Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 44

ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

අසාධාරණකම් දරාගන්නේ කොහොමද?

අසාධාරණකම් දරාගන්නේ කොහොමද?

“නපුරු දේවල්වලට ඔයාලව පරාජය කරන්න ඉඩ දෙන්න එපා. යහපත් දේවල් කරලා නපුරු දේවල් පරාජය කරන්න.”රෝම 12:21.

ලිපියේ අරමුණ

අනිත් අයගෙන් අසාධාරණකම් වෙද්දී ඔයා වැඩ කරන්න ඕනෙ කොහොමද?

1-2. අපිට මූණ දෙන්න වෙන්නේ මොන වගේ අසාධාරණකම්වලටද?

 යේසුස් සැරයක් අසාධාරණයක් වුණ වැන්දඹුවක් ගැන උදාහරණයක් කිව්වා. ඒ කාලේ අසාධාරණකම් හැම තැනම පැතිරිලා තිබුණ නිසා ඒ වැන්දඹුවට දැනුණ විදිහ ගෝලයන්ට හොඳටම තේරෙන්න ඇති. (ලූක් 18:1-5) ඒ වැන්දඹුවට දැනුණ විදිහ අපිටත් හොඳටම තේරෙනවා. මොකද අපිත් අසාධාරණකම්වලට ඕන හැටියේ මූණ දීලා ඇති.

2 අනිත් අයව පහත් කරන, කෑදර විදිහට වැඩ කරන අයගෙන් අද ලෝකේ පිරිලා. ඒ නිසා අපිට අසාධාරණයක් වුණත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. (දේශ. 5:8) හැබැයි සභාවේ කෙනෙක් අතින් අපිට අසාධාරණයක් වෙද්දී ඒක අපිට දරාගන්න ලේසි නැහැ. ඇත්ත, එයාලා අපේ විරුද්ධවාදීන් වගේ හිතාමතාම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. එයාලත් පාපය උරුම කරගත්ත අය නිසා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. යේසුස් විරුද්ධවාදීන්ගෙන් ආපු අසාධාරණකම්වලට මූණ දුන්නා. ඔහු වැඩ කරපු විදිහෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. විරුද්ධවාදීන් අපිට කරන අසාධාරණකම් අපි ඉවසනවා නම් අපේම සහෝදර සහෝදරියන් අපිට අසාධාරණයක් කරද්දී අපි ඒවා ඊට වඩා කොච්චර ඉවසන්න ඕනෙද? අපිට සභාවේ කෙනෙක් හරි වෙන කෙනෙක් හරි අසාධාරණ විදිහට සලකද්දී යෙහෝවාට ඒ ගැන දැනෙන්නේ කොහොමද? ඔහුට ඒ ගැන ගාණක් නැද්ද?

3. අපිට අසාධාරණකම් වෙද්දී යෙහෝවාට ඒ ගැන දැනෙනවා කියලා අපි දන්නේ කොහොමද?

3 “යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.” (ගීතා. 37:28) අපිට අසාධාරණයක් වෙද්දී ඔහුට ඒක දැනෙනවා. යේසුස් කිව්වා හරි වෙලාව ආවාම යෙහෝවා “ඉක්මනින්ම සාධාරණය ඉටු කරලා දෙනවා” කියලා. (ලූක් 18:7, 8) අසාධාරණකම් නිසා අපි අද්දකින හැම වේදනාවක්ම ළඟදීම ඔහු අයින් කරනවා. ඔහු ආයේ කවදාවත් අපිට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.—ගීතා. 72:1, 2.

4. යෙහෝවා අද අපිට උදව් කරන්නේ කොහොමද?

