Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 36

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

‘දෙවියන්ගේ වදන් පිළිපදින්නන් වෙන්න’

‘දෙවියන්ගේ වදන් පිළිපදින්නන් වෙන්න’

“සවන් දෙන්නන් පමණක් නොවන්න. ඒ වෙනුවට දෙවිගේ වදන් පිළිපදින්නන් බවට පත් වන්න.”යාකො. 1:22.

ලිපියේ අරමුණ

බයිබලේ හැමදාම කියවන්න විතරක් නෙවෙයි ඒකේ තියෙන තොරතුරු ගැන ගැඹුරින් හිතන්නත් ඒවා ජීවිතේට අදාළ කරගන්නත් අපිට තියෙන ආසාව මේ ලිපියෙන් තව වැඩි කරයි.

1-2. දෙවියන්ගේ සෙනඟ සතුටින් ඉන්නේ ඇයි? (යාකොබ් 1:22-25)

 යෙහෝවායි, යේසුයි කැමති අපි සතුටින් ඉන්නවා දකින්න. ගීතාවලිය 119:2 ලියපු ගීතිකාකරු මෙහෙම කිව්වා. “ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අය සන්තෝෂවත්ය. ඔවුහු මුළු හදවතින්ම දෙවිගේ මඟ පෙන්වීම් පතන්නෝය.” යේසුත් කිව්වා “සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියලා.—ලූක් 11:28.

2 දෙවියන්ට නමස්කාර කරන අය විදිහට අපි ඉන්නේ ගොඩක් සතුටින්. ඒ ඇයි? මොකද සතුටු වෙන්න අපිට ගොඩක් හේතු තියෙනවා. ඒ හේතුවලින් ප්‍රධානම එකක් තමයි අපි දෙවියන්ගේ වචනය හැමදාම කියවලා ඒකේ තියෙන දේවල් ජීවිතේට අදාළ කරගන්න එක.—යාකොබ් 1:22-25 කියවන්න.

3. දේවවචනයෙන් කියවපු දේවල් අදාළ කරගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

3 “දෙවිගේ වදන් පිළිපදිද්දී” අපිට ගොඩක් පැතිවලින් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට අපි ඒවා අදාළ කරගන්න නිසා අපි දන්නවා යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා කියලා. ඒ ගැන දැනන් ඉන්න එක අපිටත් සතුටක්. (දේශ. 12:13) ඒ වගේම දෙවියන්ගේ වචනයේ තියෙන දේවල් අදාළ කරගද්දී අපේ විවාහ ජීවිත සාර්ථක වෙනවා. සභාවේ අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෙවියන්ට කීකරු වෙන්නේ නැති අය අද්දකින ප්‍රශ්නවලින් ඈත් වෙලා ඉන්නත් අපිට පුළුවන් වෙනවා. යෙහෝවාගේ නීති, නියෝග, තීන්දු ගැන කතා කළාට පස්සේ දාවිත් කිව්වා “ඒවා පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙනවා” කියලා. (ගීතා. 19:7-11) දාවිත් කියපු දේ කොච්චර ඇත්තක්ද කියලා අපිත් අද්දකිනවා.

4. බයිබලෙන් අපි කියවන දේවල් පිළිපදින්න හැම වෙලේම ලේසි නැත්තේ ඇයි?

4 දෙවියන්ගේ වදන් පිළිපදින අය වෙන්න නම් අපි ඒකේ තියෙන ඒවා කියවන්න ඕනේ. අධ්‍යයනය කරන්නත් ඕනේ. එතකොටයි යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනගන්න පුළුවන්. හැබැයි ඒක කරන එක ලේසි නැහැ. මොකද අපේ ජීවිත හරිම කාර්යබහුලයි. ඒ නිසා වරද්දන්නේ නැතුව ඒක කරන්න උදව් වෙන යෝජනා කීපයක් අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම කියවපු දේවල් ගැන ගැඹුරින් හිතන්න, ඒවා අදාළ කරගන්න පුළුවන් පැති තේරුම්ගන්න උදව් වෙන යෝජනා කීපයකුත් බලමු.

කියවන්න වෙලාවක් වෙන් කරගන්න

5. අපිට තියෙන්නේ මොන වගේ වගකීම්ද?

5 දෙවියන්ගේ සෙනඟගෙන් හුඟදෙනෙක් ගත කරන්නේ කාර්යබහුල ජීවිත. අපිට සිද්ධ වෙනවා ජීවිතේ වැදගත් දේවල් වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරන්න. උදාහරණෙකට අපෙන් හුඟදෙනෙක්ට සිද්ධ වෙලා තියෙනවා තමන්වයි, පවුලේ අයවයි බලාගන්න රස්සාවක් කරන්න. (1 තිමෝ. 5:8) ඒ වගේම හුඟක් ක්‍රිස්තියානීන් පවුලේ අසනීප අයව, මහලු අයව බලාගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි හැමෝටම සිද්ධ වෙනවා අපේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන්න. ඒකටත් කාලේ දෙන්න වෙනවා. ඉතින් මේ වගකීම්වලට අමතරව අපිට සභාවෙත් හුඟක් වැඩ තියෙනවා. ඒ වැඩ අතරින් ප්‍රධානම එකක් තමයි උද්‍යෝගයෙන් දේශනා සේවේ හවුල් වෙන එක. මේ හැම දෙයක්ම තියෙද්දී කොහොමද බයිබලේ කියවන්න, කියවපු දේවල් ගැඹුරින් කල්පනා කරන්න, ඒවා ජීවිතේට අදාළ කරගන්න කාලේ හොයාගන්නේ?

6. බයිබලේ කියවන එකට මුල් තැන දෙන්න ඔයාට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

6 ක්‍රිස්තියානීන් විදිහට බයිබලේ කියවන එක අපේ ජීවිතේ “වඩා වැදගත් දේවල්වලින්” එකක්. ඒ නිසා අපි ඒකට මුල් තැන දෙන්න ඕනේ. (ෆිලි. 1:10) ගීතිකාකරු සතුටින් ඉන්න කෙනෙක් ගැන මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය.” (ගීතා. 1:1, 2) ඒකෙන් පැහැදිලියි අපි බයිබලේ කියවන්න අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කරගන්න ඕනෙ කියලා. ඒත් ඒකට හොඳම වෙලාව මොකක්ද? ඒක එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් වෙනවා. හැබැයි අපි මොන වෙලාව තෝරගත්තත් ඒ තෝරගන්න වෙලාව හැමදාම බයිබලේ කියවන්න පුළුවන් විදිහේ වෙලාවක් වෙන්න ඕනේ. සහෝදර වික්ටර් මෙහෙම කියනවා. “මං බයිබලේ කියවන්නේ පාන්දරින්ම නැඟිටලා. සාමාන්‍යයෙන් උදෙන්ම නැඟිටින්න මං එච්චර කැමති නෑ. හැබැයි ඒ වෙලාවේ බයිබලේ කියවද්දී බාධා අඩුයි. මනසත් නිදහස්. ඒ නිසා කියවන දේවල් හොඳට ඔළුවට යනවා.” ඔයාටත් එහෙම හිතෙනවාද? ‘බයිබලේ කියවන්න මට හොඳම වෙලාව මොකක්ද’ කියලා ඔයාගෙන්ම අහගන්න.

බයිබලේ කියවන්න පුළුවන් හොඳම වෙලාව මොකක්ද? ඔයාට හැමදාම ඒක කරන්න පුළුවන් කොයි වෙලාවටද? (6 ඡේදය බලන්න)


කියවපු දේ ගැන හොඳට හිතන්න

7-8. කියවන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න අපිට බැරි වෙන්න පුළුවන් මොකක් නිසාද? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

7 සමහරවිට අපි හැම දවසකම වරද්දන්නේ නැතුව බයිබලේ ලොකු කොටසක් කියවනවා. හැබැයි ඒ කිසිම දෙයක් ඔළුවට යන්නේ නැතුව ඇති. ඔයාට මෙහෙම වෙලා තියෙනවාද කියලා හිතලා බලන්න. ඔයා මොකක් හරි කියෙව්වාට පස්සේ මේ කියවපු දේ මේ මතක නැහැ. ඔය වගේම දෙයක් බයිබලේ කියවද්දීත් අපිට වෙන්න පුළුවන්. ඇත්ත ඔයා සමහරවිට ඉලක්කයක් තියාගෙන ඇති මේ දවසට මෙච්චර පරිච්ඡේද ගාණක් කියවනවා කියලා. ඒ වගේ ඉලක්කයක් තියාගෙන ඒක ජය ගන්න එක හොඳ දෙයක්. (1 කොරි. 9:26) හැබැයි බයිබලේ කියවනවා කියන එක පටන්ගැන්මක් විතරයි. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි ඊට වඩා දෙයක් කරන්න ඕනේ.

8 මේ උදාහරණේ බලන්න. පැළෑටි හොඳට වැඩෙන්න නම් ඒවාට වැස්ස ඕනේ. හැබැයි කෙටි කාලයක් ඇතුළත ධාරානිපාත වැස්සක් වැස්සොත් ඒ වතුර පොළොවට උරාගන්න අමාරුයි. එතකොට කොච්චර වැස්සත් ප්‍රයෝජනයක් නැහැ. පැළෑටි හොඳින් වැඩෙන්න නම් වතුර පසට හොඳට උරාගන්න ඕනේ. ඒකට යම් කාලයක් යනවා. අන්න ඒ වගේ බයිබලේ ඉක්මනට ඉක්මනට කියෙව්වොත් ප්‍රයෝජනයක් නැහැ. මොකද එහෙම කළොත් කියවන දේවල් මනසට උරාගන්න, මතක තියාගන්න, ඒකෙන් නියම ප්‍රයෝජන ගන්න අපිට බැරි වෙයි.—යාකො. 1:24.

වැහි වතුර පස්වලට හොඳට උරාගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් කාලේ ඕනේ. ඒ වගේ අපි කියවන දේ ගැන හොඳට හිතන්න, ඒක අදාළ කරගන්නත් කාලේ ඕනේ (8 ඡේදය බලන්න)


9. අපි පුරුදු වෙලා තියෙන්නේ බයිබලේ ඉක්මනට ඉක්මනට කියවගෙන යන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

9 සමහර වෙලාවට ඔයා බයිබලේ කියවන්නේ පැයට කිලෝමීටර් බර ගාණක වේගයෙන් කියලා ඔයාට දැනිලා තියෙනවාද? එහෙමනම් මොකක්ද කරන්න පුළුවන්? වේගය අඩු කරන්න. ඔයා කියවන දෙයින් මොකක්ද ඉගෙනගන්න පුළුවන් කියලා හිතන්න උත්සාහයක් ගන්න. ඒක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. සමහරවිට ඔයා තීරණේ කරන්න පුළුවන් හිතන්නත් කාලයක් ඕන නිසා අධ්‍යයනය කරන්න වෙන් කරලා තියෙන කාලේ තව වැඩි කරන්න. එහෙමත් නැත්නම් ඔයා තීරණේ කරයි ඔයා වෙන් කරලා තියෙන කාලේ ඇතුළත බයිබලෙන් පොඩි ප්‍රමාණයක් විතරක් කියවලා ඉතුරු ටිකේ ඒ ගැන හොඳට හිතන්න. වික්ටර් මෙහෙම කියනවා. “මං කියවන්නේ බයිබලෙන් පොඩි කොටසක්. සමහරවිට එක පරිච්ඡේදයක්. උදේට කියවන නිසා මට මුළු දවසම තියෙනවා කියවපු දේවල් ගැන හොඳට හිතන්න.” ඔයා බයිබලෙන් කියවන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා ඔයාට තීරණේ කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි ඔයා කියවන කොටස ගැන හිතන්න පුළුවන් විදිහට ඒක හිමින් කියවන එක.—ගීතා. 119:97; “ හිතලා බලන්න ප්‍රශ්න කීපයක්” කියන කොටුව බලන්න.

10. කියවපු දේ අදාළ කරගන්න පුළුවන් විදිහ උදාහරණෙකින් පැහැදිලි කරන්න. (1 තෙසලෝනික 5:17, 18)

10 ඔයා බයිබලෙන් කොටසක් කියෙව්වාට පස්සේ ඒ තොරතුරු ජීවිතේට අදාළ කරගන්න විදිහ ගැනත් හිතන එක වැදගත්. ඒ නිසා බයිබලේ කියවද්දී ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මේ තොරතුරු දැන් සහ අනාගතේට මට උදව් වෙන්නේ කොහොමද?’ ඒක තේරුම්ගන්න අපි පොඩි උදාහරණයක් බලමු. හිතන්න, ඔයාගේ බයිබල් කියවීමට 1 තෙසලෝනික 5:17, 18 ඇතුළත් කියලා. (කියවන්න.) ඒ පද දෙක කියෙව්වාට පස්සේ ඔයාට හිතන්න පුළුවන් ‘මං කී සැරයක් යාච්ඤා කරනවාද, මං හොඳට කාලේ අරන් යාච්ඤා කරනවාද’ කියලා. ඒ වගේම යෙහෝවාට ස්තුති කරන්න පුළුවන් පැතිත් ඔයාට හිතන්න පුළුවන්. සමහරවිට ඔයා හිතයි ‘ඒ පැතිවලින් තුනක් ගැන මං අද දවසේ යෙහෝවාට ස්තුති කරනවා’ කියලා. ඒ විදිහට විනාඩි කීපයක් හරි අරන් ඔයා හොඳට හිතද්දී ඔයාට පුළුවන් දෙවියන්ගේ වචනය අහන කෙනෙක් වගේම පිළිපදින කෙනෙක් වෙන්න. ඒ විදිහට ඔයා හැම දවසකම බයිබලේ කියවලා ඒකෙන් අදාළ කරගන්න පුළුවන් දේවල් ගැන හිතද්දී කාලෙත් එක්කම දෙවියන්ගේ සේවකයෙක් විදිහට ඔයාට තව දියුණු වෙන්න පුළුවන්. ඒත් බයිබලේ කියවද්දී ඔයාට තේරුණොත් ඔයාට හදාගන්න ගොඩක් පැති තියෙනවා කියලා මොකද කරන්නේ?

ළං වෙන්න පුළුවන් ඉලක්ක තියන්න

11. සමහර වෙලාවට ඔයා අධෛර්යය වෙන්න පුළුවන් ඇයි? උදාහරණයක් දෙන්න.

11 බයිබලේ කියවලා අදාළ කරගන්න ඕන පැති ගැන හිතද්දී සමහරවිට ඔයා අධෛර්යය වෙන්න පුළුවන්. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා අද බයිබලේ කියවද්දී දකිනවා එක කට්ටියකට විතරක් විශේෂ සැලකිල්ලක් දක්වනවාට යෙහෝවා කැමති නැහැ කියලා. (යාකො. 2:1-8) එතකොට ඔයාට තේරෙයි ඔයා අනිත් අයට සලකන විදිහේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලා. එහෙම හිතන එක නියමයි! හෙට ඔයා බයිබලේ කියවද්දී ඒකේ තියෙනවා අපි කතා කරන දේවල් ගැන සැලකිලිමත් වෙන එක කොච්චර වැදගත්ද කියලා. (යාකො. 3:1-12) එතකොට ඔයාට තේරෙයි සමහර වෙලාවට ඔයා කියන දේවල්වලිනුත් අනිත් අයට රිදෙනවා, එයාලා අධෛර්යය වෙනවා කියලා. ඒ නිසා ඔයා අධිෂ්ඨානයක් ගන්නවා කතා කරද්දී අනිත් අයව දිරිගැන්වෙන විදිහට කතා කරන්න ඕනෙ කියලා. ඊළඟ දවසේ ඔයා බයිබලේ කියවද්දී ඒකේ තියෙනවා මේ ලෝකේ අයව කිට්ටු යාළුවෝ කරගන්න එක අනතුරක් කියලා. (යාකො. 4:4-12) එතකොට ඔයාට තේරෙයි ඔයා කියවන, බලන, අහන දේවල් ගැන ඔයා මීට වඩා හිතන්න ඕනෙ කියලා. හතරවෙනි දවස එද්දී ඔයාට හිතෙයි ‘අම්මෝ හදාගන්න කොච්චර නං දේවල් තියෙනවාද’ කියලා. එහෙම හිතලා ඔයා අධෛර්යය වෙයි.

12. බයිබලේ කියවද්දී හදාගන්න ඕන පැති දැක්කොත් ඔයා අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි? (පාදසටහනත් බලන්න.)

12 බයිබලේ කියවද්දී හදාගන්න ගොඩක් පැති තියෙනවා කියලා දැක්කොත් අධෛර්යය වෙන්න එපා. මොකද එහෙම දකින එකම ඔයාට හොඳ හදවතක් තියෙනවා කියන්න සාක්ෂියක්. නිහතමානී කෙනෙක් තමයි බයිබලේ කියවලා හදාගන්න තියෙන පැති අඳුරගන්නේ. a ඒ වගේම මතක තියාගන්න ‘අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්නවා’ කියන එක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දිගටම කරන්න ඕන දෙයක්. (කොලො. 3:10) එහෙමනම් දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක් වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

13. කියවපු දේවල් අදාළ කරගන්න පුළුවන් හොඳ විදිහක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

13 හදාගන්න ඕන හැම පැත්තක්ම එක සැරේ හදාගන්න උත්සාහ කරනවා වෙනුවට එකකින් දෙකකින් පටන්ගන්න. (හිතෝ. 11:2) මෙහෙම කරලා බලන්න. මුලින්ම ඔයා වෙනස්කම් කරගන්න ඕන පැතිවල ලිස්ට් එකක් හදාගන්න. ඊටපස්සේ ඒකෙන් එකක් දෙකක් තෝරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. ඒ විදිහට කාලයත් එක්ක අනිත් පැති හදාගන්න වැඩ කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් මුලින්ම පටන්ගන්න ඔයා හිතන්නේ මොකෙන්ද?

වෙනස් කරගන්න ඕනෙ හැම පැත්තක්ම එක සැරේ හදාගන්න උත්සාහ කරනවා වෙනුවට මුලින්ම එකකට දෙකකට අවධානය දුන්නොත් නරකද? (13-14 ඡේද බලන්න)


14. ඔයාට පටන්ගන්න පුළුවන් කොහෙන්ද?

14 මුලින්ම ඔයා තීරණේ කරයි ලේසියෙන්ම ජය ගන්න පුළුවන් ඉලක්කයකින් පටන්ගන්න. එහෙම නැත්නම් වැඩියෙන්ම දියුණු වෙන්න ඕනෙ කියලා හිතෙන දේකින් ඔයාට පටන්ගන්නත් පුළුවන්. ඉතින් ඔයා හදාගන්න ඕන පැත්ත තේරුම්ගත්තාට පස්සේ ඔයාට පුළුවන් ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් හරි ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත පාවිච්චි කරලා හරි ඒ ගැන තොරතුරු හොයන්න. ඔයාගේ ඉලක්කය ගැන යෙහෝවාට කියන්න. ඔහුගෙන් ඉල්ලන්න ඒක හදාගන්න ඔයා තුළ ‘ආසාවක් වගේම පෙලඹීමක්’ ඇති කරන්න කියලා. (ෆිලි. 2:13) ඊටපස්සේ ඔයා ඉගෙනගත්ත දේ අදාළ කරගන්න. ඒ විදිහට ඔයා අඩුපාඩුවක් හදාගත්තා, ගුණාංගයක් දියුණු කරගත්තා කියලා දැනෙද්දී අනිත් පැති හදාගන්නත් ඔයාගේ හිතේ ලොකු ආසාවක් ඇති වෙයි. ඒ වගේම ඔයා දැන් එක පැත්තක් හදාගෙන තියෙන නිසා ඒක උදව් වෙයි අනිත් පැතිත් හදාගන්න.

දෙවියන්ගේ වචනයට ‘ඔයාගේ හදවතේ ක්‍රියා කරන්න’ ඉඩ දෙන්න

15. බයිබලේ කියවන හුඟදෙනෙක්ට වඩා දෙවියන්ගේ සෙනඟ වෙනස් කියලා කියන්න පුළුවන් ඇයි? (1 තෙසලෝනික 2:13)

15 සමහරු බයිබලේ සෑහෙන සැරයක් කියවලා තියෙනවා. හැබැයි එයාලා බයිබලේ තියෙන දේවල් විශ්වාස කරනවාද? එයාලා කවදා හරි ඒකේ තියෙන දේවල් අදාළ කරගන්න උත්සාහ කරනවාද? නැහැ. එහෙම බලද්දී එයාලට වඩා යෙහෝවාගේ සෙනඟ කොච්චර වෙනස්ද! අපිත් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වගේ බයිබලේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්” විදිහටයි පිළිගන්නේ. ඒ වගේම ඒකේ තියෙන දේවල් ජීවිතේට අදාළ කරගන්න අපි අපේ උපරිමය කරනවා.—1 තෙසලෝනික 2:13 කියවන්න.

16. බයිබලේ තියෙන දේවල් පිළිපදින අය වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

16 බයිබලේ කියවන එක, ඒකේ තියෙන දේවල් අදාළ කරගන්න එක හැම තිස්සේම ලේසි නැහැ. සමහරවිට බයිබලේ කියවන්න කාලේ හොයාගන්න අපි ලොකු සටනක් කරනවා ඇති. අපි ඉක්මනට ඉක්මනට කියවන්න පුරුදු වෙලා තියෙන නිසා කියවන කිසිම දෙයක් ඔළුවට යන්නේ නැතුව ඇති. හදාගන්න ගොඩක් පැති තියෙනවා කියලා දකිද්දී අපි අධෛර්යය වෙන්නත් පුළුවන්. හැබැයි මේ මොන අභියෝග තිබ්බත් යෙහෝවාගේ උදව්වෙන් ඔයාට පුළුවන් ඒවා ජය ගන්න. ඒක නිසා ඔහුගේ උදව් අරගෙන, අසා අමතක කරන්නන් වෙන්නේ නැතුව බයිබලේ තියෙන වචන පිළිපදින අය වෙන්න අපි අධිෂ්ඨාන කරගමු. අපි දෙවියන්ගේ වචනය කියවන තරමට, ඒක ජීවිතේට අදාළ කරගන්න තරමට අපේ ජීවිත සතුටින් පිරිලා යයි කියලා කිසිම සැකයක් නැහැ.—යාකො. 1:25.

ගීතිකාව 94 ස්තුති වෙමු දේවවචනයට

a jw.org එකේ තියෙන ‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - බයිබලය කියවීම’ කියන වීඩියෝ එක බලන්න.