Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 10

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

බව්තීස්මයෙන් පස්සෙත් යේසුස් අනුව යන්න

බව්තීස්මයෙන් පස්සෙත් යේසුස් අනුව යන්න

“යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර තමන්ගේ වධකණුව රැගෙන දිගටම එනම්, දිනපතා මා අනුව එන්න අවශ්‍යයි.”ලූක් 9:23.

ලිපියේ අරමුණ

කැප වීමේ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න උදව් වෙන තොරතුරු මේ ලිපියේ තියෙනවා. විශේෂයෙන්ම ළඟදී බව්තීස්ම වුණ අයට දිගටම විශ්වාසවන්තව සේවය කරන්න මේ තොරතුරු උදව් වෙයි.

1-2. බව්තීස්මයෙන් පස්සේ අපේ ජීවිත හොඳ අතට හැරෙන්නේ කොහොමද?

 බව්තීස්ම වුණ හැමෝටම මිල කරන්න බැරි වටිනා අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි යෙහෝවා දෙවියන්ගේ පවුලට එකතු වෙන්න ලැබෙන එක. ඒ ගැන හිතද්දී ඔයාටත් දැනෙන්නේ දාවිත් යෙහෝවාට කියපු මේ දේමයි කියලා කිසිම සැකයක් නැහැ. “ඔබේ මාලිගාවේ මළුවෙහි වාසය කිරීමට ඔබ තෝරාගත්, ඔබ ළඟට පැමිණීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත්ය.”—ගීතා. 65:4.

2 යෙහෝවා දෙවියන් ඔහුගේ මාලිගාවේ මළුවේ වාසය කරන්න හැමෝවම තෝරගන්නේ නැහැ. අපි කලින් ලිපියේ බැලුවා වගේ ඔහු තෝරගන්නේ ඔහුට ළං වෙන්න පියවර ගත්ත අයව විතරයි. (යාකො. 4:8) ඒකෙන් තේරෙනවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙද්දී ඔයා හරිම විශේෂ විදිහකින් ඔහුට ළං වෙනවා කියලා. ඒ තීරණයෙන් පස්සේ ගෙවෙන හැම දවසකම ඔහු ඔයාගේ ‘ගබඩා පිරී ඉතිරී යන තරමට ආශීර්වාද කරයි’ කියලා සහතිකයි.—මලා. 3:10; යෙරෙ. 17:7, 8.

3. බව්තීස්ම වුණ අයට තියෙන්නේ මොන වගකීමද? (දේශනාකාරයා 5:4, 5)

3 කැප වෙද්දී යෙහෝවාට වුණ පොරොන්දුව ඉටු කරන්න බව්තීස්මයෙන් පස්සේ ඔයා ඕනම දෙයක් කරයි. වැරදි පෙලඹීම් ආවත් විශ්වාසය සෝදිසියට ලක් වුණත් ඔයා දිගටම ස්ථිරව ඉඳියි. (දේශනාකාරයා 5:4, 5 කියවන්න.) ඔයාට ඕනෙ යේසුස් දීලා තියෙන ආඥා පිළිපැදලා පුළුවන් තරම් කිට්ටුවෙන් ඔහුව අනුගමනය කරන්න. (මතෙ. 28:19, 20; 1 පේතෘ. 2:21) ඒකට මේ ලිපිය ඔයාට උදව් වෙයි.

පරීක්ෂා සහ වැරදි පෙලඹීම් මැද

4. යේසුස්ගේ අනුගාමිකයන්ට “වධකණුව” අරන් යන්න වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ලූක් 9:23)

4 බව්තීස්ම වුණා කියලා ඔයාගේ ප්‍රශ්න ඔක්කොම නැති වෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන්ට ‘දිනපතා වධකණුව රැගෙන ඔහු අනුව එන්න වෙනවා’ කියලා. (ලූක් 9:23 කියවන්න.) ඒ කියන්නේ දවසක් නෑර අපිට දුක් විඳින්න වෙනවාද? නැහැ. යේසුස් මේ කියන්නේ අපිට ආශීර්වාද වගේම අභියෝගත් එනවා කියලා. ඒ සමහර ඒවා ගොඩක් වේදනාකාරියි.—2 තිමෝ. 3:12.

5. කැප කිරීම් කරන අයට මොන ආශීර්වාද ලැබෙනවා කියලද යේසුස් පොරොන්දු වුණේ?