4 යෙහෝවා ළඟදීම මේ හැම ප්‍රශ්නයක්ම නැති කරලා දානවා. හැබැයි ඒ වෙන කල් අපිට වෙන අසාධාරණකම් දරාගන්න ඔහු අපිට උදව් කරනවා. (2 පේතෘ. 3:13) අපිට අසාධාරණයක් වෙද්දී මෝඩ විදිහට වැඩ කරන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියලා ඔහු අපිට උගන්නනවා. ඔහුගේ පුතාගේ ආදර්ශයෙන් ඔහු අපිට පෙන්නලා දෙනවා අසාධාරණයක් වෙද්දී කොහොමද වැඩ කරන්න ඕනෙ කියලා. ඒ වගේම අසාධාරණයක් වෙද්දී අපිට අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් ඔහු බයිබලේට ඇතුළත් කළා.

අසාධාරණයක් වෙද්දී වැඩ කරන විදිහ ගැන දෙපාරක් හිතන්න

5. අසාධාරණයක් වෙද්දී අපි වැඩ කරන විදිහ ගැන දෙපාරක් හිතන්න ඕනෙ ඇයි?

5 අසාධාරණයක් වෙද්දී අපේ හිත ගොඩක් පෑරෙයි. ඔළුවට ලොකු බරක් දැනෙයි. (දේශ. 7:7) විශ්වාසවන්ත සේවකයන් වුණ යෝබ්, හබක්කුක් වගේ අයටත් එහෙම දැනුණා. (යෝබ් 6:2, 3; හබ. 1:1-3) එහෙම දැනෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ වගේ වෙලාවලදී අපි වැඩ කරන විදිහ ගැන සැලකිලිමත් වුණේ නැත්නම් අපේ අතින් මෝඩ දෙයක් වුණත් වෙයි.

6. අබ්සලොම්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

6 අසාධාරණයක් වෙද්දී සමහර වෙලාවට අපි පළිගන්න පෙලඹෙයි. ඒත් ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ තව දුර දිග යන එක විතරයි. දාවිත්ගේ පුතෙක් වුණ අබ්සලොම්ගේ සිද්ධිය බලන්න. එයාගේ නංගි වුණ තාමර්ව එයාගෙම සහෝදරයෙක් වුණ අම්මොන් දූෂණය කළා. ඒකට අබ්සලොම්ට සෑහෙන්න කේන්ති ගියා. නීතියේ විදිහට නම් අම්නොන්ට මරණ දඬුවම ලැබෙන්න ඕනේ. (ලෙවී. 20:17) අබ්සලොම්ට කේන්ති ගිය එක සාධාරණයි. හැබැයි ප්‍රශ්නේ විසඳන එක එයාගේ අතට ගන්න එයාට කිසිම අයිතියක් තිබුණේ නැහැ.—2 සාමු. 13:20-23, 28, 29.

තමන්ගේ නංගිව දූෂණය කරපු වෙලාවේ අබ්සලොම්ට එයාගේ කේන්තිය පාලනය කරගන්න බැරුව ගියා (6 ඡේදය බලන්න)


7. අසාධාරණකම් දැක්කාම ගීතිකාකරු මුලින් වැඩ කළේ කොහොමද?

7 අසාධාරණකම් කරන අය කිසි ප්‍රශ්නයක් නැතුව ඉද්දී අපිට හිතෙයි අපි හරි දේ කරලා වැඩක් තියෙනවාද කියලා. ගීතිකාකරු දැක්කා හොඳ මිනිස්සුන්ට අසාධාරණකම් කරන අය ‘කිසි කරදරයක් නැතුව ජීවිතය ගත කරනවා.’ (ගීතා. 73:12) ඒක දැකලා එයා ගොඩක් අධෛර්යය වුණා. යෙහෝවාට සේවේ කරන එකෙන් ඇත්තටම වැඩක් තියෙනවාද කියලා එයා හිතුවා. ඒකයි එයා කිව්වේ “ඒ හැම දෙයක්ම තේරුම්ගන්න උත්සාහ කරද්දී මගේ හිතට ලොකු කලකිරීමක් දැනුණා” කියලා. (ගීතා. 73:14, 16) එයා කියනවා “මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ. මගේ පය ලිස්සන්නයි ගියේ” කියලා. (ගීතා. 73:2) ඕකම තමයි සහෝදර ඇල්බට්ටත් a වුණේ.

8. වෙච්ච අසාධාරණකමක් සහෝදරයෙක්ට බලපෑවේ කොහොමද?

8 සහෝදර ඇල්බට් සභාවේ සම්මාදම්වලින් හොරකම් කළා කියලා සහෝදරයෝ කීපදෙනෙක් එයාට බොරු චෝදනාවක් කළා. ඒ නිසා එයාට තිබුණ වගකීම් නැති වුණා. ඔය සිද්ධිය දැනගත්ත සභාවේ අයත් එයා දිහා බැලුවේ වපර ඇහෙන්. සහෝදර ඇල්බට් කියනවා “මට පුදුම කේන්තියක් දැනුණේ. මට හැම දේම එපා වුණා” කියලා. එයාට දැනුණ ඒ හැඟීම්වලට එයා ඉඩ දුන්නා යෙහෝවාගෙන් එයාව ඈත් කරන්න. ඒ නිසා අවුරුදු පහක්ම එයා අක්‍රියාශීලී වුණා. අසාධාරණයක් වුණාම අපිට එන කේන්තිය පාලනය කරගත්තේ නැත්නම් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා ඒ සිද්ධියෙන් පේනවා.

යේසුස් අසාධාරණකම් දරාගත්ත විදිහ ආදර්ශයට ගන්න

9. යේසුස්ට මූණ දෙන්න වුණේ මොන වගේ අසාධාරණකම්වලටද? (පින්තූරයත් බලන්න.)

9 අසාධාරණකම්වලට මූණ දෙන විදිහ ගැන අපිට හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්. පවුලේ අයගෙන් සහ තව හුඟක් අයගෙන් යේසුස්ට ගොඩක් අසාධාරණකම් වුණා. ඔහුව විශ්වාස නොකරපු නෑයෝ කිව්වා ඔහුට පිස්සු කියලා. ආගමික නායකයන් කිව්වා ඔහුට බලය ලැබෙන්නේ භූතයන්ගෙන් කියලා. රෝම සොල්දාදුවන් ඔහුට අපහාස කරලා, වධ හිංසා දීලා, අන්තිමට ඔහුව මරලා දැම්මා. (මාක් 3:21, 22; 14:55; 15:16-20, 35-37) ඔය මොන අසාධාරණකම වුණත් යේසුස් එකට එක කළේ නැහැ. ඒ හැම දේම දරාගත්තා. අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අසාධාරණකම් වෙද්දී වැඩ කරන්න ඕන විදිහ ගැන හොඳම ආදර්ශය තිබ්බේ යේසුස් (9-10 ඡේද බලන්න)


10. යේසුස් අසාධාරණකම් දරාගත්තේ කොහොමද? (1 පේතෘස් 2:21-23)

10 1 පේතෘස් 2:21-23 කියවන්න. b අනිත් අය අපිට අසාධාරණ විදිහට සලකද්දී අපි වැඩ කරන්න ඕන විදිහ යේසුස් පෙන්නුවා. යේසුස් දැනන් හිටියා කට පියන් ඉන්න ඕනෙ කොයි වෙලේද කතා කරන්න ඕනෙ කොයි වෙලේද කියලා. (මතෙ. 26:62-64) ඔහුට විරුද්ධව කරපු හැම බොරු චෝදනාවකටම ඔහු උත්තර බඳින්න ගියේ නැහැ. (මතෙ. 11:19) පීඩා කරපු අයට උත්තර දෙද්දී ඔහු එයාලට අපහාස කළේවත් තර්ජනේ කළේවත් නැහැ. ඔහු ඔහුවම පාලනය කරගත්තා. මොකද “ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.” යේසුස් දැනන් හිටියා හැම අසාධාරණකමක්ම යෙහෝවා දකිනවා කියලා. ඔහු විශ්වාස කළා යෙහෝවා ඒවාට හරි වෙලාවේදී හරිම විසඳුම දෙයි කියලා.

11. අපේ කතාබහ අපිට පාලනය කරගන්න පුළුවන් සමහර විදි මොනවාද? (පින්තූරත් බලන්න.)

11 අසාධාරණයක් වෙද්දී අපිටත් පුළුවන් යේසුස් වගේ අපේ කතාබහ පාලනය කරගන්න. සමහර පොඩි පොඩි අසාධාරණකම් වෙද්දී ඒ ගැන කතා නොකර ඒවා අතහැරලා දාන්න ඕනෙ කියලා අපිට හිතෙයි. එහෙම නැත්නම් වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙයි කියලා හිතලත් අපි කතා නොකර ඉන්න තීරණේ කරයි. (දේශ. 3:7; යාකො. 1:19, 20) අනිත් අතට කෙනෙක්ට අසාධාරණ විදිහට සලකනවා අපි දැක්කොත් එයා වෙනුවෙන් අපිට කතා කරන්න වෙයි. අපේ විශ්වාසයන් වෙනුවෙන් කතා කරන්න වෙන අවස්ථාත් එයි. (ක්‍රියා 6:1, 2) ඒ මොන හේතුව නිසා කතා කළත් සන්සුන්ව, ගෞරවයෙන් තමයි අපි කතා කරන්න ඕනේ.—1 පේතෘ. 3:15. c

අසාධාරණයක් වෙද්දී කතා කරන්න ඕනෙ කොහොමද, කොයි වෙලාවෙද කියලා තීරණේ කරන එකෙන් අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව (11-12 ඡේද බලන්න)


12. “ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාට” අපේ ප්‍රශ්න භාර දෙන්න පුළුවන් කොහොමද?

12 “ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාට” අපේ ප්‍රශ්න භාර දෙද්දීත් අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. කෙනෙක් අපිව වරදවා තේරුම්ගත්තත් අපිට අසාධාරණයක් කළත් යෙහෝවා ඇත්ත දන්නවා කියලා අපිට විශ්වාසයි. ඒ විශ්වාසේ අපිට උදව් වෙනවා අසාධාරණයක් වුණත් ඒක දරාගන්න. මොකද යෙහෝවා හැම ප්‍රශ්නයක්ම හරිගස්සනවා. යෙහෝවා ගැන විශ්වාසේ තියලා ඔහු ප්‍රශ්න විසඳන කල් බලන් ඉද්දී අපි අනිත් අයට වෛර කරකර ඉන්නෙවත් හිතේ තරහ තියාගන්නෙවත් නැහැ. මොකද ඒ වගේ හැඟීම්වලට හිතේ පැසවන්න ඉඩ දුන්නොත් අපි කලබල වෙලා, අපේ සතුට නැති කරගෙන යෙහෝවාත් එක්ක තියෙන බැඳීමටත් හානියක් කරගනියි.—ගීතා. 37:8.

13. අසාධාරණකම් දිගටම ඉවසීමෙන් දරාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

13 ඇත්ත, යේසුස්ව 100%ක්ම ආදර්ශයට ගන්න අපිට බැහැ. පස්සේ පසුතැවෙන්න වෙන දෙයක් අපිත් කියන්න, කරන්න ඉඩ තියෙනවා. (යාකො. 3:2) සමහර අසාධාරණකම් නිසා දැනෙන වේදනාව මේ සමාජය අවසන් වෙන කල් අපේ හිතේ තියෙයි. ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වෙක නම් මතක තියාගන්න ඔයාට දැනෙන විදිහ යෙහෝවාට හොඳටම තේරෙනවා කියලා. යේසුත් අසාධාරණකම්වලට මූණ දුන්නා. ඒ නිසා ඔයාට දැනෙන විදිහ ඔහුටත් තේරෙනවා. (හෙබ්‍රෙ. 4:15, 16) අසාධාරණකම් දරාගන්න උදව් කරන්න යෙහෝවා යේසුස්ගේ ආදර්ශය වගේම බයිබලෙන් මඟ පෙන්වීමුත් දුන්නා. දැන් අපි රෝම පොතෙන් ඒ වගේ මඟ පෙන්වීම් දෙකක් බලමු.

“කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්න”

14. “කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්නේ” කොහොමද? (රෝම 12:19)

14 රෝම 12:19 කියවන්න. දැක්කාද පාවුල් එතන කියන්නේ “කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්න” කියලා? ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට ප්‍රශ්න විසඳන්න ඕනෙ කොහොමද, කොයි වෙලාවෙද කියලා තීරණේ කරන්න දෙවියන්ට ඉඩ දෙන්න ඕනේ. සහෝදර ජෝන්ට අසාධාරණයක් වුණ වෙලාවේ එයාට දැනුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “දේවල් මගේ අතට අරන් වැඩ නොකර ඉන්න මට ලේසි වුණේ නෑ. රෝම 12:19 කියන දේ තමයි මට උදව් වුණේ යෙහෝවාව විශ්වාස කරලා ඉවසීමෙන් බලන් ඉන්න.”

15. යෙහෝවා ප්‍රශ්නේ විසඳන කල් බලන් ඉන්න එක තමයි හොඳම දේ කියන්නේ ඇයි?

15 යෙහෝවාට ප්‍රශ්නේ විසඳන්න භාර දීලා බලන් ඉන්න එකෙන් ප්‍රයෝජන තියෙන්නේ අපිටමයි. එහෙම කරද්දී අනවශ්‍ය බරක් ඔළුවේ තියාගෙන අපි පීඩා විඳින්නේ නැහැ. ප්‍රශ්නෙට උත්තරේ හොයහොය හෙම්බත් වෙන්නෙත් නැහැ. මොකද අපිට උදව් කරන්න බලාගෙන ඉන්න යෙහෝවා අපිට කියනවා ‘ඔය ප්‍රශ්නේ මට භාර දෙන්න. මං ඒ ගැන බලාගන්නම්’ කියලා. අසාධාරණකම් කරන අයට “මම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා” කියලා යෙහෝවා දුන්න පොරොන්දුව අපිට විශ්වාසයි නම් අපි ප්‍රශ්නේ පැත්තකින් තියනවා. මොකද අපිට විශ්වාසයි ඔහු ඒක හොඳම විදිහට විසඳයි කියලා. ජෝන් කළෙත් ඒකමයි. එයා මෙහෙම කියනවා. “යෙහෝවා මගේ ප්‍රශ්නේ විසඳන කල් මං බලන් හිටියොත් මං දන්නවා ඔහු මට වඩා සිය දහස් ගුණයක් හොඳට මේ ප්‍රශ්නේ විසඳයි” කියලා.

“යහපත් දේවල් කරලා නපුරු දේවල් පරාජය කරන්න”

16-17. “යහපත් දේවල් කරලා නපුරු දේවල් පරාජය කරන්න” යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද? (රෝම 12:21)

16 රෝම 12:21 කියවන්න. පාවුල් මෙහෙමත් කිව්වා. “යහපත් දේවල් කරලා නපුරු දේවල් පරාජය කරන්න.” කන්ද උඩ දේශනාවේදී යේසුත් මෙහෙම කිව්වා. “ඔයාලාගේ සතුරන්ට දිගටම ආදරේ කරන්න. ඔයාලට පීඩා කරන අය වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.” (මතෙ. 5:44) ඔහුත් ඒ දේ කළා. ඔයා කල්පනා කරලා ඇති සොල්දාදුවන් යේසුස්ව වධකණුවේ ඇණ ගැහුවාම ඔහුට කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද කියලා. කොච්චර ඒ ගැන හිතුවත් ඔහු වින්ද වේදනාව අපිට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ.

