවා වෙනුවට යේසුස් කිව්වා පේතෘස්ට ඉස්සරහට තව ගොඩක් වගකීම් ලැබෙනවා කියලා. (යොහ. 21:15-17) තමන් අතින් වුණේ බරපතළ වැරැද්දක් කියලා පේතෘස් හොඳටම දැනන් හිටියා. ඒත් එයා අධෛර්යය වුණේ නැහැ. මොකද යේසුයි, අනිත් නියෝජිතයනුයි එයාව අත්හැරලා නැහැ කියලා එයා දැනන් හිටියා.

යොහන් 21:​15-17 පෙන්නන විදිහට බරපතළ වරදක් කළත් යේසුස් පේතෘස්ව අත්හැරියේ නැහැ. දිගටම විශ්වාසවන්තව ඉන්න ඒක පේතෘස්ට ලොකු ශක්තියක් වුණා (14 ඡේදය බලන්න)


15. යෙහෝවාට ඕනෙ අපි මොන දේ විශ්වාස කරනවා දකින්නද? (ගීතාවලිය 86:5; රෝම 8:38, 39) (පින්තූරයත් බලන්න.)

15 පාඩම. යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි. ඔහු ඕනම වෙලාවක අපිට සමාව දෙන්න ලෑස්තියි. ඔහුට ඕනෙ අපි ඒක විශ්වාස කරනවා දකින්න. (ගීතාවලිය 86:5; රෝම 8:38, 39 කියවන්න.) ඇත්ත, අපි අතින් වරදක් වෙද්දී අපේ හිත දොස් කියනවා. ඒක හොඳ දෙයක්. හැබැයි අපි කවදාවත් හිතන්න හොඳ නැහැ යෙහෝවාගේ ආදරේ, සමාව ලබන්න අපි වටින්නේ නැහැ කියලා. ඒ නිසයි අපි ඉක්මනින්ම වැඩිමහල්ලන්ගේ උදව් ගන්න ඕනේ. කලින් කතා කරපු රොබට් ඒක තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “මං වැරදි පෙලඹීම් එක්ක හැප්පෙන්න ගියේ මගේම හයියෙන්. එතනයි මට වැරදුණේ. ඒත් වැඩිමහල්ලන් එක්ක කතා කළාම මට එයාලාගෙන් යෙහෝවාගේ ආදරේ දැනුණා. එයාලා මට මතක් කරලා දුන්නා යෙහෝවා මාව අත්හැරලා නෑ කියලා. කවදාවත් ගොඩගන්න බැරි කෙනෙක් විදිහට එයාලා මට සැලකුවේ නෑ.” අපිත් අපේ වැරදි ගැන අවංකව පසුතැවෙනවා නම්, වැඩිමහල්ලන්ගේ උදව් ගන්නවා නම්, ඒ වැරදි ආයේ නොකර ඉන්න උපරිමය කරනවා නම් යෙහෝවා අපිටත් සමාව දෙනවා. (1 යොහ. 1:8, 9) අපේ අතින් වැරදි වුණත් යෙහෝවා තාමත් අපිට ගොඩක් ආදරෙයි. ඒ ගැන අපිට හොඳටම විශ්වාසයි නම් අපි කවදාවත් ඔහුව අත්හරින්නේ නැහැ.

ඔයාට උදව් කරන්න වැඩිමහල්ලෝ මහන්සි වෙද්දී ඔයාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? (15 ඡේදය බලන්න)


16. මොන දේ වුණත් දිගටම යෙහෝවාට සේවය කරන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?

16 මේ අන්තිම කාලේ දිගටම විශ්වාසවන්තව ඉන්න එක අපිට කොච්චර අමාරුද කියලා යෙහෝවා දෙවියන් දන්නවා. අපි මුහුණ දෙන දේවල් නිසා අපි කලකිරුණත් ඔහුගේ උදව්වෙන් අපිට ජය ගන්න පුළුවන්. අපි සහෝදරයන්ට ඇත්තටම ආදරේ නම් එයාලා අපේ හිත රිද්දද්දී අපි එයාලට හදවතින්ම සමාව දෙනවා. අපි දෙවියන්ට ඇත්තටම ආදරෙයි නම් විවාහය පරිශුද්ධ දෙයක් විදිහට සලකනවා. ඒ නිසා විවාහ ජීවිතේ එන ප්‍රශ්න විසඳගන්න පුළුවන් හැම දේම අපි කරනවා. ඒ විතරක් නෙවෙයි අපි අතින් බරපතළ වරදක් වෙද්දී අපි දෙවියන්ගෙන් උදව් ගන්නවා. ඔහුගේ ආදරේ, සමාව අපිට ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔහුට සේවය කරන එක අපි කවදාවත් අත්හරින්නේ නැහැ. ඒ විදිහට “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේවල් කරනවා” නම් ඔහුගේ ආශීර්වාදය අපිට නොඅඩුව ලැබෙනවා කියලා සහතිකයි.—ගලා. 6:9.

මේ දේවල් වෙද්දී අත්හරින්නේ නැතුව දිගටම දෙවියන්ට සේවය කරන්න පුළුවන් කොහොමද?

  • සභාවේ කෙනෙක් හිත රිද්දද්දී

  • සැමියා, බිරිඳ කරන දෙයක් නිසා කලකිරෙද්දී

  • අපි ගැනම කලකිරීමක් ඇති වෙද්දී

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b සැමියා සහ බිරිඳ වෙන් නොවී ඉඳියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. මොකක් හරි හේතුවක් නිසා යුවළක් වෙන් වුණොත් ඒ දෙන්නාගෙන් කාටවත් ආපහු විවාහ වෙන්න අවසර නැහැ. ඒත් විවාහයක ඇති වෙන සමහර බරපතළ තත්වයන් නිසා සමහර ක්‍රිස්තියානීන් වෙන් වෙන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒ ගැන විස්තර දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ පොතේ “සැමියාගෙන්, බිරිඳගෙන් වෙන් වීම” කියන 4වෙනි අමතර සටහන බලන්න.

c තවත් අද්දැකීමක් ගැන දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන ‘බොරු සාමයට රැවටෙන්න එපා!—ඩැරල් සහ ඩෙබෝරා ෆ්‍රෙසින්ග’ කියන වීඩියෝ එක බලන්න.