5 සමහරවිට මේ වෙද්දීත් සත්‍යය නිසා පවුලේ අයගෙන් ඔයාට ගොඩක් ප්‍රශ්න එනවා ඇති. දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕන නිසා හොඳට සල්ලි හම්බ කරන්න තියෙන අවස්ථාත් ඔයා නැති කරගෙන ඇති. (මතෙ. 6:33) ඔයා කරන ඒ හැම කැප කිරීමක්ම යෙහෝවා දකිනවා. (හෙබ්‍රෙ. 6:10) ඒ නිසා යේසුස් කියපු මේ වචන කොච්චර ඇත්තද කියලා සමහරවිට මේ වෙද්දීත් ඔයා අද්දකිනවා ඇති. “මා නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක් ගෙවල් දොරවල් හෝ සහෝදර සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර ඇත්නම්, ඔහුට මේ කාලයේදීම සිය ගුණයකින් ගෙවල්ද සහෝදර සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද වතුපිටිද ඒ සමඟ හිංසා පීඩාද ලැබෙයි. ඒ වගේම මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයත් ඔහුට ලැබෙයි.” (මාක් 10:29, 30) ඔයා යෙහෝවා වෙනුවෙන් මොන කැප කිරීම කළත් ඒ හැම දේටම වඩා සිය දහස් ගුණයකින් ඔයාට ආශීර්වාද ලැබෙනවාමයි. ඒකේ කතා දෙකක් නැහැ.—ගීතා. 37:4.

6. බව්තීස්මයෙන් පස්සෙත් “ඉඳුරන් පිනවීමේ ආශාවට” විරුද්ධව දිගටම සටන් කරන්න ඕනෙ ඇයි?

6 බව්තීස්මයෙන් පස්සෙත් ඔයාට “ඉඳුරන් පිනවීමේ ආශාවට” විරුද්ධව දිගටම සටන් කරන්න වෙයි. (1 යොහ. 2:16) බව්තීස්ම වුණත් ඔයා තාමත් පාපය උරුම කරගත්ත කෙනෙක්. සමහරවිට ඔයාටත් පාවුල්ට වගේ මෙහෙම දැනෙයි. “මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.” (රෝම 7:22, 23) වැරදි පෙලඹීම් එද්දී පාවුල් වගේ ඔයාත් කලකිරෙයි. ඒත් ඒ වෙලාවට ඔයා යෙහෝවාට වුණ පොරොන්දුව මතක් කරගන්න. එතකොට හරි තීරණේ ගන්න ඔයාට ලේසි වෙයි.

7. කැප වෙද්දී යෙහෝවාට වෙන පොරොන්දුව ඔහුට විශ්වාසවන්තව ඉන්න උදව් වෙන්නේ කොහොමද?

7 දෙවියන්ට කැප වුණාට පස්සේ ඔයාගේ ජීවිතේ ඔයාට අයිති නැහැ. ඒක යෙහෝවාගේ. ඒ නිසා ඔයා ඔහු අකමැති ඉලක්ක, ආශාවන් පස්සේ යන්නේ නැහැ. (මතෙ. 16:24) වැරදි පෙලඹීම් එද්දී, අභියෝග එද්දී ඔයාට හිතහිත ඉන්න දෙයක් නැහැ. මොකද ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයා දැනටමත් තීරණයක් අරන් ඉවරයි. සාතන් මොන පාර පෙන්නුවත් ඔයා ඒ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මොකද ඔයාගේ එකම අධිෂ්ඨානය දෙවියන්ව සතුටු කරන එක. හරියට යෝබ් වගේ. යෝබ්ටත් අභියෝග එද්දී එයා ස්ථිරවම කිව්වා “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” කියලා.—යෝබ් 27:5.

8. කැප වෙද්දී වුණ පොරොන්දුව වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න උදව් වෙන්නේ කොහොමද?

8 කැප වෙද්දී ඔයා දෙවියන්ට යාච්ඤාවකින් විශේෂ පොරොන්දුවක් වෙනවා. ඒ පොරොන්දුව ගැන හිතන එක වැරදි පෙලඹීම්වලට යට නොවී ඉන්න උදව්වක්. උදාහරණෙකට ඔයා කවදාවත් විවාහ වුණ කෙනෙක් එක්ක ඉඟි බිඟි පාන්නේ නැහැ. මොකද ඔයා යෙහෝවාට පොරොන්දු වුණා ඔහු අකමැති දේවල් කරන්නේ නැහැ කියලා. වැරදි හැඟීමක් හිතේ මුල් අදින්න කලින් ඒක උගුල්ලනවා නම් නියපොත්තෙන් කඩන්න තියෙන දෙයක් පොරොවෙන් කපන තැනට එන්නේ නැහැ. එතකොට ඔයා ඇත්තටම කරන්නේ ‘දුෂ්ටයන්ගේ මාර්ගවලින් අහකට හැරිලා යන එකයි.’—හිතෝ. 4:14, 15.

