Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 1

ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි

යෙහෝවාට ගෞරවය දෙන්න

යෙහෝවාට ගෞරවය දෙන්න

2025 වාර්ෂික පදය: “යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.”ගීතා. 96:8.

ලිපියේ අරමුණ

යෙහෝවාට ලැබෙන්න ඕන ගෞරවය දෙන්න අපිට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

1. අද ඉන්න හුඟක් අය අවධානය දෙන්නේ මොන දේටද?

 අද ඉන්න හුඟක් අය ගෞරවය ලබාගන්න උත්සාහ කරන්නේ තමන්ටමයි. උදාහරණෙකට හුඟක් අය සෝෂල් මීඩියා පාවිච්චි කරලා එයාලා කරන කියන දේවල් ගැන පම්පෝරි ගහනවා. වැඩිදෙනෙක් එහෙම හැසිරුණාට යෙහෝවා දෙවියන්ට ගෞරවය දෙන ටිකදෙනෙකුත් ඉන්නවා. ඒත් යෙහෝවාට ගෞරවය දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද? යෙහෝවාට ලැබෙන්න ඕන ගෞරවය දෙන්න අපිට පුළුවන් කොහොමද? ළඟදීම ඔහු තමන්ගේ නම ගෞරවයට පත් කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවාට ගෞරවය දෙනවා කියන්නේ මොකක්ද?

2. සීනයි කන්ද ළඟදී යෙහෝවා ඔහුගේ තේජස පෙන්නුවේ කොහොමද? ( පින්තූරයත් බලන්න.)

2 යෙහෝවා ගොඩක් “තේජවත්” දෙවි කෙනෙක් කියලා බයිබලේ පෙන්නලා තියෙනවා. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගෙන දවස් කීපයකට පස්සේ ඔහු ඔහුගේ තේජස ඊශ්‍රායෙල්වරුන්ට පෙන්නුවා. මේ සිද්ධිය හිතින් මවාගන්න. දැන් මිලියන ගාණක් ඊශ්‍රායෙල්වරු දෙවියන් කියන දේ අහන්න සීනයි කන්ද පාමුල රැස් වෙලයි ඉන්නේ. එකපාරටම කන්ද අඳුරු වලාවකින් වැහිලා යනවා. පොළොව දෙදරන්න පටන්ගන්නවා. ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටනවා. හයියෙන් හොරණෑවක් පිඹින සද්දයකුත් ඇහෙනවා. (නික්. 19:16-18; 24:17; ගීතා. 68:8) මේ දේවල් දකිද්දී යෙහෝවා කොච්චර ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා ඊශ්‍රායෙල්වරුන්ට තේරෙන්න ඇති.

සීනයි කන්ද ළඟදී යෙහෝවා ඔහුගේ තේජස ඊශ්‍රායෙල්වරුන්ට පෙන්නුවා (2 ඡේදය බලන්න)


3. යෙහෝවාව ගෞරවයට පත් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

3 යෙහෝවාව ගෞරවයට පත් කරන්න මිනිස්සුන්ටත් පුළුවන්. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ඔහු කරලා තියෙන ශ්‍රේෂ්ඨ දේවල් ගැන, ඔහුගේ ලස්සන ගුණාංග ගැන අනිත් අයට කියන එක. යෙහෝවාගේ උදව්වෙන් අපි කරන දේවලට ඔහුට ප්‍රශංසාව දෙන එකෙනුත් අපිට පුළුවන් ඔහුව ගෞරවයට පත් කරන්න. (යෙසා. 26:12) දාවිත් රජත් යෙහෝවාව ගෞරවයට පත් කරපු කෙනෙක්. එයා ඊශ්‍රායෙල්වරු ඉස්සරහා යෙහෝවාට යාච්ඤා කරද්දී මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ, බලවත් දෙවියන් ඔබයි. තේජසත් අලංකාරයත් අයිති ඔබටයි. හැම ගෞරවයක්ම ලැබෙන්න ඕනෙ ඔබටයි. මොකද අහසෙයි, පොළොවෙයි තියෙන හැම දෙයක්ම අයිති ඔබටයි.” දාවිත් යාච්ඤාව ඉවර කරනවාත් එක්කම ‘රැස් වෙලා හිටපු සෙනඟ හැමෝම යෙහෝවාට ප්‍රශංසා කළා.’—1 ලේක. 29:11, 20.

