Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

යුධ ගිනි ඇවිළුණ කාලවලදීත් නැති කාලවලදීත් යෙහෝවා අපිත් එක්ක හිටියා

යුධ ගිනි ඇවිළුණ කාලවලදීත් නැති කාලවලදීත් යෙහෝවා අපිත් එක්ක හිටියා

පෝල්: 1985 නොවැම්බර්වල අපි අපේ පළවෙනි මිෂනාරි පැවරුමට යන ගමන් හිටියේ. ඒ බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවට. අපි එදා හිටියේ ගොඩක් සතුටින්. අපේ ප්ලේන් එක සෙනගාලයේ නතර කළා. ඈන් කිව්වා “තව පැයකින් විතර අපි ලයිබීරියාවේ” කියලා. ඊටපස්සේ මේ නිවේදනය අපිට ඇහුණා. “ලයිබීරියාවේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් පටන් අරන් නිසා ප්ලේන් එක එහෙට යන්නේ නෑ. එහෙට යන අයට බහින්න වෙනවා.” ඉතිං අපි ඊළඟ දවස් දහයම හිටියේ සෙනගාලයේ මිෂනාරිවරුන් එක්ක. ප්‍රවෘත්තිවලින් අපි දැනගත්තා එහේ සෑහෙන අයව මරලා කියලා. ආණ්ඩුවෙන් දාපු ඇඳිරි නීතියට කීකරු වෙන්නේ නැති අයට වෙඩි තියනවා කියලත් අපි දැනගත්තා.

ඈන්: අපි සාමාන්‍යයෙන් අවදානමක් තියෙන දේවල් කරන්න කැමති නෑ. චූටි කාලේ ඉඳන්ම මං පොඩි දේ ගැනත් ඕනෑවට වඩා කරදර වෙනවා. කොටින්ම කිව්වොත් මං පාර පනින්නෙත් බයෙන්. එදා ලයිබීරියාවට යන එකේ අවදානමක් තිබ්බත් අපි කොහොමහරි එහෙට යන්න හිතුවා.

පෝල්: අපි ඉපදුණේ එංගලන්තයේ. අපේ ගේ තිබුණේ ඈන්ගේ ගෙදරට කි.මී. අටක් ඈතින්. මගේ අම්මලායි, ඈන්ගේ අම්මායි හැම වෙලේම කිව්වේ පුරෝගාමි කරන්න කියලා. ඉතිං අපි ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම පුරෝගාමි සේවේ පටන්ගත්තා. අපි දිගටම පූර්ණකාලීන සේවේ කරන්න ආසයි කියලා දැනගත්තාම එයාලා ගොඩක් සතුටු වුණා. මට 19ක් වෙද්දී මං බෙතෙල් එකේ වැඩට ගියා. 1982දී මායි, ඈනුයි විවාහ වුණාට පස්සේ එයාත් බෙතෙල් ආවා.

1985 සැප්තැම්බර් 8 ගිලියද් පාසැලෙන් පැවරුම් ලැබුණා

ඈන්: අපි බෙතෙල් පැවරුම කළේ ආසාවෙන්. ඒත් ඉස්සර ඉඳන්ම අපිට ඕනෙ වුණේ ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන්න. කලින් මිෂනාරි සේවේ කරපු අය එක්ක බෙතෙල් එකේ වැඩ කරද්දී ඒ ආසාව තවත් වැඩි වුණා. අවුරුදු තුනක් තිස්සේ අපි ඒ ගැන කියලා හැමදාම රෑට යාච්ඤා කළා. ඉතිං 1985දී 79වෙනි ගිලියද් පාසැලට ආරාධනාවක් ලැබුණාම අපිට දැනුණේ පුදුම සතුටක්. ඔය විදිහට තමයි අපිට ලයිබීරියාවේ සේවේ කරන්න පැවරුම ලැබුණේ.

සහෝදරයන්ගේ ආදරේ ශක්තියක් වුණා

පෝල්: ලයිබීරියාවට යන්න ලැබුණ පළවෙනි ප්ලේන් එකේම අපි එහෙට ගියා. එහෙට යද්දීත් ඇඳිරි නීතිය අයින් කරලා නෑ. මිනිස්සු හිටියේ බයෙන්. කාර් එකකින් සද්දයක් ආවත් මිනිස්සු බයේ දිව්වා. මායි, ඈනුයි හිත සන්සුන් කරගන්න හැමදාම රෑට ගීතාවලිය පොත කියෙව්වා. මොනා වුණත් අපි පැවරුම කළේ ආසාවෙන්. ඈන් හැමදාම සේවේ ගියා. මං බෙතෙල් එකේ වැඩ කළා. ජෝන් චාරුක් කියන්නේ බෙතෙල් එකේ හිටපු ගොඩක් අද්දැකීම් තිබුණ සහෝදරයෙක්. එයාට ඒ රටේ සහෝදරයන්ගේ තත්වය ගැන හොඳ අවබෝධයක් තිබුණා. මං එයාගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා.

ඈන්: ලයිබීරියාවේ පැවරුමට අපි එච්චර ඉක්මනට ආස වුණේ ඇයි දන්නවාද? ඒ සහෝදරයන් නිසා. එයාලා ගොඩක් විශ්වාසවන්ත අය. එයාලාගේ ආදරේ අපිට දැනුණා. ඉතිං අපි ඉක්මනටම එයාලට කිට්ටු වුණා. ‘දැන් එයාලා තමයි අපේ පවුල’ කියලා අපිට දැනුණා. එයාලා කියලා දීපු දේවලින් අපි දිරිගැන්වුණා. එහේ සේවෙත් නියමයි. එහේ මිනිස්සු ආසයි ගොඩක් වෙලා කතා කරකර ඉන්න. අපි ඉක්මනටම එන්න හැදුවොත් එයාලා අප්සට් ගහනවා. පාරවල් අයිනෙත් මිනිස්සු බයිබලේ ගැන කතා කරනවා. අපිට තියෙන්නේ එතනට යන්න විතරයි. අපිට කරගන්න බැරි තරම් බයිබල් පාඩම් තිබුණා. ඒක නං සේවේට කියාපු තැන.

බයක් දැනෙද්දීත් අපිව ශක්තිමත් කළා

පලා යන සහෝදරයන්ට 1990දී ලයිබීරියාවේ ශාඛා කාර්යාලයේ නවාතැන් දුන්නා

පෝල්: අවුරුදු හතරක් යන කල් රටේ යම් සාමකාමී තත්වයක් තිබුණා. ඒත් 1989දී එහේ දරුණු සිවිල් යුද්ධයක් පටන්ගත්තා. ආණ්ඩුවට විරුද්ධව කැරලිගහපු අය 1990 ජූලි 2වෙනිදා බෙතෙල් එක තිබුණ පැත්තත් අල්ලගත්තා. මාස තුනක්ම රටෙන් පිට හිටපු අය එක්ක අඩු තරමේ පවුලේ අය එක්කවත් ලෝක මූලස්ථානය එක්කවත් කතා කරන්න බැරි වුණා. හැම තැනම දරුණු දේවල් වුණා. කාන්තාවන්ව දූෂණය කළා. කෑම බීම හිඟ වුණා. මේ තත්වය අවුරුදු 14ක්ම තිබුණා.

ඈන්: සමහර ගෝත්‍ර තව ගෝත්‍ර එක්ක මරාගත්තා. අමුතු ඇඳුම් ඇඳගත්ත, තුවක්කු තියාගත්ත අය හැම තැනම වගේ හිටියා. එයාලා ගෙවල් කොල්ල කෑවා. මිනිස්සුන්ව ඔහේ මැරුවා. එයාලා කිව්වේ “ඒක හරියට කුකුල්ලු මරනවා වගේ” කියලා. මුරපොළවල් ළඟ මළ සිරුරු ගොඩගහලා තිබුණා. ඒ වගේ තැන් බෙතෙල් එක ළඟත් තිබුණා. මිෂනාරිවරු දෙන්නෙක්වයි, තව සහෝදරයන්වයිත් මරලා තිබ්බා.

