Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 13

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලා විශ්වාසද?

යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලා විශ්වාසද?

“මම ඔබව අනුමත කළෙමි.”ලූක් 3:22.

ලිපියේ අරමුණ

යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලත් ඔහුගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලත් කිසිම සැකයක් තියාගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

1. සමහර විශ්වාසවන්ත සේවකයන් පවා පොරබැද්දේ මොන සිතුවිල්ලත් එක්කද?

 “යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟ ගැන සතුටු වෙනවා” කියලා දැනන් ඉන්න එක අපිට ලොකු සතුටක්. (ගීතා. 149:4) හැබැයි සමහර වෙලාවට ඔයාට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘යෙහෝවා මං ගැනත් සතුටු වෙනවාද, ඇත්තටම ඔහුගේ අනුමැතිය මට තියෙනවාද?’ දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් පවා ඒ වගේ සිතුවිල්ලක් එක්ක පොරබැදලා තියෙනවා.—1 සාමු. 1:6-10; යෝබ් 29:2, 4; ගීතා. 51:11.

2. යෙහෝවාගේ අනුමැතිය තියෙන්නේ කාටද?

2 බයිබලේ පෙන්නනවා පාපය උරුම කරගත්ත මිනිස්සුන්ට වුණත් යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න පුළුවන් කියලා. හැබැයි ඒකට අපි යේසුස් ගැන විශ්වාසය තියලා බව්තීස්ම වෙන්න ඕනේ. (යොහ. 3:16) එතකොට අපි හැමෝම ඉස්සරහා පෙන්නනවා අපි අපේ පව් ගැන පසුතැවිලා දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා කියලා. (ක්‍රියා 2:38; 3:19) අපි ඒ විදිහට යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පියවර ගනිද්දී ඒකෙන් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙනවා. අපි කැප වීමේ පොරොන්දුවට එකඟව ජීවත් වෙන තාක් කල් දෙවියන් අපිට ඔහුගේ අනුමැතිය දෙනවා වගේම අපිව ඔහුගේ කිට්ටු යාළුවෝ විදිහටත් සලකනවා.—ගීතා. 25:14.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

3 ඒත් සමහර වෙලාවට දෙවියන්ගේ අනුමැතිය නැහැ කියලා අපිට හිතෙන්නේ ඇයි? යෙහෝවාගේ අනුමැතිය අපිට තියෙනවා කියලා ඔහු පෙන්නන්නේ මොන විදිවලින්ද? ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා අපිටම සහතික කරගන්න පුළුවන් කොහොමද?

අනුමැතිය නැහැ කියලා හිතෙන්නේ ඇයි?

4-5. අපි වටින්නේ නැහැ කියලා හිතුණත් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

4 හුඟක් අයට පුංචි කාලේ ඉඳන්ම හිතෙන්නේ තමන් වටින්නේ නැහැ කියලා. (ගීතා. 88:15) සහෝදර ඒඩ්‍රියන් මෙහෙම කියනවා. “මට හිතුණා මගෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මට මතකයි මං පොඩි කාලේ යාච්ඤා කරලා කියනවා ‘අනේ යෙහෝවා, මං පාරාදීසෙට යන්න තරම් හොඳ කෙනෙක් නෙවෙයි. හැබැයි මාව නැතත් මගේ පවුලේ අයව ගෙනියන්න’ කියලා.” ටෝනි සත්‍යයේ හැදී වැඩුණ කෙනෙක් නෙවෙයි. එයා මෙහෙම කියනවා. “මගේ අම්මලා කවදාවත් මට ආදරෙයි කියලා නෑ. මං කරපු දෙයක් අගය කරලත් නෑ. ඒ නිසා මට හිතුණේ මොනා කළත් මට එයාලව සතුටු කරන්න බෑ කියලා.”

5 ඔයාගෙන් වැඩක් නැහැ කියලා ඔයාටත් දැනෙනවා නම් මේක මතක තියාගන්න. යෙහෝවා තමයි ඔයාව ඔහු ළඟට ඇදලා ගත්තේ. (යොහ. 6:44) ඒ ඔහු ඔයාගේ හදවත දැක්ක නිසයි. (1 සාමු. 16:7; 2 ලේක. 6:30) ඔයාවත් දැකලා නැති ඔයාගේ හොඳ ගුණාංග යෙහෝවා දැක්කා. ඉතින් ඔහුම කියනවා නම් “ඔයා මට ගොඩක් වටිනවා” කියලා ඒ ගැන සැක කරන්න එපා.—1 යොහ. 3:19, 20.

6. කරපු වැරදි ගැන පාවුල්ට දැනුණේ කොහොමද?

6 සත්‍යයට එන්න කලින් කරපු වැරදි ගැන තාමත් සමහරුන්ගේ හිත වධ දෙනවා. (1 පේතෘ. 4:3) ඔයාටත් එහෙම දැනෙනවා නම් ඒ ගැන දුක් වෙන්න එපා. දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ටත් එහෙම දැනුණා. උදාහරණෙකට පාවුල්ට හිතුණා එයා මහා කාලකණ්ණි මනුස්සයෙක් කියලා. (රෝම 7:24) පාවුල් කියන්නේ වැරදි ගැන අවංකව පසුතැවිලි වෙලා බව්තීස්ම වුණ කෙනෙක්. එහෙම වෙලත් එයාට දැනුණේ එයා “නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා” සහ “පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා” කියලා.—1 කොරි. 15:9; 1 තිමෝ. 1:15.

7. අතීතයේදී අපි අතින් වුණ වැරදි ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

7 අපි අපේ වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙනවා නම් අපිට සමාව දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා. (ගීතා. 86:5) ඔයාත් ඔයා කරපු වැරදි ගැන පසුතැවිලි වෙලා නම් ඉන්නේ යෙහෝවා ඒවාට සමාව දුන්නා කියලා විශ්වාස කරන්න.—කොලො. 2:13.

8-9. කොච්චර දේවල් කළත් දෙවියන්ව සතුටු කරන්න ඒ දේවල් මදි කියලා හිතුණොත් කරන්න පුළුවන් මොකක්ද?

8 අපි හැමෝටම ඕනෙ යෙහෝවා දෙවියන් වෙනුවෙන් උපරිමය දෙන්න. ඒත් සමහරුන්ට හිතෙන්න පුළුවන් ‘මං කොච්චර දේවල් කළත් යෙහෝවාව සතුටු කරන්න ඒ මදි’ කියලා. බලන්න සහෝදරි ඇමෙන්ඩා කියන දේ. “උපරිමය කියද්දී මගේ මනසේ තිබ්බේ හැම වෙලේම මීට වඩා දෙයක් කරන්න ඕනෙ කියන එක. ඒ නිසා මං මගෙන් ඕනාට වඩා බලාපොරොත්තු වුණා. ඒවා කරගන්න බැරි වුණාම මට අප්සට් ගියා. මං හිතුවේ යෙහෝවාත් මං ගැන හිතන්නේ ඒ විදිහටමයි කියලා.”

9 යෙහෝවා කියන්නේ හිතේ කිසි තෙතමනයක් නැති දැඩි කෙනෙක් නෙවෙයි. ඔහු කවදාවත් කරන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපේ උපරිමය කරද්දී ඔහු ඒක ගොඩක් අගය කරනවා. දෙවියන් අතීතයේ හිටපු ඔහුගේ සේවකයන් එක්ක වැඩ කරපු විදිහෙන් ඒක තේරෙනවා. පාවුල් ගැන හිතන්න. පාවුල් අවුරුදු ගාණක් තිස්සේ සැතපුම් දහස් ගාණක් ගෙවාගෙන උද්‍යෝගයෙන් සේවය කළා. අලුතෙන් සභා පිහිටුවන්න උදව් කළා. හැබැයි එයාගේ තත්වය වෙනස් වුණාම එයාට කලින් වගේ සේවය කරගන්න බැරි වුණා. එතකොට යෙහෝවාගේ අනුමැතිය එයාට නැති වුණාද? නැහැ. පාවුල් එයාගේ උපරිමය කරපු නිසා දෙවියන් එයාට ආශීර්වාද කළා. (ක්‍රියා 28:30, 31) අදත් අපි මුහුණ දෙන තත්වයන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ වගේ වෙලාවට යෙහෝවා බලන්නේ අපි කරන ප්‍රමාණය නෙවෙයි, ඒක කරන්න අපි පෙලඹෙන හේතුවයි.

අනුමැතිය පෙන්නන විදි

10. අද අපිට යෙහෝවාගේ අනුමැතිය තියෙනවා කියලා “ඇහෙන්නේ” කොහොමද? (යොහන් 16:27)

10 බයිබලෙන්. යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ආදරෙයි කියලත් ඔහුගේ අනුමැතිය එයාලට තියෙනවා කියලත් පෙන්නන්න හරිම කැමතියි. යේසුස් මේ පොළොවේ ඉද්දීත් දෙවියන් අවස්ථා දෙකකදීම කිව්වා ඔහුගේ ආදරණීය පුතාට ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා. (මතෙ. 3:17; 17:5) ඒත් අද නම් ඔහු ස්වර්ගයේ ඉඳන් කතා කරලා ඔහුගේ අනුමැතිය අපිට තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට අද අපිට ඔහුගේ හඬ ඇහෙන්නේ බයිබලේ පිටු අතරින්. ඒ හඬ අහන්න පුළුවන් හොඳම විදිහක් තමයි යේසුස් ඔහුගේ ගෝලයන්ට කියපු දේවල් ගැන කියවන එක. (යොහන් 16:27 කියවන්න.) ඒවා කියවද්දී යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක වැඩ කරපු විදිහ අපි දකිනවා. පාපය උරුම කරගෙන හිටියත් ගෝලයෝ විශ්වාසවන්තව වැඩ කරපු නිසා යේසුස් එයාලා ගැන හුඟක් සතුටු වෙනවා කියලා කිව්වා. යේසුස් කියන්නේ යෙහෝවා දෙවියන්ව 100%ක් අනුකරණය කරපු කෙනා. ඒ නිසා ඒ වාර්තා කියවද්දී යෙහෝවා අපිටත් කතා කරලා “මං ඔයාලා ගැන ගොඩක් සතුටු වෙනවා” කියලා කියන විදිහ අපේ හිතේ මැවෙනවා.—යොහ. 15:9, 15.

යෙහෝවා දෙවියන් විවිධ විදිවලින් ඔහුගේ අනුමැතිය අපිට තියෙනවා කියලා පෙන්නනවා (10)


11. අපිට ප්‍රශ්න එන්නේ යෙහෝවාගේ අනුමැතිය නැති නිසා නෙවෙයි කියන්නේ ඇයි? (යාකොබ් 1:12)

11 අපි වෙනුවෙන් කරන දේවල්වලින්. යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්න ගොඩක් ආසයි. උදාහරණෙකට එදිනෙදා අපිට ඕන කරන දේවල් ඔහු සපයනවා. හැබැයි සමහර වෙලාවට ඔහු අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් ඉඩහරිනවා. හරියට යෝබ්ට වගේ. (යෝබ් 1:8-11) ඒත් ඒ ප්‍රශ්න එන්නේ අපිට දෙවියන්ගේ අනුමැතිය නැති නිසා නෙවෙයි. ඒ වෙනුවට ඒක ඔහුට තියෙන ආදරේ, විශ්වාසය පෙන්නන්න අපිට ලැබෙන අවස්ථාවක්. (යාකොබ් 1:12 කියවන්න.) ඒත් ප්‍රශ්නවලදී යෙහෝවා අපිව තනි කරන්නෙත් නැහැ. ප්‍රශ්න මැද යෙහෝවා උදව් කරන විදිහෙන්, අපිව බලාගන්න විදිහෙන් ඔහුගේ අනුමැතිය අපිට තියෙනවා කියලා අපිට පේනවා.

12. දිමිත්‍රිගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 දිමිත්‍රිගේ අද්දැකීම බලන්න. එයාගේ රස්සාව නැති වෙලා මාස ගාණක් යන කල් රස්සාවක් හම්බ වුණේ නැහැ. හැබැයි එයා ඒ ගැනම හිතහිත ඉන්නේ නැතුව යෙහෝවා ගැන විශ්වාසය තියලා සේවේ වැඩි කළා. ඔය විදිහට මාස ගාණක් ගියා. ඒත් රස්සාවක් හම්බ වුණේ නැහැ. ඊටපස්සේ හදිස්සියේ දිමිත්‍රිට ලොකු අසනීපයක් හැදිලා එයා ඇඳට වැටුණා. එයාට හිතුණා ‘මං හොඳ තාත්තා කෙනෙක්, හොඳ ස්වාමිපුරුෂයෙක් නෙවෙයි. මෙහෙම වෙන්නේ යෙහෝවාගේ අනුමැතිය මට නැති නිසාවත්ද’ කියලා. දවසක් එයාගේ දුව එයාට කොළයක් ගෙනත් දුන්නා. ඒකේ තිබුණේ යෙසායා 30:15 තියෙන මේ වචන. “කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.” ඊටපස්සේ දුව කිව්වා “තාත්තේ, දුක හිතෙද්දී මේ වචන මතක් කරගන්න” කියලා. දිමිත්‍රි ඒ ගැන ගොඩක් හිතුවා. එයාට තේරුණා යෙහෝවා එයාලට කිසිම අඩුවක් කරලා නැහැ කියලා. මොකද එයාලට ඉන්න තැනක් තිබුණා. කෑම බීම, ඇඳුම් පැලඳුම් තිබුණා. බලන්න එයා කියන දේ. “මට කරන්න තිබ්බේ එක දෙයයි. ඒ සන්සුන්ව ඉඳලා මගේ දෙවියන් ගැන විශ්වාසය තියන එක.” ඔයාත් ඒ වගේම අභියෝගවලට මුහුණ දෙනවාද? එහෙමනම් ඔයාටත් කරන්න තියෙන්නේ සන්සුන්ව යෙහෝවා ගැන විශ්වාසය තියන එක විතරයි. මොකද දිගටම විඳදරාගන්න ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා.

යෙහෝවා විවිධ විදිවලින් ඔහුගේ අනුමැතිය අපිට තියෙනවා කියලා පෙන්නනවා (12 ඡේදය බලන්න) a


13. යෙහෝවාගේ අනුමැතිය අපිට තියෙනවා කියලා පෙන්නන්න ඔහු පාවිච්චි කරන්නේ කාවද? ඒ කොහොමද?

13 සහෝදර සහෝදරියන් මාර්ගයෙන්. යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය අපිට තියෙනවා කියලා පෙන්නන්න ඔහු අපේ ආදරණීය සහෝදරයන්වත් පාවිච්චි කරනවා. ඒ කොහොමද? සමහර වෙලාවට ඔහු එයාලව පාවිච්චි කරලා ඕනම කරන දිරිගැන්වීම ඕනම වෙලාවේදී දෙනවා. එක සහෝදරියකුත් ඒක අද්දැක්කා. එයාගේ රස්සාව නැති වුණා. එයා ගොඩක් අසනීප වුණා. ඒ වගේම එයාගේ මහත්තයා කරපු ලොකු වරදක් නිසා මහත්තයාගේ වැඩිමහල්කමත් නැති වුණා. බලන්න ඒ ගැන ඒ සහෝදරිය කියන දේ. “මං කල්පනා කළා මගේ පවුලට මේ මොකක්ද වෙන්නේ කියලා. මගේ අතින් වැරැද්දක් වුණ නිසා යෙහෝවාගේ අනුමැතිය මට නැති වෙලාද කියලා මං හිතුවා.” ඊටපස්සේ එයා දෙවියන්ට කන්නලව් කරලා ඉල්ලුවා ඔහුගේ අනුමැතිය එයාට තියෙනවා කියලා පෙන්නන්න කියලා. කොහොමද යෙහෝවා ඒකට උත්තර දුන්නේ? බලන්න එයා කියන දේ. “වැඩිමහල්ලෝ ඇවිල්ලා මාත් එක්ක කතා කළා. එයාලා පෙන්නුවා යෙහෝවා මට කොච්චර ආදරෙයිද කියලා.” ඔය සිද්ධිය වෙලා ටික කාලෙකින් ඒ සහෝදරිය ආයෙත් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. ඒකට ඔහු උත්තර දුන්න විදිහ ගැන එයා මෙහෙම කියනවා. “එදාම මට සභාවේ අයගෙන් ලියුමක් ලැබුණා. ඒක කියවද්දී මගේ හිත නිවිලා ගියා. මට තේරුණා යෙහෝවා මගේ යාච්ඤාව ඇහුවා කියලා.”—ගීතා. 10:17.

යෙහෝවා විවිධ විදිවලින් ඔහුගේ අනුමැතිය අපිට තියෙනවා කියලා පෙන්නනවා (13 ඡේදය බලන්න) b


14. දෙවියන්ගේ අනුමැතිය අපිට තියෙනවා කියලා ඔහු පෙන්නන තවත් විදිහක් මොකක්ද?

14 යෙහෝවා තමන්ගේ අනුමැතිය තියෙනවා කියලා පෙන්නන තව විදිහක් තමයි සහෝදරයන් මාර්ගයෙන් උපදෙස් දෙන එක. උදාහරණෙකට මුල් සියවසේදී ඒක කරන්න ඔහු පාවුල්ව පාවිච්චි කළා. පාවුල් සහෝදරයන්ට ලියපු ලිපි 14 ආදරෙන් ඒත් කෙළින් දීපු උපදෙස් තිබුණා. ඒත් ඇයි දෙවියන් පාවුල්ව පාවිච්චි කරලා ඒ වගේ දෙයක් කළේ? යෙහෝවා ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුට ඕනෙ ‘ඔහු ආදරේ කරන’ දරුවන්ට මඟ පෙන්වීම් දීලා එයාලව හරි පාරේ ගෙනියන්න. (හිතෝ. 3:11, 12) ඒ නිසා ඔයාට බයිබලෙන් උපදෙසක් ලැබුණොත් හිතන්න එපා එහෙම වෙන්නේ දෙවියන්ගේ අනුමැතිය නැති නිසා කියලා. ඇත්තටම උපදෙස් ලැබෙන්නේ ඔයාට ඔහුගේ අනුමැතිය තියෙන නිසයි.—හෙබ්‍රෙ. 12:6.

අනුමැතිය පේන තවත් විදි

15. දෙවියන් ඔහුගේ බලය දෙන්නේ කාටද? ඒකෙන් අපිට ලැබෙන සහතිකය මොකක්ද?

15 යෙහෝවා දෙවියන් ඔහුගේ අනුමැතිය තියෙන අයට ඔහුගේ බලය දෙනවා. (මතෙ. 12:18) දෙවිගේ බලය ඔයාට තියෙනවාද කියලා දැනගන්න මෙහෙම හිතන්න. ‘දෙවිගේ බලයෙන් ඇති වෙන ගුණාංග මගේ ජීවිතෙන් පේනවාද?’ උදාහරණෙකට සත්‍යයට ආවට පස්සේ මං කලින්ට වඩා ඉවසනවාද? දෙවිගේ බලයෙන් ඇති වෙන ගුණාංග ඔයා පෙන්නන තරමටම ඔයාට යෙහෝවාගේ අනුමැතිය තියෙනවා කියන්න ඒක හොඳ සාක්ෂියක්!—‘ දෙවිගේ බලය ලැබෙද්දී ඇති වෙන ගුණාංග’ කියන කොටුව බලන්න.

යෙහෝවාගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලා ඔයාට පේනවාද? (15)


16. ශුභාරංචිය කියන්න යෙහෝවා පාවිච්චි කරන්නේ කාවද? ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? (1 තෙසලෝනික 2:4)

16 යෙහෝවා දෙවියන් ශුභාරංචිය භාර දෙන්නේ ඔහුගේ අනුමැතිය තියෙන අයට. (1 තෙසලෝනික 2:4 කියවන්න.) සහෝදරි ජොස්ලින් මෙහෙම කියනවා. “දවසක් උදේ නැඟිටිද්දී මගේ හිතට හරි නෑ වගේ. හැබැයි මං පුරෝගාමියෙක්. එදා මං සේවේ යන දවස. ඒ නිසා මං යෙහෝවාට යාච්ඤාවක් කරලා කොහොමහරි සේවේ ගියා.” සේවේ යද්දී එයාට මේරි කියලා කෙනෙක්ව හම්බ වුණා. මේරි බයිබල් පාඩමකටත් කැමති වුණා. ඔහොම මාස ගාණක් යද්දී මේරි අපේ සහෝදරියට කිව්වා “එදා මං යාච්ඤා කරකර ඉද්දී තමයි ඔයා අපේ දොරට තට්ටු කළේ” කියලා. ඒ ගැන ජොස්ලින් මෙහෙම කියනවා. “ඒ වෙලාවේ මට දැනුණේ යෙහෝවා මට කතා කරලා ‘ජොස්ලින්, මට ඔයා ගැන හරිම සතුටුයි’ කියලා කිව්වා වගේ.” ඇත්ත, හැමෝම අපේ පණිවිඩය පිළිගන්න එකක් නැහැ. හැබැයි ශුභාරංචිය කියන්න අපි උපරිමය කරනවා නම් යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

යෙහෝවාගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලා ඔයාට පේනවාද? (16 ඡේදය බලන්න) c


17. ජීවිත පූජාව ගැන වික්ටෝරියා කියපු දෙයින් ඔයා ඉගෙනගත්තේ මොකක්ද? (ගීතාවලිය 5:12)

17 ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න යෙහෝවා දෙවියන් අවස්ථාව දෙන්නේ ඔහුගේ අනුමැතිය තියෙන අයට. (1 තිමෝ. 2:5, 6) හැබැයි ජීවිත පූජාව ගැන විශ්වාස කරලා බව්තීස්ම වුණාට පස්සෙත් දෙවියන්ගේ අනුමැතිය තියෙනවාද කියලා සැක ඇති වෙන්න පුළුවන්. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙමනම් ඔයාගේ හැඟීම් මත නෙවෙයි යෙහෝවා මත විශ්වාසය තියන්න. මොකද ඔහු කියනවා ජීවිත පූජාව ගැන විශ්වාසය තියන අයව ඔහු ධර්මිෂ්ඨයන් විදිහට සලකලා එයාලට ආශීර්වාද කරනවා කියලා. (ගීතාවලිය 5:12 කියවන්න; රෝම 3:26) සහෝදරි වික්ටෝරියාගේ අද්දැකීම බලන්න. බව්තීස්ම වෙලා කාලයක් යන කල් එයාට දැනුණේ යෙහෝවාගේ ආදරේ ලබන්න තරම් එයා වටින්නේ නැහැ කියලා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා අවුරුදු ගාණක් තිස්සේ මං ගැන ඉවසලා තියෙනවා. එහෙම වෙලත් ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා පිළිගන්න මට සෑහෙන්න අමාරු වුණා. ඒක හරියට ‘මං වගේ කෙනෙක්ට කොහොමද ඔයා ආදරේ කරන්නේ? මගේ වැරදිවලට සමාව දෙන්න ඔයාගේ පුතාගේ ජීවිත පූජාව මදි’ කියලා මං යෙහෝවාට කියනවා වගේ.” හැබැයි එයා දිගටම ජීවිත පූජාව ගැන කල්පනා කළා. ඊටපස්සේ එයාට තේරුණා දෙවියන් ඇත්තටම එයාට ගොඩක් ආදරෙයි කියලා. අපිත් දිගටම ජීවිත පූජාව ගැන කල්පනා කරනවා නම් යෙහෝවාගේ ආදරය, අනුමැතිය තියෙනවා කියලා අපිටත් දැනෙයි.

යෙහෝවාගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලා ඔයාට පේනවාද? (17 ඡේදය බලන්න)


18. දිගටම දෙවියන්ට ආදරේ කරනවා නම් අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද?

18 සමහරවිට මේ හැම යෝජනාවක්ම අදාළ කරගත්තාට පස්සෙත් ඔයා අධෛර්යය වෙන්න පුළුවන්. යෙහෝවාගේ අනුමැතිය ඔයාට තියෙනවාද කියලා සැකයක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න යෙහෝවා “තමාට නොකඩවා ප්‍රේම කරන අයට” අනිවාර්යයෙන්ම ඔහුගේ අනුමැතිය දෙනවා කියලා. (යාකො. 1:12) ඒ නිසා කොයි වෙලෙත් ඔහුට ළං වෙලා ඉන්න. ඔහු අනුමැතිය පෙන්නන විදි ගැන සෝදිසියෙන් ඉන්න. යෙහෝවා කියන්නේ “අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි.” ඒක කවදාවත් ඔයාගේ මනසෙන් ගිලිහෙන්න දෙන්න එපා!—ක්‍රියා 17:27.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • දෙවියන්ගේ අනුමැතිය නැහැයි කියලා සමහරුන්ට හිතෙන්නේ ඇයි?

  • දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා ඔහු පෙන්නන සමහර විදි මොනවාද?

  • දෙවියන්ගේ අනුමැතිය අපිට තියෙනවා කියලා සහතික වෙන්න පුළුවන් ඇයි?

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

a පින්තූරේ අදහස: රඟ දැක්වීමක්

b පින්තූරේ අදහස: රඟ දැක්වීමක්

c පින්තූරේ අදහස: රඟ දැක්වීමක්