17 එයාලා මොන දේ කළත් යේසුස් ඉඩ දුන්නේ නැහැ නපුරු දේවල්වලට ඔහුව පරද්දන්න. සොල්දාදුවන්ට දඬුවම් කරන්න කියලා ඉල්ලනවා වෙනුවට ඔහු යෙහෝවාට කිව්වා “තාත්තේ, එයාලට සමාව දෙන්න. මොකද එයාලා මොනවාද කරන්නේ කියලා එයාලට තේරෙන්නේ නැහැ” කියලා. (ලූක් 23:34) අපිත් අපිට අසාධාරණකම් කරන අය වෙනුවෙන් යාච්ඤා කරද්දී ඒක අපිට උදව් වෙනවා සන්සුන්ව ඉන්න. ඒ වගේම අපිට දැනෙන කේන්තිය අඩු කරගන්න, එයාලා ගැන හිතන විදිහ වෙනස් කරගන්නත් ඒක උදව් වෙනවා.

18. අසාධාරණකම් දරාගන්න ඇල්බට්ටයි, ජෝන්ටයි යාච්ඤාව උදව් වුණේ කොහොමද?

18 මේ ලිපියේ කතා කරපු ඇල්බට්ටයි, ජෝන්ටයි අසාධාරණකම් දරාගන්න යාච්ඤාව උදව් වුණා. ඇල්බට් මෙහෙම කියනවා. “මට බොරු චෝදනා කරපු සහෝදරයෝ වෙනුවෙන් මං යාච්ඤා කළා. මං ආයේ ආයේ යෙහෝවාගෙන් ඉල්ලුවා එයාලත් එක්ක වෛර බැඳගන්නේ නැතුව ඉන්න මට උදව් කරන්න” කියලා. කාලයත් එක්කම ඇල්බට් ආයේ යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන්න පටන්ගත්තා. ජෝන් මෙහෙම කියනවා. “මාව රිද්දපු ඒ සහෝදරයා වෙනුවෙන් මං සෑහෙන වතාවක් යාච්ඤා කළා. මං යෙහෝවාගෙන් ඉල්ලුවා එයාට සමාව දෙන්න මට උදව් කරන්න කියලා. එයා ගැන කේන්තියෙන් ඉන්නේ නැතුව ඉන්න, එයාගේ වැරදිම බලන්නේ නැතුව ඉන්න යෙහෝවා මට උදව් කළා. යාච්ඤාව මට උදව් වුණා මගේ මනසේ සාමය තියාගන්න.”

19. මේ සමාජය අවසන් වෙන කල්ම අපි මොනවාද කරන්න ඕනේ? (1 පේතෘස් 3:8, 9)

19 මේ සමාජය අවසන් වෙන්න කලින් අපිට මොන මොන අසාධාරණකම්වලට මූණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මොන අසාධාරණය වුණත් උදව් ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන එක කවදාවත් නතර කරන්න එපා. අසාධාරණයක් වෙද්දී යේසුස්ව ආදර්ශයට ගන්න. බයිබල් ප්‍රතිපත්ති දිගටම අදාළ කරගන්න. එහෙම කරනවා නම් යෙහෝවාගේ ආශීර්වාද ඔයාත් අද්දකියි.—1 පේතෘස් 3:8, 9 කියවන්න.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b 1 පේතෘස් 2වෙනි සහ 3වෙනි පරිච්ඡේදවල දරුණු ස්වාමිවරුන්ගේ සහ ක්‍රිස්තියානීන් නොවන ස්වාමිපුරුෂයන්ගේ අසාධාරණකම්වලට මූණ දීපු ක්‍රිස්තියානීන් ගැන කතා කරලා තියෙනවා.—1 පේතෘ. 2:18-20; 3:1-6, 8, 9.

c jw.org එකේ ‘සැබෑ සාමයට රහස ආදරයයි’ කියන වීඩියෝ එක බලන්න.