4. යේසුස් යෙහෝවාට ගෞරවය දුන්නේ කොහොමද?

4 යේසුත් යෙහෝවාට ගෞරවය දුන්නා. ඔහු ආශ්චර්යයන් කරද්දී මිනිස්සුන්ට කිව්වා ඔහු ඒවා කළේ දෙවියන්ගේ උදව්වෙන් කියලා. (මාක් 5:18-20) ඒ වගේම ඔහු තමන්ගේ තාත්තා ගැන කියපු දේවලින් සහ අනිත් අයට සලකපු විදිහෙනුත් යෙහෝවාට ගෞරවය දුන්නා. දවසක් යේසුස් සිනගෝගයේ උගන්නද්දී එයාට ඇහුම්කන් දුන්න අය අතරේ අවුරුදු 18ක් පුරා භූතයෙක්ගෙන් පීඩා විඳපු ස්ත්‍රියක් හිටියා. ඒ භූතයා එයාගේ ශරීරයට කොච්චර හිරිහැර කළාද කියනවා නම් එයාට කෙළින් හිටගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. එයා හිටියේ දෙකට නැමිලා. මේ ස්ත්‍රියව දැක්කාම යේසුස්ට දැනුණේ ලොකු අනුකම්පාවක්. ඒ නිසා ඔහු එයා ළඟට ගිහින් කිව්වා “ඔයාගේ අසනීපෙන් ඔයා දැන් නිදහස්” කියලා. එහෙම කියලා යේසුස් ඒ ස්ත්‍රියව ඇල්ලුවා. එතකොටම එයා කෙළින් හිටගත්තා. තමන් සම්පූර්ණයෙන්ම සනීප වෙලා කියලා දැක්කාම ඒ ස්ත්‍රිය “දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන්ගත්තා.” (ලූක් 13:10-13) ඇත්තටම දෙවියන්ට ප්‍රශංසා කරන්න එයාට හොඳ හේතුවක් තිබ්බා. අපිටත් එහෙමයි.

අපි යෙහෝවාට ගෞරව කරන්නේ ඇයි?

5. යෙහෝවාට ගෞරව කරන්න අපිට තියෙන හේතු මොනවාද?

5 යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්න නිසා. යෙහෝවාට ගෞරව කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. ඔහු සියලු බලැති දෙවියන්, ඔහුගේ බලයට සීමාවක් නැහැ. (ගීතා. 96:4-7) ඔහු නිර්මාණය කරපු දේවල්වලින් පේනවා ඔහු කොච්චර ප්‍රඥාවන්තද කියලා. මේ හැම දෙයක්ම නිර්මාණය කළෙත් ඒවා පවතින්නෙත් ඔහු නිසයි. (එළි. 4:11) යෙහෝවා විශ්වාසවන්තයි. (එළි. 15:4) ඔහු දෙයක් කළොත් ඒක සාර්ථක වෙනවාමයි. පොරොන්දුවක් දුන්නොත් ඒක රකිනවාමයි. (යොෂු. 23:14) ඒකයි යෙරෙමියා යෙහෝවා ගැන මෙහෙම කිව්වේ. “ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.” (යෙරෙ. 10:6, 7) ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපේ ගෞරවය ලබන්න වටිනවා. හැබැයි ඔහු අපේ ගෞරවය විතරක් නෙමෙයි අපේ ආදරෙත් දිනාගෙන තියෙනවා.

6. අපි යෙහෝවාට ආදරේ ඇයි?

6 අපි යෙහෝවාට ආදරේ නිසා. යෙහෝවා ගැන අපේ හිතේ ආදරයක් ඇති වෙන්නේ ඔහු ළඟ තියෙන ලස්සන ගුණාංග නිසයි. ඔහු දයාවෙන්, අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්. (ගීතා. 103:13; යෙසා. 49:15) අපිට රිදෙද්දී ඔහුටත් රිදෙනවා. (සෙක. 2:8) ඔහුගේ යාළුවෙක් වෙන්න ඔහු මාර්ගය විවෘත කරලා තියෙනවා. (ගීතා. 25:14; ක්‍රියා 17:27) ඔහු ගොඩක් නිහතමානියි. “ඔහු පහතට නැමිලා අහස දිහාත් පොළොව දිහාත් බලනවා. ඔහු අසරණයාව දූවිල්ලෙන් නැඟිටුවනවා.” (ගීතා. 113:6, 7) ඒ දේවල් ගැන හිතද්දී යෙහෝවාට ගෞරවය නොදී ඉන්න පුළුවන් කාටද?—ගීතා. 86:12.

7. අපිට තියෙන විශේෂ අවස්ථාව මොකක්ද?

7 යෙහෝවා ගැන අනිත් අයත් දැනගන්නවාට අපි කැමති නිසා. අද ඉන්න හුඟක් අය යෙහෝවා ගැන ඇත්ත දන්නේ නැහැ. මොකද සාතන් ඔහු ගැන අමූලික බොරු ගොතලා මිනිස්සුන්ගේ මනස් අන්ධ කරලා තියෙන්නේ. (2 කොරි. 4:4) සාතන් කියනවා යෙහෝවා කියන්නේ පළිගන්න, මිනිස්සු ගැන කිසිම සැලකිල්ලක් නැති, මේ හැම දුකකටම වග කියන්න ඕන කෙනා කියලා. හැබැයි අපේ දෙවියන් ගැන අපි දන්නවා. ඒ නිසා අපිට විශේෂ අවස්ථාවක් තියෙනවා මිනිස්සුන්ට යෙහෝවා ගැන ඇත්ත කියලා ඔහුට ගෞරවය දෙන්න. (යෙසා. 43:10) 96වෙනි ගීතිකාව ලියලා තියෙන්නේ යෙහෝවාට ගෞරවය දෙන එක ගැනයි. ඒ නිසා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියපු ඒ ගීතිකාව ගැන දැන් අපි බලමු. ඒක බලද්දී දෙවියන්ව ගෞරවයට පත් කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා හිතන්න.

යෙහෝවාට ගෞරවය දෙන්න අපිට පුළුවන් කොහොමද?

8. යෙහෝවාට ගෞරවය දෙන්න පුළුවන් එක විදිහක් මොකක්ද? (ගීතාවලිය 96:1-3)

8 ගීතාවලිය 96:1-3 කියවන්න. යෙහෝවා ගැන කියන දේවල්වලින්. ඒ පදවල අපිට මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවියන්ට ගීයක් ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා කරන්න. ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය දැනුම් දෙන්න. ඔහුගේ තේජස ගැන ජාතීන්ට ප්‍රකාශ කරන්න.’ ඒ හැම විදිහෙන්ම ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට ගෞරවය දෙන්න අපිට පුළුවන්. විශ්වාසවන්ත යුදෙව්වන්, මුල් සියවසේ ක්‍රිස්තියානීන් ඒක කළා. යෙහෝවා එයාලා වෙනුවෙන් කරපු දේවල් ගැන, ඔහුගේ ලස්සන ගුණාංග ගැන එයාලා හැමෝටම කිව්වා. (දානි. 3:16-18; ක්‍රියා 4:29) ඒ දේ කරන්න අපිට පුළුවන් කොහොමද?

9-10. ඇන්ජලීනාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

9 එක්සත් ජනපදයේ ඉන්න සහෝදරි ඇන්ජලීනාගේ a අද්දැකීම බලන්න. එයාට අවස්ථාවක් ලැබුණා වැඩපොළේ හැමෝම ඉස්සරහා යෙහෝවා වෙනුවෙන් කතා කරන්න. එයා එතන වැඩට ගියේ අලුතෙන්. අලුතෙන් ආපු හැමෝටම තම තමන්ව හඳුන්නලා දෙන්න පොඩි රැස්වීමක් ලෑස්ති කරලා තිබුණා. ඇන්ජලීනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට කොච්චර සතුටින් ජීවිතේ ගත කරනවාද කියලා පෙන්නන්න ෆොටෝ ටිකකුත් ලෑස්ති කරගෙන ගියා. හැබැයි එයාගේ වාරේට කලින් තව කෙනෙක් කතා කළා. ඒ කෙනා කිව්වා එයාගේ දෙමාපියන් සාක්ෂිකරුවන් කියලා. ඊටපස්සේ එයා සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පහත් කරලා කතා කළා. ඇන්ජලීනා මෙහෙම කියනවා. “ඒ වෙලාවේ මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. ඒත් මං ආයේ හිතුවා ‘එයාට යෙහෝවා ගැන බොරු කියන්න ඉඩහැරලා මං බලන් ඉන්නවාද, නැත්තං මං යෙහෝවා වෙනුවෙන් කතා කරනවාද’ කියලා.”

10 ඒ කෙනා කතාව ඉවර කරපු ගමන් ඇන්ජලීනා පොඩි යාච්ඤාවක් කළා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “මාත් හැදුණේ වැඩුණේ සාක්ෂිකරුවෙක් විදිහට. දැනටත් මං සාක්ෂිකරුවෙක්.” ඒ වෙලාවේ ඇන්ජලීනාට ලොකු පීඩනයක් දැනුණත් එයා සන්සුන්ව හිටියා. ගෙනාපු ෆොටෝ පෙන්නලා එයා කිව්වා යෙහෝවාට සේවේ කරන එකෙන් එයා කොච්චර සතුටක් ලබනවාද කියලා. ඒ වගේම එයාගේ විශ්වාසයන් ගැනත් ගෞරවනීයව පැහැදිලි කළා. (1 පේතෘ. 3:15) මොකක්ද අන්තිමට වුණේ? ඒක ඇහුවාට පස්සේ ඒ කෙනා ටිකක් සන්සුන් වුණා. ඊටපස්සේ තරුණ කාලේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරද්දී එයාට තිබ්බ ලස්සන මතකයන් ගැන එයාත් කිව්වා. ඇන්ජලීනා මෙහෙම කියනවා. “අපි යෙහෝවා වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඇත්තටම ඔහුගේ නම වෙනුවෙන් කතා කරන්න ලැබුණ එක ලොකු ගෞරවයක්.” ඉතින් අපිටත් පුළුවන් අනිත් අය යෙහෝවාට අගෞරව කරද්දීත් ඇන්ජලීනා වගේ ඔහුව ගෞරවයට පත් වෙන විදිහට කතා කරන්න. ඒක අපිට ලැබුණ වටිනා අවස්ථාවක්.

අපේ කතාබහෙන් (9-10 ඡේද බලන්න) b


11. අතීතයේ ඉඳන් සැබෑ ක්‍රිස්තියානීන් ගීතාවලිය 96:8 තියෙන ප්‍රතිපත්තිය අනුගමනය කරලා තියෙන්නේ කොහොමද?

11 ගීතාවලිය 96:8 කියවන්න. අපේ වටිනා දේවල් දෙන එකෙන්. සැබෑ ක්‍රිස්තියානීන් කවදත් යෙහෝවාට ගෞරවය දෙන්න ඒ දේ කළා. (හිතෝ. 3:9) උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු දේවමාලිගාව ගොඩනඟන්න සහ ඒක බලාගන්න එයාලාගේ සල්ලි, වටිනා දේවල් පරිත්‍යාග කළා. (2 රාජා. 12:4, 5; 1 ලේක. 29:3-9) යේසුස්ගේ ගෝලයන්ගෙන් සමහරදෙනෙක් “එයාලට අයිති දේවල් පාවිච්චි කරලා” යේසුස්වයි, නියෝජිතයන්වයි බලාගත්තා. (ලූක් 8:1-3) මුල් සියවසේ ක්‍රිස්තියානීනුත් සහෝදර සහෝදරියන්ට සහනාධාර පරිත්‍යාග කළා. (ක්‍රියා 11:27-29) අදත් අපි කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්.

12. අපි සම්මාදම් කරන එකෙන් යෙහෝවාට ගෞරවය ලැබෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

12 අපි කරන සම්මාදම් නිසා යෙහෝවාට ගෞරවය ලැබෙන විදිහ දැනගන්න අපි එක අද්දැකීමක් බලමු. 2020දී සිම්බාබ්වේට හරිම දරුණු නියඟයක් ආවා. කෑම නැති නිසා මිලියන ගාණකගේ ජීවිත තිබ්බේ ලොකු අවධානමක. ඒ අය අතරේ සහෝදරි ප්‍රිස්කාත් හිටියා. මේ මොන තත්වය තිබුණත් එයා කලින් වගේම බදාදාටයි, සිකුරාදාටයි සේවේ ගියා. වගා වැඩ පටන්ගත්තාට පස්සෙත් එයා සේවේ නැවැත්තුවේ නැහැ. ඒ නිසා අසල්වැසියෝ එයාට ඇනුම්පද කිව්වා. එයාලා කිව්වා “වැඩ කරන්නේ නැතුව ඔහොම ගෙවල් ගාණේ යන්න ගියොත් හාමතේ මැරෙන්නයි වෙන්නේ” කියලා. ඒ වෙලාවේ ප්‍රිස්කා බය නැතුව එයාලට කිව්වා “යෙහෝවා එයාගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නෑ” කියලා. ඔය සිද්ධිය වෙලා වැඩි කල් යන්න කලින් කෑම බීම වගේ එයාට ඕන කරන දේවල් සහෝදරයෝ ගෙනත් දුන්නා. එහෙම එයාට උදව් කරන්න සහෝදරයන්ට පුළුවන් වුණේ අපේ සම්මාදම් නිසයි. ඕක දැනගත්තාම අසල්වැසියෝ පුදුම වුණා. එයාලා ප්‍රිස්කාට කිව්වා “ඔයාගේ දෙවියන් ඔයාව අත්හරින්නේ නෑ. අපිටත් ඕනෙ ඔයාගේ දෙවියන් ගැන තව දැනගන්න” කියලා. අන්තිමේදී අසල්වැසියන්ගෙන් හත්දෙනෙක් රැස්වීම් එන්නත් පටන්ගත්තා.

අපි ළඟ තියෙන වටිනා දේවල් දීලා යෙහෝවාව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් (12 ඡේදය බලන්න) c


13. අපේ හැසිරීම නිසා යෙහෝවාට ගෞරවය ලැබෙන්නේ කොහොමද? (ගීතාවලිය 96:9)

13 ගීතාවලිය 96:9 කියවන්න. අපේ හැසිරීමෙන්. දෙවියන්ගේ ගෘහයේ සේවේ කරපු පූජකයන් ශාරීරිකව පිරිසිදුව ඉන්න එක වැදගත් වුණා. (නික්. 40:30-32) අපිත් එහෙම වෙන්න ඕනේ. හැබැයි ශාරීරිකව විතරක් නෙවෙයි, අපි යෙහෝවා අකමැති දේවල්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න එකත් වැදගත්. (ගීතා. 24:3, 4; 1 පේතෘ. 1:15, 16) ඒකට අපි “පරණ පෞද්ගලිකත්වය” අයින් කරලා “අලුත් පෞද්ගලිකත්වය” පැලඳගන්න ඕනේ. ඒ කියන්නේ වැරදි දේවල් හිතන එකෙන්, දෙවියන් අකමැති දේවල් කරන එකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා දෙවියන්ගේ ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නන්න අපි උත්සාහ කරන්න ඕනේ. (කොලො. 3:9, 10) අපවිත්‍ර දේවල් කරපු, දරුණු කෙනෙක්ට වුණත් පුළුවන් දෙවියන්ගේ උදව්වෙන් අලුත් පෞද්ගලිකත්වය පැලඳගෙන වෙනස්ම කෙනෙක් වෙන්න.

14. ජැක්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

14 ජැක් කියන්නේ ගොඩක් දරුණු, භයානක කෙනෙක්. එයා කොච්චර භයානකද කියනවා නම් මිනිස්සු එයාට කිව්වේ යක්ෂයා කියලා. එයා කරපු අපරාධ නිසා එයාට මරණ දඬුවම නියම වුණා. හැබැයි එයා හිරේ ඉන්න කාලේ දේශනා කරන්න හිරේට ගිය සහෝදරයෙක් එයාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. කාලයත් එක්ක එයා එයාගේ පරණ පෞද්ගලිකත්වය අයින් කරලා බව්තීස්ම වුණා. මරණ දඬුවම ලැබෙන දවස වෙද්දී ජැක් වෙනස්ම පුද්ගලයෙක් වෙලා හිටියා. කොච්චරද කියනවා නම් හිරේ හිටපු නිලධාරීන් එයාට සමු දුන්නේ ඇස්වල කඳුළු පුරෝගෙන. සාජන්ට් කෙනෙක් මෙහෙම කිව්වා. “මීට කාලෙකට කලින් ජැක් කියන්නේ මහ එපාම කරපු දරුණු කෙනෙක්. හැබැයි දැන් එයා හිතාගන්නවත් බැරි තරම් හොඳ කෙනෙක්.” ජැක්ට මරණ දඬුවම දීලා සතියකට විතර පස්සේ අපේ සහෝදරයෝ සතිපතා පවත්වන රැස්වීම් තියන්න හිරේට ගියා. ඒ වෙලාවේ පළවෙනි පාරට රැස්වීමට ආපු කෙනෙක්ව එයාලට හම්බ වුණා. එයා රැස්වීම් එන්න පෙලඹුණේ ඇයි? ඒ ජැක්ගේ වෙනස් වීම නිසා. එයාට දැනගන්න ඕන වුණා යෙහෝවාට නමස්කාර කරන්න නම් එයා මොනවාද කරන්න ඕනෙ කියලා. මේ අද්දැකීමෙන් පේනවා අපේ හොඳ හැසිරීමට පුළුවන් ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට ගෞරවය ගේන්න කියලා.—1 පේතෘ. 2:12.

අපේ හොඳ හැසිරීමෙන් යෙහෝවාව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් (14 ඡේදය බලන්න) d


ළඟදීම යෙහෝවා ඔහුගේ නම ගෞරවයට පත් කරනවා

15. ළඟදීම යෙහෝවා ඔහුගේ නම ගෞරවයට පත් කරන්නේ කොහොමද? (ගීතාවලිය 96:10-13)

15 ගීතාවලිය 96:10-13 කියවන්න. 96වෙනි ගීතිකාවේ අන්තිම පද කීපයේ යෙහෝවාව විස්තර කරලා තියෙන්නේ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක් සහ රජ කෙනෙක් විදිහට. යෙහෝවා ළඟදීම ඔහුගේ නම ගෞරවයට පත් කරන්නේ කොහොමද? ඒ ඔහු යුක්තිය ඉටු කරලා. ළඟදීම යෙහෝවා ගැන බොරු උගන්නලා, ඔහුගේ නම කැත කරපු මහ බැබිලෝනිය ඔහු විනාශ කරලා දානවා. (එළි. 17:5, 16; 19:1, 2) මහ බැබිලෝනියේ විනාශය දැක්කාම සමහරු සැබෑ නමස්කාරයට එකතු වෙයි. යෙහෝවාට විරුද්ධ වුණ, ඔහුගේ නමට අපහාස කරපු සාතන්ගේ මේ දුෂ්ට සමාජය ඔහු අර්මගෙදොන් යුද්දේදී සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. හැබැයි ඔහුට ආදරේ කරන, ඔහුට කීකරු වෙන, ඔහුව ගෞරවයට පත් කරන්න ආසාවෙන් ඉන්න අයව ඔහු ආරක්ෂා කරනවා. (මාක් 8:38; 2 තෙස. 1:6-10) යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවසානයේ අවසන් පරීක්ෂණයෙන් පස්සේ යෙහෝවා ඔහුගේ නම සම්පූර්ණයෙන්ම ගෞරවයට පත් කරනවා. (එළි. 20:7-10) එදාට “ජලයෙන් මුහුද පිරිලා තියෙනවා වගේ යෙහෝවාගේ තේජස ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගන්නවා.”—හබ. 2:14.

16. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද? (පින්තූරයත් බලන්න.)

16 ටිකකට හිතන්න, පොළොවේ ඉන්න හැමෝම එකතු වෙලා යෙහෝවාගේ නමට ගෞරව කරද්දී ඒක කොච්චර ලස්සන කාලයක් වෙයිද! ඒ දවස එන කල් ලැබෙන හැම අවස්ථාවකදීම අපේ දෙවියන්ව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් හැම දේම කරමු. ඒකේ වැදගත්කම කාවද්දන්නයි 2025 වාර්ෂික පදය විදිහට පාලක මණ්ඩලය ගීතාවලිය 96:8 තියෙන මේ වචන තෝරගත්තේ. “යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.”

එදාට ජීවත් වෙන හැමෝම යෙහෝවාගේ නමට ලැබෙන්න ඕන ගෞරවය දෙයි (16 ඡේදය බලන්න)

ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b පින්තූරේ අදහස: ඇන්ජලීනාගේ අද්දැකීම රඟ දැක්වීමකින්.

c පින්තූරේ අදහස: ප්‍රිස්කාගේ අද්දැකීම රඟ දැක්වීමකින්.

d පින්තූරේ අදහස: ජැක්ගේ අද්දැකීම රඟ දැක්වීමකින්.