9. කැප වීමේ පොරොන්දුව ගැන හිතන එක දෙවියන්ට මුල් තැන දෙන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

9 හිතන්න ඔයාට හොඳ රස්සාවක් හම්බ වෙනවා. හැබැයි ඒක භාරගත්තොත් ඔයාට රැස්වීම් අතපසු වෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? ඒ ගැන හිතහිත ඉන්න දෙයක් නැහැ, මොකද රස්සාව නිසා නමස්කාරය දෙවෙනි තැනට දාන්නේ නැහැ කියලා ඔයා යෙහෝවාට පොරොන්දු වුණේ ඔය රස්සාව හම්බ වෙන්න කලින්. ‘දැනට රස්සාව භාරගන්නවා. පස්සේ රැස්වීම් යන්න මොකක් හරි විදිහක් හදාගන්න පුළුවන්’ කියලා ඔයා හිතන්නෙත් නැහැ. ඔයාත් යේසුස් වගේ දෙවියන් අකමැති දේකදී කෙළින්ම බැහැ කියනවා.—මතෙ. 4:10; යොහ. 8:29.

10. බව්තීස්මයෙන් පස්සෙත් ‘දිගටම යේසුස් අනුව යන්න’ යෙහෝවා ඔයාට උදව් කරන්නේ කොහොමද?

10 වැරදි පෙලඹීම්, අභියෝග එද්දී ඔයාට අවස්ථාවක් ලැබෙනවා ඔයා ‘දිගටම යේසුස් අනුව යනවා’ කියලා ඔප්පු කරන්න. හැබැයි ඒ දේ කරන්න වෙන්නේ ඔයාගේ තනි හයියෙන් නෙවෙයි. මොකද බයිබලේ මෙහෙම කියනවා. “දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.”—1 කොරි. 10:13.

දිගටම යේසුස් අනුව යන්නේ කොහොමද?

11. දිගටම යේසුස් අනුව යන්න පුළුවන් හොඳම විදිහක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

11 යේසුස් හරිම උද්‍යෝගයෙන් සේවය කළා. ඔහු යාච්ඤාවෙන් හැම තිස්සේම යෙහෝවා දෙවියන්ට ළං වෙලා හිටියා. (ලූක් 6:12) ඔයාටත් පුළුවන් දෙවියන්ට ළං වෙන්න උදව් වෙන ඒ වගේ දේවල් ජීවිතේ කොටසක් කරගන්න. ඒක බව්තීස්මයෙන් පස්සෙත් දිගටම යේසුස් අනුව යන්න ඔයාට කරන්න පුළුවන් හොඳම දේවල්වලින් එකක්. බයිබලෙත් කියනවා “මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු” කියලා. (ෆිලි. 3:16) සේවය වැඩි කරපු අයගේ අද්දැකීම් ගැනත් ඔයා අහලා ඇති. සමහරු සේවය වැඩි කරන්න හිතාගෙන ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට ගිහිල්ලා තියෙනවා. තවත් අය ප්‍රචාරකයන් අඩු පැතිවල සේවය කරනවා. ඔයාටත් ඒ ඉලක්ක තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. (ක්‍රියා 16:9) හැබැයි ඔයාගේ තත්වයන් නිසා ඒ වගේ දෙයක් කරන්න බැරි නම් කලකිරෙන්න එපා. ඔයා ඒ සහෝදරයන්ට වඩා වටිනාකමින් අඩුයි කියලා හිතන්නත් එපා. මොකද වැදගත්ම දේ කොහොමහරි අවසානය දක්වාම විඳදරාගෙන දුවන එක. (මතෙ. 10:22) ඔයා දෙවියන්ට කරන උපරිමය ඔහුට ගොඩක් වටිනවා. ඒ නිසා ඔයාට පුළුවන් දේ කරන්න. මොකද දිගටම යේසුස් අනුව යන්න ඒක අපි කරන්නම ඕන දෙයක්.—ගීතා. 26:1.

බව්තීස්මයෙන් පස්සෙත් යෙහෝවාට ළං වෙන්න උදව් වෙන දේවල් දිගටම කරන්න (11 ඡේදය බලන්න)


12-13. ඔයාගේ උද්‍යෝගය අඩු වෙලා කියලා දැනෙනවා නම් කරන්න පුළුවන් මොනවාද? (1 කොරින්ති 9:16, 17) (“ දිගටම තරඟයේ රැඳිලා ඉන්න” කියන කොටුවත් බලන්න.)

