Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

ගීතිකාව 132 අප දැන් එක් කෙනෙකු මෙන් වේ

ස්වාමිපුරුෂයෙනි, බිරිඳට ගෞරව කරන්න

ස්වාමිපුරුෂයෙනි, බිරිඳට ගෞරව කරන්න

‘ස්වාමිපුරුෂයෙනි, බිරිඳට ගෞරවයෙන් සලකන්න.’1 පේතෘ. 3:7.

ලිපියේ අරමුණ

ස්වාමිපුරුෂයෙක් කරන කියන දේවල්වලින් බිරිඳට ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

1. යෙහෝවා විවාහය කියන තෑග්ග අපිට දෙන්න එක හේතුවක් මොකක්ද?

 “ප්‍රීතිමත් දෙවියන්” වන යෙහෝවා කැමතියි අපිත් සතුටින් ඉන්නවාට. (1 තිමෝ. 1:11) ජීවිතේට සතුට එකතු කරන්න යෙහෝවා අපිට ගොඩක් තෑගි දීලා තියෙනවා. (යාකො. 1:17) විවාහය කියන්නේ ඒ වගේ තෑග්ගක්. පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විවාහ වෙද්දී එකිනෙකාට ආදරේ කරන්න, ගෞරව කරන්න එයාලා පොරොන්දු වෙනවා. දෙන්නාගේ බැඳීම ශක්තිමත්ව තියාගද්දී එයාලට ලොකු සතුටක් අද්දකින්නත් පුළුවන්.—හිතෝ. 5:18.

2. හුඟක් විවාහයන්වලට අද වෙලා තියෙන්නේ මොකක්ද?

2 හැබැයි හුඟක් අය විවාහ වෙන දවසේ දෙන පොරොන්දුව අමතක කරනවා. ඒ නිසා හුඟදෙනෙක් ඉන්නේ සතුටින් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා හුඟක් ස්වාමිපුරුෂයන් බිරිඳට පහර දෙනවා, වචනවලින් රිද්දනවා, මානසිකව වට්ටන තව හුඟක් දේවල් කරනවා කියලා. ඒ වගේ සැමියෙක් සමහරවිට අනිත් අය ඉස්සරහා බිරිඳට හොඳට සැලකුවත් ගෙදරදී එයාට සලකන්නේ හරිම නපුරු විදිහට. පුරුෂයන් හුඟදෙනෙක් අසභ්‍ය දර්ශන බලන නිසාත් එයාලාගේ විවාහයන් තියෙන්නේ අවදානම් තැනක.

3. සමහර පුරුෂයන් එයාලාගේ බිරිඳට නපුරු විදිහට සලකන්නේ ඇයි?

3 සමහර පුරුෂයන් බිරිඳට නපුරු විදිහට සලකන්නේ ඇයි? සමහරු පොඩි කාලේ ඉඳලා දැකලා තියෙන්නේ එයාගේ තාත්තා අම්මාට නපුරු විදිහට සලකන විදිහ. ඒ නිසා එයා හිතනවා බිරිඳට එහෙම සලකන එක සාමාන්‍ය දෙයක් කියලා. තවත් අයට සංස්කෘතිය බලපානවා. එයාලා හිතනවා “නියම පිරිමියෙක්” නම් ගෙදර ලොක්කා කවුද කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න ඕනෙ කියලා. සමහර පුරුෂයන්ට පොඩි කාලේ ඉඳන් කේන්තිය වගේ හැඟීම් පාලනය කරගන්න කියලා දීලා නැහැ. තවත් අය නිතරම අසභ්‍ය දර්ශන බලන නිසා කාන්තාවන් ගැන, ලිංගික දේවල් ගැන එයාලට තියෙන්නේ විකෘති අදහස්. වාර්තාවල පෙන්නනවා කොරෝනා වසංගත කාලේ මේ ප්‍රශ්නේ තවත් දරුණු වුණා කියලා. හේතුව මොකක් වුණත් තමන්ගේ බිරිඳට නපුරු විදිහට සලකන්න පුරුෂයෙක්ට කිසිම අයිතියක් නැහැ.

4. යෙහෝවාට නමස්කාර කරන ස්වාමිපුරුෂයන් පරෙස්සම් වෙන්න ඕනෙ මොකෙන්ද? ඒ ඇයි?

4 කාන්තාවන් ගැන මේ ලෝකේ වැඩිදෙනෙක්ට තියෙන අදහස් තමන්ගේ හිතට දාගන්නේ නැතුව ඉන්න යෙහෝවාට නමස්කාර කරන ස්වාමිපුරුෂයන් පරෙස්සම් වෙන්න ඕනේ. a මොකද කෙනෙක් හිතට දාගන්න දේවල් තමයි ක්‍රියාවෙන් එළියට එන්නේ. පාවුල් රෝමයේ හිටපු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා “මේ සමාජයේ රැල්ලට අනුව වැඩ කරන එක නතර කරන්න” කියලා. (රෝම 12:1, 2) පාවුල් ඒක ලියද්දී ඒ සභාව පිහිටුවලා කාලයක් ගිහින් තිබුණා. හැබැයි පාවුල් කියපු දෙයින් තේරෙනවා ඒ සභාවේ හිටපු සමහරු ලෝකේ අයගේ අදහස්වලට, චාර්ත්‍රවලට අහු වෙලා හිටියේ කියලා. ඒ නිසයි එයා එයාලට කිව්වේ එයාලා හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න කියලා. අද ඉන්න ස්වාමිපුරුෂයනුත් ඒ උපදෙස හිතට ගන්න ඕනේ. මොකද සමහරු මේ ලෝකේ අය හිතන විදිහට හිතන්න පටන් අරන් තියෙන නිසා තමන්ගේ බිරිඳට නපුරු විදිහට සලකනවා. b ස්වාමිපුරුෂයෙක් බිරිඳට කොහොම සලකයි කියලද යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ? ඒකට උත්තරේ මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදෙන් හොයාගන්න පුළුවන්.

5. 1 පේතෘස් 3:7 කියන විදිහට ස්වාමිපුරුෂයෙක් බිරිඳට සලකන්න ඕනෙ කොහොමද?

5 1 පේතෘස් 3:7 කියවන්න. බිරිඳට ගෞරව කරයි කියලා යෙහෝවා ස්වාමිපුරුෂයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ පුරුෂයෙක් බිරිඳට ආදරෙන්, කරුණාවෙන් සලකනවා. බිරිඳට ගෞරව කරනවා කියලා ස්වාමිපුරුෂයෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු. ඒත් ඊට කලින් බලමු බිරිඳට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති පුරුෂයෙක් වැඩ කරන්නේ කොහොමද කියලා.

බිරිඳට දුකක් දෙන්න එපා

6. බිරිඳට පහර දෙන පුරුෂයන් ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? (කොලොස්සි 3:19)

6 බිරිඳට පහර දෙන්න එපා. ප්‍රචණ්ඩ අය යෙහෝවාට පිළිකුලක්. (ගීතා. 11:5) බිරිඳට ගහන ස්වාමිපුරුෂයන්ට යෙහෝවා පොඩ්ඩක්වත් කැමති නැහැ. (මලා. 2:16; කොලොස්සි 3:19 කියවන්න.) මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදේ වන 1 පේතෘස් 3:7 කියන්නේ ස්වාමිපුරුෂයෙක් එයාගේ බිරිඳට හොඳින් සලකන්නේ නැත්නම් යෙහෝවා එක්ක එයාට තියෙන බැඳීමට ඒක බලපානවා කියලයි. යෙහෝවා ඒ වගේ පුරුෂයෙක්ගේ යාච්ඤාවලට වුණත් කන් දෙන්නේ නැහැ.

7. එෆීස 4:31, 32 කියන විදිහට ස්වාමිපුරුෂයෙක් වළකින්න ඕනෙ කොහොම කතා කරන එකෙන්ද? (“පැහැදිලි කිරීමක්” කියන කොටසත් බලන්න.)

7 වචනවලින් බිරිඳව රිද්දන්න එපා. සමහරු බිරිඳට කතා කරන්නේ කෑගහලා, කේන්තියෙන්. පිහියෙන් අනිනවා වගේ වචන එයාලා කියනවා. හැබැයි ‘කේන්තිය, උදහස, තරහෙන් කෑගහන එක, අපහාස කරන එක’ c වගේ දේවලට යෙහෝවා පොඩ්ඩක්වත් කැමති නැහැ. (එෆීස 4:31, 32 කියවන්න.) මතක තියාගන්න, අපි කියන හැම දේම යෙහෝවාට ඇහෙනවා. කවුරුත් නැති තැන වුණත් පුරුෂයෙක් එයාගේ බිරිඳට කතා කරන විදිහ ගැන යෙහෝවා සැලකිලිමත්. බිරිඳට නපුරු විදිහට කතා කරන පුරුෂයෙක් එයාගේ පවුල් ජීවිතේ විතරක් නෙවෙයි යෙහෝවාත් එක්ක තියෙන බැඳීමත් කඩාගන්නවා.—යාකො. 1:26.

8. අසභ්‍ය දර්ශන බලන එක ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? ඒ ඇයි?

8 අසභ්‍ය දර්ශන බලන්න එපා. ඒක යෙහෝවා පිළිකුල් කරනවා. ඒ වගේ දේවල් බලන පුරුෂයෙක් යෙහෝවාත් එක්ක එයාට තියෙන බැඳීමට කරගන්නේ ලොකු හානියක්. එයා බිරිඳට කරන්නෙත් අගෞරවයක්. d විශ්වාසවන්ත පුරුෂයෙක් කියලා යෙහෝවා සලකන්නේ අනාචාරයේ යෙදෙන එකෙන් විතරක් නෙවෙයි ඒ වගේ දේවල් හිතන එකෙනුත් වළකින කෙනෙක්වයි. යේසුස් කිව්වා වැරදි ආසාවකින් ස්ත්‍රියක් දිහා බලන කෙනෙක් ඒ වෙද්දීත් “හිතින් අනාචාරයේ යෙදිලා ඉවරයි” කියලා. eමතෙ. 5:28, 29.

9. ස්වාමිපුරුෂයෙක් ලිංගික කාරණාවලදී තමන්ගේ අවශ්‍යතා ගැන විතරක් හිතන එකට යෙහෝවා අකමැති ඇයි?

9 ඔයාගේ අවශ්‍යතාව ගැන විතරක් හිතන්න එපා. සමහර පුරුෂයන් ලිංගික සම්බන්ධකම් පවත්වද්දී බිරිඳගේ හැඟීම් ගැන හිතන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් බිරිඳගේ අකමැත්තෙන් ලිංගික සම්බන්ධකම් පවත්වන්න නැත්නම් බිරිඳ අකමැති, බිරිඳගේ හෘද සාක්ෂිය වධ දෙන විදිහේ ලිංගික ක්‍රියාවල යෙදෙන්න බිරිඳට බල කරනවා. ඒ වගේ ආත්මාර්ථකාමී පුරුෂයන්ව යෙහෝවාට පිළිකුලක්. ස්වාමිපුරුෂයෙක් බිරිඳට ආදරෙන්, ගෞරවයෙන් සලකයි කියලත් එයාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙයි කියලත් යෙහෝවා බලාපොරොත්තු වෙනවා. (එෆී. 5:28, 29) ස්වාමිපුරුෂයෙක් දැනටමත් තමන්ගේ අවශ්‍යතා ගැන විතරක් හිතලා වැඩ කරනවා නම්, ක්‍රියාවෙන් වචනවලින් බිරිඳට පහර දෙනවා නම්, අසභ්‍ය දර්ශන බලනවා නම් මොකද කරන්නේ? හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න එයාට පුළුවන් කොහොමද?

නරක ගති අයින් කරගන්න

10. යේසුස්ගේ ආදර්ශය ස්වාමිපුරුෂයන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

10 පුරුෂයෙක්ට නරක ගති අයින් කරගන්න පුළුවන් එක විදිහක් තමයි යේසුස්ව ආදර්ශයට ගන්න එක. යේසුස් විවාහ නොවුණාට ඔහුගෙන් ගොඩක් දේවල් ස්වාමිපුරුෂයන්ට ඉගෙනගන්න පුළුවන්. (එෆී. 5:25) යේසුස් ගෝලයන්ට සලකපු විදිහෙන්, එයාලට කතා කරපු විදිහෙන් ස්වාමිපුරුෂයන්ට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

11. යේසුස් ගෝලයන්ට සැලකුවේ කොහොමද?

11 යේසුස් ගෝලයන්ට හැම වෙලාවෙම සැලකුවේ ආදරෙන්, ගෞරවයෙන්. ඔහු එයාලට තරහෙන් කතා කළේවත් එයාලව පහත් කළේවත් නැහැ. එයාලාගේ ස්වාමියා විදිහට යේසුස්ට තිබුණ අධිකාරිය එයාලව බය කරගන්න, යටත් කරගන්න ඔහු පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට ඔහු යටහත්ව එයාලට සේවේ කළා. (යොහ. 13:12-17) යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මම හරිම මෘදු, යටහත්පහත් කෙනෙක්. ඒ නිසා මම ඔයාලා පිට තියන වියගහ පිළි අරන් මගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි.” (මතෙ. 11:28-30, පාදසටහන) දැක්කාද, යේසුස් මෘදු කෙනෙක්. එහෙම කෙනෙක් දුර්වල නැහැ. එයා ශක්තිමත්. එයාට එයාවම පාලනය කරගන්න පුළුවන්. තරහ යන දේවල් අනිත් අය කළත් යේසුස් කේන්ති ගත්තේ නැහැ. ඔහු ඔහුවම පාලනය කරගත්තා.

12. යේසුස් අනිත් අයට කතා කළේ කොහොමද?

12 යේසුස් කතා කළේ හිත් සැනසෙන, දිරිගැන්වෙන විදිහට. ඔහු ගෝලයන්ට බැන්නේ නැහැ. (ලූක් 8:47, 48) හතුරෝ ඔහුට නින්දා කරද්දී, කේන්ති ගස්සන විදිහට වැඩ කරද්දී ‘ඔහු එයාලට නින්දා කළේ නැහැ.’ (1 පේතෘ. 2:21-23) නපුරු විදිහට උත්තර දෙනවා වෙනුවට යේසුස් කිසිම දෙයක් නොකියා හිටපු අවස්ථාත් තිබුණා. (මතෙ. 27:12-14) ස්වාමිපුරුෂයන්ට යේසුස් තිබ්බේ කොච්චර ලස්සන ආදර්ශයක්ද!

13. මතෙව් 19:4-6 කියන විදිහට “බිරිඳට ඇලුම් වෙන්න” ස්වාමිපුරුෂයෙක්ට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

13 යේසුස් ස්වාමිපුරුෂයන්ට කිව්වා බිරිඳට විශ්වාසවන්තව ඉන්න කියලා. දෙවියන් කලින් කියපු දෙයක් යේසුස් ආයෙත් මතක් කරලා කිව්වා ස්වාමිපුරුෂයෙක් “බිරිඳට ඇලුම් වෙනවා” කියලා. (මතෙව් 19:4-6 කියවන්න.) “ඇලුම් වෙනවා” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනේ “ගම් ගාලා එකට අලවනවා” කියන අදහස තියෙනවා. ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අතරේ තියෙන බැඳීම එයාලා දෙන්නාව ගම් ගාලා එකට අලවලා තියෙනවා වගේ ශක්තිමත් වෙන්න ඕනේ. දෙන්නාගෙන් එක් කෙනෙක් ඒ බැඳීම කැඩෙන විදිහේ දෙයක් කළොත් ඒකෙන් දෙන්නාටම වෙන්නේ හානියක්. බිරිඳ එක්ක ඒ වගේ බැඳීමක් තියෙන පුරුෂයෙක් කවදාවත් අසභ්‍ය දර්ශන බලන්නේ නැහැ. “වැදගැම්මකට නැති දේවලින්” එයා එයාගේ ඇස් ඉක්මනින්ම අයින් කරගන්නවා. (ගීතා. 119:37) කිසිම කාන්තාවක් දිහා වැරදි ආසාවකින් නොබලා ඉන්න එයාත් යෝබ් වගේ ලොකු අධිෂ්ඨානයක් අරන් ඉන්නවා.—යෝබ් 31:1.

බිරිඳට විශ්වාසවන්තව ඉන්න පුරුෂයෙක් අසභ්‍ය දර්ශන බලන්නේ නැහැ (13 ඡේදය බලන්න) g


14. යෙහෝවා එක්කයි, බිරිඳ එක්කයි බිඳුණු බැඳීම ආයේ ඇති කරගන්න ගන්න ඕන පියවර මොනවාද?

14 වචනවලින්, අතින් පයින් බිරිඳව රිද්දන පුරුෂයෙක් යෙහෝවා එක්කයි, බිරිඳ එක්කයි බිඳුණු බැඳීම ආයේ ඇති කරගන්න පියවර කීපයක්ම ගන්න ඕනේ. මොනවාද ඒ? (1) හදාගන්න ඕන පැත්තක් තියෙනවා කියලා එයා තේරුම්ගන්න ඕනේ. එයාට බැහැ කිසිම දෙයක් යෙහෝවාගෙන් හංගන්න. (ගීතා. 44:21; දේශ. 12:14; හෙබ්‍රෙ. 4:13) (2) බිරිඳට නපුරු විදිහට සලකන එක නවත්තලා එයා වෙනස් වෙන්න ඕනේ. (හිතෝ. 28:13) (3) බිරිඳගෙනුයි, යෙහෝවාගෙනුයි සමාව ගන්න ඕනේ. (ක්‍රියා 3:19) එයා හිතන, කතාබහ කරන, වැඩ කරන විදිහ වෙනස් කරගන්න හිතේ ආසාවක් ඇති කරන්න කියලත් ඒ වෙනස්කම් කරගන්න උදව් කරන්න කියලත් යෙහෝවාට කන්නලව් කරන්න ඕනේ. (ගීතා. 51:10-12; 2 කොරි. 10:5; ෆිලි. 2:13) (4) ඕනම විදිහක ප්‍රචණ්ඩකාරී දේකින් සහ නපුරු කතාබහෙන් ඈත් වෙලා එයාගේ යාච්ඤාවලට එකඟව එයා වැඩ කරන්න ඕනේ. (ගීතා. 97:10) (5) එයා ඉක්මනින්ම වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ. (යාකො. 5:14-16) (6) කලින් කරපු වරදට ආයේ වැටෙන්නේ නැතුව ඉන්න මොන වගේ දේවලින්ද වළකින්න ඕනෙ කියලා හිතලා ඒකට අහු නොවී ඉන්න සැලසුම් කරන්න ඕනේ. අසභ්‍ය දර්ශන බලන්න පුරුදු වෙලා ඉන්න ස්වාමිපුරුෂයෙකුත් ගන්න ඕනෙ ඒ පියවර හයමයි. වෙනස් වෙන්න එයා ගන්න උත්සාහයට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. (ගීතා. 37:5) හැබැයි බිරිඳව රිද්දන දේවලින් වැළකිලා විතරක් මදි. බිරිඳට ගෞරවයෙන් සලකන්නත් ඕනේ. කොහොමද ඒක කරන්නේ?

බිරිඳට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න

15. ස්වාමිපුරුෂයෙක්ට එයාගේ ආදරේ බිරිඳට දැනෙන්න සලස්වන්න පුළුවන් කොහොමද?

15 ඔයාගේ ආදරේ එයාට පෙන්නන්න. සතුටින් විවාහ ජීවිතේ ගත කරන සහෝදරයන් හැම දවසකම වගේ එයාලාගේ ආදරේ බිරිඳට පෙන්නන්න මොනවා හරි දෙයක් කරනවා. (1 යොහ. 3:18) බිරිඳගේ අතින් අල්ලන එක, එයාව ආදරෙන් වැලඳගන්න එක වගේ පොඩි පොඩි විදිවලිනුත් සැමියෙක්ට පුළුවන් බිරිඳ ගැන එයාට කොච්චර සෙනෙහසක් තියෙනවාද කියලා පෙන්නන්න. සැමියෙක්ට පුළුවන් මෙසේජ් එකකින් “ඔයා නැතුව පාළුයි,” “ඔයාගේ දවස කොහොමද” වගේ දේවල් බිරිඳට කියන්න. කාලෙන් කාලෙට බිරිඳට කොච්චර ආදරෙයිද කියලා ලියලා පොඩි කාඩ් එකක්, ලියුමක් දෙන්න. ඒ වගේ දේවලින් සැමියෙක් පෙන්නනවා එයා බිරිඳට ගෞරව කරනවා කියලා. ඒකෙන් විවාහ බැඳීමත් තව ශක්තිමත් වෙනවා.

16. සැමියෙක් බිරිඳව අගය කරන්න ඕනෙ ඇයි?

16 ඔයාට එයාව ගොඩක් වටිනවා කියලා කියන්න. බිරිඳට ගෞරවයෙන් සලකන සැමියෙක් ඒක කරනවා. බිරිඳට එයා ගැනම හොඳ හැඟීමක් ඇති වෙන විදිහට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් විදිහක් තමයි බිරිඳ එයා වෙනුවෙන් කරන හැම දෙයක්ම එයා අගය කරනවා කියලා කියන එක. (කොලො. 3:15) සැමියෙක් බිරිඳව අවංකව අගය කරද්දී බිරිඳගේ හිතට ලොකු සතුටක් වගේම ආරක්ෂාවක්, ආදරයක්, ගෞරවයක් දැනෙනවා.—හිතෝ. 31:28.

17. බිරිඳට ගෞරව කරනවා කියලා පෙන්නන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

17 එයාට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න. බිරිඳට ආදරේ කරන සැමියෙක් බිරිඳව සලකන්නේ එයාට වටින කෙනෙක් විදිහට. යෙහෝවාගෙන් ලැබුණ වටින තෑග්ගක් විදිහට. (හිතෝ. 18:22; 31:10) සැමියෙක්ට බිරිඳ ගැන එහෙම දැනෙනවා නම් ලිංගික සම්බන්ධකම් පවත්වද්දී වුණත් එයා බිරිඳට ආදරෙන්, ගෞරවයෙන් සලකනවා. එයාලා ලිංගිකව එක් වෙද්දී බිරිඳට අපහසුතාවක් දැනෙන දේවල්, එයා අකමැති ලිංගික ක්‍රියා, එයාගේ හෘද සාක්ෂිය වධ දෙන විදිහේ දේවල් කරන්න සැමියා බල කරන්නේ නැහැ. f සැමියාටත් ඕනෙ යෙහෝවා ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක් රැකගන්න.—ක්‍රියා 24:16.

18. ස්වාමිපුරුෂයන්ගේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (“ ගෞරවය පෙන්නන සැමියෙක් වෙන්න නම් . . . ” කියන කොටුවත් බලන්න.)

18 ස්වාමිපුරුෂයෙනි, කියන කරන හැම දේකින්ම බිරිඳට ගෞරවය පෙන්නන්න ඔයා ගන්න උත්සාහය යෙහෝවා දකිනවා, ඔහු ඒක ගොඩක් අගය කරනවා. බිරිඳව රිද්දන කිසිම දෙයක් නොකර එයාට ඔයාගේ ආදරේ, ගෞරවය, සෙනෙහස පෙන්නන්න අධිෂ්ඨාන කරගන්න. ඔයා එහෙම කරද්දී ඔයා එයාට ආදරෙයි, එයාව ඔයාට ගොඩක් වටිනවා කියලා එයාට දැනෙයි. ඔයා බිරිඳට ගෞරවයෙන් සලකද්දී මේ ලෝකේ ඔයාට තියෙන වටිනාම බැඳීම ඔයා රැකගන්නවා. ඒ යෙහෝවාත් එක්ක තියෙන බැඳීම.—ගීතා. 25:14.

ගීතිකාව 131 ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’

a 2024 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?” කියන ලිපිය කියවන එක ස්වාමිපුරුෂයන්ට ප්‍රයෝජනවත් වෙයි.

b ඔයාත් සැමියාගේ හිංසනයට ලක් වුණ කෙනෙක් නම් jw.org එකේ නැත්නම් ‘JW ලයිබ්‍රරි’ එකේ “තවත් ලිපි” කියන කොටස යටතේ එන “නිවසේදී හිංසනයට ලක් වෙන අයට සහනයක්” කියන ලිපිය බලන එක ඔයාට උදව් වෙයි.

c පැහැදිලි කිරීමක්: “අපහාස කරනවා” කියද්දී කෙනෙක්ව පහත් කරලා, එයාගෙන් වැඩක් නැහැ කියලා හැඟෙන විදිහට කතා කරන එක ඇතුළත්. එයාගේ ඔයා අකමැති දේවල් සැරෙන් සැරේ කියලා එයාව රිද්දන එකත් ඒකට අයිතියි. බිරිඳව රිද්දන්න, එයාට නින්දා කරන්න සැමියෙක් කියන ඕනම දෙයක් බිරිඳට කරන අපහාසයක් කියන්න පුළුවන්.

d jw.org එකේ නැත්නම් ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන “විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන” කියන ලිපිය බලන්න.

e සැමියා අසභ්‍ය දර්ශන බලනවා නම් 2023 අගෝස්තු ‘මුරටැඹ’ සඟරාවේ “ඔයාගේ සහකරු අසභ්‍ය දර්ශන බලනවා නම් . . . ” කියන ලිපිය බිරිඳකට ප්‍රයෝජනවත් වෙයි.

f සැමියෙක්, බිරිඳක් ලිංගිකව එක් වෙද්දී එයාලා කරන මොන දේවල්ද පවිත්‍ර, මොන දේවල්ද අපවිත්‍ර කියලා බයිබලේ විස්තර කරලා නැහැ. යෙහෝවාව ගෞරවයට පත් කරන්න නම්, අනිත් කෙනාව සතුටු කරන්න නම්, නිදොස් හෘද සාක්ෂියක් රැකගන්න නම් එයාලා මොන වගේ දේවල්ද නොකර ඉන්නේ කියලා එක් එක් යුවළයන් තීරණේ කරන්න ඕනේ. සැමියෙක් සහ බිරිඳක් ගන්න ඒ වගේ තීරණ සාමාන්‍යයෙන් අනිත් අයත් එක්ක කතා කරන්න අවශ්‍ය නැහැ.

g පින්තූරේ අදහස: වැඩපොළේ ඉන්න කට්ටියක් සහෝදරයෙක්ට අසභ්‍ය දර්ශන තියෙන සඟරාවක් බලන්න කියලා බල කරනවා.