කැරලිකරුවෝ සමහර ගෝත්‍රවල අයව මරන්න හොයද්දී සාක්ෂිකරුවෝ ජීවිත අනතුරේ දාගෙන ඒ ගෝත්‍රවල සහෝදරයන්ව හංගගෙන හිටියා. මිෂනාරිවරුන් සහ බෙතෙල් සේවකයිනුත් ඒකම කළා. ජීවිත බේරගන්න පැනලා ආපු සහෝදරයෝ බෙතෙල් එකෙත් නැවතුණා. සමහරු නිදාගත්තේ පල්ලෙහා තට්ටුවේ. තවත් අය උඩ කාමරවල හිටියා. අපේ කාමරෙත් හත්දෙනෙක් හිටියා.

පෝල්: අපි කට්ටියව හංගගෙන ඉන්නවාද බලන්න කැරලිකරුවෝ හැමදාම බෙතෙල් එක ඇතුළට එන්න හැදුවා. ඒ වගේ වෙලාවට අපි ගේට්ටුව ළඟට දෙන්නෙක්ව යැව්වා. තව දෙන්නෙක්ට කිව්වා ජනේලේ ළඟට වෙලා මොනවාද වෙන්නේ බලන්න කියලා. ගේට්ටුව ළඟට ගිය දෙන්නා අත් දෙක ඉස්සරහට කරගෙන හිටියොත් අපි දැනගත්තා කැරලිකරුවෝ ඇතුළට එන්නේ නෑ කියලා. ඒත් එයාලා අත් දෙක පිටිපස්සට බැඳගෙන හිටියොත් අපි දැනගත්තා එයාලා කොහොමහරි ඇතුළට එන්න හදනවා කියලා. ඉතිං ඒ වෙලාවට ජනේලේ ළඟ හිටපු දෙන්නා ඉක්මනටම ගිහින් සහෝදරයන්ට හැංගෙන්න කිව්වා.

ඈන්: සති ගාණකට පස්සේ කට්ටියක් බලෙන්ම බෙතෙල් එක ඇතුළට ආවා. ඒ වෙලාවේ මායි, තව සහෝදරියකුයි බාත්රූම් එකට ගිහින් දොර ලොක් කරගත්තා. බාත්රූම් එකේ කබඩ් එකක් ඇතුළේ හැංගෙන්න රහස් තැනක් තිබුණා. ඒකේ ලෑල්ලක් අයින් කරලා අපේ සහෝදරිය ඒක ඇතුළට රිංගගත්තා. ආයුධ ගත්ත කැරලිකරුවෝ උඩ තට්ටුවට ඇවිත් කේන්තියෙන් බාත්රූම් එකේ දොරට ගැහුවා. ඒ වෙලාවේ පෝල් කිව්වා “මගේ නෝනා බාත්රූම් එකේ” කියලා. කබඩ් එකේ ලෑල්ල ආයෙත් දාද්දී ලොකු සද්දයක් ආවා. ඒකේ තිබුණ බඩු තිබ්බ විදිහටම තියන්නත් ටික වෙලාවක් ගියා. ඉතිං වෙලා ගිය නිසා එයාලට සැක හිතෙයි කියන බයට මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. ගැහිගැහී කොහොමද දොර අරින්නේ? ඉතිං මං ඉක්මනටම යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. ඊටපස්සේ දොර ඇරලා කිසි දෙයක් නොවුණ ගාණට එයාලත් එක්ක කතා කළා. එක් කෙනෙක් මාව තල්ලු කරගෙන කෙළින්ම ගියේ කබඩ් එක ළඟට. එයා ඒකේ තිබුණ බඩු එහෙට මෙහෙට කරලා බැලුවා. ඒත් ඒක ඇතුළේ කවුරුත් නෑ කියලා දැක්කාම එයා පුදුම වුණා. ඊටපස්සේ එයාලා අනිත් කාමරවලටයි, වහලේ යට තිබුණ හිඩසටයි ගිහින් කවුරු හරි ඉන්නවාද කියලා බැලුවා. ඒත් එයාලට කාවවත් හොයාගන්න බැරි වුණා.

අඳුරු කාලේදීත් සත්‍යය බැබළුණා

පෝල්: මාස ගාණක්ම අපිට කෑම බීම හොයාගන්න අමාරු වුණා. ගොඩක් වෙලාවට අපිට උදේට කන්න දෙයක් තිබුණේ නෑ. ඒත් අපිට දැනුණේ බෙතෙල් එකේ උදෑසන නමස්කාරය අපේ උදේ කෑම එක වගේ කියලා. අපි දැනන් හිටියා බයිබලේ අධ්‍යයනය කරන එකෙන් හැම දවසකටම ඕන කරන ශක්තිය ලැබෙනවා කියලා.

කෑමයි, වතුරයි ගන්න අපි එළියට ගියොත් කැරලිකරුවෝ බෙතෙල් එකේ හැංගිලා හිටපු අයව මරලා දාන්න ඉඩ තිබ්බා. හැබැයි සමහර අවස්ථාවලදී අපිට ඕනම කරපු දේවල් ඕනම කරන වෙලාවේදී යෙහෝවා දුන්න විදිහ නං හරිම පුදුමයි. ඒ කාලේ පුරාම යෙහෝවා අපිව බලාගත්තා. සන්සුන්ව ඉන්නත් අපිට උදව් කළා.

තත්වය එන්න එන්නම දරුණු වුණත් සත්‍යය අපිට ශක්තියක් වුණා. ජීවිත බේරගන්න සහෝදරයන්ට පලා යන්න වුණත් එයාලා එයාලාගේ විශ්වාසේ ශක්තිමත්ව තියාගත්තා. එයාලා අනවශ්‍ය විදිහට කලබල වුණෙත් නෑ. සමහරු කිව්වා ඒ දේවල් “මහත් පීඩාවට මූණ දෙන්න හොඳ පුහුණුවක්” කියලා. වැඩිමහල්ලෝ, තරුණ සහෝදරයෝ බය නැතුව සහෝදරයන්ට උදව් කරන්න ඉදිරිපත් වුණා. පලා ගිය හැමෝම හිටියේ එකට. එයාලා යනයන තැන්වල දේශනා කළා. කැලෑවල තිබුණ දේවල්වලින් තාවකාලික නමස්කාර මධ්‍යස්ථාන හදාගෙන රැස්වීමුත් තිබ්බා. ඒ වගේ කාලෙක රැස්වීම් තිබ්බ එක, දේශනා කරන්න ලැබුණ එක එයාලට දිරිගැන්වීමක් වුණා. අපි සහනාධාර බෙදද්දී හුඟක් අය අපෙන් ඇහුවා ඇඳුම් වෙනුවට සේවේ යන්න බෑග් දෙන්න පුළුවන්ද කියලා. ඒක නං කවදාවත් අමතක වෙන්නේ නෑ. යුද්ධ කාලේ දරුණු දේවලට මූණ දීපු අය ආසාවෙන් පණිවිඩේ ඇහුවා. මේ වගේ කාලෙකත් සාක්ෂිකරුවෝ සතුටෙන් ඉන්න එක ගැන එයාලා පුදුම වුණා. ඇත්තටම ඒ සහෝදරයෝ අඳුරේ තිබුණ ආලෝකයක් වගේ වුණා. (මතෙ. 5:14-16) සහෝදරයෝ කොච්චර උනන්දුවෙන් සේවේ කළාද කියනවා නං සමහර දරුණු කැරලිකරුවොත් පස්සේ සත්‍යයට ආවා.

දුකක් දැනුණ වෙලාවෙත් ශක්තිමත් කළා

පෝල්: තුන් සැරයක්ම අපිට ලයිබීරියාවෙන් ටික කාලෙකට පිට යන්න වුණා. දෙසැරයක් සම්පූර්ණ අවුරුද්දක්ම රටෙන් පිට හිටියා. එහෙම වෙද්දී අපිට හැඟුණ විදිහ ගැන මිෂනාරි සහෝදරියක් මෙහෙම කිව්වා. “ගිලියද්වලදී අපිට උගන්නන්නේ පැවරුම මුළු හදවතින්ම කරන්න කියලානේ. ඒකම තමයි අපි කළේ. ඒත් මේ වගේ තත්වයකදී සහෝදරයන්ව දාලා යන එක දරාගන්න බැරි දුකක්.” ඒත් ලයිබීරියාවට කිට්ටු රටවල ඉඳන් එහේ වැඩවලට උදව් කරන්න අපිට පුළුවන් වුණා.

1997දී අපි ආයෙත් හරිම සතුටින් ලයිබීරියාවට ආවා

ඈන්: 1996 මැයි මාසේ අපි හතරදෙනෙක් ලියකියවිලි වගයක් අරන් බෙතෙල් වාහනේක කි.මී. 16ක් ඈත තිබුණ ආරක්ෂිත තැනකට යන්න පිටත් වුණා. එකපාරටම කැරලිකරුවෝ ඇවිත් අහසට වෙඩි තිබ්බා. එයාලා අපේ වාහනේ නවත්තලා අපෙන් තුන්දෙනෙක්ව එළියට ඇදලා ගත්තා. ඊටපස්සේ පෝල් වාහනේ ඉද්දීම එයාලා වාහනේ අරන් ගියා. වුණ දේ අපිට හිතාගන්නත් බැරි වුණා. පස්සේ අපි දැක්කා පෝල් නළලේ ලේ පෙරාගෙන එනවා. අපි හිතුවේ එයාට වෙඩි තියලා කියලයි. ඒත් පස්සේ තමයි තේරුණේ වෙඩි තියලා නම් කොහොමද එයා ඇවිදගෙන එන්නේ කියලා. පෝල්ට පාරක් ගහලා වාහනෙන් එළියට තල්ලු කරලා තිබුණා. ඒ නිසයි නළල තුවාල වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට ඒක පොඩි තුවාලයක්.

එතන හමුදා වාහනයක් තිබුණා. ඒකේ හිටපු මිනිස්සු බයෙන් හිටියේ. ඇතුළේ ඉඩ නැති නිසා අපි වාහනේ එල්ලුණා. වාහනේ එළවපු කෙනා හයියෙන් ගියා. කීප සැරයක්ම අපි වැටෙන්නත් ගියා. වාහනේ නවත්තන්න කිව්වත් බයෙන් හිටපු නිසා එයා නැවැත්තුවේ නෑ. අන්තිම වෙන කල්ම එල්ලිලා ආපු නිසා අපේ අත් හොඳටම රිදුණා. බයට මුළු ඇඟම ගැහුණා.

පෝල්: අපේ ඇඳුම් කිලුටු වෙලා, ඉරිලයි තිබුණේ. අපි මූණට මූණ බලාගෙන කල්පනා කළේ තාම ජීවතුන් අතර ඉන්නේ කොහොමද කියලා. වෙඩි වැදුණ හෙලිකොප්ටරයක් එළිමහන් තැනක නවත්තලා තිබුණා. එදා අපි නිදාගත්තේ ඒක ළඟ. අපිට ඕන වුණේ පහුවදාම ඒකේ නැඟලා සියරා ලියොන්වලට යන්න. ජීවිත බේරුණ එක ගැන අපිට සතුටක් දැනුණත් ලයිබීරියාවේ සහෝදරයන්ව මතක් වෙද්දී දරාගන්න බැරි දුකක් දැනුණා.

නොහිතපු අභියෝගයක්!

ඈන්: සියරා ලියොන්වල ෆ්‍රීටවුන් නගරේ තිබුණ බෙතෙල් එකට අපි ආවා. එහේ සහෝදරයන් අපිව හොඳට බලාගත්තා. ඒත් ලයිබීරියාවේදී වුණ දේවල් මට සැරින් සැරේ මතක් වුණා. හැම දවසක්ම මං ගත කළේ බයෙන්. හොඳට හිතලා බලලා වැඩ කරන්නත් මට අමාරු වුණා. නරක දෙයක් වෙයි කියන බයට මං මහ රෑ දාඩිය දාලා වෙව්ල වෙව්ල නැඟිට්ට වාර ගාණ අනන්තයි. මට දැනුණේ පපුව හිර කරනවා වගේ. ඒ වෙලාවට පෝල් මාව බදාගෙන යාච්ඤා කළා. වෙව්ලන එක නතර වෙන කල්ම අපි ගීතිකා කිව්වා. මට හිතුණේ මට පිස්සු හැදීගෙන එනවා කියලා. මිෂනාරි සේවේ කරගන්න බැරි වෙයි කියලත් හිතුණා.

ඒත් ඒ සතියේම අපිට සඟරා දෙකක් ලැබුණා. එකක් 1996 ජූනි 8 ‘පිබිදෙව්!’ සඟරාව. (ඉංග්‍රීසියෙන්) ඒකේ “කනස්සල්ලට ඔයා යට වෙලාද?” කියලා ලිපියක් තිබුණා. ඒක කියෙව්වාම තමයි මට තේරුණේ මට හැම තිස්සේම බයක් දැනුණේ ඇයි කියලා. දෙවෙනි එක 1996 මැයි 15 ‘මුරටැඹ’ සඟරාව. ඒකේ තිබුණා “ඔවුන් තම ශක්තිය ලබන්නේ කොතැනින්ද?” කියලා ලිපියක්. තටුවක කොනක් කැඩුණ සමනලයෙක්ගේ පින්තූරයක් ඒකේ තිබ්බා. තටුවකට හානියක් වුණත් සමනලයෙක්ට පියාඹගෙන ගිහින් පෝෂණය ලබාගන්න පුළුවන් වගේ අමාරු තත්වයන් මැද අපිටත් පුළුවන් යෙහෝවාගේ උදව්වෙන් අනිත් අයට උදව් කරන්න කියලා ඒකේ තිබුණා. ඒ ලිපිවලින් යෙහෝවා මට ශක්තිය දුන්නා. (මතෙ. 24:45) මං ඒ වගේ තව ලිපි එකතු කරගත්තා. කාලයක් යද්දී මගේ බය අඩු වේගෙන ගියා.

අලුත් පැවරුම්

පෝල්: ලයිබීරියාවට ගිය හැම පාරම අපි සතුටු වුණා. 2004 අග වෙද්දී අපි පැවරුම අවුරුදු 20කට කිට්ටු කාලයක් කරලා තිබුණා. ඒ වෙද්දී යුද්දෙත් ඉවරයි. බෙතෙල් එකෙත් ඉදි කිරීම් වැඩ සැලසුම් කරලා තිබුණා. ඒත් හදිසියේම අපිට අලුත් පැවරුමක් ලැබුණා.

ලයිබීරියාවේ සහෝදරයන් අපේම පවුලේ අය වගේ. එයාලාගෙන් කොහොම වෙන් වෙන්නද? ඒත් ගිලියද් යද්දී අපි පවුලේ අයව දාලා ආවත් යෙහෝවා අපිව බලාගත්තා. ඉතිං මේ වතාවෙත් යෙහෝවා ගැන විශ්වාසය තියලා අපි පැවරුම භාරගත්තා. මෙදා සැරේ අපි ගියේ ඝානාවට.

ඈන්: ලයිබීරියාවෙන් එද්දී අපි ගොඩක් ඇඬුවා. ඒත් ෆ්‍රෑන්ක් කියලා වයසක සහෝදරයෙක් කිව්වා “අපිව අමතක කරලා දාන්න” කියලා. අපිට පුදුම හිතුණා. ඒත් පස්සේ එයා මෙහෙම කිව්වා. “අපි දන්නවා ඔයාලා ඒක කරන්නේ නෑ. ඒත් ඔයාලා දැන් හිතන්න ඕනෙ ඝානාවේ සහෝදරයන් ගැන. ඒ පැවරුමත් දුන්නේ යෙහෝවා නිසා එයාලව ආදරෙන් බලාගන්න.” ඝානාවේ වැඩිදෙනෙක්ව අපි දැනන් හිටියේ නෑ. ඒත් අලුතින් දේවල් පටන්ගන්න ඒ වචන අපිට හයියක් වුණා.

පෝල්: වැඩි කල් යන්න කලින් අපි ඝානාවේ සහෝදරයන්ටත් ළං වුණා. එහේ සාක්ෂිකරුවෝ ගොඩක් හිටියා. ඒ විශ්වාසවන්ත සහෝදරයන්ගෙන් අපි සෑහෙන්න ඉගෙනගත්තා. අවුරුදු 13කට පස්සේ අපිට කෙන්යාවේ නැඟෙනහිර අප්‍රිකානු ශාඛා කාර්යාලයේ සේවේ කරන්න පැවරුමක් ලැබුණා. පරණ යාළුවෝ නැති අඩුව දැනුණත් කෙන්යාවේ සහෝදරයන්ටත් අපි ඉක්මනට ළං වුණා. අපි තාමත් ඉන්නේ කෙන්යාවේ. මෙහෙත් සේවේට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා.

2023දී නැඟෙනහිර අප්‍රිකාවේ සහෝදරයන් එක්ක

ආපස්ස හැරිලා බලද්දී . . .

ඈන්: මං ජීවිතේ බයක් දැනෙන, අමාරු දේවල්වලට මූණ දුන්නා. පීඩනයක් දැනෙද්දී, ජීවිතේ අනතුරේ වැටෙන දේවල් වෙද්දී ඒක ශරීරයටත් මනසටත් බලපානවා. යෙහෝවා ආශ්චර්යයන් කරලා අපිව ඒවායින් ආරක්ෂා කරන්නේ නෑ. අදටත් වෙඩි සද්දයක් ඇහෙද්දී මට දරාගන්න අමාරුයි. අත් පණ නැති වෙලා යනවා. ඒත් යෙහෝවා අපිව ශක්තිමත් කරන හැම දේකින්ම මං උපරිම ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන්ම සහෝදරයන්ගේ උදව්. අපි යෙහෝවාට ළං වෙන්න උදව් වෙන දේවල් දිගටම කරද්දී අපේ පැවරුම කරගෙන යන්න ඕනෙ ශක්තිය ඔහු දෙනවා.

පෝල්: සමහරු අහනවා “ඔයාලා ඔයාලාගේ පැවරුමට ආසද” කියලා. කොච්චර ලස්සන රටක වුණත් නොහිතපු, භයානක දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා රටක සුන්දරත්වයට වඩා පැවරුමක් ආසාවෙන් කරගෙන යන්න උදව් වෙන්නේ ඒ රටේ ඉන්න අපේ සහෝදරයන්. අපි හැමෝම වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි හැමෝම යෙහෝවාට ආදරෙයි. අපි හිතුවේ අපිව වෙන වෙන තැන්වලට යවන්නේ එහේ අයව දිරිගන්වන්න කියලා. ඒත් වෙන්නේ ඒකේ ඇනිත් පැත්ත.

අලුත් තැනකට යන හැම වතාවකම එහේ සහෝදරයන්ගේ ආදරේ අපි අද්දකිනවා. ඒක ඇත්තටම පුදුම දෙයක්. සභාවකට අයිති හැමෝටම ලෝකේ කොහේ ගියත් පවුලක් ඉන්නවා. අපි යෙහෝවාව විශ්වාස කරනවා නම් ඔහු අපි එක් එක් කෙනාට ඕනෙ කරන ශක්තිය දෙනවා කියන දේ මං බය නැතුව කියනවා.—ෆිලි. 4:13.