Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 9

ගීතිකාව 75 “මම යන්න කැමතියි මාව යවන්න”

දෙවියන්ට ජීවිතේ කැප කරන්න ඔයා ලෑස්තිද?

දෙවියන්ට ජීවිතේ කැප කරන්න ඔයා ලෑස්තිද?

“යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?”ගීතා. 116:12.

ලිපියේ අරමුණ

යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි. එතකොට ජීවිතේ දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඔයාම පෙලඹෙයි.

1-2. බව්තීස්මයට කලින් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද?

 පහුගිය අවුරුදු පහ ඇතුළත මිලියනයකටත් වඩා බව්තීස්ම වෙලා සාක්ෂිකරුවන් වෙලා තියෙනවා. එයාලාගෙන් වැඩි හරියක් තිමෝති වගේ “ළදරු කාලයේ ඉඳන්ම” සත්‍යයේ හිටපු අය. (2 තිමෝ. 3:14, 15) ඒත් සමහරු සත්‍යය දැනගත්තේ එයාලා වැඩිහිටියන් වුණාට පස්සේ. ඇත්තටම බව්තීස්ම වෙන්න වයස් සීමාවක් නැහැ. මොකද කාලෙකට කලින් අවුරුදු 97ක සහෝදරියකුත් බව්තීස්ම වුණා.

2 ඔයාත් බයිබලේ ඉගෙනගන්න කෙනෙක්ද? නැත්නම් ඔයා පුංචි කාලේ ඉඳන්ම සත්‍යයේද? එහෙමනම් ඔයාත් බව්තීස්ම වෙන්න ආසාවෙන් ඇති. හැබැයි බව්තීස්ම වෙන්න කලින් ඔයා යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරන්න ඕනේ. ඒත් කැප වෙනවා කියන්නේ මොකක්ද? ඔයා මේ වෙද්දීත් බව්තීස්මයට ලෑස්ති නම් තවත් ඒක කල් දාන්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි? අපි බලමු.

කැප වෙනවා කියන්නේ මොකක්ද?

3. අතීතයේදී යෙහෝවා දෙවියන්ට කැප වුණ අය කවුද? උදාහරණ දෙන්න.

3 කැප වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පරිශුද්ධ අරමුණක් සඳහා වෙන් කරනවා කියන එක. ඊශ්‍රායෙල්වරු කියන්නේ ඒ වගේ යෙහෝවා දෙවියන්ට කැප වුණ ජාතියක්. හැබැයි එයාලා අතර හිටපු සමහරු තවත් විශේෂ විදිවලින් කැප වෙලා හිටියා. උදාහරණෙකට උත්තම පූජකයා විදිහට සේවය කරන්න දෙවියන් ආරොන්ව තෝරගෙන තිබුණා. ඒක සංකේතවත් කරන්න තමයි ආරොන් පැලඳගෙන හිටපු විශේෂ හිස්වැස්මේ “ශුද්ධ රන් තහඩුවක්” හයි කරලා තිබුණේ. (ලෙවී. 8:9) නසරීතවරු කියන්නෙත් යෙහෝවාට විශේෂ විදිහකින් කැප වුණ කට්ටියක්. “නසරීතවරයා” කියන යෙදුම ඇවිල්ලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවේ නසීර් කියන වචනෙන්. ඒකේ අදහස තමයි “වෙන් කරලා තියෙන” නැත්නම් “කැප කරලා තියෙන” කියන එක. මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ නසරීතවරුන්ට වෙනම නීති දීලා තිබුණා.—ගණන්. 6:2-8.

4. (අ) යෙහෝවාට කැප වෙන අයව ශුද්ධ අරමුණක් සඳහා වෙන් කරලා තියෙනවා කියලා කියන්නේ ඇයි? (ආ) “තමා ගැන නොසිතා” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

4 ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරද්දී ඔයා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙනවා. එදා ඉඳලා ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ තමයි දෙවියන්ගේ කැමැත්ත කරන එක. ඒත් කැප වෙනවා කියන්නේ මොකක්ද? කැප වෙද්දී ඔයා කැමති වෙන්න ඕනෙ මොනවා කරන්නද? යේසුස් මෙහෙම කිව්වා. ‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තවදුරටත් තමා ගැන නොසිතා දිගටම මා අනුව එන්න අවශ්‍යයි.’ (මතෙ. 16:24, පාදසටහන) ඒකේ “තමා ගැන නොසිතා” කියලා කියද්දී පාවිච්චි කරලා තියෙන ග්‍රීක යෙදුම “තම අවශ්‍යතාවලට මුල් තැන නොදී” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යෙහෝවාට කැප වුණ කෙනෙක් විදිහට ඔහු අකමැති හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒකට අපේ ආශාවන් වුණත් කැප කරන්න වෙයි. (2 කොරි. 5:14, 15) අනාචාරයේ යෙදෙන එක වගේ “පව්කාර ආශාවන්” ප්‍රතික්ෂේප කරන එකත් ඒකට ඇතුළත්. (ගලා. 5:19-21; 1 කොරි. 6:18) ඒත් ඒ නීතිවලට කීකරු වෙද්දී ඔයාගේ ජීවිතේ නිරස වෙයිද? නැහැ. ඔයා යෙහෝවාට ආදරේ නම්, ඔහු හැම නීතියක්ම දීලා තියෙන්නේ අපේම හොඳටයි කියලා ඔයාට විශ්වාසයි නම් කවදාවත් ඒක නිරස දෙයක් වෙන්නේ නැහැ. (ගීතා. 119:97; යෙසා. 48:17, 18) ඒ ගැන සහෝදර නිකලස් මෙහෙම කිව්වා. “හිතන්න ඔයා සිංහ කූඩුවක් ළඟට යනවා කියලා. ඒකේ තියෙන යකඩ කූරු ඔයා දකින්නේ ඔයාගේ ආරක්ෂාවට තියෙන දෙයක් විදිහටද? නැත්නම් ඔයාව කොටු කරන්න දාලා තියෙන දෙයක් විදිහටද? යෙහෝවා දීලා තියෙන නීති, ප්‍රතිපත්තිත් ඔය දෙවිදිහටම දකින්න අපිට පුළුවන්.”

යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රමිති ඔයාව හිර කරන්න දාලා තියෙන යකඩ කූරු වගේද? නැත්නම් ඔයාව සිංහයන්ගෙන් ආරක්ෂා කරන්න දාලා තියෙන යකඩ කූරු වගේද? (4 ඡේදය බලන්න)


5. (අ) ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරන්නේ කොහොමද? (ආ) කැප වීමයි, බව්තීස්මයයි අතර තියෙන වෙනස මොකක්ද? (පින්තූරයත් බලන්න.)

5 ඔයා යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරන්නේ යාච්ඤාවකින්. එදා ඉඳලා ඔයා නමස්කාර කරන්නේ යෙහෝවාට විතරයි කියලත් ඔහුගේ කැමැත්තට ජීවිතේ මුල් තැන දෙනවා කියලත් ඒකේදී ඔයා පොරොන්දු වෙනවා. ඒක හරියට ඔයා යෙහෝවාට මෙහෙම කියනවා වගේ. “මං අද ඉඳලා මගේ මුළු හදවතින්ම ඔයාට ආදරේ කරනවා. ඔයා වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා. මුළු ශක්තියම ඔයා වෙනුවෙන් වැය කරනවා. මනසේ මුල් තැන ඔයාට දෙනවා.” (මාක් 12:30) ඔයා කැප වෙන්නේ පෞද්ගලිකව. ඒක දන්නේ ඔයායි, යෙහෝවායි විතරයි. හැබැයි බව්තීස්මය කියන්නේ හැමෝම ඉස්සරහා කරන දෙයක්. එදාට එයාලා දකිනවා ඔයා ඒ වෙද්දීත් දෙවියන්ට කැප වෙලයි ඉන්නේ කියලා. කැප වෙද්දී වෙන පොරොන්දුව පරිශුද්ධ එකක්. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ ඒ පොරොන්දුව ඒ විදිහටම රකින එක. ඒක යෙහෝවාත් බලාපොරොත්තු වෙනවා.—දේශ. 5:4, 5.

කැප වෙනවා කියන්නේ යෙහෝවාට විතරක් නමස්කාර කරනවා කියලත් ඔහුට ඔයාගේ ජීවිතේ මුල් තැන දෙනවා කියලත් තනියම යාච්ඤාවකින් ඔහුට වෙන පොරොන්දුවක් (5 ඡේදය බලන්න)


කැප වෙන්න ඕනෙ ඇයි?

6. කෙනෙක් කැප වෙන්න පෙලඹෙන්නේ ඇයි?

6 ඔයා යෙහෝවා දෙවියන්ට කැප වෙන්න පෙලඹෙන ප්‍රධානම හේතුව තමයි ඔහු ගැන තියෙන ආදරය. ඒක නිකම්ම හැඟීමක් නෙවෙයි. ඒ ආදරේ ඇති වුණේ ඔයා “දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක්” ලබාගද්දී. (කොලො. 1:9) එහෙම කරද්දී මේ දේවල් ඔයාටම තහවුරු වුණා. (1) යෙහෝවා සැබෑ කෙනෙක්. (2) බයිබලය ලිව්වේ ඔහුගේ මඟ පෙන්වීමෙන්. (3) දෙවියන් ඔහුගේ කැමැත්ත ඉටු කරන්න පාවිච්චි කරන්නේ ඔහුගේ සංවිධානය.

7. කැප වෙන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද?

7 කෙනෙක් කැප වෙන්න කලින් බයිබලේ තියෙන මූලික දේවල් ඉගෙනගන්න ඕනෙ, ඒ දේවල් ජීවිතේට අදාළ කරගන්න ඕනේ. ඒ වගේම එයා ඉගෙනගන්න දේවල් පුළුවන් උපරිමයෙන් අනිත් අයත් එක්ක බෙදාගන්නත් ඕනේ. (මතෙ. 28:19, 20) එතකොට දවසින් දවස යෙහෝවා ගැන එයාගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා. ඒක එයාව පොලඹවනවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න. ඔයාටත් වුණේ ඒ දේම නෙවෙයිද? ඒ වගේ ආදරයක් තියෙන කෙනෙක් කැප වෙලා බව්තීස්ම වෙන්නේ සභාවේ යාළුවොත් එහෙම කරන නිසා නෙවෙයි. ඒ වගේම බයිබලේ උගන්නන කෙනාව, දෙමාපියන්ව සතුටු කරන්න ඕනෙ නිසාත් නෙවෙයි.

8. දෙවියන්ට කැප වෙන්න, හිතේ තියෙන අගය උදව් වෙන්නේ කොහොමද? (ගීතාවලිය 116:12-14)

8 “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්.” (යාකො. 1:17) යෙහෝවා අපිට දීලා තියෙන වටිනාම තෑග්ග තමයි යේසුස්ගේ ජීවිතේ. ඒක නිසා ඔයාට පුළුවන් දෙවියන් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න. සදහටම ජීවත් වෙන බලාපොරොත්තුවත් ඒ නිසා ඔයාට ලැබිලා තියෙනවා. (1 යොහ. 4:9, 10, 19) ඉතින් ජීවිත පූජාව ගැන හොඳට හිතන්න. මොකද යෙහෝවා ඔයාට ආදරේ පෙන්නලා තියෙන හොඳම විදිහ ඒකයි. ඒ වගේම ඔහු ඔයාට දැනටමත් දීලා තියෙන ආශීර්වාද ගැනත් හිතන්න. (ගීතාවලිය 116:12-14 කියවන්න.) එතකොට ඔහුට ජීවිතේ කැප කරන්න ඔයා දෙසැරයක් හිතන්නේ නැහැ. (ද්වි. 16:17; 2 කොරි. 5:15) ඒ ගැන තව දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 46වෙනි පාඩමේ 4වෙනි කරුණ සහ ‘දෙවියන්ට අපි දෙන තෑගි’ කියන විනාඩි තුනක වීඩියෝ එක බලන්න.

ඔයා ලෑස්තිද?

9. දෙවියන්ට ජීවිතේ කැප කරන එක ලොකු පීඩනයක් කරගන්න හොඳ නැත්තේ ඇයි?

9 ‘මං තාම බව්තීස්ම වෙන්න ලෑස්ති නෑ. මට හදාගන්න තව පැති තියෙනවා. විශ්වාසය ශක්තිමත් කරගන්නත් මට තව ටිකක් කල් ඕනේ.’ ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? (කොලො. 2:6, 7) එහෙම හිතෙන එකේ වරදක් නැහැ. මොකද හැම ශිෂ්‍යයෙක්ම එකම වේගෙට දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ දරුවෝ හැමෝමත් එකම වයසේදී බව්තීස්ම වෙයි කියලා හිතන්නත් බැහැ. ඒ නිසා ඔයා ලබපු දියුණුව ඔයා සන්සන්දනය කරන්න ඕනෙ අනිත් අයත් එක්ක නෙවෙයි, ඔයාත් එක්කමයි. එහෙම කරද්දීත් සාධාරණ වෙන්න.—ගලා. 6:4, 5.

10. ඔයා බව්තීස්ම වෙන්න ලෑස්ති නැහැ කියලා හිතෙනවා නම් කරන්න පුළුවන් මොනවාද? (“ සත්‍යයේ හැදී වැඩුණ යෞවන දරුවන්ට” කියන කොටුවත් බලන්න.)

10 ඔයාට හිතෙනවා නම් යෙහෝවා දෙවියන්ට කැප වෙන්න ඔයා තාම ලෑස්ති නැහැ කියලා ඒක කරන්න ඉලක්කයක් තියන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔහු කැමති විදිහට වෙනස් කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. (ෆිලි. 2:13; 3:16) ඔයා කරන ඒ වගේ යාච්ඤාවලට ඔහු ඇහුම්කන් දීලා ඔයාට උදව් කරයි කියලා කිසිම සැකයක් නැහැ.—1 යොහ. 5:14.

ඇයි සමහරු අදිමදි කරන්නේ?

11. දිගටම විශ්වාසවන්තව ඉන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

11 බව්තීස්ම වෙන්න සමහරුන්ට එහෙමටයි කියලා බාධාවක් නැහැ. ඒත් එයාලා ඒකට අදිමදි කරනවා. මොකද එයාලා හිතනවා ‘බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් බරපතළ වරදක් වෙලා මාව සභාවෙන් අයින් කරයිද’ කියලා. ඔයාටත් එහෙම බයක් දැනෙනවාද? එහෙමනම් මේ දේ විශ්වාස කරන්න. ‘දෙවියන්ව සියල්ලේදී සතුටු කරලා ඔහුට ඔබින විදිහට ජීවිතේ ගත කරන්න’ ඔයාට ඕන හැම උදව්වක්ම ඔහු දෙනවා. (කොලො. 1:10) ඒකට ඕනෙ කරන ශක්තියත් ඔහු අනිවාර්යයෙන්ම දෙනවා. මේ වෙද්දීත් ඔහුගේ උදව්වෙන් හුඟදෙනෙක් විශ්වාසවන්තව ඉන්නවා. (1 කොරි. 10:13) ඒ නිසයි ටිකදෙනෙක්ව විතරක් සභාවෙන් ඉවත් කරන්න වෙන්නේ.

12. බරපතළ වරදකට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

12 අපි හැමෝටම වැරදි පෙලඹීම් එනවා. (යාකො. 1:14) හැබැයි ඒවාට අහු වෙනවාද, නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. තව විදිහකින් කියනවා නම් ඔයා කරන්නේ මොනවාද, කරන්නේ නැත්තේ මොනවාද කියලා තීරණය කරන්නේ ඔයාමයි. ඒත් සමහරුන්ට හිතෙන්න පුළුවන් හැම වැරදි පෙලඹීමක්ම පාලනය කරගන්න අපිට බැහැ කියලා. ඒත් ඒක වැරදියි. ඔයාට පුළුවන් ඔයාව පාලනය කරගන්න ඉගෙනගන්න. ඉතින් හිතට වැරදි පෙලඹීමක් ආවාම ඒකට හිතේ පදිංචි වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒක ඔයාගේ හිතෙන් පන්නලා දාන්න. ඒකට යාච්ඤාව, බයිබල් කියවීම, අධ්‍යයනය, රැස්වීම් සහ සේවය උදව් වෙනවා. ඔයා ඒ දේවල් දිගටම කරනවා නම් කැප වෙද්දී ඔයා වුණ පොරොන්දුව රකින්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. කවදාවත් අමතක කරන්න එපා ඔයා මේ දේ කරන්නේ තනියම නෙවෙයි, ඔයාගේ උදව්වට යෙහෝවා ඉන්නවා.—ගලා. 5:16.

13. යෝසෙප් අපිට ආදර්ශයක් තිබ්බේ කොහොමද?

13 වැරදි පෙලඹීමක් එන්න පුළුවන් කොයි වගේ අවස්ථාවලදීද කියලා කලින්ම අඳුරගෙන හිටියොත් ඔයාට පුළුවන් ඒකට හොඳට මුහුණ දෙන්න. ඇත්තටම ඒක කරන්න පුළුවන් දෙයක්ද? ඔව්. පාපය උරුම කරගෙන හිටියත් එහෙම කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි යෝසෙප්. පොතිෆර්ගේ භාර්යාව දිගින් දිගටම එයාව වැරදි දේකට පොලඹවාගන්න හැදුවත් යෝසෙප් ඒකට කිසිම ඉඩක් දුන්නේ නැහැ. යෝසෙප් කිව්වා “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද” කියලා. (උත්. 39:8-10) වැරදි දෙයක් කරන්න පීඩනයක් එන්න කලින්ම ඒ වගේ වෙලාවට කරන්න ඕනෙ මොනවාද කියලා යෝසෙප් අධිෂ්ඨාන කරගෙන හිටියා. ඒ නිසා හරි දේ කරන්න එයාට අමාරු වුණේ නැහැ.

14. වැරදි පෙලඹීමකට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

14 ඔයාටත් පුළුවන් යෝසෙප් වගේ වැරදි පෙලඹීමක් එද්දී කරන්න ඕනෙ මොනවාද කියලා දැන් තියාම හිතන්න. යෙහෝවා අකමැති දේවල්වලට කෙළින්ම බැහැ කියලා කියන්න පුරුදු වෙන්න. අඩුම ගාණේ ඒ වගේ දෙයක් හිතින්වත් හිතන්න එපා. (ගීතා. 97:10; 119:165) එහෙම කරනවා නම් වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී ඔයා වැනිවැනී ඉන්නේ නැහැ. ඔයා දන්නවා ඒ වෙලාවේදී කරන්න ඕනෙ හරි දේ මොකක්ද කියලා.

15. “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතනවා” කියලා කෙනෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද? (හෙබ්‍රෙව් 11:6)

15 ‘මේක තමයි සත්‍යය. මං යෙහෝවාට මුළු හදවතින්ම සේවය කරන්න ඕනේ.’ සමහරවිට ඔයාත් එහෙම හිතනවා ඇති. හැබැයි මොකක් හරි හේතුවක් නිසා ඔයා බව්තීස්මය කල් දානවා ඇති. ඔයාගේ තත්වයත් ඒක නම් ඔයාටත් පුළුවන් දාවිත් වගේ යෙහෝවාගෙන් මෙහෙම ඉල්ලන්න. “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා මට සදහටම මඟ පෙන්වන්න.” (ගීතා. 139:23, 24) ඒ විදිහට “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට” යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. ඉතින් ඔයා කැප වෙලා බව්තීස්ම වෙන්න ටිකෙන් ටික පියවර ගද්දී ඔයා පෙන්නනවා ඔයා මුළු හදවතින්ම දෙවියන්ගේ මඟ පෙන්වීම් පතනවා කියලා.—හෙබ්‍රෙව් 11:6 කියවන්න.

දිගටම යෙහෝවාට ළං වෙන්න

16-17. සත්‍යයේ හැදී වැඩුණ කෙනෙක්ව යෙහෝවා ඔහුට ළං කරගන්නේ කොහොමද? (යොහන් 6:44)

16 යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා යෙහෝවා දෙවියන් එයාලව ඔහු වෙතට ළං කරගෙන තියෙනවා කියලා. (යොහන් 6:44 කියවන්න.) ඒක කොච්චර ලස්සන අදහසක්ද! ඒ කියන්නේ යෙහෝවා එක් එක් කෙනා ළඟ තියෙන ලස්සන ගතිගුණ දැකලා එයාලව ඔහුට ළං කරගන්නවා. ඒකයි බයිබලේ කියන්නේ ඔහු ඔයාව විශේෂයෙන්ම තෝරාගෙන තියෙනවා කියලා.—ද්වි. 7:6.

17 සමහරවිට ඔයා පොඩි කාලේ ඉඳන්ම සත්‍යයේ හැදී වැඩුණ කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා ඔයාට හිතෙන්න පුළුවන් ‘මං සත්‍යයට ආවේ අම්මලාගේ අතේ එල්ලිලා මිසක් යෙහෝවා මාව ගත්ත නිසා නෙවෙයි’ කියලා. හැබැයි බයිබලේ මෙහෙම කියනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකො. 4:8; 1 ලේක. 28:9) ඒ කියන්නේ ඔයා යෙහෝවාට ළං වෙද්දී ඔහුත් ඔයාට ළං වෙනවා කියන එකයි. යෙහෝවා ඔයාව දකින්නේ “අරයාගේ පුතා, මෙයාගේ දුව” කියලා නෙවෙයි. යෙහෝවාට ඔයා වෙනමම කෙනෙක්, විශේෂ කෙනෙක්. ඔයා පොඩි කාලේ ඉඳන් සත්‍යයේ හැදී වැඩුණත් නැතත් ඒකේ වෙනසක් නැහැ.—2 තෙස. 2:13.

18. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද? (ගීතාවලිය 40:8)

18 කැප වෙලා බව්තීස්ම වෙද්දී ඔයා ආදර්ශයට ගන්නේ යේසුස්ව. මොකද යේසුස් තමන්ගේ තාත්තාගේ කැමැත්ත වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියා. (ගීතාවලිය 40:8 කියවන්න; හෙබ්‍රෙ. 10:7) ඒත් බව්තීස්මෙන් පස්සෙත් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි ලබන සතියේ බලමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • දෙවියන්ට කැප වෙනවා කියන්නේ මොකක්ද?

  • දෙවියන් ගැන තියෙන අගය ඔහුට කැප වෙන්න උදව් වෙන්නේ කොහොමද?

  • වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු නොවී ඉන්න උදව් වෙන්නේ මොකක්ද?

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය