Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 4

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

ජීවිත පූජාවෙන් වටිනා පාඩම්

ජීවිත පූජාවෙන් වටිනා පාඩම්

“දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියනවා නම් . . . ”1 යොහ. 4:9.

ලිපියේ අරමුණ

යෙහෝවාටයි, යේසුස්ටයි තියෙන ලස්සන ගුණාංග ජීවිත පූජාවෙන් පේන්නේ කොහොමද?

1. යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 යේසුස්ගේ ජීවිත පූජාව කියන්නේ මිල කරන්න බැරි වටිනා තෑග්ගක්. (2 කොරි. 9:15) යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරපු නිසා යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔයාට පුළුවන් වුණා. සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුවත් ඔයාට ලැබුණා. යෙහෝවා අපිට තියෙන ආදරේ නිසා යේසුස්ගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දීපු එක ගැන අපි කොච්චර අගය කරන්න ඕනෙද! (රෝම 5:8) යේසුස් කිව්වා අවුරුද්දකට සැරයක් ඔහුගේ මරණය සිහි කරන්න කියලා. ජීවිත පූජාව ගැන දිගටම හිතේ අගයක් තියාගන්නත් යේසුස් සහ යෙහෝවා අපි වෙනුවෙන් කරපු දේ අමතක නොකර ඉන්නත් ඒක උදව් වෙයි.—ලූක් 22:19, 20.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 මේ අවුරුද්දේ සිහි කිරීම පවත්වන්නේ අප්‍රියෙල් 12වෙනි සෙනසුරාදා. අපි හැමෝම සිහි කිරීමට සහභාගි වෙන්න දැන් තියාම ලෑස්ති වෙනවා ඇති. යෙහෝවායි, යේසුයි අපි වෙනුවෙන් කරපු දේ ගැන සිහි කිරීම කාලේදී තව හොඳට හිතන්න කාලේ ගන්න එකෙන් අපිට ප්‍රයෝජන තියෙනවා. මේ ලිපියෙන් අපි බලනවා ජීවිත පූජාවෙන් යෙහෝවා ගැනයි, යේසුස් ගැනයි අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. ජීවිත පූජාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තේරුම්ගන්නත් ඒකට අපේ අගය පෙන්නන්න පුළුවන් විදිහ තේරුම්ගන්නත් ඊළඟ ලිපිය අපිට උදව් කරනවා.

යෙහෝවා ගැන කියලා දෙන දේ

3. එක් කෙනෙක්ගේ මරණය නිසා මිලියන ගාණක් පව්කාරකමෙන් නිදහස් වෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

3 ජීවිත පූජාවෙන් යෙහෝවා යුක්තිගරුක කෙනෙක් කියලා පේනවා. (ද්වි. 32:4) ඒ කොහොමද? ආදම් අකීකරු වුණ නිසා අපිට පාපය සහ මරණය උරුම වුණා. (රෝම 5:12) අපිව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්න ඕන කරන ජීවිත පූජාව දෙන්න යෙහෝවා යේසුස්ව එව්වා. ඒත් එක පරිපූර්ණ මනුෂ්‍යයෙක්ගේ මරණය නිසා කොහොමද මිලියන ගාණක් පාපයෙන්, මරණයෙන් නිදහස් වෙන්නේ? පාවුල් මෙහෙම කිව්වා. “එක මිනිසෙක් අකීකරු වුණ නිසා හුඟදෙනෙක් වැරදිකරුවන් වුණා. ඒ විදිහටම එක් කෙනෙක්ගේ කීකරුකම නිසා හුඟදෙනෙක්ව ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා.” (රෝම 5:19; 1 තිමෝ. 2:6) අපි පාපයේ සහ මරණයේ වහල්ලු වුණේ එක පරිපූර්ණ මනුෂ්‍යයෙක්ගේ අකීකරුකම නිසයි. එක පරිපූර්ණ මනුෂ්‍යයෙක්ගේ කීකරුකම නිසා අපිට ඒකෙන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා.

එක මනුෂ්‍යයෙක් නිසා අපිට පාපය සහ මරණය උරුම වුණා. ඒ වගේම තවත් එක මනුෂ්‍යයෙක් නිසා අපිට ඒකෙන් නිදහස ලැබෙනවා (3 ඡේදය බලන්න)


4. ආදම්ගෙන් පැවතෙන, දෙවියන්ට කීකරු අයට යෙහෝවා නිකම්ම සදාකාල ජීවිතේ දුන්නේ නැත්තේ ඇයි?

4 අපිව බේරගන්න යේසුස් මැරෙන්නම ඕනද? යෙහෝවාට තිබ්බේ නැද්ද ආදම්ගෙන් පැවතෙන, ඔහුට කීකරු වෙන අයට නිකම්ම සදාකාල ජීවිතේ දෙන්න? පව්කාර අපිට නම් හිතෙයි මේ ප්‍රශ්නේ විසඳන්න ඒක තමයි හොඳම විදිහ කියලා. හැබැයි දෙවියන්ගේ පැත්තෙන් ගත්තොත් ඒක යුක්තිසහගත නැහැ. මොකද එහෙම කළා නම් ඒක හරියට ආදම් බරපතළ වරදක් කළේවත් ආදම්ගෙන් පැවතෙන අයට පව්කාරකම උරුම වුණේවත් නැහැ වගේ.

5. යෙහෝවා හැම තිස්සේම හරි දේ කරනවා කියලා අපිට විශ්වාස ඇයි?

5 යෙහෝවා ජීවිත පූජාව දෙනවා වෙනුවට යුක්තිය පැත්තකින් තියලා ආදම්ගෙන් පැවතෙන පව්කාරයන්ට හැමදාම ජීවත් වෙන්න ඉඩහැරියා නම් මොකක් වෙයිද? එහෙම කළා නම් හරි වැරැද්ද ගැන යෙහෝවා දාපු ප්‍රමිති ඔහුම කඩනවා. එතකොට මිනිස්සුන්ට හිතෙයි ‘කොහොමද යෙහෝවාව විශ්වාස කරන්නේ? ඉස්සරහටත් ඔහු ඕකම කරයිනේ’ කියලා. අනාගතේ ගැන ඔහු දීලා තියෙන පොරොන්දු ඉටු කරයිද කියලත් මිනිස්සු සැක කරයි. හැබැයි ඒ වගේ දෙයක් ගැන අපිට බය නැහැ. මොකද යෙහෝවාට පාඩුවක් වුණත් යුක්තිය ඉටු කරන්න ඔහු දෙසැරයක් හිතුවේ නැහැ. ඔහු ඔහුගේ ආදරණීය පුතාව පූජාවක් විදිහට දුන්නා. ඒ නිසා ඔහු හැම වෙලාවෙම හරි දේ කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.

6. ජීවිත පූජාවෙන් යෙහෝවාගේ ආදරේ පැහැදිලි වෙන එක විදිහක් මොකක්ද? (1 යොහන් 4:9, 10)

6 යේසුස්ගේ ජීවිත පූජාව දුන්න එකෙන් යෙහෝවාගේ තව ලස්සන ගුණාංගයක් අපිට පේනවා. ඒ, ඔහුට අපි ගැන තියෙන ආදරය. (යොහ. 3:16; 1 යොහන් 4:9, 10 කියවන්න.) යෙහෝවා යේසුස්ව දුන්නේ අපේ පව්වලට සමාව දීලා අපිව ආයෙත් ඔහුගේ පවුලට පිළිගන්න තියෙන කැමැත්ත නිසයි. ආදම් පව් කරපු නිසා එයාව දෙවියන්ගේ පවුලෙන් අයින් කළා. ඒ නිසා ආදම්ගෙන් පැවත ආපු අපි හැමෝමත් යෙහෝවාගේ පවුලට අයිති වුණේ නැහැ. හැබැයි ජීවිත පූජාව නිසා යෙහෝවාට පුළුවන් වුණා අපේ පව්වලට සමාව දීලා දෙවියන් ගැන විශ්වාසේ තියන, ඔහුට කීකරු වෙන අයව ආයේ පවුලට එකතු කරගන්න. අපිට දැනුත් පුළුවන් යෙහෝවා එක්කයි, ඔහුට නමස්කාර කරන අනිත් අය එක්කයි හොඳ බැඳීමක් තියාගන්න. ඇත්තටම යෙහෝවාගේ ආදරේ මොන තරම්ද!—රෝම 5:10, 11.

7. යේසුස් විඳපු දුක්වලින් යෙහෝවා අපිට කොච්චර ආදරේද කියලා පේන්නේ කොහොමද?

7 යේසුස් දුක් විඳිනවා බලන් ඉද්දී යෙහෝවාට කොච්චර නම් දුකක් දැනෙන්න ඇද්ද! ඒ ගැන හිතද්දී යෙහෝවාට අපි ගැන තියෙන ආදරේ තරම අපිට තේරෙනවා. සාතන් කිව්වා අභියෝග එද්දී කවුරුත් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නේ නැහැ කියලා. ඒක බොරුයි කියලා ඔප්පු කරන්න මැරෙන්න කලින් යේසුස්ට ගොඩක් දුක් විඳින්න යෙහෝවා ඉඩහැරියා. (යෝබ් 2:1-5; 1 පේතෘ. 2:21) ආගමික නායකයන් යේසුස්ට අපහාස කරන විදිහ, සොල්දාදුවන් ඔහුට කසයෙන් ගහන විදිහ, ඔහුව වධකණුවේ ඇණ ගහන විදිහ යෙහෝවා දැක්කා. ඔහුගේ ආදරණීය පුතා දරාගන්න බැරි වේදනාවක් උහුලන් අවසන් හුස්ම හෙළන විදිහත් යෙහෝවා දැක්කා. (මතෙ. 27:28-31, 39) යෙහෝවාට පුළුවන්කම තිබුණා ඕනම වෙලාවක මැදිහත් වෙලා ඒක නවත්තන්න. යේසුස්ගේ හතුරොත් කිව්වා “දෙවියන්ට ඕනෙ නම්, දෙවියන්ම ඇවිත් එයාව බේරගත්තදෙන්” කියලා. (මතෙ. 27:42, 43) හැබැයි යෙහෝවා එහෙම කළා නම් ජීවිත පූජාවක් නැහැ. අපිට බලාපොරොත්තුවකුත් නැහැ. ඒ නිසා අවසන් හුස්ම වැටෙන කල්ම යේසුස්ට දුක් විඳින්න යෙහෝවා ඉඩහැරියා.

8. යේසුස් දුක් විඳිද්දී යෙහෝවාටත් දුකක් දැනුණා කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

8 යෙහෝවා සියලු බලැති දෙවියන් නිසා ඔහුට හැඟීම් දැනීම් නැහැ කියලා හිතන්න හොඳ නැහැ. ඇත්තටම ඔහුට හැඟීම් දැනීම් තියෙනවා. මොකද ඔහු අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව. බයිබලේ කියනවා යෙහෝවාගේ “හිත රිදුණා,” ‘ඔහුගේ හිතට වේදනාවක් දැනුණා’ කියලා. (ගීතා. 78:40, 41) ආබ්‍රහම්ගෙයි, ඊසාක්ගෙයි සිද්ධිය ගැන හිතන්න. යෙහෝවා ආබ්‍රහම්ට කිව්වා ඔහුගේ එකම පුතාව පූජාවක් විදිහට ඔප්පු කරන්න කියලා. (උත්. 22:9-12; හෙබ්‍රෙ. 11:17-19) පිහිය අතට අරන් ඊසාක්ව මරන්න යද්දී ආබ්‍රහම්ට කොච්චර වේදනාවක්, පීඩනයක් දැනෙන්න ඇද්ද! එහෙනම් මිනිස්සු යේසුස්ට වධ දීලා ඔහුව මරනවා දකිද්දී යෙහෝවාට ඊට වඩා කොච්චර දුකක් දැනෙන්න ඇද්ද!—jw.org එකේ තියෙන ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - ආබ්‍රහම්, 2වෙනි කොටස’ කියන වීඩියෝ එක බලන්න.

තමන්ගේ පුතා වධ විඳිනවා බලන් ඉන්න එක යෙහෝවාට ලොකු වේදනාවක් වුණා (8 ඡේදය බලන්න)


9. රෝම 8:32, 38, 39 අපිට යෙහෝවාගේ ආදරේ ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 ජීවිත පූජාව ගැන හිතද්දී යෙහෝවා තරම් අපිට ආදරේ කරන්න කාටවත් බැහැ කියලා අපිට තේරෙනවා. අපිට ගොඩක් කිට්ටු අපේ පවුලේ කෙනෙක්ටවත් හොඳම යාළුවෙක්ටවත් ඒ වගේ ආදරයක් දෙන්න බැහැ. (රෝම 8:32, 38, 39 කියවන්න.) අපි අපිට ආදරේ කරනවාටත් වඩා යෙහෝවා අපිට ආදරෙයි. ඔයා හැමදාටම ජීවත් වෙන්න ආසද? ඔයා හැමදාටම ජීවත් වෙනවා දකින්න යෙහෝවා ඊටත් වඩා ආසයි. ඔයාගේ පව්වලට සමාව ලබාගන්න ඔයා ආසද? ඔයාගේ පව්වලට සමාව දෙන්න යෙහෝවා ඊටත් වඩා ආසයි. ඔහු අපෙන් ඉල්ලන්නේ ඔහු ගැන විශ්වාසේ තියලා, ඔහුට කීකරු වෙලා, ඔහු අපි වෙනුවෙන් කරපු දේ අගය කරන්න කියලා විතරයි. යෙහෝවාට අපි ගැන තියෙන ආදරේ ගැඹුර පේන හොඳම විදිහ තමයි ජීවිත පූජාව. ළඟ ළඟම එන පාරාදීසේදී යෙහෝවාගේ ආදරේ ගැන අපි මීට වඩා දේවල් ඉගෙනගනියි.—දේශ. 3:11.

යේසුස් ගැන කියලා දෙන දේ

10. (අ) තමන්ගේ මරණය ගැන යේසුස් වධ වුණේ ඇයි? (ආ) යෙහෝවා හැම වෙලේම හරි දේ කරනවා කියලා යේසුස් පෙන්නුවේ මොන විදිවලින්ද? (“ ජීවිත පූජාවෙන් යෙහෝවාගේ නම ගෞරවයට පත් වුණා” කියන කොටුවත් බලන්න.)

10 යේසුස් යෙහෝවාගේ නම ගැන ගොඩක් සැලකිලිමත් වුණා. (යොහ. 14:31) ඔහු දැනන් හිටියා ඔහුට මැරෙන්න වෙන්නේ දෙවියන්ට අපහාස කරපු කෙනෙක්, අපරාධකරුවෙක් විදිහට කියලා. ඒකෙන් යෙහෝවාගේ නමට වෙන්න පුළුවන් නින්දාව ගැන හිතද්දී යේසුස්ට ලොකු දුකක් දැනුණා. “තාත්තේ, පුළුවන් නම් මේ කුසලානය මගෙන් අයින් කරන්න” කියලා යේසුස් යාච්ඤා කළේ ඒ නිසයි. (මතෙ. 26:39) මැරෙන කල්ම විශ්වාසවන්තව ඉඳලා සාතන් යෙහෝවා ගැන කියපු දේවල් අමූලික බොරුයි කියලා යේසුස් ඔප්පු කළා.

11. යේසුස් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි කියලා පෙන්නුවේ කොහොමද? (යොහන් 13:1)

11 ජීවිත පූජාව ගැන හිතද්දී යේසුස් මිනිස්සු ගැන ගොඩක් හිතුවා කියලා පේනවා. විශේෂයෙන්ම ඔහුගේ අනුගාමිකයන් ගැන ඔහු ගොඩක් හිතුවා. (හිතෝ. 8:31; යොහන් 13:1 කියවන්න.) යේසුස් දැනන් හිටියා ඔහුට මේ පොළොවේදී හුඟක් අමාරු දේවල් දරාගන්න වෙනවා කියලා. විශේෂයෙන්ම වේදනාකාරී මරණයක් අද්දකින්න වෙනවා කියලා ඔහු දැනන් හිටියා. යේසුස් මේ පොළොවට ඇවිත් ඒ හැම දෙයක්ම කළේ යෙහෝවා දීපු පැවරුමක් ඉටු කරන්න ඕන නිසාම නෙවෙයි. ඒ වෙනුවට ඔහු මිනිස්සුන්ට දේශනා කළේ, ඉගැන්නුවේ, උදව් කළේ මුළු හදවතින්මයි. මැරෙන දවසෙත් ඔහු ගෝලයෝ එක්ක කාලේ ගත කළා. එයාලාගේ කකුල් පවා හේදුවා. එයාලට ඕන කරන දිරිගැන්වීම්, සහනය දුන්නා. (යොහ. 13:12-15) වධකණුවේ හරිම වේදනාවෙන් ඉද්දීත් යේසුස් ඔහුගේ එහා පැත්තේ හිටපු අපරාධකරුගේ ජීවිතේට බලාපොරොත්තුවක් දුන්නා. ඔහුගේ අම්මාව බලාගන්න වගකීම ගෝලයෙක්ට දෙන්න ඒ වගේ අවස්ථාවක වුණත් ඔහු වෙලාව ගත්තා. (ලූක් 23:42, 43; යොහ. 19:26, 27) යේසුස් ඔහුගේ ආදරේ පෙන්නුවේ මිනිස්සු වෙනුවෙන් ඔහුගේ ජීවිතේ දීලා විතරක් නෙවෙයි. ඇත්තටම ඔහු මේ පොළොවේ හිටපු කාලේ කරපු කියපු හැම දේකම තිබුණේ ඔහුගේ ආදරයයි.

12. යේසුස් දැනටත් කරන්නේ මොනවාද?

12 යේසුස් ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් එක සැරයක් දුන්නා. “ඒක ආයේ කරන්න ඕනෙ වෙන්නේ නැහැ.” (රෝම 6:10) හැබැයි යේසුස් තාමත් අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. ජීවිත පූජාව නිසා දැන් අපිට අද්දකින්න පුළුවන් දේවලින් ප්‍රයෝජන ගන්න ඔහු දිගටම අපිට උදව් කරනවා. ඔහු අපේ රජ, උත්තම පූජකයා සහ සභාවේ හිස විදිහට සේවේ කරනවා. (1 කොරි. 15:25; එෆී. 5:23; හෙබ්‍රෙ. 2:17) අභිෂේක ලත් අය සහ මහත් සමූහය එක් රැස් කරන කාර්යය භාරව ඉන්නෙත් ඔහුයි. ඒ වැඩේ මහත් පීඩාව අවසන් වෙන්න කලින් කරන්න ඕන දෙයක්. (මතෙ. 25:32; මාක් 13:27) මේ අන්තිම කාලේ ඔහු ඔහුගේ සේවකයන්ට ඕන කරන පෝෂණය විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් කිසිම අඩුවක් නැතුව දෙනවා. (මතෙ. 24:45) දහස් අවුරුදු පාලනය කාලේ පුරාමත් ඔහු අපි වෙනුවෙන් සේවේ කරනවා. ඇත්තටම යෙහෝවා ඔහුගේ පුතාව අපි වෙනුවෙන් සම්පූර්ණයෙන්ම දුන්නා කියලා කියන්න පුළුවන්.

දිගටම ඉගෙනගන්න

13. දෙවියන්ටයි, යේසුස්ටයි අපි ගැන තියෙන ආදරේ ගැන දිගටම ඉගෙනගන්න පුළුවන් කොහොමද?

13 යෙහෝවායි, යේසුයි ඔයා වෙනුවෙන් කරපු දේ ගැන තව හොඳට හිතද්දී ඒ දෙන්නා ඔයාට පෙන්නලා තියෙන ආදරේ තව තව දකින්න ඔයාට පුළුවන් වෙයි. ඔයාට පුළුවන් මේ අවුරුද්දේ සිහි කිරීම කාලේදී සුවිශේෂ පොත් එකක් හරි කීපයක් හරි හොඳට වෙලාව අරන් කියවන්න. එකපාර ගොඩක් පරිච්ඡේද කියවන්නේ නැතුව හෙමීට කියවන්න. යෙහෝවාටයි, යේසුස්ටයි ආදරේ කරන්න තියෙන තව හේතු හොයන්න. ඒ වගේම ඔයා ඉගෙනගත්ත දේවල් අනිත් අයටත් කියන්න.

14. ජීවිත පූජාව සහ අනිත් ඉගැන්වීම් ගැන දිගටම ඉගෙනගන්න අධ්‍යයනය උදව් වෙන්නේ කොහොමද? (ගීතාවලිය 119:97) (පින්තූරයත් බලන්න.)

14 ඔයා අවුරුදු ගාණක් පුරා සත්‍යයේ ඉන්න කෙනෙක් නම් ඔයාට මෙහෙම හිතෙනවා ඇති. ‘ජීවිත පූජාව ගැන, යෙහෝවාගේ යුක්තිය ගැන, ඔහුගේ ආදරේ ගැන ඉගෙනගන්න තව අලුත් අලුත් දේවල් තියෙනවාද?’ ඇත්තටම ඒවා ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඔයාට පුළුවන් අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරුවලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා බයිබලෙන් කියවපු දේක නොතේරෙන තැනක් තිබ්බොත් ඒ ගැන තව හොයලා අධ්‍යයනය කරන්න. ඔයා ඉගෙනගත්ත දේවල් ගැන දවස පුරාම හොඳට හිතන්න. ඒවායින් යෙහෝවා ගැන, යේසුස් ගැන, එයාලාගේ ආදරේ ගැන ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් හිතන්න.—ගීතාවලිය 119:97 සහ පාදසටහන කියවන්න.

අවුරුදු ගාණක් සත්‍යයේ හිටියත් ජීවිත පූජාව ගැන අලුත් අලුත් දේවල් ඉගෙනගන්න, ඒ ගැන තියෙන අගය වැඩි කරගන්න අපිට පුළුවන් (14 ඡේදය බලන්න)


15. අපි දිගටම බයිබලෙන් අලුත් දේවල් හොයන්න ඕනෙ ඇයි?

15 ඔයා බයිබලේ කියවන, අධ්‍යයනය කරන හැම වතාවකම අලුත් දෙයක්, ආස හිතෙන දෙයක් හම්බ වුණේ නැහැ කියලා අධෛර්යය වෙන්න එපා. හිතන්න ඔයා හරියට රත්තරන් හොයන කෙනෙක් වගේ කියලා. ඒ වගේ කෙනෙක් රත්තරන් පොඩි කෑල්ලක් හොයාගන්නත් පැය ගණන්, දවස් ගණන් මහන්සි වෙනවා. එයා අත්හරින්නේ නැතුව එහෙම හොයන්නේ හම්බ වෙන හැම පොඩි රත්තරන් කෑල්ලක්ම ගොඩක් වටිනවා කියලා එයා දන්න නිසයි. එහෙනම් බයිබලෙන් හම්බ වෙන හැම අලුත් දෙයක්ම රත්තරන්වලට වඩා කොච්චර වටිනවාද! (ගීතා. 119:127; හිතෝ. 8:10) ඉතින් අත්හරින්නේ නැතුව දිගටම බයිබලේ කියවන්න. ඉගෙනගන්න පුළුවන් අලුත් දේවල් දිගටම හොයන්න.—ගීතා. 1:2.

16. යෙහෝවාවයි, යේසුස්වයි ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

16 ඔයා බයිබලේ අධ්‍යයනය කරද්දී ඒ ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් හැමෝටම එකම විදිහට සලකලා යෙහෝවා වගේ යුක්තිගරුක වෙන්න. යෙහෝවාගේ නම වෙනුවෙන් ඕනම දුකක් විඳින්න ලෑස්ති පිට ඉඳලා, අමාරු තත්වයකදී වුණත් අනිත් අයට උදව් කරලා අපිට පුළුවන් යේසුස් වගේ ආදරේ පෙන්නන්න. යේසුස්ව ආදර්ශයට අරන් අනිත් අයට සාක්ෂි දරන්නත් අපිට පුළුවන්. එතකොට එයාලටත් අවස්ථාව ලැබෙනවා යෙහෝවා දුන්න වටිනා තෑග්ගෙන් ප්‍රයෝජන ගන්න.

17. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවාද?

17 ජීවිත පූජාව ගැන ඉගෙනගන්න ඉගෙනගන්න යෙහෝවා ගැනත් යේසුස් ගැනත් අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙනවා. ඒ විදිහට අපේ ආදරේ වැඩි වෙද්දී ඒ දෙන්නාත් අපිට තව ආදරේ කරයි. (යොහ. 14:21; යාකො. 4:8) ඉතින් ජීවිත පූජාව ගැන ඉගෙනගන්න යෙහෝවා දීලා තියෙන හැම දේකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. ජීවිත පූජාව නිසා අපිට ලැබෙන සමහර ප්‍රයෝජන මොනවාද? යෙහෝවා අපිට පෙන්නපු ආදරේ ගැන අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය