Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 3

ගීතිකාව 35 ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’

යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න

යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න

“ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ. අවබෝධය ලබාගන්න නම් අතිශුද්ධ තැනැත්තාව දැන හඳුන ගන්න ඕනේ.”හිතෝ. 9:10.

ලිපියේ අරමුණ

හොඳ තීරණ ගන්න දැනුම, අවබෝධය සහ වටහාගැනීමේ හැකියාව උදව් වෙන්නේ කොහොමද?

1. අපි හැමෝටම කරන්න වෙන අමාරු දේ මොකක්ද?

 හැම දවසකම අපිට තීරණ ගන්න වෙනවා. සමහර ඒවා ගන්න ලේසියි. උදාහරණෙකට උදේට කන්නේ මොනවාද, නිදාගන්නේ කීයටද වගේ ඒවා. හැබැයි තවත් තීරණ ගන්න ඒ තරම් ලේසි නැහැ. ඒ තීරණ අපේ සෞඛ්‍යයට, අපේ සතුටට, අපි ආදරේ කරන අයට, අපේ නමස්කාරයට බලපාන්න පුළුවන්. අපිට ඕනෙ අපේ තීරණවලින් අපිට වගේම අපේ පවුලේ අයටත් ප්‍රයෝජන ලැබෙනවා දකින්න. හැබැයි වැදගත්ම දේ අපිට ඕනෙ අපේ තීරණවලින් යෙහෝවාගේ හිත සතුටු කරන්න.—රෝම 12:1, 2.

2. හොඳ තීරණ ගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

2 හොඳ තීරණ ගන්න උදව් වෙන්නේ මොනවාද? (1) තීරණයට සම්බන්ධ තොරතුරු එකතු කරගන්න. (2) යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න. (3) තොරතුරු කිරලා මැනලා බලන්න. අපි මේ ලිපියෙන් ඒ පැති තුන ගැන බලනවා. ඒක උදව් වෙයි හොඳට හිතලා බලලා තීරණයක් ගන්න අපිවම පුහුණු කරගන්න.—හිතෝ. 2:11.

තොරතුරු එකතු කරගන්න

3. තීරණයක් ගන්න කලින් ඒකට සම්බන්ධ තොරතුරු හොයාගන්න එක වැදගත් ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

3 හොඳ තීරණයක් ගන්න උදව් වෙන පළවෙනි දේ තමයි ඒ කාරණයට සම්බන්ධ තොරතුරු හොයලා බලන එක. ඇයි ඒක වැදගත්? හිතන්න, අසනීපෙන් ඉන්න කෙනෙක් දොස්තරව හම්බ වෙන්න යනවා කියලා. දොස්තර එයාව පරීක්ෂා කරන්නේ නැතුව, එයාගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව බෙහෙත් දුන්නොත් ඒක හරි යයිද? නැහැ නේද? ඔයාත් තීරණයක් ගන්න කලින් හැම පැත්තක්ම හොයලා බලන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ?

4. හිතෝපදේශ 18:13 කියන විදිහට තොරතුරු එකතු කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

4 ප්‍රශ්න අහලා තොරතුරු එකතු කරගන්න. හිතන්න, ඔයාට පාටි එකකට එන්න කිව්වා කියලා. ඔයා ඒකට යනවාද? ආරාධනා කරපු කෙනාව ඔයා එච්චර දන්නේ නැත්නම්, ඒ පාටියේදී මොන වගේ දේවල් වෙයිද කියලා ඔයාට ෂුවර් නැත්නම් ඔයාට පුළුවන් මේ වගේ ප්‍රශ්න අහන්න. “ඒක තියෙන්නේ කොහෙද, කවදාද? කීදෙනෙක් එනවාද? ඒකේ සිද්ධ වෙන දේවල් බලාගන්නේ කවුද? කවුරු කවුරුද ඒකට එන්නේ? එදාට කරන්න ප්ලෑන් කරන්නේ මොනවාද? එන අයට මත්පැනුත් දෙනවාද?” ඒවාට උත්තර දැනගත්තාම ඔයාට හොඳ තීරණයක් ගන්න පුළුවන්.—හිතෝපදේශ 18:13 කියවන්න.

ප්‍රශ්න අහලා තොරතුරු එකතු කරගන්න (4 ඡේදය බලන්න) a


5. තොරතුරු ගත්තාට පස්සේ ඔයා කරන්න ඕනෙ මොකක්ද?

5 තොරතුරු ගත්තාට පස්සේ ඒවා එකින් එක පෙළගස්සලා මුළු පින්තූරේ දකින්න උත්සාහ කරන්න. උදාහරණෙකට බයිබල් ප්‍රතිපත්ති එච්චර ගණන් ගන්නේ නැති අයත් ඒ පාටියට එනවා කියලා ඔයා දැනගත්තොත්? ඒ පාටියේ මත්පැන් දුන්නාට ඒ ගැන බලන්න කවුරුත් නැහැ කියලා දැනගත්තොත්? ඒ පාටිය ප්‍රතිපත්ති කැඩෙන, පහත් තැනට වැටෙන්න පුළුවන් පාටියක් වෙයි කියලා ඔයාට පේනවාද? (1 පේතෘ. 4:3) අනිත් අතට ඒකට ගියොත් ඒ සතියේ රැස්වීම්, සේවේ යන්න ඔයාට බැරි වෙයිද? ඒ විදිහට මුළු පින්තූරේ දකිද්දී ඒක ඔයාට උදව් වෙයි හොඳ තීරණයක් ගන්න. ඒත් ඔයා කරන්න ඕනෙ තව වැදගත් දෙයක් තියෙනවා. ඔයාගේ පැත්තෙන් මේ පින්තූරේ දකිනවා වගේම යෙහෝවා මේක දිහා බලන්නේ කොහොමද කියලත් හිතන්න ඕනේ.—හිතෝ. 2:6.

යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න

6. යාකොබ් 1:5 කියන විදිහට යෙහෝවාගෙන් උදව් ඉල්ලලා අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

6 යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. අපි ගන්න තීරණය යෙහෝවාගේ හිත සතුටු කරයිද නැද්ද කියලා තේරුම්ගන්න ඕන කරන ප්‍රඥාව අපිට දෙනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. ඇත්තටම ඔහු ‘දොස් කියන්නේ නැතුව, හරිම කැමැත්තෙන් හැමෝටම ප්‍රඥාව ලබා දෙනවා.’—යාකොබ් 1:5 කියවන්න.

7. යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.

7 යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවාට පස්සේ හොඳ අවධානයෙන් ඉඳලා ඔහුගේ උත්තරේ අඳුරගන්න. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා ගමනක් යද්දී අතරමං වෙනවා. ඉතින් ඔයා ඒ පැත්තේ කෙනෙක්ගෙන් පාර අහනවා. පාර අහලා එයා පාර කියන්නත් කලින් ඔයා එතනින් යනවාද? නැහැනේ. එයා පාර කියද්දී ඔයා හොඳ අවධානයක් දෙනවා. අන්න ඒ වගේ ඔයා යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලුවාට පස්සේ ඔහු දෙන උත්තරේ දැනගන්න නම් කාරණයට අදාළ බයිබල් නීති, ප්‍රතිපත්ති මොනවාද කියලා හොයලා බලන්න ඕනේ. උදාහරණෙකට අපි කලින් කතා කරපු පාටිය ගැන හිතන්න. ඒකට යනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් ඝෝෂාකාරී උත්සව ගැන, නරක යාළුවෝ ගැන, ඔයා ආස දේට වඩා දේවරාජ්‍යයට මුල් තැන දෙන එක ගැන බයිබලේ කියලා තියෙන්නේ මොනවාද කියලා ඔයා හොයලා බලන්න ඕනේ.—මතෙ. 6:33; රෝම 13:13; 1 කොරි. 15:33.

8. තොරතුරු හොයාගන්න උදව් ඕන නම් කරන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

8 සමහර වෙලාවට තීරණයක් ගන්න ඕන කරන මඟ පෙන්වීම් හොයාගන්න ඔයාට උදව් ඕන වෙයි. ඔයාට පුළුවන් අවබෝධයෙන් වැඩ කරන සහෝදරයෙක්ගෙන්, සහෝදරියකගෙන් ඒ ගැන අහන්න. ඒත් තොරතුරු ඔයාම හොයලා අධ්‍යයනය කරන එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ සහ ‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ වගේ ප්‍රකාශනවලින් ගොඩක් තොරතුරු හොයාගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාගේ ඉලක්කේ වෙන්න ඕනෙ යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න එක.

යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න (8 ඡේදය බලන්න) b


9. අපි ගන්න තීරණය නිසා යෙහෝවා සතුටු වෙයි කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? (එෆීස 5:17)

9 අපි ගන්න තීරණය නිසා යෙහෝවා සතුටු වෙයි කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? මුලින්ම අපි ඔහුව හොඳින් අඳුරගන්න ඕනේ. බයිබලේ කියනවා “අවබෝධය ලබාගන්න නම් අතිශුද්ධ තැනැත්තාව දැන හඳුන ගන්න ඕනෙ” කියලා. (හිතෝ. 9:10) යෙහෝවාගේ ගතිගුණ, ඔහුගේ අරමුණ, ඔහු කැමති අකමැති දේවල් ගැන දැනගද්දී තමයි අපිට නියම අවබෝධය ලැබෙන්නේ. ඉතින් අපි මෙහෙම අහගමු. ‘මං යෙහෝවා ගැන දැනටමත් දන්න දේවල් දිහා බලද්දී මං මොන තීරණය ගත්තොත්ද ඔහු සතුටු වෙන්නේ?’—එෆීස 5:17 කියවන්න.

10. පරම්පරාවෙන් එන අදහස්වලට, සංස්කෘතියට වඩා බයිබල් ප්‍රතිපත්ති ගැන බලන එක වැදගත් ඇයි?

10 සමහර වෙලාවට යෙහෝවාව සතුටු කරන්න අපිට කිට්ටු අය අකමැති දෙයක් වුණත් කරන්න වෙයි. උදාහරණෙකට දුවගේ අනාගතය ගැන හිතලා දෙමාපියෝ එයාට කියයි හොඳට සල්ලි බාගේ තියෙන, එයාලවත් බලාගන්න පුළුවන් කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා. ඒ කෙනා නමස්කාරයේ දේවල් හරියට කරන්නේ නැති කෙනෙක් වුණත් එයාව බඳින්න කියයි. ඇත්ත, ඕනම දෙමාපියෙක් කැමතියි තමන්ගේ දුව කරදරයක් නැතුව ජීවත් වෙනවා දකින්න. ඒත් ඒ වගේ කෙනෙක්ව බැන්දොත් යෙහෝවාත් එක්ක දිගටම හොඳ බැඳීමක් තියාගන්න දුවට උදව් කරන්නේ කවුද? ඒ කාරණය දිහා යෙහෝවා බලන විදිහ මතෙව් 6:33 තියෙනවා. එතන අපි හැමෝටම කියන්නේ ‘දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියලයි. ඇත්ත, අපි දෙමාපියන්ට, සංස්කෘතියට ගරු කරනවා. ඒත් වැදගත්ම දේ වෙන්න ඕනෙ යෙහෝවාගේ හිත සතුටු කරන එක.

කිරලා මැනලා බලන්න

11. දේවල් කිරලා මැනලා බලන්න ඔයාට උදව් වෙන්නේ ෆිලිප්පි 1:9, 10 තියෙන මොන ගුණාංගයද?

11 ඔයාගේ කාරණයට අදාළ බයිබල් ප්‍රතිපත්ති අඳුරගත්තාට පස්සේ ඔයා ඉස්සරහා තියෙන තීරණ කිරලා මැනලා බලන්න. (ෆිලිප්පි 1:9, 10 කියවන්න.) ඒ එක් එක් තීරණය ගත්තොත් මොන වගේ ප්‍රතිඵල ලැබෙයිද කියලා තේරුම්ගන්න වටහාගැනීමේ හැකියාව ඔයාට උදව් වෙනවා. ඇත්ත සමහර තීරණ ගන්න හිතන තරම් ලේසි නැහැ. හැබැයි කොච්චර අමාරු වුණත් හරි තීරණය ගන්න වටහාගැනීමේ හැකියාව ඔයාට උදව් වෙයි.

12-13. රස්සාවක් ගැන හොඳ තීරණයක් ගන්න වටහාගැනීමේ හැකියාව උදව් වෙන්නේ කොහොමද?

12 හිතන්න, ඔයා පවුලේ අයට උදව් කරන්න රස්සාවක් හොයනවා කියලා. රස්සාවල් දෙකක් ඔයාට හම්බ වෙනවා. ඒ දෙකෙන්ම දෙවියන්ගේ ප්‍රතිපත්ති කැඩෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒ රස්සාවල් ගැන හැම තොරතුරක්ම හොයලා බලනවා. එතන මොන වගේ වැඩක්ද කරන්න තියෙන්නේ? කීයේ ඉඳන් කීය වෙන කල් වැඩද? යන්න එන්න කොච්චර වෙලාවක් යනවාද? සමහරවිට ඒ දෙකෙන් එකකට ඔයා වැඩියෙන් කැමති ඇති. මොකද එතන කරන්න තියෙන වැඩේට ඔයා ආසයි. පඩිත් හොඳයි. හැබැයි ඒ දෙකෙන් එකක් තෝරගන්න කලින් ඔයා බලන්න ඕන තව පැති තියෙනවා.

13 ඒකට ගියොත් රැස්වීම් අතපසු වෙයිද? පවුලේ අයගේ සතුට ගැනත් ආරක්ෂාව ගැනත් හොයලා බලන්න, යෙහෝවාට ළං වෙන්න එයාලට උදව් කරන්න කාලේ හොයාගන්න ඔයාට බැරි වෙයිද? ඒ වගේ ප්‍රශ්න ගැන හිතන එක ඔයාට උදව් වෙනවා ‘වඩා වැදගත් දේවල්වලට’ මුල් තැන දෙන්න. ඒ කියන්නේ සල්ලි හම්බ කරනවාට වඩා නමස්කාරයේ දේවල්වලට, පවුලේ අයගේ ඕනෑ එපාකම් ගැන හොයලා බලන්න මුල් තැන දෙන්න. ඔයා ඒ පැති ගැන හිතුවොත් යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන හොඳ තීරණයක් ගන්න පුළුවන්.

14. අනිත් අයගේ විශ්වාසයට හානියක් නොකර ඉන්න වටහාගැනීමේ හැකියාව සහ ආදරය උදව් වෙන්නේ කොහොමද?

14 වටහාගැනීමේ හැකියාව උදව් වෙනවා අපි ගන්න තීරණ අනිත් අයට බලපාන විදිහ ගැන හිතන්න. එහෙම හිතද්දී අපිට පුළුවන් අනිත් අයගේ ‘විශ්වාසයට හානියක් නොවෙන’ තීරණ ගන්න. (ෆිලි. 1:10) විලාසිතා තෝරගද්දී අපි ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණෙකට අපි අඳින්න පලඳින්න ආස විදිහක් ඇති. හැබැයි අපි ආස දේ කළොත් සභාවේ අයට සහ පිට අයට ඒක කොහොම බලපායිද? වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙනවා එයාලාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න. ආදරේ අපිට උදව් වෙනවා ‘අනිත් අයගේ’ ප්‍රයෝජනය ගැන හිතලා නිහතමානීව වැඩ කරන්න. (1 කොරි. 10:23, 24, 32; 1 තිමෝ. 2:9, 10) අපි එහෙම හිතනවා නම් අපේ තීරණවලින් පෙනෙයි අපි අනිත් අයට ආදරෙයි, අපි එයාලට ගෞරව කරනවා කියලා.

15. වැදගත් තීරණයක් අරන් ඒකට අනුව වැඩ කරන්න කලින් හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

15 හිතන්න, ඔයාට වැදගත් තීරණයක් ගන්න වෙනවා කියලා. ඒ තීරණය ගත්තොත් ඔයාට මොන මොන දේවල්ද කරන්න වෙන්නේ කියලා හිතන්න. යේසුස් කිව්වා වැඩක් කරන්න කලින් ඒකට යන වියදම “ගණන් බලන්න” කියලා. (ලූක් 14:28) ඒ නිසා ඔයා ඒ තීරණය ගත්තොත් ඒකට යන කාලය, කැප කරන්න වෙන දේවල්, ගන්න වෙන මහන්සිය ගැන හොඳට හිතන්න. ඔයාට ඒ දේ ගැන ඔයාගේ පවුලේ අය එක්කත් කතා කරන්න වෙයි. ඒ තීරණය ගත්තොත් එයාලට මොන වගේ දේවල්ද කරන්න වෙන්නේ කියලා එයාලා එක්ක කතා කරන්න. මොකද එහෙම කරද්දී සමහරවිට ඔයාට තේරෙයි ඔයා ගත්ත තීරණය ටිකක් වෙනස් කරන්න ඕනෙ කියලා. එහෙම නැත්තම් ඒක කරන්න ඊට වඩා හොඳ විදිහක් තියෙනවා කියලා. ඒ විදිහට පවුලේ අයගේ අදහසුත් අරන් වැඩ කරද්දී ඒ තීරණය සාර්ථක කරගන්න එයාලා එයාලාගේ උපරිම සහය දෙයි.—හිතෝ. 15:22.

හොඳ තීරණයක් ගන්න

16. හොඳ තීරණයක් ගන්න ඔයාට උදව් වෙන දේවල් මොනවාද? (“ හොඳ තීරණයක් ගන්නේ කොහොමද?” කියන කොටුවත් බලන්න.)

16 අපි මේ ලිපියේ කතා කරපු දේවල් අදාළ කරගත්තොත් ඔයාටත් පුළුවන් හොඳ තීරණයක් ගන්න. ඔයා මුලින්ම ඔයාගේ තීරණයට අදාළ තොරතුරු එකතු කරගත්තා. ඊටපස්සේ යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ඔයා අධ්‍යයනය කළා. දැන් ඔයාට පුළුවන් ඒ තීරණය සාර්ථක කරගන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.

17. හොඳ තීරණ ගන්න ඔයාට උදව් වෙන වැදගත්ම දේ මොකක්ද?

17 ඔයා මීට කලින් ගොඩක් තීරණ අරන් ඒවා සාර්ථක වෙලා ඇති. ඒත් වැදගත්ම දේ අපේ දැනුම මත, අපේ අද්දැකීම් මත රඳලා ඉන්නවාට වඩා යෙහෝවාගෙන් ලැබෙන ප්‍රඥාව මත රඳලා ඉන්න එක. ප්‍රඥාවන්තව වැඩ කරන්න උදව් වෙන නියම දැනුම, අවබෝධය, වටහාගැනීමේ හැකියාව දෙන්න පුළුවන් ඔහුට විතරයි. (හිතෝ. 2:1-5) ඔහුගේ හිත සතුටු වෙන විදිහේ තීරණ ගන්න ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.—ගීතා. 23:2, 3.

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

a පින්තූරවල අදහස: පාටියකට ආරාධනා කරලා ෆෝන් එකට ආපු මෙසේජ් එක ගැන යෞවන සහෝදර සහෝදරියන් කතා කරනවා.

b පින්තූරේ අදහස: පාටියට යනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් එයාලාගෙන් එක සහෝදරයෙක් අපේ ප්‍රකාශනවලින් තොරතුරු හොයනවා.