පාඩම් ලිපිය 38
ගීතිකාව 25 දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
අනතුරු ඇඟවීම් ඔයා හිතට ගන්නවාද?
“එක් තැනැත්තෙකුව ගෙන යනු ලබයි. අනික් තැනැත්තාව අත්හරිනු ලබයි.”—මතෙ. 24:40.
ලිපියේ අරමුණ
යේසුස් කියපු උදාහරණ තුනක් ගැනත් මේ සමාජයේ අවසානයේදී සිද්ධ වෙන විනිශ්චයට ඒවා සම්බන්ධ වෙන විදිහ ගැනත් අපි මේ ලිපියෙන් බලනවා.
1. යේසුස් ළඟදීම කරන්නේ මොකක්ද?
අපි ජීවත් වෙන්නේ හරිම තීරණාත්මක කාලෙක. ළඟදීම යේසුස් මිහිපිට ඉන්න හැම කෙනෙක්වම විනිශ්චය කරනවා. විනිශ්චය කරන කාලේ ළඟ ළඟ එනවා කියන දේ තේරුම්ගන්න යේසුස් අපිට උදව් කළා. ඔහු ආයෙත් එන කාලේ සහ ‘මේ සමාජයේ අවසානය’ හඳුනාගන්න උදව් වෙන “ලකුණක්” ඔහු අපිට කිව්වා. (මතෙ. 24:3) මතෙව් 24වෙනි සහ 25වෙනි පරිච්ඡේදවල, මාක් 13වෙනි සහ ලූක් 21වෙනි පරිච්ඡේදවල ඒ ලකුණ ගැන කතා කරලා තියෙනවා.
2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? ඒක අපිට උදව් වෙන්නේ ඇයි?
2 යේසුස් උදාහරණ තුනකින් අපිට අනතුරු ඇඟවීම් දුන්නා. ඒ උදාහරණ තමයි එළුවන් සහ බැටළුවන් ගැන උදාහරණේ, නුවණ ඇති සහ නුවණ නැති තරුණියන් ගැන උදාහරණේ සහ තලෙන්ත ගැන උදාහරණේ. යේසුස් කෙනෙක්ව විනිශ්චය කරන්නේ එයා කරන දේවල්වලට අනුව කියලා තේරුම්ගන්න ඒ හැම උදාහරණයක්ම අපිට උදව් වෙනවා. අපි මේ ලිපියේ ඒ උදාහරණ ගැන බලද්දී ඒවායින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් බලමු.
එළුවන් සහ බැටළුවන්
3. යේසුස් මිනිස්සුන්ව විනිශ්චය කරන්නේ කවදාටද?
3 එළුවන් සහ බැටළුවන් ගැන උදාහරණෙන් යේසුස් කිව්වා ඔහු මිනිස්සුන්ව විනිශ්චය කරන්නේ දේවල් දෙකක් දිහා බලලා කියලා. ඒ තමයි එයාලා ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය සහ යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ට සහය දෙනවාද නැද්ද කියන එක. (මතෙ. 25:31-46) ඔහු ඒ විනිශ්චය කරන්නේ “මහත් පීඩාව” අවසන් වෙන්න කිට්ටු කරලා. ඒ කියන්නේ හර්–මගෙදොන් පටන්ගන්න ඔන්න මෙන්න තියලා. (මතෙ. 24:21) එඬේරෙක් එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරනවා වගේ යේසුස් ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන්ට සහය දීපු අයව සහය දුන්නේ නැති අයගෙන් වෙන් කරනවා.
4. යෙසායා 11:3, 4 කියන විදිහට යේසුස් මිනිස්සුන්ව සාධාරණ විදිහට විනිශ්චය කරයි කියලා අපිට ස්ථිර ඇයි? (පින්තූරයත් බලන්න.)
4 බයිබලේ කියනවා යෙහෝවා පත් කරලා තියෙන විනිශ්චයකරු විදිහට යේසුස් හැම වෙලාවෙම සාධාරණ විදිහට විනිශ්චයන් කරනවා කියලා. (යෙසායා 11:3, 4 කියවන්න.) යේසුස්ගේ සහෝදරයන්ට සලකන විදිහ ඇතුළුව මිනිස්සු කියන, කරන, හිතන දේවල් දිහා බලලයි ඔහු එයාලව විනිශ්චය කරන්නේ. (මතෙ. 12:36, 37; 25:40) යේසුස් දන්නවා ඔහුගේ සහෝදරයන්ටයි, එයාලට භාර දීලා තියෙන වැඩේටයි සහය දෙන්නේ කවුද කියලා. a එයාලට සහය දෙන්න පුළුවන් ප්‍රධානම විදිහක් තමයි දේශනා සේවේ හවුල් වෙන එක. එහෙම සහය දෙන අයව ‘ධර්මිෂ්ඨ අය’ විදිහට විනිශ්චය කරනවා. ඒ අයට මේ පොළොවේ ‘සදාකල් ජීවත් වෙන’ බලාපොරොත්තුව ලැබෙනවා. (මතෙ. 25:46; එළි. 7:16, 17) එයාලට ලැබෙන්නේ මොන තරම් ලස්සන ආශීර්වාදයක්ද! එයාලට පුළුවන් මහත් පීඩාව කාලෙත් ඊටපස්සෙත් විශ්වාසවන්තව ඉඳලා එයාලාගේ නම දිගටම “ජීවන ලියවිල්ලේ” තියාගන්න.—එළි. 20:15.
5. එළුවන් සහ බැටළුවන් ගැන උදාහරණෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?
5 ඔයා විශ්වාසවන්ත කෙනෙක් කියලා පෙන්නන්න. එළුවන් සහ බැටළුවන් ගැන උදාහරණේ යේසුස් කිව්වේ පොළොවේ හැමදාටම ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන අයට. එයාලාගේ විශ්වාසය එයාලා පෙන්නන්නේ යේසුස්ගේ සහෝදරයන්ට දේශනා සේවේදී සහය දීලා විතරක් නෙවෙයි, යේසුස් පත් කරලා තියෙන දාසයා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා. (මතෙ. 24:45) ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන අයටත් මේකේ වැදගත් පාඩමක් තියෙනවා. මොකද එයාලා කරන, කියන, හිතන දේවල් දිහා යේසුස් බලාගෙන ඉන්නේ. විශ්වාසවන්තයි කියලා එයාලත් ඔප්පු කරන්න ඕනේ. අභිෂේක ලත් අයට අනතුරු අඟවන්න යේසුස් තව උදාහරණ දෙකක් කිව්වා. මතෙව් 25වෙනි පරිච්ඡේදයේ ඒවා තියෙනවා. ඒකෙන් එකක් තමයි නුවණ ඇති සහ නුවණ නැති තරුණියන් ගැන උදාහරණේ.
නුවණ ඇති සහ නුවණ නැති තරුණියන්
6. තරුණියන් පස්දෙනෙක් නුවණ ඇති අය කියලා පෙන්නුවේ කොහොමද? (මතෙව් 25:6-10)
6 අවිවාහක තරුණියන් ගැන යේසුස් කියපු උදාහරණේදී ඔහු කිව්වා තරුණියන් දහදෙනෙක් මනාලයාව හම්බ වෙන්න ගියා කියලා. (මතෙ. 25:1-4) ඒ හැමෝටම ඕන වුණේ මනාලයාත් එක්ක විවාහ උත්සවයට යන්න. එයාලාගෙන් පස්දෙනෙක් “නුවණ ඇති” අය. අනිත් පස්දෙනා “නුවණ නැති” අය. නුවණ ඇති පස්දෙනා හිටියේ සූදානමින්, සෝදිසියෙන්. මනාලයා කීයට ආවත්, රෑ දෙගොඩහරි ජාමේ ආවත් එයාව පිළිගන්න එයාලා හිටියේ ලෑස්ති පිට. අඳුරේදී පත්තු කරන්න පහනුත් එයාලා අරන් ආවා. මනාලයා එන්න රෑ වුණොත් කියලා හිතලා එයාලා පහන්වලට දාන්න අමතර තෙලුත් ගෙනාවා. එයාලා සූදානමින් හිටපු නිසා එයාලට දිගටම පහන් දල්වලා තියාගන්න පුළුවන් වුණා. (මතෙව් 25:6-10 කියවන්න.) මනාලයා ආවාම එයාලට පුළුවන් වුණා ඔහුත් එක්ක විවාහ උත්සවයට යන්න. ඒ විදිහට අභිෂේක ලත් අයත් යේසුස් එන කල් සූදානමින්, සෝදිසියෙන් ඉන්න ඕනේ. එහෙම අයව තමයි දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න සුදුසුයි කියලා මනාලයා විනිශ්චය කරන්නේ. b (එළි. 7:1-3) එතකොට නුවණ නැති පස්දෙනාට මොකද වෙන්නේ?
7. නුවණ නැති තරුණියන් පස්දෙනාට මොකද වුණේ? ඒ ඇයි?
7 නුවණ නැති තරුණියන් මනාලයා එද්දී ඔහුව පිළිගන්න ලෑස්ති පිට හිටියේ නැහැ. එයාලාගේ පහන් නිවිලා යන්න ඔන්න මෙන්න තිබුණේ. ඒවාට දාන්න එයාලා වැඩිපුර තෙල් ගෙනත් තිබුණේ නැහැ. මනාලයා ළඟ ළඟ එනවා කියලා දැනගත්තාම එයාලා තෙල් ගන්න ගියා. ඉතින් මනාලයා එද්දී එයාලා එතන හිටියේ නැහැ. ‘මනාලයා ඇවිත් සූදානම්ව සිටි තරුණියන් එක්ක විවාහ උත්සවයට ගියා. ඊටපස්සේ දොර වහලා දැම්මා.’ (මතෙ. 25:10) ආපහු ආවාම එයාලටත් ඕන වුණා විවාහ උත්සවයට යන්න. හැබැයි මනාලයා එයාලට කිව්වා “මම ඔබව හඳුනන්නේ නැහැ” කියලා. (මතෙ. 25:11, 12) ඒ තරුණියන් පස්දෙනා මනාලයා කීයට ආවත් ඔහුව පිළිගන්න සූදානමින් හිටියේ නැහැ. අභිෂේක ලත් අයට ඒකෙන් මොකක්ද තියෙන පාඩම?
8-9. තරුණියන් ගැන උදාහරණෙන් අභිෂේක ලත් අයට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (පින්තූරයත් බලන්න.)
8 ඔයා සූදානමින්, සෝදිසියෙන් ඉන්නවා කියලා පෙන්නන්න. යේසුස් ඒ උදාහරණෙන් කියන්නේ අභිෂේක ලත් අයගෙන් කට්ටියක් අවසානය එන කල් සූදානමින් ඉන්නවා, හැබැයි තවත් කට්ටියක් එහෙම කරන්නේ නැහැ කියලා නෙවෙයි. ඔහු කියන්නේ අභිෂේක ලත් අය අවසානය එන කල් විශ්වාසවන්තව විඳදරාගන්න සූදානමින් හිටියේ නැත්නම් එයාලට වෙන්න පුළුවන් දේ ගැනයි. සූදානමින් හිටියේ නැත්නම් එයාලාගේ තෑග්ග එයාලට හම්බ වෙන්නේ නැහැ. (යොහ. 14:3, 4) ඒක සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි! අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් පොළොවේ ජීවත් වෙන්න වුණත් ඒ උදාහරණෙන් දෙන අනතුරු ඇඟවීම් අපි හැමෝම හිතට ගන්න ඕනේ. අපි හැමෝම දිගටම සෝදිසියෙන්, සූදානමින්, අවසානය එන කල් විඳදරාගන්න ලෑස්ති පිට ඉන්න ඕනේ.—මතෙ. 24:13.
9 තරුණියන් ගැන උදාහරණේ කියලා සූදානමින්, සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම ගැන යේසුස් කතා කළාට පස්සේ ඔහු තලෙන්ත ගැන උදාහරණේ කියනවා. ඒ උදාහරණෙන් පෙන්නලා දෙනවා කම්මැළි වෙන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන එකේ වැදගත්කම.
තලෙන්ත
10. විශ්වාසවන්තයි කියලා දාසයන් දෙන්නෙක් පෙන්නුවේ කොහොමද? (මතෙව් 25:19-23)
10 තලෙන්ත ගැන උදාහරණේදී යේසුස් දාසයන් තුන්දෙනෙක් ගැන කිව්වා. එයාලාගෙන් දෙන්නෙක් ස්වාමියාට විශ්වාසවන්තව හිටියා. විශ්වාසවන්තයි කියලා එයාලා පෙන්නුවේ ස්වාමියා වෙනුවෙන් මහන්සි වෙලා හම්බ කරලයි. ඒත් අනිත් කෙනා එහෙම කළේ නැහැ. (මතෙ. 25:14-18) ස්වාමියා පිටරට යන්න කලින් එයාලට තලෙන්ත දුන්නා. තලෙන්ත කියන්නේ සෑහෙන ලොකු ගාණක්. විශ්වාසවන්ත දාසයන් දෙන්නා මහන්සි වෙලා එයාලට හම්බ වුණ සල්ලි ඥානවන්තව පාවිච්චි කළා. ස්වාමියා එද්දී එයාලා එයාලට හම්බ වුණ ගාණ වගේ දෙගුණයක් හම්බ කරලා තිබුණා. ඒ නිසා ස්වාමියා එයාලට ප්‍රශංසා කළා. ‘ස්වාමියත් එක්ක ප්‍රීති වෙන්න’ එයාලට පුළුවන් වුණා. (මතෙව් 25:19-23 කියවන්න.) එතකොට තුන්වෙනි දාසයා?
11. “කම්මැළි දාසයාට” මොකද වුණේ? ඒ ඇයි?
11 තුන්වෙනි දාසයාට තලෙන්තයක් හම්බ වුණා. හැබැයි එයා “කම්මැළියි.” එයාට හම්බ වුණ තලෙන්තේ එයා ඥානවන්තව පාවිච්චි කරයි කියලා ස්වාමියා බලාපොරොත්තු වුණා. ඒත් එයා ඒක අරන් ගිහින් වළක් හාරලා වැළලුවා. ස්වාමියා ආවාම ඔහුට දෙන්න එයා වැඩිපුර කීයක්වත් හම්බ කරලා තිබුණේ නැහැ. ස්වාමියාගෙන් ලැබුණ දේ එයා අගය කළේ නැහැ. වැඩිපුර හම්බ කරන්න බැරි වුණ එක ගැන සමාව ඉල්ලනවා වෙනුවට එයා ස්වාමියාට චෝදනා කරනවා ස්වාමියා ‘තද හිතක් තියෙන කෙනෙක්’ කියලා. ඒ නිසා එයාට ස්වාමියාගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ. එයාට දීපු තලෙන්තයත් එයාගෙන් අරගෙන ස්වාමියා එයාව ගෙදරින් පන්නලා දානවා.—මතෙ. 25:24, 26-30.
12. විශ්වාසවන්ත දාසයන් දෙන්නාගෙන් නියෝජනය වෙන්නේ කාවද?
12 විශ්වාසවන්ත දාසයන් දෙන්නාගෙන් නියෝජනය වෙන්නේ විශ්වාසවන්ත අභිෂේක ලත් අයව. එයාලාගේ ස්වාමියා යේසුස්. ඔහු එයාලට ආරාධනා කරනවා ‘ස්වාමියා එක්ක ප්‍රීති වෙන්න’ කියලා. එයාලාගේ තෑග්ග එයාලට හම්බ වෙන්නේ ස්වර්ගයේ. ඒ, පළවෙනි නැවත නැඟිටීම. (මතෙ. 25:21, 23; එළි. 20:5ආ) හැබැයි කම්මැළි දාසයාගේ අවාදර්ශය අභිෂේක ලත් අයට අනතුරු ඇඟවීමක්.
13-14. තලෙන්ත ගැන උදාහරණෙන් අභිෂේක ලත් අයට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (පින්තූරයත් බලන්න.)
13 ඔයා කම්මැළි නැති, මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් කියලා පෙන්නන්න. තරුණියන් ගැන උදාහරණේදී වගේම තලෙන්ත ගැන උදාහරණෙදීත් යේසුස් කියන්නේ අභිෂේක ලත් අය කම්මැළි දාසයන් වෙයි කියලා නෙවෙයි. ඔහු කියන්නේ එයාලාගේ උද්යෝගය නැති වුණොත් එයාලට වෙන්න පුළුවන් දේ ගැනයි. එහෙම වුණොත් එයාලට බැරි වෙනවා එයාලාගේ “කැඳවීමත් තෝරාගැනීමත් ස්ථිර එකක් කරගන්න.” ඒ කියන්නේ දේවරාජ්‍යයට ඇතුල් වෙන්න එයාලට බැරි වෙනවා.—2 පේතෘ. 1:10.
14 ඒ උදාහරණ දෙකෙන්ම යේසුස් පෙන්නුවා අභිෂේක ලත් අය සූදානමින්, සෝදිසියෙන් වගේම එයාලට භාර දීලා තියෙන වැඩේ කම්මැළි නැතුව මහන්සි වෙලා කරන්න ඕන කියලා. අභිෂේක ලත් අයට අනතුරු අඟවන්න යේසුස් තව දේවල් කිව්වාද? ඔව්. ඒ ගැන අපිට මතෙව් 24:40, 41න් දැනගන්න පුළුවන්.
‘ගෙන යන්නේ’ කාවද?
15-16. අභිෂේක ලත් අය සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම මතෙව් 24:40, 41 කාවද්දලා තියෙන්නේ කොහොමද?
15 ඒ උදාහරණ තුන ගැන කතා කරන්න කලින් අවසන් මුද්‍රාව ලබන්න සුදුසු අභිෂේක ලත් අය ගැන යේසුස් කතා කරනවා. කෙතේ වැඩ කරකර ඉන්න මිනිස්සු දෙන්නෙක් ගැනත් ඇඹරුම් ගලේ අඹරමින් ඉන්න ස්ත්‍රීන් දෙන්නෙක් ගැනත් යේසුස් කතා කරනවා. කෙතේ වැඩ කරකර ඉන්න දෙන්නා එකම වැඩේ කරනවා වගේ පේන්නේ. ඇඹරුම් ගලේ අඹරමින් ඉන්න දෙන්නාත් එකම වැඩේ කරනවා වගේ පෙන්නේ. හැබැයි යේසුස් කියනවා එයාලාගෙන් “එක් තැනැත්තෙක්ව ගෙන යනු ලබයි. අනිත් තැනැත්තාව අත්හරිනු ලබයි” කියලා. (මතෙව් 24:40, 41 කියවන්න.) ඒක කිව්වාට පස්සේ යේසුස් එයාගේ ගෝලයන්ට කියනවා “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ” කියලා. (මතෙ. 24:42) තරුණියන් ගැන උදාහරණේ කිව්වාට පස්සෙත් යේසුස් ඒ වගේම දෙයක් කිව්වා. (මතෙ. 25:13) ඒ කියන්නේ ඒ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවාද? පේන විදිහට ඔව්. ඇත්තටම අභිෂේක කරලා ඉන්න, විශ්වාසවන්ත අයව විතරයි යේසුස් ‘ගෙනියන්නේ.’ ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන රාජ්‍යයට ඔහු පිළිගන්නේ එහෙම අයව විතරයි.—යොහ. 14:3.
16 සෝදිසියෙන් ඉන්නවා කියලා පෙන්නන්න. අභිෂේක ලත් කෙනෙක්ට දිගටම සෝදිසියෙන් ඉන්න බැරුව ගියොත් “තෝරාගත් අය” අතර ඉන්න එයාට බැරි වෙනවා. (මතෙ. 24:31) අභිෂේක ලත් අය විතරක් නෙවෙයි මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන අයත් යේසුස් දීපු අනතුරු ඇඟවීම හිතට අරන් දිගටම සෝදිසියෙන් ඉන්න ඕනේ. විශ්වාසවන්තව ඉන්නත් ඕනේ.
17. අපේ කාලේදීත් යෙහෝවා සමහර අයව අභිෂේක කරන එක ගැන අපි කලබල වෙන්න ඕනෙ නැත්තේ ඇයි?
17 අපි යෙහෝවාව හොඳට අඳුරනවා. ඒ නිසා ඔහුගේ තීරණ අපි සැක කරන්නේ නැහැ. මේ කාලේ යෙහෝවා සමහර අයව අභිෂේක කරනවා නම් අපි ඒ ගැන කලබල වෙන්නේ නැහැ. c මතකද මිදිවත්ත ගැන යේසුස් කියපු උදාහරණේ? (මතෙ. 20:1-16) 11වෙනි පැයේදී වැඩට ආපු අයට ගෙව්වෙත් උදේ ඉඳලා මිදිවත්තේ වැඩ කරපු අයට දීපු කුලියමයි. ඒ වගේ තමයි අභිෂේක ලත් අයව තෝරගන්නේ කොයි කාලේද කියන එක නෙවෙයි වැදගත්. එයාලා දිගටම විශ්වාසවන්තව හිටියොත් එයාලාගේ තෑග්ග එයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා.
අනතුරු ඇඟවීම් හිතට ගන්න
18-19. යේසුස් කියපු උදාහරණවලින් අපි ඉගෙනගන්න පාඩම් මොනවාද?
18 අපි මොනවාද ඉගෙනගත්තේ? එළුවන් සහ බැටළුවන් ගැන උදාහරණෙන් පොළොවේ හැමදාටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වැදගත් දෙයක් මතක් කළා. ඒ, දැනුත් ඉස්සරහට එන මහත් පීඩාව කාලේදීත් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න ඕන කියන එකයි. මහත් පීඩාව අවසන් හරියේදී යේසුස් විශ්වාසවන්තව ඉන්න අයව “සදාකාල ජීවනය” ලබන්න සුදුසු අය විදිහට විනිශ්චය කරයි.—මතෙ. 25:46.
19 අභිෂේක ලත් අයට අනතුරු ඇඟවීම් දෙන උදාහරණ දෙකක් ගැනත් අපි බැලුවා. තරුණියන් දහදෙනා ගැන උදාහරණේදී යේසුස් කිව්වා එයාලාගෙන් පස්දෙනෙක් ඥානවන්තව වැඩ කළා කියලා. එයාලා මනාලයා කොයි වෙලාවේ ආවත් ඔහුව පිළිගන්න සූදානමින්, සෝදිසියෙන් හිටියා. ඒත් නුවණ නැති තරුණියන් හිටියේ කිසිම සූදානමක් නැතුව. ඒ නිසා විවාහ උත්සවයට ඇතුල් වෙන්න මනාලයා එයාලට ඉඩ දුන්නේ නැහැ. මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස එන්න කොච්චර කල් ගියත් අපිත් ඒ දවස එන කල් සූදානමින් ඉන්න ඕනේ. තලෙන්ත ගැන යේසුස් කියපු උදාහරණෙන් අපි ඉගෙනගත්තා විශ්වාසවන්ත දාසයන් දෙන්නෙක් ගැන. එයාලා කම්මැළි නොවී මහන්සි වෙලා වැඩ කළා. ඒ නිසා ස්වාමියාගේ අනුමැතිය එයාලට ලැබුණා. හැබැයි කම්මැළි දාසයාව ස්වාමියා පන්නලා දැම්මා. අපිත් අවසානය එන කල්ම දිගටම උද්යෝගයෙන් යෙහෝවාට සේවේ කරන්න ඕනේ. අභිෂේක ලත් අය දිගටම සෝදිසියෙන් ඉන්න ඕනෙ ඇයි කියලත් අපි බැලුවා. එහෙම කළොත් තමයි යේසුස් එයාලව ‘ස්වර්ගයට ගෙනියන්නේ.’ එයාලා ආසාවෙන් ඉන්නේ එයාලව ස්වර්ගෙට “එක් රැස් කරන” දවස එන කල්. හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ එයාලා යේසුස්ගේ මනාලිය වෙනවා.—2 තෙස. 2:1; එළි. 19:9.
20. අනතුරු ඇඟවීම් හිතට ගන්න අය වෙනුවෙන් යෙහෝවා කරන්නේ මොකක්ද?
20 විනිශ්චය දවස ළඟ ළඟම ආවත් අපි බය වෙන්න ඕනෙ නැහැ. අපි දිගටම විශ්වාසවන්තව ඉන්නවා නම් අපේ ආදරණීය තාත්තා “සාමාන්‍යය ඉක්මවූ බලය” අනිවාර්යයෙන්ම අපිට දෙනවා. එතකොට “මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී” ඉන්න අපිටත් පුළුවන්. (2 කොරි. 4:7; ලූක් 21:36) අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් මේ පොළොවේ ජීවත් වෙන්න වුණත් යේසුස් කියපු උදාහරණවල තියෙන අනතුරු ඇඟවීම් අපි හිතට ගන්නවා නම් අපිට පුළුවන් අපේ තාත්තාගේ හිත සතුටු කරන්න. ඒ වගේම යෙහෝවාගේ මහත් කරුණාව නිසා අපේ නමත් ජීවන ‘ලියවිල්ලේ සටහන් කරයි.’—දානි. 12:1; එළි. 3:5.
ගීතිකාව 26 ඔබ ඒ දේ කළේ මටයි
a 2024 මැයි ‘මුරටැඹ’ සඟරාවේ “අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න.
b වැඩි විස්තර දැනගන්න 2015 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ “ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?” කියන ලිපිය බලන්න.
d පින්තූරවල අදහස: සේවේදී හම්බ වුණ තරුණ කාන්තාවක් එක්ක අභිෂේක ලත් සහෝදරියක් පාඩමක් කරනවා.