12 යාච්ඤාව, සේවය කරන්නන් වාලේ කරගෙන යනවා කියලා ඔයාට දැනෙනවාද? බයිබලේ කියවද්දී වෙනදා වගේ සතුටක් දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙන්නේ ඔයාට දෙවිගේ බලය නැති නිසා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද පාපය උරුම කරගත්ත මිනිස්සු විදිහට කාලෙන් කාලෙට අපිට හැඟෙන දැනෙන විදිහ වෙනස් වෙනවා. පාවුල්ටත් එහෙම වුණා. එයාටත් ඕනෙ වුණේ හැම වෙලේම යේසුස්ව අනුගමනය කරන්න. හැබැයි සමහර වෙලාවට එයාටත් ඒක කරන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. (1 කොරින්ති 9:16, 17 කියවන්න.) ඒත් පාවුල් මෙහෙම කිව්වා. “මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.” වෙන විදිහකින් කියනවා නම් හිතේ ලොකු ආසාවක් නැති වෙලාවල වුණත් පාවුල් එයාට භාර දීලා තිබුණ සේවය කරන්න අධිෂ්ඨාන කරගෙන හිටියා.

13 කලින් වගේ නමස්කාරයේ දේවල් කරන්න ලොකු ආසාවක් නැහැ කියලා හැඟුණත් ඒ හැඟීම්වලට යට වෙන්න එපා. ඔයා කොහොමහරි දිගටම ඒ දේවල් කරනවා නම් කාලයත් එක්කම නැති වුණ ඒ සතුට ඔයාට ආයේ ලැබෙයි. බව්තීස්මයෙන් පස්සෙත් දිගටම යේසුස් අනුව යන්න නම් නමස්කාරයේ දේවල් පිළිවෙළකට කරන එක හරිම වැදගත්. ඔයා එහෙම කරද්දී ඒක අනිත් අයටත් ලොකු දිරිගැන්වීමක්.—1 තෙස. 5:11.

සෝදිසි කරලා ස්ථිර කරගන්න

14. ඔයා නිතරම සෝදිසි කරලා බලන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි? (2 කොරින්ති 13:5)

14 බව්තීස්මයෙන් පස්සෙත් ඔයාගේ යාච්ඤාව, බයිබල් කියවීම සහ අධ්‍යයනය, සේවය, රැස්වීම් යන එක හොඳට වෙනවාද කියලා නිතරම සෝදිසි කරන එක වැදගත්. (2 කොරින්ති 13:5 කියවන්න.) ඔයා දැනටමත් ඒ දේවල් කරනවා ඇති. ඒත් ඒවාවලින් තව ප්‍රයෝජන ගන්න පුළුවන් විදි ගැනත් හිතන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් මේ වගේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න. ‘බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් තව කෙනෙක්ට තේරෙන විදිහට පැහැදිලි කරන්න මට පුළුවන්ද? සේවෙන් ලැබෙන සතුට තව වැඩි කරගන්න මට කරන්න පුළුවන් දේවල් තියෙනවාද? සමහර දේවල් ගැන නිශ්චිතවම කියලා මං යෙහෝවාට යාච්ඤා කරනවාද? මගේ යාච්ඤාවෙන් පේනවාද මං දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියලා? වරද්දන්නේ නැතුව මං රැස්වීම් යනවාද? රැස්වීම්වලදී මීට වඩා අවධානය දෙන්න, තව හොඳින් අදහස් දෙන්න මට පුළුවන්ද?’

