පාඩම් ලිපිය 37
ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”
අවසානය දක්වා විඳදරාගන්න උදව් වෙන ලිපියක්
“අප මුලදී ඇති කරගත් දැඩි විශ්වාසය අවසානය දක්වාම ස්ථිර ලෙස රැකගමු.”—හෙබ්‍රෙ. 3:14.
ලිපියේ අරමුණ
හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ තිබුණ උපදෙස් මේ සමාජයේ අවසානය දක්වාම විඳදරාගන්න අපිට උදව් වෙනවා.
1-2. (අ) පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලිපිය ලියද්දී යුදයේ තිබුණේ මොන වගේ තත්වයක්ද? (ආ) ඒක නියම වෙලාවට ලැබුණ ලිපියක් කියන්නේ ඇයි?
යේසුස් මිය ගිහින් වැඩි දවසක් යන්න කලින් යුදයේ සහ යෙරුසලමේ හිටපු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න සිද්ධ වුණා. ක්‍රිස්තියානි සභාව පිහිටවපු අලුත එයාලට දරුණු විදිහට විරුද්ධවාදිකම් ආවා. (ක්‍රියා 8:1) ඊට අවුරුදු 20කට විතර පස්සේ ඇති වුණ සාගතයක් නිසා එයාලා ගොඩක් ආර්ථික ප්‍රශ්න අද්දැක්කා. (ක්‍රියා 11:27-30) ඒ කොහොමවුණත් ක්‍රි.ව. 61 විතර වෙද්දී එයාලට තිබුණ ප්‍රශ්න නිවිලා ගිහිල්ලා යම් දුරකට සාමකාමී කාලයක් උදා වුණා. ඔන්න ඔය කාලේ තමයි යෙහෝවා පාවුල්ට මඟ පෙන්නුවේ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලිපියක් ලියන්න. ඒක ඇත්තටම නියම වෙලාවට ලැබුණ ලිපියක්!
2 මොකද එයාලා හිටපු ඒ සාමකාමී වාතාවරණය ඉවර වෙන්න වැඩි කාලයක් තිබුණේ නැහැ. පාවුල් ඒ ලිපියෙන් දීපු උපදෙස් ක්‍රිස්තියානීන්ට ළඟ ළඟම එන පීඩා විඳදරාගන්න උදව් වුණා. මොකද ඒ වෙද්දී යේසුස් කියපු යුදෙව් සමාජයේ අවසානය ළං වෙලයි තිබුණේ. (ලූක් 21:20) ඇත්තටම පාවුල්වත් යුදයේ හිටපු ක්‍රිස්තියානීන්වත් විනාශය එන්නේ මෙන්න මෙදාටයි කියලා දැනන් හිටියේ නැහැ. හැබැයි ඒකට මූණ දෙන්න ඕනෙ කරන විඳදරාගැනීම, විශ්වාසය වගේ ගුණාංග හදාගන්න ඉතුරු වෙලා තිබුණ කාලේ පාවිච්චි කරන්න එයාලට පුළුවන් වුණා.—හෙබ්‍රෙ. 10:25; 12:1, 2.
3. හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ තියෙන දේවල්වලට අපි අවධානය දෙන්න ඕනෙ ඇයි?
3 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් මූණ දුන්න පීඩාවට වඩා භයානක පීඩාවකට අපි ළඟදීම මූණ දෙන්න යනවා. (මතෙ. 24:21; එළි. 16:14, 16) ඒ නිසා හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට යෙහෝවා දුන්න උපදෙස් කීපයක් අපි බලමු. මොකද ඒවායින් අපිටත් ගන්න ප්‍රයෝජන තියෙනවා.
‘අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න උත්සාහ කරමු’
4. යුදෙව් ක්‍රිස්තියානීන් මූණ දීපු අභියෝග මොනවාද? (පින්තූරයත් බලන්න.)
4 යුදෙව් පසුබිමකින් ආපු ක්‍රිස්තියානීන්ට හුඟක් වෙනස්කම්වලට මූණ දෙන්න වුණා. මුලින් යුදෙව්වන් තමයි යෙහෝවා තෝරගත්ත සෙනඟ. ඒ වගේම අවුරුදු ගාණක් යන කල් යෙරුසලම වැදගත් තැනක් වුණා. මොකද දෙවියන්ව නියෝජනය කරන රජ පාලනය කළේ යෙරුසලමේ ඉඳලා. එයාලා දෙවියන්ට නමස්කාර කළෙත් යෙරුසලමේ තිබුණ දේවමාලිගාවේදී. විශ්වාසවන්ත යුදෙව්වන් මෝසෙස්ට දුන්න නීතියයි, ආගමික නායකයන් උගන්නපු දේවලුයි අකුරටම පිළිපැද්දා. ඒවාට එයාලා කන බොන විදිහ, චර්මච්ඡේදනය සහ වෙනත් ජාතීන් එක්ක වැඩ කරන විදිහ ඇතුළත් වුණා. ඒත් යේසුස්ගේ මරණයත් එක්කම යුදෙව්වන් නමස්කාර කරපු ක්‍රමය යෙහෝවා ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ක්‍රිස්තියානීන් වුණ යුදෙව්වන්ට මේ අලුත් විදිහට නමස්කාර කරන එක ලේසි වුණේ නැහැ. (හෙබ්‍රෙ. 10:1, 4, 10) අවබෝධයෙන් වැඩ කරපු පේතෘස් වගේ අයටත් ඒ සමහර වෙනස්කම් අමාරු වුණා. (ක්‍රියා 10:9-14; ගලා. 2:11-14) ක්‍රිස්තියානීන්ගේ අලුත් විශ්වාසයන් නිසා යුදෙව් ආගමික නායකයන් එයාලට ගොඩක් පීඩා කළා.
5. ක්‍රිස්තියානීන් පරෙස්සම් වෙන්න ඕනෙ වුණේ මොන දෙයින්ද?
5 යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ට පීඩා ගෙනාපු කණ්ඩායම් දෙකක් හිටියා. එක කට්ටියක් තමයි යුදෙව් ආගමික නායකයන්. එයාලා ක්‍රිස්තියානීන්ව සැලකුවේ යුදෙව් ආගමට විරුද්ධව කැරලිගහන අය විදිහට. අනිත් කට්ටිය තමයි නීතිය අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනෙ කියලා කියපු, සභාවෙම හිටපු අය. එයාලා එහෙම කියන්න ඇත්තේ විරුද්ධවාදිකම්වලට තිබුණ බය නිසා වෙන්න ඇති. (ගලා. 6:12) මේ දේවල් මැද දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න ක්‍රිස්තියානීන්ට උදව් වුණේ මොකක්ද?
6. පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ මොකක් කරන්න කියලද? (හෙබ්‍රෙව් 5:14–6:1)
6 පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ එයාලව දිරිගැන්නුවා දේවවචනය හොඳට අධ්‍යයනය කරලා ඒ ගැන හිතන්න කියලා. (හෙබ්‍රෙව් 5:14–6:1 කියවන්න.) පාවුල් හෙබ්‍රෙව් ලියවිලි පාවිච්චි කරලා පෙන්නුවා යුදෙව්වන් කලින් නමස්කාර කරපු විදිහට වඩා ක්‍රිස්තියානීන් දැන් නමස්කාර කරන විදිහ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. a මොකද පාවුල් දැනන් හිටියා ශුද්ධ ලියවිලි ගැන තියෙන දැනුම, අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න එයාලට බොරු ඉගැන්වීම් අඳුරගෙන ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා.
7. අද අපිට තියෙන අභියෝග මොනවාද?
7 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් වගේ අපිත් අද ඉන්නේ යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන බොරු තොරතුරු පතුරුවන කාලෙක. ලිංගික කාරණා ගැන බයිබලේ තියෙන ප්‍රතිපත්ති අපි ඒ විදිහටම පිළිපදිනවා. ඒ නිසා අපේ විරුද්ධවාදීන් කියනවා අපි හරිම පටු විදිහට හිතන නපුරු කට්ටියක් කියලා. දැන් දැන් මේ ලෝකේ මිනිස්සු හිතන විදිහ යෙහෝවා හිතන විදිහෙන් සම්පූර්ණෙන්ම ඈත් වෙවී යනවා. (හිතෝ. 17:15) ඒ නිසා අපි බොරු අදහස් අඳුරගෙන ඒවා සම්පූර්ණෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ අදහස්වලට අපිව අධෛර්යය කරවන්න, අපේ සේවේ නවත්තන්න ඉඩ දෙන්න හොඳ නැහැ.—හෙබ්‍රෙ. 13:9.
8. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
8 පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට කිව්වා අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න දැඩි උත්සාහයක් ගන්න කියලා. අපිත් කරන්න ඕනෙ ඒකමයි. ඒකට බයිබලේ හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට යෙහෝවා ගැනයි, ඔහු හිතන විදිහ ගැනයි තව හොඳට තේරුම්ගන්න අපිට පුළුවන්. බව්තීස්ම වුණාට පස්සෙත් අපි ඒක දිගටම කරන්න ඕනේ. අපි අවුරුදු ගාණක් සත්‍යයේ හිටියත් හැමදාම බයිබලේ කියවන එක, අධ්‍යයනය කරන එක අතපසු කරන්න නරකයි. (ගීතා. 1:2) එහෙම කරන එක පාවුල් එයාගේ ලියුමේ කියපු වැදගත් ගුණාංගයක් දියුණු කරගන්න අපිට උදව් වෙනවා. ඒ තමයි විශ්වාසය.—හෙබ්‍රෙ. 11:1, 6.
‘ජීවිතේ රැකගන්න උදව් වෙන විශ්වාසයක්’
9. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ වුණේ ඇයි?
9 යූදා දේශයට ආපු විනාශයෙන් බේරෙන්න නම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ වුණා. (හෙබ්‍රෙ. 10:37-39) යේසුස් එයාලට අනතුරු ඇඟෙව්වා හමුදාවක් යෙරුසලම වටලලා තියෙනවා දකිද්දී කඳුවලට පලා යන්න කියලා. යෙරුසලම ඇතුළේ සහ පිට හිටපු හැමෝටම ඒ මඟ පෙන්වීම අදාළයි. (ලූක් 21:20-24) ඒ කාලේ යුද්දෙක පෙරනිමිති දැක්කාම මිනිස්සු කළේ යෙරුසලම වගේ ලොකු පවුරු තියෙන නගරයක් ඇතුළට යන එක. නගරයක් ඇතුළේ ඉඳලා කඳුවලට පලා යන්න කියලා යේසුස් කියපු එක කිසිම තේරුමක් නැහැ වගේ. ඒකට කීකරු වෙන්න නම් එයාලට ලොකු විශ්වාසයක් තියෙන්නම ඕනේ.
10. ශක්තිමත් විශ්වාසයක් තියෙන එක අපිට උදව් වෙන්නේ මොනවා කරන්නද? (හෙබ්‍රෙව් 13:17)
10 සභාවට මඟ පෙන්නන්න යේසුස් පත් කරලා තිබුණ අය ගැනත් ක්‍රිස්තියානීන් විශ්වාසය තියන්න ඕනෙ වුණා. පලා යන්න ඕනෙ කොයි වෙලේද, කොහොමද කියලා නිශ්චිත මඟ පෙන්වීම් එයාලා සභාවේ අයට දෙන්න ඇති. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) හෙබ්‍රෙව් 13:17 “කීකරු වෙන්න” කියලා පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ මඟ පෙන්වීම් දෙන්න අධිකාරියක් තියෙන නිසාම කෙනෙක්ට කීකරු වෙන එක නෙවෙයි. ඒ වෙනුවට එයා ගැන තියෙන විශ්වාසය නිසා කීකරු වෙන එකටයි. ඉතින් පීඩාව එන්න කලින් තමයි වැඩිමහල්ලන්වයි, එයාලා දෙන මඟ පෙන්වීම් ගැනයි ක්‍රිස්තියානීන් විශ්වාසය තියන්න ඕනෙ වුණේ. එයාලා සාමකාමී කාලේදී වැඩිමහල්ලන් දීපු මඟ පෙන්වීම්වලට කීකරු වුණා නම් අමාරු කාලවලදීත් මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ලේසියි.
11. අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් ශක්තිමත් විශ්වාසයක් තියෙන එක වැදගත් ඇයි?
11 එදා හිටපු ඒ ක්‍රිස්තියානීන්ට තිබුණා වගේ විශ්වාසයක් අද අපිටත් තියෙන්න ඕනේ. මේ සමාජය ළඟදීම අවසන් වෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ. ඒක විශ්වාස කරන අපිටත් එයාලා හිනා වෙනවා. (2 පේතෘ. 3:3, 4) මහත් පීඩාවේදී සිද්ධ වෙන සමහර දේවල් ගැන බයිබලේ කියලා තිබුණත් අපි තාමත් දන්නේ නැති ගොඩක් දේවලුත් තියෙනවා. ඉතින් මේ සමාජ ක්‍රමය අවසන් වෙන දවස යෙහෝවා දැනටමත් තීරණේ කරලා ඉවරයි කියලත් ඒක ඒ දවසටම වෙනවා කියලත් පිළිගන්න අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කාලේදී ඔහු අපිව බලාගනියි කියලත් අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ.—හබ. 2:3.
12. මහත් පීඩාවෙන් බේරෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
12 යෙහෝවා අද අපිට මඟ පෙන්වීම් දෙන්න පාවිච්චි කරන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැනත් අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (මතෙ. 24:45) එදා රෝම හමුදාව යෙරුසලම වට කරලා ඉද්දී හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මඟ පෙන්වීම් ලැබුණා වගේ මහත් පීඩාව කාලේදී අපිටත් මඟ පෙන්වීම් ලැබෙයි. අපේ ජීවිත ගලවගන්න ඒවා උදව් වෙයි. ඒ නිසා පෙරමුණ ගන්න අය දෙන මඟ පෙන්වීම් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න දැන් තමයි කාලේ. එයාලා දැන් දෙන මඟ පෙන්වීම් ගැන අපිට විශ්වාසයක් නැත්නම් මහත් පීඩාව කාලේදී දෙන මඟ පෙන්වීම් විශ්වාස කරන්න අපිට අමාරු වෙයි.
13. හෙබ්‍රෙව් 13:5 පාවුල් දීපු මඟ පෙන්වීම වැදගත් එකක් වුණේ ඇයි?
13 පලා යන්න කියලා යේසුස් දීපු ලකුණ ඉටු වෙන කල් බලන් ඉන්න අතරේ ක්‍රිස්තියානීන් ජීවිත සරල කරගෙන ‘මුදල්වලට තියෙන ආශාව’ නැති කරලා දාන්න ඕන වුණා. (හෙබ්‍රෙව් 13:5 කියවන්න.) එයාලාගෙන් සමහරු සාගතය, ආර්ථික ප්‍රශ්න තිබුණ කාලේ ගොඩක් පීඩා වින්ද අය. (හෙබ්‍රෙ. 10:32-34) එයාලා ශුභාරංචිය වෙනුවෙන් ඒ අමාරුකම් දරාගත්තා. ඒත් පස්සේ එයාලාගෙන් සමහරදෙනෙක්ට හිතෙන්න ඇති සල්ලි ටිකක් තිබුණොත් ආරක්ෂාවක් ලැබෙයි කියලා. ඒත් කොච්චර තිබුණත් සල්ලිවලට බැහැ ජීවිත බේරන්න. (යාකො. 5:3) සල්ලිවලට, ගෙවල් දොරවල්වලට ආදරේ කරද්දී ඒවා දාලා යන්නත් අමාරුයි.
14. අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ධන සම්පත් ගැන අපි තීරණ ගන්නේ කොහොමද?
14 ළඟදීම යෙහෝවා මේ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලා අපිට විශ්වාසයි නම් අපේ ජීවිතේ වැදගත්ම දේ සල්ලි හම්බ කරන එකයි කියලා අපි හිතන්නේ නැහැ. බයිබලේ කියනවා ඉස්සරහට මිනිස්සු “තමන් සතු රිදී වීථියට විසි කරනවා” කියලා. මොකද එයාලා තේරුම්ගන්නවා ‘යෙහෝවා දෙවි තම උදහස ප්‍රකාශ කරන දවසේදී එයාලා ළඟ තියෙන රන් රිදීවලින් ගැලවීම ලබාගන්න බැහැ’ කියලා. (එස. 7:19) ඉතින් අපි කරන්න ඕනෙ පුළුවන් තරම් සල්ලි හම්බ කරන එකට කාලේ දෙන එක නෙවෙයි. අපේ පවුලේ අයව බලාගන්න ගමන් යෙහෝවාට වැඩි සේවයක් කරන්න උදව් වෙන විදිහේ තීරණ ගන්න එකයි. අපි එහෙම කරනවා නම් හම්බ වෙන ගාණට වඩා වියදම් කරලා ණය වෙන්නෙවත් තියෙන දේවල් බලාගන්න ඕනෑවට වඩා කාලේ වැය කරන්නෙවත් නැහැ. අපිට තියෙන ධන සම්පත් අපේ ජීවිතේ අංක එකට දාගන්නේ නැතුව ඉන්නත් අපි පරෙස්සම් වෙනවා. (මතෙ. 6:19, 24) අවසානය ළං වෙන්න වෙන්න යෙහෝවාවද විශ්වාස කරන්නේ, ධන සම්පත් ගැනද විශ්වාසය තියන්නේ කියලා අපිට තීරණයක් ගන්න වෙනවා.
‘දිගටම විඳදරාගන්න ඕනේ’
15. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට විඳදරාගන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණේ ඇයි?
15 යුදයේ තත්වය එන්න එන්න දරුණු වෙද්දී එයාලට තව වැඩියෙන් විඳදරාගන්න වුණා. (හෙබ්‍රෙ. 10:36) සමහරදෙනෙක් දරුණු විරුද්ධවාදිකම්වලට මූණ දීලා තිබුණා. ඒත් වැඩිදෙනෙක් ක්‍රිස්තියානීන් වුණේ එච්චර පීඩා තිබුණේ නැති සාමකාමී කාලේදී. ඒ නිසා කලින්ට වඩා දරුණු විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න සිද්ධ වෙයි කියලත් මරණය දක්වාම යේසුස් වගේ විඳදරාගන්න ලෑස්ති පිට ඉන්න කියලත් පාවුල් එයාලට මතක් කළා. (හෙබ්‍රෙ. 12:4) ක්‍රිස්තියානීන්ගේ ගාණ එන්න එන්න වැඩි වෙද්දී යුදෙව් විරුද්ධවාදීන්ට එයාලා ගැන තිබුණ කේන්තිය, වෛරය තවත් වැඩි වුණා. හෙබ්‍රෙව්වරුන්ට ලිපිය ලියන්න අවුරුදු කීපයකට කලින් පාවුල් යෙරුසලමේ සේවේ කරපු වෙලාවේ පාවුල්ට විරුද්ධව එයාලා ලොකු කෝලහලයක් ඇති කළා. යුදෙව්වන් 40දෙනෙක්ට වඩා දිවුරලා කිව්වා ‘පාවුල්ව මරලා දාන කල් එයාලා නොකා නොබී ඉන්නවා’ කියලා. එහෙම වුණේ නැත්නම් එයාලට ශාප වෙන්න ඕනෙ කියලත් එයාලා කිව්වා. (ක්‍රියා 22:22; 23:12-14) අන්තවාදී ආගමික අදහස්, වෛරය පැතිරුණ ඒ වගේ කාලෙකත් එයාලට සිද්ධ වුණා දෙවියන්ට නමස්කාර කරන්න, දේශනා සේවේ යන්න සහ එයාලාගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න.
16. පීඩා දිහා හරි විදිහට බලන්න හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපිය අපිට උදව් වෙන්නේ කොහොමද? (හෙබ්‍රෙව් 12:7)
16 විරුද්ධවාදිකම් විඳදරාගන්න හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උදව් වුණේ මොකක්ද? පාවුල් දැනන් හිටියා එයාලා පීඩා දිහා හරි විදිහට බැලුවොත් ඒ පීඩා දරාගන්න එයාලට පුළුවන් වෙනවා කියලා. ඒ නිසා ක්‍රිස්තියානීන්ට එයා පැහැදිලි කළා එයාලට එන පීඩා පුහුණුවක් විදිහට පාවිච්චි කරන්න යෙහෝවාට පුළුවන් කියලා. (හෙබ්‍රෙව් 12:7 කියවන්න.) ඒ පුහුණුව නිසා දෙවියන් සතුටු වෙන ගුණාංග ඇති කරගන්නත් ඒවා තව දියුණු කරගන්නත් එයාලට පුළුවන් වෙනවා. ඉතින් විඳදරාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතද්දී ඒ ආපු විරුද්ධවාදිකම් දරාගන්න එක ක්‍රිස්තියානීන්ට තව ලේසි වෙන්න ඇති.—හෙබ්‍රෙ. 12:11.
17. විරුද්ධවාදිකම් දරාගන්න එක ගැන පාවුල් ඉගෙනගෙන තිබුණේ මොකක්ද?
17 පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට කිව්වා අත්හරින්නේ නැතුව ධෛර්යවන්තව දිගටම විඳදරාගන්න කියලා. විඳදරාගන්න එක ගැන පාවුල්ට බය නැතුව කියන්න පුළුවන්කම තිබුණා. මොකද කලින් එයාත් ක්‍රිස්තියානීන්ට හුඟක් පීඩා කරපු කෙනෙක්. ඒ නිසා එයා දැනන් හිටියා පීඩා කරන අය කොච්චර දරුණු විදිහටද ක්‍රිස්තියානීන්ට සලකන්නේ කියලා. ඒ වගේම විරුද්ධවාදිකම් දරාගන්නේ කොහොමද කියලත් එයා දැනන් හිටියා. මොකද ක්‍රිස්තියානියෙක් වුණාට පස්සේ එයාටත් එක එක විදිහේ විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න සිද්ධ වුණා. (2 කොරි. 11:23-25) ඒ නිසා විඳදරාගන්න පුළුවන් කොහොමද කියලා පාවුල් හොඳ හැටි දැනන් හිටියා. ඒකයි පාවුල් ක්‍රිස්තියානීන්ට මතක් කළේ පීඩා විඳදරාගන්න නම් එයාලාගෙම ශක්තිය ගැන විශ්වාසය තියන්නේ නැතුව යෙහෝවා මතම රැඳිලා ඉන්න කියලා. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි” කියලා පාවුල් කිව්වා.—හෙබ්‍රෙ. 13:6.
18. අනාගතය ගැන මොන දේ දැනන් ඉන්න එකද පීඩා විඳදරාගන්න අපිට උදව් වෙන්නේ?
18 දැනුත් අපෙන් සමහර සහෝදර සහෝදරියන් විරුද්ධවාදිකම්වලට මූණ දෙනවා. අපිට පුළුවන් එයාලා වෙනුවෙන් යාච්ඤා කරලා, අවශ්‍ය දේවල් දීලා අපේ උදව් එයාලට දෙන්න. (හෙබ්‍රෙ. 10:33) බයිබලේ මෙහෙම කියනවා. “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.” (2 තිමෝ. 3:12) ඒ නිසා ඉස්සරහට එන විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න අපි හැමෝම ලෑස්ති පිට ඉන්න ඕනේ. දැන් අපි යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න ඕනේ. ඒ වගේම මොන පීඩාව ආවත් ඒවා දරාගන්න ඔහු අපිට උදව් කරනවා කියලත් විශ්වාස කරන්න ඕනේ. එහෙම කරනවා නම් නියමිත කාලේදී ඔහුට විශ්වාසවන්තව ඉන්න හැම කෙනාටම ඔහු සහනය දෙයි.—2 තෙස. 1:7, 8.
19. මහත් පීඩාවට සූදානම් වෙන්න අපිට දැන් තියා කරන්න පුළුවන් දේවල් මොනවාද? (පින්තූරයත් බලන්න.)
19 පාවුල් ක්‍රිස්තියානීන්ට ලියපු ලිපියෙන් එයාලට ආපු පීඩාවලට හොඳින් මූණ දෙන්න එයාලව සූදානම් කළා. ඒ වගේම පාවුල් කිව්වා දේවවචනය හොඳින් අධ්‍යයනය කරලා ඒකේ තියෙන දේවල් තව හොඳින් තේරුම්ගන්න කියලා. එතකොට එයාලට පුළුවන් එයාලාගේ විශ්වාසය දුර්වල කරන්න පුළුවන් ඉගැන්වීම් අඳුරගෙන ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම පාවුල් එයාලට කිව්වා යේසුයි, පෙරමුණ ගන්න අයයි දෙන උපදෙස් ඉක්මනින්ම පිළිගන්න පුළුවන් විදිහට එයාලාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න කියලා. එයා ක්‍රිස්තියානීන්ට උදව් කළා ප්‍රශ්න දිහා හරි විදිහට බලලා විඳදරාගන්න හැකියාව තව වැඩි කරගන්න. එයා කිව්වා පීඩා එද්දී ඒවා අපේ ආදරණීය තාත්තා අපිට දෙන පුහුණුවක් විදිහට දකින්න කියලා. දෙවියන්ගේ බලයෙන් දුන්න ඒ මඟ පෙන්වීම් අපිත් අදාළ කරගමු. එතකොට අපිටත් පුළුවන් අවසානය දක්වාම විශ්වාසවන්තව විඳදරාගන්න.—හෙබ්‍රෙ. 3:14.
ගීතිකාව 126 අවදිව, ස්ථිරව සිටිමු
a යුදෙව්වන් නමස්කාර කරපු විදිහට වඩා ක්‍රිස්තියානීන් දැන් නමස්කාර කරන විදිහ ශ්‍රේෂ්ඨයි කියලා පෙන්නන්න පාවුල් පළවෙනි පරිච්ඡේදයේ විතරක් හෙබ්‍රෙව් ලියවිල්ලේ තියෙන තොරතුරු හත් පාරක් උපුටලා ගන්නවා.—හෙබ්‍රෙ. 1:5-13.