Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

ගීතිකාව 108 දෙවිගේ සදාතනික ප්‍රේමය

යෙහෝවාගේ ආදරේ නිසා අපි අද්දකින ආශීර්වාද

යෙහෝවාගේ ආදරේ නිසා අපි අද්දකින ආශීර්වාද

“ක්‍රිස්තුස් යේසුස් මේ ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවගන්න.”1 තිමෝ. 1:15.

ලිපියේ අරමුණ

ජීවිත පූජාව නිසා ලැබෙන ප්‍රයෝජන ගැනත් ඒ ගැන යෙහෝවාට අපේ අගය පෙන්නන්න පුළුවන් විදිහ ගැනත් බලමු.

1. යෙහෝවාව සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද?

 හිතන්න, ඔයා ආදරේ කරන කෙනෙක්ට හරිම වටින, එයාට ප්‍රයෝජනවත් වෙන තෑග්ගක් ඔයා දෙනවා කියලා. හැබැයි එයා ඒක පෙට්ටියක දාලා පැත්තකින් අරන් තියෙනවා. එයා ඒක දිහා බලන්නෙවත් එයාට ඒක මතකවත් නැහැ. එහෙම වුණොත් නම් ඔයාට ලොකු දුකක් දැනෙයි. හැබැයි ඔයා දීපු තෑග්ගෙන් එයා ප්‍රයෝජන ගන්නවා නම්, ඒ ගැන එයා ඔයාට ස්තුති කරනවා නම් ඔයාට කොහොම දැනෙයිද? ලොකු සතුටක් දැනෙයි නේද? යෙහෝවාත් අපිට හරිම වටිනා තෑග්ගක් දුන්නා. ඒ ඔහුගේ පුතාගේ ජීවිතේ. යෙහෝවා අපිට දුන්න ඒ වටිනා තෑග්ග, ඒක දීලා ඔහු පෙන්නපු ආදරේ අපි අගය කරද්දී යෙහෝවාගේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා.—යොහ. 3:16; රෝම 5:7, 8.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 කල් යද්දී යෙහෝවා අපිට දීපු මේ තෑග්ග කොච්චර වටිනවාද කියන දේ අපිට අමතක වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් ඒක හරියට යෙහෝවා දීපු තෑග්ග අපි පෙට්ටියක දාලා පැත්තකින් තියනවා වගේ. ඒ ගැන අපිට මතක් වෙන්නෙවත් නැහැ. එහෙම නොවෙන්න නම් යෙහෝවායි, යේසුයි අපි වෙනුවෙන් කරපු දේ ගැන අපි නිතරම හිතන්න ඕනේ. ඒකට අපිට මේ ලිපිය උදව්වක්. ජීවිත පූජාව නිසා දැන් අපිට ලැබෙන ආශීර්වාද ගැනත් ඉස්සරහට ලැබෙන්න යන ආශීර්වාද ගැනත් අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම යෙහෝවා අපි වෙනුවෙන් පෙන්නපු ආදරේ, විශේෂයෙන්ම මේ සිහි කිරීමේ කාලේදී අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් අපි බලනවා.

දැන් ලැබෙන ආශීර්වාද

3. ජීවිත පූජාව නිසා දැන් අපි අද්දකින එක ආශීර්වාදයක් මොකක්ද?

3 යේසුස්ගේ ජීවිත පූජාව නිසා දැනුත් අපි ආශීර්වාද අද්දකිනවා. ඒ පූජාව නිසා යෙහෝවාට පුළුවන් වෙලා තියෙනවා අපේ පව්වලට සමාව දෙන්න. එහෙම කරන්න යෙහෝවා බැඳිලා නැහැ. හැබැයි ඔහු ඒක කරන්නේ කැමැත්තෙන්මයි. ඒකයි ගීතිකාකරු මෙහෙම කිව්වේ. “යෙහෝවා දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති, යහපත් දෙවි කෙනෙක්.”—ගීතා. 86:5; 103:3, 10-13.

4. යෙහෝවා ජීවිත පූජාව දුන්නේ කවුරු වෙනුවෙන්ද? (ලූක් 5:32; 1 තිමෝති 1:15)

4 සමහරුන්ට හිතෙනවා ‘යෙහෝවාගෙන් සමාව ලබන්න මං වටින්නේ නෑ’ කියලා. ඇත්තම කතාව අපෙන් කවුරුත් ඒක ලබන්න වටින්නේ නැහැ. පාවුලුත් ඒක තේරුම්ගත්තා. ඒකයි එයා කිව්වේ “නියෝජිතයෙක් කියලා කියන්නවත් මං වටින්නේ නැහැ” කියලා. හැබැයි එයා ඊටපස්සේ කියනවා “දෙවියන්ගේ මහත් කරුණාව නිසා මේ පැවරුම මට ලැබිලා තියෙනවා” කියලා. (1 කොරි. 15:9, 10) අපේ වැරදි ගැන අපි පසුතැවෙද්දී යෙහෝවා අපිට සමාව දෙනවා. ඒ, අපි ඒක ලබන්න වටින නිසා නෙවෙයි, ඔහු අපිට ආදරේ නිසයි. යෙහෝවාගෙන් සමාව ලබන්න වටින්නේ නැහැ කියලා හිතලා ඔයාත් ඉන්නේ දුකෙන් නම් මේක මතක තියාගන්න. යෙහෝවා යේසුස්ගේ ජීවිත පූජාව දුන්නේ වැරදි නොකරන අය වෙනුවෙන් නෙවෙයි, පසුතැවිලි වෙන පව්කාරයන් වෙනුවෙන්.—ලූක් 5:32; 1 තිමෝති 1:15 කියවන්න.

5. අපිට සමාව දෙන්න යෙහෝවා බැඳිලා ඉන්නවාද? පැහැදිලි කරන්න.

5 අපි අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවාට සේවේ කරලා තියෙන නිසා ඔහු අපිට සමාව දෙන්න ඕනෙමයි කියලා හිතන්න හොඳ නැහැ. ඇත්ත, අපි යෙහෝවා වෙනුවෙන් කරන කිසිම දෙයක් ඔහු අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) හැබැයි යෙහෝවා ඔහුගේ පුතාගේ ජීවිතේ අපි වෙනුවෙන් දුන්නේ තෑග්ගක් විදිහට මිසක් අපි කරන සේවේට ගෙවීමක් විදිහට නෙවෙයි. ඉතින් අපි යෙහෝවා වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙන නිසා අපි සමාව ලබන්න වටිනවා කියලා හිතනවා නම් ඒක වැරදියි. ඒකෙන් පේන්නේ අපිට ජීවිත පූජාව ඕනෙ නැහැ කියලයි.—ගලා. 2:21.

6. පාවුල් මහන්සි වෙලා සේවේ කළේ ඇයි?

6 පාවුල් හිතුවේ නැහැ එයා දෙවියන් වෙනුවෙන් කරන දේවල් නිසා දෙවියන් එයාට සමාව දෙන්න ඕනෙමයි කියලා. එහෙනම් ඇයි එයා එච්චර මහන්සි වෙලා සේවේ කළේ? ඒ, යෙහෝවා එයාට පෙන්නපු මහත් කරුණාව අගය කරන්නයි. (එෆී. 3:7) අපිත් දිගටම, උද්‍යෝගයෙන් සේවේ කරන්නේ යෙහෝවාගේ දයාව දිනාගන්න අදහසින් නෙවෙයි, අපේ හිතේ තියෙන අගය පෙන්නන්නයි.

7. ජීවිත පූජාව නිසා දැන් අපි අද්දකින තවත් ආශීර්වාදයක් මොකක්ද? (රෝම 5:1; යාකොබ් 2:23)

7 යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙන්න පුළුවන් වෙලා තියෙන එක ජීවිත පූජාව නිසා දැන් අපි අද්දකින තවත් ආශීර්වාදයක්. a කලින් ලිපියේ බැලුවා වගේ අපි ඉපදෙද්දී අපි යෙහෝවාගේ යාළුවන් නෙවෙයි. හැබැයි ජීවිත පූජාව නිසා “දෙවියන් එක්ක සමාදානයෙන් ඉන්න” අපිට පුළුවන්. ඒ නිසයි ඔහුට ළං වෙන්නත් අපිට පුළුවන් වෙලා තියෙන්නේ.—රෝම 5:1; යාකොබ් 2:23 කියවන්න.

8. යාච්ඤා කරන්න අපිට දීලා තියෙන අවස්ථාව අපි අගය කරන්න ඕනෙ ඇයි?

8 යෙහෝවාත් එක්ක තියෙන කිට්ටු බැඳීම නිසා අපිට පුළුවන් යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්න. ඒක අපිට ලැබිලා තියෙන වටිනා අවස්ථාවක්. රැස්වීම්වලදී විතරක් නෙවෙයි අපි එක් එක් කෙනා තනියම කරන යාච්ඤාත් යෙහෝවා අහනවා. යාච්ඤා කරද්දී හිතට සන්සුන්කමක්, මනසට සමාදානයක් දැනෙනවා. හැබැයි යාච්ඤාව නිසා ලැබෙන ප්‍රයෝජන එතනින් නතර වෙන්නේ නැහැ. දෙවියන් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්නත් ඒක උදව් වෙනවා. (ගීතා. 65:2; යාකො. 4:8; 1 යොහ. 5:14) මේ පොළොවේ ඉද්දී යේසුත් නිතරම වගේ යාච්ඤා කළා. යෙහෝවා යාච්ඤා අහනවා කියලත් ඒකෙන් ඔහුගේ තාත්තා එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් වෙනවා කියලත් ඔහු දැනන් හිටියා. (ලූක් 5:16) ජීවිත පූජාව නිසා අපිට යෙහෝවාගේ යාළුවන් වෙන්නත් යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්නත් ලැබිලා තියෙන එක අපි කොච්චර අගය කරන්න ඕනෙද!

අනාගතේදී ලැබෙන ආශීර්වාද

9. විශ්වාසවන්ත අයට ජීවිත පූජාව නිසා අනාගතේදී ලැබෙන ආශීර්වාදය මොකක්ද?

9 යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ට ජීවිත පූජාව නිසා අනාගතේදී සදාකාල ජීවිතය ලැබෙනවා. හුඟක් අය හිතනවා ඒක වෙන්න බැරි දෙයක් කියලා. මොකද අවුරුදු දහස් ගාණක් තිස්සේ අපි දැකලා තියෙන්නේ මිනිස්සු මැරෙනවා. හැබැයි යෙහෝවාගේ මුල්ම අරමුණ වුණේ මිනිස්සු සදාකල් ජීවත් වෙන එක. ආදම් පාපයට වැටුණේ නැත්නම් මිනිස්සු මේ වෙද්දීත් මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා. එහෙම වුණා නම් සදාකාල ජීවිතේ කියන්නේ සාමාන්‍ය දෙයක්. කෙනෙක්ට ඒක දැන් විශ්වාස කරන්න අමාරු වුණාට ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මොකද ඒක අපිට දෙන්න මේ වෙද්දීත් ගෙවන්න ඕන ඉහළම වන්දිය යෙහෝවා ගෙවලා ඉවරයි. ඒ, ඔහුගේ පුතාගේ වටිනා ජීවිතේ.—රෝම 8:32.

10. අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් ආසාවෙන් බලන් ඉන්නේ මොකක් දිහාද?

10 සදාකාල ජීවිතේ අනාගතේදී ලැබෙන ආශීර්වාදයක් වුණත් යෙහෝවා කැමතියි අපි ඒ ගැන දැන් ඉඳන්ම හිතනවාට. අභිෂේක ලත් අය ආසාවෙන් බලන් ඉන්නේ ස්වර්ගයේ එයාලට ලැබෙන ජීවිතේ දිහා. එදාට එයාලා යේසුස් එක්ක මේ පොළොව පාලනය කරනවා. (එළි. 20:6) වෙනත් බැටළුවන් ආසාවෙන් බලන් ඉන්නේ දුක, වේදනාව නැති පාරාදීසෙක ජීවත් වෙන්න. (එළි. 21:3, 4) ඔයා වෙනත් බැටළුවන්ට අයිති කෙනෙක්ද? ඔයාට ලැබෙන ඒ තෑග්ග අභිෂේක ලත් අයට ලැබෙන තෑග්ගට වඩා වටිනාකමින් අඩුයි කියලා හිතන්න එපා. යෙහෝවා මිනිස්සුන්ව නිර්මාණය කළේ මේ පොළොවේ ජීවත් වෙන්න. ඉතින් පොළොවේ හැමදාටම ජීවත් වෙන්න ලැබෙන එක කියාගන්න බැරි තරම් සතුටක් වෙයි.

11-12. අපි ආසාවෙන් බලන් ඉන්න සමහරක් ආශීර්වාද මොනවාද? (පින්තූරත් බලන්න.)

11 පාරාදීසේ ඔයා ගත කරන ජීවිතේ හිතින් මවාගන්න. එදාට අසනීප ගැන, මරණය ගැන වධ වෙන්න ඕනෙ නැහැ. (යෙසා. 25:8; 33:24) ඔයා ආස හැම හොඳ දෙයක්ම යෙහෝවා ඔයාට දෙයි. ඔයා ආස මොන වගේ දේවල් ඉගෙනගන්නද? සත්තු ගැන ඉගෙනගන්නද? සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්නද? චිත්‍ර අඳින්නද? පාරාදීසේදී ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදි කරන්නන් ඕන වෙයි. වගා කරන්න, කෑම හදන්න, ආයුධ හදන්න, වතුපිටි බලාගන්න කට්ටියත් ඕන වෙයි. (යෙසා. 35:1; 65:21) ඔයා සදහටම ජීවත් වෙද්දී ඔයා ආස ඒ ඕන දෙයක් කරන්න ඕන තරම් කාලේ තියෙනවා.

12 නැවත නැඟිටින අයව ආදරෙන් පිළිගද්දී අපිට කොච්චර සතුටක් දැනෙයිද! (ක්‍රියා 24:15) යෙහෝවාගේ පුදුමාකාර නිර්මාණ දිහා බලලා යෙහෝවා ගැන තව තව ඉගෙනගද්දී ඔයාට කොච්චර සතුටක් දැනෙයිද! (ගීතා. 104:24; යෙසා. 11:9) ඒ හැම දේටම වඩා අපි සතුටු වෙන්නේ එදාට අපිට හිතේ බරක් නැතුව යෙහෝවාට නමස්කාර කරන්න පුළුවන් වෙන එක ගැනයි. මොකද එදාට අපි අතින් වැරදි වෙන්නේ නැහැ. ඔයා “පව්කාර දේවල් කරලා ටික කාලෙකට ලැබෙන සතුට” වෙනුවෙන් ඒ ආශීර්වාදවලට පයින් ගහයිද? (හෙබ්‍රෙ. 11:25) එදාට ලැබෙන ආශීර්වාද එක්ක බලද්දී දැන් අපි මොන කැප කිරීම කළත් පාඩු නැහැ. මතක තියාගන්න, පාරාදීසේ කියන්නේ හැමදාටම බලාපොරොත්තුවක් විදිහට තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇත්තක් වෙන දවසක් එනවා. ඒ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ යෙහෝවා අපිට ගොඩක් ආදරේ කරලා ඔහුගේ පුතාව අපි වෙනුවෙන් දුන්න නිසයි.

ඔයා ආසාවෙන් බලන් ඉන්නේ පාරාදීසේදී මොනවා කරන්නද? (11-12 ඡේද බලන්න)


යෙහෝවාගේ ආදරේට අගය පෙන්නන්න

13. යෙහෝවා පෙන්නපු ආදරේ අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (2 කොරින්ති 6:1)

13 අපි වෙනුවෙන් යෙහෝවා යේසුස්ගේ ජීවිත පූජාව දුන්න එක අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? දෙවියන්ට කරන සේවේට අපේ ජීවිතේ මුල් තැන දීලා ඒක කරන්න පුළුවන්. (මතෙ. 6:33) ඇත්තටම යේසුස් මැරුණේ “ජීවත් වෙන අය තවදුරටත් තමන් ගැනම හිතලා ජීවත් වෙන්නේ නැතුව එයාලා වෙනුවෙන් මැරිලා, නැවත නැඟිට්ටවපු කෙනා වෙනුවෙන් ජීවත් වෙන්නයි.” (2 කොරි. 5:15) අපි කාටවත් ඕනෙ නැහැ නේද යෙහෝවා අපිට මහත් කරුණාව පෙන්නුවේ ඇයි කියලා අමතක කරන්න?—2 කොරින්ති 6:1 කියවන්න.

14. යෙහෝවාගේ මඟ පෙන්වීම් අපි විශ්වාස කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 යෙහෝවාගේ මඟ පෙන්වීම් ගැන විශ්වාසේ තියලා ඒවා අපේ ජීවිතේට අදාළ කරගන්න එක ඔහුගේ ආදරේට අගය පෙන්නන්න පුළුවන් තව විදිහක්. උදාහරණෙකට අපි කොච්චර දුරට ඉගෙනගන්නවාද, මොන වගේ රස්සාවක්ද තෝරගන්නේ වගේ තීරණ ගන්න වෙද්දී යෙහෝවා සතුටු වෙන්නේ අපි මොනවා කළොත්ද කියලා හිතන්න අපිට පුළුවන්. (1 කොරි. 10:31; 2 කොරි. 5:7) යෙහෝවාව විශ්වාස කරලා තීරණ ගද්දී ඔහු ගැන තියෙන විශ්වාසේ, ඔහුත් එක්ක තියෙන බැඳීම තව වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුවත් අපිට ස්ථිර වෙනවා.—රෝම 5:3-5; යාකො. 2:21, 22.

15. මේ සිහි කිරීම කාලේදී අපේ හිතේ තියෙන අගය පෙන්නන්න පුළුවන් කොහොමද?

15 යෙහෝවාගේ ආදරේ අගය කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒ, සිහි කිරීමේ කාලේදී ජීවිත පූජාව අපිට ගොඩක් වටිනවා කියලා අපි වැඩ කරන විදිහෙන් පෙන්නන එක. සිහි කිරීමට අපි ලෑස්ති වෙනවා වගේම අනිත් අයටත් ඒකට ආරාධනා කරන්න අපිට පුළුවන්. (1 තිමෝ. 2:4) සිහි කිරීමේදී වෙන්නේ මොනවාද කියලා එයාලට පැහැදිලි කරන්නත් පුළුවන්. jw.org එකේ තියෙන ‘යේසුස් මිය ගියේ ඇයි?’ සහ ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ කියන වීඩියෝ එයාලට පෙන්නන්නත් පුළුවන්. වැඩිමහල්ලන් අමතක නොකර අක්‍රියාශීලී වෙලා ඉන්න හැමෝටම ආරාධනා කරන්න ඕනේ. හිතන්න, නැති වුණ එක බැටළුවෙක් හරි ආපහු යෙහෝවාගේ රැළට එකතු වෙද්දී ස්වර්ගයේ ඉන්න අයට වගේම අපිටත් කොච්චර සතුටක් දැනෙයිද! (ලූක් 15:4-7) සිහි කිරීමේදී අපේ සහෝදර සහෝදරියන්ව විතරක් නෙවෙයි අලුතෙන් එන අයව, කාලෙකට පස්සේ එන අයව අපි ආදරෙන් පිළිගන්න ඕනේ. මොකද අපිට ඕනෙ අපේ ආදරේ එයාලට දැනෙනවා දකින්නයි.—රෝම 12:13.

16. සිහි කිරීමේ කාලේදී අපි තව වැඩියෙන් සේවේ කරන්න ඕනෙ ඇයි?

16 සිහි කිරීමේ කාලේදී සේවේ තව වැඩි කරන්න පුළුවන්ද? ඒක යෙහෝවායි, යේසුයි ඔයා වෙනුවෙන් කරලා තියෙන හැම දේම ඔයා ගොඩක් අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් හොඳ විදිහක්. ඔයා වැඩියෙන් සේවේ කරද්දී යෙහෝවාගේ උදව් තව වැඩියෙන් අද්දකිනවා. එතකොට යෙහෝවා ගැන තව වැඩියෙන් විශ්වාසේ තියන්න ඔයා පෙලඹෙනවා. (1 කොරි. 3:9) ඒ වගේම දිනපද පොතේ හරි වැඩපොතේ හරි තියෙන සිහි කිරීමට අදාළ බයිබල් කියවීමත් ඔයාට අතපසු නොකර කරන්න පුළුවන්. පෞද්ගලික අධ්‍යයනයේදී ඒ බයිබල් කොටස් ගැන තව හොයලා බලන්නත් ඔයාට පුළුවන්.

17. යෙහෝවා සතුටු වෙන්නේ මොකක් ගැනද? (“ යෙහෝවාගේ ආදරේ අගය කරන්න” කියන කොටුවත් බලන්න.)

17 සමහරවිට ඔයා ඉන්න තත්වේ නිසා මේ ලිපියේ කියපු හැම දේම කරන්න ඔයාට බැරි වෙයි. ඒත් මතක තියාගන්න, ඔයා යෙහෝවා වෙනුවෙන් කරන දේ අනිත් අය කරන දේ එක්ක ඔහු කවදාවත් සසඳන්නේ නැහැ. ඔහු ගැන ඔයාගේ හිතේ තියෙන ආදරෙයි ඔහු දකින්නේ. ඔහු ඔයා වෙනුවෙන් දීපු ජීවිත පූජාව ගැන ඔයාගේ හිතේ කොච්චර අගයක් තියෙනවාද, අන්න ඒ ගැනයි ඔහු සතුටු වෙන්නේ.—1 සාමු. 16:7; මාක් 12:41-44.

18. යෙහෝවාටයි, යේසුස්ටයි අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඇයි?

18 අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් වුණෙත් යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙන්න පුළුවන් වුණෙත් සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුව ලැබුණෙත් ජීවිත පූජාව නිසයි. යෙහෝවාගේ හිතේ අපි ගැන තියෙන ආදරේ නිසයි ඒ ආශීර්වාද අපිට දෙන්න ඔහු පෙලඹුණේ. ඒ ආදරේ අපි අගය කරනවා කියලා හැමදාම පෙන්නමු. (1 යොහ. 4:19) යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරලා අපිට පෙන්නපු ආදරෙත් අගය කරමු.—යොහ. 15:13.

ගීතිකාව 154 ප්‍රේමය සදාතනිකයි

a යේසුස් ජීවිත පූජාව දෙන්න කලින් දෙවියන්ට නමස්කාර කරපු අයටත් යෙහෝවා සමාව දුන්නා. ඔහුට ඒක කරන්න පුළුවන් වුණේ ඔහුගේ පුතා මරණය දක්වාම විශ්වාසවන්තව ඉන්නවා කියලා යෙහෝවාට කිසිම සැකයක් තිබුණේ නැති නිසයි. ඒ වෙද්දීත් යේසුස් ජීවිත පූජාව දීලා ඉවරයි කියලයි යෙහෝවා සැලකුවේ.—රෝම 3:25.