15-16. සහෝදර රොබට්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

15 ඔයාට දුර්වලකමක් තියෙනවාද කියලා අවංකවම සෝදිසි කරලා බලන එකත් වැදගත්. සහෝදර රොබට් කියන දේ බලන්න. “අවුරුදු 20දී විතර මං පොඩි ජොබ් එකක් කළා. දවසක් එතන වැඩ කරපු ගෑනු ළමයෙක් මට එයාගේ ගෙදරට එන්න කිව්වා. එයා කිව්වා ගෙදර කවුරුත් නෑ, ඒ නිසා අපි දෙන්නාට හොඳට විනෝද වෙන්න පුළුවන් කියලා. මං මුලදී බොරු හේතු කියලා මඟ අරින්න බැලුවත් ඒක හරි ගියේ නැති නිසා මං කෙළින්ම බෑ කිව්වා. එහෙම කියන්නේ ඇයි කියලත් පැහැදිලි කළා.” රොබට් ඒ වෙලාවේ කළේ හරි දේ. එයාව ගොඩක් අගය කරන්න ඕනේ. හැබැයි ඒ සිද්ධිය ගැන කල්පනා කරද්දී රොබට් කියනවා එයාට ඒ වෙලාවේ ඊට වඩා කෙළින් වැඩ කරන්න තිබ්බා කියලා. බලන්න එයා කියන දේ. “මං යෝසෙප් වගේ කෙළින්ම බෑ කියලා කිව්වේ නෑ. (උත්. 39:7-9) මට තාම හිතාගන්න බෑ එයාට බෑ කියලා කියන්න ඇයි මට එච්චර අමාරු වුණේ කියලා. මට තේරුණා මගේ පැත්තෙනුත් මොකක් හරි අඩුවක් තිබ්බා කියලා. මට එදා තේරුණා මං ඊට වඩා යෙහෝවාට ළං වෙන්න මහන්සි වෙන්න ඕනෙ කියලා.”

16 ඔයාත් ඔයාවම සෝදිසි කරලා බලන එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. සමහරවිට ඔයා වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉඳලා ඇති. හැබැයි ඒ දේට බැහැ කියලා කියන්න ඔයාට කොච්චර වෙලාවක් ගියාද? ඔයාට තේරුණොත් ඔයා තව දියුණු වෙන්න ඕනෙ කියලා අධෛර්යය වෙන්න එපා. ඒ වෙනුවට ඔයා ඔයාගේ දුර්වලකම හඳුනගත්ත එක ගැන සතුටු වෙන්න. ඒ ගැන යෙහෝවාට දිගටම යාච්ඤා කරන්න. ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න දිගටම මහන්සි වෙන්න.—ගීතා. 139:23, 24.

17. රොබට්ගේ අද්දැකීමෙන් පේන විදිහට අපි කරන දේවල් යෙහෝවාගේ නමට බලපාන්නේ කොහොමද?

17 රොබට්ගේ කතාව එතනින් ඉවර නැහැ, තව තියෙනවා. බලන්න එයා කියන දේ. “මං ඒ ගෑනු ළමයාට බෑ කියලා කිව්වාට පස්සේ එයා එකපාරටම කිව්වා ‘හරි, ඔයා පාස්’ කියලා. මං ඇහුවා ‘මොකක්ද ඒ කතාවේ තේරුම’ කියලා. එතකොටයි එයා විස්තරේ කිව්වේ. එයාගේ එක යාළුවෙක් කලින් සාක්ෂිකරුවෙක්ලු. ඒ යාළුවා මෙයාට කියලා තිබුණා ‘ඔය සාක්ෂිකාර කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකයි. ඇතුළට එකක්, පිටට තව එකක්’ කියලා. ඉතිං මේ ගෑනු ළමයා යාළුවාට කියලා තියෙනවා මාත් ඒ ජාතියේ කෙනෙක්ද කියලා බලමු කියලා. ඒකයි එයා මට ඒ වගේ යෝජනාවක් කරලා තියෙන්නේ. එවෙලේ මට පුදුම සතුටක් දැනුණේ. මොකද මට පුළුවන් වුණා යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න.”

18. බව්තීස්මයෙන් පස්සෙත් ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද? (“ ඔයාට උදව් වෙන ලිපි දෙකක්!” කියන කොටුවත් බලන්න.)

18 ඔයා කැප වෙලා බව්තීස්ම වෙද්දී පෙන්නන්නේ මොන දේ වුණත් යෙහෝවා දෙවියන්ගේ නමට ගෞරවයක් දෙන්න ඔයාට ඕනෙ කියන එකයි. මේ ගමනේදී ඔයාට අභියෝග එයි. හිතට වැරදි පෙලඹීම් එයි. ඒවා අකුරක් නෑර යෙහෝවා දන්නවා. මේ ගමන යන්න ඔහු ඔහුගේ බලයත් ඔයාට දෙනවා. (ලූක් 11:11-13) ඒ වගේම ඔහු ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාදත් කරනවා. දෙවියන්ගේ උදව් ඔයාට ලැබෙන නිසා බව්තීස්මයෙන් පස්සෙත් දිගටම යේසුස් අනුව යන්න ඔයාට පුළුවන්.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • ‘වධකණුව රැගෙන දිගටම යන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

  • බව්තීස්මයෙන් පස්සෙත් ‘දිගටම යේසුස් අනුව යන්න’ ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • කැප වෙද්දී වුණ පොරොන්දුව ගැන හිතන එක දිගටම විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද